Colombo Telegraph

වර්තමාන ප‍්‍රජාතන්ත්‍ර​වාදී ප‍්‍රතිසංස්කරණ ගැන රාජපක්ෂ සිතන්නේ කුමක්ද?

රංග ජයසූරිය

ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය.

වර්තමානයේ සිදුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන ඇත්තෙන්ම රාජපක්ෂ හිතන්නේ කුමක්ද? එම වෙනස්කම්, මීට මාස දෙකකට පෙර හීනෙන්වත් සිතාගත හැකිව තිබූ දේවල් නොවේ. ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන ශ‍්‍රී පවන් තමාගේ ජ්‍යෙෂ්ඨත්වය මත අගවිනිසුරු පදවියට පත්වෙතැ යි කිසි දවසක සිතන්නට නැතුව ඇති. දේශපාලනයේ මහ රජවරුන්ගේ නූල් සූත්තරවල සහකාරියක නොවී, කිසි දවසක තමාගේ නම පිරිසුදු කරගත හැකි වෙතැ යි ශිරානී බණ්ඩාරනායක සිතන්ට නැතුව ඇති.

අනිත් අතට, කුඩු රජවරුන් සමග තමාගේ පැවතිණැ යි කියන සම්බන්ධතා ගැන පරීක්ෂණ ආරම්භ කෙරෙතැ යි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා කිසි සේත් සිතන්නට නැතුව ඇති. එසේම, රටේ සිටින කැසිනෝ සක්විත්තන් වන, පසුගිය රජයට මුදලින්හදලින් ආධාර උපකාර කළ ධම්මික පෙරේරා සහ රවී විජේරත්න තමන්ගේ කැසිනෝ ව්‍යාපාර සඳහා රුපියල් කෝටි 100 ක බද්දක් ගෙවීමට සිදුවෙතැ යි කොහෙත්ම සිතන්නට නැතුව ඇති. ඇත්තෙන්ම, තමන්ගේ අනුප‍්‍රාප්තිකයා යටතේ සිදුවන වෙනස්කම් ගැන මහින්ද රාජපක්ෂ සිතන්නේ කුමක් දැ යි දැන ගැනීමට ක‍්‍රමයක් ඇත්නම්?

මේ කියන කිසි දෙයක් තමන්ගේ ජීවිත කාලය තුළ සිදුවෙතැ යි මහින්ද රාජපක්ෂ සිතන්නට නැතුවාට කිසි සැකයක් නැත. මන්ද යත්, එවැනි වෙනස්කම්වලට එරෙහිව එදා තිබූ බාධකයත් ඔහුම වන බැවිනි. ඔහුගේ අගවිනිසුරුවරයා වන මොහාන් පීරිස්ට එරෙහිව දියත් වුණේ දේශපාලන දඩයමක් යැයි මහින්ද රාජපක්ෂ ඇත්තෙන්ම සිතන්නේද? මොහාන් පීරිස් කෙරෙහි ඔහුගේ යම් පැහැදීමක් තිබුණි නම්, දැන් මොහාන් පිරීස් කියා ඇති දේවල් අනුව එම අදහස් දියාරු වී යනවා සිකුරුයි. තමන්ට එම ධුරයේ එක දිගටම රැුඳී සිටින්නට දෙන්නේ නම්, මුළු රාජපක්ෂ පවුලම වුව දඟගෙයි ලෑමට තමන්ට සහයෝගය දිය හැකි බව මොහාන් පිරීස් පවසා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මොහාන් පීරිස්ගේ ඒ ද්‍රෝහීත්වය ගැන මහින්ද රාජපක්ෂ වැඩිමනත් විමතියට පත්වෙන එකක් නැත. මන්ද යත්, මහින්ද රාජපක්ෂ යනු, එවැනි කිසිවෙකුගෙන් වෘත්තීය අවංක භාවයක් කිසි දවසක අපේක්ෂා කළ කෙනෙකු නොවන බැවිනි. එසේ වතුදු, අඩු වශයෙන්, අවුරුදු දවසට තමන්ගේ කාල්ටන් නිවසට පැමිණ රූපවාහිනී කැමරා ඉදිරියේ මුළු රටටම පෙනෙන සේ අවුරුදු කිරිබත් කෑ මිනිසෙකු මීට වඩා තරමක්වත් පක්ෂපාතීත්වයක් දක්වන්නේ නම් යහපති යි ඔහු සිතනවා ඇති.

