Colombo Telegraph

වෙනම ගමනක් එකම අරගලයක්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් ඉදිරි පස ද හිරියාල ආසනය යැයි සදහන් විශාල ස්ටිකරයක් පසුපස ද ඇළවූ ලංගම බස් රථ තොගයක් එකක් පිටු පස එකක් කොළඹ දෙසට වේගයෙන් ධාවනය වන්නේ ගාල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගී වන්නට බව ස්ථිරය. මේ බස් රථ වල යන සෙනග ගාල්ලට යන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශක්තිමත් කරන්නට ය. එහෙත් තමන් කැටුව යන වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික විසින් පහර දී ඒ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් අතර මග නතර වූ බව බස් රථවල යන කිසිවෙක් නොසිතන්නට ඇති බවට නොඅනුමානය.

බල දේශපාලනය හා උපයෝගීතාව

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද කිසිවකු උනන්දු නොවූ අතර පහර කෑමට ලක්වූ අලුත් පරපුරේ කලාකරුවන් පමණක් උනන්දු වනවා දක්නට ලැබුණි. පහරදුන් පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකට හිරියාල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකකම ලබාදීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමතමින් අලුත් පරපුරේ කලාකරුවකු වන ජගත් මනුවර්ණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අපූරු ප්‍රශ්නයක් විමසා තිබුණි. ඔහු විමසා තිබුනේ තමන්ගෙ දේශපාලන ව්‍යාපාරයට සහයෝගය ලබාදෙන්න ආව කලාකරුවන් පිරිසකට පහරදුන්න පුද්ගලයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකකමක් ලබාදීමට තරම් ජුගුප්සාවක් ඇතිවුනේ නැද්ද යන්නයි.

වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකට හිරියාල ආසන සංවිධායකකම ලබාදීම “කන්න දුන්න අත හපා කෑමක්” ලෙස අලුත් පරපුර දකින්නට ඇතත් ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඒ සම්බන්ධයෙන් ඒ තරම් උනන්දු වූ බවක් දක්නට නොලැබුණි. තත්ත්වය එසේ තිබිය දී කමල් ඉන්දික කැටුව ගාල්ලේ මැයි රැලියට යන කුරුණෑගල සෙනග ට ඒ ගැන වගේ වගක් නොතිබීම අරුමයක් විය නොහැක. එලෙසම මේ සිද්ධිය සිවිල් සමාජයේ කිහිපදෙනෙකුට සංවේදී ප්‍රශ්නයක් වූවාට සමස්ත සමාජයට එය නොතකා හරින්නට තරම් සරළ කරුණක් වුණි.

ඡායාරූපය​ – කමල් ඉන්දික එ දවස සමඟ ​රාජපක්ෂ

අලුත් පරපුරේ කලාකරුවන්ට පහරදුන් කමල් ඉන්දිකට හිරියාල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ලබාදීම පමණක් නොව හිටපු මන්ත්‍රී සචින් ද වාස් ගුණවර්ධන ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු වලට ලං කර ගැනීම ද කුප්‍රකට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ගාල්ලේ මැයි දිනයට සම්බන්ධ කර ගැනීම ද ඇතුළු කටයුතු රැසක් සදාචාරය අනුව සලකමින් සමහරකු දැක්කේ අයහපත් දේශපාලන ක්‍රියාකාරීත්වයක් ලෙසිනි. ඒ නිසාදෝ ජනවාරී අටවැනිදා මහජන බලාපොරුත්තු පාවාදෙන්නට තරම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලැජ්ජාවක් නැද්දැයි අහන්නට තරම් ඔවුහු ආවේගශීලී වූහ. එහෙත් දේශපාලනයේ සදාචාරය ප්‍රශ්න කිරීම තාර්කික නොවන බව නොඅනුමානය.

