Colombo Telegraph

ක‍්‍රිමියාව සහ ජිනීවා: රාජපක්ෂ රෙජිමය සහ ඩයස්පෝරා බෙදුම්වාදය උගත යුතු ප‍්‍රතිලෝම පාඩම්

රාජන් පිලිප්ස්

රාජන් පිලිප්ස්

ක‍්‍රිමියාවේ අද සිදුවන දෙය යම් දවසක ලංකාවේ සිදුවෙනු දැකීමට ඩයස්පෝරා බෙදුම්වාදය උදක්ම ආශා කරනු ඇත. අනිත් අතට, යාපනය දකුණු ආසියාවේ ක‍්‍රිමියාවක් නොවන තැනට වගබලා ගැනීම සඳහා රාජපක්ෂ පාලනය විශ්වාසය තබන එක රටක් වන්නේ රුසියාවයි. එහෙත් රුසියාව අද ක‍්‍රිමියාවේ කරන කියන දේවල්වලින් එක පැත්තකින් නිරූපණය කරන්නේ, බෙදුම්වාදයේ මල්පල ගැන්වීමකි. අනිත් පැත්තෙන්, යුක්රේනය නැමැති රටේ ජාතික ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාවට අදාළ සකල ආදර්ශ පාඨ කුඩුපට්ටම් කිරීමකි. රුසියානු හමුදා ක‍්‍රිමියාවේ වීදි බැස්සවීම සඳහා, ‘‘ආරක්ෂා කිරීමට ඇති වගකීම’’ නැමැති නියාමයත් එක අවස්ථාවක දී තර්කයක් වශයෙන් රුසියාව ගෙනහැර පෑවේය. එනම්, යුක්රේනය නැමැති සමස්ත රටේ සුළුතරයක් වන මුත්, ක‍්‍රිමියාව නැමැති ප‍්‍රාන්තයේ බහුතරය වන රුසියානු ජාතිකයන්ව ආරක්ෂා කිරීමේ වගකීම තමන්ට ඇති බව ප‍්‍රකාශ කොට සිටීමයි. මේ ක‍්‍රියාව සම්බන්ධයෙන් රුසියාව රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් කොන් කරනු ලැබීමට සහ ආර්ථික සම්බාධක පනවනු ලැබීමට ඉලක්ක කරගත යුතු යැයි මොන තරම් පාරම්බෑවත්, බටහිර ලෝකය සහ නේටෝ සංවිධානය මෙහි දී අන්දමන්ද විය. ‘‘ආරක්ෂා කිරීමට ඇති වගකීම’’ පිළිබඳ නියාමයේ කතුවරුන් වන්නේ ඔවුන් ය. එසේම, බෙදුම්වාදී අපේක්ෂාවන්ටත් ඔවුන් ඉඳහිට තල්ලූව දී ඇත. රුසියානු ඔත්තු සේවාව වන කේ.ජී.බී. සංවිධානයේ සේවය කිරීමෙන් ලද අත්දැකීම්වලින් සන්නද්ධ, මහා රුසියානු ඉතිහාසයක් පිළිබඳ එක්තරා උමතු ආශාවකින් දැවෙන, සම්පත් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරී, ලෙනින්ගේ කෝකියාගේ මුණුපුරා වන, රුසියානු ජනාධිපති පුටින්, මෙය තමන් මුහුණදෙන දුෂ්කර අවස්ථාවක් වශයෙන් හඳුන්වයි.

