Colombo Telegraph

ශ‍්‍රී ලංකාව: වාර්ගික සංහිඳියාව ද්විත්ව අබග්ගයට මුහුණපෑම

ආර්. හරිහරන්

ආර්. හරිහරන්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන-අගමැති රනිල් වික‍්‍රමසිංහ සන්ධාන ආණ්ඩුව බලයට පත්කර ගැනීමට වෙහෙස වූ බොහෝ දෙනා, යහපාලනය ස්ථාපිත කිරීමෙහි ලා එම ආණ්ඩුවේ අසමත් භාවය ගැන අපේක්ෂා භංගත්වයට පත්ව සිටිතැයි කීම, පුනරුච්චාරණයෙන්ම තෙරම්පරාදු වී ඇති කතාවකි. එහෙත් එම සත්‍යය අමතක කිරීම යනු, වාර්ගික සහජීවනය සහ ආණ්ඩුකරණයේ ප‍්‍රති-ව්‍යුහගත කිරීම නම් වූ ද්විත්ව කාර්ය භාරයන්හි බරපතලකම නොතකා හැරීමකි. ව්‍යුහාත්මක දුර්වලතාවන් සහ වාර්ගික පසමිතුරු භාවයන් මත පෝෂණය වෙමින් වසර නවයකට වැඩි කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පැවති දුරාචාරයේ සහ දූෂණයේ අධිරාජ්‍යය සුනුවිසුණු කිරීමෙන් මෙහා, එම ද්විත්ව කාර්යයයන් සාධනය කර ගත හැකි නොවේ.

සොරා ගත් දේපළ යළි අත්පත් කර ගැනීමේ කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී ජේ. සී. වැලිඅමුණව උපුටා දක්වන ඔස්ටේ‍්‍රලියානු මාධ්‍යවේදී ග්‍රෙග් බෙරරප් කියන පරිදි, එම කර්තව්‍යය කාලය සහ ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය කරන, ‘අතිශය සංකීර්ණ’ වැඩකි.

අද බලයේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ජන්ම පසමිතුරු එක්සත් ජාතික පක්ෂයෙන් සමන්විත අබලන් සංයෝගය, ලංකාවේ දේශපාලනික දේහයේ ආයතනගත දූෂණ ජාලය බිඳ දැමීමට කියාපු වාහකයක් නොවිය හැකිය. එහෙත් ශ‍්‍රී ලංකාවේ ඡුන්දදායකයා බලාපොරොත්තු වුණේ එයයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනත්, අගමැති රනිල් වික‍්‍රමසිංහත්, මහින්ද රාජපක්ෂව පරාජය කිරීමේ ව්‍යායාමයේදී පෙන්නුම් කළ අසාමාන්‍ය එක්සත් භාවය ගොනු වුණේ, එකිනෙකට මනාව ගැට ගැසුණු ප‍්‍රධාන කාරණා දෙකක් වටා ය. එනම්, පිරිසුදු ආණ්ඩුකරණය ප‍්‍රවර්ධනය කෙරෙන ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ සහ තිරසාර වාර්ගික සංහිඳියාවයි.

2009 මැයි මාසයේදී ජනාධිපති රාජපක්ෂ විසින් හමුදාමය වශයෙන් පරාජය කරන තෙක්, වසර 26 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ ඊලාම් විමුක්ති කොටින්ට එරෙහිව යුද්ධ කරගෙන යාමට ශ‍්‍රී ලංකාවට සිදුවීම මගින් කියාපාන්නේ, ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ සහ වාර්ගික සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීමට රාජ්‍යයක් සහ ජාතියක් වශයෙන් දැක් වූ අසමත් භාවයකි.

පරම්පරා දෙකක ප‍්‍රගතිය අහිමි කර ගැනීම සහ ජීවිත 150,000 කට අධික විනාශය වැනි ව්‍යසනයක් නැවත වරක් අත්කර ගත නොහැකි නිසා, සිංහල, දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාව අතරේ වාර්ගික සංහිඳියාව ඇති කර ගැනීමේ කාරණය, බාගෙ විට, ඉහත කී කාරණා දෙකෙන් වඩාත් වැදගත් විය හැකිය.

පවතින දේශපාලනික ක‍්‍රමය තුළ පවතින නෛසර්ගික බාධක සහ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියේ පවතින වැල්වටාරම් ස්වභාවය තිබියේ වී නමුත් අළුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමේ ආයාසය යම් ප‍්‍රගතියක් ලබා තිබේ. මූලික අයිතිවාසිකම්, අධිකරණය, මූල්‍ය, නීතිය හා සාමය, රාජ්‍ය සේවය සහ ඉතා වැදගත් මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ නිර්දේශ ව්‍යවස්ථා සම්පාදන සභාවට ඉදිරිපත් කිරීම සඳහා පත් කෙරුණු අනුකාරක සභා හයේ නිර්දේශ, මේ වන විට පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව වෙත ලබා දී තිබේ.

