Colombo Telegraph

විමල් වීරවංශ – දෙකක් කඩතොළු සදා ගැනීම

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

මූල්‍ය අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූ නීතිමය කටයුතු සම්බන්ධයෙන් සිටියේ නොසතුටිනි. විටෙක අධිකරණ ක්‍රියාවලියේ තාක්ෂණික කරුණු ද විටෙක දේශපාලන පසුබිම ද විවේචනය කරමින් දිගින් දිගටම කියා සිටියේ ඔහු රදවා තබා ගැනීම නිවැරැදි නොවන බවය. අවසානයේ ආහාර ලබා ගැනීම ප්‍රතික්ශේප කරමින් උපවාසයක් ආරම්භ කිරීමට පවා ඔහු ඉක්මන් විය.

ධනේශ්වර නීතියේ ක්‍රියාකාරීත්වයට එරෙහිව දේශපාලන අරගල කිරීම දේශපාලන චෝදනා එල්ලවූවන්ගේ ස්වභාවයකි. එහි වැදගත් දේශපාලනික අරුතක් ද තිබේ. එහෙත් අපරාධ වර්ගයේ වූ වරදකට චෝදනා ලැබූවන් එවැනි අරගලයකට යෑම විරල ය. ඒ නිසාම දෝ විමල් විරවංශගේ උපවාසයට සමාජයෙන් එල්ල වූයේ බරපතල උපහාසාත්මක ප්‍රතිචාරයකි. දේශපාලන අරගලයක දී එම අරගලයේ විෂය කරුණට එකග නොවූවද ප්‍රතිවාදීන් අතර පවා අරගලකරුවන් කෙරෙහි ඇතිවන්නේ ගෞරවයකි. එසේවන්නේ එම අරගලය කෙරෙහි ඇති විය හැකි සමාජ වලංගුභාවය හා එකගතාව නිසා ය. එහෙත් විමල් වීරවංශගේ උපවාසය දෙස එවැනි ගෞරවනීය අයුරින් බලන කෙනෙකු දක්නට නොවීය. ඊට එකගතාවකින් සිටි විමල් වීරවංශට සමීප පිරිස් පවා එම ක්‍රියාවලියේ අධ්‍යාත්මක වටිනාකම හෝ අභියෝගය ගැන හෝ විශ්වාසයකින් පසු නොවීය. ආරංචි මාර්ගයන් සදහන් කරන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨයන් පවා මේ සම්බන්ධයෙන් සතුටකින් සිට නැත.

අරගල ප්‍රසාංගික කර ගැනීම

විමල් වීරවංශ ආරම්භයේ සිටම තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ නීතිමය ක්‍රියාමාර්ගය ප්‍රසාංගික කර ගනිමින් එමගින් දේශපාලන වටිනාකමක් උපයා ගැනීමට මාන බැලීය. තමා රිමාන්ඩ් බන්ධනාගාරයේ දුක් විදින බව, තමා නිවසේ නොමැති නිසා දියණිය අසනීප වී ඇති බව ආදී වශයෙන් පවසමින් ඒ සදහා වෙනමම වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවක් ගම්‍ය විය. උපවාසය ප්‍රකාශයට පත් කළේ එහි කූට ප්‍රාප්තිය වශයෙනි. එහෙත් එය හකුලා ගැනීමට සිදුවූයේ ඊට සමාජයෙන් යහපත් ප්‍රතිචාරයක් මෙන්ම සිතූ තරම් දේශපාලන වටිනාකමක් ද උපයා ගැනීමට නොහැකි වූ නිසා වෙනට ඇත.

