Colombo Telegraph

වැලිවේරියෙන් පසු: රඟපෑම් ඉවරයි!

නීතිඥ ප්‍රබෝධ චින්තක රත්නායක

නීතිඥ ප්‍රබෝධ චින්තක රත්නායක

වැලිවේරිය ප්‍රදේශයේ භූගත ජලයේ පී.එච්. අගය පහළ වැටීම හෙවත් ආම්ලිකත්වය වැඩි වීමට හේතු වූයේ යැයි සැලකෙන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ නැදුන්ගමුවේ පිහිටි කර්මාන්තශාලාවට එරෙහිව ඇතිවූ මහජන උද්ඝෝෂණය සහ එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගොස් සිටි මාධ්‍යවේදීන්ට සිදු කරන ලද වෙඩි තැබීම සහ පහරදීම පිළිබඳව මේ වන විට විවිධාකාරයේ කියවීම් පවතින බව දක්නට ලැබේ. ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම යනු ලංකාවේ ප්‍රකට ව්‍යාපාර සමූහයක් වන හේලීස් සමාගම්වලට අයත් ආයතනයකි. එයින් ප්‍රධානතම කියවීම නම් වැලිවේරියේදී ප්‍රදර්ශනය වූයේ ආණ්ඩුව උතුරේ දියත් කළ මර්දනය දකුණට පැමිණීමේ උච්චතම අවස්ථාවක් ලෙසයි. මෙහිදී යුද හමුදාව හැසිරුණ ආකාරය, ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව විසින් ඒ පිළිබඳව ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කළ වාර්තාවල සැර බාල කළ හැටි, එම අවස්ථාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සැලකූ ආකාරය ආදිය පිළිබඳ විග්‍රහ කරන බොහෝ දෙනෙකු කියන්නේ ආණ්ඩුව දකුණේ සිංහල ප්‍රදේශයකදී හැසිරුණේ මෙහෙම නම් උතුරේදී කොහොම කරන්නට ඇත්ද යන්නයි. එය සහතික ඇත්තය. නමුත් බොහෝ අයට පැටලෙන්නේ ආණ්ඩුව දකුණේදී මේ කරන්නට හැදුවේ කුමක්ද යන්නයි. එසේ නැතිනම් ආණ්ඩුව නිකුත් කළ සංඥාව කුමක්ද සහ ආණ්ඩුව විසින් එමගින් බිය ගන්වන්නට හදන්නේ කවුරුන්ද යන්නයි.

බොහෝ විචාරකයන්ට අනුව වැලිවේරියේදී සිදුකරන ලද පහරදීම මගින් ආණ්ඩුව තර්ජනාත්මක පණිවුඩයක් එවනු ලැබූයේ ආණ්ඩු විරෝධී, තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, ප්‍රගතිශීලි ජනතාව වෙතටය. එහෙත් මෙහිදී අප කලබල නොවී, ‛මට මතක නෑ කියා අතීතය අමතක කරගන්නේ නැතිව, අප සිතා බැලිය යුත්තේ එවැනි ඊනියා ආණ්ඩු විරෝධී ප්‍රගතිශීලී ජන බලවේගයක නැගී සිටීමක් මෑතකාලීනව දකින්නට තිබුණාද කියා සහ මේ කාලයේ අපට හඳුනාගත හැක්කේ කුමන ආකාරයේ ජන බලවේගයක්ද යන්නයි.

01. සාමාන්‍යයෙන් දැනට අපට හමුවන ලාංකිකයා යනු එක් පැත්තකින් ජාතිවාදය නිසා සහ අනෙක් පැත්තෙන් ආණ්ඩුවෙන් ලැබෙන රැකියා, මහපොළ, පොහොර සහනාධාර, විදුලිය, කොන්ක්‍රීට් සහ කාපට් අතුරන ලද මාර්ග ආදිය නිසා ආණ්ඩුවට සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට තමන්ගේ ඡන්දය පූජා කොට, අනතුරුව තමන් විසින් සැදැහැ සිතින් පත්කරගත් එම ආණ්ඩුව සහ එහි සාමාජිකයන් විසින් හොර මැරකම්, අල්ලස්, දූෂණ, නාස්තිය ආදී තමන් අකැමැති දේවල් සිදුවෙද්දී ඒවා නැවැත්වීමට පියවර ගැනීමට විපක්ෂයට පණ නැතැයිද, මේ සියලු දුක් පිරිපතට හේතුව වනාහි දුර්වල විපක්ෂය යැයිද කියමින් විපක්ෂ නායකයාට බණින ලාංකිකයෙකි. තවත් ආකාරයකට කියන්නේ නම් මහින්ද රාජපක්ෂට ඡන්දය දී රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන ලාංකිකයෙකි. (ජනප්‍රිය වහරට අනුව ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වන්නේ සහ අල්ලස දූෂණය පැතිරෙන්නේ විපක්ෂය දුර්වල නිසා වුවත් අප මෙහිදී සර් අයිවෝ ජෙනිංග්ස් පැරාෆ්‍රේස් කර කිවහැක්කේ එයට පටහැනිව ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම සහ අල්ලස දූෂණය ඉහ වහා යෑම නිසා විපක්ෂය දුර්වල වන බවයි.)

