Colombo Telegraph

රටේ අභිලාශ, පක්ෂ අභිලාශ හා ජනාධිපති

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

එළබෙන මහා මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තරග කිරීම සදහා නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය අපැහැදිලි ය. වරෙක නාම යෝජනා ලබාදෙන්නේ යැයි ද වරෙක නාම යෝජනා ලබා නොදෙන්නේ යැයි ද වාර්තා නිකුත් වන අතර මේ වනවිට මහින්ද රාජපක්ෂ විසින් නාම යෝජනා අත්සන් කර ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් දැන ගන්නට ඇත. ඔහුගේ සහචර දූෂිතයන් පිරිසට ද එලෙසම නාම යෝජනා ලැබී ඇති බවත් තවත් දූෂිතයන් හතරදෙනකු හෝ පස්දෙනකුට පමණක් නාම යෝජනා අහිමිව ඇති බවත් වාර්තා වේ.

කෙසේවුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම බලාපොරුත්තුවෙන් සිටින අතර ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දෙලොවක් අතර සිටින බව ඉතා පැහැදිලි ය. ජනාධිපතිවරණයෙන් පරාජිතව අබල දුබලව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගිලෙන්නට යන මොහොතේ තණ කොල ගහක හෝ ඉල්ලී පැවැත්ම ස්ථාවර කර ගැනීමට දරන තැත තේරුම් ගත හැකිය. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද චින්තන සංස්කෘතියට විරුද්ධව ලක්ෂ හැටතුනකට ආසන්න ජනවරමක් ලබා ගත් මෙත්‍රීපාල සිරිසේනගේ හැසිරීම කෙනෙකුට තේරුම් ගන්නට අපහසු වන්නට පුළුවන.

ජනාධිපතිවරණ පොර පිටියේ දී නොකීවත් පදවිප්‍රාප්තියෙන් පසුව ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගැනීමට ය. ඒ සදහා ඔහු තම දේශපාලන පෞර්ෂය යොදා ගැනීමට වඩා උත්සාහ කළේ සම්ප්‍රදායි අර්ථයෙන් තනතුරු වරදාන මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු දිනා ගැනීමට ය. පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ජනාධිපතිවරයා පැවැත්වූ දේශන කිහිපයක්ම විශිෂ්ඨ රාජතාන්ත්‍රික ලක්ෂණ පෙන්නුම් කළ අවස්ථාවන් විය. විශේෂයෙන් දෙමළ ජාතික සංධානයේ පාලනයට යටත් උතුරු පළාත් සභාව හා ගනුදෙනු කිරීමට ඔහු යොදා ගත් ක්‍රමවේදය ප්‍රශස්ත ය. එසේම වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේඩරයන් අමතමින් ජාතිය හමුවේ ඇති අභියෝගය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ වාර්තාවට මුහුණ දීම බව ඔහු නිවැරදිව හදුනා ගත් දේශපාලන මොහොත නොබියව කියා පෑය.

ජනාධිපතිවරයාගේ ඒ දේශපාලන පෞර්ෂය සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේඩරයන් ඇද බැද තබා ගන්නට තරම් ශක්තිමත් නොවන්නට ඇත. සමහරවිට ඒ පෞර්ෂයට සංවේදී වන්නට තරම් දැනුමක් පක්ෂ කේඩරයන් තුළ නොතිබුනා විය හැකිය. සමහර විට පාදඩ ආර්ථිකයේ ක්‍රියාකාරකම් වලින් ගද ගසන තත්ත්වයට පත්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ගොඩ එන්නට නම් අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂම බව තීන්දුවකට පැමිණ සිටියා නො අනුමානය.

ජනාධිපතිවරයාගේ දේශපාලන පෞර්ෂය හැකිලෙමින් ජනවාරී අටවැනිදා ජයග්‍රහණය පසුපස සිටි ජන බලවේගය කෝප ගන්වන හා මහත් අපහසුතාවකට පත් කරන හැසිරීමකට ඔහු පෙළඹීම කනගාටුදායක ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වයෝවෘධ ජේෂ්ඨයන්ට තනතුරු හා වරදාන දීම එවැන්නකට උදාහරණ වේ. එසේම හිටපු මැති ඇමතිවරුන්ට වාහන වරප්‍රසාද හා තනතුරු ලබාදෙමින් ඔහු බොළද උත්සාහයක යෙදුනේ පක්ෂයේ බලය රැක ගන්නට ය.