සමාජයේ විවිධ ස්ථරයන් විසින් අනාවැකි පළ කළ අන්දමින්ම විමල් වීරවංශට ඇප ලැබී නිවසට යන්නට හැකි වූයේ මේ අතරතුර ය. පුවත් පත් වාර්තා කර තිබූ පරිදි අධිකරණයේ දී ඔහුට ඇප ලබාදීමට එරෙහි නොවන මෙන් නීතිපතිවරයාට රජයෙන් උපදෙස් ලැබී තිබුණි. ඒ සදහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් නීතිපතිවරයාට ලැබී ඇතැයි මාධ්‍ය වාර්තාවල සදහන් විය. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මාධ්‍ය අමතමින් කීවේ විමල් වීරවංශට ඇප ලබා ගැනීමට තමා ජනාධිපතිවරයා හා සාකච්ඡා කළ බවකි. ඒකාබද්ධ විපක්ෂයේ නායක මට්ටමේ මන්ත්‍රීවරුන් ද පවසා තිබුණේ ඒ සදහා තමන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවයි.

අපරාධ නඩුවක පැමිණිල්ල වන්නේ නීතිපතිවරයා ය. ඊට හේතුව වන්නේ අපරාධයක් යනු රජයට එරෙහිව කරන ලද වරදක් ලෙස අපේ නීතියේ පිළිගැනෙන නිසා ය. ඒ නිසා නීතිපතිවරයා සමග සාකච්ඡා කර යම් යම් මැදිහත්වීම් කරන්නට රජයට හැකියාවක් පවතී. එහෙත් ඊට සම්ප්‍රදායක් ද තිබේ. එම මැදිහත්වීම් කරන්නේ නීතිපතිවරයාගේ බලසීමාව තුළ මිසක් අධිකරණ ක්‍රියාවලිය තුළ නොවීම යහපාලන ක්‍රමවේදයයි. ඒ නිසා විමල් වීරවංශට එරෙහි අධිකරණ ක්‍රියාවලියේ දී නීතිපතිවරයා මාර්ගයෙන් රජය කළ මැදිහත්වීමට සම්ප්‍රදායික පදනමක් තිබේ.

අධිකරණයට ඇගිළි ගැසීමක්?

නමුත් මේ අන්දමේ මැදිහත්වීම් භයානක වන්නේ ඊට සීමාවක් නොමැති නිසා ය. කෙලින්ම අධිකරණයේ විනිසුරන්ට කතා කර ප්‍රශ්න විසදා ගැනීමට කැමැති ජනාධිපතිවරු ද රටේ සිටිය අතර එවැනි පාලකයන් ලබා දී ඇති පූර්වාදර්ශ අති භයානක ය. වත්මන් රජය අධිකරණයට ඇගිලි ගසන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ සෑහෙන කලෙක පටන් ය. යුද සමයේ සිදුව ඇති අපරාධයන් සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගන්න විටත් ඔවුන්ට එරෙහිව අධිකරණ නියෝගයන් ලැබෙන විටත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ රජය අධිකරණ නිදහස අහෝසි කරමින් සිටින බවයි. මේ චෝදනාව වඩාත් ශක්තිමත්ව රජයට එරෙහිව නැගුවේ රාජපක්ෂ රෙජීමය සමයේ මූල්‍ය අපරාධ කළැයි විවිධ දේශපාකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විටය. එහෙත් ඒ ශක්තිමත් විය හැකි චෝදනාව විමල් වීරවංශට ඇප ලබාදීමේ ක්‍රියාවලිය තුළ දී චෝදනාවක් ලෙස එල්ල කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් නොවේ. විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් භූමරංගකින් දමා ගසන්නේ බොළද ලෙසය. ඔහු පවසන්නේ තමාට ඇප ලබාදීමට අග්‍රාමාත්‍යවරයා මැදිහත්වූවා නම් මෙතෙක් කල් තමාව රදවා තබා ගැනීමටත් ඔහු වගකිව යුතු බවකි.

