Colombo Telegraph

ප්‍රාග්ධන මාධ්‍ය පෙනී ඉන්නේ කා වෙනුවෙන් ද?

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සමහර මාධ්‍ය සම්බන්ධයෙන් දක්වන අදහස් නිසා නිදහස් මාධ්‍ය සම්බන්ධයෙන් යළි කතාබහක් ඇතිවී තිබේ. ඔහුගේ ප්‍රවේශය සම්බන්ධයෙන් සමහර පාර්ශ්වයන් සදහන් කරන්නේ එය මාධ්‍යය සම්බන්ධයෙන් රජයේ මර්දනයේ එක් පියවරක් බවයි. මාධ්‍යයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන අදහස් කෙසේ වුවත් ඒ අදහස් දැක්වීම නිසා මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

අගමැතිවරයාගේ විවේචනය කුමක් වුවද ඒ විවේචනයට ලක්වන මාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙන් එක් අතකින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ කොටස් සතුටට පත්විය යුතුය. ඒ මාධ්‍ය හැසිරීම් කෙතරම් ළාමක වුවත් කෙතරම් තාර්කික නොවූවත් එම මාධ්‍යයන් එසේ හැසිරෙන්නේ ජනවාරී අටවැනිදායින් පසුව ඇතිවූ දේශපාලන ප්‍රතිසංස්කරණයන් නිසා බව අප තේරුම් ගත යුතුය.

රාජපක්ෂ පාලනය තුළ කුමන අර්ථයෙන් හෝ මෙවැනි හැසිරීමකට මාධ්‍යයන්ට ඉඩක් තිබුනේ නැත. එසේම ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කරන සම්ප්‍රදායක් විද්‍යුත් මාධ්‍යයන්ට නොතිබුණි. “පර්මිට් එක ගත්තේ සර්ගෙ උදව්වෙන් නිසා සර්ට සලකන්න යුතුකමක්” එදා විද්‍යුත් මාධ්‍යයන්ට පැවරී තිබුණි. රාජපක්ෂ රෙජීමයේ ප්‍රවෘත්ති බලධාරීන් විද්‍යුත් මාධ්‍යය හැසිරවීම සදහා ඇගිල්ල දිගුකර පෙන්වූයේ මාධ්‍යය ආයතනය සදහා රජයේ බලපත්‍රය ලබාගත යුතුවීමත් ඒ ආයතනයන්හි මාධ්‍යවේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනුම්පත ලබාගත යුතුවීමත් ය. ඒ සුහද තර්ජනයෙන් කීකරු වූ විද්‍යුත් මාධ්‍ය ආයතන හිමියෝ රාජපක්ෂ රෙජීමයේ මස් රාත්තල ඉල්ලන්නට තරම් එඩිතර නොවූහ.

මේ වනවිට වෙනස් වී ඇති සමාජ දේශපාලන හැඩතල අනුව ජනමාධ්‍යය යැයි හදුන්වන ආයතන ව්‍යුහයක් හෝ ජනමාධ්‍යවේදීන් යැයි හදුන්වන විද්වත් පිරිසක් හෝ නොපවතී. ඒ අනුව මාධ්‍ය ආයතනයන් බිහිවී ඇත්තේ ලාභය උපරිම කරගැනීමේ අරමුණින් මිස සමාජ ප්‍රතිසංස්කරණයන් ඉලක්ක කර ගනිමින් නොවේ. විසිවැනි සියවස මුල දී ඩී ආර් විජේවර්ධන ලේක් හවුස් ආයතනය ආරම්භ කරන්නට ඇත්තේ ද සමාජ ප්‍රතිසංකරණයන් ඉලක්ක කර ගනිමින් නොවන්නට ඇත. එහෙත් ලාභය උපයන වෙළෙදපළ අවශ්‍යතාව සාර්ථක කර ගැනීමට නම් සමාජ ප්‍රතිසංස්කරණයන්ට ඉඩකඩ ලබාදෙන ජනමාධ්‍ය හැසිරීමකට යන්නට ඔහුට බල කෙරිණි. එවැනි වෙළෙද පළ බලපෑමක් පවා අද යුගයේ මාධ්‍ය හිමියන්ට පීඩනයක් එල්ල කරන්නේ නැත. ඒ නිසා වර්තමාන මාධ්‍ය හිමියන්ට සමාජ වගකීමක් ඇතැයි පැවසිය නොහැක.

