Colombo Telegraph

වීරවංශගේ “විග්නේශ්වරන් කැරට්ටුව” හා සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ න්‍යායාත්මක අතාර්කිකත්වය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ. ජී. පිලිප් ශාන්ත

උතුරු පළාත් සභා මැතිවරණයේ තම ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා වන්නේ හිටපු විනිශ්චයකාර විග්නේෂ්වරන් යැයි දෙමළ ජාතික සංධානය ප්‍රකාශයට පත් කළ මොහෙතේ සිට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ සුපුරුදු අවලාද නැගීම ආරම්භ වී තිබේ. රෙජීමයේ එක් අන්තවාදී කණ්ඩායමක නායකයා වන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර ඇත්තේ ඊළම බිහිවීම විග්නේෂ්වරන්ගේ ජයග්‍රහණයත් සමග ආරම්භ වන බවය. තවත් ගෝත්‍රවාදී කණ්ඩායමක නායකයා වන අමාත්‍ය විමල් වීරවංශ “විග්නේශ්වරන්ගේ කැරට්ටුව” හෙළි කිරීමට තරම් ඉදිරියට ගොස් තිබේ. විමල් වීරවංශට අනුව හිටපු විනිශ්චයකාරවරයකු හා නීතී විශාරදයකු මෙන්ම සිංහල සමාජයේ ද සිත් දිනාගත් විග්නේශ්වරන්ට වඩා උතුරේ ප්‍රධාන ඇමති අපේක්ෂක ධූරයට වැදගත් වන්නේ මාවෙයි සේනාධිරාජා ය. දෙමළ ජාතික සංධානයේ තෝරා ගැනීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කල්ලි කණ්ඩායම් වලට මෙවැනි හැගීම් බර විවේචනයකට ඔබ්බෙන් වූ අදහසක් ඇතැයි මෙතෙක් ප්‍රකාශිත මතයන් අනුව කිව නොහැක. අතීත අත්දැකීම් අනුව කිව හැක්කේ ද දෙමළ ජාතික අනෙකා සම්බන්ධයෙන් සංවර්ධනාත්මක හා සාමුහික මතයක් මේ කල්ලි කණ්ඩායම් වලට පොදුවේ නොවූ බවයි.

මේ මොහොත තුළ පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජනතාවගේ නියෝජනය සලකා බැලිය යුත්තේ එම නියෝජනය විසින් ගොඩ නංවන පළාත් සභා පාලනයට දකුණේ ජනතාව, කොළඹ ආණ්ඩුව හා අන්තර් ජාතික ප්‍රජාව සමග සංවාදයක් ඇති කර ගැනීමට පැවතිය හැකි ශක්තිය මතය.  අවි ගැටුම් මගින් දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ අවකාශය අහෝසි කර ඇති මොහොතක එම අරගලය වඩාත් ප්‍රජාතාන්ත්‍රවාදී හා ජනතා සාමූහිකත්වයක් තුළින් දිනා ගැනීමට ඉහත කී සාධකයන් සමග ඇති කර ගත යුතු සංවාදය අතිශයෙන් වැදගත් වේ. එම බරපතල කාර්යය කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් වූ පුළුල් දැක්මක් හා පිළිගැනීමක් සහිත පළාත් සභා නියෝජනයක ට ය. නැගෙනහිර පළාත් සභාවේ දී උගත් පාඩම් අනුව ඒ අතිශය සංකීර්ණ කාර්යය තවත් පිල්ලෙයාන් කෙනෙකුට හෝ නජීබ් කෙනෙකුට හෝ ඔවුන්ගේ දේශපාලන නියෝජනයට හෝ කළ නොහැක. එවැනි නියෝජනයකට හෝ එවැනි චරිතයන්ට හෝ කළ හැක්කේ ඊනියා සමාජ සුභ සාධන කාර්යයන් මිස පුළුල් අර්ථයෙන් දෙමළ ජනතාවගේ අයිතීන් ශක්තිමත් කර ගැනීමක් නොවේ. එසේම ඒ අරභයා දකුණේ ජනතාව, කොළඹ ආණ්ඩුව හා අන්තර් ජාතික ප්‍රජාව සමග සංවර්ධනාත්මක අවබෝධයක් ගොඩ නංවා ගැනීම ද කළ නොහැක.

