Colombo Telegraph

2015 දෙසැම්බර් 01 වන දින අයවැය විවාදයේ දී අග්‍රාමාත්‍යතුමන් කරනු ලැබූ ප්‍රකාශය

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

ගරු කතානායකතුමනි,

1. සැප්තැම්බර 01 වන දා මේ ගරු සභාව අමතමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. නොවැම්බර 05 දා මම අපේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ සවිස්තරව කරුණු පැහැදිලි කළා. නොවැම්බර 20 වන දා ගරු මුදල් ඇමතිතුමා අපේ සම්මුතිවාදී ආණ්ඩුවේ මුල්ම අයවැය යෝජනා ඉදිරිපත් කළා.

මෙම ලේඛන තුන මගින් අප අපේ අණ්ඩුවේ දැක්ම, සැලැස්ම සහ ක්‍රියාන්විතය ගැන පූර්ණ චිත්‍රයක් ජනතාව හමුවේ ඉදිරිපත් කළා. මේ ආකාරයෙන් විවෘතව, සවිස්තරව සහ අවංකව ජනතාව වෙතත්, මේ ගරු සභාව වෙතත් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවන් තිබේදැයි විමසා බැලීම ඔබට බාරයි.

පවුල්වාදයෙන් දූෂිතව, ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමමින්, අශීලාචාර සමාජයක් නිර්මාණය කරවමින්, ඒකාධිපතිත්වය කරා ඇදෙමින් තිබූ ගමන් මග වෙනස් කරලීමට මේ රටේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වුණා. අප ඒ සඳහා ප්‍රසිද්ධ සටන් බිමට අවතීර්ණ වුණේ පසුගිය අවුරුද්දේ නොවැම්බර 21 වෙනිදා යි. එදා අපේ සටනට නායකත්වය දෙන පොදු අපේක්‍ෂකයා කවුරුන්දැයි, අප ජනතාව ඉදිරියේ හෙළි කළා.

එදා සිට මේ දක්වා අප ආවේ අභියෝගාත්මක හා අසීරු ගමනක්. ඒ ගමන මෙතෙක් මේ රටේ ඉතිහාසයේ දකින්නට නොලැබුණු, අසන්නට නොලැබුණු ආකාරයේ සංකීර්ණ හා සංවේදී එකක්.

ජනවාරි 08 වන දා ජනාධිපතිවරණය අප ජය ගත්තා. අගෝස්තු 17 වන දා පාර්ලිමේන්තු මැතිවරණය අප ජය ගත්තා. සම්මුතිවාදී ආණ්ඩුවක් අපි ඇති කළා. අපේ රජයේ මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති රටට හෙළි කළා. අයවැය යෝජනාවන් ඉදිරිපත් කළා.

ගරු කතානායකතුමනි,

අප මේ මුහුණ දෙන්නේ අලූත් අත්දැකීමකට. අප මේ යන්නේ අලූත් ගමනක්. වසර ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික දේශපාලනයක සිරවී සිටි බොහෝ අයට මේ වෙනසට, මේ අලූත් ගමනට මුහුණ දීමට අමාරුයි. ඔවුන්ට මෙවැනි අලූත් ගමනක්, අලූත් සම්ප්‍රදායක් හුරු පුරුදු නැහැ.

ජනාධිපතිතුමන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදීත්, මා රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ අවස්ථාවේදීත්, මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මේ තත්වය අපට පැහැදිලිවම දක්නට ලැබුණා.

අයවැය විවේචනය කළ අය, කරන අය කිව්වේ මොනවාද? මෙලෝ රහක් නැති අයවැයක්. දේශීය ආර්ථිකය විනාශ කරන අයවැයක්. මුළු රටම විකුණන අයවැයක්. සමහරු කිව්වා. කැබිනට් මණ්ඩලට අයවැයට සහයෝගය දෙන්න තීරණය කර ඇති නිසා අපට අයවැය විවේචනය කරන්න විදියක් නැති වෙලා කියා තවත් සමහරු මැසිවිලි නැගුවා. මේවා අවුරුදු ගණනාවක් තිස්සේ පට්ට ගහපු සාම්ප්‍රදායික සටන් පාඨ. සද්දය විතරයි. ගැඹුරක් නෑ.

මේ උදවිය ගැන අප වැරදි කෝණයකින් බලන්නේ නෑ. ඒ අය ගැන අපි තරහක්, වෛරයක් ඇති කර ගන්නේත් නෑ. මේ පිළිබිඹු වන්නේ සාම්ප්‍රදායික දේශපාලනයේ ස්වරූපයයි. කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව, විරුද්ධවීම. එසේත් නැතිනම් විරුද්ධ වීමට අවශ්‍ය නිසා විරුද්ධ වීම. රටේ අවශ්‍යතාව නිසා නොව, තම තමන්ගේ පක්‍ෂවල අවශ්‍යතාව වෙනුවෙන් විරුද්ධ වීම.

ගරු කතානායකතුමනි,

මම එක් උදාහරණයක් දක්වන්නම්. ඒ තමයි, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධව ගෙන යන විරෝධතාව.

