Colombo Telegraph

මහින්ද චින්තනයේ සංස්කෘතික ලක්ෂණ

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහා මැතිවරණයට නාම යෝජනා භාරදීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය මෙහේයවීමට නායකත්වය දෙන අයුරු පෙනෙන්නට තිබේ. ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන ස්ව කැමැත්තෙන්ම මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වූවාට පසුව ඒ අවකාශය තුළ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය මෙහේයවීමට යොමුවීම පක්ෂ කේඩරයන්ගේ ප්‍රමෝදයට හේතුවී තිබේ. එහෙත් මැතිවරණ ව්‍යාපාරයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුහුණ දුන් යම් යම් සිද්ධීන් පෙරලා ඔහුගේ ප්‍රතිවාදී පාර්ශ්වය ප්‍රමෝදයට පත් කිරීමට සමත්ව තිබීම උපහාසාත්මක ය.

ඊයේ පෙරේදා දවසක අකුරැස්සේ පැවැති තම පක්ෂයේ මැතිවරණ රැස්වීමක දී නොසිතූ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවූ හිටපු ජනාධිපතිවරයාගේ හැසිරීම ප්‍රතිවාදී පාර්ශ්වයේ උසුළු විසුළුවට ලක්ව තිබේ. එසේම පසුගිය දා අනුරාධපුරයේ දී පැවැති එක්සත් ජනතා නිදහස් සංධානයේ පළමු මැතිවරණ රැළියේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හැසිරීම මෙන්ම කතා බහ ද විවිධ කෝණයන්ගෙන් ප්‍රතිවාදීන්ගේ හාස්‍යයට ලක් වුණි. එසේම ප්‍රබල ලෙස ඉස්මතු නොවූවත් මැතිවරණ ව්‍යාපාරයේ තවත් අවස්ථා කිහිපයක දීම මහින්ද රාජපක්ෂගේ හැසිරීම සමාජයේ කතා බහට ලක් වෙමින් තිබේ.

ජනාධිපතිවරණයෙන් පැරදී මැදමුලනට පසුබැස ගොස් නැවත දේශපාලනයට එබිකම් කර බැලීම ආරම්භ කළ දා පටන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හැසිරීමේ වෙනසක් දක්නට ලැබුණි. එහෙත් ඔහුගේ පාක්ෂිකයන් මහින්ද රාජපක්ෂගේ හැසිරීමෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වූ අතර ප්‍රතිවාදීන් ද වෙනත් අන්දමකින් ප්‍රීති ප්‍රමෝදයට පත්වීමක් දක්නට ලැබුණි. ඉන් ඔබ්බට හිටපු ජනාධිපතිවරයාගේ හැසිරීම තේරුම් ගැනීමට යත්න දරන බවක් සමාජය තුළින් පෙනෙන්නට නොවුණි. ඇත්තටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශරීර භාෂාව විසින් සමාජ ගත කළ දේශපාලන පණිවුඩය නිවැරදිව තේරුම් ගත් බවක් සමාජය විසින් පෙන්නුම් නොකළේය.

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ඔහුගේ මුහුණේ ඉරියව්, වාග් විලාශය, වචන පෙළ ගැස්ම හා සමස්ත කතාවක හරය සලකා බලන විට දැඩිව පෙනෙන්නට තිබුණේ ඔහු මුහුණ දුන් තදබල අපේක්ෂාභංගත්වයයි. කල් යල් බලා නැවත තේරී පත්වීමට සුදුසු මොහොත සොයා නියමිත කාලයට වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පවත්වා ඉන් පරාජය වීම ඔහුගේ දේශපාලන ජීවිතයේ රුදුරුම මොහොත වූවාට සැකයක් නැත. එසේම ඒ පරාජය තම පක්ෂයේම සගයකු අතින් තමන්ට ලබාදීම කෙසේවත් දරා ගන්නට හැකි කාරණාවක් නොවන්නට ඇත. අෂ්ඨ ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවීම බෞද්ධ දෘෂ්ඨියේ මූලික අංගයක් වුවත් පෘතග්ජනයන් ලෙස ස්ථිර ලෙසම ඊට අනුගත වන්නට නුපුළුවන් බවට සාක්ෂි අවශ්‍ය නොවේ. ඒ අර්ථයෙන් බලය අහිමිවීම කම්පාවට හේතුවක් වියහැකි වුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් දක්නට ලැබුනේ ඒ සාමාන්‍ය කම්පනය නොවේ.