විමල් වීරවංශගේ එම අදහස් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහුට ඇප ලැබීමට රජය දැක්වූ මැදිහත්වීම පිළිගැනීමට තරම් ඔහු නිහතමානී නොවීමයි. විමල් පවසන්නේ සත්‍යයක් නම් හිටපු ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂයේ නායක මට්ටමේ මන්ත්‍රීවරුන් පවසන්නේ මුසාවකි. එහෙත් සිදුවූයේ කුමක්දැයි විමල් වීරවංශ හැරෙන්නට සෙසු අය ප්‍රසිදියේ කතා කරති. විමල් වීරවංශ එලෙස විවෘතව කතා නොකරන්නේ ඔහුගේ දේශපාලන නිරුවත හෙළිදරව් වන නිසා ඇතිවෙන ලැජ්ජාවට විය යුතුය. එහෙත් විමල් වීරවංශයේ දේශපාලන නිරුවත බොහෝවිට තිබුනේ මහජනයාට විවෘතව නිසා මෙවර එය අමුත්තක් නොවන්නේ ය.

විමල් වීරවංශ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මහත්වරුන් ද මෙතෙක් චෝදනා කළ පරිදි මෙහිදී ද සිදුව ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ගයක දී රජය මගින් ඊට බලපෑම් කිරීමකි. ඔවුන් මෙතෙක් එල්ල කළ චෝදනා සත්භාවයෙන් කළා නම් මෙවර ද ඒ චෝදනාව රජයට එරෙහිව එල්ල කළ යුතුය. එහෙත් විමල් වීරවංශ තමා සමබන්ධයෙන් රජය දැක්වූ මැදිහත්වීම විවේචනය නොකරයි. ඒකාබද්ධ විපක්ෂයට එසේ විවේචනයක් කළ නොහැක්කේ එම මැදිහත්වීම රජය සිදු කළේ ඔවුන්ගේ ඉල්ලීම මතවීම නිසා ය.

රජයට අභියෝග කිරීම

එහෙත් මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් ව්‍යුත්පන්න වූ දේශපාලන වටපිටාවට අභියෝග කිරීමේ සංස්කෘතියක් ගොඩ නගා ගැනීම සදහා විමල් කටයුතු කළේ නම් ඔහුගේ ක්‍රියාවට සමාජයෙන් එන ප්‍රතිචාරය අතිශය වටිනාකමකින් යුක්ත වන බව ස්ථිර ය. තමන්ට එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණයට ඉඩ ලබාදිය යුතු බවත් තාමට ඇපදීම සම්බන්ධ තීන්දුව ගත යුත්තේ අධිකරණය මිස රජය නොවන බවත් පවසමින් ඇප ලබා ගැනීම ප්‍රතික්ශේප කළා නම් ඒ අභියෝගය රජයට විශාල කම්පාවක් ඇති කරන්නක් වනවා නොඅනුමානය.

එවැනි අභියෝගයක් විසින් විශාල මහජන අවධානයක් දිනා ගන්නට ඉඩ තිබූ අතර ලංකාවේ නීති පද්ධතියට රජයෙන් එල්ලවන මැදිහත්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ හඩක් පැතිරවීමට ද විමල් වීරවංශට හැකිවන්නට තිබුණි. එවැනි අභියෝගයක් රජයට එරෙහිව එල්ලවන ආචාරධාර්මික හා සදාචාරමය ප්‍රශ්න කිරීමකි. සම්ප්‍රදායික විරෝධයන්ට වඩා මෙවැනි ආචාර ධාර්මික හා සදාචාරමය ප්‍රශ්න කිරීම් ප්‍රතිවාදියා විශාල හා සංකීර්ණ පටලැවිල්ලකට තල්ලු කරන්නට සමත් වේ.

