Colombo Telegraph

ඉංගිරිසිය, කරුමක්කාර මුස්පේන්තු කොදෙව්ව සහ දේවත්වයෙන් පුදනු ලැබූ රාජකීයයන්

රනිල් වික‍්‍රමසිංහ

රනිල් වික‍්‍රමසිංහ

ඇමෙරිකානු කීර්තිධර දේශපාලන විද්‍යාඥ සැමුවෙල් පී. හන්ටින්ග් සිය අවසාන කෘතිය වූ ‘අපි කවුරුන්ද? – අමෙරිකානු ජාතික අනන්‍යතාව හමුවේ ඇති අභියෝග‘ 2004 වසරේදී පළකරමින් අමෙරිකානු ජාතික අනන්‍යතාවෙහි පදනම විමසිල්ලට බඳුන් කළේය.

‘අප කවුරුන්ද? අපේ අනන්‍යතාව කවරේද?’ යන පැනයට ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව වැනි රටවල් මුහුණ දුන්නේ 20 වන සියවස ආරම්භයේ සිටය. 1946 වසරේදී මහාමාන්‍ය ඞී.එස්. සේනානායකයන් එක්සත් ජාතික පක්ෂය බිහිකළේද ජාතික අනන්‍යතාවක් බිහිකරලීමේ අපේක්ෂාව පදනම් කරගනිමිනි. ජාතික අනන්‍යතාවක් නිර්මාණයේදී ප‍්‍රමුඛස්ථානයක් භාෂාවන් වෙත හිමිවෙයි. අපි එය භාෂාමය අනන්‍යතාව ලෙස හඳුන්වන්නෙමු.

වැඩවසම් සමාජයේ ලාංකේය භාෂාවන් භාවිත කෙරුණේ ‘දේවත්වයෙන් පුදනු ලැබූ රාජකීයයන්’ වෙනුවෙනි. අපේ පැරණි සම්භාව්‍ය ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය විමසීමේදී එය පැහැදිලිවම ප‍්‍රකටවන්නා වූ කරුණකි. ලෝකයේ බොහෝ රටවල රජවරුන් සැලකුණේ දෙවියන්ගේ නියෝජිතයන් හෙවත් දිව්‍ය පුත‍්‍රයන් ලෙසය. දිව්‍ය පුත‍්‍ර සංකල්පය මුලින්ම බිඳ හෙළුෑ ආගමික දර්ශනය ශාක්‍යමුනි බුදුරජාණන්වහන්සේගේය. පසුකලෙක ක‍්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ආගම් ඔස්සේ ද දිව්‍ය නියෝජනය රජුගෙන් වෙන්කොට වෙනත් ජනතා පුත‍්‍රයකු වෙත දායාද කරනු ලැබිණි.

එසේ වුවද, පෙර කී ආගම් අදහන ජනතාව සිටින රටවල පවා රාජකීයයන් දිව්‍ය පුත‍්‍රයන් සේ සැලකීමේ සිරිත විටින් විට මතුව ආයේය. මුළු මහත් ආසියාව පුරා බුදු දහම පැතිරවීමට ක‍්‍රියා කළ අසෝක අධිරාජයාට පවා මේ සංකල්පයෙන් ඉඳුරා බැහැරවීමට නොහැකි වූ බව දේවානම්පිය නාමයෙන් පැහැදිලි වෙයි. වැඩවසම් සමාජ ක‍්‍රමයෙන් බැහැරව නවීන සමාජයක් නිර්මාණය වෙමින් පැවති යුගයේ ලංකාවේ දකුණුදිග මුහුදුබඩ පළාත් කේන්ද්‍ර කොට ගනිමින් සිංහල භාෂා ප‍්‍රබෝධයක් ඇතිවෙමින් තිබිණි. මේ භාෂා ප‍්‍රබෝධයත් සමගම විදාරණය වූ සුවිශේෂී කරුණක් වූයේ ‘රාජකීය දේවත්වය’ වෙනුවෙන් නොව වෙනත් අරමුණු ඇතිව භාෂා නිර්මාණ බිහිවීමේ ප‍්‍රවණතාවක් ඇතිවීමය. එය භාෂාව ජනතාව වෙනුවෙන් යොදා ගැනීමේ නැතහොත් භාෂාව ජාතික අනන්‍යතාවක් වෙනුවෙන් යොදා ගැනීමේ සුවිශේෂී සංධිස්ථානයක් විය.

