Colombo Telegraph

බඩගෝස්තරවාදී සටන් හා මහජන අරගල

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

සම්මුතිවාදී ආණ්ඩුවේ මංගල අයවැය බොහෝ සමාජ කොටස් වල විවේචනයටත් විරෝධයටත් හේතු වී තිබේ. විශේෂයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ හා මූල්‍ය ආයතනවල සේවකයන්ගේ විරෝධය ප්‍රබල වී ඇත. රාජ්‍ය කේන්ද්‍රගත සුභසාධනවාදී ප්‍රතිපත්තියෙන් ආණ්ඩුව ඉවත්වීමේ තැතක් මෙම අයවැයෙන් දිස්වන නිසා ඊට උපරිම ශක්තියෙන් විරෝධය දැක්විය යුතුය යන්න රාජ්‍ය සේවකයන්ගේ අදහසයි. එහෙත් රටේ ගෙවුම් ශේෂ හිගය අවම කිරීමට ප්‍රධාන දායකත්වය දරන ක්ෂේත්‍රයන් තුනක ශ්‍රමිකයන්ට මේ අයවැයෙන් කිසිම සහනයක් දක්වා නැතත් ඔවුන් ඒ සදහා අරගල නොකිරීම කැපී පෙනෙන ලක්ෂණයකි.

විදේශ විනිමය ඉපයීම සම්බන්ධයෙන් ඉහළම දායකත්වයක් දරන්නේ විදේශ ගත ශ්‍රමිකයන්ය. 2014 සංඛ්‍යා ලේඛණයන්ට අනුව එලෙස විදේශ ගතව ඇති මුළු ප්‍රමාණය 300,413කි. ඔවුන් මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 6,407කි. ඉන් ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562ක් මැද පෙරදිග වෙසෙන ශ්‍රමිකයන්ගෙන් වන අතර එය මුළු විදේශ ගත ශ්‍රමිකයන්ගේ ඉපයීම් වලින් 55.6%කි. ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ ගත ශ්‍රමිකයන් පමණක් දරන දායකත්වය එසේ වුවද ඔවුන්ගේ සමාජ ආරක්ෂාව වෙනුවෙන් කිසිම ආණ්ඩුවකට ශක්තිමත් ප්‍රතිපත්තියක් නොතිබුණි. සම්මුතිගත ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ හෝ මෙම අයවැය තුළ හෝ ඒ සම්බන්ධයෙන් වූ විශේෂ මැදිහත්වීමක් දක්නට නොමැත.

එහෙත් ඔවුන් හෝ ඊළගට වැඩියෙන්ම මෙරටට ඩොලර් උපයා දී ගෙවුම් ශේෂ හිගය අවම කිරීමට දායකත්වයක් දරන ඇගළුම් හා වතු ක්ෂේත්‍රයන්ගේ ශ්‍රමිකයන් හෝ කිසිම උදඝෝෂණයක්, විරෝධය දැක්වීමක් මගින් තමන්ට සහන ඉල්ලමින් මහජන මතයක් ඇති කරන්නට තැත් කරන බවක් දක්නට නැත. එසේවුවත් ඒ අඩුව පුරවන්නටත් එක්කදෝ රාජ්‍ය සේවකයන් හා මූල්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් ඉල්ලීම් දිනා ගැනීම සදහා බරපතල වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වී සිටී. රාජ්‍ය සේවකයන් හෝ මූල්‍ය අංශයේ සේවකයන් හෝ මේ ආර්ථිකයෙන් හුදකලා වූ පිරිසක් නොවේ. සියළු කොටස් වල එකතුවකින් හා මිශ්‍රණයකින් සමස්ත ආර්ථිකය ගොඩනැංවේ. එහෙත් ආර්ථිකයේ පදනම වන ක්ෂේත්‍රයන්ට නැති සහනයක් හෝ ප්‍රතිලාභයක් හෝ සේවා ඉටු කරන ක්ෂේත්‍රයන්ට ලබා ගැනීමට වර්ජන තර්ජන එල්ල කිරීම ආචාර ධාර්මික නොවේ.

