Colombo Telegraph

ආණ්ඩුව විසින් ‘පොදු අරමුණු’ වෙනුවෙන් ඉඩම් අල්ලා ගැනීම- නිසි කි‍්‍රයාදාමයක් අවශ්‍යයි

නීතීඥ රදිකා ගුණරත්න

නීතීඥ රදිකා ගුණරත්න

ආණ්ඩුවේ උත්කෘෂ්ට ස්වාමිත්ව බලය වන්නේ පුද්ගලික දේපළ ‘පොදු අරමුණක්’ වෙනුවෙන් යුක්තිසහගත වන්දියක් ගෙවමින් අත්පත් කර ගැනීමයි. මේ අනුව, ආණ්ඩුවක් (හෝ රජයක්) විසින් පුද්ගලික ඉඩමක් අත්පත් කරගන්නා විට එම සැබෑ අත්පත් කර ගැනීමට පෙර ඉටුකළ යුතු පූර්ව අවශ්‍යතාවන් දෙක වන්නේ එකී පොදු අරමුණ සහ ‘යුක්ති සහගත වන්දිය’ යි.

ශ‍්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනත මගින් පුද්ගලික ඉඩමක් ‘පොදු අරමුණක්’ සඳහා අවශ්‍ය කර තිබෙන බව හුදු ගැසට් නිවේදනයක් මගින් දැනුම් දීමට බලය ලබාදී ඇත. නමුත් ඒ මහජන අරමුණ කුමක්දැයි එහිදී සඳහන් කළ යුතු බව පනතේ අවශ්‍යතාවක් නොවේ. මේ අතර ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ද පුරවැසියන්ගේ දේපළ දැරීමේ අයිතිවාසිකම ප‍්‍රකට විධිවිධානයක් මගින් සුරක්ෂිත නොකරයි.

මේ අනුව පුද්ගලික හිමිකමක් ඇති ඉඩමක් හෝ දේපළක් පොදු අරමුණක් වෙනුවෙන් අත්පත් කර ගැනීමේදී අනුගමනය කළ යුතු ‘නිසි කි‍්‍රයාදාමය’ ට සම්බන්ධිත කිසිදු ව්‍යවස්ථාපිත හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනයක් නැත. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, අමාත්‍යවරයාගේ එවැනි ප‍්‍රකාශයක් මගින් අගතියට පත්වන ඉඩම් හිමියාට සිදුවන ආර්ථික පාඩුව හෝ ඔහුගේ/ඇයගේ දේපළේ සුරක්ෂිතතාව ආයෝජනයට එය බලපාන්නේ කෙබඳු දුරකට ද යන්න හෝ එම දේපළේ අනාගත භාවිතය සම්බන්ධයෙන් ඔහුගේ/ඇයගේ අනාගත නීත්‍යානුකූල අපේක්ෂාවන්වලට අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය බලපෑම් කරන ආකාරය අගැයීමට ලක් කළ හැකි ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලූවක් පවතියි.

ශ‍්‍රී ලංකාවේ එක් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මගින් මෙම නිසි කි‍්‍රයාදාමය කුමක්ද යන්න සඳහා ප‍්‍රතිචාරයක් ලබාදීමට උත්සාහ දරා ඇත. එනම්, 2000 වසරේදී උද්ගත වූ මානෙල් ප‍්‍රනාන්දු එ. ජයරත්න 2000(1) න.නී.වා. 112 (ශ්‍රේ) හිදී මාක් ප‍්‍රනාන්දු විනිසුරු කියා සිටියේ පොදු අරමුණක් සඳහා ඉඩමක් රජයට පවරා ගනියි නම් එම පොදු අරමුණ කුමක්දැයි හෙළිකළ යුතු බවයි. එම තීන්දුව අගනා ප‍්‍රශ්න කිහිපයක් මතු කළේය. යමෙකුට එම පුද්ගලයාගේ ඉඩම පවරාගන්නා හේතුව නොපැවසිය යුත්තේ ඇයි? එම හේතුව ඔහුට නොපවසන්නේ නම්, ඉඩම අත්පත් කර ගන්නා හේතුව ජීව්‍ය හේතුවක් නොවේ යැයි ඔහු කියාපාන්නේ කෙසේද? මේ නිසා ඉහත කී තීන්දුව ඉඩම් අත්පත් කර ගැනීමේදී අමාත්‍යවරයාගේ වගවීම සම්බන්ධයෙන් කාලානුරූපී ලෙස ගෝචර විය.