සපත්තු ආපස්සට හැරී ඇති සහ සමහර විට කලවම් වී ඇති ජිනීවා වෙත අපේ අවධානය දැන් යොමු කරමු. එය, හෙමිහිට ඉදිරියට ඇදෙන රංගනයකි. රාජපක්ෂ පාලනය බෙහෙවින් බිය වන අන්තයන්ටවත්, දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් අපේක්ෂා කරන උපරිමයන්ටවත් එය පිවිසෙන්නේ නැත. ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය අන්දමින් ඇඟිලි ගසති යි රුසියාව ඇතුළු තවත් රටවල් නගන චෝදනාවට එහි දී ලක්වන්නේ බටහිර ලෝකයයි. එහෙත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර ලෝකයා කරති යි කියන මේ ඇඟිලි ගැසීම, රුසියාව මේ මොහොතේ යුක්රේනයේ කරමින් සිටින ක‍්‍රියාවන්ට ගව් ගානකින්වත් සමීප නැත. මේ මාසයේ ජිනීවා සැසියට ඉදිරිපත් වන යෝජනාව, වැඩියත්ම ගිය වසරේ යෝජනාව වඩාත් පැහැදිළි කර ගැනීමේ ප‍්‍රයත්නයක් පමණක් බව, මේ වන විට එළියට විත් තිබෙන තොරතුරුවලින් පෙනී යයි. අදාළ කෙටුම්පතේ කර තිබෙන වෙනස්කම්, වඩාත් කිට්ටු වන්නේ, ඊළඟ වසරේ බලාපොරොත්තු වන රැුඩිකල් ක‍්‍රියාකාරීත්වයකට වඩා, ගිය වසරේ වර්ධනයන් ඇගයීමකට ය. එවැනි වෙනස්කම් පවා රාජපක්ෂ පාලනයට දිරවාගත නොහැකි තරමි. පාලනයේ වෙනසකට එවැන්නක් තුඩු නොදුන්නත්, ඒ මගින් පාලන තන්ත‍්‍රය තුළ ඇති කෙරෙන ආතතිය අති මහත් ය.

එතකොට ඉන්දියාව?

ජිනීවා නුවර දී ඉන්දියාව දෙපැත්තටම වැඩ කොට තිබේ. මුලින්, දෙමළ ඩයස්පෝරාවේ කණස්සල්ලට හේතු වන පරිද්දෙනි. ඊළඟට, රාජපක්ෂ පාලනයේ කෝපයට ලක්වන පරිද්දෙනි. 2012 ඉදිරිපත් වූ යෝජනාව හරහා මානව හිමිකම් මහකොමසාරිස්වරියට පැවරුණු බලය, ප‍්‍රකටව හෝ කුප‍්‍රකටව, බාල කෙරුණු සංශෝධනය ගෙනාවේ ඔවුන් ය. එනම්, ඒ බලය ඇය අභ්‍යාස කළ යුත්තේ, ‘‘ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සමග සාකච්ඡුාවෙන් සහ සම්මුතියෙන්’’ යනුවෙනි. මෙවර එළියට ඇවිත් තිබෙන යෝජනාවෙන් එම කොන්දේසිය ඉවත් කොට ඇත. එහෙත් ක‍්‍රිමියාව සම්බන්ධයෙන් රුසියාව පැත්තට බර වෙන ස්ථාවරයක් ප‍්‍රසිද්ධියේ ගෙන තිබෙන එකම රට, සිරියාව හැරුණු කොට, ඉන්දියාවයි. එහි දී චීනය පවා තරමක් පරිස්සම් වීමට වගබලා ගන්නා බවක් පෙනේ. එහෙත් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ෂිව් ෂන්කර් මෙනන්, යුක්රේනය තුළ රුසියාවට ඇති ‘‘සුජාත අයිතීන්’’ ගැන කතා කරයි. මෙය, ඉන්දියාවේ සිටින යුක්රේන තානාපතිවරයාගේ විරෝධයට පාත‍්‍ර වී ඇත.

