Colombo Telegraph

ශ්‍රී ලංකාවේ නායකත්වයේ රික්තය

රජීව ජයවීර

රජීව ජයවීර

පාකිස්තානු අගමැතිවරයා වන 67 හැවිරිදි ඉම්රාන් ඛාන් ලාහෝරයේ ඉහළ මධ්‍යම පාන්තික පශ්ටුන් පවුලකින් පැවත එන්නෙකි. හෙතෙම ඔක්ස්ෆර්ඩ් (Oxford) හි Keble විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ අයෙකි. පාකිස්තානය විසින් ජයග්‍රහණය කළ එකම ලෝක ක්‍රිකට් කුසලානය කරා 1992 දී පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම  මෙහෙයවූ නායකයා වූයේ ඉම්රාන් ඛාන් ය. අවසන් ජයග්‍රාහි කඩුල්ල  දවා ගනිද්දී ඔහුගේ වයස 39 ක් විය. ජනහිතකාමී නායකයකු වන ඉම්රාන් ඛාන් ලාහෝරයේ හා පෙෂාවෝර් හී නවීන රෝහල් දෙකක් ඉඳිකිරීම සඳහා අරමුදල් රැස් කළේය. වර්ෂ 2004 සිට 2014 දක්වා කාලය තුළ Bradford විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද සේවය කළේ ය.

පාකිස්තාන් තරීක් – ඉන්සාෆ් (PTI නැතහොත් සාධාරණය සඳහා  වන පාකිස්තාන් ව්‍යාපාරය)පක්ෂය 1996 අප්‍රියෙල් මාසයේදී  ඉම්රාන් ඛාන් විසින් පිහිටුවන ලදී. 2018 වසරේ පැවැත්වූ මහා මැතිවරණයේදී PTI පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවූ ඔහු 2018 අගෝස්තු මස 17 වන දින පාකිස්තානයේ අගමැතිවරයා ලෙස තේරී පත් විණ.  

අගමැතිවරයා ලෙස ඉම්රාන් ඛාන් ස්වකීය ප්‍රථම නිල සංචාරය ඇරඹුවේ ජුලි මස 21 සිට 23 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරමිනි. බදු ගෙවන ජනතාවගේ මුදල් ඉතිරි කිරීම සඳහා හෙතෙම දින තුනක් ගමන් කළේ වාණිජ පන්තියේ (Economy class) ගුවන් ගමන් මගිනි. කටාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ කටාර් හී පාලකයා සමග රැස්වීම් සාකච්ඡා වල නිරත වූයේ දෝහා හි අතරමැදි ගුවන් ස්ථානයේදී (transit in Doha ) ය. ඇමරිකාවේදී දින දෙකක් තුළ රැස්වීම් 15 කට  වැඩි සංඛ්‍යාවකට සහභාගී වූ හෙතෙම තරු පහේ හෝටලයක වෙනුවට නවාතැන් ගත්තේ පාකිස්තානු තානාපති කාර්යාලයේය. පෙරවරු 2.00 ට නැවත පාකිස්තානයට පැමිණි ඔහු එදිනම පෙරවරු 10.00 ට අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ද පැවැත්වූයේය.

ඉම්රාන් ඛාන් ඇමරිකා එක්සත් ජනපදයේ තම නිල සංචාරය තුලදී  සහභාගී වුණු බොහොමයක් අවස්ථා අතර, ගෝලීය ගැටුම් නිරාකරණය සහ වැළැක්වීම සඳහා වූ අපක්ෂපාතී සහ ස්වාධීන ෆෙඩරල් ආයතනයක් වන USIP (සාමය සඳහා ඇමෙරිකානු ආයතනය) ආයතනය විසින් සංවිධානය කරන්නට යෙදුනු ප්‍රශ්නෝත්තර සැසිය ද වේ. ප්‍රතිපත්ති සැලසුම් කරුවන්, රජයේ සහ ඉන් පරිබාහිර පුද්ගලයන් මෙන්ම අවංකවම ඇමරිකා-පාකිස්ථාන සම්බන්ධතාවයන් පිළිබඳ උනන්දුවෙන් සිටින්නවුන්ගෙන්ද එදින ප්‍රේක්ෂකාගාරය පිරී තිබිණ. “අවසාන වශයෙන්, ඔබට කියන්නට ඇති පණිවුඩය කුමක් දැයි” ඉම්රාන් ඛාන් ගෙන් විමසූ විට ඔහු දුන් පිළිතුර වූයේ;