ඔහු ජනතාව අමතන හැමවිටම මොනවාදෝ කියාගෙන ගියේ ය. සමහරවිට වාක්‍ය අතර එකිනෙක සම්බන්ධයක් නොතිබුණි. වාක්‍යයක් ආරම්භ කරන්නේ යමක් කියන්නට වුවද එය අවසන් කරන්නේ තවක් යමක් කියන්නට දෝ වැනි අර්ථයක් ඔහුගේ කතාවන්ට ශ්‍රවණය කරන විට අවබෝධ වුණි. ප්‍රේක්ෂක ඔල්වරසන් හඩ මධ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ හැසිරීම තවත් ප්‍රමෝදයට තල්ලු වුණි. ඒ නිසා කතාවන්ගේ කෝෂාර්ථයක් නොවූවද ඔල්වරසන් හඩ මගින් කතාවට පිළිගැනීමක් ලැබුණි.

ප්‍රසිද්ධ මහජන ඇමතීම් වල දී තම හැගීම් යටපත් කර තබා ගැනීමට තැත් කළ ද මහින්ද රාජපක්ෂගේ පුද්ගල ස්වරූපය සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩ හා නොසන්සුන් සුළු ය. උද්වේගකර ය. වහා කිපෙන සුළු ය. ඔහුගේ දෙශපාලන ගමන් මග විමසා බැලූවිට මේ පුද්ගල ස්වභාවයන් ඉස්මතු වූ අවස්ථා ඕනෑවටත් වඩා දකින්නට තිබේ. මුල්කිරිගල අතුරු මැතිවරණයේ දී එවකට පැවැති එජාප ආණ්ඩුවේ සහාය ලත් මැර කණ්ඩායම් පාලනය කිරීමට හැකිවූයේ මහින්ද රාජපක්ෂගේ මේ පුද්ගල ස්වරූපය නිසා ය. එසේම ලබා ගත් ජයග්‍රහණයට අනුව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක අමරසිරි දොඩන්ගොඩව 1993 දී දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය තනතුරේ දිවුරුම් දීම කර ගත හැකි වූයේ ද මහින්ද රාජපක්ෂගේ මේ පුද්ගල ස්වරූපය නිසාය. එහෙත් ඒ පුද්ගල ස්වරූපය දේශපාලන පෞර්ෂයක් ලෙස එදා හැදින්විය හැකිවුවත් පසුව එය දේශපාලන මැරයකුගේ සංස්කෘතික ලක්ෂණයක් දක්වා දුරදිග යෑම කනගාටුවට කරුණකි.

පසුගිය ජනාධිපතිවරණයේ හලාවත දී පැවැති රැස්වීමක දී වේදිකාවේ දී තම ඇදිවත මදක් ඔසොවමින් “මැදමුලනේ රාජපක්ෂවරුන්ගේ” තරම ප්‍රදර්ශනය කිරීමට ඔහු නොපැකිලුණි. එසේම දකුණු පළාත් සභා මැතිවරණ රැස්වීමක් තිස්සමහාරාමයේ දී පැවැත්වෙද්දී ද තම ඇදිවතට අත යවමින් “මැදමුලනේ රාජපක්ෂවරුන්ගේ” තරම් පෙන්වීමට ඔහු ඉදිරිපත් වුණි. ඔහු රාජ්‍ය නායකයා වූ නිසා එම අවස්ථාවන් විවේචනය කිරීමට සමාජය නොපෙළබුනත් ඔහුගේ ක්‍රියාවේ අශිෂ්ඨභාවය වඩා ඉහළින් කැපී පෙනුනේ ඔහු රටේ ජනාධිපතිවරයා වූ නිසා ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංස්කෘතික පසුබිම ශක්තිමත් කළේ ඔහුගේ පුද්ගල ලක්ෂණයන් විසිනි. ප්‍රචණ්ඩ, උද්වේගකර, නොසන්සුන් හා වහා කිපෙන සුළු ස්වරූපය දේශපාලන නායකයකුගේ සංස්කෘතික පදනම තීරණය කරන්නා වූ පුද්ගල සාධක වූ විට එමගින් ඒ සමාජයේ සංස්කෘතික පදනම ද නිර්ණයවීම වැළැක්විය නොහැක. ඒ නිසා සමාජය තුළ ද ශක්තිමත්ව ස්ථාපනය වන්නේ නොහික්මුණු ගති ස්වභාවයයි. එය සමාජයක සංස්කෘතික ගති ලක්ෂණයක් වූ විට එය ඒ සමාජයේ පැවැත්මට හානිදායක ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මේ හැසිරීම මහජන ඔල්වරසන් වලින් සීමාවූවා නම් එය හාස්‍යයෙන් ඉවසන්නට ඉඩ තිබුණි. එහෙත් අසත්‍යයන් මත මහජන හැගීම් ඇවිස්සීම ඔහු කරන්නා වූ බරපතල වරදකි. මහින්ද චින්තන දේඅශපාලනය පදනම් වන්නේ හැගීම්බර හා සංවේදී දෙශපාලන කාරණා මත නිසා මෙහි ඇති බැරෑරුම්භාවය බොහෝ අයට තේරුම් යන්නේ නැත. එහෙත් ජනමනස සංවේදී වන කරුණු අවස්ථාවාදීව ප්‍රකාශ කරමින් ඡන්ද ගොඩ විශාල කර ගැනීමට තැත් කිරීම සාමාන්‍ය දේශපාලන ප්‍රබන්ධයන් පුනරුච්ඡාරණය කරනවාට වඩා විනාශකාරීය.