02. මේ කාලයේ ජීවත්වන ජනතාවගෙන් බහුතරයක් දේශපාලන පක්ෂ විශ්වාස කරන්නේ නැත. සමහරු තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයකදී හෝ රස්සාවක් ගැනීම වැනි කාරණයකදී ‛රට නගන නිල් රැල්ල’ට එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්නවා විනා වෙනත් සමාජ ප්‍රශ්නයකදී දේශපාලන පක්ෂ සමඟ එක්ව වැඩ කිරීමට සූදානම් නැත. කතා බහකදී ඔවුන් පවසන්නේ පක්ෂ දේශපාලනය හැර වෙනත් මාතෘකාවක් කතා කරමු කියාය. ඔවුන් විහිළුවට ගන්නේ දේශපාලන පක්ෂ නායකයන්ය. ඊනියා ස්වාධීන වෘත්තීය සමිති නායකයන් සහ දේශපාලන වැඩවලට බැස ඇති සමහර පූජකයන් කතා කරන්නේද පක්ෂ සහභාගි වුවහොත් සාමාන්‍ය මිනිසුන් සහභාගි නොවන නිසා, පක්ෂවලින් සෙනඟ පමණක් ගෙන්වා ගෙන, පක්ෂ නැතිව ස්වාධීනව උද්ඝෝෂණ කරමු කියාය. වැලිවේරියෙන් අපට හමුවන්නේද ‛‛අපි අහිංසක විදියට වතුර ටිකක් ඉල්ලුව එක විතරයි කළේ, මේ වැඩේ දේශපාලන වැඩක් නොවෙයි, අපි මේ වැඩේට දේශපාලනය ගාව ගත්තේ නැහැ…” යන්න ආඩම්බරයෙන් කියන ජනතාවකි. (ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවා දිවයින පුවත්පතට කියා තිබුණේ මෙය ජනතාවගේ අරගලයක් බවත්, තමගේ ක්‍රියාකාරීන් මෙහිදී නායකත්වය ගත්තා නම් මෙයට ආණ්ඩුව විසින් ලේබල් අලවන බැවින් තම පක්ෂ ක්‍රියාකාරීන් සිටියේ ජනතාවට පසුපසින් බවයි.) ජනතාව සිතන්නේ දේශපාලන පක්ෂවලට එකතු වීමට වඩා බෞද්ධ භික්ෂූන් මාර්ගයෙන් හෝ හමුදාව මගින් තමන්ගේ ප්‍රශ්න විසඳා ගත හැකිය කියාය. මෙහිදී අප ඇසිය යුත්තේ ලංකාවේ ප්‍රාග්ධනය හසුරුවන ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාද වන ධම්මික පෙරේරා වැනි රෙජීමයේ ප්‍රධාන බල කණුවක වැඩි කොටස් අයිතිය යටතේ පවතින හේලීස් සමාගමට අයත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස කියා ඉල්ලීම දේශපාලනයක් නොවන්නේ කෙසේද කියාය.