අවි බලයට ශක්තියක් දුන් දෙමළ අරගලය අහෝසි කළ පසුව දෙමළ ජාතික සංධානය දේශපාලන උපක්‍රම තෝරා ගැනීම අතින් ප්‍රශස්ත මට්ටමකින් හැසිරුණි. දෙමළ ඩයස්පෝරාව සමග මෙන්ම කොළඹ ධනපති දෙමළ ප්‍රජාව සමග ද ගනුදෙනු කරමින් ද පක්ෂයේ විවිධ මතයන් කළමනාකරණය කරමින් ද එය උත්සාහ දරා ඇත්තේ  කොළඹ දේශපාලන බලයට යම් අභියෝගයක් එල්ල කිරීමට ය. දකුණේ විවිධ පක්ෂ මේ යුගය තුළ දේශපාලනය අත් හරිමින් තරගයක් නැතිව රාජපක්ෂ රෙජීමයේ බල ව්‍යහයට අනුගත වුවත් දෙමළ ජාතික සංධානය තවමත් ශක්තිමත් ලෙස “දේශපාලනය” කරමින් කොළඹ ආණ්ඩුවේ බලය හා අරගලයක යෙදෙමින් සිටීයි.  දෙමළ ජාතික සංධානය දෙමළ ජනතාවගේ සියළු අවශ්‍යතා නියෝජනය කරන්නා වූ පක්ෂයක් යැයි කිව නොහැක. ඒ අර්ථයෙන්ම විග්නේශ්වරන් ද දෙමළ ජනතාවගේ සියළු අවශ්‍යතා නියෝජනය කරන්නෙක් යැයි කිව නොහැක. එහෙත් දෙමළ ජනතාවගේ ධනේශ්වර නියෝජනය සම්බන්ධයෙන් එම පක්ෂයට මෙන්ම විග්නේශ්වරන්ට ද ඇත්තේ ප්‍රබල ශක්තියකි.  ඒ ශක්තිය තුළින් ගොඩ නංවන පළාත් සභා පාලනයක් මගින් දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් දකුණේ ජනතාව සමග යම් සම්මුතියකට ඒ මේ හැකියාවක් පවතී.

එළාර පරාජය කළ දුටුගැමුණු එළාරගේ සොහොන් කොත බැද යන එන්නන් ඊට ගෞරව කළ යුතු යැයි නීති පැන වූයේ රාජ්‍යය ගොඩ නැගීමේ පදනමක් වශයෙන් විය හැකිය. එහෙත් එමගින් පරාජිතයාට ඇතිවන ශක්තිය වැරදි ලෙස භාවිතා කිරීමට යොදා ගනීවි යැයි දුටු ගැමුණු තුළ බියක් හෝ සැකයක් හෝ ඇති වූ බවට සාක්ෂි නොමැත. ජයග්‍රාහකයා පෞර්ෂයෙන් ද ජයග්‍රාහී බව විශද කරමින් ඒ පියවර තැබූවේ ජන කණ්ඩායම් අතර එකමුතු බව වෙනුවෙනි. මළවුන් වෙනුවෙන් ඉටී පන්දමක් හෝ දැල්වීම මළවුන්ට එතිහාසික වටීනාකමක් ලැබෙතැයි සිතන මෙවන් යුගයක පරාජිතයාගේ ඉච්ඡා භංගත්වය අහෝසි කිරීමට පියවර ගනිතැයි සිතීම විහිළුවකි. පශ්චාත් යුද අවධියකින් පසුව ජයග්‍රාහකයා කළ යුත්තේ පරාජිතයාට ඔච්චම් කරමින් අශිෂ්ඨ තෘප්තියක් ලැබීම නම් ඒ පදනමින් රාජ්‍යය ගොඩ නැංවීම කළ නොහැක්කකි. ලෝක ඉතිහාසය අපට උගන්වා ඇත්තේ පරාජිතයාගේ ඉච්ඡාභංගත්වය නැති කරමින් රාජ්‍යය ගොඩනැංවීමේ එතිහාසික කාර්යයට පදනම දැමිය යුත්තේ ජයග්‍රාහකයාම බවය.

අවි දැරූ දෙමළ අරගලය අහෝසි කළ පසුව පරාජිතයා බියට පත් කරමින් ජන මිශ්‍රණය ඇති කිරීම තුළින් සමානතාව හා සහජීවනය ඇති කිරීම කළ හැකි යැයි දකුණේ ජනයා තුළ මතවාදයක් ලෙස ස්ථාපිත කිරීම ජයග්‍රාහකයාගේ පෞර්ෂය පිළිබද ගැටළුවකි. දෙමළ සමාජයෙන් පොළා පනින්නා වූ කිසියම්ම හෝ නායකත්ව අංකුරයක් අර්ථ දක්වන්නේ ඊළාම් රාජ්‍යයේ ආරම්භය ලෙස නම් එය ද එවැනි පෞර්ෂ ගැටළුවකි.  පශ්චාත් යුද සමයකින් පසුව රාජ්‍ය ගොඩ නැවීමේ ලා සිංහල සමාජයට නායකත්වය දෙන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් කිසි කෙනෙක් දෙමළ සමාජය දෙස සංවර්ධනාත්මක හෝ ධනාත්මක හෝ කෝනයකින් නොබලන්නේ ඒ ගැන නොදන්නා නිසා නොව එවැනි සංස්කෘතික හැකියාවක් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදය තුළ නොමැති බැවිනි. ඒ අර්ථයෙන් මේ පෞර්ෂ ගැටළුව සිංහල සමාජයේ හෙජමොනික වී ඇති මතවාදයට ආවේනික හා අනන්‍ය වූවක් මිස තාක්ෂණික කරුණක් නොවේ.