මේ තත්ත්වයට පත් වීමට ප්‍රධානතම හේතුව මෙම අරමුදල් දෙක පසුගිය රාජපක්‍ෂ පාලනය යටතේ සොරකම් කිරීමයි. මෙයට එරෙහි වූ සේවකයන්ට වෙඩි තබා මර්දනය කිරීමට කටයුතු කළ අතර එහිදී රොෂේන් චානක ඝාතනය කෙරුණා. ඒ අනුව දැන් තිබෙන්නේ ලේ තැවරුණු, ගසා කාපු අරමුදලක්.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල අහිමි වේදැයි යන්න පිළිබඳව සේවකයන් හා සංගම් අතර සාධාරණ බියක් හා සැකයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා සේවක පිරිස් හා සංගම් නායකයන් හමුවී සාකච්ඡා කළා.

අද මෙම අරමුදල් සඳහා නීතියෙන් කිසිදු ආරක්‍ෂාවක් ඇත්තේ නැහැ. සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳ පනතේ 5 වැනි වගන්තිය යටතේ මෙසේ සඳහන් වනවා. “මෙම පනතේ අවශ්‍යතා සඳහා වහා අවශ්‍ය නොවන්නා වූ අරමුදල් මුදල් මණ්ඩලය විසින් සුදුසු යැයි හඟිනු ඇත්තා වූ සුරැකුම්හි ආයෝජනය කොට එම සුරැකුම් අලෙවි කළ හැක.”

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳ පනතෙහි මෙම අරමුදලේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිඳු කොන්දේසියක් සඳහන්ව නැහැ.

මූල්‍ය මණ්ඩල පනත යටතේ, එහි 5 වැනි වගන්තිය යටතේ මූල්‍ය මණ්ඩලයෙහි අරමුණු වන්නේ,
(අ) ආර්ථික සහ මිල ස්ථායිතාව : සහ
(ආ) මූල්‍ය ක්‍රම ස්ථායිතාව

ඒ අනුව මේ පනතින් ඉහත සඳහන් කරුණු දෙක සාක්‍ෂාත් කර ගැනීමේ කාර්යභාරය මහ බැංකුව වෙත බලය ලබා දී තිබෙනවා. මුදලේ ආරක්ෂාව ගැන කිසිදු සඳහනක් මෙතැන නැහැ. ආර්ථික ස්ථාවර භාවයට කියමින් මුදල් යෙදවීමට මේ නිසා අවකාශ තියෙනවා. ඒ ආකාරයෙන් මුදල් යෙදවීමේ බලය මහ බැංකුව සතුයි. ඒ වගේම සේවක භාරකාර අරමුදලේ අධ්‍යක්‍ෂකවරුන් ලෙස පත් කරනු ලැබුවේ තමන්ට හිතැති පුද්ගලයන් පමණක් වන අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු විනිවිදභාවයකින් යුතුව කටයුතු කර නැහැ.

මැලේසියාවේ 1991 සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 25 වන වගන්තිය අනුව අධ්‍යක්‍ෂ මණ්ඩලය භාරකරුවන් වශයෙනුයි ක්‍රියා කරන්නේ. අපේ මූල්‍ය පනතේ එවැනි වගන්තියක් නැහැ. මැලේසියානු පනතේ 26 a, b, c, 27, 28 සහ 29 a අනුව අර්ථ සාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම පිළිබඳව සවිස්තරාත්මකව එහි සඳහන් කර තියෙනවා. එසේ ආයෝජනය කිරීමේ දී පිළිපැදිය යුතු කොන්දේසි පිළිබඳව ද පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එමගින් ඒ අරමුදල සඳහා වූ ආරක්‍ෂාව තහවුරු කර තිබෙනවා.

මහ බැංකුව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතුවලදී මේ පිළිබඳව අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සළකා බලනවා. මෙම අරමුදල් දෙක පිළිබඳව තීරණ ගැනීම සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කිරීමටත්, එම අධ්‍යක්‍ෂ මණ්ඩලය ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් පත් කිරීමට අදහස් කර තිබෙනවා. මහජන බැංකුවේ අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා, මහජන ධනභාරයේ නිලධාරීන් ද මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත් කරනවා.

මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය ගන්නා තීරණ පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා නම් ඊට මැදිහත් වීමට මූල්‍ය මණ්ඩලයට හැකියාව තිබෙනවා. අන්තිම තීරණය මහජන ධනභාරයේ භාරකරුවන්ට භාරදීල තියෙනවා. ඒ භාරකරුවන් ලෙස පත් කරන්නේ සේවක අංශ, වාණිජ මණ්ඩල, සිවිල් සමාජ නියෝජිතයන්. ඒ අය පත් කරන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන්. අවසන් වශයෙන් මේ සියලූ ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට යටත් වනවා. මේ යෝජනා තමයි සාකච්ඡා කර තියෙන්නෙ. තවම කිසිම තීරණයක් ගෙන නැහැ.

වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කරන අවස්ථාවේ දී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම පිළිබඳව ඔවුන්ගේ අදහස විමසූ විට ඔවුන්ගේ අදහස වූයේ,

1. එම අරමුදල් දෙක වෙන වෙනම පවත්වා ගෙන යාම සුදුසු බව හා

2. සේවක අර්ථ සාධක අරමුදලේ කළමනාකාරීත්වය තවදුරටත් මහ බැංකුව යටතේ පාලනය පවත්වාගෙන යා යුතු බවයි.

අප ඒ කරුණු දෙකටම එකඟත්වය පළ කළා.

මේ පිළිබඳව තව දුරටත් මහ බැංකුවේ අධිපතිවරයාට සහ සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා සමග සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය වුණා. මේ පිළිබඳ අවසන් තීරණය වෘත්තීය සමිති නායකයන්ට ද ඉදිරිපත් කරන අතර එහි අවසන් තීරණ ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ කාරක සභා අනුමැතිය අනුවයි.

මේ මුදල් අයිති ජනතාවටයි. ආණ්ඩුවට අයිති මුදල් නොවෙයි. මේ මුදල් ආරක්‍ෂා කිරීම සඳහා මීට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම්, ඒක යෝජනා කරනවා නම් ඒ දිහා බලන්න අපි ලෑස්තියි. ඒ ගැන සාකච්ඡා කරන්න අපි සූදානම්. අන්තිම තීරණය ගනු ලබන්නේ පාර්ලිමේන්තුව මිස ආණ්ඩුව නොවෙයි.

මෙසේ විනිවිඳභාවයෙන් යුතුව අපි කටයුතු කරන්නේ මෙහි ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතු නිසා මෙන්ම, පසුගිය රාජපක්‍ෂ පාලන කාලයේ සිදු වූ සොරකම් හා දූෂණ නතර කිරීමටයි.

අපේ යහපාලන ආණ්ඩුවේ වෙනස එයයි. අප සියළු දේ කරන්නේ සාකච්ඡාවෙන්. සම්මුතියෙන්. එකඟත්වයෙන්.

ගරු කතානායකතුමනි,

2. සාම්ප්‍රදායික දේශපාලනයේ සිරවී සිටින අයට මේ තත්වය වටහා ගැනීම අසීරුයි. සමහර අය ඕනෑ කමින්ම වටහා ගන්නේ නෑ. ඒ නිසා මම ඔබ සැම දෙනාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන සම්ප්‍රදායෙන් මිදී, අපේ නව ගමන් මග දෙස විවෘත මනසින් බලන ලෙසයි.

මේ රටේ අලූත් දේශපාලන සම්ප්‍රදායක් නිර්මාණය කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් අපට ලැබී තියෙනවා. රටේ ප්‍රධාන පක්‍ෂ දෙක සම්මුතිවාදී ආණ්ඩුවක් ස්ථාපිත කර තියෙනවා. ද්‍රවිඩ එක්සත් පෙරමුණ විපක්‍ෂයට නායකත්වය දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකත්වය දරනවා. මේ පසුබිම මත අප මුළු පාර්ලිමේන්තුවටම ආණ්ඩු බලය ලබා දීමේ නව නීති රීති සකසා තිබෙනවා. පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව, රටේ උන්නතිය වෙනුවෙන්, රටේ යහපත වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් නව දේශපාලන ගමනක් යෑමේ අවකාශය අප සකස් කර දී තිබෙනවා.

ගරු කතානායකතුමනි,

මේ නව දේශපාලන ගමන යෑම සඳහා, නව දේශපාලන සංස්කෘතියක් බිහිකරලීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම දැන් අප සකස් කර අවසන්. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් ලෙස ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තු අධීක්‍ෂණ කමිටු පත් කිරීමට දැන් සියල්ල සූදානම්.

දැනට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පොදු ව්‍යාපාර, රාජ්‍ය ගිණුම් හා මහජන පෙත්සම් කාරක සභාවන්ට අමතරව, රජයේ මුදල් හා තවත් විෂයයන් 16 ක් යටතේ අධීක්‍ෂණ කාරක සභාවන් ස්ථාපිත කරනවා. ඒවායේ සභාපතිත්වය ලබා දෙන්නේ සාමාන්‍ය මන්ත්‍රීවරුන්ටයි. සියළුම අමාත්‍යංශ ඒ අධීක්‍ෂණ කාරක සභාවන් යටතට ගැනෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනයට මේ මුළු පාර්ලිමේන්තුවම සම්බන්ධ කර ගන්නවා.

අප මැතිවරණ ප්‍රකාශන මගින් පොරොන්දු වූ පරිදි ජාතික විගණන පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මෙම පනත මගින් පොදු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු මුල්‍ය පාලන බලතල ශක්තිමත් කරනවා. විගණකාධිපතිවරයාගේ බලය, කාර්යභාරය සහ ස්වාධීනත්වය තහවුරු පූර්ණ ලෙසම බලගැන්වීම ද මෙම පනත මගින් සිදු කෙරෙනවා. විගණකාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් ස්වාධීන විගණන සේවා කොමිසමක් පිහිටුවීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදනයන් ද මේ පනත මගින් සැපයෙනවා.