මේ තත්ත්වය තුළ මුඛරි කටක් ඇති නිවේදකයන් තම වෙළෙද පළ අරමුණු සදහා යොදවා ගැනීම ලාභය සොයා වෙළෙද පළෙහි තරග කරන මාධ්‍ය ව්‍යාපාරිකයන්ට අපහසු කටයුත්තක් නොවේ. මාධ්‍ය ව්‍යාපාරිකයන් වෙළෙද පළ අනුව ඉලක්කයන් තීරණය කරන විට ඒ ආයතනයහි නිවේදකයන් හුළං හමන අත තේරුම් ගනිමින් තම ව්‍යාපාරික ස්වාමියාට අනුගතව කටයුතු කිරීම ස්වභාවික ය. ඒ අනුව මාධ්‍ය ආයතන තුළ අනෝන්‍ය ගනුදෙනුවක් පවතින අතර මාධ්‍යයන් හා ආණ්ඩුව අතර ද පවතින්නේ වෙළෙදපළ ගනුදෙනුවකි. ඒ අර්ථයෙන් වර්තමානයේ පවතින මාධ්‍ය “ප්‍රාග්ධන මාධ්‍යයන්” වන අතර ඒවායේ සේවය කරන්නේ “ප්‍රාග්ධනමාධ්‍යවේදීන්” ය.

අග්‍රාමාත්‍යවරයා විසින් “කැට කැබලිති ගැසීමෙන් දරුණු වූ සර්පයා” නිසා පැන නැගුණ සමාජ කතිකාවතට අදහසක් ඉදිරිපත් කරන ප්‍රවීන මාධ්‍යවේදී නිහාල් පීරිස් තම ෆේස්බුක් ගිණුමට අදහසක් එක් කරමින් මෙසේ පවසයි.

“මාධ්‍ය නිදහසට කනේ පහරවල් ගසන්නට ලැබෙන සෑම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගන්නට සාමාන්‍යයෙන් පාලකයන් කැමතිය. මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් තම නිදහස භුක්ති විදින අතරම, මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන අතරම එම නිදහසට සමහර ‘සීමාවන්’ ඇති බවද තේරුම් ගත යුතුය යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එවැනි ප‍්‍රධාන සීමාවක් වන්නේ පාලකයන් මාධ්‍ය නිදහසට කනේ පහරවල් ගසන එක සාධාරණ යයි සමාජයේ වැඩි පිරිසක්ද සිතන තැනට සිය භාවිතාව පත් නොකර තබා ගැනීමේ සීමාවය. ජනමාධ්‍ය සහ මාධ්‍යකරුවන් යනු කනේ පහර දිය යුතු පිරිසක් බවට පොදු සමාජයේ මතයක් ඇති නොකර කටයුතු කළ යුතු වන්නේ අප එසේ කළහොත් පාලකයන් මාධ්‍ය නිදහස නැති කරන්නේ ජනතාගේ ද ආශිර්වාදය සහිතව විය හැකි නිසාය. එම උදව්ව පාලකයන්ට නොකර සිටින්නට අප සූක්ෂම විය යුතුය.

බුද්ධිමත්බව, ඉවසීම, වගකීම් සහගත බව, උපායශීලී බව, අනිකාගේ අයිතිය පිලිබද ගරුත්වය ආදිය මාධ්‍යකරුවාට අවශ්‍ය වන්නේ කලින් කී සීමාව නොපැන සිටීමද සදහාය.”

මේ කාලයේ ප්‍රාග්ධන මාධ්‍ය ආයතනයන්ගේත් ප්‍රාග්ධන මාධ්‍යවේදීන්ගේත් හැසිරීම තීරණය වන්නේ සමාජ ප්‍රතිසංස්කරණයන්ගේ ඉලක්කයන් මත නොවේ. ඒ හැසිරීම අනිවාර්යෙන්ම තීරණය වන්නේ තම ආයතනය ලබන්නා වූ ලාභය මතය. ඒ ලාභය තහවුරු කරගැනීමට ආශීර්වාද වන්නා වූ දේශපාලන බලය මතය. රාජපක්ෂ යුගයේ දී උපයා ගත කළු සල්ලි ආයෝජනය කිරීම සදහා මාධ්‍ය ආයතනයක් බොහොමයක් නිර්මාණය වූ අතර ඒ සදහා රෙජීමයේ පූර්ණ දේශපාලන සහාය ද ලැබුණි. ඒ පරිසරය තුළ ලාභ රේට්ටුව උපරිම කර ගනිමින් වර්ධනය වූ සමහර මාධ්‍ය ආයතනයන්ට සම්මුතික ආණ්ඩුව හිසරදයක්වීම තේරුම් ගත හැකිය.