සුචරිත ගම්ලතුන් වරෙක සඳහන් කළ පරිදි ‘19 වන සියවසෙහි මැද සිට ප‍්‍රාචීණ භාෂා අධ්‍යයනයෙහි ලා රට පුරා ඇතිවූ නව ප‍්‍රබෝධයත් සමග සිංහල භාෂා විකාසනයෙහි සුප‍්‍රකාශ වෙනසක් ඇතිවිය. එතැන් පටන් සිංහලය සම්භාව්‍ය භාෂා රීතිද ජනවහරද ඇසුරෙන් හට ගත් නව ප‍්‍රයෝග නිසා ආඪ්‍ය විය.’’ රබීන්ද්‍රනාත් තාගෝර්, සරෝජිනී නායිදු, සුබ‍්‍රමානියම් භාරතී වැනි ඉන්දීය ලේඛක ලේඛිකාවෝ සිය භාෂා නිර්මාණයන් ප‍්‍රධාන වශයෙන් නිදහස ඉලක්ක කරගනිමින් බිහි කළහ. ලංකාවේද හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි, එස්. මහින්ද හිමි, පියදාස සිරිසේන, ආනන්ද සමරකෝන් වැන්නෝ ඒ ගණයට වැටෙති. එතැනින් ඇරඹුණු භාෂා පුනරුදය ඉදිරියට ගෙන ඒම උදෙසා කුමාරතුංග මුනිදාස, ඩබ්ලිව් ඒ. සිල්වා, ජුලියස් ද ලැනරෝල්, මාර්ටින් වික‍්‍රමසිංහ, චන්ද්‍රරත්න මානවසිංහ, පියසේන නිස්සංක වැනි සිංහල භාෂාව පරිහරණය කළ ලාංකේය ලේඛකයෝ සිදු කළ කාර්යභාරය දැවැන්තය. සුචරිත ගම්ලතුන් මේ පරපුරට අයත් විප්ලවීය යුග පුරුෂයකු සේ හැඳින්වීම යුක්ති යුක්තය.

මහාචාර්ය සුචරිත ගම්ලත්

ඔහු පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ පුළුල් හා ගැඹුරු දැනීමක් ලබාගත්තෙක් විය. ඉංග‍්‍රීසි භාෂාවේ වටිනාකම් හොඳින් දැන හඳුනාගත් ඔහු ඉංග‍්‍රීසි බස උගැන්මේ වැදගත්කම සිය ලිපි ලේඛන ඔස්සේ අවධාරණය කිරීමට නිතර නිතර ක‍්‍රියා කළේය. ඒ ගැන ප‍්‍රසිද්ධියේ අදහස් ප‍්‍රකාශ කළේය. යම් යම් කාලයන්හි පන්ති පවත්වමින් ඉංග‍්‍රීසි දැනුම සිසු පරපුරට බෙදා දුන්නේය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලීමේ ආශ්චර්යයෙන් ජනතා දෑස් අන්ධ කොට ඉංග‍්‍රීසිය තමන්ගේ පන්තියට පමණක් සීමා කිරීමට මෙරට දේශපාලනඥයන් හා සමහර විද්වතුන් කටයුතු කළ පසුබිමෙක ගම්ලතුන්ගේ ආකල්ප හා දැක්ම අපට අතිශය වැදගත් වෙයි. වරෙක ගොඩගේ සාහිත්‍ය උළෙලට පැමිණි ආරාධිත අමුත්තකු ප‍්‍රසිද්ධියේම පැවසූයේ ඉංග‍්‍රීසිය ඉගැනීමෙන් පලක් නැති බවකි. ගම්ලත්හු ඉංගිරිසි අවියේ ප‍්‍රබලත්වය සිංහල සමාජයට වටහාදීමට උත්සුක වූවෝ එවන් පසුබිමකය.