පළාත් පාලන මැතිවරණ මගින් කාන්තා නියෝජනය සියයට 25 ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය සංශෝධන දැන් සකස් කර අවසන්. ඒ සංශෝධන ඉතා ඉක්මණින් සම්මත කර ගන්නවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන පනත ලබන වසරේ මුලදී අප සම්මත කර ගන්නවා. දූෂණ විරෝධී කටයුතු සඳහා ස්ථාවර හා ශක්තිමත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නීති රීති සකස් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා. රටේ සියළු සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කර තියෙනවා. ග්‍රාමරාජ්‍ය කේන්ද්‍ර ස්ථාපිත කිරීමේ අන පනත් සකස් කරමින් යනවා.

එයින් හැඟවෙන්නේ ඊළඟ අයවැය සකස් කරන ක්‍රමවේදය අදට වඩා බොහෝ ලෙස වෙනස් වන බවයි. පාර්ලිමේන්තුව හ බොහෝ කණ්ඩායම් වලට ඊට සහභාගී වීමේ අවස්ථාව මෙමගින් උදා වෙනවා.

ඒ සියල්ල අතරතුර රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරලීමේ යෝජනාව ද අප ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ගරු කතානායකතුමනි,

ඔබතුමන් ද කලක් තිස්සේ සටන් කළ, මුළු රටම කලක් තිස්සේ පිපාසාවෙන් බලා සිටි ස්වාධීන කොමිෂන් සභා සියල්ලම පාහේ ස්ථාපිත කරන්නට දැන් අපට හැකිවී තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන්නටත් පෙරාතුවම අපි මෑත ඉතිහාසයේ මුල්ම වතාවට නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පවත්වන්නට අවකාශය සලසා දුන්නා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉතා ශීලාචාර හා විනීත මට්ටමෙන් පවත්වන්නට අවශ්‍ය සියළු සහය අප ආණ්ඩුවක් ලෙස ලබා දුන්නා. අප කිසිවටෙක මැතිවරණ කටයුතු සඳහා දේශපාලන ඇඟිලි ගැසීම් කරන්නට ගියේ නෑ.

ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කාර්යයන් සඳහා යොදා ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යාලයන්හි සේවය කරන නිලධාරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වසා දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා දැම්මා. අතුරුදහන් කළා. අතපය කැඩුවා. මේ නිසා බොහෝ දෙනෙක් රට හැර ගියා. සමහරු නිශ්ශබ්ද වුණා. තවත් අය හීලෑ වුණා.

මේ හීලෑ වුණු මාධ්‍යවේදීන් අදත් සටන් කරන්නේ මැරුම් කෑ තමන්ගේ සගයන් වෙනුවෙන් නෙවෙයි. අත පය කඩා ගත් තමන්ගේ සහෝදර මාධ්‍යවේදීන් වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ සගයා මරා දැමූ මිනීමරුවන් ආරක්‍ෂා කිරීම සඳහා මේ අය අදත් මාධ්‍ය පාවිච්චි කරනවා. නමුත් ඒ නිදහසත් අප අද උදා කර දී තියෙනවා.

අද මුළු මහත් සමාජයම බයක් සැකක් නැතුව ජීවත් වෙනවා. හුස්ම ගන්නවා. අද අතුරුදහන්වීම් නෑ. බිය වැද්දීම් නෑ. පැහැරගෙන යෑම් නෑ. මරා දැමීම් නෑ. සුදු වෑන් නෑ. තර්ජනය කිරීම් හා බලපෑම් නෑ. සමාජය පුරා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අප විහිදුවා හැර තියෙනවා.

ගරු කතානායකතුමනි,

මේ අයවැය මගින් අප ආර්ථික ක්ෂේත්‍රය පුරා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සෑම පුරවැසියෙකුටම බෙදී යන ආකාරයේ වැඩ පිළිවෙලකුයි අප ක්‍රියාත්මක කරන්නේ.

මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුණේ එහෙම වැඩ පිළිවෙලක් නෙවෙයි. 2003 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.2 ක් රැස්කරගෙන තිබෙන්නේ ආදායම්වලින්. නමුත් 2014 වෙද්දී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් දක්වා පහත වැටී තිබුණා. රටේ ආදායම් ගලා ගියේ භාණ්ඩාගාරයට නෙවෙයි. පවුලේ සාමාජිකයන්ගේ හා ගජමිතුරන්ගේ සාක්කු වලට. ඔවුන්ගේ බැංකු ගිණුම් වලට.