 පාකිස්තානයේ අගමැතිවරයා ලෙස ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණි මට ඔබට  දීමට ඇති පණිවුඩය නම් ,  අන්‍යෝන්‍ය විශ්වාශය හා බැඳුණු සම්බන්ධතාවයක් දෙරට අතර පවත්වා ගැනීමට මම  කැමැත්තෙමි. එක හා සමාන වූ මිත්‍රත්වයක් දෙරට අතර පවත්වා ගැනීමට මම කැමැත්තෙමි. එය මින්  පෙර පැවති  ලෙස “ඇමෙරිකානු ආධාර බලාපොරොත්තුවෙන් පාකිස්තානය විසින් යම් යම් දේ ඉටු කළ යුතු වූ” ආකාරයේ මිත්‍රත්වයක් නොවිය යුතුය.මෙවර මා අමෙරිකාවෙන් නික්ම යන්නේ සතුටිනි. ඒ මන්ද යත් , හුදෙක් අන්‍යෝන්‍ය වාසිය මත පදනම් නොවූ මිත්‍රත්වයක් – ඇෆ්ගනිස්තානයේ සාමය – අප අතර ඇති බැවිනි. ඔබට මෙම ආධාර ලැබේවි දැයි කෙනෙක් ඇසූ විට,  අමෙරිකාවෙන් පමණක් නොව ඕනෑම කෙනෙකුගෙන් “අප ආධාර ඉල්ලනවා” යන කියමන මම ප්‍රතික්ෂේප කරමි. මන්ද යත් මෙම ආධාර මගේ රටට වූ දැවැන්ත ශාපයක් නිසා ය (ප්‍රේක්ෂකාගාරයෙන්  අත්පොළසන් හඬ ). ඉන් අපට සිදු වූයේ කුමක්ද? එයින් ඇතිවූයේ “යැපීම් මානසිකත්වයයි “(Dependency Syndrome ) අප …………………………. මගේ ප්‍රථම සව්දි අරාබි සංචාරය ඔබට මතක ඇති. මා එහි ගියේ මුදල් හිඟා කෑමට නම් එය දේශයකට කරන නින්දාවකි. දේශයන් ගොඩ නැගෙනුයේ ආත්ම ගෞරවය හා ආත්ම අභිමානය නිසායි. හිඟා කෑමෙන් හෝ ණයට ඉල්ලීමෙන් කිසිදු දේශයක් ගොඩ නැගිය හැකි නොවේ. ඇමෙරිකාව සමග මා බලාපොරොත්තු වනුයේ අභිමාන්විත සම්බන්ධතාවක් මිස නැවත කිසිදු දිනෙක අවමන් සහගත  එකක් නොවේ. පාකිස්තානුවෙකු ලෙස මා ඔබට පවසනුයේ , ඇමෙරිකානු හමුදා විසින් ඔසාමා බින් ලාඩන් පාකිස්තානයෙන් එළියට ගත් අවස්ථාවේ තරම් නින්දාවක් වෙන කිසිදු  දිනෙක මාහට  නොදැනුණු  බවයි. මිත්‍ර පාක්ෂික රටක් ලෙසට හංවඩු ගැසුණු රට නමුත් එම රට කෙරෙහි විශ්වාසය නොතිබීම තරම් නින්දාවක් වෙන කිසිදු  දිනෙක මා හට දැනී නැත. මෙය පාකිස්තානුවෙකු ලෙසත් සෑම පාකිස්තානුවෙකුටමත් නින්දාවකි. නැවත  කිසි දිනෙක එවැනි තත්වයකට  පත්වීමට අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වනුයේ මිත්‍රත්වයෙන් බැඳුණු සම්බන්ධතාවයකි. එක මිතුරෙකු පොහොසත් සහ අනෙකා එතරම් පොහොසතෙකු නොවිය හැකිය. ඉතින් ඇයි ? එය අභිමාන්විත සම්බන්ධතාවයක් නම් ? මා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බලාපොරොත්තු වන්නේ එවැන්නකි (ප්‍රේක්ෂකාගාරයෙන්  අත්පොළසන් හඬ).