සිංහල ජාතිකවාදය මුළු එකක් ලෙස ගොඩ නැංවි ඇත්තේ රාජ්‍ය බලය කේන්ද්‍ර කර ගනිමිනි. එය ධනපති පන්තියේ ග්‍රහණයෙන් ඔබ්බේ වර්ධනය වූ මතවාදයක් වන නිසාත් ස්වාභාවයෙන්ම රාජ්‍යය හා අනන්‍ය වන නිසාත් ඊට පුළුල් දැක්මක් නොමැත. අනිත් කරුණ වන්නේ 1978 ආර්ථික ප්‍රති සංස්කරණ වලින් පසුව රාජ්‍යයේ ගාමක බලය ඩැහැගෙන ඇත්තේ ලූම්පන් ධනය ඇති පන්තිය විසින් නිසා සම්භාව්‍ය ලෙස සිංහල ජාතිකවාදය ගොඩනැංවෙන්නේ ද නැත. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාව තුළ ජාතිකවාදය යැයි මතවාදයක් හෝ ඒ අරඹයා සමාජ ක්‍රියාකාරීත්වයක් හෝ දක්නට නොමැත. රාජ්‍යයේ පාලනය තුළ කටයුතු කරන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදයක් හා ඒ අරඹයා කටයුතු කරන සමාජ ක්‍රියාකාරීත්වයක් පමණක් ලාංකික සමාජය තුළ පවතී. ඒ අනුව එක් අතකින් සමාජ ක්‍රියාකාරීත්වය ලූම්පන් ධනය ඇති සමාජ කොටස මගින් පෝෂණය වන නිසාත් මතවාදය රාජ්‍යයේ අවශ්‍යතාව අනුව හසුරුවන්නක් නිසාත් ජාතීන් අතර සහයෝගය හෝ සහජීවනය වර්ධනය කරන්නා වූ   සමාජ වැඩපිළිවෙලක් සිංහල ජයග්‍රාහකයා තුළින් ඉදිරිපත් වේ යැයි බලාපොරුත්තු වීම අර්ථ විරහිත කරුණකි.

විවිධ නම් වලින් හතු පිපෙන්නාක් මෙන් බිහි වී ඇති හා බිහි වෙමින් පවතින වාර්ගික අගතීන්ගෙන් යුත් කල්ලි කණ්ඩායම් සිංහල හෝ සිංහල බෞද්ධ හෝ ජනතාවගේ සැබෑ වුවමනා එපාකම් ගැන සංවේදී වන බවක් දකින්නට නොවීම එම කල්ලි කණ්ඩායම් වල සැබෑ පදනම් හෙළි කරයි. රටේ බහුතර ජනතාව වන්නේ සිංහලයන් නිසාම ධනේශ්වර පීඩනයට සංඛ්‍යාත්මකව වැඩියෙන් ගොදුරු වන්නේ ද සිංහලයන්ම ය. ඒ අනුව මැද පෙරදිග රටවල් වල වහල් මෙහෙවර කිරීමේ දී හෝ මෙරට ඇගළුම් කම්හල් තුළ වහල් මෙහෙවර කිරීමේ දී හෝ සූරාකෑමට ලක්වන සිංහලයන් ගැන හෝ ඔවුහු සංවේදී නොවෙති. එසේම එතිහාසික අසාධාරණයකට ලක් වී ඈත පානම් පත්තුවේ දිවි ගෙවන සිංහලයන්ගේ ඉඩම් නැවතත් උදුරා ගනිමින් දෙවැනි වතාවටත් ඔවුන්ට කරන්නා වූ අගතිය ගැන මේ සිංහල හිතකාමීහු කතා කරන්නේ නැත. ඒ අර්ථයෙන් මේ කල්ලි කණ්ඩායම් සිංහලයන්ගේ වුවද සැබෑ අයිතීන් වෙනුවෙන් හඩ නගන හෝ ක්‍රියා කරන සමාජ ක්‍රියාකාරීත්වයක නොමැත. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කල්ලි කණ්ඩායම් සිංහලකම ගැන කතා කරන්නේ සිංහල ලූම්පන් සමාජ කොටසේ ආර්ථික ශක්තියට හානියක් වනතාක් පමණි. ඒ අනුව මේ කල්ලි කණ්ඩායම් සැබෑ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයක කොටස්කරුවන් වන බවක් කිව නොහැකිය.

උතුරේ වර්ධනය වන දේශපාලන තත්ත්වයට සංවර්ධනාත්මකව මුහුණ දීමට දකුණේ සමාජය අපොහොසත්වීම නැවතත් වටයකින් සමාජයේ කඩා වැටීමට හේතුවක් වීම වැළැක්විය නොහැකි කරුණකි. ඒ අනුව උතුරේ පැන නගින සමාජ දේශපාලන ව්‍යාපාරයන් දෙස ධනාත්මකව බැලීමට දෘෂ්ඨියක් ගොඩ නගා ගැනීම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් හමුවේ පමණක් නොව සමස්ත සිංහල සමාජය හමුවේ අද පවතින තීරණාත්මක අභියෝගයකි.

Back to Home page