Colombo Telegraph

විමතිකයන් තුළ විමතිකයන්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව 2001 දී බලයට ඇවිත් එල්ටීටීඊ සංවිධානය හා සටන් නැවැත්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ විට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකරට කියන්නට මැසිවිල්ලක් තිබුණි. ඒ අනුව ඔහු පැවසුවේ එල්ටීටීඊය හා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර කල්පවත්නා සාමයකට අඩිතාලම දැමූවත් දකුණේ දේශපාලන කණ්ඩායම් හා එකගතාවකට එන්නට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බවයි. එවකට පැවැති ආණ්ඩුවට එල්ල වූ ප්‍රබලම චෝදනාවක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සන්නිවේදන උපකරණ ලබාදීමේ සිද්ධියේ වූ දේශපාලන නිමිත්තට පවා ඩිව් ගුණසේකර සිටියේ පක්ෂවයි. එහෙව් ඩිව් ආණ්ඩුව සම්බන්ධයෙන් එල්ල කළ මේ මැසිවිල්ලට දේශපාලනික පදනමක් තිබුණි. ඔහු එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ පවා හමුවී සාම ක්‍රියාවලියට වමේ සහාය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිය ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ වත්මන් විමතික කණ්ඩායම තුළ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ද සිටී. එහෙත් ඒ කණ්ඩායම තුළ ශක්තිමත් දේශපාලන බලයක් ලැබී ඇත්තේ ඩිව් ගුණසේකරලාට නොවේ. එසේම ලංකා සමසමාජ පක්ෂයටවත් නොවේ. වාසුදේව නානායක්කාරට විමතික කණ්ඩායම තුළ යම් බලයක් තිබුන ද එය පදනම් වී ඇත්තේ රාජපක්ෂ සංස්කෘතිය ආරක්ෂා කිරීමට ඔහු දක්වන උනන්දුව මත හා ජාත්‍යන්තරවාදයෙන් පල්ලම් බැස දෝතින් තුරුල් කර ගත් වර්ගවාදය මත ඔහු ක්‍රියාකාරීවන තරමටය. ඒ හැරෙන්නට වාසුදේවට ද ඒ තුළ ශක්තිමත් පදනමක් නොමැති බව පෙනෙන්නට තිබේ.

එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායම දේශපාලනිකව ස්වාධීන ආස්ථානයක් රැකගෙන ඇත්තේ කොන්දේසි විරහිතව රාජපක්ෂ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ නොතිත් ආශාව මතිනි. ඒ තුළ බලය තහවුරු කරගෙන ඇත්තේ සංධානයේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්වත් නොවේ. විමතිකයන් ශක්තිමත් වෙමින් දේශපාලනය උණුසුම් කරන්නේ වර්ගවාදී ආන්තිකයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා උදය ගම්මන්පිලගේ ක්‍රියාකාරීත්වය මතිනි.

රාජපක්ෂ සංස්කෘතිය මුළුමනින්ම ගොඩනැගුනේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ගුරු කර ගනිමිනි. දේශපාලන ව්‍යාපෘතියක් ස්වෝත්තමවාදය මත ක්‍රියාකාරී වනවිට අනෙකුත් වාර්ගික කණ්ඩායම් ආන්තිකකරණයට ලක්වීම අහඹුවක් නොවේ. ඒ අනුව පදනමක් ලෙස රාජපක්ෂ සංස්කෘතිය විසින් ශක්තිමත් කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි. ඒ තුළ දෙමළ, මුස්ලිම් හා වෙනත් ජනවාර්ගික කණ්ඩායම් සමාජයේ පසුපසට තල්ලු කෙරුණි. අඩන්තේට්ටම් වලට ලක් කෙරුණි. නොසලකා හැරීමට ලක් කෙරුණි.