අල් කයිඩා (Al Qaeda ) නායකයා මෙන්ම  9/11 සැලසුමේ ප්‍රධානියා වන ඔසාමා බින් ලාඩන් තම බිරින්දෑ වරුන් සහ ළමුන් සමග අබෝටාබාද් (Abbotabad ) හි විශාල හමුදා සේනා ස්ථාපිත යක් ආසන්නයේ වසර පහකට වඩා කාලයක් ජීවත් වීමේ  අඥානකම පකිස්තානය මත පැටවිය නොහැක. ඇමෙරිකාවේ ජීවිත 2,977 ක් විනාශ වූ අතර 6,000 ක් දෙනා තුවාල ලැබූහ. එවැනි පුද්ගලයකුට රැකවරණය දීම මිත්‍රත්වයේ ගුණාංගයක් නොවේ.

තම පවුද්ගලික අවශ්‍යතා පසෙක ලා ජාතික අවශ්‍යතා වලට මුල් තැන දෙන නායකයකු අවසානයේ දී  පකිස්තානයට ලැබී තිබේ. ඔහු තම ජාතික භාෂාව මෙන්ම රාජ්‍ය භාෂාවද වන උර්දු භාෂාවෙහි  මෙන්ම පාකිස්තානයේ දෙවන රාජ්‍ය භාෂාව වන ඉංග්‍රීසි භාෂවෙහිද එක හා සමාන චතුරත් වය ඇත්තෙකි.

සුවිසල් අගමැති මන්දිරයෙහි සේවය කළ කාර්ය මණ්ඩලයේ 500 කට වඩා වැඩි පිරිසක් නිදහස් කළ හෙතෙම තමාගේම නිවසක ජීවත් වේ. අගමැතිවරයාට අයත් රථ වාහන සමූහයෙන් වෙඩි නොවදින වාහන 33ක් ද ඇතුළුව සියලු වාහන 80 කින් 78ක් ම පොදුවේ වෙන්දේසි කිරීම සඳහා නැවත  භාර දුන් ඔහු තමා සන්තකයේ  ඉතිරි කර තබා ගත්තේ වාහන 2ක් පමණි. ඔහු ගමන් ගන්නේ වාණිජ ගුවන් ගමන් (Commercial Airlines ) වල  පිරිමැසුම්දායක පංතියේය.(Economy Class). ඔහුගේ බිරිඳ ගෘහිණියක් වන අතර පොදු වැඩ කටයුතු වලට සහභාගී නොවන්නියකි.  තම වත්කම් ප්‍රකාශනය සහ බදු ගෙවීම් විස්තර මහජනතාවගේ දැනගැනීම සඳහා ඒකාබද්ද ආදායම් මණ්ඩලයේ (Federal Board of Revenue ) සහ මැතිවරණ කොමිසමේ වෙබ් අඩවි වල උඩුගත කර තිබේ (Upload ).

ඉම්රාන් ඛාන් මෙන් අවංක,ඍජු, පැහැදිලි සිතුවිලි සහිත සහ වාග් චාතුර්යයෙන් යුතු නායකයෙකු දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව විසින් බිහි  කර නැත. ඉම්රාන් ඛාන් යොදාගන්නා යැපීම් මානසිකත්වය,ලැජ්ජාව, මුදල් හිඟා කෑම, ආත්ම ගෞරවය, ආත්ම අභිමානය වැනි වචන ශ්‍රී ලාංකික  නායකයන්ගේ  වාග් කෝෂයෙහි දක්නට නොමැත.

