Colombo Telegraph

උතුරේ ගොඩනැංවෙන අලුත් බල කේන්ද්‍රය, රාජ්‍යයේ දැක්ම හා දේශපාලන විශදත්වය

කේ.ජී.පිලිප් ශාන්ත – 

කේ.ජී.පිලිප් ශාන්ත

දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් හෙම්බත්ව සිටි  සමාජයට නැවුම් බලාපොරුත්තු ඇති කළ තීරාණාත්මක මැතිවරණය වූයේ 1994 දකුණු පළාත් සභා මැතිවරණය යි. ඒ වන විටත් සුළුතර ජයග්‍රහණයකින් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති වී සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක ග්‍රාම්‍ය ජාතිකවාදී ප්‍රතිපත්ති වලින් ඔබ්බට ගිය මතයක් දරමින් ඉදිරියට එමින් සිටියා ය. විවෘත ආර්ථික ක්‍රමයට මානුෂික මුහුණුවරක් දෙමින් එය ප්‍රති සංවිධානය කළ යුතු බව ඇගේ අදහස වුණි.

තීරණාත්මක දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු ජනහමුව පිටිගල නගරයේ පැවත්වීමට සූදානම් කර තිබූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක එම රැළියේ ප්‍රධාන චරිතය වුණි. අද තරම් වර්ගවාදීව ධ්‍රැවීකරණය වී නොතිබුණත් සම්ප්‍රදායික සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සමාජය හමුවේ ඒ වනවිටත් ඈ පවසා තිබුණේ ෆෙඩරල් ආකාරයේ බලය බෙදා හැරීමකට ගොස් ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතු බවය. එහෙත් ඒ වේදිකාව අසල ඩෙනිමකින් හා ටී ෂර්ටයකින් සැරසුන බෑගයක් කරේ එල්ලා ගත් පාඨලී චම්පික රණවක ද දැවටෙමින් සිටියේ එදා දහවල් ජනතා මිතුරන්ට එල්ල වූ යූ.එන්.පී. මර්දනය ද නොතකමිනි. එපමණක් නොවේ.

පොදු පෙරමුණු පාලනයක් යටතේ ගොඩනංවන්නට යන ධනේශ්වර ව්‍යුහය ගැන කිංස්ලි ටී වික්‍රමරත්න සරලව, එහෙත් විචක්ෂණශීලීව පැහැදිලි කරද්දී අමුම අමු ග්‍රාම්‍ය සමාජවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් එදා දකුණේ මහ ඇමති අපේක්ෂක අමරසිරි දොඩංගොඩ වචන එකතු කළේ එදා නාබර යව්වනයන් වූ අපේ රුධිරය රත් කරවමිනි. කොකා කෝලා වැනි නිෂ්පාදන අළෙවි කරන බහුජාතික සමාගම් වලට පොඩු පෙරමුණු පළාත් සභා පාලනයක් යටතේ බෙන්තර ගගෙන් මෙහා ඉඩක් නොමැති බව හේ ප්‍රකාශ කළේ රැස්ව සිටි අති විශාල ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේ ය.

අමරසිරි දොඩන්ගොඩගේ ප්‍රකාශය ජනිත කළේ දේශපාලන අර්බූදයකි. විවෘත ආර්ථික ක්‍රමයක් තුළ බහුජාතික සමාගම් වලටත් ඒවායේ නිෂ්පාදනයන්ටත් බාධා එල්ල කළ නොහැකි බව යූ.එන්.පිය වහාම කීය. එහෙත් දොඩන්ගොඩගේ හැගීම්බර දේශපාලනය ගැන අපට වගේ වගක් නොවූනත් චන්ද්‍රිකා බණ්ඩාරනායක නම් රහසෙන් හෝ සිනා සෙන්නට ඇතිවා නො අනුමානය. එහෙත් කිසිවෙක් ප්‍රශ්න නොකළ කාරණාවක් ද දොඩන්ගොඩගේ ප්‍රකාශය තුළ අඩංගු වුණි.