එහෙත් වසර දහයකට ආසන්න කාලයක් පුරා පාදඩ දේශපාලන නායකත්වයක් මගින් පාලනය කළ පක්ෂයක් මෙත්‍රීපාල සිරිසේන වැනි දේශපාලන චරිතයකින් නම්මා ගත හැකි යැයි විශ්වාස කළ නොහැක. පක්ෂයේ තීරක තීන්දු ගන්නා තැන් වල බලය සමාජ විරෝධී ක්‍රියාකාරකම් වල යෙදුන පුදගලයන් අතට පත්ව තිබූ අවස්ථාවක ඔවුන් ඉල්ලන්නේ එවැනිම සමාජ විරෝධී ගති ලක්ෂණ හිමි නායකත්වයකි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2005 න් පසුව ව්‍යුහගත වූ පරිදි ඊට අවශ්‍ය වූයේ “මහින්ද රාජපක්ෂ” කෙනෙකි.

අවසානයේ ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන හාස්‍යයට ලක් කරමින් රාජපක්ෂ පාර්ශ්වය විසින් පක්ෂයේ බලය අල්ලා ගත් අතර මැතිවරණයේ දී නාම යෝජනා සකස් කිරීම ද ඔවුන්ට අවශ්‍ය පරිදි සකස් කර ගනිමින් පවතී. ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන අල්ලපු අත්තත් නොමැති පය ගහපු අත්තත් නොමැති අසරණ තත්ත්වයට පත්ව තිබෙන අතර ඒ නිසා පුද්ගලිකව ඔහු පමණක් නොව ජනවාරී අටවැනිදා සමාජ ජයහ්‍රගණයට දායක වූ ජනතාව ද උපහාසයට ලක් වෙමින් පවතී. ජනවාරී අටවැනිදා ජයග්‍රහණය කළ ජනතා සම්මුතිය අමතක කරමින් තමන්ගේ හිත තුළ තිබූ සිහිනය වූ පක්ෂ අභිලාශයන් වෙනුවෙන් කටයුතු කරන්නට යෑම මීට හේතුව බව ඉතා පැහැදිලි ය.

ජනවාරී අටවැනිදා පැවති ජනාධිපතිවරණයේ සටන අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා සමගි සම්මුතියක් ඇතිවීම වලංගු දේශපාලන කරුණක් නොවේ. එම ජනාධිපතිවරණ සටන ඇරඹුනේ මුළුමනින්ම මහින්ද රාජපක්ෂගේ සිතුම් පැතුම් වලට එරෙහිවය. සමස්තයක් ලෙස එලෙස බලමුළු ගැන්වූ සටනකින් පරාජය කළ අයකු හා නැවත සංධාන ගතවීම දේශපාලනිකව ප්‍රතිවිරෝධතා නිර්මාණය කරයි.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කියූ දෑ සමග තවදුරටත් එකට සිටිමින් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනට මහා මැතිවරණයේ දී ජනවරමක් ඉල්ලමින් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවට ගොඩවීමට නොහැක. එසේ ගොඩවුවහොත් ජනවාරී අටවැනිදා ජයග්‍රහණයේ දේශපාලන බලවේගයන් මුළුමනින්ම ජනාධිපතිවරයාගෙන් ඈත් වේ. අනෙක් අතට එසේ ගොඩවූ පළියට ජනාධිපතිවරයා හා සම්මුතියක් ඇතිකර ගැනීමට රාජපක්ෂ පාර්ශ්වය ඔහු වටා එක්වන්නේ නැත. යම් හෙයකින් රාජපක්ෂ පාර්ශ්වය ජයග්‍රහණය කළ හොත් ඔවුන් කටයුතු කරන්නේ තමන් ලැබූ නව ජනවරම සමග මිස මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලැබූ ජනවාරී අටවැනිදා ජනවරම සමග නොවේ.

ධ්‍රැවීකරණය වන තත්ත්වයන් අනුව ජනාධිපතිවරයා සූදු ක්‍රීඩාවක යෙදී සිටින්නේ තමන් බලයට පත් කළ දේශපාලන බලවේගයන් සමග ය. බලයට පත්ව මාස හයක් හෝ ඉක්ම යන්නට මත්තෙන් තමන්ගේ දේශපාලන පදනම් හා සූදු ක්‍රීඩාවක යෙදීම අතිශයෙන් භයානකය. එක් අතකින් ජනවාරී අටවැනිදා ජයග්‍රහණය ලැබූ බලවේගයන් විසින් අත් හරින ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට රාජපක්ෂ බලවේගය ඉදිරියට එන්නේ නැත. අනෙක් අතින් ඔහුට ගොඩනගා ගන්නට අලුත් දේශපාලන බලවේගයක් ද නොපවතී. ඒ අනුව තම පුද්ගලික ජිවිතය මෙන්ම රටේ අනාගතය ද පරදුවට තබමින් ජනාධිපතිවරයා සූදු ක්‍රීඩා කරන්නේ ඔහුට නිවැරදි දේශපාලන මග පෙන්වීමක් නොලැබුන නිසා විය හැකිය.