03. ලංකාවේ ජනතාව යනු තවමත් තමන්ගේ ප්‍රශ්නවලට හේතුව දෙමළා, මුස්ලිම් මිනිසා, ඩයස්පෝරාව හෝ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මිස පවතින ධනවාදී සමාජ ක්‍රමය බව තේරුම් ගත නොහැකි වූ පිරිසකි. එම නිසාම එක්කෝ නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් ප්‍රමුඛ එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් අවසන් කළ පරිදි නැතිනම් පොලීසිය බලා සිටිද්දී දෙමළ ව්‍යාපාරික ස්ථාන විනාශ කොට ජාත්‍යාලය පෙන්වූ පරිදි, මුස්ලිම් පල්ලියක් වටලා වසා දැමූ පරිදි, දිළිඳු මිනිසුන්ට සහ ගැහැනුන්ට පවුල් සැලසුම් සේවා සපයන සායනයක් වටලා වසා දැමූ පරිදිම ගෝලීය ධනවාදයේ ප්‍රමුඛ නියොජිතයෙකු වන ධම්මික පෙරේරාගේ කර්මාන්ත ශාලාවක්ද වසා දැමිය හැකි බව විශ්වාස කරන පිරිසකි. (මේ කාලයේ ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් නොගෙන අමාරුවේ වැටුණ පුද්ගලයන් පිළිබඳව මෑතකාලීන උදාහරණ ලෙස ප්‍රභාකරන් පැරදවීමට නොබියව පෙරමුණ ගෙන සාර්ථක වූ චම්පික සහ විමල් ඇමැතිවරු දැක්විය හැකිය. මේ දෙදෙනාම පළමු ඉනිමේදී ප්‍රභාකරන්ට සාර්ථකව අභියෝග කළ නමුත් දෙවැනි ඉනිමේදී පිළිවෙළින් හැරී ජයවර්ධනට සහ පී.බී. ජයසුන්දරට අභියෝග කිරීමට ගොස් දැවී ගියේය.)

එල්ටීටීඊ යට එරෙහිව යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් සහයෝගය ලැබුණි. බුද්ධිමතුන්, ආචාර්ය මහාචාර්යවරුන්, කලාකරුවන්, රජයේ නිලධාරීන්, වාස් ගුණවර්ධන, මාධ්‍යවේදීන්, හමුදාව, අත කොටා ඇතුළු නූරි වත්තේ ජනතාව, සාරුවා සුනිල් ඇතුළු අකුරැස්සේ ජනතාව, මර්වින් සිල්වා, කහවත්තේ ජනතාව, වැලිවේරියේ ජනතාව, බස් හිමියන්ගේ සංගමය, ත්‍රීවිල් රියදුරන්, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයේ එවකට පැවතුණු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම, වාමාංශිකයන්, වෘත්තීය සමිති ඔස්තාර්ලා, ව්‍යාපාරික ප්‍රජාව, මව්බිම ලංකා පදනම ආදී ලෙස එය විශාල පරාසයක පැතිර යයි. එසේ ආණ්ඩුව සමඟ එකතු වූ බොහෝ දෙනෙකු තවමත් සිතන්නේ මේ ආණ්ඩුව තමන්ගේ කියාය. එහෙත් ආණ්ඩුව සිදු කළේ එතෙක් එල්ටීටීඊය නිසා ගෝලීය ධනවාදයට විවෘත නොවී හුදෙකලා කොදෙව්වක් ලෙස පැවතුණු (කියුබාව වැනි) උතුරු නැගෙනහිර පළාත්වල භූමිය සහ ආශ්‍රිත මුහුදු ප්‍රදේශය එල්ටීටීඊ යෙන් මුදා ගන්නට හෙවත් නිදහස් කර ගන්නටය. එසේ නිදහස් කරගත්තේ දකුණේ ඊනියා වීර සිංහලයන් උතුරේ ඉඩම් දී පදිංචි කරන්නට නොව එම භුමිය සහ මුහුද ප්‍රාග්ධන ආයෝජන සඳහා විවෘත කර දීමය. සරලව කිව්වොත් ව්‍යාපාරිකයන්ට ගොඩ බිම, අහසේ, සාගරයේ දස්කම් පාන්නට උතුර නැගෙනහිරට යන්නට ඉඩ ලබා දීමය. අහසෙන් හම්බ කරන, පොළොවෙන් හම්බ කරන, මුහුදෙන් හම්බ කරන, මිනිස්සුන්ට අවස්ථාව ලබා දීමය. එහිදී ඒ මිනිහා අපේ එකෙක්ද හෝ පිට එකෙක්ද යන්න අදාළ වන්නේ නැත. මේ ප්‍රාග්ධන ප්‍රසාරණයේදී එයින් අතෘප්තියට පත්වන, උන්හිටි තැන් යන එන මං අහිමි වන මීගමු කලපුවේ ධීවරයන් හෝ මොරටුවේ සාම්ප්‍රදායික ලීබඩු නිෂ්පාදකයන් වැනි අයගෙන් දකුණෙන් එන බාධාවන් නැති කරගත්තේ ජාතිවාදය මගින් ඉහත දැක්වූ පිරිස දර මිටියක් වැල් පටකින් බඳින්නාක් මෙන් ජාතිවාදය නැමැති වැරපටින් එකට බැඳ ගැනීමෙනි.