පළාත් සභා වලට ප්‍රඥප්ති අනුමත කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට අනුව ය. එය ඉක්මවා යෑම හෝ උල්ලංඝනය කිරීම හෝ සදහා පළාත් සභාවකට කිසිම බලයක් නොමැත. ඒ අනුව බහු ජාතික සමාගම් බෙන්තර ගගෙන් මෙහාට ඒම වැළැක්වීමට දකුණු පළාත් සභාවට බලයක් ඇතැයි සිතීම හාස්‍යජනක ය. ඒ අනුව කොකා කෝලා බෙන්තර ගගෙන් මෙහාට ඒම වැළැක්වීමට අමරසිරි දොඩන්ගොඩට කිසිම බලයක් නොතිබුණි.

නැති නීතියක් ක්‍රියාත්මක කිරීමට යෑම හා තමගේ සිතැගි පරිදි මධ්‍යම රජයේ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධව යෑම තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උත්සාහයක් විය හැක. ඒ අර්ථයෙන් අමරසිරි දොඩන්ගොඩ එදා උත්සාහ කළේ වෙනම රාජ්‍යයක් දකුණේ පිහිටුවීමට යැයි අර්ථ දැක්වීමට ද හැකිය. එය බෙදුම්වාදී සිහිනයක් වන්නට ද පුළුවන. එහෙත් එදා දකුණු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක අමරසිරි දොඩන්ගොඩගේ  මෙම “බෙදුම්වාදී සිහිනය”ට කිසිවෙක් විරුද්ධ නොවුණි. බලය ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටි පොදු ජන එක්සත් පෙරමුණ දොඩංගොඩගේ ප්‍රකාශයට සංවේදී නොවුණි. ඒ  තබා පාලක එක්සත් ජාතික පක්ෂය හෝ බෙදුම්වාදී අර්ථයෙන් නිල අල්ලා පොදු පෙරමුණට පහර නොදුනි. නමුත් දෙමළ ජාතික සංධානය උතුරු පළාත් සභා මැතිවරණය සදහා ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනය ඒ ඒ අතට හරවමින් ඊට විවිධ අර්ථකතන දීමට සිංහල බෞද්ධ දකුණ මේ මොහොතේ උත්සාහ දරමින් සිටීම සැලකිල්ලට ගත යුත්තේ මෙවැනි සංධර්භයක් තුළ ය.

අමරසිරි දොඩන්ගොඩගේ මැතිවරණ කතා දැනුවත් සමාජයට සිනහ උපද වුවද දේශපාලනඥයකු වන ඔහුට ඡන්ද ලබා ගැනීම සදහා එවැනි ආකර්ශනීය විහිළු අවශ්‍ය වන්නට ඇත. බහු ජාතික සමාගම් පාලනය කිරීමට ඔහුට අවශ්‍ය වන්නට ඇතත් නීතිය ඉක්මවා යෑමට පළාත් සභාවෙන් ලැබෙන ජනවරමට නොහැකි බව නීතිඥයකු වූ ඔහු නොදැන සිටින්නට වූවා නොහැකිය. එහෙත් උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක විග්නෙශ්වරන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ අර්ථයෙන් කියවීමට සිංහල බෞද්ධ දකුණට හුරු නැත. ඒ නිසා දෙමළ ජාතික සංධානය බෙදුම්වාදයක් ගැන විශ්වාසය තබතැයි ද ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් අරගලයක යෙදී සිටින්නේ යැයි ද තරගයට මෙන් ප්‍රකාශ නිකුත් කරති.

ඌව පළාත් සභා මැතිවරණයේ දී එහි ප්‍රධාන ඇමති අපේක්ෂක ධූරයට දකුණේ වැසියකු වන තම ඥාති පුත්‍රයා ඉදිරිපත් කළ ජනාධිපතිවරයාම උතුරට ගොස් දෙමළ ජාතික සංධානයෙන් විමසන්නේ එහි ප්‍රධාන ඇමති අපේක්ෂක ධූරයට එක උගතෙක් බුද්ධිමතෙක් උතුරෙන් සොයා ගැනීමට නොහැකි වූවා ද යන්නයි.  මැතිවරණ උන්මාදයෙන් පෙලෙන බලය සදහාම කටයුතු කරන එවැනි වටපිටාවක දෙමළ ජාතික සංධානය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් මේ මැතිවරණයේ දී කටයුතු නොකරන්නේ යැයි තර්ක කිරීම අර්ථ විරහිත ය. එහෙත් සිහල, දෙමළ හා අනෙකුත් මනුෂ්‍ය රුධිරය හා මාංශ වලින් තෙත් කළ මහත් විනාශයක් කළ අමානුෂික යුද්ධයකින් පසුව ද උතුර සම්බන්ධයෙන් සිංහල බෞද්ධ දකුණේ ප්‍රවේශය මේ නම් එය අතිවිශාල විනාශයක පෙර නිමිති බව සටහන් කර තැබිය යුතුය.

දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් වියුක්තව සාකච්ඡා කළ නොහැකි වුවද අවශ්‍ය නම් ඊට තිබූ බාධාව 2009 මැයි මාසයේ දී රාජ්‍යයේ හමුදා විසින් ඉවත් කර තිබීම දකුණේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ට ඉස්පාසුවකි. ඒ අනුව දැනුවත් සමාජයට පවා සාකච්ඡාවේ දී විශාල මානසික පීඩාවක් ගෙන දුන් එල්.ටී.ටී.ඊය නොමැති වටපිටාවක දෙමළ ජාතික අරගලයට තමන්ගේ වූ විසදුම අත ඇතිව කතා කිරීමට දකුණේ ස්වෝත්තමවාදීන්ට හැකි විය යුතුය. එහෙත් අස්වාමික කාන්තාවකගේ දරාගත නොහැකි දුක ප්‍රකාශ කරන නහයෙන් ඇඩිල්ලකට එහා ගිය විසදුමක් උතුර සම්බන්ධයෙන් දකුණේ කිසිම දේශපාලන පක්ෂයකට නොවීම කනගාටුදායක ය. එසේම ඒ නොහැකියාව උතුරේ උප කේන්ද්‍ර ගත වන බල ව්‍යුහය ප්‍රශ්න කිරීමට ඇති සුජාතභාවය අවලංගු කරමින් පවතින බව ඔවුන්ට තේරුම් ගත නොහැක.

දකුණේ දේශපාලන පෙළ ගැස්වීම් සම්බන්ධයෙන් රාජ්‍යයේ මතය සකස් වී ඇත්තේ “දේශපාලන හැගීම් හා ව්‍යුහගත වීම් දිය කර හැරීම හා අනතුරුව මර්දනය කිරීම” මතය. උතුර සම්බන්ධයෙන් පශ්චාත් නිදහසින් පසුව දිගටම අනුගමනය කළේ ද එවැන්නි මතයකි. ඒ සදහා සිංහල බෞද්ධ දකුණේ මතවාදී සහාය රාජ්‍යයට ලැබුණි. එහෙත් මේ අසාර්ථක විසදුම කොළඹ පාලනය අර්බූදයට යවන්නක් බව  සිංහල බෞද්ධ දකුණට තවමත් තේරුම් ගැනීමට නොහැකි වීම ඇති කරන්නේ විනාශයකි.

පෙන්නුම් කරන සාක්ෂි හා ධ්‍රැවීකරණය වී ඇති ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් අනුව වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් නොකරන බව ඔප්පු කර පෙන්වීම මේ මැතිවරණයේ දී දෙමළ ජාතික සංධානය හමුවේ ඇති බරපතල අභියෝගයයි. වෙනම රාජ්‍යයකින් මෙහා දෙමළ විමුක්ති අරගලයට විසදුම් සොයා ගැනීම ප්‍රතික්ශේප කළ වේළුපිල්ලේ ප්‍රභාකරන් දේශපාලනික අවලංගු කළ ද එය තේරුම් ගැනීමට තරම් ඔහු සාර්ථක නොවුණි. ඒ නිසා භෞතිකව ද ඔහුව අවලංගු කර දැමූ පසුව ජාත්‍යන්තරය විසින් දෙමළ ජාතික සංධානය මත වගකීම පවරා දේවල් පෙළගස්වමින් සිටින බව තේරුම් ගත හැකිය.

