Colombo Telegraph

ඉතින් ඇයි නයිහාමි පෙනේ පිප්පුවෙ නැත්තෙ?  

පුණ්‍යා සමරකෝන් –

පුණ්‍යා සමරකෝන්

හිතාදර මෛත්‍රී,

මීට හරියටම අවුරුදු හතරයි මාස හතරකට කලින් මමයි ජනාධිපති සිරිසේන වන ඔබයි අතර ලියුම් කිහිපයක් හුවමාරු වුනා. ඒ වනාහී මා විසින් ස්වාධීන රූපවාහිනියේ ඉන්න ගමන් ස්වාධීන මාධ්‍යකරණයක නිරත වීමේ අතුරු ප්‍රතිඵල ලෙස මාගේ වැටුප් කපා හැරීම ඇතුලු අනෙකුත් දඩුවම් දැක්වෙන ලිපි කිහිපයකි. ඒ ලිපි වල ඔබතුමාගේ නම කිහිප පොලකින් සටහන් වී තිබුන වග ඔබට මම කාරුණිකව සිහිපත් කර දෙමි. ඒක පොඩි කේස් එකකි. අපි ඒක අමතක කරමු. 

පසුව අහම්බයකින් ජනාධිපති වූ ඔබ හමුවූ එක අවස්ථාවක මගේ ලිපියක ඔබේ පෑනෙන් මගේ අත්සන ගැසූ සැටිත්, ඔබේ ස්ටෙප්ලරයෙන්ම එය අමුණා ඔබටම දීමට තරම් මා දඩබ්බර වූ හැටිත් ඒ සියල්ල දෙස ඔබ ඉවසීමෙන් බලා සිටය හැටිත් දැනට අමතක කරමු. ජනාධිපති නිල නිවසේ, නිල ඔෆිස් කාමරයේ, නිල මේසය මත ඔබ වටා ඉදිවුන ෆයිල් පවුරක් මැද ටෙලිෆෝන් දෙකතුනක් එකවර නාදදෙන හැටිත්, ඔබ ඒවා සමග තනියෙන් අරගල කරන හැටිත්, මා ඒ දෙස පුදුමයෙන් බලා සිටිය හැටිත් අමතක කරමු. ඇයි ලිපිකරුවෙක් තියාගන්නෙ නැත්තෙ? ඔය විදියට කොහොමද ජනාධිපති රස්සාව කරන්නෙ කියල මට නුඹෙන් අහන්නට හිතුනා. අපි ඒ සියල්ල අමතක කරමු. අද ඔබ සිදුකරමින් සිටින මේ දේවල් හා ඔබේ ස්වරූපය දකින විට මට ඔබ තාමත් එහෙම අපිළිවෙලකට ඇති කියා සිතෙනවා. 

ඔබ පොදු අපේක්ෂක ලෙස පත්වූ මොහොතේ සිට ජේ. ආර් ගේ ව්‍යවස්ථාවේ විධායක බලතල සියල්ල ඔබට ලැබුනා. ඔබ ඒ බලතල ළඟ​ තබාගෙන සරල වෙන්න ගොස් ගොං පාට් එකක් වුනා. උත්සව එපා කියල මාසයක් යන්නත් කලින් උත්සව පැවැත්තුවා. පාසල් ළමුන් පාරවල් දිගේ කොඩි වනන්න දාන්නෙ නෑ කියල පහුවදාම ඒ කතා බොරු කලා. හෙලිකොප්ටර් පාවිච්චි කරන්නෑ කියල හෙලිකොප්ටරයේ ගෙදර ගියා. පුත්තු නලවන්නෑ කියල පුතා එක්ක හැම මාසෙම වාගෙ රට සවාරි ගියා. දුව අනුන්ට කියල ලියපු පොත් වලට එයාගෙ නමයි ඔයාගෙ නමයි දෙකම දාගත්ත. විමල්ගෙ භාෂාවෙන් කියනවනං බයි බෝස් එකෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල ප්‍රචාරණ බජට් හූරල අරං දුවට දුන්න. පොඩි පොඩි වැඩ කරල ජීවත් උන මගේ මිත්‍රයින් ගොඩකට බිස්නස් නැතුව ගියා. තොපෙ ජනාධිපතියගෙ දෝනියන්දැ අපිව කෑව කියල මගෙත් එක්ක ඔබේ හා පවුලේ පලු ඇරපු මිනිස්සු හිටිය.

