Colombo Telegraph

විපක්‍ෂයක් ඕනෑ කර තිබේ

රංග කලංසූරිය

ආචාර්ය රංග කලංසූරිය

පසුගිය දිනෙක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන ‘‘විවාදයක්’’ බලා සිටිද්දී මට මහත් බියක් සහ වික්‍ෂිප්ත බවක් දැනිනි.

වෙනදාට උණුසුම් විවාදයක් ලෙස දිගහැරෙන මේ වැඩසටහන එදා දියාරුබවක් ගත්තේය. වැඩසටහනට සහභාගි වූ හැමදෙනෙක්ම කීවේ එකම කතාවකි. විවාදයක් නැත. විරුද්ධ මතවාදයක් නැත. කථිකයෝ හැමදෙනෙක්ම එකම හමට තඩිබාති. මේ තත්ත්වය පාර්ලිමේන්තුවේද ඇතිවේදැයි මට මහ බියක් දැනිණි.

නමුත් මේ රූපවාහිනී විවාදයෙන් පිළිබිඹු වන්නේ අද දේශපාලන යථාර්තයම නොවේද? අද විපක්‍ෂය කවු ද? පාර්ලිමේන්තුව තුළ පවා පහසුවෙන්ම විපක්‍ෂය කවුදැයි හ`දුනා ගැනීමට අපට පුළුවන් වේවිද?

පසුගිය සමස්ත මැතිවරණ කි‍්‍රයාදාමයම ගොනු වූයේ ප‍්‍රධාන සටන් පාඨ දෙකකටයි. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනයයි. මේ කරුණු දෙකම ස්ථාපිත කරන්නට ප‍්‍රබල ආණ්ඩු පක්‍ෂයක් මෙන්ම විපක්‍ෂයක්ද බෙහෙවින් අත්‍යාවශ්‍යය. දේශපාලන විද්‍යාවේ සියලූම න්‍යායන් පවසන්නේ ප‍්‍රබල ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ස`දහා ශක්තිමත් විපක්‍ෂයක් සිටිය යුතු බවයි. රාජපක්‍ෂ ආණ්ඩුව ඔය කියන උඩු පිණුම් යටි පිණුම් ගැහුවේ ප‍්‍රබල විපක්‍ෂයක් නොසිටි බැවිනැයි කෙනෙකුට කිව හැකිය. විපක්‍ෂයක හ`ඩ පාර්ලිමේන්තුවේ නැගුනේ අනුර කුමාර දිසානායක, සුජීව සේනසිංහ, හරීන් ප‍්‍රනාන්දු සහ සමහරවිට රන්ජන් රාමනායක වැන්නවුන්ගෙන් පමණි. දයාසිරි ජයසේකර පිල් මාරු කිරීමද විපක්‍ෂයේ හ`ඩ බාල කිරීමක් විය.

අද ලාංකේය දේශපාලනයේ වැදගත්ම අභියෝගයක් වන්නේ ප‍්‍රබල විපක්‍ෂයක් සොයාගැනීමයි. ඡුන්දයෙන් පැරදුණු පිල විපක්‍ෂයට යෑම සාමාන්‍ය සිරිත වුවද, පසුගිය ඡන්දයේ පරාජිතයා කවුද? මගේ නිගමනයට අනුව පරාජිතයා පොදුජන එක්සත් පෙරමුණ හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නොව අද පෙනෙන තත්ත්වය අනුව නම් රාජපක්‍ෂ පරපුරය. එය මෛතී‍්‍ර සහ මහින්ද අතර ද්වන්ධ සටනක් වුවත් මහින්ද පිල කණ්ඩායමක් වශයෙන් පරාජයෙන් පසු විපක්‍ෂයට යා යුතුය. අලූත් අගමැති වරයාගේ පාර්ලිමේන්තු බලය තහවුරු කරන්නට පෞද්ගලික මට්ටමෙන් පිල්මාරු සිදුවුණත් පාර්ලිමේන්තුව තුළ සැබෑ බල තුලනයක් ස`දහා පැහැදිලි විපක්‍ෂයක් සභාගර්භයේ සිටිය යුතුය.

නුමත්, අද දේශපාලන ප‍්‍රවාහය ගමන් කරන්නේ එසේ නොවේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන රටේ බලය පමණක් නොව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේද බලය අල්ලාගෙන තිබේ. පරාජයෙන් පසු දිගටම සටන් වදින බවට මහින්ද රාජපක්‍ෂ පුන පුනා ප‍්‍රකාශ කළත්, මේ වන විට ඔහු යථාර්තය අවබෝධ කරගෙන පසුබැස තිබේ. ඒ අනුව දැන් සිටින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපතිවරයෙක් සහ එක්සත් ජාතික පක්‍ෂයේ අගමැතිවරයෙකි. මෙවැනිම තත්ත්වයක් 2001 දී රනිල් වික‍්‍රමසිංහ හා චන්ද්‍රිකා අතර පැවතියද ඒ දෙදෙනා අද මෙන් නොව එදා ජන්මාන්තර වෛරක්කාරයෝ වූහ. ඒ නිසා අද තත්ත්වය ඊට බෙහෙවින්ම වෙනස්ය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අභයන්තර ආරංචි මාර්ග පවසන්නේ ඉදිරි මහ මැතිවරණයක දී ශී‍්‍ර.ලං.නි.ප හංසයා ලකුණින්ම තර`ග කිරීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. එසේ වුවහොත් නාම යෝජනා ස`දහා පක්‍ෂ අතරත් පක්‍ෂ අභ්‍යන්තරයේත් බොහෝ සටන් ඇවිලී යා හැකිය. මැතිවරණය පැවැත්වෙන්නේ නව ඡන්ද ක‍්‍රමයක් යටතේ නම් ඒ සටන් තවත් තීව‍්‍ර විය හැකිය. ඒ කෙසේ වෙතත් මා හිතන විදියට මෙවන් තත්ත්වයක් තුළ පවතින ප‍්‍රධාන ගැටලූව වන්නේ දින 100 වකවානුවේ ඉන්පසු බිහිවන නව පාර්ලිමේන්තුවේ ප‍්‍රබල විපක්‍ෂයක අවශ්‍යතාවයයි.

