Colombo Telegraph

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව: අදහස් සහ යෝජනා සමහරක්

රාජසිංහම් නරේන්ද්‍රන්

රාජසිංහම් නරේන්ද්‍රන්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ආණ්ඩුකරණයේ බොහෝ ගැටළුවල මූලය ඇත්තේ, 1978 දී සම්මත කර ගත් සහ අනතුරුව 19 වතාවක්ම සංශෝධනයට ලක්කොට ඇති විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ව්‍යවස්ථාවේ ය. ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය වනාහී, දුර්වල අන්දමින් සකස් කොට, පසුව තවත් විකෘතියට පත්කරන ලද ව්‍යවස්ථාවක් තුළ දුර්වල අන්දමින් ආයතනගත කළ ප‍්‍රපංචයකි. සමහර විට අද ලෝකයේ පවතින වඩාත් ප‍්‍රබලම ආයතනය එය විය හැක. 1978 ව්‍යවස්ථාව සැලසුම් කෙරුණේ, ගැහැනු-පිරිමි කම වෙනස් කිරීමට පමණක් නොහැකි, අනිත් ඕනෑම දෙයක් වෙනස් කළ හැකි තරමේ බලයක් එක පුද්ගලයෙකු අතට පැවරීම සඳහාත්, එක්සත් ජාතික පක්ෂය පමණක් සදාකාලිකව බලයේ තබා ගැනීම සඳහාත් ය. මේ නිසා, බලයට පත්වන නරක පුද්ගලයෙකුගේ ග‍්‍රහණය තුළ, ඒකාධිපති සහ ප‍්‍රතිපත්ති විරහිත බලයක් බවට එය ඕනෑම අවස්ථාවක පරිවර්තනය කරගත හැකිව තිබුණි.

මේ ක‍්‍රියාවලිය තුළ පාර්ලිමේන්තුව, අධිකරණය සහ රාජ්‍ය සේවය වැනි අනෙක් සෑම අංශයක්ම, හඳුනාගත නොහැකි තරමට විකෘති කෙරුණි. විධායක ජනාධිපතිවරයාගේ වහල් ආයතන බවට ඒවා පත්කෙරුණි. යහපාලනයක් තුළ තිබිය යුතු වගවීම, නීතියේ ආධිපත්‍යය සහ අනෙක් සෑම දෙයක්මත්, මේ ක‍්‍රමය යටතේ, 2015 වන විට, උඩුයටිකුරු කෙරුණි. විධායක ජනාධිපතිවරයා වෙත පවරා තිබූ දණ්ඩමුක්තිය (නීතියට ඉහළින් සිටීම), ශ‍්‍රී ලංකාවේ සෑම අහුමුල්ලක්ම දූෂ්‍ය කෙළේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ව්‍යාජයක් බවට පත්කෙරුණි. එහි නරකම ආදර්ශය වුනේ සහ වන්නේ, ආණ්ඩුකරණයයි.

බි‍්‍රතාන්‍යයේ වෙනත් ආසියානු යටත්විජිතවලට වඩා කලින් 1931 දී සර්වජන ඡුන්ද බලය ලබා ගත් ශ‍්‍රී ලංකාව, 1948 දී නිදහස ලබන විට ඉතා දීප්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හිමි කරගෙන සිටි ශ‍්‍රී ලංකාව, 1977 ව්‍යවස්ථාව ඇති කර ගත් දා පටන් ජනතා ස්වෛරීත්වය තුට්ටු දෙකේ ඒකාධිපතියන්ට එක තොගයට විකුණා දමන ලදි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සෑම ව්‍යවස්ථාමය ප‍්‍රමිතියකටම සහ සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයකටම එල්ල කෙළේ මරු පහරකි.

දැන් අප විසින් අපගෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්න වන්නේ:
1. ජනරජ ව්‍යවස්ථා සංකල්පයේ වරදක් තිබේද, නැත්නම් අපේ ජනරජ ව්‍යවස්ථාව ඕනෑ කමින්ම නරකට පිළියෙල කර ගත්තේද?
2. විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ සංකල්පයේ වරදක් තිබේද, නැත්නම් අපේ විධායක ජනාධිපති ක‍්‍රමය හිතාමතාව නරකට සකසා ගත්තේද?

