Colombo Telegraph

ජිනීවා යෝජනාව අකමැත්තෙන් වුවත් භාරගත යුතුව ඇති නපුරකි

රංග ජයසූරිය

රංග ජයසූරිය

අපේ රටේ කටයුතු නිසියාකාරව කළමනාකරණය කර නොගැනීම ගැන එල්ල වෙන ඕනෑම ජාත්‍යන්තර විවේචනයක් ඉදිරියේ එක දිගටම අප විරෝධය පෑම වූ කලී, ස්වෛරී භාවයේ සමානාත්මතාව, අභ්‍යන්තර ස්වෛරීත්වය සහ රටේ අභ්‍යන්තර කටයුතුවලට පිටස්තරයන් ඇඟිලි නොගැසීම වැනි උදාර පරමාර්ථවලට වඩා, අපේ දේශපාලඥයන්ගේ සහ විදේශ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ ඉදිමුණු මමංකාරය නිසා ඇති වන්නකි. මේ මමංකාරය පුපුරා යන විට, තත්වය තවත් අවලස්සණ වෙයි. ගිය සිකුරාදා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී අපේ විදේශ ඇමති ජි. එල්. පීරිස්ගෙන් පිට වූ කෝපය එවැන්නකි.

කැනඩාවේ ජනගහනයෙන් සියයට හතරක් වන ‘ප‍්‍රථම ජාතිය’ පිළිබඳව එරට අධිකරණය මහ ආණ්ඩුවට හිතකර නොවන බොහෝ තීන්දු දී ඇතත්, ඒ හේතුවෙන් එරටේ අගවිනිසුරුවරයාව ඉවත් කිරීමට කැනඩා ආණ්ඩුව පියවර ගෙන නැති බව, කැනඩා සෙනේට් සභික හියුග් සෙගාල් ලංකාවේ කළ සංචාරයක් අතරතුරේ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී පැවැත්වූ දේශනයක දී ප‍්‍රකාශ කිරීම ජී. එල්. පීරිස්ගේ කෝපයට හේතු විය.

‘අධිකරණයෙන් අපිට බාධා එල්ල වෙලා තියෙනවා. ඒත් අපි අගවිනිසුරුවරයාව ඉවත් කරලා නැහැ.’ යි ඔහු එහි දී කීය. එයින් කෝපයට පත් විදේශ ඇමතිවරයා විකල්ලෙන් ප‍්‍රතිචාර දැක්වීම එදා සභාවේ සිටි සිහිබුද්ධියෙන් යුත් බොහෝ දෙනාව අපහසුතාවට පත්කෙළේය. එසේ හැසිරීමෙන් ඔහු ප‍්‍රදර්ශනය කෙළේ, සියවස් ගණනාවක් තිස්සේ අපේ රට ආඩම්බරයෙන් උදම්ඇනූ ආගන්තුක සත්කාරයේ සාර පිළිවෙත් පවා වර්තමාන පාලනය යටතේ අප අහිමි කරගෙන ඇති බවයි.

‘‘මේ සභාවේ දී කියැවුණු, වැඩකට නැති, ඒ නුසුදුසු ප‍්‍රකාශයට මං විරෝධය ප‍්‍රකාශ කරන්න ඕනේ. මං ඔබේ සත්කාරකයා නොවුණා නං, මීට වඩා සැරට මං මේකට ප‍්‍රතිචාර දක්වන්න තිබුණා. ඔබේ ආගන්තුකයෙක් විදිහට ඔබේ රටේ මං හිටියා නං කිසි දවසක මේ වගේ ප‍්‍රකාශයක් කරන්න හීනෙන්වත් මං පෙළඹෙන්නේ නැහැ. මේ ගැන මං තිගැස්සුණා. ඒ වගේම, පුදුම වුණා. මොකද, ඒ කතාවේ කිසිම අදාළත්වයක් නැති නිසා.’’ යි විදේශ ඇමතිවරයා කීය.

ඔහුගේ මේ කඩාපැනීම, පාලක කල්ලියෙන් ලකුණු දාගැනීමට කළ රංගනයක් බව පැහැදිළිය. එසේ වෙතත්, මෑතක දී ඇති වූ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ, එම පාලක කල්ලියෙන් ඔහුව පැත්තකට වීසි කොට ඇති බවකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අදාළ ඔහුගේ වගකීම් සමහරක් පසුගිය දා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහට පවරන ලදි. (විදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන පරිදි, එම අමාත්‍යාංශයේ කටයුතු සිද්ධ වන්නේ මොනිටර් මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනට ඕනෑ හැටියට මිස, ‘කොන්දක් නැති’ ජී. එල්. පීරිස්ට අවශ්‍ය හැටියට නොවේ.*

ශ‍්‍රී ලංකාවට අදාළව ඇමරිකාව ඉදිරිපත් කොට සම්මත කරගත් ජිනීවා යෝජනාව, පිම්ඹුණු මමංකාරයෙන් පෙළෙන අයවළුන්ට බෙහෙවින් රිදුම් දී තිබේ. එහෙත්, ඒ මමංකාරය අභියෝගයට ලක්වීම හැරුණු කොට, මේ කියන යෝජනාව පාලකයන් කියන තරමට නරක එකක් ද?