ගරු කතානායකතුමනි,

3. තවත් එක් වැදගත් කරුණක් පිළිබඳව මා මේ ගරු සභාවේ අවධානයට යොමු කරන්න කැමතියි. එක් එක් ක්ෂේත්‍රයන් සඳහා මුදල් වෙන් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විසර්ජන පනත යටතේයි. මුදල් වෙන් කර තිබෙනවා ද, නැති ද, වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය කොපමණ ද යන්න බැලිය යුත්තේ එම විසර්ජන පනත මගිනුයි. නමුත් විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එක් එක් ෙක්‍ෂ්ත්‍රයන් සඳහා මුදල් වෙන් කර තිබෙන්නේ කෙසේද යන්න ගණනය කර තිබෙන්නේ විසර්ජන පනත මගින් නොව මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාවට තමන්ගෙ අර්ථ නිරූපණය පදනම් කර ගෙනයි.

අයවැයේ මුදල් වියදම් කරන්නේ විසර්ජන පනතේ 1 වන උප ලේඛනයේ සඳහන් ආකාරයටයි. මේ පිළිබඳව ගරු සභාවට ඉදිරිපත් කිරීමට කැමතියි.

“(2) (1) උප වගන්තියේ සඳහන් කළ රුපියල් එක් දහස් නවසිය හතළිස් එක් බිලියන හාරසිය පනස් මිලියන හාරසිය තිස් අටදහසක් වූ මුදල, මේ පනතේ පළමු වන උප ලේඛනයේ නියමිත පරිදි වැය කළ හැකි ය.”

මේ අනුව 2016 වසර සඳහා අධ්‍යාපනයට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබෙන බව මෙයින් පැහැදිලි වනවා.

මම එක් කරුණක් ගැන අවධානය යොමු කරන්නම්. අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් හා නීති රාමුවක් 2010 ආරම්භ කළා. 2014 දි ඡන්දයක් එන අවස්ථාවෙදි කුමක්ද වුණේ? කැබිනට් මණ්ඩලයටවත් මේ නීති රාමුව ඉදිරිපත් කළේ නෑ. ගෙනාවෙ නැහැනේ. අපේ රටේ පාසල් 1000 කට තාක්‍ෂණ විද්‍යාගාර ලබාදීල තියෙනවා. 946 ක් අන්තර්ජාලයට සම්බන්ධ කරල නැහැ. 1000 න් 946 කට ඉන්ටර්නෙට් නැහැ. මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්‍ෂ 43 ක් ඉන්නවා. කම්පියුටර් තියෙන්නෙ 60,000 යි. ඒ කියන්නේ ඔක්කොම පරිගණක වැඩ කළත් ළමයි 70 කට එක කොම්පියුටරයයි. මෙන්න මේව ගැන තමයි අපි කතා කළ යුත්තෙ. මේ වගේ දේවල්වලින් කොහොමද අධ්‍යාපන ක්‍රමය බේරගන්නෙ? ඉදිරියට ගෙනි යන්නෙ? .

ඉතින් මේ ගැන වාද කරනවා නම් කරුණාකරල විසර්ජන පනත අනුව බලන්න. කියන කතාවක් වචනයක් දෙකක් අල්ලගෙන පදනමක් නැති නිර්වචන ඉදිරිපත් කිරීමෙන් පලක්නෑ. අයවැය යෝජනාවලට එකඟ වෙනවා නම් විසර්ජන පනත සම්මත කරන්න ඕන. නැත්නම් විසර්ජන පණත පරාජය කරන්න ඕනෑ.

දැන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකතුමාට භාර දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (1) වගන්තිය යටතේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ප්‍රතිෙක්‍ෂ්ප වුවහොත් වහාම ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය විසුරුවා හැරෙනවා. ඉතින් ඒක විශ්වාසභංගයක්. තව විශ්වාසභංග ඕනද? මෙයින් පිළිබිඹු වන්නේ මෙම විශ්වාසභංග යෝජනාව බාර දුන් අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා නොමැති බවයි.

පොහොර සහනාධාරය හා පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් ක්‍රමය හඳුන්වා දෙන්නේ මුදල් ලබාදීමටයි. කිසි විටෙක මෙම සහනාධාර කප්පාදු කිරීමට ආණ්ඩුව තීරණය කර නැහැ. මෙමගින් අප බලාපොරොත්තු වන්නේ සහනාධාරය මුදලින් ලබාදීමටයි. මෙම ක්‍රමය යටතේ කොමිස් නැතුව ඍජු ප්‍රතිලාභ ලබන්නේ ගොවීන් හා ශිෂ්‍යයනුයි. සහනාධාර නමින් කොමිස් ලබා ගැනීමට පසුගිය කාලයේ මෙන් කිසිවෙකුට අවස්ථාව ඇත්තේ නැහැ. ඒ කොමිස් එකත් අපි ගොවියන්ටයි, ශිෂ්‍යයන්ටයි දෙනවා.

විශ්‍රාම වැටුප් හිමි, දැනට සේවයේ නියුතු රජයේ සේවකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමය බලපාන්නේ නැහැ. ඒ එක් කෙනෙකුටවත් ඒ තත්ත්වය බලපාන්නෙ නැහැ. එය බලපැවැත්වෙන්නේ 2016 වසරෙන් පසු රජයේ සේවයට එක්වන අයට පමණයි. අද රජයේ සේවයේ ඉන්න මේ සියලූ දෙනාටම බලපාන්නෙ නැහැ.