මේ ප‍්‍රශ්න දෙකටම මගේ පිළිතුර වන්නේ එකකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත්, ඒ තුළ සකසා ගත් විධායක ජනාධිපති ක‍්‍රමයත් අප විසින් සැලසුම් කර ඇත්තේ වැරදියටයි. සෑම ආයතනයක් සහ සෑම ජන කොටසක්මත් වහලූන් බවට පහළ හෙලිය හැකි රජෙකු තෝරා පත්කර ගැනීම සඳහා එය සකස් වී ඇත. එයම, රාජකීය පවුලක් ස්ථාපනය කිරීමටත් උපස්ථම්භක විය. සදාචාරමය සහ ආචාර විද්‍යාත්මක ප‍්‍රතිපත්ති කෙළසන, යකඩ හස්තයකින් අපව පාලනය කරන, හිනාවකින් කැත අභිප‍්‍රායන් වසංගන සහ වෝල්ටර් ලිප්මන්ව උපුටා දක්වමින් නිලන්ත ඉලංගමුව සිය ලිපියක පෙන්වා දෙන, ‘නිර්මාණය කළ අනුමැතියක්’ යටතේ ඉදිරිපත් කෙරෙන ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුජාත භාවයක් ජනාධිපතිවරයාට පවරා දෙන ක‍්‍රමයක්, එහි අවසාන ප‍්‍රතිඵලය වී තිබේ.

‘අනුමැතිය නිර්මාණය කිරීම’ නැමැති සංකල්පය, පසුගිය රජයේ සොයා ගැනීමක් නොවේ. ඊට කලින් පැවති ආණ්ඩුද එය අත්හදාබලා තිබේ. එහෙත් වඩාත් සූක්ෂම ආකාරයෙන් සහ වඩාත් සාර්ථකව එය ක‍්‍රියාවේ යෙදැවූයේ පසුගිය රජයයි. ධන බලය, කුලියට ගත් බාහු බලය, සුදු වෑන් සංස්කෘතිය, ඝාතන, තම අවශ්‍යතා සඳහා මාධ්‍ය හැසිරවීම, පොලීසිය සහ සන්නද්ධ සේවා තම අවශ්‍යතා සඳහා යොදා ගැනීම සහ පාර්ලිමේන්තුව සහ අධිකරණය පෙර නොවු විරූ ආකාරයෙන් අපහරණයට ලක්කිරීම, මෙකී ‘අනුමැතිය නිර්මාණය කිරීම’ සඳහා පසුගිය රජය පාවිච්චියට ගන්නා ලදි. ඒ ‘අනුමැතිය නිර්මාණය කිරීමේ’ හොඳම සාක්ෂිය වන්නේ, හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකව එම තනතුරින් පන්නා දැමූ සිද්ධියයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් නිර්මාණය කර ගත් සැටි තවත් උදාහරණයකි. තවත් එවැනි බොහෝ සිදුවීම උදාහරණ වශයෙන් ගෙනහැර දැක්විය හැක. මේ කියන ‘නිර්මිත අනුමැතිය’ ඉතා සීග‍්‍රයෙන් ‘මෝචරියක සන්සුන් නිශ්ශබ්දතාව විසින් සපයන අනුමැතියක්’ බවට පත්විය. ඒ සඳහා විවිධ ආකාරයේ පීඩනයන් යොදා ගන්නා ලදි. අප සියල්ලන්ව, අන්ධ, බිහිරි, ගොළු සහ ප‍්‍රදර්ශනයෙහි අසමත් වඳුරන් සතර දෙනාගේ තත්වයට පිරිහෙලීය.