ශ්‍රී ලංකාව ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා සූදානම් වන නමුදු මේවා කුමන අනුපිළිවෙළින් පැවැත්වේ ද යන්න තවමත් පැහැදිලි නැත. මෙම සටනේ සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් වනුයේ මෛත්‍රීපාල සිරිසේන (67), රනිල් වික්‍රමසිංහ (70) සහ මහින්ද රාජපක්ෂ (73) ය.

1970 සිටම ඡන්දදායකයින් ඉහත සඳහන් කළ තිදෙනාද ඇතුළුව දේශපාලකයන් කෙරෙහි විශ්වාසය තැබූවද ඔවුහු ඡන්දදායකයන්ට පිටුපෑහ. ඔව්හු සියල්ලෝම  තම තමන්ගේ දේශපාලනික වරම සහ පොරොන්දු විනාශ කර දැමූහ.

සටනේ සිටින අනෙකුත් අය වනුයේ සජිත් ප්‍රේමදාස (52), කරු ජයසූරිය (78) සහ ගෝඨාභය රාජපපක්ෂ (70) වේ. ප්‍රේමදාස යනු උරගා නොබැලු අයෙකි. මෑත දී සිදුවුණු “ආර්යාව භාර්යාව” රංගනය  පිළිබඳ කියන්නට ඇත්තේ ප්‍රේමදාසගේ ජනාධිපතිත් වය යටතේ රටට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇත යන්නය. 2018 ඔක්තෝබර් මස පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු මන්ත්‍රී වරුන් පාලනය කර ගත නොහැකි වුණු ජයසූරිය අද දක්වාම සිය අදක්ෂතාව පෙන්වා ඇත. රට පාලනය කිරීමට ඔහු සතුව ඇති හැකියාව පිළිබඳව ඇත්තේ බරපතල සැකයකි. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපපක්ෂ තම පරිපාලන කාර්යශූරත්වය ඔප්පු කර පෙන්වා ඇත. එහෙත් අප නොදන්නා කරුණ නම් ජනාධිපති තනතුර ලද පසු ස්වාධීන පුද්ගලයකු ලෙස කටයුතු කරයිද නැතහොත් ස්වකීය වැඩිමහල් සහෝදරයාගේ සෙවනැල්ල බවට පත් වේවිද යන්නයි.

නායකයන් වුවද ඔවුන් ගෙන් වැරදි සිදුවිය හැක. එමෙන්ම චරිතමය දුර්වලතා ද තිබිය හැක.(කිසිදු අයෙක් බුදු රජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ හෝ මහම්මත් තුමා නොවේ). නායකයන් ගෙන් කිසිවකු පෞද්ගලික ඕනෑ එපාකම් අභිබවා යන  ජාතික අවශ්‍යතා වෙනුවෙන් ඉම්රාන් ඛාන් පෙන්වා ඇති ආකාරයේ කැපවීම, අවංකභාවය, ඍජු බව සහ උත්සාහවන්ත භාවය  පෙන්වා නැත.

ජනාධිපති අපේක්ෂකයන් විසින් දෙනු ලබන පොරොන්දු පිළිබඳව දැනෙන්නේ කනගාටුවකි. දවසේ පැය විසි හතර පුරාම සේවය කිරීමට කැප වන බව එකෙකු පවසයි. සෑම  දේශපාලකයෙක්ම  රැකියා විරහිත අයට, නැති රැකියා දීමට පොරොන්දු වෙයි, රැකියා කරන්නවුන් හට දැරිය නොහැකි වැටුප් වැඩිවීම්ද, විශ්‍රාමිකයනට යථාරූපී නොවන සහනද ඇතුළුව තව බොහෝ දෑ කිරීමට පොරොන්දු ලබා දේ. අනතුරුව බලයට පැමිණි පසු, පොරොන්දු වලින් ඇඟ බේරා ගැනීමට උත්සාහ දරති. දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලින්  තමාට තර්ජන එල්ල වන අවස්ථාවේදී හෝ  ඊළඟ මැතිවරණය ආසන්න වන විට සමහර පොරොන්දු ඉටු කිරීමට උත්සුක වෙති.  දිනපතා ජාතික පුවත්පත්වල පිටු පුරා ප්‍රචාරයක් ලබාදී , රජයේ නොපවත්නා තනතුරු සඳහා මෑතකදී ලබා දුන් පත්වීම් ලිපි 16,800 එයට එක උදාහරණයකි.