මෛතී‍්‍ර මැතිවරණ ප‍්‍රකාශයේ තිබූ පරිදි මෙය බිහිවන්නේ ජාතික ආණ්ඩුවක් නම් විපක්‍ෂයක් කුමටදැයි කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකිය. නමුත් ජාතික ආණ්ඩුවක් යනු තනි දේශපාලන පක්‍ෂයක ආණ්ඩුවක් නොවන බවත් විපක්‍ෂය ප‍්‍රධානතම කොටස්කරුවකු බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ යහපාලනයට ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය යන දෙකම අත්‍යාවශ්‍ය බවත් අමතක නොකල යුතුය.

පැරණි වමේ කොමියුනිස් සහ සමසමාජ නායකයින් එ.ජා.ප. සහිත ආණ්ඩුවකට කිසිසේත් සහය නොදෙන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇතත් මේ යල්පැනගිය දේශපාලන ඩයිනෝසරයන්ට ප‍්‍රබල විපක්‍ෂ්‍යක් නියෝජනය කළ හැකි ද?

මෙහිදී පැහැදිලි විකල්පය වනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය දිය යුත්තේ කාටදැයි නොකියා රාජපක්‍ෂ පලවා හරින්නට පමණක් පාවිච්චි කරන්නැයි ජනතාවට කීවේ උපාය මාර්ගිකවය. ජ.වි.පෙ. වත්මන් නායක අනුර කුමාර දිසානායක සිය ශූර කථිකත්වය තුළින් පක්‍ෂයෙන් ගිලිහී ගිය වසන්තය යළි ගොඩනගාගෙන තිබේ. රාජපක්‍ෂ පාලනය අවසන් කිරීමේ ප‍්‍රධානතම සාධකයක් වූයේ ඔහු සහ ඔහුගේ පක්‍ෂයයි. ඡන්දදායකයින් දස ලක්‍ෂ ගණනින් ජ.වි.පෙ. ට ඡන්ද නොදුන්නත් ඔවුහු වෙන පක්‍ෂවලට කතිරය ගසන්නට කලින් ජ.වි.පෙ. ට සාවදානව සවන් දෙති. එනිසා මෙරට දේශපාලන ප‍්‍රවාහයේ ගමන් මග තීරණය කිරීමේදී ජ.වි.පෙ. ප‍්‍රධාන සාධකයක් වන්නේය.

පසුගිය මැතිවරණයේදී රාජපක්‍ෂ ක`දවුරට පක්‍ෂග‍්‍රාහී වූ ගුණරත්නම් කණ්ඩායමේ කැඞී බි`දී යාම් හමුවේ වුවත් ජ.වි.පෙ. ගම් මට්ටමේ පක්‍ෂ යාන්ත‍්‍රණය තවමත් එලෙසටම පවතී. ලංකාවේ තෙවැනි දේශපාලන බලවේගය වීමට සරත් ෆොන්සේකා ක`දවුරෙන් අභියෝගයක් එල්ල වුවද මේ වන විට එය අවලංගු වී ඇතැයි මම සිතමි.

ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ක`දුවුරු දෙකම හෙළ උරුමය සහ ෆොන්සේකා වැනි අනික් ක`දවුරු සම`ග එකම දේශපාලන වේදිකාවකට යොමුවී ඇති මොහොතක විපක්‍ෂයක නායකත්වය දීමේ අනගි අවස්ථාව දැන් ජ.වි.පෙ. ට හිමිව ඇතැයි පෙනේ. අනුර කුමාරගේ නායකත්වයෙන් ඊළ`ග මැතිවරණයේදී පැහැදිලි ඡන්ද සංඛ්‍යාවක් ජ.වි.පෙ. ට ලබාගන්නට පුළුවන්නම් යහපත් බලතුලනයක් ඉදිරි පාර්ලිමේන්තුව තුළ බිහිවනු ඇත. එනමුත් විපක්‍ෂයට නායකත්වය දීම ස`දහා දෙමළ සන්ධානය හා ප‍්‍රබල කේවල් කිරීමකට ඔවුන්ට සිදුවනු ඇත. ඒ කරුණ කෙසේ වුවත් ප‍්‍රබල විපක්‍ෂ නායකයෙකුට තිබිය යුතු ගුණාංග අනුර කුමාර දිසානායක තුළින් අපට පෙනේ. මෙය හුදු උපකල්පනයක්ම පමණක් වේදැයි අපි බලා සිටිමු.

Back to Home page