එල්.ටී.ටී.ඊය සමූල ඝාතනය කිරීමට ඇමෙරිකන් එක්සත් ජනපදයෙන් විශාල සහායක් ලැබුණ බව ආරක්ෂක ලේකවරයාම පවසන විට ඒ ඇමෙරිකා එක්සත් ජනපදය පෙරලා මේ රට තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට දෙමළ ජාතික සංධානයට උදව් කරතියි පැවසීම මේ මොහොත තුළ වලංගු දේශපාලන කරුණක් නොවේ. පෙළ ගැස්වී ඇති කරුණු කාරණා අනුව ජාත්‍යන්තරයට අවශ්‍යව ඇත්තේ දෙමළ ජාතික සංධානය මගින් දෙමළ ජනතාවට පිළිගත හැකි යම් දේශපාලන බලයක් ලබා ගැනීම සදහා කටයුතු කර “කාර්මික සාමයකින් යුත්” ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීමයි. ඒ සදහා ඉන්දියාව මැදිහත්ව කටයුතු කරන බව දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධූරයට සම්මාන ලත් විනිශ්චයකරුවකු වන සී.වී. විග්නේශ්වරන් ගෙන ඒමට කටයුතු කිරීමෙන්ම පෙනේ.

දෙමළ ස්වෝත්තමවාදී මාවෙයි සේනාධිරාජාව වලක්වමින් ලිබරල් හා පුළුල් දේශපාලනික දැක්මකින් යුත් විග්නේශ්වරන් ප්‍රධාන ඇමති ධූර අපේක්ෂක කමට තෝරා ගත්තේ ස්ථාපිත කිරීමට යන දෙමළ පාලනයට වඩා වැඩි සුජාතභාවයක් ලබාදීමට යි. ඇති කරන්නට යන ඒ පාලනය වඩා පුළුල් කර ගැනීමත් ඒ තුළින් වඩා පුළුල් බල ව්‍යුහයක් ඇති කර එය ශක්තිමත් කර ගැනීමත් දෙමළ ජාතික සංධානයේ ශක්තිය මත රදා පවතී. මෙහිදී වැදගත් වන්නේ මෙකී අරමුණ සදහා ජාත්‍යන්තරයේ ඇති අවශ්‍යතාව හා ඒ සදහා භෞතිකය සකස් කර ගන්නා අන්දමයි.

වරක් නිදහස් දින උත්සවයක් අමතමින් ජනාධිපතිවරා ප්‍රකාශ කළේ අඩු වශයෙන් ඩග්ලස් දේවානන්ද , ආනන්ද සංගරී වැනි දෙමළ නායකයන්ට හෝ  පිළිගත හැකි විසදුමක් ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත් රෙජීමයේ හෙජමොනිය වූ ස්වෝත්තමවාදී දේශපාලන බලය විසින් යම් තරමක හෝ පදනමක් සහිත දෙමළ නායකයකු වශයෙන් රෙජීමය තුළ ඉතුරු කර ඇත්තේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පමණි. උතුරේ සෙසු සියළු දෙමළ නායකයෝ මෙම මැතිවරණයේ දී දෙමළ ජාතික සංධානයට සහාය දෙති. එය ස්වයං සිද්ධව සිදුවූවක් නොවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවා දනී.

කෙසේ හෝ උතුරු පළාත් සභා මැතිවරණය තුළින් නිර්මාණය වන්නේ කොළඹ රාජ්‍යයට එක්තරා දුරකට අවනත නොවන බල කේන්ද්‍රයකි. ඒ බල වපසරිය තුළ පිළිගත් සිවිල් බලයක් සහිත විග්නේශ්වරන් ප්‍රධාන ඇමතිවරයා ලෙස තහවුරු කර ගන්නේ රාජතාන්ත්‍රික බවකි. ඒ තුළින් දෙමළ ජනතාවගේ අරගලයට යම් දේශපාලන සුජාතභාවයක් ද නැවුම් ශක්තියක් ද ලබා ගැනීමට දෙමළ ජාතික සංධානය උත්සාහ ගැනීම තේරුම් ගත යුත්තකි. මුළු එකක් ලෙස දෙමළ ජාතික විමුක්ති අරගලයට එල්ල වූ ත්‍රස්තවාදී චෝදනාවෙන් ගැලවී ප්‍රජාතාන්ත්‍රවාදී බලවේගයක් ලෙස ඉස්මතු වීමට ජාත්‍යන්තරයේ සහාය මත දරන වෑයම ජයග්‍රහණයක් ලැබීම අනිවාර්ය බව පැහැදිලි කරුණකි.