දශක තුනක යුද්ධයෙන් පසු යුද්ධයෙන් පීඩාවට පත් ප‍්‍රදේශ ද ඇතුළත්ව දේශීය සහ විදේශීය ප‍්‍රාග්ධනය රට තුළට ගලා ඒමත් සමග මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් රට පුරා ක‍්‍රියාත්මක කෙරෙන ආකාරය සහ නාගරීකරණය වේගවත් වී තිබන ආකාරය පිළිබඳ නීතිය හා සමාජ භාරය අධ්‍යයනය කරමින් සිටියි. එහිදී උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින ඉඩම් ගැටලූ වාර්ගික අරගලයේ මූලිකම හේතු අතරින් එකක් ලෙස හඳුනාගෙන ඇත. මේ අතර පශ්චාත් යුධ කාලයේ කි‍්‍රයාත්මක කළ ඇතැම් පියවර සහ කි‍්‍රයාකලාපයන් යුද්ධයෙන් පීඩාවට පත් පුද්ගලයන්ගේ දේපළ අයිතීන් කෙරෙහි තවදුරටත් බලපෑම් සිදුකර තිබෙන්නේ අතීතයේ යුද්ධය පැවති ප‍්‍රදේශවල තීව‍්‍ර කර තිබෙන අධික හමුදාකරණය ද සමගිනි.

ශ‍්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වලදී පැහැදිලිව දැකගත හැකි සහ වටහාගත හැකි කරුණක් වන්නේ සිවිල් යුද සමයේ අභන්තර වශයෙන් අවතැන් වී නැවත පැමිණෙන්නන් සඳහා ඉඩම් නොමැති බවයි. සිවිල් යුධ සමයේදී හමුදා කඳවුරු වටා යුධ මුක්ත කලාප හෝ අධි ආරක්ෂිත කලාප ඇති කිරීම පිණිස රජය විසින් විශාල ඉඩම් සම්භාරයක් අත්පත් කර ගෙන තිබේ. එවැනි ඉඩම් ඒවායේ නිසි අයිතිකරුවන් ට ලබාදුන් බවට කියා ඇත. කෙසේ නමුත් එසේ නැවත ඉඩම් ලබාදෙන කි‍්‍රයාවලියේද පැහැදිලිව පෙනෙන අඩුුලූහුඬුකම් තිබේ. යුද සමයේ අත්පත් කර ගත් ඉඩම්වලින් බහුතරය තවදුරටත් හමුදා කටයුතු සඳහාම භාවිතා වේ. යාපනයේ ඉඩම්වලින් තමන් බලහත්කාරයෙන් ඉවත් කළ බවට පැමිණිලි කරන ද්‍රවිඩ ප‍්‍රජාව විරෝධතාවල නියැළෙන ආකාරය ද දැකගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ අධිආරක්ෂිත කලාප, 1980 දශකයේ සිට හමුදා ස්ථාපිත ආශ‍්‍රිත ස්වාරක්ෂක කලාප පරිණාමනය වීමෙන් ඇති වූ ඒවා ය. ඒවා එසේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සලකා බලවනවිට ඒවාට වෛතික පැවැත්මක් නැති බව පෙනේ. සාම්පූර් අධිආරක්ෂිත කලාපය එවැන්නකි. නැගෙනහිර පළාත් වැසියන් දේශීය හමුදාවේ වාචික නියෝගය අනුව හිස් කළ එම ඉඩම්වලින් අද සාම්පූර් හි නිල නොවන අධිආරක්ෂක කලාපය තැනී තිබේ. මේ අනුව එය නීත්‍යානුකූල වුවත්, නොවූවත් එහි වාසය කළ ජනතාවගේ නිවාස, ඉඩම් සහ දේපළ අයිතිය ආරක්ෂක හේතු මත උල්ලංඝනය වී ඇති බව පැහැදිලි ය.