‘‘ඇතැමුන්ගේ අදහස අනුව අන්‍ය ප‍්‍රධාන භාෂා කතා කරන්නන්ගේ ජාතික දේශපාලනික තරගකාරීත්වයන්ද, ඉංගිරිසියට ප‍්‍රමුඛත්වය දීමේ නොකැමැත්ත ද ප‍්‍රබල බාධක වුවත් යථා කාලයේදී ඉංගිරිසිය පොදුවේ පිළිගැනුණු ජාත්‍යන්තර භාෂාව බවට පත්වීමට පුළුවන.’’ යනුවෙන් එතුමා සඳහන් කළේය. දේශීය භාෂාවක් වශයෙන් ඉංගිරිසිය ප‍්‍රචලිත කිරීමේ වැදගත්කම එතුමා නිතර පෙන්වා දුන්නේය. නිදහසින් පසුව ඉන්දියාව ඉංගිරිසිය පසෙක නොලා අවියක් සේ යොදා ගැනීමෙන් ලබාගත් වාසි සහ අපේ රට ඉංගිරිසිය එක් පැළැන්තියකට පමණක් සීමා කිරීමෙන් ලබාගත් අවාසි පිළිබඳව ප‍්‍රසිද්ධියේම සාකච්ඡුා කළේය. ඒ ප‍්‍රකාශ නිසා සමහරවිට එතුමන්ට අවැඩ සිදුවූ අවස්ථාවන්ද විණි. එහෙත් කිසිදු විටෙක, කිසිම අවස්ථාවක එතුමෝ සිය අදහස් හා දර්ශනය කිසිදු බලවේගයක් හමුවේ පාවා නොදුන්හ.

ඉංගිරිසි දැනුම සිංහල භාෂාවේ පෝෂණය උදෙසා යොදා ගත් මෙරට පඬිවරුන් අතර එතුමන්ට හිමිවනුයේ ප‍්‍රමුඛස්ථානයකි. එතුමන් ලෝකයේ නව ප‍්‍රවණතාවන් පිළිබඳව යථා අවබෝධයෙන් යුක්තය. එහෙයින්ම නවීකරණයට බියවූයේ නැත. කාර්මික විප්ලවය, දෙවන ලෝක මහා යුද්ධයේ බලපෑම, ආසියානු රටවල නිදහස ලැබීමේ සිට ගෝලීයකරණය හා අන්තර්ජාලය දක්වා එකී නවීකරණයන්ට සරිලන පරිදි භාෂාව දියුණු තලයකට ගෙන ඒමේ අවශ්‍යතාව ඉතා මැනවින් අවබෝධ කරගෙන සිටියේය. මේ සම්බන්ධයෙන් මා සමග අවස්ථා ගණනාවකදී අදහස් හුවමාරු කරගත්තේය. සිංහල භාෂා පරිහරණය පරිගණක තාක්ෂණයට සරිලන පරිදි සකසා ගැනීම හා අන්තර්ජාල අධ්‍යාපන කටයුතු සඳහා සිංහල භාෂාව උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් එතුමන් සමග පැවැත්වූ සාකච්ඡුා අනාගතයට ඵලදායක වන බව මගේ විශ්වාසයයි.

පසුගිය කාලයේ පළවූ බොහෝ පුවත්පත් ලේඛනයන් ඔස්සේ ගම්ලතුන්ගේ සාහිත්‍ය සේවාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡුා කර තිබූ බැවින් ඒ පිළිබඳව යළි යළි මෙහි සඳහන් කිරීමට නොවෙහෙසෙන්නෙමි. එහෙත් මෙරට භාෂා පෝෂණය සඳහා ගම්ලතුන් වෙතින් සිදුවූ අප‍්‍රමාණික සේවාව සේ සැලකිය හැකි ඉංගිරිසි-සිංහල ශබ්දකෝෂය පිළිබඳව කෙටි අදහසක් දැක්වීමෙන් මම සෑහීමකට පත් වන්නෙමි.