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වසරක් පාසා වෙන් කර ගත් රුපියල් කෝටි 10,000 ක් තරම් වන ධනස්කන්ධයක් වැය කෙළේ කෙසේදැයි රටට කියා දීමට හිටපු ජනාධිපතිවරයාට හැකියාවක් තිබේද? රටේ බදු ගෙවන්නන්ගේ වියදමින්, කොපමණ මුදල් කන්දරාවක් අරලියගහ මන්දිරයේ ජනප‍්‍රිය ‘දන්සැල්’ වෙනුවෙන් ඔහු වැය කරන්නට ඇත්ද? මේ දේවල් ගැන ඔහු පිළිතුරු නොදෙන්නේ නම් ඒවා ගැන ඇත්තෙන්ම ඔහු සිතන්නේ කුමක්දැ යි අපට දැන ගැනීමට ක‍්‍රමයක් නැත. සමහර විට, ඔහුගේ ජ්‍යොතිෂඥ සුමනදාසට තමාගේ අධි-මානසික හැකියාවන් පාවිච්චි කරමින් මේවා ගැන යම් පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට පුලූවන් කම ඇති.

මගේ විශ්වාසය වන්නේ, තමාට ඡන්දය පාවිච්චි කළ මේ රටේ සියයට 47.5 ක් වන ජනතාව ඉහත කී දේවල් ගැන තඹේකට මායිම් නොකරන බව මහින්ද රාජපක්ෂ හිතනවා විය යුතුය. ඔහුගේ කොණ්ඩය කැපූ කරණවෑමියාව අගවිනිසුරු වශයෙන් පත්කළත් එම ජනතාව ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන්නට ඉඩ ඇත. එසේ යම් ජනතාවක් එවැනි වැදගත් දේවල් ගැන අහක බලාගෙන සිටීම මහින්ද රාජපක්ෂ ගත්තේ, තමාගේ එකී හැසිරීම අනුමත කිරීමක් වශයෙනි.

දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ මහින්ද රාජපක්ෂ සළකනු ඇත්තේ, ශ‍්‍රී ලංකාවේ නීතිඥ සංගමය, වෘත්තිකයන්ගේ සංවිධානය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානය, නිදහස් මතධාරී ව්‍යාපාරික නායකයන්, කරච්චල්කාරී මාධ්‍යවේදීන් සහ වෙනත් එවැනි කොටස් විසින් කර තියාගෙන යන, එසේම, මොන තරම් ප‍්‍රතිපත්ති ගරුක නායකයෙකු වෙතත් ඔහු තරම් ජනප‍්‍රියත්වයක් නැති රනිල් වික‍්‍රමසිංහ විසින් උඩ දමන ප‍්‍රභූ ව්‍යායාමයක් වශයෙන් විය හැකිය.

එසේ සිතීමේදී මහින්ද රාජපක්ෂ මුළුමණින් වැරදි නැත. හිටපු ජනාධිපතිවරයාගේ හිතුවක්කාර කම්, සැහැසි කම්, අපහරණයන් සහ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන පද්ධතිය ඔහු විසින් කීතු කීතු කරනු ලැබීම ගැන රටේ වෙසෙන විශාල පිරිසක් තැකුවේ නැති බව සැබෑව. ඒ ආකාරයෙන්ම, අළුත් ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවමින්, විධායක ජනාධිපති අහෝසි කරන්නේද යන්නත් ඔවුන්ට වැදගත් නැතුව ඇති. ඔවුහූ තමන්ගේ දීන, මුරුග සහ වහල් පැවැත්මට අනුගතව විසීම සැපතකැ යි සිතති. එහෙත් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ හරහා ඔවුන්ගේ දරුවන්ට සහ ශ‍්‍රී ලංකාවේ අනාගත පරම්පරාවන්ට මොන තරම් ගෞරවනීය පරිසරයක් නිර්මාණය කර දෙනු ඇත් දැ යි ඔවුහූ අමතක කරති.