ගාමිණී ලොකුගේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකුව සිටිය දී එවකට විපක්ෂ මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්ෂගේ උද්ඝෝෂණයකට පහර දුන්නේ ය. එහෙත් පසුකලෙක ඒ ගාමිණී ලොකුගේ තමන්ගේ පක්ෂයට ගෙන කැබිනට් ඇමතිකමක් ද ලබාදුන්නේ ය. කලෙක පටන් කැස්බෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වූ චන්දන කස්ත්‍රිආරච්චි තනතුරෙන් ඉවත් කර ඒ තනතුර ගාමිණී ලොකුගේට දුන්නේ ය. පසුව 2010 මහා මැතිවරණයේ දී පිළියන්දලට පැමිණ “දිනවිය යුතු එක් අයකු” ලෙස ඉගි කරමින් ඔහුට වාසි සහගත ලෙස මහින්ද රාජපක්ෂ හැසිරුනේය. වරක් ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් මහින්ද රාජපක්ෂ කීවේ “මට පහරදුන් අය ද මගේ කැබිනට් මණ්ඩලයට” ගන්නට තරම් තමන් නම්‍යශීලී වූ බව ය. එහෙත් පහරදුන් අය පමණක් නොව ජනාධිපතිවරයා ලෙස තමන්ව ඝාතනය කරන්නට එල්ටීටීඊය හා කුමන්ත්‍රණය කළැයි අපරාධ නඩුවක දී චෝදනා ලත් යූඑන්පී මන්ත්‍රීවරයකු ද පසුව තමන්ගේ කැබිනට් මණ්ඩලයට ගැනීමට තරම් මහින්ද රාජපක්ෂ නම්‍යශීලී විය.

බොහෝදෙනෙක් මේ දේශපාලනය විවේචනය කරන්නේ සදාචාරමය පදනමකිනි. එහෙත් බල දේශපාලන ක්‍රීඩාවේ දී සදාචාරමය වටිනාකම් වලට වලංගුතාවක් නොපවතී. ඒවාට පවතින්නේ උපයෝගීතාවාදී වටිනාකම් පමණි. නමුත් සදාචාරයමය දේශපාලනය සුදුසු නොවේ යැයි එමගින් අදහස් නොවේ. එහෙත් තාර්කිකය වන්නේ බල දේශපාලනය තුළ සදාචාරමය වටිනාකම් අවලංගුවීම පමණි.

ඒ අනුව තමන්ට පහරදුන් ගාමිණී ලොකුගේව මහින්ද රාජපක්ෂ විසින් තම පක්ෂයට ගෙන ඔහුට කැබිනට් ඇමතිකම් පවා ලබාදීමත් තම මැතිවරණ ව්‍යාපාරයේ දී කලාකරුවන්ට පහරදුන් කමල් ඉන්දිකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආසන සංවිධායක ධූරයක් ලබාදීමත් සදාචාරමය ලෙස පූර්වාදර්ශී දේශපාලන ක්‍රියා නොවේ. එහෙත් ඒ දේශපාලන ක්‍රියාවන් දෙකෙහිම අපේක්ෂාව වන්නේ බලය තහවුරු කර ගැනීම නිසා එහිදී උපයෝගීතාව අතිශයෙන් වැදගත් වේ. බලය ලබා ගැනීම හා ලබා ගත් බලය තහවුරු කර ගැනීම යන අවස්ථා දෙකේදීම බල දේශපාලනය තුළ වැදගත් වන්නේ පරමාදර්ශී ක්‍රියාවන් නොව උපයෝගීතාවාදී ක්‍රියාවන් ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගාමිණී ලොකුගේව කැබිනට් මණ්ඩලයට බදවා ගැනීමත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවිධ චෝදනාලාභීන්ට තනතුරු ප්‍රදානය කිරීමත් ලැබූ ජනවරමට අනුව විකාරරූපී ය. එහෙත් බලදේශපාලනය තුළ අනෙකා පරදවා තමන්ගේ බලය ස්ථාපිත කර ගැනීමේ දී ඒ දේශපාලන ක්‍රියාවන් අවශ්‍යමය. මේ යුගය තුළ ඡන්දදායකයන්ට මුහුණදීමට සිදුවන උභතෝකෝටිකය වන්නේ මේ පරස්පරයට මුහුණදීමයි.

