Colombo Telegraph

ගෝල්ෆේස් ගිය මට ලැජ්ජා සිතුණි; මුහුදේ රළ හඬ අභිබවා නැගුණේ පිරිමි කටහඬවල් පමණි

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ස්වාධිපත්‍යය ජයග්‍රහණය කිරීම සැමරීම උදෙසා සංවිධානය කළ සැමරුම් උත්සවය බලන්නට ඊයේ හවස ගෝල්ෆේස් පිටියට ගිය මට ලැජ්ජා සිතුණි. මට මෙන් ම එහි පැමිණ, සවිඥානිකව සිටි සියලු කාන්තාවන්ට ලැජ්ජා හිතෙන්නට ඇතැයි සිතමි. 

මැක්සිම් ගෝර්කි ගේ “අම්මා” විප්ලවයට කාන්තාවගේ දායකත්වය කෙබඳුදැයි අපූරුවට කියා දී තිබේ. 

වරෙක ෆෙඩ්රික් එංගල්ස්ගේ ධනපති පියා කාල්මාක්ස් විප්ලවවාදියෙක් වූයේ කෙසේ දැයි විමසුවේය. ඊට පිළිතුරු වශයෙන් එංගල්ස් කීවේ ඔහුට තියුණු ඥානයක් හා දක්ෂ බිරිඳක් සිටින බවයි. 

ඉතිහාසය දිගේ ආපසු ඇවිද යන්නකුට කුස්සියේ දර ලිපේ විප්ලවයේ සිට මහා ශිෂ්ඨාචාර බිහි කළ විප්ලව දක්වාම කාන්තාවගේ දායකත්වය කෙබඳුදැයි සොයා බැලිය හැකිය. දර්ශනය හා දේව විශ්වාසයන් අතර ඇති වූ සටන් වල දී පුරාණ ග්‍රීසියේ දාර්ශනික ගැහැනුන් පල්ලියට ගෙන ගොස් නිරුවත්කොට ගල් ගසා මරා දැමිණ. 

එවන් වූ කැපකිරීම් මතින් එදා මෙදා තුර ලෝක ඉතිහාසය වෙනස් කළ බොහෝ විප්ලවයන්ට කාන්තාව සෘජුව හෝ වක්‍රව දායක වී තිබේ.   

කුමන විප්ලවයට කෙසේ දායක වුවත් ලෝක දේශපාලනයේ කාන්තා නියෝජනයට අයිතිය දිනා ගැනීම උදෙසා සියවස් ගණනාවක් බලාසිටීමට කාන්තාවන්ට සිදුවිය. 

2017 වන විටත් ලෝක දේශපාලනය තුල කාන්තා දායකත්වය සියයට 23.3 කට සීමා වී තිබිණ. එය ආසියාවේ 19% ක් විය. ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය සටහන්ව තිබුණේ 5% ක් වැනි අවම මට්ටමකය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 12 වන වගන්තියෙන් සමානාත්මතාව තහවුරු කර තිබේ. ආගමික, වාර්ගික හා ලිංගික සමානාත්මතාව ඊට ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට පනස් දෙකක් කාන්තාවන් වන අතර සමස්ත ඡන්ද දායකයන්ගෙන් 56% කාන්තාවන්ය. ජනගහනයට සාපේක්ෂව කෙසේවෙතත් පිළිගත හැකි මට්ටමකට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට පැවති සමාජ කතිකාව හේතුවෙන් 2016 වසර අවසන් භාගයේ දේශපාලනයේ කාන්තා නියෝජනය 25% ක් දක්වා වැඩි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.  

ශ්‍රී ලංකාව කාන්තා දේශපාලනයේ ලෝක වාර්තා තැබූ රටකි. ලෝකයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය හා ලෝකයේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය බිහිවූයේ ශ්‍රී ලංකාවෙනි. එම ලෝක වාර්තා පිහිටවූ කාන්තාවන් දෙදෙනාට අමතරව ශ්‍රීමා දිසානායක 1994 වසරේ ජනාධිපති අපේක්ෂිකාවක් ලෙස දේශපාලනයට පිවිසියාය. එහෙත් මෙහිදී සලකා බැලිය යුතු විශේෂ කරුණ නම් ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඉහළම පඩියට නැඟගත් මෙම කාන්තාවන් තිදෙනා දේශපාලනයට පිවිසියේ කෙසේද යන්නයි. ඔවුන් තිදෙනාගේම ප්‍රවිෂ්ටය එකම හේතුවක් මත පදනම් වන අතර එය අපේ රටේ කාන්තා දේශපාලනයේ විශාලතම ඛේදවාචකය බව මම විශ්වාස කරමි. 

සිරිමාවෝ ආර් ඩී බණ්ඩාරනායක දේශපාලනයට පිවිසෙන්නේ සිය ස්වාමියා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ අභාවයෙනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග දේශපාලනයට පිවිසෙන්නේ විජය කුමාරතුංගයන්ගේ අභාවයෙනි. ශ්‍රීමා දිසානායක දේශපාලනයට පිවිසෙන්නේ ගාමිණී දිසානායකයන්ගේ අභාවයෙනි. මේ තිදෙනා හැර ලාංකීය දේශපාලනයට ස්වායත්තව පිවිසි කිසිදු කාන්තාවක් දේශපාලනයේ ඉහළ තලයට පිවිස නැත. ඉහළ නිලයන්ට තේරීපත්ව නැත. අඩුම තරමින් අගමැති හෝ ජනාධිපති අපේක්ෂකත්වයට නිර්දේශ වී හෝ නැත.