රාජ්‍ය සේවය මෙන්ම මූල්‍ය අංශය ද පැරණි ගතානුගතික රාමූන් තුළ කොටු වී ඇති ක්ෂේත්‍රයන් දෙකකි. මේ ක්ෂේත්‍රයන් දෙකෙහිම ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු අතර එසේ නොවන්නේ නම් සමාජ ප්‍රගමනයේ ලා එම ක්ෂේත්‍රයන් බරවා කකුල් ලෙස හැසිරීම නොවැළැක්විය හැක්කකි. මූල්‍ය ක්ෂේත්‍රයේ වැඩි දායකත්වයක් දරන බැංකු සේවකයන් පවසන්නේ මේ අයවැයෙන් බැංකු සම්බන්ධයෙන් කර ඇති යෝජනා රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වෑයමක පළමු පියවර බවයි.

නව ලිබරල් ආර්ථික ක්‍රමයට ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය අංශයේ බැංකු දිය කර හැරීමේ උත්සාහයක් නැතයි එක එල්ලේ කිව නොහැක. විදේශ මූල්‍ය ආයතන ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති උපදෙස් විග්‍රහ කර බැලූ විට ව්‍යාපාරික කටයුතු වලින් රාජ්‍ය අංශය ඉවත්විය යුතුය යන්න ප්‍රබල උපදෙසකි. ඒ අනුව මූල්‍ය අංශයෙන් ද රාජ්‍ය ඉවත්විය යුතුය. නමුත් ප්‍රවීන දේශපාලකයකු වූ ලලිත් ඇතුලත්මුදලිගේ මතය වූයේ නියාමනය සදහා හෝ රාජ්‍ය අංශයේ මූල්‍ය ආයතන ක්‍රියාත්මක විය යුතු බවය. ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා රාජ්‍ය බැංකු එලෙසම රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ තබා ගත යුතු බව ඔහුගේ අදහස වුණි.

රාජ්‍ය බැංකු දියකර එහි මූල්‍ය බලය පෞද්ගලික අංශය නතු කරගැනීමට උත්සාහයක් ආණ්ඩුව තුළ ඇතැයි චෝදනා එල්ල කළ පමණින් බැංකු ක්ෂේත්‍රයේ පවතින ඝෘණාත්මක සාධක සාධාරණීකරණය කළ නොහැක. බැංකු හෝ වේවා වෙනයම් ක්ෂේත්‍රයක් හෝ වේවා ඒවා රාජ්‍ය අංශයේ පැවතිය යුත්තේ වඩා සුරක්ෂිත හා ආරක්ෂාකාරී මහජන සේවයක් සහතික කිරීම වෙනුවෙන්ය. එහෙත් මෙම ක්ෂේත්‍රයන් රාජ්‍ය අංශය තුළ තිබියදීත් මහජනතාවට සුරක්ෂිත හා ආරක්ෂාකාරී සේවාවක් ඉටු නොවන්නේ නම් බැංකු සේවකයන් මවා පාන “ආණ්ඩුවේ බිල්ලා” යටපත් වී දැනටමත් සිටින “බැංකු බිල්ලා” මතුවීම වැළැක්විය නොහැක.

බැංකු මුදල් වලින් ව්‍යාපාර කරන්නේ මහජනතාවගේ ඉතුරුම් යොදා ගනිමිනි. ඒ ඉතුරුම් විවිධ අංශයන්වල ආයෝජනය කර මුදල් ඉපයීම බැංකු වල මූල්‍යමය ව්‍යාපාරයයි. බැංකු පිහිටුවීමේ පරමාර්ථයන් පවා ඉක්මවා යමින් මේ අන්දමේ මූල්‍ය ව්‍යාපාරයන්ට බැංකු යොමු වී ඇත. ඒ අනුව ලංකාවේ බැංකුවල ප්‍රධාන ව්‍යාපාරික කාර්යයන් වී ඇත්තේ රජයට ණයදීම, ලීසිං හා උකස් කටයුතු වල යෙදීමයි. මේ නිසා ලංකාවේ බැංකුවල ලාභ රේට්ටුව අතිවිශාල ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත් බැංකු මේ සියල්ල කරන්නේ මහජන ඉතුරුම් වලිනි. නමුත් ඒ ඉතුරුම් වලට බැංකු ලබාදෙන පොළිය සොච්චමක්වීම කිසිවෙක් බරපතල ලෙස අවධානයට ලක් කර නොමැත.