යුද්ධයෙන් පසුව රට තුළ ස්ථාවරභාවය පවත්වාගෙන යාමට ආණ්ඩුවට වැඩි වැඩියෙන් ආයෝජන අවශ්‍ය වන අතර එම ආයෝජන ඇද ගැනීම සඳහා ජාතිවාදය සහ කප්පම් දීම මත ගොඩනගාගත් ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයෙන් වසා, කොල්ලකාර සිටුවරුන්ට සහන ලබා දෙන නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ඊනියා සාම සංග්‍රාමයෙන් පසුව එන සංවර්ධන සංග්‍රාමය යනු එයයි. කාපට් පාරවල්, උයන් වතු, සක්මන් මළු, අධිවේගී මාර්ග ආදී සියල්ල ඒ සඳහා එළන පාවඩ මිස සාමාන්‍ය මිනිසා වෙනුවෙන් සාදන ලද්දක් නොවන බව කිසිවෙකු තේරුම් ගන්නේ නැත. ඒ ආශ්චර්යයේ නව යුගයට මෙතෙක් ආණ්ඩුවට සහයෝගය දුන් ඊනියා සාමාන්‍ය මිනිසුන්ට හෙවත් ජනගහණයෙන් 99%ට වඩා වටින්නේ ධනවත් 1% හෙවත් ඉහළ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් පමණි. ධම්මික පෙරේරා යනු එවැනි එක් ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුට අත තබන්නට පසුගිය කාලයේ තමන් විසින්ම පෝෂණය කරන ලද ඊනියා ජනතා බලවේගයන්ට ආණ්ඩුව ඉඩ නොදෙන්නේ එ නිසාය. ඒ නිසා වෙන පළාත්වල ජනතාව කිසි ප්‍රශ්නයක් නැතිව මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට, මුස්ලිම් සහ ක්‍රිස්තියානි පල්ලිවලට, පවුල් සැලසුම් ආයතන සහ සායනවලට පහර දුන්නාක් මෙන් වැඩේ ලේසියට ගෙන ධම්මික පෙරේරාට අත තබන්නට ගිය විට යුද හමුදාව යොදා එය මර්දනය කොට ඇති අතර එහිදී වැලිවේරියේ ජනතාව “අපි තමයි හමුදාවට ලේ දුන්නේ – එහෙව් අපට දැන් ගහන්නේ ඇයි?” කියා හමුදාවෙන් අසා වැඩක් නැත.