සැබැවින්ම ලාංකේය සමාජයෙන් ගම්ලතුන්ට ලැබිය යුතු සහය සහ නිසි අයුරින් නොලැබුණු බව මම පිළිගනිමි. අසූව දශකයේදී පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයද මේ වරදට හවුල් වී තිබේ. ඒ වෙනුවෙන් මම පුද්ගලිකවද, ප‍්‍රසිද්ධියේ ද එතුමන් වෙත කනගාටුව පළකර ඇත්තෙමි. ඉංගිරිසි-සිංහල ශබ්දකෝෂය සම්බන්ධයෙන්ද කිවයුත්තේ ඊට අවශ්‍ය සහයෝගය නිසි අයුරින් නොලැබුණු බවය. ඊට සුදුසු රාජ්‍යමය මැදිහත්වීමක් සිදුවී නම්, තවත් ඉහළින් ඒ කාර්යය සිදුකිරීමට ගම්ලතුන්ට මානසික හා ආර්ථිකමය පරිසරයක් සැකසෙනු ඇත. බොහෝ පිරිසක් මේ දැවැන්ත අභියෝගාත්මක කාර්යය සඳහා කලින් කල ඔහුට උපකාර වූ අයුරු මම පෞද්ගලිකවම දනිමි. දේශපාලනඥයකු වශයෙන් නොව ඔහුගේ සාහිත්‍යමය සේවාව අගයන රසිකයකු වශයෙන් ඒ අතරට එක්වීමට ලැබීම ගැන සතුටු වන්නෙමි.

සැමුවෙල් පී හන්ටින්ග් සිය කෘතියෙන් අමෙරිකානු සමාජයට අනතුරු හැඟවීමක් කරයි. ඒ ජාතික අනන්‍යතාව බිඳ වැටීමට ඉඩ හැරියොත්, ජාතිය දෙකඩ වී, භාෂාවද, සංස්කෘතියද දෙකඩ වී යා හැකි බවය. එක් සංස්කෘතියක්, එක් භාෂාවක් ඇති රටකට එවන් දෙකඩවීමක් දැරිය නොහැකි තරමේ අභාග්‍යයක් උදාකරවන්නකි.

එසේම ශ‍්‍රී ලංකාව වැනි බහුභාෂා භාවිත කෙරෙන, බහු සංස්කෘතියක් පවතින දේශයක ඒ ඒ ජනවර්ග අතර භේදයන් හා අවිශ්වාසයන් ඇතිවීමද පරිහානියට හේතුවන්නකි. එහි කටුක අත්දැකීම් අපි පසුගිය වසර ගණනාවක් තිස්සේම විඳ ඇත්තෙමු. ජාතික අනන්‍යතාවක් ගොඩනැංවීමේදී හා තහවුරු කරලීමේදී භාෂාවට, ආගමට සහ සංස්කෘතියට ලැබෙනුයේ ප‍්‍රමුඛස්ථානයකි. මේ තත්ත්වය හොඳින් අවබෝධ නොකර ගතහොත්, ජාතික අනන්‍යතාව බිඳ වැටී රටේ ජනතාව භාෂා, ආගම්, සංස්කෘතික ආදී භේදයන්ට බඳුන්වීම වැළැක්විය නොහැකිය.

විවිධ ජනවර්ගයන් ජීවත් වන රටක එකිනෙකාගේ භාෂාවන්ට ආගම්වලට හා සංස්කෘතීන්ට ගරු කිරීමේත්, ඒවා පෝෂණය කරලීමේත් වැදගත්කම වඩාත් වැදගත් කොට සැලකිය හැක්කේ මේ පසුබිම මතය.

මේ යථාර්ථය හොඳින් අවබෝධ කරගත්, එසේම එය ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් සහිතව ක‍්‍රියාත්මක කරලීමට සිය ජීවිත කාලය පුරා වෙහෙසුණු ලාංකේය විද්වතුන් අතර සුචරිත ගම්ලතුන්ට හිමිවනුයේ ප‍්‍රමුඛස්ථානයකි. ඔහුගේ මේ පෙරටුගාමී අදහස් වඩ වඩාත් උද්දීපනය වන්නට යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ අවධියේ ලත් අත්දැකීම්ද හේතුවන්නට ඇතැයි හඟිමි.