ස්වෝත්තමවාදය රාජ්‍යයේ පදනම වූ විට ඒ රාජ්‍යය මුළුමනින්ම විනාශය කරා යොමුවීම ස්වභාවිකය. පළමුව පීඩිත ජාතිකත්වයන් අර්බූදයට ලක්වන අතර ඒ නිසාම එහි අනිවාර්ය වන්නේ පීඩක ජාතිකත්වය ද අර්බූදයට තල්ලුවීමයි. ඒ අනුව රාජපක්ෂ යුගය තුළ දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන් පළමුව අර්බූදයකට තල්ලු වූ අතර එහි කූටප්‍රාප්තිය ලෙස පසුව සිංහල ජාතිකත්වය ද අර්බූදයකට තල්ලු කෙරිණි. එහෙත් ස්වෝත්තමවාදීන්ට ඒ අර්බූදයන් ග්‍රහණය කර ගැනීමට හැකියාවක් නොමැතිවීම වර්ගවාදයේ නිසග ලක්ෂණයකි.

රට විනාශයට තල්ලු කළ රාජපක්ෂ සංස්කෘතිය දේශපාලනික දෘෂ්ඨියක් ලෙස තෝරා ගත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තවාදය වුවද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කේන්ද්‍රගත කර ගත්තේ නීත්‍යානුකූල නොවන ආර්ථිකයක් මතිනි. ඒ තුළ අනීතික ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය ශක්තිමත් වූ අතර ප්‍රාග්ධනය ගොඩ ගසා ගැසීම කරගෙන යෑමට තල්ලුවක් ලැබුණි.ගෝලීය ප්‍රාග්ධනයේ තාර්කිකය වන කළු ආර්ථිකයක් රට තුළ ගොඩ නැගීම හා එමගින් ව්‍යාපාරික වශයෙන් ශක්තිමත් ප්‍රජාවක් බිහිවීම රාජපක්ෂ යුගය තුළ දක්නට ලැබුණි. ඒ අනීතික ආර්ථිකයේ ආරක්ෂාව බවට පත් කර ගත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි.

පැහැදිලිව නම් කළ හැකි මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට හැරෙන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ රාජපක්ෂ සංස්කෘතියේ දේශපාලන නියෝජනයෙන් ඉවත් වන්නට ශක්තිමයක් තිබේ. ඒ අනුව රාජපක්ෂ සංස්කෘතියේ ව්‍යාපාරික සමාජ තීරුව නියෝජනය කිරීම තමන්ගේ අත්හළ නොහැකි රාජකාරිය බවට පත්කරගෙන ඇත්තේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිළ පමණක්ය කීවොත් එය දෝෂසහිත නොවේ. වෙනත් වචනයන්ගෙන් කියනවා නම් රාජපක්ෂ සංස්කෘතියේ අපූරු දායාදය වූ පාදඩ ආර්ථික ක්‍රියාකාරීත්වය හා එමගින් ශක්තිමත් වූ පාදඩ සමාජ තීරුව නියෝජනය කරන්නේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිළ පමණි.

ඩිව් ගුණසේකරට රාජපක්ෂ සංස්කෘතියේ පාදඩ බලවේගයන් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවක් තිබිය නොහැක. තිස්ස විතාරණට රාජපක්ෂ සංස්කෘතියේ පාදඩ බලවේගයන් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවක් තිබිය නොහැක. වාසුදේව නානායක්කාරට පවා රාජපක්ෂ සංස්කෘතියේ පාදඩ බලවේගයන් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවක් තිබිය නොහැක. මේ දේශපාලන බලවේගයන් තුනම එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායම තුළ රැදී සිටින්නේ ඔවුන්ට දේශපාලන අනන්‍යතාවක් ලබාදීමට සම්මුතික ආණ්ඩුව උනන්දු නොවීම නිසා යැයි කීවොත් එය නිවැරදි ය.