ගරු කතානායකතුමනි,

4. අපේ රටේ ජාතික ආර්ථිකය ඉහළට ඔසවා තැබීමේ මහා වේල්ල සකස් කෙරෙන්නේ මේ අයවැය මගින්. අපේ රටේ සාමාන්‍ය මහ ජනතාව දේපල හිමියන් බවට පත් කොට ඔවුන්ව බලවතුන් කරන්නේ මේ අයවැය මගින්. රජයේ හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් නිවාස හිමියන් බවට පත් කරන්නේ මේ අයවැය මගින්. ගොවීන් හා ගැමියන් රජ කරවන්නට අවශ්‍ය පසුබිම සකස් කෙරෙන්නේ මේ අයවැය මගින්. දුගී දුප්පත් ජනතාවගේ අදායම් තත්වය වැඩි දියුණු කරන්නේ මේ අයවැය මගින්. පහළ ආදායම් ලබන ජනතාව මධ්‍යම පංතිය දක්වා ඔසවා තබන්නේ මේ අයවැය මගින්. පාසැල් හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සනීපාරක්‍ෂක, ගොඩනැගිලි, නේවාසිකාගාර, අධ්‍යාපන ආදී පහසුකම් නිසි ප්‍රමිතියට අනුව ලබා දෙන්නේ මේ අයවැය මගින්. විරැකියාව නැති සමාජයක් බිහි කරන්නේ මේ අයවැය මගින්. කාන්තාවන්ට සමාජයේ නිසි තැන හිමි කරදීම සඳහාත්, ඔවුනට ස්වශක්තියෙන් නැගී සිටීම සඳහාත් අවශ්‍ය පසුබිම සකස් කරන්නේ මේ අයවැය මගින්. නවීන තාක්‍ෂණයෙන් ශ්‍රී ලංකාව සන්නද්ධ කරන්නේ මේ අයවැය මගින්.
මේ ගරු සභාවෙන් මා නැවතත් ඉල්ලා සිටින්නේ අද අප මුහුණ දෙන සැබෑ තත්වය හෘද සාක්‍ෂියට එකඟව හා අවංකව විමසා බලන ලෙසයි. අප සැම දෙනාගේම මූළික අරමුණ විය යුත්තේ රට නැංවීමයි.

දින 100 ආණ්ඩුව යටතේ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය මගින් පොරොන්දු වූ ආකාරයට ජනතාවට සහන රැසක් අප ලබා දුන්නා. එමෙන්ම මා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ද අන්තර්ගත වී ඇත්තේ රට සංවර්ධනය කරා ඉදිරියට යන වැඩපිළිවෙළයි. රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් කළ මෙම අයවැයේ පරමාර්ථය මේ වන විට 5.5 – 5.9 ක් පමණ වන අයවැය පරතරය 2020 වසර වන විට 3.5 දක්වා අඩු කර ගැනීමයි. ආර්ථිකය සංවර්ධනය වෙමින් ආදායම වැඩි වන විට අයවැය පරතරය අඩු කර ගැනීම අපහසු කටයුත්තක් නොවෙයි.

අප මුහුණ දී සිටින විශාලම ප්‍රශ්නය වන්නේ යල්පැන ගිය බදු නීතියි. මේ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ නිශ්චිත ඉලක්කය කරා යාමට නොහැකි වී තිබෙනවා. මම හිතන්නේ ගිය ආණ්ඩුවේ තිබුණ ලොකුම ප්‍රශ්නය එක දවසක්වත් ඉලක්කය අනුව ආදායම එකතු කරන්න බැරි වීමයි. මේ වසරේ සමහර දෙපාර්තමේන්තු විෂය භාර මුදල් අමාත්‍යවරයාගේ දැඩි උත්සාහය හේතුවෙන් ආදායම් වැඩි කර ගෙන තිබෙනවා.

මේ සියලූ කරුණු කාරණා සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව, අපේ නව බදු ක්‍රමය දෙස බලා නව බදු යාන්ත්‍රණයක් සකස් කිරීමට ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආරාධනා කර තිබෙනවා.

එදා 1994 දී රේගුව පරිගණකගත කිරීමට අපි තීරණය කර තිබුණ ද 2001 වසරේ දී නැවත මා අග්‍රාමාත්‍ය ධූරයට පත් වන විටත් එම ක්‍රමවේදය ස්ථාපිත කර තිබුණේ නැහැ. එමෙන්ම 2015 වසර වන විටත් එය ක්‍රියාත්මක වි නැහැ. ඉතින් 1994 ඉදන් අවුරුදු 20 ක් මේක ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් අපට එන ආදායම අඩු වෙනවා. අප කල්පනා කළ යුත්තේ රට ඉදිරියට ගෙන යනවා ද, නැතිනම් නැවත රට ආපස්සට හරවනවා ද යන්නයි. මෙහිදී අප කල්පනා කළ යුත්තේ තමන්ගේ පටු දේශපාලන අරමුණු මුල් කර ගෙන ක්‍රියා කරනවා ද, නැතිනම් රට සංවර්ධනය කර ඉදිරියට ගෙන යනවා ද යන්නයි.