තමා බලයට පැමිණි පසු තමා විසින් දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා අරමුදල් සපයා ගන්නේ කෙලෙසකදැ යි කිසිදු අපේක්ෂකයකු ඡන්දදායකයන්ට නොපවසයි. ඡන්දදායකයන් ඒ පිළිබඳව විමසන්නේද නැත. එසේම, බොහෝ දෙනා නිකම් දෙනවා නම් හිසරදයත් භාර ගන්නෝ වෙති.

කිසිදු අපේක්ෂකයකු ඉම්රාන් ඛාන් කථා කරන භාෂාව කථා නොකරයි. මින් මා අදහස් කරනුයේ ඉංග්‍රීසි භාෂාව ගැන නොවේ. ඔවුන්ගෙන් කිසිදු අයෙක් තම වත්කම් සහ බදු ප්‍රකාශන තම තමන්ගේ නිල වෙබ් අඩවි වල හෝ පෞද්ගලික  වෙබ් අඩවි වල උඩුගත කර නොමැත. ශ්‍රී ලංකාව හිඟා කෑවා ඇති බව හෝ ණයට  ගත්තා  ඇති බව ඉන් කිසිදු අයෙක් නොපවසති. විදෙස් රටවලින් ලබාගන්නා ණය ප්‍රමාණය විශාල වශයෙන් අඩු කිරීම තුලින් විදෙස් ණය කළමනාකරණය කර ගතහැකි මට්ටමකට අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ඔවුනගේ න්‍යාය පත්‍රයේ නැත. පමණ දැන වියදම් කිරීමේ අවශ්‍යතාව ඔවුනගේ   ගැටළු වලට අඩංගු නැත.

මේ සඳහා අවශ්‍ය වන්නේ සියලු දෙනාම පටි තද කර ගැනීමය. ඡන්දදායකයන් සහයෝගය දිය යුත්තේ ඉදිරි පෙළ සිට නායකත්වය දැරීමට සූදානම් එමෙන්ම ඉම්රාන් ඛාන් ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග බොහොමයක් ආදර්ශයට ගෙන ක්‍රියා කරන අපේක්ෂකයකු වෙතයි.

අපේක්ෂකයන් ගෙන් කිසිවකු නැවත අපගේ ආත්ම ගෞරවය  සහ ආත්ම අභිමානය ලඟා කරගැනීමේ අවශ්‍යතාවය ගැන නොපවසයි. එවැනි වචන වල තේරුම වත් දන්නේ කිහිප දෙනෙකු පමණි. සහශ්‍රයේ උපන්නවුන් ද ඇතුළුව අපගේ තරුණ පරම්පරාව  අතර ඇති  අනුවණ කමට හේතුව මෙයයි.

වරෙක ජනාධිපති වරයා ව සිටි ජේ ආර් ජයවර්ධන මහතා, රාජ්‍ය තාන්ත්‍රික රීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් විසින් දිවා භෝජනය සංග්‍රහයකට  කරන ලද ආරාධනය පිළිගත්තේය. එය පිහිනුම් තටාකය ආශ්‍රිතව (BBQ lunch by the poolside )ඉරිදා දිනයක පැවති  BBQ දිවා භෝජන සංග්‍රහයක් විය. එහිදී අපගේ ප්‍රථම කාන්තාව වූ ජයවර්ධන මැතිනියට සිදුවූයේ  තමාට සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකු වූ, මහ කොමසාරිස් වරයාගේ ආගන්තුක නිවැසියා අසලින් අසුන් ගෙන සිටිමින් අවඥාවට ලක්වීමය. ඔහු හැඳ සිටියේ පිහිනුම් ඇඳුම් කට්ටලයක් පමණි.