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ශී‍්‍ර ලංකාවේ ‘පාඨකයන්’, ක‍්‍රිමියාව අරභයා වන ඉන්දියාවේ මේ ස්ථාවරය ගැන විශේෂයෙන් උනන්දු වනු ඇත. මන්ද යත්, ඒ මගින් ගත හැකි භූගෝලීය සන්සන්දනයන්, ප‍්‍රායෝගික වශයෙන් මොන තරම් අභව්‍ය වෙතත්, නොසළකා හැරිය නොහැකි බැවිනි. යාපනය ක‍්‍රිමියාවක් කිරීමේ ගුරුපොතට, දැන් ඉන්දියාව පැත්තෙන් රුසියාව තිබේ. යුක්රේනයෙන් වෙන් වී රුසියාව සමග එක්වීමට ක‍්‍රිමියාවේ ප‍්‍රාදේශීය පාර්ලිමේන්තුව සම්මත කරගෙන ඇති යෝජනාව කොපි කරමින් උතුරු පළාත් සභාව ගත හැකි ඕනෑම උමතු පියවරක් මැඩලීමට තරම්, එහි මහ ඇමති විග්නේෂ්වරන් බුද්ධිමත් වනු ඇතැ යි ප‍්‍රාර්ථනා කළ යුතුව තිබේ.

එහෙත් දේශපාලනික උමතුව යන්න සහමුලින් බැහැර කිරීමට කිසි අවස්ථාවක පුලූවන් කමක් නැත. විශේෂයෙන් මැතිවරණ කාලයක එවැනි ශක්‍යතාවකට ඇති ඉඩකඩ වැඩි ය. මෙය, ඉන්දියාවේ මැතිවරණ වකවානුවයි. ඉන්දීය ඡුන්දදායකයාට යුක්රේනය සහ ක‍්‍රිමියාව අදාළ වන්ට ඉඩක් නැති බව ඇත්ත. මන්ද යත්, කොන්ග‍්‍රස් පක්ෂයේ පවුල් වංශයෙන් ඕනෑවටත් වඩා පීඩාවට පත්ව සිටින ඔවුන් දැන් බලාපොරොත්තු වන්නේ, මොන යම් හෝ වෙනසකි. එම වෙනස, ගුජරාටයේ මුස්ලිම්-විරෝධී වෙළෙන්දාව දිල්ලියේ මහ ආණ්ඩුවේ බලයට පත්කරවන තරමේ එකක් වුව ද ඔවුන්ට කම් නැත. එහෙත් ඉන්දියාවේ වාචාල දේශපාලනික පැලැන්තියට, රටේ විදේශ ප‍්‍රතිපත්තියත් මැතිවරණ තුරුම්පුවක් වශයෙන් පාවිච්චි කළ හැකිය. ඒ නිසා, රුසියාව සහ ක‍්‍රිමියාව සම්බන්ධයෙන් ඉන්දියාවේ දක්ෂිණාංශික ‘භාරතීය ජනතා පක්ෂයත්’, තමිල්නාඩුවේ දේශපාලඥයනුත් කියන්නේ කුමක් දැ යි බලා සිටීම යෙහෙකි. ඒ සියල්ල, ශ‍්‍රී ලාංකියනුත්, දෙමළ ඩයස්පෝරාවත්, පමණට වඩා ඒ පැත්ත මේ පැත්ත හරහා විශ්ලේෂණය කරනු නොඅනුමානයි.

ඊළඟට, මුස්ලිම්වරු

මෙකී සන්සන්දනයේ සංකූලතාව තවත් තීව‍්‍ර කෙරෙන, එහෙත් අමතක කෙරෙන සාධකය වන්නේ, ක‍්‍රිමියාවේ ටාටාර්වරුන් ය. ඔවුන්ට, ස්ලාව් වාර්ගික රුසියානු හෝ යුක්රේනියානුවන්ටත් වැඩියෙන් නොවෙතොත්, අඩු වශයෙන් ඔවුන් තරමටවත් අයිතියක්, ක‍්‍රිමියානු අර්ධද්වීපය සම්බන්ධයෙන් තිබේ. අධිරාජ්‍යවාදී සාර් පාලනය යටතේ වරක් ඔවුන්ව ක‍්‍රිමියාවෙන් පිටුවහල් කෙරුණි. ඊළඟට, රුසියානු දේශපේ‍්‍රමියෙකු බවට පසුව පත්වූ, ජෝර්ජියානු ජාතික ජෝසප් ස්ටැලින්, නැවතත් ඔවුන්ව සයිබීරියාවට පිටුවහල් කෙළේය. ටාටාර්වරුන්ගේ ලෝකය තුළ, රුසියානුවන් යනු, තමන්ගේ දේශය කොල්ලකෑ ජාතියකි. ඔවුන් ආපසු සිය දේශයට පැමිණියේ, සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසුව ය. දැන්, යුක්රේනියානුවන් සහ රුසියානුවන් අතර ඔවුන් සිර වී සිටිති. ක‍්‍රිමියාවේ මේ තත්වයට ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව නෑකම් කීමට පිළිවන.