ඩිව් ගුණසේකර 2002 දී නැගූ මැසිවිල්ල අදටත් එසේම වලංගු වන්නේ යැයි හැගෙන්නේ විමතික කණ්ඩායම දේශපාලනිකව කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව දක්වන නොහැකියාව දැකීමෙනි. විරුද්ධ බලවේගයන් කළමනාකරණයේ ලා වත්මන් ආණ්ඩුවට ඇත්තේ සම්ප්‍රදායික හා යල් පැන ගිය ක්‍රමවේදයකි. ආණ්ඩුව විසින් ඔවුන් හා ගනුදෙනු කළ යුත්තේ පැවැති ආණ්ඩුවේ දූෂණ හා අක්‍රමිකතාවන් අවුස්සමින් “ඔවුන්ගේ කට වැසීමට” තැත් කිරීමෙන් නම් එය ඉතා අදූරදර්ශී උපක්‍රමයක් බව පැවසිය යුතුය. මූලෝපායික වශයෙන් ශක්තිමත් වන්නේ නම් ආණ්ඩුව මේ මොහොත තුළ කළ යුත්තේ විමතික කණ්ඩායම සමග දේශපාලනික ගනුදෙනුවකට ප්‍රවේශය සකස් කර ගැනීමයි.

විමතික කණ්ඩායම මුළුමනින්ම සමරූපී නොවන දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන්ගෙන් සමන්විත වන්නකි. එහි අනන්‍යතාව වී ඇත්තේ එකිනෙකට පරස්පර දේශපාලන මත දැරීමත් එහෙත් රාජපක්ෂ සංස්කෘතිය තුළ හීලෑ වී සිටීමත් ය. ඩිව් ගුණ්සේකර මෙරටේ ජාතික ප්‍රශ්නයක් පවතින බව පිළිගන්නෙකි. එහෙත් විමල් වීරවංශට පවතින්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පමණකි. දිනේෂ් ගුණවර්ධනට අනුව වැරදි කළ යුද හමුදා භටයන්ට දඩුවම් කිරීම රණවිරුවන්ගෙන් පළි ගැනීමකි. එහෙත් වාසුදේව නානායක්කරට අනුව නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන ය. එවැනි දේශපාලනික කණ්ඩායමක් කළමනාකරණය කිරීමට සුමට ක්‍රමවේදයක් යෝග්‍ය නොවන බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි.

සම්මුතික ආණ්ඩුවේ දේශපාලන දැක්ම සමන්විත වී ඇත්තේ යහ පාලනය පදනම් කර ගනිමිනි. නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පුළුල් කර ගැනීම ද එහි ඉලක්කයන් වේ. එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජාතික ප්‍රශ්නයට කල් පවත්නා වූ විසදුමක් ගෙනෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ද අරමුණු කර ගැනේ. එවැනි දේශපාලන සංස්කෘතියකට එරෙහිවීමට විමතික කණ්ඩායමේ බොහෝ අයට පහසු කරුණකි.

රාජපක්ෂ සංස්කෘතියේ පාදඩ ව්‍යාපාරික ප්‍රජාව හා පාදඩ සමාජ තීරුව නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධනට විමල් වීරවංශට හා උදය ගම්මන්පිළට සම්මුතික ආණ්ඩුවේ දේශපාලන අභිලාශයන් හා ඒකමිතික වන්නට අපහසුවීම තේරුම් ගත හැක්කකි. ඔවුන් තවදුරටත් දේශපාලනය කරන්නේ පැවැති රාජපක්ෂ සංස්කෘතිය ඒ ආකාරයෙන්ම යළි පිහිටුවා පාදඩ ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් කිරීමට ය. ඒ අර්ථයෙන් ඔවුන් හා දේශපාලනික ගනුදෙනුවකට යෑම අර්ථවිරහිත බව තේරුම් ගත හැකිය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සංධානය එක්සත් දේශපාලන බලවේගයක සංධාන ගතව සිටී. මේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ හා දේශපාලනිකව සංධාන ගතව සිටිය ද ඔවුන්ගේ දේශපාලනික පදනම වන්නේ මහින්ද සංස්කෘතියේ පාදඩ ව්‍යාපාරික හා සමාජ බලවේගයන් නොවේ. ඒ නිසා රාජපක්ෂ සංස්කෘතියෙන් වෙන්වීමේ දී ඔවුන්ට ඇත්තේ අනන්‍යතාව පිළිබද ගැටළුවක් පමණි.