එහෙත් අරගල වල දී මෙවැනි උපාය උපක්‍රම යොදා ගන්නට තරම් ලාංකික සමාජය තාමත් මුහුකුරා ගොස් නොමැත. කොටි සංවිධානය විසින් සිංහල සමාජයට එල්ල කළ අභියෝගයේ දී ඊට පෙරළා මුහුණ්දීමට සිංහල සමාජයට තිබුනේ යුද වැදීමේ විකල්පයයි. ඒ තුළ කොටි සංවිධානයේ යුදමය හැකියාවට සමාන කරන්නට හෝ නො එසේනම් එය අභිබවා යන්නට හෝ හැකියාවක් තිබීම ජයග්‍රහණය සදහා අත්‍යවශ්‍ය සාධකයකි. ඒ තුළ අශ්ලීල ක්‍රියා සිදුවීම හා මානවවාදයට එකග නොවන දෑ සිදුවීම නොවැළැක්විය හැක්කකි. එහෙත් කොටි සංවිධානයේ යුදමය බලය හමුවේ ආචාර ධාර්මික හා සදාචාරමය ප්‍රශ්න කිරීමකට යන්නට සිංහල සමාජයට ශක්තියක් තිබුනා නම් ඉතිහාසය මීට වඩා බොහෝ සතුටුදායක වන්නට ඉඩ තිබුණි. එහෙත් සමාජයක් ලෙස අපේ තෝරා ගැනීම් සමීප වූයේ අශ්ලීල හා අසංස්කෘතික භාවිතයකට ය.

ආචාරධාර්මික හා සදාචාරමය ප්‍රශ්න කිරීමක්

කොටි සංවිධානය එල්ල කළ අභියෝගය තේරුම් අරගෙන ඊට මානුෂිකව මුහුණදෙමින් එම සංවිධානය සදාචාරමය හා ආචාර ධාර්මික ප්‍රශ්න කිරීමකට පෙළඹෙන්නට සමාජයක් ලෙස නොහැකි වූයේ ඊට ශක්තියක් නොතිබූ නිසා ය. ඊට හේතුවන්නට ඇත්තේ කාලයක් තිස්සේ සිංහල සමාජය ෆැසිස්ට් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී සංස්කෘතියක පෝෂණය වූ නිසා වන්නට ඇත. ඒ නිසා ප්‍රතිවාදියාට ශිෂ්ඨ ලෙස මුහුණදෙන්නට අප අසමත් වූ අතර ඔවුටත් වඩා අශ්ලීල හා අමානුෂික ලෙස භාවිතයක යෙදී “ජය” අත්කර ගන්නට අපට හැකිවුණි.

තමන් සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගයට රජය මැදිහත්වීම සම්බන්ධයෙන් ආචාර ධාර්මික හා සදාචාරමය ප්‍රශ්න කිරීමකට යන්නට විමල් වීරවංශ අපොහොසත් වන්නේ ද එවැනි ශක්තියක් ඔහුට හෝ ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට හෝ නොමැති නිසා ය. ඊට හේතුව වන්නේ එවැනි ශක්තියක් ගොනු කර ගන්නට තරම් සමාජ වටිනාකම් තුළ ඔහු හෝ ඔහුගේ දේශපාලන ව්‍යාපාරය කටයුතු නොකරන නිසා ය. ඒ නිසා ආචාරධාර්මික හෝ සදාචාරමය හෝ ශක්තියක් ඔවුන් තුළ ගොඩ නැගී නොමැත.

රජයේ ආචාර ධාර්මික නොවන හා සදාචාරමය නොවන මැදිහත්වීම් තුළ ඒවාට අභියෝග නොකර තිරය පිටුපස ඩීල්” මගින් ගනුදෙනු බේරා ගැනීමට යෑම තක්කඩිකමකි. එහි අවසානය සනිටුහන් කරන්නේ මෙවැනි දේශපාලකයන් ආරක්ෂාව පතා තම ප්‍රතිවාදියා සමග සම්මුතියකට යාම තුළිනි. විමල් වීරවංශ එවැන්නෙක් නොවන බවට කිසිම සාධකයක් ඔහු විසින් ගොඩනගා ගෙන ඇති දේශපාලන ඉතිහාසය තුළ නම් දක්නට නොලැබේ.

Shan.info1978@gmail.com

Back to Home page