වරෙක ජනාධිපති වරයා ව සිටි මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියානු මහා කොමසාරිස් වරිය වූ නිරුපමා රාඕ  විසින් කරන ලද කැඳවීමකට අනුව ඉන්දීය නිල නිවසට ගිය අවස්ථාවේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක  වූ ආරුමුගම් තොන්ඩමාන් මහතාට ජනාධිපතිවරයා මුණගැස්සවීමට ඇයට අවශ්‍ය  විය. තොන්ඩමාන් මහතා සිටියේ LTTE යේ දේශපාලනික නායකයෙකු වූ තමිල් සෙල්වන් මුණගැසී LTTE ය සමග සම්බන්ධ වන  බවට තර්ජනය කරමිනි. ඉන්දියාවට ඒ එකක් වත් අවශ්‍ය නොවීය. තොණ්ඩමන් ගේ ප්‍රධානතම මැසිවිල්ල වූයේ තමාව LTTE යෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා යොදවා සිටි යුධ හමුදා සහ ගුවන්  හමුදා ආරක්ෂක භට ඛණ්ඩ ඉවත් කොට ඒ වෙනුවට පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් යෙදවීමයි.

කණගාටුවෙන් වුවද පැවසිය යුතු සත්‍යය වනුයේ, ආත්ම ගෞරවයක්  නැතිකම යන්න අපගේ නායකයන්ට සහ දේශපාලකයන්ට පමණක් සීමා  වූවක් නො වීමය. මෙම අසහනය  අපගේ ආරක්ෂක සේවා අංශ වලටත්  ආසාදනය වී ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක පැවරුම්, විදේශ සවාරි මෙන්ම එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව වැනි රටවලින් ඉවත දමන ලද යුධ නවුකා වැනි  දෑ වලින් ඔවුන් අන්ධ වී ඇත.

අභිනවයෙන් පත් වූ උතුරේ ආඥාපතිවරයා යාපනයේ දී ඉන්දියානු කොන්සියුලර් ජනරාල් වරාය (Consul General) මුණ ගැසීමට ගිය නිර්ලජ්ජී ක්‍රියාව පිළිබඳ සති දෙකකට පෙරාතුව මෙම කතුවරයා විසින් ලියා තිබිණ. අද්මිරාල් වරයකු වන ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානි රවින්ද්‍ර විජයගුණවර්ධන මහතා හමුවීමට අභිනවයෙන් පත් කරන ලද පහළ මට්ටමේ ලුතිනන් කර්නල් වරයෙක් වූ එක්සත් ජනපද ආරක්ෂක කාර්ය භාර නිලධාරියා (US Defense Attaché ) සහ ඔහුගේ දෙවෙනියා සමග පසුගිය සතියේදී පැමිණියේය.  නියෝජ්‍ය ආරක්ෂක කාර්ය භාර යයි කියා ගත් නිලධාරියා නිල ඇඳුම් රහිත, කාර්ය මණ්ඩලයට අයත්  බොහෝ විට ආරක්ෂක සම්බන්ධීකාරකයකු වන්නට ඇත. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව සහ චීනය වැනි රටවල් ඉතාමත් නරක අයුරින් කාර්ය භාර නිලධාරීන් ගේ ස්වරූපයෙන්  රහස් ඔත්තු සේවා ක්‍රියාකරුවන් සේවයේ යොදවා ගනී. මොවුහු සමහරවිට සංස්කෘතික සහ කෘෂිකාර්මික කාර්ය භාර නිලධාරීන් වේ !

ඉදිරි වර්ෂ පහ හය සඳහා නායකයන් තෝරා පත්කර ගැනීමේදී  රටෙහි තිබෙන නායකත්වයේ හිඩැස සහ දේශීය ඉම්රාන් ඛාන්  කෙනෙකුගේ අවශ්‍යතාවය ගැන වෙන කවරකටත් වඩා අපට දැනෙනු ඇත.   

Back to Home page