ධනපති පක්ෂ ස්වෝත්තමවාදය අත හරී

අනූව දශකය ආරම්භය පමණ වනතෙක් සිංහල සමාජයේ ස්වෝත්තමවාදී සමාජ තීරුව කැටිවී සිටියේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක වටා බව නොරහසකි. පසුව ලංකා රාජ්‍යයේ ඒකාග්‍රතාව වෙනුවෙන් තවදුරටත් ස්වෝත්තමවාදී අදහස් දැරීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම අත්හැරීමට එම පක්ෂ දෙකට සිදුවුණි. ජාතීන් අතර සංධානයක් ඇතිකර, රාජ්‍යයේ පැවැත්මට එල්ලව තිබූ අභියෝගය ජය ගැනීම සදහා උපක්‍රමශීලීවීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් මුල් පියවර තැබුවේ ගාමිණී දිසානායකයි. ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුල් පියවර තැබුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එක්සත් රාජ්‍යයක් තුළ බලය බෙදා හරින ලෙස රාජ්‍ය ප්‍රතිසංවිධානය විය යුතු බවට මේ නායකයන් දෙපළම මුල් වරට කීවේ 1994 මහාමැතිවරණ වේදිකාවේ දී ය. එහෙත් ඒ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ මහජන සංවාදයක් 1992 වර්ෂයේ පටන්ම රට තුළ ඇතිවී තිබුන බව සත්‍යයකි.

රාජ්‍යයේ ඒකාග්‍රතාව සම්බන්ධයෙන් විය යුතු පුළුල් ප්‍රතිසංස්කරණ ඒකීයේ රාජ්‍යයේ බලය අහෝසි කරන්නක් වෙන නිසා ප්‍රධාන ධනපති පක්ෂ දෙක වටා ගොනුව සිටි ස්වෝත්තමවාදීන්ට තවදුරටත් “හවුලේ දීග කෑම ” කළ නොහැක්කක් බව තේරුම් යන්නට ඇත. ඒ නිසාදෝ ඔවුහු ප්‍රධාන පක්ෂ වලින් ඉවත් වෙමින් ස්වාධීන ලෙස ස්ථාන ගත වීමට දැරුවේ ලොකු උනන්දුවකි. ඊට සමාන්තරව ප්‍රධාන පක්ෂ දෙක කටයුතු කරමින් සිටියේ රාජ්‍යය ප්‍රතිසංස්කරණය කර ගනිමින් රාජ්‍යයේ ස්වභාවය යළි සකස්කර ගැනීම සදහා වූ බලවත් ප්‍රගතිශීලී උත්සාහයක ය.

රාජ්‍ය ප්‍රතිසංස්කරණය කර ගනිමින් එහි ස්වභාවය යළි සකස් කර ගැනීමේ වෑයමට අභ්‍යන්තර මෙන්ම බාහිර සාධක නිසා බරපතල හානි සිදුවුණි. එක් අතකින් ප්‍රධාන ධනපති පක්ෂ දෙකට ආවේනික බල අරගලය නිසා තම ඉලක්කයන් කරා යෑමට එම පක්ෂයන්ට අපහසු වුණි. එසේම ලාංකික සමාජයේ වාමාංශික දේශපාලනය ඇද වැටී තිබූ දුක්ඛිත තත්ත්වය තුළ සමාජ ප්‍රතිසංස්කරණයේ දී විප්ලවීය තීරණයන් ගෙන තිබූ ධනපති පක්ෂ දෙකට දේශපාලන හයියක්වීමට වාමාංශයට නොහැකි වුණි. එසේම ශ්‍රී ලංකා රාජ්‍යයට අභියෝග කළ දෙමළ දේශපාලනයේ නොමේරුම්කම ද සමාජයට ඇති කළේ බරපතල හානියකි. එහෙත් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලනයට මේ සම්බන්ධයෙන් කිසිවක් කරන්නට තරම් ශක්තියක් නොතිබීම සතුටටට කරුණකි.
සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පරාජය කිරීමට ශ්‍රීලනිපය අසමත්?

සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ක්‍රමිකව යළි නැගී සිටිමින් අහිමි වූ බලය තහවුරු කර ගන්නට දැරූ වෑයම සඵල වූයේ 2005 ජනාධිපතිවරණයත් සමගය. විවිධ උපාය උපක්‍රම යොදමින් කල් යල් බලමින් සිටි ස්වෝත්තමවාදී අපේක්ෂාවන්ට 2005 ජනාධිපතිවරණය ලබාදුන්නේ මහගු අවස්ථාවකි. එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය හා අත්වැල් අල්ලා ගැනීම තම වර්ධනය සදහා ශක්තිමත් අඩිතාලමක් විය. ජනාධිපතිවරණයෙන් පසුව රාජ්‍යයේ දෘෂ්ඨිය බවට පත්වූයේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අපේක්ෂාවන් ය. ස්වෝත්තමවාදය රාජ්‍යයේ දෘෂ්ඨිය බවට පත්වීමත් සමග ඊට ලැබුණ අපිරිමිත ශක්තිය නිසා සමාජයේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්තවීමටත්, තම ශක්තිය පැතිරවීමටත් ඊට හැකි වුණි.

2015 ජනවාරී 08 වනදා පැවැති ජනාධිපතිවරණය මගින් එක්තරා ප්‍රමාණයකට, සමාජ ගතව තිබූ ස්වෝත්තමවාදය ප්‍රතික්ශේප කෙරුණි. එහෙත් එය මුළුමනින්ම අවලංගු කිරීමට පසුව පැවැති මහා මැතිවරණයෙන් පසුව ද නොහැකි වුණි. සම්මුතික ආණ්ඩුවට එරෙහිව එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායම පදනම් වන්නේම ස්වෝත්තමවාදී ස්ථාවරයක සිටිමිනි. සාමාන්‍යයෙන් වාර්ගික හැගීම් වලට සමාජයේ ඕනෑම ස්ථරයක ලොකු ඉල්ලුමක් පවතී. ඒ ඉල්ලුම ඉතා පහසුවෙන් ජනනය කළ හැකිය. විමතිකයන් ඉන්නේ ඒ පහසුවෙන් ජනනය කළ හැකි හැගීම් බර දේශපාලනය අවුලවමිනි. මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන මේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රටට කරන්නේ බරපතල හානියකි. එහෙත් එය පරාජය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභ්‍යන්තරිකව තවමත් හැකිවී නොමැත.

මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වූයේ හුදු පුද්ගලික අපේක්ෂකයකු ලෙස නොවේ. ඔහු නියෝජනය කළ මතවාදය ද මුළු එකක් ලෙස පරාජය වුණි. එසේම මහා මැතිවරණයේ දී නැවත බලමුළු ගැන්වී යළි තරග කළ ද ලැබූ ඡන්ද ප්‍රමාණය ලක්ෂ විස්සකින් අඩුවුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය සමාජය විසින් ශක්තිමත්ව පරාජය කළ ද ඒ සදහා පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයේ පවතින නොහැකියාව කනගාටුදායක ය. අද ශ්‍රීලනිපයට නායකත්වය ලබාදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම අතිශයෙන් වැදගත් වන්නේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට එරෙහි අරගලය ඔහු විසින් ශක්තිමත් කරන නිසාය. පක්ෂ අභ්‍යන්තරික අරගලය නිසා ජනාධිපතිවරයා විසින් පරාජයට පත් කිරීමට නියමිත ඇත්තේ සමාජ පසුගාමී දේශපාලන මතයක් නියෝජනය කරන කණ්ඩායමකි. ඒ කණ්ඩායම ශ්‍රීලනිපය තුළ පරාජයවීම සමාජයට ලබාදෙන්නේ ලොකු වටිනාකමකි.