අපේ ඡුන්දයෙන් තෝරා පත්කර ගැනුණු පාර්ලිමේන්තුව, විධායක ජනාධිපතිවරයාට පෞද්ගලික ඇඟෑලූම්කම් පාන බහුතරයකගේ පාලනයට යටත් කරන ලදි. පළමු විධායක ජනාධිපතිවරයා, තමන්ට හිතවත් මන්ත‍්‍රීවරුන්ගෙන් දාතම නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගත්තේය. එය අවිශිෂ්ඨ ය. මොන තරම්ද යත්, ඉතා උසස් පුද්ගලයෙකු වුව, අවිශිෂ්ඨයෙකු බවට පත් කරවන තරමට නිවට ය. එතැන් පටන් ඔවුන් තමන්ව පත්කර එවූ ජනතාවට පක්ෂපාතී වන්නේ නැත. ඉහළ අධිකරණය, විධායකයේ අතකොලූවක් විය. විධායකයට එරෙහිව යාමට ශක්තියක් නැති ආයතනයක් බවට එය පත්විය. පහළ අධිකරණයත්, සිය පිටකොන්ද සහ ස්වාධීන්ත්වය නැති කර ගත්තේය. රාජ්‍ය සේවාව සහ පොලිස් සේවාව, දේශපාලඥයන් සහ ඔවුන්ගේ මාෆියාවේ පාලනයට යටත් ආයතන බවට පත්විය. සේවයට බඳවා ගැනීම්, සේවයේ උසස් වීම්වල සිට විශ‍්‍රාමය දක්වා වන සියල්ල දේශපාලනීකරණය වීමත් සමග අපේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම විය. දූෂිත විය. ඒ අනුව රාජ්‍ය නිලධාරීහූ තමන්ගේ වාසිය ගැන බලා ගන්නා, කාලය කා දමන පිරිසක් සහ දේශපාලඥයන්ගේ සපත්තු ලෙවකන පිරිසක් බවට පත්වූහ. හිතාගත නොහැකි තරමට පොලීසියත් දූෂ්‍ය විය. අධ්‍යාපනය ඇතුළු අනිත් සෑම අංශයකටමත් අත්වූයේ එම ඉරණමමයි.

කෙසේ වෙතත්. වඩාත් පුළුල් ප‍්‍රශ්නයක් වශයෙන් මා දකින්නේ, අප නිදහස දිනා ගත් වෙස්ට්මින්ස්ටර් මාදිලියේ 1948 සෝල්බරි ව්‍යවස්ථාව සහ වාමාංශික සන්ධානයක් යටතේ සිරිමා බණ්ඩාරනායක විසින් 1972 දී ඇති කර ගත් ප‍්‍රථම ජනරජ ව්‍යවස්ථාව, පරමාදර්ශී ආණ්ඩු ක‍්‍රමයක් වීද යන්නත්, එය මීට වඩා ගුණාත්මක වශයෙන් උසස් ක‍්‍රමයක් වීද යන්නත් ය. සෝල්බරි ව්‍යවස්ථාවේ තිබූ උත්තංගුත්වය සහ දර්ශනය බොහෝ අවස්ථාවලදී ඉවත දැමුණි. එහි අවසාන කාලය වන විට, හැම අරුතකින්ම එය, හිස් කට්ටක් පමණක් බවට පත්ව තිබුණි. ඒ යටතේ පැවති ආයතනත් දේශපාලනීකරණය කෙරුණු අතර අකර්මණ්‍ය කෙරුණි. සෝල්බරි ව්‍යවස්ථාවට සිදු කරන ලද එම හානිය, 1972 ව්‍යවස්ථාව මගින් සුජාත කොට ආයතනගත කෙරුණි. එම ව්‍යවස්ථාව සකස් කෙරුණේ එදා බලයේ සිටි සභාග ආණ්ඩුවේ අරමුණු ඔවුන්ට උවමනා ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අභිමතාර්ථය පෙරදැරිව ය. එහෙත් වෙස්ට්මිනිස්ටර් මාදිලිය හුදෙක් මෝස්තරයක් වශයෙන් පමණක් ඉතිරි කර ගැනුණි. ඒ අනුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා තිබුණු තුලන සහ සංවරණ මේ ව්‍යවස්ථාව යටතේ බාල්දු කෙරුණි. ආයතන පද්ධතිය හෑල්ලූ කොට දේශපාලඥයාව බලගැන්වීමේ ක‍්‍රියාවලියක අවසාන තාර්කික ඵලය වුණේ 1978 ව්‍යවස්ථාවයි. ඒ යටතේ, එම දේශපාලඥයන්ගෙන් කෙනෙක් ව්‍යවස්ථාමය ඒකාධිපතියෙකු, ඡන්දයෙන් තේරී පත්වන රජ කෙනෙකු බවට පත්කෙළේය. ඔහුට හෝ ඇයට, සොඳුරු ආඥාදායකයෙකු වීමට හෝ දරුණු ආඥාදායකයෙකු වීමට හෝ පුලූවන. 2015 ජනවාරි වන විට අපට සිටියේ, සොඳුරු මුහුණුවරක් මවා පෙන්වූ දරුණු ආඥාදායකයෙකි.