ජනාධිපතිවරණයෙන් පසුව අපේක්ෂාභංගත්වයට පත්වූ මහින්ද පාර්ශ්වය බොහෝ විට මහජනතාව උසි ගැන්වූයේ අලුත් ආණ්ඩුව විසින් රාජ්‍ය ආරක්ෂාව භයානක ලෙස නොසලකා හැර ඇති බව කියමිනි. ඒ අනුව එල්ටීටීඊ ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවධානමක් ගැන නිතර අනතුරු හැගවුණි. ඕනෑම අනතුරක් සම්බන්ධයෙන් පූර්ව අවධානමකින් සිටීම කළ යුත්තකි. එහෙත් සාක්ෂි නැති ළග එන අනතුරක් සම්බන්ධයෙන් ඇගිල්ල දිගු කිරීමට එමගින් ආවරණයක් ලැබෙන්නේ නැත. නමුත් දයාන් ජයතිලක වැනි මහින්ද පාර්ශ්වයේ බුද්ධිමය කොටස් වල සිට විමල් වීරවංශ වැනි බොළද හරසුන් කොටස් දක්වාම සමාජ ගත කළේ ළග එන එල්ටීටීඊ උවදුරක් සම්බන්ධයෙන් වූ දේශපාලන අදහසකි.

මතුපිටින් පෙනෙන්නට තිබෙන චිත්‍රය අනුව මහින්ද රාජපක්ෂ චින්තනය ඊනියා බෙදුම්වාදී ත්‍රස්තවාදයට සපුරා ප්‍රතිවිරුද්ධ දැනුම් පද්ධතියකි. ඒ චින්තනය කර මත තබා ගනිමින් ඊට දර දිය ඇදි පාර්ශ්වයන් ඊනියා බෙදුම්වාදී ත්‍රස්තවාදයට සපුරා ප්‍රතිවිරුද්ධ ජන කණ්ඩායමකි. ඒ නිසාම දේශප්‍රේමී චින්තනයක් ලෙස ද දේශප්‍රේමී සමාජ කණ්ඩායමක් ලෙස ද තමන් විසින්ම ඉහළට ඔසොවා තබා ගත්තකි. නමුත් රාජ්‍ය බලය ලබා ගැනීම හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් එල්ටීටීඊ දේශපාලනය හා සම්මුති ඇති කර ගත් තවත් දකුණේ දේශපාලන කණ්ඩායමක් ලෙස මහින්ද චින්තන පාර්ශ්වය හැදින්වීම වඩා නිවැරදිවනවා නො අනුමානය.

එල්ටීටීඊය හා දේශපාලන ගනුදෙනුවක් පවත්වා ගැනීම ධනාත්මක වුවද එය පවා දේශද්‍රෝහීකමක් යැයි හංවඩු ගසා සමාජයට පීඩනය මුදා හළ පාර්ශ්වයක් පසුව බලය පවත්වා ගැනීම සදහා ඒ එල්ටීටීඊ දෙශපාලනය සමග සබදතා පැවැත්වීම තක්කඩිකමකි. එක්සත් ජාතික පක්ෂය විසින් එල්ටීටීඊය ශක්තිමත් කළා නම් හා එම පක්ෂයේ ප්‍රතිපත්ති නිසා බෙදුම්වාදය ශක්තිමත් වූවා නම් 2005 ජනාධිපතිවරණයේ දී එල්ටීටීඊය තම සහයෝගය ලබාදිය යුතුව තිබුනේත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යොමු කළ යුතුව තිබුනේත් එජාප ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සදහා ය. නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මැතිවරණ වර්ජනයකට යොමු කරමින් ඔවුන් තම සහාය පළ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂටයි. එහිදී මූල්‍යමය ගනුදෙනුවක් වූ බවට සාක්ෂි පවා ඉදිරිපත් වුණි. අලුත් ආණ්ඩුව පවා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් මෙතෙක් ආරම්භ කර නොමැත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන පරිදි විධිමත් පරීක්ෂණයකින් පසුව මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිබව ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