මේ ජයග්‍රහණය කොළඹ රාජ්‍යයට අභියෝගයක් වීම නොවැළක්විය හැක්කකි. “ත්‍රස්තවාදය”, “ත්‍රස්තවාදය” යැයි කියමින් දෙමළ ජාතික අරගලයේ සියළු හැඩතල විනාශ කළ කොළඹ රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රික හැඩයක් ගත් දෙමළ අරගලයට මුහුණ දීමට වෙහෙසක් දැරීමට සිදුවන කාර්යයකි. තවදුරටත් ඊට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට වලංගුභාවයක් ඇත්තේ සිංහල දකුණ තුළ පමණි. ඒ කිසිම ලේබල්කරණයකට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් ඇති නොවීම රාජ්‍යය මුහුණ දෙන බැරෑරුම් ගැටළුවකි.

උතුරේ දෙමළ විමුක්ති අරගලය සම්බන්ධයෙන් දකුණේ කොළඹ රාජ්‍යයේ ආස්ථානය සුසර කර ගැනීමේ වගකීම ඇත්තේ පාලන රෙජීමයට හා එහි ගාමක බලවේගය වන්නා වූ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සමාජ තීරුවටයි. තවදුරටත් “ත්‍රස්තවාදයක්” ක්‍රියාත්මක නොවන දෙමළ අරගලය දෙස වෙනස් කෝනයකින් බැලීමට තරම් හැකියාව වර්ධනය කර ගන්නා තරමට තමන් මුහුණ දෙන අර්බූදය ශක්තිමත් නොවන බව මෙම ප්‍රපංචයන් විසින් තේරුම් ගත යුතු ය. තවදුරටත් මිලිටරිමය තෝරා ගැනීම් වලට යෑම රාජ්‍යයේ පැවැත්ම පිළිබද මූලික රීතීන්ට පවා බලපෑම් එල්ල කරන වටපිටාවක් ඇති කරන ලක්ෂණ ගම්‍ය වෙමින් තිබේ. ඒ නිසා වෙනස් වන උතුරේ බල කේන්ද්‍රයට සාපේක්ෂව රෙජීමයේ හා ස්වෝත්තමවාදී සමාජ කොටස් වල මනෝභාවයන්ගේ වෙනසකින් තොරව ධනාත්මක ප්‍රවේශයක් ලබා ගැනීම උකහට ය.

දීර්ඝ කාලයක් තිස්සේ හුරු වූ දේශපාලන ක්‍රමවේදයන්ගෙන් වෙනස් වීම අපහසු කරුණක් බව උතුරේ මැතිවරණය සම්බන්ධයෙන් දකුණේ හැසිරීම අධ්‍යයනය කරන්නෙකුට පහසුවෙන්ම ඒත්තු යන්නකි.උතුරේ වර්ධනය වන දේශපාලන තත්ත්වයට සංවර්ධනාත්මකව මුහුණ දීමට දකුණේ සමාජය අපොහොසත්වීම නැවතත් වටයකින් සමාජයේ කඩා වැටීමට හේතුවක් වීම වැළැක්විය නොහැකි කරුණකි. ඒ අනුව උතුරේ පැන නගින සමාජ දේශපාලන ව්‍යාපාරයන් දෙස ධනාත්මකව බැලීමට දෘෂ්ඨියක් ගොඩ නගා ගැනීම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් හමුවේ පමණක් නොව සමස්ත සිංහල සමාජය හමුවේ අද පවතින තීරණාත්මක අභියෝගයකි. ඒ සදහා වෙහෙස වී අධ්‍යයන කළ යුතුය. එසේම ප්‍රායෝගිකව උතුර සම්බන්ධයෙන් දකුණේ ප්‍රවේශය වෙනස් බව ඔප්පු කළ යුතුය. නො එසේනම් රාජ්‍යයක් ලෙස මෙන්ම ජාතියක් ලෙසත් බොහෝ පසුතැවීමකට මුහුණ දෙන්නට සීදුවීම වැළැක්විය නොහැක.

*කේ.ජී.පිලිප් ශාන්ත – Shan.info1978@gmail.com

Back to Home page