මූණට ඉර එළිය වැටෙන නිසා නිදහස් උත්සවය කොටස් දෙකකට පැවැත්වීමත් (?), ජාතික ධජය එසවීම විජයකලා මහේෂ්වරී නියෝජ්‍ය ඇමතිවරිය විසින් ප්‍රතික්ශේප කිරීමත් (?), දන්නෝ බුදුන්ගේ ගීතය වෙනස් ස්වරයකින් ගායනා කිරීමත් පමණක් නොව හදිසියේ ආණ්ඩුවට කිවිසුමක් ගියත් මේ මාධ්‍ය ආයතනයන්ට ජාතික ප්‍රශ්න වන්නේ අහඹුවකින් නොවේ. තමන්ගේ දේශපාලන ඉලක්කය වන්නේ සම්මුතික ආණ්ඩුව පෙරලා රාජපක්ෂවාදී ආණ්ඩුවක් බිහිකර ගැනීම නම් ඒ සදහා කොක්කෙක් හෝ කෙක්කෙන් හෝ පහරදීමට පෙළඹීම ස්වභාවිකය. එහිදී ඒ මාධ්‍ය ආයතනයන් භාවිතා කරන මිනුම් දඩු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම අර්ථවිරහිත වන්නේ ඒවා ජනමාධ්‍ය නොවන නිසාය.

යම්කිසි ජනමාධ්‍යයක් රටේ පවතී නම් ඒවා ප්‍රශ්න කළ යුත්තේ සමාජ ප්‍රගමනයට අවශ්‍ය වන්නා වූ කරුණු කාරණාවන් ය. ඒ අර්ථයෙන් සම්මුතික ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ යුතු හා ඒ ආණ්ඩුව නිර්ධය ලෙස විවේචනය කළ යුතු කරුණු කාරණා අපමණ ය. එසේම සමාජ ප්‍රතිසංස්කරණයන්ට අත්‍යවශ්‍ය වන්නා වූ ඉදිරිගාමී ආකල්ප වර්ධනය සදහා කළ යුතු සමාජ වෙනස්කම් සම්බන්ධයෙන් ද මාධ්‍යයන්ට විශාල කාර්යභාරයක් පවතී. මේ මාධ්‍යයන් උතුරු දකුණු සංහිදියාව සම්බන්ධයෙන් ගැඹුරු විවේචනයකට නොයයි. නව ලිබරල් ආර්ථික ප්‍රවාහය මැද ශ්‍රී ලංකා වෙළෙද පළ ආරක්ෂාවීම සම්බන්ධයෙන් ගැඹුරු විවේචනයකට නොයයි. ලිබරල් ආර්ථික ප්‍රවාහය මධ්‍යයේ සමාජයේ ආන්තික කොටස් වලට අත්වන ඉරණම ගැන කතා නොකරයි. රටේ ආර්ථිකයෙන් 50%ක්ම කළු ආර්ථිකයකට නතුවීම ගැන කතා නොකරයි.

මේ සියල්ල ප්‍රාග්ධන මාධ්‍යයන්ගේ මාතෘකාවන් නොවීම දේශපාලනික අර්ථයෙන් පුළුල් පදනමක් ඇතිව සිදුවන්නකි. ඒ මාතෘකා ප්‍රාග්ධන මාධ්‍යයන්ගේ කතා බහෙන් දුරස්ව ඇත්තේ අහඹු ලෙස නම් නොවේ.

වසරක් තුළ දෙවරක්ම මහජන බලයෙන් පරාජය කළ මහින්ද චින්තනය යළිත් ඔසොවා තමන්නට වෑයම් කරන්නේත් ඒ සදහා අල්ප වූ ප්‍රවෘත්ති වටිනාකමක් ඇති දෑ පවා ඉහළටම ඔසොවා තබමින් කටයුතු කරන්නේත් මහජන අවශ්‍යතාවකට නොවන බව ඉතා පැහැදිලි ය. සෑම මාධ්‍යකටම ඉලක්කයක් පවතී. ප්‍රාග්ධන මාධ්‍යයට ද ඉලක්කයක් පවතී. සාපේක්ෂව ගත් කළ ප්‍රාග්ධන මාධ්‍යයේ ඉලක්කය සමාජයට යහපතක් උදා නොකරයි. එසේනම් ප්‍රාග්ධන මාධ්‍යයන් සම්බන්ධයෙන් සමාජය කටයුතු කළ යුත්තේ පරිස්සමෙනි.