යහපාලන ආණ්ඩුව ආවෙ හොරු අල්ලන්නනේ. ජනාධිපති වෙච්ච දවසෙ ඉදල හොරු අල්ලනව කිවුවට කෝ? කියල මිනිස්සු අහනකොට ඒ හැම කෙහෙල්මලක්ම ගියෙ රනිල්ගෙ පිටින්. රනිල් එලවන්න සජිත්ගෙ කල්ලිය කුලප්පු වෙලා එනකොට සිරිකොතේ පාරට තාර දාල රනිල් බේරගත්තෙ මහින්දනෙ. ඒ නිසා රනිල් හොරු ඇල්ලිල්ල කල් දදා කළගුණ සලකනව කියල පොදු ජනතාවත් හිතුව. අනිත් එක ඔබතුමාට මහින්ද පවුලෙන් අත්වුනු ඉරණම අපි හොදාකාරවම  දන්න නිසා ඇත්තටම ඔබතුමා එයාල රකින්න හේතුවක් නෑ කියල අපි හිතුව. හැබැයි දැන් තේරෙනව යකඩ කෑල්ල අරන්තියාගත්තෙ මොකටද කියල. දැන් යකඩෙට හෙන පිට හෙන වදිනව. ඔබතුමා අර මන්දිරේ සමාදානයේ සැතපෙනව. හැබැයි ඉතින් වැඩි දවසක් ඔහොම ඉන්න හම්බ වෙන්නෙ නෑ. මොකද යකඩ ඉතින් යකඩම තමයි. වෙනස් වෙන්නෙ නෑ.  

පහුගිය අවුරුදු තුනේ ඔබතුමාට අද ඔය පෙන්නන හයිය තිබ්බ බවක් පෙනුනෙ නෑනෙ. පොඩි සින්දුවක් කියල පොඩි පින්තූරයක් දෙකක් දාගෙන හිටය ඇරෙන්න ඇත්තටම වෙන වැඩක් කලේ නෑනෙ. ඒත් ඔය බලයම එදත් ඔබ සතුව තිබුනනෙ. ඉතින් නයි හාමි ඇයි රනිල් පිලට පෙනේ පිප්පුවෙ නැත්තෙ? මේ හැම දේම ගැන හිතනකොට දැන් ඇත්තටම රනිල් පිලට දාන පාට් දැක්කම මට හිතෙන්නේ ඔය බල ඇදුම දැන් ඇඳගෙන ඉන්නෙ වෙන කවුරු හරි කියල. ලැජ්ජ වෙන්නැතුව කියන්න. මහින්ද හයර් එකට ගත්තෙ  ඒකට නේද? පොළොන්නරුවේ පැත්තෙ පොළොවෙන් මතුවුන නිසා මේ කතාව අහල නැතුව ඇති සමහරවිට. මේ ප්‍රශ්නත් එක්ක අමතකත් ඇති. ඒ නිසා මම මතක් කරල දෙන්නං. ඔන්න එක රජ කෙනෙක් හිටිය. එයාගෙ නම යසලාලක තිස්ස. එයා සරල, විනෝදයට බර සාමාන්‍ය මනුස්සයෙක්. එයාට හිටිය සුභ කියල දොරටුපාලයෙක්. එයා හරි කපටිය. බලයට ඉව අල්ලගෙන හිටියෙ. මේ දෙන්නට තිබුනෙ පුදුම සමාන පෙනුමක්. රජාව ගොනාට අන්දන හැටියක් කල්පනා කර කර ඉන්න වෙලාවෙ දොරටුපාලකයට අපූරු අදහසක් ආව. එයා රජාට සෙල්ලමට වෙස් මාරුකරගමුද කියල ඇහුව. අනිත් අය රවට්ටල සතුටු වෙන්න පුලුවන් කියල හිතපු රජා දොරටුපාලකගෙ කපටි යෝජනාවට කැමති උනා. රජාගෙ ඇදුම් ආයිත්තම් පැළදගෙන ඔටුන්නත් දාගෙන සිංහාසනෙත් ඉදගත්තා. රජා රැවටුනා. සියලු සේවකයො හොර රජාගෙ අනට කීකරු උනා. එතැන් පටන් යසලාලක තිස්ස තාමත් සෙල්ලං කරනව, වංචාවෙන් රජ වුන  පුරෝහිත රජකං කරනව. 

මම පුණ්‍යා 

Back to Home page