ඉතිහාසයේ බොහෝ අවස්ථාවල කාන්තාවගේ ශක්තිය හා ශක්‍යතාවය​ කියවා ගත්තේ අඩුතක්සේරු වෙනි. එහෙත් සටනකදී අවි අතැතිව පෙරමුණට ගිය කාන්තාවන් ද, සොල්දාදුවන්ට කෑම පිස දී කුසගින්නේ සිටි කාන්තාවන් ද එක ලෙසම ධෛර්ය සම්පන්න යයි මම සිතමි. ඔවුන් දෙදෙනාගේම දායකත්වය විප්ලවයට එක ලෙස අත්‍යාවශ්‍ය යැයි මම සිතමි.

පසුගිය දින පනස් දෙකක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය හා මූලික අයිතීන් පිළිබඳ සමාජ විප්ලවයක් පැවතුණි. ගැහැණු පිරිමි, ජාති ආගම්, පක්ෂ පාට භේදයකින් තොරව ස්වාධීනත්වය හා නිදහස අගයන සියලු දෙනා එම විප්ලවයට සක්‍රීයව දායක වූහ. වේදිකා මතද ඉන් එපිට ද හඬ නැගූහ, මහ පාරේ වීදි සටන් කළහ, අඛණ්ඩ උපවාස වල යෙදුණහ, කවි ලියූහ, ලිපි ලිවූහ. හැකි සෑම කලාවකින්ම, හැකි සෑම මාධ්‍යයක් ඔස්සේම, හැකි සෑම අයුරින්ම විප්ලව කළහ. මේ සියළු තැන්හිදීම පිරිමින් හා කරට කර ඉදිමින් කාන්තාවන් ලබාදුන් දායකත්වය මම දුටුවෙමි. එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි, සුළුපටු නොවන, දැවැන්ත දායකත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය එහි නියම හිමිකරුවන්ට ලබා දෙමින්  යුක්තිය පසිඳලූ විට සියලු දෙනා එක්ව භුක්ති වින්දාහ. රටේ පැවැත්මට හා අනාගත දේශපාලන සුරක්ෂිත බව ඇති කිරීම උදෙසා යමක් කළ බවට සියලු දෙනාට නිහතමානී ආඩම්බරයක් දැනිණ.

ඒ ජයග්‍රහණයේ සැමරුමට ඊට දායක වූ සියලු දෙනාම නැතත් බොහෝ දෙනෙක් ඊයේ ගෝල්ෆේස් පිටියට එන්නට ඇත. පස්වරු දෙකට ආරම්භ වූ රැලිය කළුවර වැටෙන තුරු පැවැත්විණ. මුහුදේ රළ හඬ අභිබවා නැගුණු පිරිමි කටහඬවල් පැය ගණනක් මුළුල්ලේ පක්ෂ දේශපාලනය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නීතියේ ආධිපත්‍යය ගැන, රජයේ නව ප්‍රතිපත්ති ගැන, අතපසු වූ දේ ගැන, අනාගත වගකීම් ගැන, දහසකුත් එකක් දේ ගැන කියා සිටියහ. කාන්තාවෝ අත්පොළසන් දෙමින් පිරිමින්ගේ කථනයන් අසා සිටියහ. විප්ලවයේදී පිරිමි කටහඬවල් පරයා නැගුණු කාන්තා හඬවල් ගෝල්ෆේස් පිටියේදී සම්පූර්ණයෙන්ම නිහඬ වී ගොස්ය. මෙම පිරිමි රැලිය ගැන මගේ පිරිමි මිතුරෙකු සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබුණි.

“අදත් පෙර පරිදිම කිසිදු කාන්තාවකට වේදිකාව මත ඉඩක් දී නැත. මේ රට හෝ මේ පක්ෂය හෝ හැදෙන්නේ නැත.”

කාන්තා නියෝජනය සියයට 25ක් විය යුතු බවට පනත් සම්මත කොටගෙන ඒ අනුව ප්‍රාදේශීය සභා මැතිවරණයද පවත්වා තිබේ. එහෙත් සියලු දෙනා අදටත් එල්බගෙන සිටින්නේ ඊට පෙර පැවැති මානසිකත්වයේමය. අදටත් ඔවුන්ට අනුව කාන්තා නියෝජනය 5% ටත් අඩුය. ප්‍රජාතන්ත්‍රවාදය සැමරුම් වේදිකාව මතදී නම් කාන්තා නියෝජනය 0% දක්වා පහත වැටී තිබිණ. 

සමාජ දේශපාලන ස්ථරයන්හි කාන්තාව අවතක්සේරු කිරීම පිළිබඳ කෙනෙකු මෙසේ කියා තිබේ. “In the differences between sexes, men are considered better and more in nature, while women are underestimated”.

ඒ කාලෙ ඉඳලම එහෙමය. දැන් කියලා වෙනසක් නැත.

Back to Home page