න්‍යායාත්මකව ගත් විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ජනතා කැමැත්තයි. මැතිවරණමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ එය, බහුතරයකගේ කැමැත්තයි. එසේ වෙතත්, ප‍්‍රායෝගිකව ගත් විට, අවසාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්දැකීම, හැම විටකම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් අපේක්ෂිත සාරධර්ම සහ පුරුෂාර්ථවල සැබෑ නිරූපණයක් නොවිය හැකිය. අළුත් ආණ්ඩුව බහුතරයකගේ කැමැත්ත දිනුවේය. එසේ වුණේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කමින් වඩාත්ම අගතියට පත් සුළු ජාතීන් අතිබහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ හෙයිනි. ඔවුන්ගේ ඒ සම්මාදම නොතිබෙන්නට, වර්තමානය මෙතරම් ලස්සණ නොවන්නට ඉඩ තිබුණි.

ඉන්දියාවේ සිට තායිලන්තය දක්වා වන අපේ කළාපයේ රටවල පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සනාතන අර්බුදය වන්නේ එයයි. අප ඉදිරියේ ඇති සැබෑ අභියෝගය වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ හරහා ලිබරල් ප‍්‍රජාත්න්ත‍්‍රීය සාරධර්ම සැබවින් නිරූපණය කෙරෙන සම්මුතියක් ගොඩනගා ගන්නේ කෙසේද යන්නයි. පසුගාමී බහුතරයක ජනප‍්‍රියවාදී ආවේශයන් සහ ප‍්‍රභූ සුළුතරයක ප‍්‍රජාතන්ත‍්‍රීය පුරුෂාර්ථයන් අතර සීමා ඉර ඇඳ ගන්නේ කෙසේද යන්න අප ඉදිරියේ ඇති ප‍්‍රශ්නය වන්නේය. බහුතරයේ කැමැත්ත, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නැතිවම බැරි බවට සැකයක් නැත. එහෙත් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක මූලික ආස්ථානයන් එකී බහුතරය විසින් නොතකා හැරෙන විට නිර්මාණය වන්නේ, හැම නූල් සූත්තරයකටම ඉඩහසර පෑදෙන, අංගවිකල සමාජයකි. බහු-පක්ෂ මැතිවරණ පැවැත්වීම පහසු ය. එහෙත් ඉහත කී විසම ඕනෑ එපාකම් අතර තුලනයක් ඇති කර ගැනීම අපහසු ය.

මැද පෙරදිග පිහිටි (ඊශ‍්‍රායලය හැරුණු විට) එකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රට වන තුර්කියේ මේ මෑතක් වන තෙක් ලිබරල් අධිපතිවාදයක් පැවතියේය. ඒ තුළ පසුගාමී ජනප‍්‍රිය ආවේගයන්ට එරෙහි ආරක්ෂණ වළල්ලක් සේ කටයුතු කිරීමට අධිකරණයට, හමුදාවට, නිලධර තන්ත‍්‍රයට සහ ලිබරල් මාධ්‍ය ජාලයට හැකි විය. එහෙත් මෙකී ආයතන මෑතකදී තමන්ගේ මුරකාවල අත්හල සැණින්, ජනතා බලය තුළින් ජනප‍්‍රිය ඉස්ලාම්වාදියෙකු බලයට ආවේය. එතැන් සිට තුර්කියේ එතෙක් පැවති ලෞකික රාජ්‍යය සහ ස්වාධීන ආයතන ජාලය අභාවයට පත්විය.