ආණ්ඩු පක්ෂයේ අන්තවාදි කණ්ඩායම් විසින් මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි දේවස්ථානවලට කරන ලද පහරදීම් පිළිබඳ ලිඛිත තොරතුරු මුස්ලිම් කොන්ග‍්‍රස් නායකයා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සැපයුවේය යන චෝදනාව මත, තේරුම්ගත නොහැකි සේ කෝපයට පත් රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුට බැන වැදුණු බව වාර්තා විය. ‘තේරුම්ගත නොහැකි සේ කෝපයට පත්වීම’’ යැයි මා කීවේ, එකී ප‍්‍රහාරකයන්ට හෝ ඔවුන්ට උඩගෙඩි දෙන ආණ්ඩුවේ ඉහළ තැන්වල ඇත්තන්ට ජනාධිපතිවරයා දොස් කී බවක් මා කිසි තැනක දැක නැති බැවිනි. කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අභ්‍යාස කළ නොහැකි බලයක්, මුස්ලිම් කොන්ග‍්‍රසය සම්බන්ධයෙන් තමාට අභ්‍යාස කළ නොහැකි බව, ඊට පිළිතුරු වශයෙන් රවුෆ් හකීම් කියා තිබීම වැදගත් ය. ජනාධිපතිවරයාගේ කෝපය ඔහු සම කර ඇත්තේ, බත් පිඟානක ඇති වට්ටක්කා ගෙඩියක් සැඟවීමට ගන්නා ප‍්‍රයත්නයකට ය. ජිනීවා නුවර දී මුස්ලිම් රටවල සහයෝගය ලබා ගැනීමේ කිසියම් හෝ උවමනාවක් තිබේ නම්, ජනාධිපතිවරයාගේ මෙකී බැන වැදීම තවත් තේරුම්ගත නොහැකි තත්වයට පත්වන්නේය.

සුපුරුදු පරිදි, විදේශ ඇමති ජී. ඇල්. පීරිස් ජිනීවා නුවර දී මෙවරත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කෙළේය. ඒවා, අසන්නන් තබා ඔහුම පවා විශ්වාස නොකරන තොරතුරු ය. හැම ආගමකට අයත් යම් සිද්ධස්ථානයක් ප‍්‍රහාරයන්ට ලක්ව ඇති බවත්, ඒවායේ ප‍්‍රහාරකයන්ව පොලිස් දැලට හසුකර ගනිමින් තිබෙන බවත් ඔහු කීවේය. වෙනත් වචනවලින් කිවහොත්, ආගමික සමානාත්මතාව ආණ්ඩුව සුරකින බව ය. අසාගෙන සිටින්නාව දෙපැත්තෙන් සිනාගස්සන පරණ කතාවක් ද ඔහු ඇදබෑවේය. එනම්, විනිසුරුවරුන්ගේ/වරියන්ගේ අවකල් ක‍්‍රියා සම්බන්ධයෙන් පියවර ගැනීම, අධිකරණයේ ස්වාධීනත්වයට කරන පහර දීමක් වශයෙන් නොසැළකිය යුතු බව ය/