විමතිකයන් නියෝජනය කරන්නා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතුරින් ද පාදඩ ව්‍යාපාරික බලවේගයන් නියෝජනය නොකරන මන්ත්‍රීවරුන් තවදුරටත් රාජපක්ෂ සංස්කෘතිය ආරක්ෂා කිරීම අර්ථවිරහිත ක්‍රියාවකි. ඔවුන්ට රාජපක්ෂ සංස්කෘතියෙන් ගැලවීමට නම් තව්දුරටත් පවතින්නේ අනන්‍යතාව පිළිබද ගැටළුවක් පමණි. සම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර බලවේගයන්ට ද දේශපාලනිකව ආමන්ත්‍රණය කරන්නේ නම් ඔවුන් කළමනාකරණය කර ගැනීම අපහසු කරුණක් නොවේ.

රාජපක්ෂ පාලනය පවතින තාක් කල් බොහෝදෙනෙක් සිතුවේ ආණ්ඩු වෙනසක් කිරීම බොහෝ අපහසු කරුණක් බවය. එහෙත් සිංහලබෞද්ධ සමාජ තීරුවේ සැලකිය යුතු කොටසකගේ ද එකගතාව ඇතිව පැවැති පාලනය වෙනස් කරන්නට සමාජය ශක්තිමත් වුණි. තවදුරටත් සමාජ මතවාදයන් හා අනන්‍යයව ගනුදෙනු කිරීමට තරම් ආණ්ඩුව බියට පත්විය යුතු නැත. ජනවාරී අටවැනිදා ශක්තිමත් වූ දේශපාලන ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ජනවිඥාණය වෙනස් කරන්නට ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතුය.

එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායම ශක්තිමත් වන්නේ ආණ්ඩුව ජනවිඥාණයට බයෙන් දේශපාලනික තීන්දු ගන්නා විට ය. ජනවාරී අටවැනිදා ශක්තිමත් වූ දේශපාලන පෙරලිය නියෝජනය කළේ රාජපක්ෂ සංස්කෘතියේ අනෙකා ය. එසේනම් සම්මුතික ආණ්ඩුව මහන්සි විය යුත්තේ සමාජ ප්‍රතිසංස්කරණයන්හි දී දේශපාලනික අනෙකා වන්නට මිස රාජපක්ෂ සංස්කෘතියට බිය වන්නා වූ එහි ගැත්තෙකුවීමට නොවේ. ඒ සදහා වූ ශක්තිය ආණ්ඩුව විසින් ඇති කර ගත යුතුය.

එහෙත් සම්මුතික ආණ්ඩුව මුහුණදෙන බරපතලම අර්බූදය වන්නේ ජනවිඥාණය ආමන්ත්‍රණය කිරීමට තරම් ශක්තිමත් යාන්ත්‍රණයක් ඊට නොවීමයි. ඒ තත්ත්වය තුළ විරුද්ධ දේශපාලනික බලවේගයන් කළමනාකරණය කර ගැනීමේ මූලෝපායික ක්‍රමයන් කෙරෙහි ආණ්ඩුව දක්වන උනන්දුව දුර්වල ය. ආවේගවාදීව බැන වැදීම, රාජපක්ෂ යුගයේ දෑ සිහිපත් කරමින් “කට වැසීමට” තැත් කිරීම හා උපහාසයට ලක් කිරීම තවදුරටත් වලංගු දේශපාලනික උපක්‍රමයන් නොවන බව ආණ්ඩුව තේරුම් ගෙන නොමැත. ඒ නිසා උතුර හා සංහිදියාවකට යන්නට තැත් කරන්නේ දකුණ හා සංහිදියාවකට තැත් නොකරන ආණ්ඩුවක් විසින්ය යන පණිවුඩය සමාජ ගත කරන්නට සම්මුතික ආණ්ඩුව මහන්සි නොවිය යුතුය.

Shan.info1978@gmail.com

Back to Home page