මේ මොහොතේ ආණ්ඩුවට අභියෝග කළ හැකි තරමට රටේ වඩා ප්‍රබල ජාතිවාදී දේශපාලනයද ජාතිවාදයට එරෙහි දේශපාලනයද කියා ඇසුවහොත් ලැබෙන පිළිතුර වන්නේ ජාතිවාදී දේශපාලනය බවයි. ආණ්ඩුව පසුගිය කාලයේ වැපිරූ ජාතිවාදී දේශපාලයේ නිල හිමිකාරීත්වය දැන් බල සේනාවන් අතට පත්වෙමින් තිබෙන අතර ඔවුන්ට අනුව ආණ්ඩුවේ සමහර ඇමැතිවරු ‛වල් පරයන් ’ බවට පත්ව කිච වී තිබේ. මේ මොහොතේ රටේ ජනබලවේගයක් නිර්මාණය කළ හැකි දේශපාලන පක්ෂයක් තිබේද යනුවෙන් ඇසුවහොත් එයටද පිළිතුර නැත යනුයි. එසේම නම් මෑතකාලීනව සිදුවුණ දේශපාලන වෙනස්කම් හමුවේ කලබලයට පත්ව සිටින්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියන පරිදි පළාත් සභාවල විෂ දත් ගැලවීමට ගොස් තමන්ගේ දත් ගලවාගෙන සිටන ආණ්ඩුවේම සිටින ජාතිවාදීන්ය. විශාල මාධ්‍ය සංදර්ශන ගණනාවකින් පසුව අවසානයේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ එන ඉඩම් පිළිබඳ බලයට හෝ පොලිස් බලයට කිසිදු සංශෝධනයක් කිරීමෙන් තොරව උතුරු පළාත් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති තත්ත්වයක් තුළ අනාගතයේ ජනතාව අවුස්සා පාරට බැස්සවීමට වැඩි ඉඩක් ඇත්තේ මේ පැරදෙමින් යන ජාතිවාදීන්ටය. පැන නගින ආර්ථික සහ ජාත්‍යන්තර පීඩනයන් හමුවේ ආණ්ඩුව ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා යම් සාධනීය එළඹුමකට පිවිසිය හොත් එය දඩමීමා කරගෙන ආණ්ඩු විරෝධයක් ගොඩනැගීමේ අනතුර ආණ්ඩුව විසින් නොදැකීමට හේතුවක් නැත. එහිදී එක්සත් ජාතික පක්ෂයේ සිටි බොහෝ ජාතිවාදීන් දැන් සිටින්නේ ආණ්ඩුව තුළ නිසා මේවන විට ඉතිහාසයේ පළමු වතාවට ජාතිවාදී නොවන විපක්ෂයක් බිහිවී ඇති බැවින් ජාතිවාදී ආණ්ඩු විරෝධයක් පැන නැගීමට ඉඩ ඇත්තේ විපක්ෂය දෙසින් නොව ආණ්ඩුව තුළින්ම බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුව විසින් මේ වන විට දේශපාලන පක්ෂවල සුජාතභාවය විනාශ කොට ඇති තත්ත්වයක් තුළ දේශපාලන පක්ෂයක විනයකින් තොරව ඕනෑම අයෙකුට මෙම අපේක්ෂාභංගත්වයට සහ අතෘප්තියට පත්ව සිටින ජන බලවේගය පාලනය කළ හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ සඳහා පහසුම මාධ්‍යය වන්නේ ජාතිවාදයයි. ඕනෑම සිද්ධියක් සිදුවූ සැණින් එසැණින් පෙන්වා තම රේටිංග්ස් ඉහළ නැංවීමට සැදී පැහැදී සිටින ජනමාධ්‍යයද ඇවිළෙන ගින්නට පිදුරු දමනු ඇත.

අපගේ යෝජනාව වන්නේ ඉදිරියේදී ආණ්ඩුව විසින් මුහුණ දෙන උතුරේ පළාත් සභා මැතිවරණය, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේගේ ලංකා සංචාරය, පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වැනි සාධකත් සමඟ ආණ්ඩුවේ ගමන් මාර්ගයේ වෙනසක් ඇති විය හැකි අතර එවැනි තත්ත්වයකදී ඉහත පරිදි දකුණ අවුල් වුවහොත් තමන්ට අවශ්‍ය නම් හමුදාව දකුණට හැරවිය හැකි බව ආණ්ඩුව මෙහිදී පෙන්වන ලද බවයි. දේශපාලන තීන්දු හමුදාව යොදවා ගැනීම අප අනුමත කළත් නොකළත් මේ ආණ්ඩුව සිතන්නේ එවැනි දෙයකට පවා තමන්ට ජනවරමක් ලැබී ඇති බවයි.

මෙතෙක් කල් ආණ්ඩුව කටයුතු කළ ආකාරය අනුව පෙනෙන්නේ ආණ්ඩුවේ දේශපාලනය ජාතිවාදි වුවත් ආර්ථිකය පිරිසිදු ධනවාදය බවයි. එම නිසා ඉහත ආකාරයේ ජාතිවාදී කැරැල්ලක් නිර්මාණය වුවහොත් ඔවුන්ගේ ප්‍රධාන ප්‍රහාරයන් එල්ල වන්නේ ආර්ථික බල කණු වෙතටය. එනම් මෙවන් ව්‍යාපාරිකයන් වෙතටය. ලංකාවේ ආර්ථිකය මේ වන විට රඳා පවතින්නේ මහ බැංකුව මත නොව මෙවැනි ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මත බව ආණ්ඩුව අපට වඩා හොඳින් දනී. එම නිසා එහිදී ආණ්ඩුවෙන් අහිංසක ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය යුතු නැත.

