Colombo Telegraph

ලංකාවේ නහයට නාහන භික්ෂූන්

රාහුල් ගොස්වාමි –

අනුන්ට හිංසා කිරීම සඳහා සැහැසි මිනිසුන්ව උසිගන්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපූරු දර්ශනයක් ජුනි මැද භාගයේ ශ‍්‍රී ලංකාවේ නිරිතදිග පෙදෙසේ අළුත්ගමින් දැක ගැනීමට ලැබුණි. බොදුබල සේනාව නැමැති අන්තවාදී භික්ෂු සංවිධානයේ සාමාජිකයන්ගේ උසිගැන්වීම මත, පරම්පරා ගණනාවක් සාමයෙන් ඒ පළාතේ ජීවත් වූ මුස්ලිම් ජනයාට අයත් ගේදොර සහ වෙළඳ ව්‍යාපාර සැහැසි ජනයා විසින් ගිනිබත් කරන ලදි. ප‍්‍රහාරකයන්ගේ ප‍්‍රචණ්ඩත්වය, ගිනි තැබීම් සහ මංකොල්කෑම් අවසානයේ, ජීවිත දෙකක් නැති වී තිබුණි. තවත් බොහෝ දෙනා තුවාල ලැබ තිබුණි. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව, සාමාන්‍යයෙන් කරන පරිදි, අස්වසන කතා කීවේය. සිදු වූ විනාශය ගැන පරීක්ෂණ පවත්වන බව කීවේය.

විශේෂත්වය වන්නේ ප‍්‍රචණ්ඩත්වයම නොවේ. අවාසනාවකට, බහු=වාර්ගික දකුණු ආසියාවේ සහ ගිනිකොන ආසියාවේ එය සාමාන්‍ය දෙයකි. එහෙත් බෞද්ධ භික්ෂූන් විසින් උසිගන්වා මාරාන්තික අන්තයන් වෙත එම ප‍්‍රචණ්ඩත්වය මෙලවීම විශේෂිත ය. භික්ෂූන් විසින් විශේෂයෙන් පිළිපැදිය යුතු බෞද්ධ ධර්මයේ මූලික ප‍්‍රතිපදාවන් අතර මුලට එන්නේ ප‍්‍රාණඝාතයෙන් වැළැකී සිටීමයි. තවද, සාසනික මාර්ගෝපදේශයන්ට අනුව, සියදිවි නසා ගැනීමට පවා කෙනෙකුව පෙළඹවීම පාපයකි. දේශපාලනික පරමාර්ථ පෙරදැරිව වීර දිවි පිදීමේ භාවිතයක් වශයෙන් සියදිවි නසා ගැනීම බෞද්ධ චින්තනය තුළ අනුමත නොවෙතත්, වියට්නාමයේ ඇමරිකානු යුද්ධ සමයේ දී වියට්නාම් භික්ෂූන් තමන්ගේ සිරුරට ගිනි තබාගත් සිදුවීම් අපට මතක ය. එහි දී ඔවුන් කීවේ, තමන් රිසි පරිද්දෙන් සමාජ විඥානය වෙනස් කිරීම වෙනුවෙන් තමන්ගේ අනිත්‍ය සිරුරු කැප කරන බවයි.

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ සාහසික උසිගැන්වීම් බෙහෙවින් ප‍්‍රශ්නකාරී වෙතත්, ආසියාවේ ආගමික ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ කාරණය, එම කලාපයේ විසූ බෞද්ධයන්ගේ ආචාර ධාර්මික අභිමතයන්ගේ/වරණයන්ගේ අංගයක් වශයෙන් කවදත් පැවතී ඇති බව පෙනේ. එම ගැටළු, විශේෂයෙන් නැගෙනහිර ආසියාවේ දේශපාලන සංවිධානයන්හි සහ ආයතනයන්හි ව්‍යුහාත්මක සහ පද්ධතිමය මාදිලියක කොටසක් වශයෙන් බොහෝ සියවස් ගණනක් පැවතී තිබේ. අද කාලයේ සංවිධානගත බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය උසිගන්වන්නන්ට එවැනි ඉතිහාසයක් හොඳින් ගැළපෙයි. වාර්තාගතව ඇති ඒ අතීත බියකරු තොරතුරු, කීර්තිමත් සංග‍්‍රාම වෘත්තාන්ත සේ, වර්තමානයේ තමන්ගේ සැහැසි භාවය යුක්ති සහගත කර ගැනීම සඳහා ඔවුන්ට හුවාදැක්විය හැකිය.