බල අරගලය තුළ ජනාධිපති මෙත්‍රී

මේ මොහොත තුළ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය නියෝජනය කරන්නේ ශ්‍රීලනිපයේ මහින්ද පිළයි. මහින්ද පිළේ දේශපාලනය පක්ෂ අභ්‍යන්තරිකව පරාජය කළ නොහැකි නම් තවදුරටත් ශ්‍රීලනිපය සමාජයට දායාද කරන්නේ අගතියක් පමණි. ඒ නිසා ශ්‍රීලනිපය පැවැත්ම රැක ගනිමින් ස්වෝත්තමවාදය පරාජය කරනවා ද නො එසේනම් ස්වෝත්තමවාදය රැක ගනිමින් ශ්‍රීලනිපය අහෝසි කරනවා ද යන්න එම පක්ෂ නායකයන් තෝරා ගත යුතු විකල්පයන් ය. මේ වනවිට දක්නට ඇත්තේ ස්වෝත්තමවාදය රැක ගැනීම සදහා පක්ෂය බිළිදෙන තත්ත්වයක් බව පෙනෙන්නට තිබේ.

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පංච මහා බලවේගය නියෝජනය කරන්නේ නැත. එසේම පංච මහා බලවේගයට වත්මන් දේශපාලනය තුළ වලංගුතාවක් ද නොපවතී. 1978 ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට පසුව ශ්‍රීලනිපය ද සුපුරුදු මැද මාවතෙන් ඉවත් වුණි. ශ්‍රීලනිපය 1978 දී බිහිවූ පාදඩ ආර්ථික බලවේගයන් හා එකට එක් කළේ මහින්ද චින්තනය විසිනි. ඒ නිසා විශාල ලෙස කළු සල්ලි උපදවන ව්‍යාපාරිකයන් රැසක් මහින්ද චින්තනය හා එක්වුණි. ඒ ව්‍යාපාරිකයෝ තමන්ට පැවැත්ම ඇති දේශපාලනය රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය තරම් මුදල් වීසී කිරීමට නොපැකිළෙති. ජනාධිපතිවරණයෙන් ජය ගත් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වුවද මෙත්‍රීපාල සිරිසේනට නායකත්වය රැක ගැනීම සදහා අරගල කිරීමට සිදුවී ඇත්තේ මේ කළු සල්ලි උපදවන ව්‍යාපාරිකයන් සමග ය. ශ්‍රීලනිපයේ මැද මාවත් දේශපාලනය තුළ මෙත්‍රීපාල පක්ෂ නායකත්වය ශක්තිමත්ව තහවුරු කර ගත්ත ද ඔහුට අභියෝගය එල්ල වන්නේ කළු සල්ලි උපදවන ව්‍යාපාරිකයන්ගෙනි. ඒ ව්‍යාපාරිකයන්ට අවශ්‍යව ඇත්තේ මහින්ද රාජපක්ෂ මිස මෛත්‍රීපාල සිරිසේන නොවේ. ඒ නිසා ජනාධිපතිවරයාට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ ද ශක්තිමත් ප්‍රතිවාදියෙකුට වන අතර බල අරගලය ද අහිංසක එකක් නොවේ. ඒ තත්ත්වය තුළ සදාචාරවාදී නොවන දේශපාලන තීන්දු තීරණ නොවන්නට ජනාධිපතිවරයාට බල අරගලයට මුහුණදිය නොහැක. මේ බල අරගලයෙන් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පරාජය වන්නේ නම් එයම සමාජය ලබන දේශපාලන වාසියකි.