ආපසු අනාගතයට

ක‍්‍රිමියාව සහ ජිනීවා එකට තැබීමෙන් කෙනෙකුට වටහාගත හැකි දෑ කවරේ ද? එකට ගත් විට, ක‍්‍රිමියාව සහ ජිනීවා මගින් පෙන්නුම් කරන්නේ, ඩයස්පෝරා බෙදුම්වාදයටවත්, රාජපක්ෂ තන්ත‍්‍රයටවත් වැඩිමනත් යමක් කළ නොහැකි සීමාවන් ය. කි‍්‍රමියාව යනු, ඩයස්පෝරාව ආශා කරන, එහෙත් අත්පත් කරගත නොහැකි ස්ථානයකි. ජිනීවා යනු, රාජපක්ෂ පාලනය මගහැරීමට බලන මුත්, මාට්ටු දැමිය නොහැකි ස්ථානයකි. එහෙත්, සැබෑ ජීවිතයේ දී මෙන්ම දේශපාලනයේ දීත්, අපට කළ හැක්කේ කුමක් ද යන්න ගැන හරි දැනුමක් අපට නැත. එසේම, අපට කළ නොහැක්කේ කුමක් ද යන්න ගැන, ඒ තරමේවත් දැනුමක් නැත. ඒ නිසා, අහසක් පොළොවක් නැති සන්සන්දනයන් සහ අතාර්කික අපේක්ෂා දල්වාලමින්, සුපුරුදු පරිදි භීතිකා ප‍්‍රතිචාරයන් දැනුත් වැපිරෙනු ඇත. මගේ අතාර්කික ප‍්‍රාර්ථනය වන්නේ, දෙපාර්ශ්වයම මෙයින් ප‍්‍රතිලෝම පාඩම් උගත යුතු බවයි.

වඩාත් පුළුල් අර්ථයකින් ගත් විට, ක‍්‍රිමියාවේ රඟදැක්වෙන්නේ, හුදෙක් ‘සීතල යුද්ධ රංගනයක්’ පමණක් නොව, යුරෝපය ආපසු 19 වැනි සියවසට ද තල්ලූ කිරීමකි. ‘සෑම ඓතිහාසික සිද්ධියක් සහ පුද්ගලයෙකුම ඉතිහාසයේ දෙවරක් විරාජමාන වන බවත්, ඉන් පළමුවැන්න ඛේදවාචකයක් බවත්, දෙවැන්න විගඩමක් බවත්, හේගල්ව නිවැරදි කරමින් මාක්ස් ප‍්‍රකාශ කෙළේ, එම සියවසේ සුප‍්‍රකට ක‍්‍රිමියානු යුද්ධය (1853-1856) ඇති වීමට වසරකට කලිනි. දැන් අපට එය නැවතත් ලැබී තිබේ.