ප්‍රාග්ධන මාධ්‍යයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන ප්‍රවේශය විවේචනයට ලක් කළ යුත්තක් බව ඇත්තකි. එහෙත් ඒ විවේචනය පදනම් විය යුත්තේ රටේ නිදහස් ජනමාධ්‍ය සම්බන්ධයෙන් රජය දියත් කර ඇති මර්දනයට එරෙහිවීමේ අර්ථයෙන් නම් නොවේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් මස් රාත්තලම ඉල්ලන බොහෝ පිරිස් පවසන්නේ සම්මුතික ආණ්ඩුව නිර්ධය ලෙස ප්‍රශ්න කරන “දෙරණ” නාළිකාව වසා දැමීමේ කුමන්ත්‍රණයකට ආණ්ඩුව පිඹුරු පත් සකසමින් සිටින බවයි. එය අග්‍රාමාත්‍යවරයාට එල්ලවන ප්‍රබල චෝදනාවකි. එහෙත් ඒ චෝදනාවට ප්‍රබල සමාජ වලංගුතාවක් නොලැබුණි. එසේ වන්නට ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ විවේචනයට සමාජ වලංගුභාවයක් ලබාදීමට විවේචනයට ලක්වන මාධ්‍ය ආයතනය මෙන්ම එහි මාධ්‍යවේදීන් ද කටයුතු කරන බැවින් විය හැකිය. තවදුරටත් ජනමාධ්‍ය භූමිකාව තුළ කටයුතු නොකරන ඒ නිසාම ප්‍රාග්ධන මාධ්‍ය ආයතන යැයි හැදින්විය හැකි මාධ්‍යයන්ට එල්ල වන චෝදනා පොදු සමාජයට සංවේදී නොවීම ස්වභාවික ය.

ප්‍රාග්ධන මාධ්‍යයන් විසින් වැටුප් ගෙවා සේවය ලබා ගන්නා ශ්‍රමිකයන් යොදවා තම දේශපාලන ඉලක්කයන් සාර්ථක කර ගැනීමට වර්ගවාදය පතුරවයි. එසේම සමාජයේ පසුගාමී හා ප්‍රාථමික මතයන්ට සමාජ වටිනාකමක් ලබාදීමට උත්සාහ ගනී. බොළද හා හික්මීමක් නොමැති භාවිතාවක් අනුගමනය කරමින් කෙක්කෙක් හෝ කොක්කෙන් හෝ ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමට උත්සාහ ගනී. ඒ තත්ත්වය තුළ මේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය විවේචනය නොකළ යුතු ආගමික සුරුවමක් නොවන බව ඇත්තය. අග්‍රාමාත්‍යවරයා මේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය විවේචනය කිරීමට ප්‍රවේශ වී සිටින්නේ ඒ අර්ථයෙන් විය යුතුය.

එහෙත් රටේ දෙවැනි පුරවැසියා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රවේශ වන්නේ ප්‍රාග්ධන මාධ්‍ය විවේචනය කරමින් සමාජය තුළ ඒ මාධ්‍ය කෙරෙහි පිළිකුලක් ඇති කිරීමට නම් එය ප්‍රශස්ත උත්සාහයක් නොවන බව පැහැදිලි ය. මහජන සම්පතක් වන විද්‍යුත් තරංග මාලා පටු පක්ෂ දේශපාලන හා ව්‍යාපාරික අරමුණෙන් තම සහචරයන් අතර බෙදාදීම අතීත රාජ්‍ය භාවිතාව වුණි. එහි දිගුවක් ලෙස ප්‍රාග්ධන මාධ්‍ය මෙල්ල කිරීමට ඒ විද්‍යුත් තරංග මාලා බෙදා දෙන බලපත්‍ර ක්‍රමය යොදා ගන්නට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උත්සාහ ගන්නේ නම් එය බරපතළ වැරද්දකි. මහජන සම්පත් කුමන අරමුණෙන් හෝ අවභාවිතා කිරීම නොකළ යුත්තකි. තම සහචරයන්ට විද්‍යුත් තරංග මාලා බෙදා දෙමින් රාජපක්ෂ පාලනය කළ අකටයුත්ත තවදුරටත් වෙනත් අන්දමකින් පවත්වාගෙන යෑමට උත්සාහ දරයි නම් එය සම්මුතික ආණ්ඩුවේ “මහජන සම්මුතියට” පටහැනි ය.

