Colombo Telegraph

උතුරේ ස්ථාපිත කිරීමට නියමිත දෙමළ ජාතික සංධාන පාලනය හා ගෝලීය දේශපාලනයේ නිවැරදි තෝරා ගැනීම

කේ. ජී. පිලිප් ශාන්ත

කේ. ජී. පිලිප් ශාන්ත

උතුරු පළාත් සභාවේ මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීමට සිදුවීමම එතෙක් පැවැති ජාතික දේශපාලන බලතුලනය වෙනස් කරමින් ප්‍රශ්නයට අන්තර් ජාතික මැදිහත්වීමක අදිසි හස්තය දෘශ්‍යමාන වීමක් වුණි. රජයේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න හා ඩියු ගුණසේකර කුමක් කතා කළ ද රෙජීමයේ මතය නියෝජනය වූයේ අමාත්‍යවරුන් වන චම්පික රණවක හා විමල් වීරවංශගෙනි.එය රෙජීමයේ ජනවරමේ සැබෑ අරමුණ නියෝජනය කිරීමක් වුණි.

එහෙත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරය කිරීමත් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවෂන්කර් මෙනන් දිවයිනේ සංචාරය කිරීමත් සමග ජාතික දේශපාලනයේ මුහුණුවර වෙනස් වී රෙජීමයේ ජනවරම කුමක් වුවද දේශපාලන යථාර්ථය අනුව සිදු වූ ධ්‍රැවීකරණයට මුහුණ දීමට රෙජීමයට සිදු වුණි. ඒ අනුව පළාත් සභා ,13 වන ව්‍යවස්ථා සංශෝධනය හා උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වූ රෙජීමයේ මතය  හකුලා ගැණුනි.

එල්.ටී.ටී.ඊ සංවිධානය අවි බලයෙන් යටත් කර දේශයේ සාමය ස්ථාපිත කිරීම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ එකම අරමුණ වුවත් පශ්චාත් එල්.ටී.ටී.ඊ යුගය තුළ දේශපාලන යෝජනාවලියකින් සාමය ප්‍රතිස්ථාපනය කිරීම කළ යුතු බව රෙජීමයට අයත් සමහරුන්ගේ මතය වුණි. එහෙත් රෙජීමයට වරමක් ලෑබී ඇත්තේත් රෙජීමයේ ජන පදනම් ධ්‍රැවීකරණය වී ඇත්තේත් යුදමය විසදුමක් සදහා මිස දේශපාලනික යෝජනාවලියකින් දෙමළ ජනතාව ආමන්ත්‍රණය කිරීමට නොවීම මහ පොළොවේ යථාර්ථය බවට පත්ව තිබුණි. ඒ නිසාම දේශපාලන විසදුමක් සදහා රෙජීමය දුන් පොරොන්දු හුදු රුවටීලිකාර උපක්‍රම වූ අතර ඒ වෙනුවෙන් මහත් බලාපොරුත්තු තෑබූවන් විහිළිකරුවන් බවට පත් වුණි. නමුත් අවසානයේ ලෝක දේශපාලන යථාර්ථයන්ට මුහුණුදීමට රෙජීමයට සිදුවී ඇත්තේ ජාතිකවාදී දේශපාලනයේ බොහෝ නිර්ණායකයන් අවලංගු කරමිනි.

උතුරු පළාත් සභා මෑතිවරණයේ පාලක පක්ෂ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා වීමේ අවකාශය ඇත්තේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ට ය. ඔහු ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා නොවූවත් උතුරේ මැතිවරණය කිරීමට නම් පාලක පක්ෂයට නියෝජිතයා ලෙස ශක්තිමත් අයෙකුට සිටීන්නේ ද ඩග්ලස් දේවානන්ද පමණි. විශ්‍රාම ලත් කිසිම එල්.ටී.ටී.ඊ. සටන්කරුවකු තමන්ගේ ප්‍රධාන නියෝජිතයා ලෙස රෙජීමය විසින් තෝරා ගනී යැයි අනුමාන කළ නොහැක්කකි. එල්.ටී.ටී.ඊයට අඛණ්ඩව මුහුණ දෙමින් දේශපාලනිකව ආමන්ත්‍රණය කළ ඩග්ලස් දේවානන්දට තරම් කේ.පී. ට හෝ වෙනත් අයකුට හෝ දෙමළ ජනතාව තුළ දේශපාලන වටීනාකමක් නොමැත.