හිස්, මායාකාරී වචන බවට පත්ව තිබූ අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් යටතේ කටයුතු කිරීමට අපේ දේශපාලඥයන් එක දිගටම අසමත්ව තිබේ. අපව පාලනය කර ගැනීම සඳහා අප පත්කර ගන්නා දේශපාලඥයන්ට ව්‍යවස්ථාවේ සීමාවන් තුළ කටයුතු කිරීමට ඇත්තෙන්ම අවශ්‍යතාවක් නැත. එම තත්වය අප හැම විටකම ඉවසා වදාරා තිබේ. පටු චින්තනයක් සහිත ස්වාර්ථයම සොයන දේශපාලඥයන්ට, රට පිළිබඳ උත්කෘෂ්ට දැක්මක් නැති දේශපාලඥයන්ට, ව්‍යවස්ථා සම්පාදන කටයුත්ත අප භාර දී තිබේ. මෙවැනි දේශපාලඥයන්ට ව්‍යවස්ථාවක් යනු, නිකංම කඩදාසියකි. තමන්ගේ තුච්ඡු භාවය වසං කර ගැනීමේ ලියවිල්ලකි. වර්තමාන ආණ්ඩුව ප‍්‍රායෝගිකව බොහෝ වර්ධනයන් අත්කරගෙන තිබේ. එය සාධනීය තත්වයකි.

විධායක ජනාධිපති ක‍්‍රමයක් සහ සම්පූර්ණ ජනරජ ව්‍යවස්ථාවක් යටතේ මේ වන විට අප අවුරුදු 38 ක් ගත කොට තිබේ. එනම්, නිදහස ලැබීමෙන් පසු ගත කළ මුළු කාලයෙන් අඩකට ටිකක් වැඩි කාලයකි. වෙනත් ක‍්‍රමයක් ගැන නොදන්නා සමස්ත පරම්පරාවක්ම ඒ යටතේ හැදී වැඞී ඇත. ව්‍යවස්ථාවක් ක‍්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන අපට අවබෝධයක් තිබේ. එය අපහරණය කර ඇත්තේ කෙසේද යන්න ගැන අවබෝධයක්ද අපට තිබේ. අවස්ථාවක් ලැබුණොත්, මේ විධායක ජනාධිපති ක‍්‍රමය සහ එම ආණ්ඩු ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා දායක වීමේ දැනුමත්, ඊට අවශ්‍ය පසුබිමත් අපේ දැනුවත් පුරවැසියන්ට තිබේ.

අපේ ව්‍යවස්ථාමය ආකෘතිය හරවත් ආකාරයෙන් ප‍්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බව අමුතුවෙන් නොකිවමනා ය. එය, කාලයට ඔරොත්තු දෙන, වර්ධනය වන සමාජයීය සාරධර්මවලට අනුරූපව අර්ථකථනය කර ගත හැකි, ඉතා වේගයෙන් සහ විවිධ ඉසව් ඔස්සේ දිග හැරෙන අනාගතයට සරිලන, විශාල අපේක්ෂා දල්වාගෙන සිටින ජනතාවකට ගැලපෙන, සංක්ෂිප්ත, දුර පේන, ප‍්‍රතිපත්තිමය ලියවිල්ලක් විය යුතුය. අප යන ඉදිරි ගමනේ මාර්ගාලෝකය එය විය යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වන විද්වතුන් විසින් කාලයේ අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් ඉදිරිපත් කෙරෙන අර්ථකථනයන් විසින් නැවත නැවතත් ශක්තිජනනය කෙරෙනු ලබන ලියවිල්ලක් විය යුතුය. එම කි‍්‍රයාවලිය තුළ එහෙන් මෙහෙන් ලෑටිගෑමේ අවකාශ නොතිබිය යුතුය. ඒ වෙනුවට එය, ව්‍යවස්ථාවෙන් පැනෙන දැක්මකට අනුව, අපට නායකත්වය දෙන සහ අපට සේවය කරන මිනිසුන් බිහි කරන ක‍්‍රියාවලියක් විය යුතුය.

2016 මාර්තු 04 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Proposed New Constitution: Some Suggestions & Thoughts නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Home page