මාධ්‍ය විවේචනය කරන්නා වූ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රවේශය අනුමත නොකරන සමාජ ක්‍රියාකාරීන් පවා නොදකින හා විවේචනයට ලක් නොකරන භාවිතාවක් වන්නේ ප්‍රාග්ධන මාධ්‍යයන්ගේ නින්දිත හැසිරීමයි. ඒවා තවදුරටත් කටයුතු කරන්නේ මහජන අර්ථයෙන් නොවන නිසා ඊට ජනමාධ්‍ය වරප්‍රසාදයන් හිමිවිය යුතුදැයි ඔවුහු ප්‍රශ්න නොකරති. මේ නිසා මාධ්‍ය සම්බන්ධයෙන් සමාජයේ ඇති කර ගත යුතු සංවාදය පුළුල් ලෙස ඔසොවා තැබීමට අසමත් වන අතර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රවේශය හුදු මාධ්‍යයන්ට එල්ල වන තර්ජනයක් යන්න තුළ සීමා කරයි. එහෙත් මේ මොහොත තුළ මාධ්‍ය සම්බන්ධයෙන් පැන නැගී ඇති උනන්දුව නිදහස් මාධ්‍යයට එල්ල වන තර්ජනයක් පමණක් යන්න තුළ සීමා කර ගැනීම පුළුල් අර්ථයෙන් අවාසි සහගත ය. එය සමාජයට වටිනාකමක් එක් කරන්නේ මාධ්‍ය හා දේශපාලකයා යන පාර්ශ්වයන් දෙකම විවේචනයට හා නැවත නිර්මාණයකට ලක් කිරීමෙන් පමණි.

මාධ්‍ය සම්බන්ධ අග්‍රාමාත්‍යවරයාගේ විවේචනය නිදහස් මාධ්‍යයන්ට එල්ල වන තර්ජනයක්ය යන මතය අවලංගු කිරීමට ජනවිඥාණය තුළ ඉඩක් ලැබී ඇත්තේ මාධ්‍ය හා මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රතිසංස්කරණයන්ට සමාජ ඉල්ලුමක් පවතින බැවිනි. මාධ්‍ය ආයතනයන් හා මාධ්‍යවේදීන් ආණ්ඩුවේ ප්‍රහාරයන්ට ලක් නොවිය යුතු යැයි සිතන සමාජ කොටස් තුළ පවා යම් විචිකිච්ඡාවක් ඇති කරන්නේ මාධ්‍යයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පවතින නිර්ධය විවේචනයයි. මේ විවේචනය දේශපාලකයන් අතට යන්නට කළින් මාධ්‍යවේදීන් අතරම ස්වයං විවේචනයක් ලෙස සාකච්ඡාවට ලක්නොවීම ලාංකික සමාජයේ ඛේදයකි. අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය විවේචනයෙන් පසුව පවා සංවේදී සමාජ කොටස් මාධ්‍යවේදීන් ආගමික සුරුවමක් ලෙස ආරක්ෂා කර ගන්නට හදිසි වෙනවා මිස එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වයං විවේචනයකට නොයෑම ලැජ්ජා සහගත ය.

මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් කතිකාවක් බිහිකර ගැනීමට ජනමාධ්‍යවේදීන් උනන්දු නොවීම විවේචනයට ලක් කළ යුතු අන්දමින්ම අග්‍රාමාත්‍යවරයා විවේචනයට ලක් කළ යුත්තේ මාධ්‍ය සම්බන්ධයෙන් නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති කර ගැනීමට උනන්දු නොවීම නිසාය. මහජන සම්පතක් වන විද්‍යුත් තරංග මාලා බෙදාදීමට තවමත් යොදා ගන්නේ පටු පක්ෂ දේශපාලන හා ව්‍යාපාරික අරමුණකි. එය මහජන සම්පත් අවභාවිතා කිරීමකි. ඒ නිසා ඒ සම්පත සමාජයේ ඉදිරි ගමනට ධනාත්මකව යොදා ගන්නට සාධාරණ රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවීම අග්‍රාමාත්‍යවරයා උනන්දුවිය යුතු කරුණකි. ඒ නිසා මහජනයාට අයත් විද්‍යුත් තරංග කළු සල්ලි ආයෝජනය අවස්ථා සොයන ව්‍යාපාරිකයන් අතට පත්වීම නොවැළැක්විය හැක්කකි. එබැවින් ඒ අවස්ථාව සමාජ මාධ්‍යයන්ට හිමිවීමේ අවම ඉඩකඩ ද අහිමි කරයි. ඒ නිසා මහජන සම්පත් යොදා රාජ්‍ය මැදිහත්වීමෙන්ම කළු කඩ මුදලාලිලාට අයත් ප්‍රාග්ධන මාධ්‍ය බිහි කරයි. එවැනි වටපිටාවක ප්‍රාග්ධන මාධ්‍යයන් විවේචනය කිරීමට අග්‍රාමාත්‍යවරයා දක්වන උනන්දුව අර්ථ විරහිතය.

shan.info1978@gmail.com

Back to Home page