ඒ වූ කලී, ශුද්ධ වූ දේශයේ පාලන බලය ලබා ගැනීම සඳහා ප‍්‍රංශයේ නායකත්වයෙන් කතෝලිකයන් සහ රුසියාවේ නායකත්වයෙන් සත්‍යලබ්ධික කිතුණුවන් අතර වූ සටනක් හරහා ඇවිලී ගිය මහා යුද්ධයකි. එහි දී ප‍්‍රංශයේ සහ බි‍්‍රතාන්‍යයේ හමුදාවන් ඉදිරියේ රුසියාව පැරදුණි. එහෙත් ක‍්‍රිමියානු යුද්ධය විසින් යුරෝපයේ ඇති කෙරුණු කලබැගෑනිය තුළ, බිස්මාර්ක්ගේ ජර්මනියක් බිහිවිය. අනතුරුව, පළමු ලෝක යුද්ධයක් ඇවිළුණි. රුසියාවේම බොල්ෂෙවික් විප්ලවයකුත් හටගත්තේය. අද ක‍්‍රිමියානු බල ගැටුම, එක අතකින්, විප්ලවයේ නිම නොකළ එක් ප‍්‍රශ්නයක ප‍්‍රකාශනයකි. අනිත් අතට, සෝවියට් දේශයේ කඩා වැටීමෙන් පසු රුසියාවට එරෙහිව යුරෝපය ගෙන ගිය ප‍්‍රයෝගවලට දෙන ලද දඬුවමකි.
රුසියානු විප්ලවය මගින් නොවිසඳුනු ප‍්‍රශ්නය වන්නේ, ජාතික ප‍්‍රශ්නයයි. සෝවියට් දේශය තුළ ජීවත් වූ, ඉපැරණි ස්ලාව් (රුසියානු, යුක්රේනියානු, බෙලෝරුසියානු), බෝල්ටික් (ලැට්වියානු, ලිතුවේනියානු, එස්තෝනියානු), කොකේසියානු (ජෝර්ජියානු, ආර්මේනියානු, අසර්බජානි) සහ මධ්‍යම ආසියානු (උස්බෙකිස්තාන්, කසකස්තාන්, තජිස්, තුර්කමේනියන්, කිර්ගිස්) ජාතීන් ඔස්සේ සෝවියට් දේශය විසිරී, දිය වී ගියා මිස, ධනවාදය ඉදිරියේ යෝධ වෙළඳපොළක් සේ එය කඩා වැටුණාම නොවේ. සෝවියට් දේශයක් තවදුරටත් නැති ලෝකයක් තුළ සිටි යුරෝපීයයන් කෙළේ, කලින් ‘වෝර්සෝ’ සංවිධානයේ සිටි රටවල් සහ කලින් සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල් මාර්ගයෙන්, විශේෂයෙන් ‘නේටෝ’ සංවිධානය මාර්ගයෙන්, පැරණි රුසියාවෙන් ඉතිරිව තිබූ කෑලිබෑලි ටිකත් අසංවේදීව වට කරනු ලැබීමයි. ඒ තත්වය තුළ, පුටින් සම්බන්ධයෙන් ගත් විට, යුක්රේනය යනු තවදුරටත් බලා සිටිය නොහැකි තත්වයක් විය. එහි දී ඔහු මෙහෙයැවුණු අරමුණු සහ ඔහු අනුගමනය කළ ක‍්‍රමවේද ඉතා ප‍්‍රශ්නකාරී වෙතත්, ඔහුගේ මෙම ක‍්‍රියාව හිට්ලර්ගේ ආක‍්‍රමණයකට සම කිරීම නොහොබී.

ජාත්‍යන්තර ‘කව්බෝයි’ වීරයෙකු සේ පුටින්ට ගැලවී යාමට හැකිවී ඇත්තේ, ධවල මන්දිරයේ දුර්වල ‘ෂෙරීෆ්’ වරයෙකු සිටින නිසා යැයි කීම, තවත් එවැනි අපබ‍්‍රංසයකි. තමන්ට කළ හැකි දේවල් ගැන දන්නවාට වඩා තමන්ට කළ නොහැකි දේවල් ගැන ඔබාමා දැන සිටීම අප අගේ කළ යුතුය. පුටින් සහ ඔබාමා අතර දීර්ඝ දුරකථන සාකච්ඡුා ඇති වී තිබීමත් විශේෂිත ය. මෙතරම් ගැටුම්කාරී අවස්ථාවක දී, රුසියානු සහ යුක්රේනියානු සොල්දාදුවන් ද, ක‍්‍රිමියාවේ වෙසෙන ජනතාව ද, එළැඹි සිහියෙන් යුතුව කටයුතු කිරීම වැදගත් ය. එක් යුක්රේනියානු සොල්දාදුවෙකුගේ බිරිඳක් කී පරිදි, නායකයන් ද එසේ කටයුතු කිරීම දැකීම ඇගේ ආශාවයි.

*2014 මාර්තු 9 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Crimea And Geneva: Reverse Lessons For The Rajapaksa Regime And Diaspora Separatism නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page