ලෝකයේ වෙනස් රටවල ඉතුරුම් පොළිය හා ණය පොළිය ඉතා සුළු වෙනසක තබා ගැනීම බැංකු තම වගකීම කරගෙන තිබේ. එහෙත් අපේ රටේ ඉතුරුම් පොළිය හා ණය පොළිය අතර වෙනස අතිමහත් ය. ඒ සම්බන්ධයෙන් 2003 තරම් ඈතක දී මහබැංකුවේ වගකිවයුතු නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු ප්‍රකාශ කළේ ණය ලබාදීම අනතුරුදායක ව්‍යාපාරයක් බැවින් ඒ අනතුර අවම කරගැනීම සදහා අධික ණය පොළියක් අයකර ගැනීමට සිදුව ඇති බවයි. එහෙත් බැංකු ලබන අධික ලාභ රේට්ටුව අනුව එවැනි අනතුරක් ණයදීම සම්බන්ධයෙන් පැන නගිනවාදැයි විමසූ කළ ඔහු නිරුත්තර වුණි. එහෙත් අවාසනාව වන්නේ ඉන් වසර දොළහක් ඉක්ම ගොස් ඇතැත් මේ නොබෝදා රූපවාහිනී වැඩසටහනක දී ඒ කතාවම ඔහු නැවත පුනරුචාරණය කිරීමයි.

බැංකු තම පාරිභෝගිකයන්ට සේවා සැපයීමේ දී අයකරන්නට පුලුවන් සියළු සේවා සදහා අය කරයි. මුද්දර බද්ද අනුව බදු අයකළ යුත්තේ රුපියල් 25,000ක් හෝ ඉන් ඉහළ ගනුදෙනුවක් සදහා ය. එහෙත් ඒ.ටී.එම්. කාර්ඩ් එක භාවිතා කරමින් රුපියල් සියයක් ආපසු ගත්තක් රුපියල් පහක් සේවා ගාස්තු වශයෙන් අය කිරීමට තරම් ලංකාවේ බැංකු නිර් ලජ්ජිත වී ඇත. මේ සේවා ගාස්තුව අය කිරීමෙන් වළකින බව වෙළෙද උපක්‍රමයක් ලෙස පවා යොදා ගනිමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව කාලයක් මුදල් ආපසු ගැනීමේ දී රුපියල් පහක මුදලක් අය කිරීම නතර කර තිබුන ද රාජ්‍ය බැංකුවක් වන එය පවා මෙම මුදල අය කරයි. තම ගිණුම තුළ ගනුදෙනුවක් සිදුවන විට කෙටි පණිවුඩ සේවයකින් එය දැනුම්දීම සමහර බැංකු සිදු කරයි. එය ආරම්භයේ දී අදාළ මෘදුකාංගයට වැය බරක් දැරිය යුතු පහසුකමකි. එහෙත් ඊට පවා වාර්ෂිකව රුපියල් 250ක් අය කරමින් පාරිභෝගිකයන් සූරා කෑම අපුල උපදවන කරුණකි.

බැංකු තමන් සපයන සෑම සේවාවකටම මුදලක් අය කිරීම වෙළෙද පළ අනුව සාධාරණ විය හැකිය. එහෙත් එම තර්කයට අනුව පාරිභෝගික ඉතුරුම් සම්බන්ධයෙන් කටයුතු නොකිරීම මෙහි ඇති ගැටළුවයි. බැංකු මුළුමනින්ම යැපෙන්නේ පාරිභෝගික ඉතුරුම් මත නම් ඒ ඉතුරුම් වලට සොච්චම් පොළියක් ලබාදීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැක. ඒ ඉතුරුම් මුදල් වලට ද වෙළෙද පළ තර්කය අදාළ විය යුතුය. එහෙත් බැංකු ඒ සම්බන්ධයෙන් නිහඩ වන්නේ විශාල ලාභ රේට්ටුවක් ලබමිනි. ඒ ලාභ රේට්ටුව අනුව සමහර සේවා අය කිරීමකින් තොරව සැපයීමට කිසිම බාධාවක් පැන නගින්නේ නැත. එවැනි සමහර සේවා සදහා වැය වී ඇත්තේ ආරම්භක පිරිවැය පමණි. සමහර ඒවා සුළු පිරියැයකින් නඩත්තු කරන සේවාවන් ය. එවැනි සේවාවන් පවා අයකරමින් තම පාරිභෝගිකයන්ට සපයන්නේ විශාල ලාභ රේට්ටු ලබන බැංකුය. එසේ වී ඇත්තේ මහජනතාව සූරාකෑම සම්බන්ධයෙන් ඔවුන් ද පසුබට නොවන නිසාය.