දේශපාලනය කිරීම සදහා ජනාධිපතිවරයාට පවතින විකල්පයන් කිහිපයක් අතුරින් ඔහු තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගනිමින් පක්ෂය ද රැක ගනිමින් රටට නායකත්වය දීමයි. එම ක්‍රමය ජනවාරී 8 දා සමාජ අපේක්ෂාවන්ට අභියෝගයක් එල්ල කළ ද ඉදිරියට යන්නට සිදුව ඇත්තේ ජනාධිපතිවරයාගේ දේශපාලනය සමගයි. සමාජයට ජනාධිපතිවරයාගේ දේශපාලනය පරස්පරයක් විය හැකි වුවද ඒ දේශපාලන යථාර්තයට මුහුණදීමට හා අලුත් උපාය උපක්‍රම අනුව දේශපාලනය තීරණය කිරීමට සමාජය ශූක්ෂම විය යුතුය. රංගන ශිල්පී ජගත් මනුවර්ණ ජනාධිපතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ ඒ සංදර්භය තුළ ය.

බල දේශපාලන අරගලය තුළ දේශපාලන සදාචාරය බලාපොරුත්තුවීම අවලංගු තර්කයකි. එහෙත් ඒ වූ නිසා පවතින සදචාරවාදී නොවන දේශපාලනය වලංගු වන්නේ ද නැත. සමාජයට නව ආරක දේශපාලනයක් තෝරා ගැනීම සදහා වූ අරගලයේ දී සදාචාරවාදී නොවූවත් පවතින දේශපාලනයේ සාපේක්ෂ වාසියක් පවතින අතර ඒ වාසිය තෝරා බේරා ගෙන කටයුතු කිරීම සමාජයට වාසිසහගත ය. අලුත් පරපුර මෙන්ම විකල්ප දේශපාලනයක් සොයන අනෙක් පරපුර ද තම දේශපාලනය කේන්ද්‍රගත කළ යුත්තේ එතැනය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකකට කැඩී යෑම අනිවාර්ය කරුණකි. එය එසේ වූ පමණින් එක්සත් ජාතික පක්ෂයට මහ ලොකු වාසියක් අත්වන්නේ ද නැත. එහෙත් පවතින දේශපාලන තත්ත්වය තුළ ශ්‍රීලනිපය කඩා වැටී ඒ රික්තය පිරවීමට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාවක් ලැබීම නොවැළැක්විය හැකිය. එහෙත් ගැටළුව වන්නේ නිර්මාණශීලීව දකිමින් සමාජ අරගලයට දායක වන්නට තරම් ශක්තියක් හැකියාවක් ධනපති පක්ෂ දෙක තුළම නොවීමයි. ඒ නිසා ශ්‍රීලනිපය බේදභින්නවීමේ යම් තුලනයක් ඇතිවිය හැකි ය. වඩාත්ම ඛේදජනක කරුණ වන්නේ ඉදිරියේ දී ධ්‍රැවීකරණය වන දේශපාලන තත්ත්වයන්ට මුහුණ දෙන්නට ජනතා විමුක්ති පෙරමුණ තුළ පවා සූදානමක් නොතිබීමයි.

පක්ෂ බිදීම හා නව යුගයක අරුණලු

අභියෝගයට ලක්වන වත්මන් දේශපාලනය හමුවේ පවතින දේශපාලන සැකස්ම අහෝසි වී අලුත් දේශපාලන සැකස්මක් ඇතිවීම අනිවාර්ය කරුණකි. ඒ අලුත් බිම අලුත් දේශපාලන සංවාදයක් සදහා මහෝපකාරී වේ. සම්මුතික ආණ්ඩුව කෙලෙස හැසිරුන ද මහින්ද චින්තනය පරාජය කිරීම සමාජය ලැබූ ජයග්‍රහණයකි. ඒ නිසා ඉදිරියේ වෙනස් වන දේශපාලනයට මුහුණදීම ද ජනවාරී අටවැනිදා සමාජ බලවේගයන්හි අරගලයේ දිගුවක් මිස වෙනම අරගලයක් නොවේ.

Back to Home page