මේ එකිනෙක ක්ෂේත‍්‍රය තුළ, විශේෂයෙන් මධ්‍ය-පරිවාර සබඳතා පිළිබඳ ක්ෂේත‍්‍රය තුළ, අදහස් උදහස්වල වෙනස්කම් තිබිය හැකිය. ජාතික දේශපාලනය තුළත් නිරතුරුව කැපී පෙනෙන, සිංහල, දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන් අතරේ බින්නබැස තිබෙන අගතීන් හේතුවෙන් මේ ක‍්‍රියාවලිය පමා විය හැකිය. තමන් වෙත පැවරී තිබෙන ඓතිහාසික වගකීම පිළිබඳ අවබෝධයෙන් යුතුව, සෑම ජන කොටසකගේම අභිලාෂයන්ගෙන් බොහොමයක් මේ තුළට උකහා ගැනීම මගහැරීමට පුළුවන් කමක් පාර්ලිමේන්තුවට නැත. එසේ වුණොත්, රට වැටෙනු ඇත්තේ පරණ තැනටමයි. මේ දක්වා ජාතික සංහිඳියාව අරභයා ගෙන ඇති පියවර ගණනාව පවා එහිදී නිරර්ථක වනු ඇත්තේය.

ස්වකීය අරමුණේ ඒකායන භාවය රැුකගනු වස්, ස්වකීය ක‍්‍රියාවන් නිසා ඇති විය හැකි අතුරු සමාජයීය සහ දේශපාලනික ඵලවිපාක හසුරුවා ගැනීමේ උපායමාර්ග රාජ්‍ය නායකත්වය විසින් සකසා ගත යුතුව තිබේ. දැනටමත් රාජපක්ෂ කඳවුර එවැනි ප‍්‍රශ්න මතු කිරීමට කැසකවයි. බරපතල කණස්සල්ල දනවන කාරණය වන්නේ, මුස්ලිම්-විරෝධී කුප‍්‍රකට කල්ලිය, අන්ත දක්ෂිණාංශික සිංහල-බෞද්ධ සංවිධානය වන ‘බොදුබල සේනා’ ආදියේ ක‍්‍රියාකාරීත්වයන් යළි කරලියට ඒමයි. විස වපුරන එහි නායකයෝ ජාතික වේදිකාවේ යළි නැගී සිටිති. ‘කොළඹ සිංහලයන් ප‍්‍රහාරයන්ට ලක්වන අවස්ථාවේ’ ‘තෝහිඞ් ජාමා’ නැමැති මුස්ලිම් රැුඩිකල් කණ්ඩායමේ ලේකම් අබ්දුල් රසීක්ව අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පොලීසිය පියවර නොගතහොත්, ‘ගල්මුල් සහ ලේවලින් ප‍්‍රශ්නය නිරාකරණ කර ගන්නා’ බවට, ‘බොදුබල සේනා’ නායක ගලබොඩඅත්තේ ඥානසාර පසුගිය දා තර්ජනය කෙළේය. ඔහු එසේ ප‍්‍රතිචාර දැක්වූයේ, රටේ වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට බෝම්බ ගසන බවට තර්ජනාත්මක ප‍්‍රකාශ ගණනාවක් කළ, ‘සිංහලයන්ගේ ගැලවුම්කරුවා’ වශයෙන් තමන් විසින්ම තමන්ව හඳුන්වා ගන්නා, ඩෑන් ප‍්‍රියසාද් නැමැත්තාව අත්අඩංගුවට ගැනීමේදී ය. කෙසේ වෙතත්, ඉහත කී ‘තෝහිඞ් ජමා’ නැමැති රැුඩිකල් සංවිධානයේ ක‍්‍රියාකලාපය මේ වන විට මුස්ලිම් ප‍්‍රජාව විසින්ම හෙලාදැක තිබීම වැදගත් ය.