බැංකු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට ආණ්ඩුව ගමන් කර ඇත්තේ සත්භාවයෙන්දැයි සහතික දිය නොහැක. සමහර විට බැංකු වෘත්තීය සමිති පවසන පරිදි රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ මුල් පියවර ලෙස විය හැකිය. ඒ අනුව උපරිම ලාභ රේට්ටුවක් තහවුරු කර ගැනීමට මූල්‍ය අංශයේ අවස්ථා පෞද්ගලික අංශයට ලබාදීමේ අරමුණෙන් විය හැකිය. එහෙත් එපමණකින් බැංකු ක්ෂේත්‍රය තුළ දැනටමත් සිදුවන මහජන පීඩාකාරී කටයුතු සාධාරණිකරණය කළ නොහැක.

ලංකාවේ බැංකු රජයට ණය දී විශාල ලාභයක් ඉපයීම සම්බන්ධයෙන් මේ අයවැයෙන් පවා සාකච්ඡාවට බදුන් කර නොමැත. අයවැය මගින් කර ඇත්තේ බැංකුවල ප්‍රධාන කටයුත්ත වන රජයට ණයදීම ගැන කතා නොකර සෙස්ස ගැන කතා කිරීමයි. එහෙත් උකස් ගැනීම හා ලීසිං පහසුකම් සැපයීම යන සේවාවන් වල මහජන මුදල් හිර කිරීම මෙන්ම රජයට ණයදීම ද මූල්‍ය ක්ෂේත්‍රයේ අයහපත් හැසිරීමකි. බැංකු තම ප්‍රධාන කාර්ය කර ගත යුත්තේ අයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට දායකවීම වුවද එය මගහැර “ආකර්ශනීය සේවාවන්වල” මුදල් වැය කර ලාභ ඉපයීම ප්‍රශස්ත කටයුත්තක් නොවේ. එහෙත් දිගින් දිගටම බැංකු තම ප්‍රධාන ව්‍යාපාරය ලෙස තෝරා ගන්නේ මහජන හිතකාමී නොවන කටයුතුවල යෙදීම නම් එහෙව් බැංකුවල සන්තකය රාජ්‍ය අංශය ද පෞද්ගලික අංශය ද යන්න වැදගත් කරුණක් නොවේ.

බැංකු ලීසිං හා උකස් පහසුකම් වල යෙදීම වැළැක්වීමේ යෝජනා මේ අයවැය මගින් ඉදිරිපත් කර තිබේ. එම සේවා බැංකු වලට කොතෙක් ලාභදායී ව්‍යාපාරයන් වුවද මහජන සේවය සදහා ආයෝජනයන්හි යෙදිය යුතු මුදල් වෙනත් ක්ෂේත්‍රයන්හි යෙදවීමෙන් වැළැක්වීම ප්‍රගතිශීලී ක්‍රියාවකි. තම පැවැත්ම සදහා ලභාදායි ව්‍යාපාරයන් බැංකුවලට අවශ්‍ය වුවද එම ව්‍යාපාරයන් තම එකම ඉලක්කය වීම මහජන සේවය අතින් යහපත් නොවේ. එක්කෝ මෙම ව්‍යාපාර කරමින්ම ආයෝජන අවස්ථාවන්ට වැඩි දායකත්වයක් දැරිය යුතුය, නො එසේනම් ලීසිං හා උකස් සේවාවන් සදහා වෙනත් යෝජනා ඉදිරිපත් කරමින් බැංකුවල අරමුණු වෙනුවෙන් කැපවිය යුතුය. එහෙත් අවාසනාව වන්නේ බැංකු වෘත්තීය සමිති වියුක්තව ආණ්ඩුවේ යෝජනාවන්ට එරෙහි වීමයි. එමගින් වෘත්තීය සමිති කරන්නේ බැංකු විසින් පවත්වාගෙන යන මූල්‍ය ක්ෂේත්‍රයේ ආධිපත්‍ය තහවුරු කිරීමයි.

බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති වලට තමන්ගේ කාර්යභාරය ගැන සංවිධිත වැඩපිළිවෙලක් ඇතැයි පෙනෙන්නට නැත. ඔවුන්ට බැංකුවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් නොමැත. ඔවුන්ගේ එකම අරමුණ වන්නේ අරගලය බඩගෝස්තරවාදයට පටුකර ගැනීම පමණි. රාජ්‍ය බැංකුවල සේවකයන්ට ඇත්තේ කුමන මිලක් ගෙවා හෝ බැංකු රාජ්‍ය සන්තකයේ තබා ගෙන තම රැකියා සුරක්ෂිතතාව ඇති කර ගැනීමයි. ප්‍රශ්නය වන්නේ එවැනි පටු බඩගෝස්තරවාදී අරගලයක් සමස්ත සමාජයේ අරගලයක් බවට පත් කිරීමට ඔවුන් දරන උත්සාහයයි.

තමන් ප්‍රගතිශිලීන් යැයි කියා ගන්නා බොහෝ වාමාංශික කල්ලි කණ්ඩායම් ද “සටන කොතැනද එතැන අපි” න්‍යායට අනුව ආණ්ඩුවට එරෙහිව පැන නගින ඕනෑම සටනකින් ස්වයං මෝහණයකට පත්වන බවක් දකින්නට ලැබේ. වෘත්තීය සමිති වලට මෙන්ම මේ දේශපාලන ව්‍යාපාරයන්ට ද තමන් අරගල කරන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රශස්ත වැඩපිළිවෙලක් ඇති බවක් දකින්නට නැත. අරගලය හුදු ආණ්ඩු විරෝධයකට ලඝු කරනවා මිස තමන් පෙනී සිටින ව්‍යාපාරයන් තුළ ද “බිල්ලා” සිටින බව ඔවුන් වැරදිලාවත් තේරුම් නොගනී. රාජ්‍ය සේවය තුළ මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රය තුළ ද පවතින විනාශකාරී ලක්ෂණ සම්බන්ධයෙන් මේ දේශපාලන කොටස් වලට ද ස්වයං විවේචනයක් නොවීම කනගාටුවට කරුණකි. පුද්ගල චරිත ලෙස සැලකුවත් දේශපාලන ව්‍යාපාරයන් ලෙස සැලකුවත් මෙම දේශපාලන කොටස් සමාජයේ පැන නගින කුමන ආණ්ඩු විරෝධයකින් හෝ මෝහනයට පත් වී වින්දනයක් ලබන අයුරු දකින්නට ලැබේ. එය ඔවුන්ගේ පසුගාමීභාවයේ ලක්ෂණයක් මිස අනෙකක් නොවේ.

ලාංකික සමාජය බරපතල ප්‍රතිසංස්කරණයන්ට ලක්විය යුතුව තිබේ. ඒ සමාජ ප්‍රතිසංස්කරණයන් සම්බන්ධ ස්වයං විවේචනයක් නොමැතිව “ආණ්ඩුවේ බිල්ලා” ඉස්මතු කිරීම ලාභ දේශපාලන හැසිරීමකි. එය සනීප දේශපාලන අත්දැකීමක් විය හැකිවුවත් සමාජයේ විය යුතු ප්‍රතිසංස්කරණයන් සමාජ අරගලයක් දක්වා පුළුල් කිරීමේ දී බරපතල සීමාකම් ඇති කරන්නකි. එනිසා රාජ්‍ය අංශයේ හා බැංකු ක්ෂේත්‍රයේ ඵලදායිතාව සම්බන්ධ ස්වයං විවේචනයක් හෝ ඇගයීමක් හෝ නොමැතිව කරන හුදු බඩගොස්තරවාදී සටන් මහජන අරගල බවට පත් කළ නොහැක. එසේම ඒ සටන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රගතිශිලී කාර්යයක් වන්නේ ද නැත.

shan.info1978@gmail.com

Back to Home page