ජීවිතයේ අවසන් දශක කීපය තුළ ඔහු වෙහෙසුණු ප‍්‍රමුඛ කාර්යයන් දෙකක් විණි. එකක් ඉංගිරිසි සිංහල ශබ්දකෝෂයයි. අනෙක ඉංගිරිසි-සිංහල දෙමළ ශබ්දකෝෂයයි. අවසන් වරට ඔහු හමුවූ අවස්ථාවක මා සමග පැවසූයේ ඉංගිරිසි-සිංහල දෙමළ ශබ්දකෝෂය බොහෝදුරට නිමවෙමින් පවතින බවය. ඒ ශබ්දකෝෂය ජාතියට දායාද කිරීමේ අවකාශයක් ඇත්නම් එය ගම්ලතුනට පමණක් නොව අප දේශයටද සිදුකරන්නාවූ මහඟු මෙහෙවරක් සේ සලකමි. රටක දියුණුවක් ඇතිවන්නේ එරට භාවිත කෙරෙන භාෂාවන්හි දියුණුවත් සමගිනි. මේ නිසා භාෂා දියුණුව හා පෝෂණය පිළිබඳව අවධානය නිබඳ යොමුවිය යුත්තේය. පාලකයන් කළයුත්තේ භාෂාව පෝෂණය සඳහා කටයුතු කිරීමය. එහෙත් අවාසනාවකට අපට දක්නට ලැබෙනුයේ පාලකයන්ගේ පෝෂණය සඳහා භාෂාව යොදා ගැනීමය.

පාලකයන් වෙනුවෙන්, රජවරුන් වෙනුවෙන් පමණක් නොව පාලකයන් රාජ්‍යත්වයටද, රජවරුන් දේවත්වයටද පත්කිරීම සඳහා භාෂාව යොදා ගැනීම ඔහු ප‍්‍රතික්ෂේප කළේය. ඒ අයුරින් භාෂාව යොදාගැනීමේ අවසානය භාෂා පරිහානිය බව ඔහු අවබෝධ කරගෙන සිටියේය. ආසියානු කලාපයේ ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල පැවති භාෂාව සම්පූර්ණයෙන්ම පාහේ පරිහානියට පත්ව, විනාශ වී ගියේ මේ හේතුවෙනි. එහෙයින් පසුකලෙක භාෂා ඉන්දුනීසියා, භාෂා මැලේසියා ආදී වශයෙන් අලූතින් භාෂා නිර්මාණය කරගන්නට ඔවුනට සිදුවිණි.

භාෂාව හැසිරවීමෙහිලා මෑත යුගයේ ඔහු තරම් නිපුණයෙක් මම දැක නැත්තෙමි. ඔහුගේ ලේඛන කියැවීම අප ඥානනය කරන්නාවූ අභ්‍යාසයකි. ඔහුගේ ඇසුර අප පෝෂණය කරන්නාවූ සන්ථවයකි.

ගම්ලතුන් සිය ‘ගුරු ගුණ සමර’ ග‍්‍රන්ථයේ කළ එක් සඳහනක් මෙහිදී මට සිහිපත් වෙයි. ‘‘සරච්චන්ද්‍රයෝ එක් ඛේදවාචකයකට මුහුණපෑවෝය. එනම් මහා රටක, මහා සංස්කෘතියක නොඉපද තුන්වෙනි ලෝකයේ කරුමක්කාර, මුස්පේන්තු කොදෙව්වක ඉපිද එහිම වැඩකරමින් ජීවත්වීමට සිදුවීමේ ඛේදවාචකයයි. ඔවුන් තුළ ඇතිවූ සියලූ ප‍්‍රතිවිරෝධතා ගලා ආවේ මේ ඛේදවාචකය නමැති ප‍්‍රභවයෙනි.’’

සරච්චන්ද්‍රයන් අරභයා කළ මේ සඳහන, ගම්ලතුන් වෙනුවෙන්ද එලෙසින්ම සටහන් කිරීම සාධාරණ නොවන්නේදැ’යි බොහෝ අවස්ථාවන්හි මම කල්පනා කර ඇත්තෙමි.

මේ කොදෙව්වේ අපි ඉපිද ඇත්තෙමු. එහිම හිඳ වැඩ කිරීමට ද සිදුව ඇත්තෙමු. එසේ නම් අප කළයුත්තේ කරුමක්කාර මුස්පේන්තුබව කොදෙව්වෙන් තුරන් කිරීම සඳහා වෙහෙසීම නොවන්නේද?

ගම්ලතුන් සිය ජීවිත කාලය පුරාම වෙහෙසුණේ ඒ සඳහා බව මගේ පිළිගැනීමයි.

Back to Home page