සිදු වී යැයි කියන අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක අනාගත තර්ජනයක් එහි අඩංගු බව සත්‍යයකි. එහෙත් එවැන්නක් සිදුවෙනු ඇත්තේ, පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට අපේ ආණ්ඩුව අපොහොසත් වුවහොත් පමණි. කෙවිට සහ කැරට් අලය යන දෙකම එතැන ඇත.
නුදුරු අනාගතය

මේ යෝජනාවෙන් හදිසියේ ඇති වන ප‍්‍රතිවිපාකයක් නැත. 2012 යෝජනාව මෙන්ම මේ යෝජනාව ද, ආණ්ඩුවේ ගර්හාවට ලක්වෙනු ඇත. ගිය වසරේ මාර්තු මාසයේ සම්මත කරගත් ජිනීවා යෝජනාවේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ රටේ සිදුවෙමින් තිබූ පැහැරගෙන යාම් නතර වුණේ නැත. එදා එම යෝජනාව ලියූ කඩදාසියේ තීන්ත වේලීමටත් මත්තෙන් ආණ්ඩුව, ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී ගිය නායකයෙකු වූ කුමාර් ගුණරත්නම්ව ඉස්සුවේය. එහෙත් ඔස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍යාංශය එහි දී තදින් සිටිය නිසා ඔහුව නිදහස් කිරීමට ආණ්ඩුවට සිද්ධ විය. සැරට සිටීම, ශ‍්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් වැඩ කරන බව එයින් පෙනුණි.

එම යෝජනාව මතම තවදුරටත් පදනම් වෙමින් මෙවර ගෙන ආ යෝජනාව මගින් ජාත්‍යන්තර ප‍්‍රජාව, වඩාත් නිවැරදිව කිවහොත්, බලවත් රටවල් සැරට සිටිය හැකි බව ආණ්ඩුව වටහාගත යුතුව ඇත.
පවතින අවකාශය සීමිත ය

සුළු ජාතීන් ද, ආණ්ඩුවේ මතයට එකඟ නොවන්නන් (විසම්මුතිකයන්* ද, නීතියට පරිබාහිරව ආණ්ඩුවේ ගොදුරු බවට පත්වූ පැහැරගෙන යනු ලැබූ හෝ අතුරුදහන් වූ අයවළුන් ද ඇතුළු සියලූ පුරවැසියන්ගේ අයිතිවාසිකම් රැුක දෙන ලෙස මෙම යෝජනාව මගින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනු ලැබේ. එය, අපේ විදේශ හිතවතුන් විසින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය හැකි සාධාරණ සහ සුජාත ඉල්ලීමකි. ආණ්ඩුව අලවන ද්‍රෝහී ලේබලයට හසු නොවී රටේ පුරවැසියන්ට ඒවා ඉල්ලා සිටිය නොහැකි බැවින්, ඊටත් වඩා සුදු වෑන් රියක ගමන් කිරීමට අපට නොහැකි බැවින්, අප වෙනුවෙන් පිටරැුටියන් එසේ ඉල්ලා සිටීම කොහොමත් හොඳ ය. නීතියට යටත් නොවි අපරාධ කළ හැකි සංස්කෘතියක සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාර්ධර්ම සහ සම්ප‍්‍රදායයන් සෝදාපාළු වී ගිය රටක වින්දිතයන් වන්නේ අප ය. එසේම, විධායක ජනාධිපති ධුරය තුළ සකල බලය කේන්ද්‍රගත කළ දේශපාලන ක‍්‍රමයක් තුළ ප‍්‍රතිසංස්කරණ සඳහා ඉඩකඩක් ඇත්තේ ද නැත. ජනතාවගේ පැත්තෙන් දේශීය වශයෙන් කළ හැකි මැදිහත්වීම් එසේ අවම වන විට, ජාත්‍යන්තර මැදිහත්වීම අපට විඳ දරා ගැනීමට සිදුවන අනිවාර්ය අබග්ගයක් වන්නේය.