2016 වසර වන විට ලෝක ආර්ථිකයේ විශාල අස්ථාවර භාවයක් ඇති වීමට නියමිතයි. අමෙරිකාව හැරුණු විට අනෙකුත් රටවල ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙනවා. එහි බලපෑම් ශ්‍රී ලංකාවටත් එල්ල වී තිබෙනවා. අනිත් ප්‍රශ්නය ඊට වඩා උග්‍රයි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මැදපෙරදිග යම් අස්ථාවරභාවයක් ඇති වුවහොත් එහි බලපෑම තදින්ම ශ්‍රී ලංකාවට එල්ල වනවා. අපට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුලූවන්.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි අවස්ථාවක දී මුහුණදීම සඳහා කල් තබාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග Stand By වැඩපිළිවෙළකට යාම සඳහා සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වනවා. මොකද එහෙම අමාරු කාලයක් ආවොත් ජනතාව පිට බර පටවන්න අපි කැමති නෑ. එසේ නම් මෙයට මුහුණ දෙන්නේ කෙසේද කියා දැන්ම ඊට සූදානම් විය යුතුයි.

අපේ රට දියුණු කිරීම අප කාගේත් වගකීමයි. මේ වගකීමෙන් මඟහැර යාමට කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. මැදි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව මා ඉහත සඳහන් කළ ආකාරයේ ආර්ථික ඉලක්ක කරා ගියහොත් මේ ශත වර්ෂයේ මැද භාගය වන විට ඉහළ ආදායම් සහිත රටක මට්ටමට ළඟා වීමට හැකි වනවා.

ලෝක බැංකු නිර්දේශ අනුව ඉහළ ආදායම් සහිත රටක් ලෙස සැලකෙන්නේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 12500 කින් වැඩි වූ විටයි.

මැලේසියාව 2020 වසර වන විට එම තත්ත්වයට පත්වීමට නියමිතයි.

චීනය 2026 වසර වන විටත්, තායිලන්තය 2032 වසර වන විටත්, ඉන්දුනීසියාව 2042 වන විටත්, පිලිපීනය 2051 වන විටත්, වියට්නාමය 2056 වන විටත්, ඉන්දියාව 2059 වන විටත් ඉහළ ආදායම් සහිත රටක මට්ටම ළගා වීමට නියමිතයි. නමුත් ශත වර්ෂය මැද වන තෙක් ශ්‍රී ලංකාවේ ජනතාවට අප විශාල අසාධාරණයක් සිදු කරනවා. මේ සඳහා තවත් කාලයක් ගතවුවහොත් අප තව තවත් පසුපසට යනවා. අප ලබන වසරේ 6.5% ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන අතර අප යන උපාය මාර්ග සියල්ල සාර්ථක වෙනවා නම් එය 8% ට වඩා වැඩි කළහොත් තායිලන්තය වගේ 2032 වන විට ඉක්මනින්ම අපට ඉහළ ආදායම් රටක මට්ටමට යා හැකියි. යම් අවස්ථාවක අප 9% ක ආර්ථික වර්ධන වේගයක් කරා යනවා නම් නිශ්චිත කාලයට පෙර මෙම මට්ටමට ළඟා වීමට හැකියි.

මේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන්නේ මෙන්න මේ අරමුණ ඇතිව ඉදිරියට යන්නයි. එහෙම කළාම මේ රටේ ප්‍රධාන ථෙරවාද බෞද්ධ රටවල් දෙකම 2032 වන විට ලෝක ආර්ථිකයේ දියුණු රටවල් බවට පත් වෙනවා. අප ඉන්දියන් සාගරය මැද දියුණු රටක් බවට පත් වෙනවා. දැන් කවුද මේකට විරුද්ධ? කවුරු මේකට කැමති නැත්තෙ? එහෙම නම් සහයෝගය දීල අඩුපාඩුකම් පෙන්නල දෙන්න.

අප කැප විය යුත්තේ අපේ රට ඉදිරියට ගෙන යාමටයි. අප කතා කළ යුත්තේ රට ඉදිරියට ගෙන යාම සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳවයි. කෙසේ හෝ රට ආපස්සට හැරවීමට කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ. ආර්ථික සංවර්ධනයේ වාසිය රටේ ජනතාවට මෙන්ම අපේ අනාගත තරුණ පරපුරට ලබාදීමට අප සියලූ දෙනා ඇපකැප වී කටයුතු කළ යුතුයි.

පසුගිය යුගයේ ආර්ථික වර්ධන වේගය කොල කැබැල්ලකට සීමා වුණා. අපේ බලාපොරොත්තුව සංවර්ධනයේ ප්‍රතිලාභය ජනතාවට ලබාදීමයි.

