Colombo Telegraph

එක ඉල්ලීමක් කිරීමට කැමතියි, තමන් සතු ඉඩම් හදිසියේ විකුණන්න එපා

රනිල් වික්‍රමසිංහ

සම්ප්‍රදායිකව පවත්වන මරදාන සුදුවැල්ල අවුරුදු උත්සවයට මා හට ආරාධනා කිරීම පිළිබඳව මම පළමුවෙන්ම ස්තුතිවන්ත වනවා. කිත්සිරි රාජපක්‍ෂ නාගරික මන්ත්‍රීතුමා තමන්ගේ යුතුකමක් හා වගකීමක් වශයෙන් සෑම වසරකම මේ බක්මහ උළෙල සංවිධානය කරනවා. අද පවත්වන මේ බක්මහ උළෙලේ කිසිම අඩුවක් පෙනෙන්නට නැහැ. එක පැත්තකින් ගිනිකෙළි සංදර්ශන හා අනික් පැත්තෙන් නොයෙකුත් තරග ඉසව් දකින්නට පුළුවන්. මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සරුයි කියලා මට කියන්න පුළුවන්. හැම දෙනාගේම අතේ මුදල් තිබුණා. හැම දෙනාම කඩ සාප්පුවලට ගියා. සෑහීමකට පත්වීමට පුළුවන් අන්දමට තම තමන්ගේ මුදල් පරිහරණය කළා. එයින් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථික දියුණවක් සිදුව ඇති බවයි. අපේ අරමුණ මේ දියුණුව තව තවත් වැඩි කිරීමයි.

රට ආර්ථික වශයෙන් සංවර්ධනය වූවිට ඔබේ සාක්කුවට මුදල් ලැබෙනවා. එමගින් මීට වඩා උසස් ජීවන මට්ටමකට පැමිණීමට හැකියාව ලැබෙනවා. තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට පුළුවන් සමාජයක් ඇති වෙනවා. මේ අවුරුද්දේ අපි අලූත් ආර්ථික වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහායි.

අද මේ තෑගි දිහා බැලූවාම මම 1978 දී පළමුවරට සංවිධානය කළ අවුරුදු උත්සවය සිහිපත් වෙනවා එදා බයිසිකලයක් තැග්ගක් හැටියට ලබාදුන්නේ ඉතා සාර්ථක අවුරුදු උත්සවයකදී පමණයි. මම හිතන්නේ ඒ ප්‍රදේශයෙන්ම තැග්ගක් හැටියට බයිසිකලයක් දෙන්න පුළුවන් වුණේ මට විතරයි. පසුව එදා කර්මාන්ත ඇමතිවරයා වශයෙන් කටයුතු කළ සිරිල් මැතිව් ඇමැතිතුමාත් බයිසිකල් කිහිපයක් ලබා දුන්නා.

නමුත් අද ඊට වඩා වෙනස් තත්ත්වයක් තිබෙන්නේ. අද විශාල දියුණුවක් දකින්නට පුළුවන්. සෑම දෙනෙකුගේම අතේ මුදල් තිබෙනවා. දැන් අපේ ඉලක්කය මෙම තත්ත්වය තව දුරටත් වැඩිදියුණු කිරීමයි. එම වැඩ සටහනේදී කොළඹත්, බස්නාහිර පළාතත් එහි කේන්ද්‍රස්ථානය වෙනවා. මේ නගරය අලූතින් දියුණු කරන්නේ එහි ප්‍රතිලාභ කිහිප දෙනෙකුට පමණක් නොව සෑම කෙනෙකුටම වාසි ලැබෙන අන්දමටයි. එහිදී තමන්ට ඉඩමක් තිබෙනවා නම් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වෙනවා. සාර්ථකව තමන්ගේ ව්‍යාපාරයක් කර ගැනීමට හැකි වෙනවා. මෙම වැඩපිළිවෙළ තුලින් කොළඹනගරයේ ජනතාවටත්, රටේ ජනතාවටත් වඩ වඩාත් මුදල් ඉපයීමට හැකිවන අන්දමින් කොළඹ නගරය සංවර්ධන කිරීමට හැකිවන බව මා මෙහිදී සඳහන් කරනවා.

මා මෙහිදී එක ඉල්ලීමක් කිරීමට කැමතියි. තමන් සතු ඉඩම් හදිසියේ විකුණන්න එපා. එම ඉඩම් තබා ගන්න තව වසරකින් හෝ දෙකකදී එම ඉඩම්වලට මීට වඩා හොඳ මිලක් ලබා ගන්නට පුළුවන්. මා මේ පිළිබඳව අපේ මන්ත්‍රීතුමාත් දැනුවත් කළා. ඉදිරියේදී ගැණුම්කරුවන් මීට වඩා හොඳ මිලකට එම ඉඩම් ඉල්ලා සිටිවී. තමන්ගේ ගොඩනැගිල්ල හෝ ඉඩම දියුණු කරන අතරම එම වාසිය ලබා ගැනීමට උත්සාහ කරන්න.

අපි ඉන්දියන් සාගරය මැද ප්‍රධාන නගරය බිහි කරන්නටයි බලාපොරොත්තු වන්නේ. එසේ කිරීමේදී මරදාන සුදුවැල්ලත් ඇතුලත්වන කොළඹ නගරය කේන්ද්‍රස්ථානයක් වන බව මම කියන්නට කැමැතියි. බස්නාහිර පළාතම අපි නගරයක් බවට පත් කරනවා. ඒ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සියලූදෙනාම එකට එක්වී කටයුතු කළ යුතුව තිබෙනවා.

අද විශේෂයෙන්ම මේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙක, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව කටයුතු කිරීම ආයෝජකයන්ට විශාල ශක්තියක් බව කිව යුතුයි. දැන් විදේශ ආයෝජකයින් එනවා. දැන් පක්‍ෂ අතර කඹඇදිල්ලක් නැහැ. කවුරු හිටියත් මේ ප්‍රතිපත්ති අනාගතයේ ක්‍රියාත්මක වන බවට ඇති සහතිකය නිසා අපිට වැඩ කටයුතු කරගෙන යාමට පුළුවන්. දේශීය හා විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඉදිරිපත් වන්නේ මේ රටේ ජනවාර්ගික හා ආගමික ප්‍රශ්න විසඳා ගනිමින් සාමය ස්ථාපිත කළ විට, රටතුළ සාමය පවතින අවස්ථාවලදී පමණයි

මීට වඩා විශාල මුදලක් රට තුළට ගලා එන හැටියට ලංකාවේ හා කොළඹ කුඩා නගරයක් පමණක් නොව ඉන්දියන් සාගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් හා මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සෑම කෙනෙකුටම මුදල් ගනුදෙනු කරන්න හැකිවන තත්ත්වයක් ඇති කිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා සියලූ දෙනාගේම සහයෝගය ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මෙම බක්මහ උළෙල සංවිධානය කිරීම පිළිබඳව මම අපේ නාගරික මන්ත්‍රීතුමාටත් මෙහි සංවිධාන කමිටුවටත් ස්තුති කරනවා. ඔබ සියලූ දෙනාටම සුභ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

*2016.04.23 දින මරදාන සුදුවැල්ල බක්මහ උළෙලේදී ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කළ කතාව.

Back to Home page