ඩග්ලස් දේවානන්ද රෙජීමයේ ආරක්ෂාව යටතේ ප්‍රභාකරන්ට මුහුණ දුන්නත් 1985 දී සියළු දෙමළ නායකයන් පිළිගත් තිම්පු මූලධර්ම අත්හරින බව මෙතෙක් ප්‍රකාශ කර නොමැත. සිය කොදු නාරටී රෙජීමයට පාවාදෙමින් එහි සරණ ගොස් ඇති කේ.පී., කරුණා අම්මාන් වැන්නන්ට සාපේක්ෂව තවමත් දෙමළ ජනතාව ඉදිරියට යැමට ඩග්ලස්ට දේශපාලනික පදනමක් ඇත. ඒ අර්ථයෙන් පාලක පක්ෂයේ උතුරු දේශපාලන නායකත්වය ඩග්ලස් දේවානන්දට හිමිවීම සතුටට කරුණකි. එහෙත් ඩග්ලස් දේවානන්දගේ භූමිකාව ලිට්මස් පරීක්ෂාවක් වන්නේ රෙජීමයේ සිංහල ස්වෝත්තමවාදීන්ගේ ක්‍රියාකලාපයන්ට අදාළවයි. ඔහුන්ට අනුව බෙදුම්වාදී දෙමළ ජාතික සංධානයේ දේශපාලනයට එරෙහිව උතුරේ ජනතාව ඉදිරියට යෑමට සිදුවී ඇත්තේ තවත් බෙදුම්වාදියකු කර මත තබා ගනිමිනි.

ඩග්ලස් දේවානන්ද අදටත් පිළිගන්නා තිම්පු මූලධර්මයන්ට අනුව දෙමළ ජන වර්ගය ජාතියක් වශයෙන් පිළිගත යුතු අතර දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය ද පිළිගත යුතුය. උතුර හා නැගෙනහිර දෙමළ ජාතියේ සාම්ප්‍රදායික වාස භූමිය ලෙස ද පිළිගත යුතුය. මේ මූලධර්මයන්ට එකගවීමට රෙජීමයේ සිංහල ස්වෝත්තමවාදීන්ට හැකිනම් දෙමළ ජාතික සංධාන පළාත් සභා බලයකට විරුද්ධවීමට ද ඔවුන්ට නොහැකිය. ඒ අනුව සිංහල ස්වෝත්තමවාදී දේශපාලන ස්ථරයන්ට මුහුණ දීමට සිදුවන උභතෝකෝටීකය “ගෙදර ගියොත් අඹු නසී මග හිටීයොත් තෝ නසී” වැන්නකි. මේ උභතෝකෝටීකයෙන් ගැලවීමට නම් උතුරු පළාත් සභා මැතිවරණයේ පාලක පක්ෂ නියෝජිතයා ලෙස විශ්‍රාම ලත් සටන්කරුවකු තෝරා ගත යුතුය. එහෙත් සියල්ලන් “කර අඹා ගත්” සටන්කරුවන් නිසා ඒ හරහා අල්ප වූ ආසන සංඛ්‍යාවක් හෝ දිනා ගැනීම උකහට ය. සිංහල ස්වෝත්තමවාදීන් අර්බූදයකට තල්ලු වුවද රේජීමයට ඩග්ලස් දේවානන්ද තරම් වෙනත් ශක්තිමත් තෝරා ගැනීමක් ඇතැයි විශ්වාස කළ නොහැක.

දෙමළ ජාතික සංධානයේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස හිටපු විනිශ්චයකාර විග්නේශ්වරන් තෝරා ගැනීම පුළුල් ප්‍රජාතාන්ත්‍රවාදී අර්ථයෙන් ප්‍රශස්ත ය. ඒ තෝරා ගැනීම මගින් උතුරේ දෙමළ ජනතාව වෙත යෑමට ශක්තිමත් හා පුළුල් අරමුණකින් යුත් නියෝජිතයකු හරහා කළ හැකි බව දෙමළ ජාතික සංධානය පෙන්නුම් කර ඇත. හිටපු විනිශ්චයකාර විග්නේශ්වරන් තෝරා ගැනීමෙන් එම සංධානය පණිවුඩ කිහිපයක්ම නිකුත් කර ඇතැයි සැලකිය හැකිය. දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදයට මෙන්ම රුධිරය තවරා ගත් ඩග්ලස් දේවානන්දගේ දේශපාලනයට ද එරෙහි වෙමින් දෙමළ ජනතාවගේ අයිතීන් ගැන පුළුල් අවබෝධයකින් හා අන්තර්ජාතික පිළිගැනීමකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වනාකමකින් යුත් විකල්පයක් තුළින් පශ්චාත් යුද අවධිය තුළ කොළඹ රාජ්‍ය සමග ගනුදෙනු  කළ යුතුව ඇතැයි ද එම තෝරා ගැනීම මගින් පෙන්නුම් කරයි.