මහින්ද චින්තන සංස්කෘතිය පරදවමින් අලුත් දේශපාලන සංස්කෘතියක් කරා සමාජය පියවර තැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වෙමින් තිබූ සමාජ පුරුෂාර්ථයන් දෙස කම්පිතව බලමින් ශෝක වූ ජනතාවයි. එහෙත් ඒ ජනතාව කම්පනය පත් කරමින් කරන සූදු ක්‍රීඩාව විසින් සමාජය තල්ලු කරන්නේ පතුලක් නොපෙනෙන අගාධයකට ය.

රාජපක්ෂ සංස්කෘතිය ඉතිහාසයේ අවසානයට පැමිණෙමින් තම ධූර කාලය අවසන් වනවිට සිටියේ තවදුරටත් සමාජයේ බුර බුරා දැවෙන ප්‍රශ්නයන්ට විසදුම් නොමැතිවය. එය තර්කානුකූල අවසානයට ආවේ නව දේශපාලන සම්මුතියක් ඇති කර ගනිමිනි. එහෙත් අවාසනාවට නැවතත් රට මහින්ද චින්තන සංස්කෘතියක් කරා යොමු වන්නේ නම් පුපුරා නැගෙන සමාජ ප්‍රශ්න විසින් ජනතාව විනාශයට යොමු කරන බව කිව යුතු නැත. සමාජයේ ප්‍රශ්න විසදීමේ ලා රාජපක්ෂ සංස්කෘතියට තවදුරටත් විසදුම් නොමැත. ජනවාරී අටවැනිදා පරාජය දෙස බැලුවේ ද හාස්‍යයෙන් හා බොළද ලෙස මිස තමන්ගේ වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට ගමන් කරන ශක්තිමත් දේශපාලන අරමුණකින් නොවේ. ඒ නිසා රාජපක්ෂ සංස්කෘතියට සමාජයේ ප්‍රශ්න දෙස අලුත් කෝණයකින් බලන්නට තරම් හැකියාවක් නොපවතී.

නිවැරදි දේශපාලන තීන්දු ගන්නේ නම් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනට තවමත් කල් පවතී. ඔහු කළ යුත්තේ පක්ෂයේ අභිලාශ වෙනුවෙන් පෙනී සිටීම නොව රටේ අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටීමයි. ඒ සදහා ජනවාරී අටවැනිදා සුවිශාල දේශපාලන ව්‍යාපාරයක් ඔහු පිටිපසින් සිටියේ ය. ඒ දේශපාලන ව්‍යාපාරය තවමත් ජීවමාන ය. ජනාධිපතිවරයා ඒ මත පදනම් වෙමින් රටේ අභිලාශයන් සාධනයේ ලා කටයුතු කරන්නේ නම් තවදුරටත් ඔහු ජනතාව ඉදිරියේ ශක්තිමත් වන්නේ ය.

ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ මෙත්‍රීපාල සිරිසේනට පක්ෂ අභිලාශ තිබුනේ නැත. ඔහු පදවියට පත්වූ පසුත් කීවේ පළමු ධූර කාලයෙන් පසුව ගෙදර යන බවය. එසේම ධූර කාලය වසර පහකට සීමා කරන බවය. බලාපොරොත්තු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය මුළු එකක් ලෙස අහෝසි කිරීමට නොහැකි වුවත් මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ස්වේච්ඡාවෙන්ම තම බලතල අත්හරිමින් විධායකයේ බලය පාර්ලිමේන්තුවට පැවරුවේ ප්‍රශස්ත ලෙසය. එවැනි ජනාධිපතිවරයකු පක්ෂ අභිලාශ මත කටයුතු කරමින් තම ගෞරවය අහිමි කර ගන්නේ නම් එය කනගාටුවට හේතුවකි.

බලය අත්හරින්නට කතා කළ එසේම හැකි තරම් බලය අත් හැරි අයකු වඩා සමීප විය යුත්තේ රටේ අභිලාශයන්ට ය. එසේ වන්නේ නම් ජනාධිපතිවරයා බලයට ගෙනා බලවේග හමුවේ හාස්‍යයට ලක් නොවී ගෞරවනීය පෞර්ෂයක් තහවුරු කර ගත හැක. විධායක ජනාධිපති ධූරයට ඔසොවා තබා මාස හයක් ඉක්ම ගිය තැන ද්වේෂයෙන් හා වෙරයෙන් යුතුව ජනාධිපතිවරයාට බැන වදිනවාට වඩා ඔහු වටා සිටි බලවේගයන් මහන්සි විය යුත්තේ ජනාධිපතිවරයා ලවා රටේ අභිලාශයන් ක්‍රියාත්මක කරවා ගැනීම සදහා ඔහුව යොමු කර ගැනීමටයි.

shan.info1978@gmail.com

Back to Home page