2005 ජනවාරියේ ජනාධිපතිවරණයේදී නැගුණු දූෂණ සහ වංචා චෝදනාවන් සහ රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූ මානව හිමිකම් අක‍්‍රමිකතා හැරුණු කොට, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සම්බන්ධ වෙනත් ප‍්‍රධාන සිදුවීම් ගණනාවක් පිළිබඳ විමර්ශන යම් ප‍්‍රගතියක් අත්කරගෙන තිබේ. පවුලේ ක‍්‍රීඩා ව්‍යපාරයකට ඩොලර් මිලියන ගණනක් වංචනික ආකාරයෙන් යොදවාගෙන ඇතැයි චෝදනා ලැබූ යෝෂිත රාජපක්ෂ 2016 ජනවාරියේදී අත්අඩංගුවට ගැනුණි. 2012 මැයි මාසයේදී වාහන අනතුරකින් මියගිය බවට අඟවා තිබූ, පොලීසියේ ඉහළ නිලධාරීන් විසින් සාක්ෂි යටපත් කොට තිබූ, ජාතික රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනයට අදාළව දැන් නැවත පටන්ගෙන ඇති විමර්ශනවල ඔහුගේ නම ඈඳී තිබේ. මේ සිද්ධියට, හමුදා බුද්ධි අංශයේ පැවති සම්බන්ධතාද හෙළිදරව් වී තිබේ.

යෝෂිතගේ ලොකු අයියා නාමල් ගැනත්, මුදල් විශුද්ධිකරණ චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පැවැත්වෙයි. රාජපක්ෂ පාලන සමයේ ශ‍්‍රී ලංකා නාවුක හමුදාව මගින් පවත්වාගෙන ගිය ඩොලර් මිලියන 130 ක අවි ආයුධ ව්‍යාපාරයක දූෂණ සම්බන්ධයෙන්, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහෝදරයා වන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙයි. එසේම, අවි මිල දී ගැනීමකදී සිදු වී යැයි කියන වංචාවකට අදාළව පැවරූ අපහාස නඩුවක සාක්ෂි දීමට සිටි, ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ කතුවර ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන්ද ඔහු ප‍්‍රධාන සැකකරුවෙකි. මේ සිද්ධියේදීත්, හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සම්බන්ධතාව මේ වන විට හෙලිදරව් වී තිබේ. ජනාධිපතිවරයාගේ තවත් සහෝදරයෙකු වන, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂත්, දූෂණය, මූල්‍ය අක‍්‍රමිකතා සහ බලය අනිසි ලෙස පාවිච්චි කිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් කිහිප වරක්ම අත්අඩංගුවට ගැනුණි.

හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනා කෙනෙකු වන ජාලිය වික‍්‍රමසූරිය ඇමරිකාවේ ලංකා තානාපතිව සිටි කාලයේ ඩොලර් 245,000 තැරැුව්කාර මුදලක් ලබා ගැනීම ගැන දැන් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ තවත් මස්සිනා කෙනෙකු වන උදයංග වීරතුංග අවුරුදු නවයක් ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කරද්දී එරට කැරලිකරුවනට ආයුධ විකිණීම සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන්ගේ චෝදනාවට ලක්ව තවමත් සැඟවී සිටී.

ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ වැඞීගෙන එන අපේක්ෂා භංගත්වය අවසන් කොට තමන් කෙරෙහි විශ්වාසයක් යළි ජනතාව තුළ ඇති කිරීමට නම්, මේ කියන සිදුවීම්වලට අදාළ පුද්ගලයන්ව නීතිය ඉදිරියට පැමිණවිය යුතුව තිබේ.

සංක්ෂිප්තව කිවහොත්, නව ව්‍යවස්ථා රාමුවක් සකසා ගැනීමේ ක‍්‍රියාවලිය වේගවත් කිරීමත්, ජාතික වාර්ගික සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීමත් සඳහා පාලක සන්ධානයට ඉතිරිව ඇති කාලය වියැකී යමින් තිබේ. ජනතා අපේක්ෂා සාධනය සඳහා ඒ සාධක දෙක අන්‍යොන්‍ය වශයෙන් අනිවාර්ය බලපෑමක් ඇති කරන තත්වය තුළ, සන්ධාන නායකත්වය ස්වකීය අභ්‍යන්තර වෙනස්කම් පසෙකින් තැබිය යුතුව තිබේ. ඒ ඒ ප‍්‍රජාවන් තුළ මුල් බැස ගත් වාර්ගික අගතීන් පාවිච්චි කරමින් ඉහත කී ක‍්‍රියාවලීන්ට විලංගු දමන වෙනත් දේශපාලනික ප‍්‍රමුඛතාවන්ට හිස එසැවීමට ඉඩ නොතැබිය යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ, යෝධ කැපවීම් ඔස්සේ ඊලාම් යුද්ධය සාර්ථක අවසානයකට පත් කොට ලබා ගත් සාමයේ ප‍්‍රතිලාභ වාෂ්ප වී යනු ඇත.

*2016 දෙසැම්බර් 2 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Sri Lanka: Ethnic Reconciliation Facing Double Jeopardy” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Home page