මේ ජිනීවා යෝජනාව අපේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි අතපෙවීමක් වශයෙන් කෑගසන අය අමතක කරන දෙය වන්නේ, ඒ ‘අතපෙවීම’ මේ රටේ අතුරුදහන් වු ගැහැනුන්ගේ සහ මිනිසුන්ගේ දහස් ගණන් නෑසියන් තම පුතුන්, දියණියන් සහ සහකරුවන්/සහකාරියන් පිළිබඳ කිසි තොරතුරක් නැතිව අත්විඳින අනන්ත දුක්කන්දරාව විසින් ඉල්ලා සිටින දෙයක් බවයි. ඒ සමගම, හොර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක කැකිල්ලේ නඩු විභාගයකින් රටේ අගවිනිසුරුවරියව පන්නා දමනු ලැබීමත්, මෙවැනි යෝජනාවක් අත්‍යාවශ්‍ය කළ තවත් සිදුවීමක් විය හැකිය.

එපමණක් නොව, පවතින පාලනය සමග කෙනෙකුට ඇති යම් මතභේදයක් හේතුවෙන් ඕනෑම අවස්ථාවක සුදු වෑන් රියකින් ඕනෑම කෙනෙකුව පැහැරගෙන යාමේ අවදානමක් පැවතීමත් මෙවැනි යෝජනාවක් යුක්ති සහගත කරයි. කොටින්ම, මේ යෝජනාවෙන් ඉල්ලා සිටින්නේ, අපව යටත්වැසියන් නොව, පුරවැසියන් සේ සළකන ලෙසයි. එය පාලක කල්ලියේ මමංකාරයට රිදවිය හැකි වෙතත්, සාමාන්‍ය වැසියන් වන අප කාගේත් යහපතටම හේතුවකි.

අවසාන වශයෙන්, රටේ ස්වෛරීත්වයට කෙරෙන බාහිර අතපෙවීමක් වශයෙන් මෙය දකින අයවළුන් සැලකිල්ලට ගත යුතු මූලික දේශපාලන විද්‍යාත්මක පාඩමක් තිබේ: රටක් සතුව ඇතැ යි කියන අභ්‍යන්තර ස්වෛරීත්වය යනු පරම සත්තාවක් නොවේ. ස්‍රෙබි‍්‍රන්කාව සහ රුවන්ඩාව වැනි ලෝකයේ තවත් බොහෝ තැන්වල සිදුවූ ජන සංහාරවල කටුක අත්දැකීම් ආශ‍්‍රයෙන්, මේ කියන ස්වෛරීත්වය විවිධ සීමාවන්ට යටත් කරනු ලැබ තිබේ.

යුද්ධයේ අවසාන අදියරේ දී ශී‍්‍ර ලංකාව අත්දුටු දේවල්, බටහිර වෙසෙන කොටි ප‍්‍රචාරකවාදීන් පෙන්වන තරමට දරුණු හෝ නිර්=මානවීය වුණේ නැත. එසේ වෙතත්, ප‍්‍රශ්නය වන්නේ, බුද්ධි තොරතුරු සහ අවි සැපයීම් හරහා අපට ආධාර කළ විදේශීය මිතුරු රටවල් ඇතුළු බොහෝ පාර්ශ්වවල සාමූහික ප‍්‍රයත්නයෙන් ලබාගත් හමුදාමය ජයග‍්‍රහණය තමන්ගේ පටු දේශපාලනික වාසි තකා ආණ්ඩුව විසින් පාවිච්චි කරනු ලැබීමයි. යුද ජයග‍්‍රහණය දේශපාලනීකරණය වීම, කියනු ලබන යුද අපරාධ විමර්ශනය කිරීමට නොහැකි වන තරමට මේ වන විට දුරදිග ගොස් තිබේ. අතුරුදහන් වූවන් ගැන සොයා බැලීම සඳහා මහ කොමසාරිස්වරයෙකු පත්කළ යුතු බවට, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ කළ නිර්දේශය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පස්ස ගසන්නේ එනිසා ය.

අවසාන වශයෙන්, අන්තර්ජාතික යුද අපරාධ පරීක්ෂණයක් පිළිබඳ සැඟවුණු තර්ජනයක් මේ යෝජනාව තුළ ඇඟවෙතත්, එවැන්නක් ක‍්‍රියාත්මක වෙනු ඇත්තේ ආණ්ඩුව විසින් රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් එක දිගටම නොතකා හරිනු ලබන්නේ නම් පමණි. රටවැසියන් වෙනුවෙන් ඉටු කළ යුතු කාර්ය භාරය නොපිරිහෙලා සාධනය වන්නේ නම්, පාලකයන්ගෙන් සමහරෙකුට අනාගතයේ දවසක හේග් නුවරට යාමට සිදුවීමේ අවාසනාව මගහැරගත හැකි වනු ඇත.

*2013 මාර්තු 24 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ පළවූ  This Resolution is a necessary evil නැමති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’

Back to Home page