ඒ ඉතිහාස කතා බොහෝ විට කේන්ද්‍රගතව ඇත්තේ, බෞද්ධ කඳවුරු දෙකක් අතරයි. මේ කඳවුරු දෙක බිහිසුණු අන්දමින් ඇන කොටා ගත්හ. මරා ගත්හ. එසේ ම්ලේච්ඡු ආකාරයෙන් ඔවුන් කටයුතු කෙළේ, වඩාත් වලංගු වන්නේ කාගේ ධර්මය දැ යි ඔප්පු කිරීමට ය. කාහේ පිරිවර වඩාත් ශක්තිමත් දැ යි පෙන්වීමට ය. තවත් අවස්ථාවල, විස්තරාත්මකව වාර්තා වී ඇති පරිදි, ආරක්ෂාව සඳහා හෝ දිග් විජය සඳහා හෝ පළිගැනීම සඳහා දියත් කෙරුණු යුද්ධ සුජාත කිරීමට සාසනික නායකයෝ බෞද්ධ සංකල්ප යොදා ගත්හ. ශ‍්‍රී ලංකාවේ මහාවංශය ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ බෞද්ධ දුටුගැමුණුගේ යුද්ධ විස්තර කරන්නේ, විදේශ ආක‍්‍රමණිකයන් පළවා හැරීම සඳහා ගෙන ගිය ශුද්ධ යුද්ධයක් වශයෙනි.

ඊට බොහෝ කලකට පසු 19 වැනි සියවසේ ජපානයේ සෙන් බුද්ධාගම, රාජ්‍ය යාන්ත‍්‍රණයක් බවට පත්විය. සෙන් ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය සෙස්සන්ට දැක බලා ගැනීම සඳහා ඔවුන් යුද්ධ කෙළේ ධර්මයෙන් ලද පේ‍්‍රරණයෙනි. එම ආකල්පය යටතේ, නිවනට පත් නොවන්නන් නැවත ඉපදෙන අතරේ, නැවත ඉපදෙන අය ඔවුන්ගේ කර්මය හොඳ නම් බෞද්ධයන් වන අතරේ, ඇවැත් චිත්තය හරහා නිර්වාණයට සැපත් කරවන මාර්ග අතලොස්සක් ද තිබුණි.

මැත කාලීන බෞද්ධ සමාජයේ ඒ අංශය ගැන ලියැවුණු වඩාත් සාරවත් විවරණය හමුවන්නේ, ජෙනරාල් ගැස්තොන් රෙනෙන්දෝගේ ’’ජපානයේ රණකාමී භික්ෂූන්ගේ ඉතිහාසය’’ නැමැති කෘතිය තුළයි. එහිදී පෙන්වා දෙන පරිදි, පන්සල්වල විසූ භික්ෂූන් විවිධාකාර ය. ඒ නිසා පොදු සංඝ සාසනයක් ගැන (රටකට හෝ කාලයකට පොදුවේ) කතා කිරීම, පැටලිලිකාරී ව්‍යායාමයකි. ජපානයේ තත්වය විස්තර කරන ඔහු, රාජ්‍ය ආධාර මත යැපෙන සාමාන්‍ය සංඝයා වහන්සේලා රජයේ ලියාපදිංචි විය යුතු බව පෙන්වා දෙයි. අනිත් සංඝයා වහන්සේලාව නඩත්තු කෙරෙන්නේ යහපත් පවුලක් හෝ වෙනත් ආගමික සංවිධානයක් විසිනි. එහෙත් මේ සියල්ලන්ට අයත් නොවන තවත් සංඝයා වහන්සේලා ද සිටිති. ඔවුන් තාපසයන් විය හැක. නන්නත්තාරයන් විය හැක. බදු වංචා කරන ගොවියන් විය හැක. පූජකයන්ගේ සේවකයන් විය හැක. වෙන ඕනෑම කෙනෙකු විය හැක.

අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්වන්නේ නම්, රොන්න්දෝගේ අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම යෙහෙකි. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙතත්, එම ප‍්‍රචණ්ඩත්වය සමග ශ්‍රේෂ්ඨ දර්ශනයට මෙලෝ සම්බන්ධයක් නොතිබිය හැකි බැවිනි.

*මැද පෙරදිග ‘කාලිජ් ටයිම්ස්’ පුවත්පතේ පළවූ  “Maverick Monks of Lanka” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page