අවතැන් වීමේන් බරපතළ ලෙස විපතට පත් වූ නමුත් දිගින් දිගටම නොතකා හැර තිබෙන කොට්ඨාසයක් වන්නේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල මුස්ලිම් ජනතාවයි. 1990 වසරේදී මේ කලාපයේ ජනතාව හැත්තෑදහසකට ආසන්න පිරිසක් එල්ටීටීඊ සංවිධානය විසින් එකවර පළවා හැරිණි. ඔවුන්ට ලෝක බැංකුව හෝ යුනිසෙෆ් ආධාර මත ප‍්‍රධාන වශයෙන් රඳා පවතිමින් සිය අවතැන් ජීවිත ගත කිරීමට සිදුවිය. සටන් විරාම සාකච්ඡුාවලදී එම මුස්ලිම්වරුන්ගේ නියෝජනයක් නොතිබුණා පමණක් නොව, ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයේදී ද ඔවුන්ව නෙරපා හැරිණි. අද වන විට මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ජාතිකයන් ට සිය ඉඩම්වලට යා නොහැක්කේ එක්කෝ ඒවා වනාන්තර වලින් වැසී තිබෙන නිසා ය. එසේත් නැතිනම් ඔවුන්ට ප‍්‍රවේශය තහනම් කර තිබෙන නිසා ය. ඔවුන් විශාල වශයෙන් අදටත් සිටින්නේ අවතැන් වූ ජනතාව වශයෙනි.

මේ හා සමාන ලෙස ශ‍්‍රී ලංකාවේ දකුණ ඇතුළු වෙනත් ප‍්‍රදේශවලින් ද, පුද්ගලික දේපළ හිමියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සුදුසු ගරුකිරීමකින් තොරව ආණ්ඩුව විසින් සංවර්ධනයේ පොදු අරමුණු වෙනුවෙන් ඉඩම් අක්කර ගණන් අත්පත් කරගෙන තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගය, යෝජිත නුවර අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට වරාය වැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා සීමා ලකුණු කිරීමට ලක්වූ ප‍්‍රදේශවල වෙසෙන ජනතාව දහස් ගණනක් මේ නිසා ගැටලූවලට මුහුණ දී සිටිති. සුළුතරය මෙන්ම බහුතරය ද සමාන ලෙස මුහුණ දෙන ප‍්‍රශ්න තිබේ. පවත්නා නීති උපයෝජනය නොකර, විශේෂිත සැලසුමකින් තොරව සහ විශේෂිත අරමුණ සඳහන් නොකර හුදෙක් ‘පූජා බිමක්’ ලෙස නම් කිරීම වැනි පියවර හරහා ආණ්ඩුව විශේෂ නීති මගින් පුද්ගලික ඉඩකඩම් අත්පත් කර ගැනීමටද උත්සාහ කර තිබේ. මේ සියලූ ගැටලූ දීර්ඝ වශයෙන් අධනයන කිරීමට තරම් සංකීර්ණ ය.

ඉඩම් හිමිකම සහ ඒ වෙත බලපාන සාධාරණ හා යුක්තිසහගත රාජ්‍ය ප‍්‍රතිපත්තියක් පිළිබඳ මහජන දැනුවත්භාවය ගොඩනැගීමේ අනුගම්‍ය අවශ්‍යතාවක් තිබේ. එය කළ යුත්තේ, බලයේ සිටින ආණ්ඩුව කුමක් වුවත් ඒ ආණ්ඩුව ඒ පිළිබඳ මනා අවබෝධයකින් සාධාරණ ප‍්‍රතිචාර දක්වනු ඇත යන බලාපොරොත්තුව ද සමගිනි. එයට අමතරව ජනතාවගේ අධිකරණ බලයේ පරමාධිපත්‍යය පවරාගෙන සිටින අධිකරණයෙන්ද මේ ගැටලූවලට ප‍්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටිය යුතුය.

Back to Home page