අපේ සමාජවල පවතින සමාජමය සහ සංස්කෘතිකමය තත්වය කෙසේද යත්, පොදු ජනයා බොහෝ විට හැසිරෙන්නේ යහපාලනය සහ සමාජයීය වගවීම පිළිබඳ කාරණාවන්ට වඩා ආගමික සහ වාර්ගික/ජාතික වාගාලංකාර ඔස්සේ ය. මෑතක සිට, තැබෑරුම්කරුවන්, දැව සොරුන්, ජාවාරම්කරුවන් තමන්ගේ මජර ධනයෙන් සොච්චමක් ජනතාව වෙතට වීසි කරමින්, පසුගාමී ඡන්දදායකයාගේ තිරශ්චීන හැඟීම් අවුස්සමින් බලයට ආහ. පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හෝ ප‍්‍රාදේශීය සභාවට පත්වීමෙන් පසු ඔවුන් කරන්නේ තමන්ගේ ඡන්දදායකයා තමන්ගේ දාසයෙකු බවට පත්කර ගැනීමයි. ඒ අනුව, ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනය අපේ රටෙන් වඳ වී ගොස් දැන් බොහෝ කලකි. මහින්ද රාජපක්ෂ වැනි නායකයන් සරු වුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. සමාජයේ පවතින ඒ දුර්වලතාව පාවිච්චි කරමින් විමල් වීරවංශ සහ මර්වින් සිල්වා වැන්නන් ද ඒ කාලයේ බැබළුණි.

මුලින්ම ඔවුන් පැහැර ගත්තේ ජනතාවගේ අභිමානයයි. ඊළඟට, ඔවුහූ ඒ ජනතාවගේ සම්පත් කොල්ලකන්නට වූහ. අනතුරුව, අධිකරණය, විශ්ව විද්‍යාල සහ තානාපති කාර්යාල තමන්ගේ හෙංචයියන්ගෙන් පිරැුවූ ඔවුහූ මුළු රටම තමන්ගේ නින්දගමක් බවට පත්කර ගත්හ.

මේ සියල්ල සිදුවූයේ අපේ දෑස් ඉදිරියේමයි. එහිදී බහුතර ජනතාවක් එය ඉවසා සිටි අතර සියයට 47.5 ක් මහින්ද රාජපක්ෂ තුන්වැනි වරටත් රටේ නායකයා කර ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කළහ. අළුතෙන් ඇති කරගත් පරිවර්තනය අප අත්කර ගත්තේ අනූනවයෙන් බව, දැන් සිදුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රීය පරිවර්තනය ගැන උද්දාමයට පත්වන අයවළුන් අමතක නොකළ යුතුය. එය අනිත් පැත්තටත් හැරෙන්නට තිබුණි. එසේ විණි නම්, එයත් සළකනු ඇත්තේ ජනතා වරමක් වශයෙනි.

දැන් අළුත් ආණ්ඩුවට වගකීමක් තිබේ. එය, පොරොන්දු වූ පරිදි ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ රටට ලබා දීමට පමණක් නොව, අනාගතයේ දවසක බලයට පත්විය හැකි තවත් රජෙකුට එම ප‍්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකි වන පරිද්දෙන් ඒවා ස්ථිරසාර සේ ස්ථාපිත කිරීම දක්වා විහිදෙයි. ඒ අනුව, නිවැරදි මිනිසුන්ගේ නායකත්වය යටතේ ගොඩනැගෙන ස්වාධීන ආයතන සහ කොමිෂන් සභා අනාගත අත්තනොමතික පාලකයෙකුගේ පටු අභිලාෂයන්ට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් ගොඩනැගිය යුතුව තිබේ.

එම ආයතන පද්ධතිය ආරක්ෂා කරගත හැකි හොඳම මාර්ගය වන්නේ තවත් රාජපක්ෂ කෙනෙකු (හෝ ඔහුම පවා) නැවත දේශපාලන නායකත්වයට පත්විය හැකි අවස්ථා ඇහිරවීමෙනි. පැවති පාලනය තුළ සිදු කෙරුණු අසීමාන්තික අපහරණයන්, ඒවා සිදු කෙළේ කවුරුන් වුවත්, නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් පැමිණවීම නව පාලනය විසින් අතපසු නොකළ යුතුව ඇත්තේ එබැවිනි. සෑම ක‍්‍රියාකටම ප‍්‍රතික‍්‍රියාවක් ඇති බව නොවළහා රටට සංනිවේදනය කළ යුතුව තිබේ. ඒ ආකාරයෙන්, ඉදිරියේ බලයට පත්විය හැකි ඕනෑම අත්තනොමතික පාලකයෙකුට, තමන්ගේ අවකල් ක‍්‍රියාවන් ගැන දෙවරක් සිතා බැලීමට සිදුවනු ඇත.

*2015 පෙබරවාරි 2 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “What Thinks Rajapakse About Current Democratic Reforms?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page