බලය පවත්වාගෙන යෑමේ අරමුණෙන් පටු අර්ථයෙන් එල්ටීටීඊය හා සම්මුති ඇති කර ගත් පාර්ශ්වයක් දැන් එල්ටීටීඊ ත්‍රස්ත අනතුරක් සම්බන්ධයෙන් සමාජයට අනතුරු හැගවීම උපහාසාත්මක ක්‍රියාවකි. බලය ලබා ගැනීමට මෙන්ම බලය පවත්වා ගැනීමටත් ජාතික ආරක්ෂාව සමග සූදු ක්‍රීඩා කළ පාර්ශ්වයක් දැන් නැවත බලය ලබා ගැනීම සදහා තමන් කළින් දැරූ ප්‍රතිපත්තියට සපුරා වෙනස් ප්‍රතිපත්තියක් දරමින් හාස්‍ය මතු කිරීම හැර වෙනත් වැදගත්කමක් රාජපක්ෂ පාර්ශ්වය විසින් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මතු කරන අනතුර තුළ දක්නට නොමැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මහා මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ ගෙවී ගිය තම දස වසරකට ආසන්න පාලන කාලය තුළ සිදුවූ වැරදි, අතපසුවීම් හා අසාර්ථකවීම් සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවකින් බව පෙනෙන්නට නොමැත. හුදු කතා බහට සීමාවූ පරිදි වැරදි වූ බව පිළිගත්තත් ඒ වැරදි මොනවාද, ඒ වැරදි සිදුවූයේ කුමන ප්‍රතිපත්තීන් නිසාද, ඒ වැරදි යළි නොවන්නටත් සිදුවූ වැරදි නිවැරදි කර ගන්නටත් සුදුසු අලුත් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් මොනවාදැයි පැහැදිලි කිරීමටත් ඔවුන් ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි.

පරාජය වූ දේශපාලන බලවේගයකට යළි සමාජය ඉදිරියට පැමිණීමට අයිතියක් ඇතත් යළි පැමිණ කරන්නට යන දේ පැහැදිලි කිරීම ඔවුන්ගේ වගකීමකි. එහෙත් මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පර්ශ්වය හෝ මේ සම්බන්ධයෙන් දරන්නේ “කන් බිහිරි කරවන තරමේ නිෂ්ශබ්දතාවකි”. සාමාන්‍යයෙන් නව ලිබරල්වාදය තුළ රටක දෙශපාලන පක්ෂ ජනතාවාදී වෙන්නේ මැතිවරණ කාලයේ දී පමණි. ඉන් අනතුරුව ඔවුන් සම්මුති සහගත වන්නේ ගෝලීය ආර්ථික අවශ්‍යතා සමගිනි. ඒ අත්දැකීම තුළ මහින්ද රාජපක්ෂ ස්වේච්ඡාවෙන්ම වැරදි නිවැරදි කර ගන්නේ යැයි විශ්වාසයක් ඇති වන්නේ නැත.

එහෙත් ඔහුගේත් ඔහුගේ පර්ශ්වයන්ගේත් දේශපාලන ඉතිහාසය ගොඩනැගී ඇත්තේ අශිෂ්ඨ දේශපාලන සංස්කෘතියක් මත ය. මහා මැතිවරණ වේදිකාවේ දී මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කතා බහක් ගොඩනැගෙන්නේ ද ඒ සංස්කෘතික ගති ස්වභාවයන් සම්බන්ධයෙනි. දස වසරකට ආසන්න තම පාලන කාලය පුරාම සමාජය තුළ ශක්තිම වූයේ මහින්ද රාජපක්ෂ විසින් ගොඩ නැගූ මජර දේශපාලන සංස්කෘතිය යි. ඔහු මෙවර ද ආණ්ඩු බලය ඉල්ලන්නේ ඔහුගේ අශිෂ්ඨ ක්‍රියා මගින් තහවුරු වූ සමාජ සංස්කෘතිය ශක්තිමත් කිරීමටයි. එය එසේ නොවන බවට කිසිම පැහැදිලි සාක්ෂියක් තම මැතිවරණ ව්‍යාපාරය තුළ දී ඔහු විසින් ඉදිරිපත් නොකිරීම කනගාටුවට කරුණකි.

shan.info1978@gmail.com

Back to Home page