දෙමළ ජාතික සංධානයේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා තෝරා ගැනීමට ඉන්දීය මැදිහත්වීමක් සිදුවූ බව නොරහසකි. දිගින් දිගටම සිදුවූ රුවටීම තුළ ඉන්දීයාව පවා තේරුම් ගෙන ඇත්තේ මුළු වැර යොදා ශක්තිමත් පළාත් සභා පාලනයක් උතුරේ ස්ථාපිත කිරීමට විය යුතු යැයි පෙල ගැස්වෙන දේශපාලන තත්ත්වයන් අනුව තහවුරු වේ. මේ ස්ථාවරයට ඉන්දීයාව පැමිණෙන්නේ හුදකලාව නම් නොවේ. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් උනන්දු අන්තර් ජාතික දේශපාලන බලවේගයන්ගේ එකගතාව මත ඉන්දියාව කටයුතු කරන බව පැහැදිලි ය. අන්තර් ජාතික දේශපාලනයේ යථාර්ථය තේරුම් ගන්නට නොහැකිව සිංහල ස්වෝත්තමවාදීන් කොළඹ වීදි පුරා යමින් උගුර ලේ රහ කර ගත්ත ද එල්.ටී.ටී.ඊ යට එරෙහි යුද්ධයේ දී ත් අන්තර් ජාතික දේශපාලන බලවේග පාලක රෙජීමයට සහාය දුන්නේ මේ අයුරිනි. එහිදී ද ඉන්දියාවේ භූමිකාව වූයේ අන්තර් ජාතික අවශ්‍යතාව කළමනාකරණය කරමින් එහි නියෝජිතයා වීමයි. ඊට එහා ගිය යමක් මේ අවස්ථාවේ දී පවා දක්නට නොමැත.

උතුරේ දෙමළ ජාතික සංධාන පළාත් සභා පාලනයක් ශක්තිමත් අන්දමින් ස්ථාපිත කිරීම දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ අර්ථයෙන් මේ මොහොතේදී අවශ්‍යයෙන්ම කළ යුක්තකි. ඒ අරමුණෙන් ජාත්‍යන්තර දේශපාලනය යම් මැදිහත්වීමක් කරන්නේ නම් ඒ යථාර්ථයට මුහුණ දෙනවා හැරෙන්නට ජාතිකවාදී දේශපාලන සංකල්ප කෑ මොරදෙමින් ප්‍රශ්නයට පියම් සෙවීම අවසන් විය හැක්කේ එක්කෝ සිනහ උපදවන හාස්‍යයකිනි, නො එසේනම් මාරාන්තික හානියකිනි. දෙමළ ජනතාවට පිළිගත හැකි කල්පවත්නා දේශපාලන විසදුමකින් තොරව පශ්චාත් යුද අවධිය කළමනාකරණය කිරීමට නොහැකිය. භෞතික සම්පත් ලබාදෙමින්  ජාතීන් අතර එක්සත් කම ඇති කිරීමට නොහැකි වනවා මෙන්ම එක්සත් රාජ්්‍යයක් තුළ සංහිදියාව ඇති වන්නේ ද නැත. ග්‍රාම්‍ය සිංහල ස්වෝත්තමවාදීන්ට තේරුම් ගැනීමට අපහසු වූවාට අන්තර් ජාතික දේශපාලනට අවශ්‍ය වන්නේ හැල හැප්පීම් නැති උතුරකි. එහි ප්‍රධාන සටන්කාමී සාධකය අහෝසි කළ පලියට සාමය උදා නොවන බව ගෝලීය දේශපාලනය දනී.

ඒ අර්ථයෙන් උතුරේ ස්ථාපිත කිරීමට නියමිත දෙමළ ජාතික සංධාන පාලනය ශක්තිමත් කිරීම දකුණේ ප්‍රජාතාන්ත්‍රික හා වාමාංශික බලවේගයන්ගේ ද වගකීම වන්නේය.

Back to Home page