Colombo Telegraph

ශ‍්‍රී ලංකාව: දැන් ආපහු හැරීමක් නැත

ආර්. ඒ. රත්වත්ත

ආර්. ඒ. රත්වත්ත

මගහැරිය නොහැකි ඇතැම් සත්‍යයන් මේ මැතිවරණයෙන් පසු අපට හමු වෙයි. ඉස්සර අප දැන සිටි සිටි සමාජ සාරධර්ම සහ ප‍්‍රමිතීන් ගැන අතීත කාමයකින් කතා කරන, 60 සහ 70 දශකයේ හැදී වැඩුණු අපට, සියල්ල දැන් අහිමිව ගොසිනි. 

ශ‍්‍රී ලංකා සමාජයේ ආපසු හැරවිය නොහැකි වෙනස් කම් බොහොමයක් සිදුව ඇත. යුද්ධයෙන් ගැලවීමට යත්න දරණ අතරේ එවැනි වෙනස්කම් එකින් එක අප නොදැනුවත්ව හෝ නොදැනුවත්ව අප මත පැටවී තිබේ. පසුගිය තිස් වසර තුළ, දේශපාලඥයා යනුවෙන් අප දැනගෙන සිටි හැඳිනීම (ඩඞ්ලි සේනානායක) වර්තමානය වන විට රාජපක්ෂ නැමැති රූපකයට මාරු වී තිබේ. ඉස්සර තිබූ සන්තෝසම හෝ යමක් අතමිට මෙලවීම යන්න, විස්කි බෝතලයක සිට අද වන විට අඩුම වශයෙන් රුපියල් ලක්ෂයක් දක්වාවත් වර්ධනය වී තිබේ. හමුදා නිලධාරියෙකු සහ මහත්මයෙකු වශයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව කෙරෙහි එදා තිබූ හැඳිනීම, දැන් රාජපක්ෂ හෝ පොන්සේකා කෙනෙකුගෙන් කෙනෙකු තෝරා ගැනීමට බල කිරීමක් දක්වා වර්ධනය වී තිබේ. ඉස්සර මහ හයියෙන් බයිලා ගායනා කරමින් අපව විනෝදමත් කළ අපේ ප‍්‍රියසාද පවා, බර්ගර් ප‍්‍රජාව සංක‍්‍රමණය වීමත් සමග අවසන්ව ගොසිනි.දැන් ඒවායේ වැජඹෙන්නේ අමරදේව සහ තබ්ලාවයි.

කෙනෙකු ‘හොඳ මිනිහෙක්’ ද යන්න මිස පවුල් නාමයක් නොතැකූ එදා අප ජාතිය සහ ආගම ගැන දැරූ මතය, අද සදහටම තුරන්ව ඇත. දෙමළාව මෙන්ම හම්බයාවත් ‘ගානකට තියාගත යුතු’ බව, මෙවර පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල හරහා මේ ආණ්ඩුව සිංහල ජනතාවගේ සිත්සතන්වලට කාවද්දනු ඇත. කෙළෙහිගුණ නොදන්නා යාපනේ ජනතාව වෙනම රාජ්‍යයක් සඳහා ඡුන්දය පාවිච්චි කර ඇති බවට, අපේ මාධ්‍ය ඔස්තාද්ලා ඉදිරි සති කිහිපයේ ලියන කියන හැටි ඔබට දැන ගැනීමට හැකි වනු ඇත. ළඟදීම මුස්ලිම් ප‍්‍රජාව ද, ඒ දෙමළ ජනයාගේ ගොන්නටම කෙසේ හෝ ඔවුන් විසින් එකතු කර ගනු නියතයි.

යුද්ධ කාලයේ රටේ හැදුනු වැඩුනු සිංහලයා, සිංහල සහයෝගීතාව වෙනුවෙන් රාජපක්ෂට සහ ෆොන්සේකාට ඉදිරියටත් ඡුන්දය පාවිච්චි කරනු ඇත. ඇත්තෙනම් සිංහලයාට ඉතිරි වනු ඇත්තේ එවැනි විකල්ප පමණි. එක්සත් ජාතික පක්ෂයට රටේ බහුතරයක් ඡුන්ද ලබා ගැනීමට අවශ්‍ය කරන්නේ නම්, මැරයන්ගේ සහ තක්කඩින්ගේ පක්ෂයක් වශයෙන් සිතීමට සහ ඒ අනුව කටයුතු කිරීමට සිදු වනු ඇත.

පරණ සදාචාර ප‍්‍රමිතීන් සහිත සමාජයක් ගැන සිතීමට තවදුරටත් නොවෙහෙසෙන්න. ආචාර ධර්ම සහ කෘතඥතාව මත මනුස්ස පක්ෂපාතීකම් පදනම් විය යුතුව තිබියදී, වැඩිම ලංසුවට විකිණෙන වෙළඳ භාණ්ඩයක් බවට එය පත්ව තිබීම ගැන තවදුරටත් නොසිතන්න. ශ‍්‍රී ලංකාවේ ‘අළුත්’ ජනතාව කුමන වර්ගයේ දැ යි මත්තට තවත් කෙනෙකු විසින් මනිනු ඇත්තේ ඔහු හෝ ඇය තමන්ගේ ජාතියේ එකෙක් ද යන්න මතයි. එවැනි නිරීක්ෂණ ඔවුන්ගේ වෙනත් සකල විනිශ්චයන්ට ද පදනම සපයනු ඇත. වැටුපකින් ජීවිතේ ගැටගසාගන්නා ‘අවංක’ මිනිසාගේ ජීවිතය එන්න එන්නම දුෂ්කර වෙද්දී, ඔහුට නොනැසී පැවැතීම සඳහා අවශ්‍ය කරන එකම දෙය මුදලම වශයෙන් අධිනිශ්චය වනු ඇත.

රටේ ජනතාව දැන් තීන්දු කොට තිබේ. ‘කම්පියුටර් ජිල්මාට්’ ගැන කතා කිරීම දැන් නතර කළ යුතුය. රටේ බහුතර සිංහලයා යුද්ධය ජයගෙන තිබේ. ඉතිං, එහි වාසිය, ඕනෑම මිලක් ගෙවා, ආරක්ෂා කරගත යුතුව ඇත. ඒ තතු යටතේ, සුළු ජාතීන්ට ‘ඔලූව උස්සන්ට’ දීම අපරාධයක් සේ සැළකෙන කාලය වැඩි ඈතක නැත.

අතීත කාමයෙන් තවමත් ජීවත් වන අයවළුන් වෙතොත් එක්කෝ රට හැර යා යුතුය. නැත්නම්, පිටරටවල වෙසෙන අයවළුන්ගේ ‘සංක‍්‍රමණික මානසිකත්වයෙන්’ යුතුව, රටේ සිදුවන දේවල්වලට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටිය යුතුය. ලස්සණ තැන් නරඹමින් පරිසරය රස විඳින්න. ඉඩ ලැබෙන තාක් කල් සහ වියදම් දැරිය හැකි තාක් කල්, තමන් ආශා කරන තැන්වලට සංචාරය කරන්න. රට පාලනය කිරීම, ජනතාව තෝරාගෙන ඇති අයවළුන්ට පවරන්න.

කොහොම බැලූවත්, රට අයිති රටේ ජනතාවටයි. පාලකයන් ලැබෙන්නේ එම ජනතාවට ගැලපෙන ආකාරයටයි.

*2014 සැප්තැම්බර් 24 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka – No Turning Back now! ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page