ආණ්ඩුව කොහොමත් දන්නා හඳුනන විපක්ෂයේ දේශපාලන පක්ෂවලට සහ ඔවුන් විසින් යුෂුවල් සස්පෙක්ට්ස් යනුවෙන් හඳුන්වන සිවිල් සමාජයට සම්බන්ධව සිටින, හැමදාමත් සිරිතක් ලෙස උද්ඝෝෂණවලට සම්බන්ධ වන කිහිප දෙනා හැර තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින වෙනත් ප්‍රගතිශීලී ජනතාවක් සම්බන්ධයෙන් ආණ්ඩුව බිය නොවන්නේ එවැනි ජනතාවක් නොමැති බව ආණ්ඩුව දන්නා නිසාය. ආණ්ඩුව වර්තමානයේ බිය වන්නේ තමන් විසින්ම පෝෂණය කළ ජන බලවේගය ආපසු හැරී තමන්ට පහර දී තමන්ගේ දේශපාලන සුජාතභාවය විනාශ කරනු ඇත කියාය. එවැනි බලවේගයක් හරහා වර්තමාන ආණ්ඩුව පෙරළා දමා කාලකණ්ණි සතුටක් විඳීමට විපක්ෂ බලවේගවලට හැකිවුවත් ඉන් අනතුරුව සිදුවනු ඇත්තේ ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ ඊනියා අරාබි වසන්තයන්ට පසුව මහජන ඡන්දයෙන් ගොඩනගන ලද මුස්ලිම් සහෝදරත්ව ආණ්ඩු යටතේ විපාක්ෂික බලවේගවලට සහ විමතිකයන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම්වලට මුහුණ දෙන්නටය. එම නිසා අප මහන්සි විය යුත්තේ දේශපාලනයට බිය නැති, දෙමළ ජනතාවගේ, සෙසු සුළු ජාතිකයන්ගේ, ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් පිළිගැනීමට බිය නැති, පටු ජාති, ආගම් සහ ප්‍රදේශවාදයෙන් මිදුණු ජන බලවේගයක් සෑදීමට මිස ඕනෑම වර්ගයක ආණ්ඩු විරෝධයක් වෙනුවෙන් පෙනී සිටීම නොවේ. මන්ද ඉදිරියේදී සරු පසක් සැකසෙන්නේ ජාතිවාදී ආණ්ඩු විරෝධයකට මිස ජාතිවාදයට එරෙහි ආණ්ඩු විරෝධයකට නොවේ. එම නිසා දැන් සිටම අමාරුවෙන් හෝ ජාතිවාදී නොවන ආණ්ඩු විරෝධයක් වෙනුවෙන් අප මහන්සි විය යුතුය. එසේ නැති වුවහොත් මෙවරත් ඉතිහාසයේ සෑමවිටම සිදු වුණා මෙන් සිදුවන්නේ වාමාංශිකයන්ගේ සහ අනෙකුත් ප්‍රගතිශීලි පිරිසකගේ කර මතින් අලුත් ජාතිවාදීන් පිරිසක් බලයට පත්වීමය.

ආණ්ඩුව වැලිවේරියේ ප්‍රහාරයෙන් පණිවුඩ දෙකක් ලබාදේ. එකක් ජාතිවාදීන් ඕනෑවට වඩා උඩ නොපැනිය යුතු බවයි. අනෙක් පණිවුඩය නම් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ක්‍රමය සමඟ හැප්පෙන්නට එන අයෙකුට සලකන්නේ කෙසේද යන්නයි.

දකුණේ සමාජයට අවශ්‍ය නම් මෙයින් තවත් පණිවුඩයක් ලබා ගත හැක. එනම් ආණ්ඩුව පෙනී සිටින්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්ය යන රඟපෑම ඉවර වී ධනවාදය (අවශ්‍ය නම් ව්‍යාපාරිකයන්) වෙනුවෙන්ය යන්න සහ උතුරේ දෙමළාට වටකර ගැසූ තරම් පහසුවෙන් ධනවාදය සමඟ හැප්පිය නොහැකි බවයි. මෙහි ඛේදවාචකය නම් උතුරේ ජීවිත දහස් ගණනක් අහිමි වීමෙන්වත් දකුණට මෙය තේරුම් නොගිය අතර, දැන් වැලිවේරියේ තවත් තරුණ ජීවිත කිහිපයක් බිලිවත්දීවත් දකුණ මෙය තේරුම් නොගනී නම් නැවත මෙය තෙරුම් ගත හැකි අවස්ථාව එන්නේ මීටත් වඩා තරුණ ජීවිත ගණනක් මතින් බව අවසානයට සඳහන් කළ හැක.

Back to Home page