පසුගිය රජයේ ආර්ථික වර්ධන වේගය කොළ කැබැල්ලකට සීමා වුණා. නමුත් අපි බලාපොරොත්තු වන්නේ සංවර්ධනයේ ප්‍රතිලාභය ජනතාවට ලබාදීමටයි. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට, හොඳ සෞඛ්‍ය ක්‍රමයක් ඇති කරන්නට, නිවාස ලබාදීමට, මේ රටේ ජීවත් වෙන්න පුලූවන් හොඳ වැටුප් ක්‍රමයක් ලබා දෙන්නට තව අවුරුදු 5 කින් අපි එතනට යාමට මේ පාර්ලිමේන්තුවේ වැඩ කරමු කියලා මම ඉල්ලා සිටින්නට කැමතියි.

ගරු කතානායකතුමනි,

5. ඒ නිසා අප මේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙක ලෙස, රට වෙනුවෙන් ක්‍රියා කරන්නට එකඟතාවකට පැමිණ තිබෙනවා. රට වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි කර තියෙනවා. මේ පක්‍ෂ දෙකේම සාමාජිකයන් මේ යථාර්ථය අවබෝධ කර ගෙන ක්‍රියා කරනු දැක්ම අපගේ අපේක්‍ෂාවයි. අපි පක්‍ෂ දෙක හැටියට සටන් කරල තියෙනවා. ගහගෙන තියෙනවා. මරාගෙන තියෙනවා. විපක්‍ෂයේ ඉදල තියෙනවා. ඒත් අපි බලාපොරොත්තු වූ විදියට රට දියුණු වෙලා නැහැ. ඒ නිසා ජර්මනියේ කළා වගේ කෙටි කාලයක් මේ වැඩසටහන කර ගෙන යන්න අපි කටයුතු කරමු.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා ගණනාවකදී අවධාරණය කළේ එතුමන් සතුව පුද්ගලික න්‍යාය පත්‍ර නොමැති බවයි. එතුමා සෑම පියවරක්ම ගන්නේ රට ගැන සිතමින්. එතුමාගේ න්‍යාය පත්‍රයේ ප්‍රධානත්වය ලැබෙන්නේ රටටයි.

එක්සත් ජාතික පක්‍ෂයේ අපත් සැමවිටම මුල් තැන දෙන්නේ රටටයි. අපේ ප්‍රධාන තේමා පාඨයක් මම මෙහිදී ඔබට සිහිපත් කරන්නම්. “එක්සත් ජාතික පක්‍ෂය – රට වෙනුවෙන්..”

මෙහිදී වඩාත් සංකීර්ණ තත්වයකට මුහුණ දෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය හා එහි සාමාජිකත්වය බවද මම පෙන්වා දෙන්නට කැමතියි. අපේ පක්‍ෂයත්, සාමාජිකත්වයත් අවරුදු 20 ක් පමණ තිස්සේ විපක්‍ෂයේ පීඩා වින්දා. අපේ සාමාජික සාමාජිකාවන්ට ලැබිය යුතු අවස්ථාවන් අහිමි වුණා. අසාධාරණ සිදු වුණා. ජීවිත, දේපල, උසස්වීම්, රැකියා අහිමි වුණා.

නමුත් ඔවුනට සාධාරණය ඉටු කරන අතරම, අනෙකුත් දේශපාලන පක්‍ෂ සාමාජිකයන්ටද අසාධාරණයක් නොවන අන්දමට කටයුතු කිරීම අපේ බලාපොරොත්තුවයි. මම මේ බව අපේ ඇමැතිවරුන්ටත් දන්වා තිබෙනවා. අප අපගේ පක්‍ෂ ආරක්‍ෂා කර ගන්නා අතරම, සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරාලන අතරම, රට වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව අප තීරණය කළේ එනිසයි.

ඒ වගේම අනෙකුත් දේශපාලන පක්‍ෂ හා ඒවායේ සාමාජිකයිනුත් මේ තත්වය අවබෝධ කර ගනිමින් ක්‍රියා කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයෙන් තව දුරටත් ඉදිරියට යන්නට බැහැ. ඒ නිසා නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීම උදෙසා ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් අප යන මේ ගමනට සහය දක්වන ලෙස මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ මාර්ගයේ ගියේ නැත්නම් අපේ රටට අනාගතයක් නැහැ.

ගරු කතානායකතුමෙනි,

නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 2020 වසරේදී, ප්‍රකට දේශපාලන විචාරකයෙකු වූ වික්ටර් අයිවන් මහතා පෙන්වා දුන් පරිදි එතෙක් අප පවත්වාගෙන යා යුත්තේ පක්‍ෂ දේශපාලනයේ නොනගත කාලයක්. අපේ පක්‍ෂවලට වඩා රට ගැන සිතා කටයුතු කළ යුතු කාලයක්.

ජනාධිපතිතුමාත්, මමත් සිතන්නේ 2020 මැතිවරණයේදී අප ජනතාව ඉදිරියට යා යුත්තේ පක්‍ෂය ගොඩ නැංවූ නායකයින් ලෙස නොවන බවයි. අප ඒ අවස්ථාවේ ජනතාව ඉදිරියට යා යුත්තේ රට ගොඩනැංවීමට දායක වූ පක්‍ෂ දෙකක නායකයින් ලෙසයි. අපේ පක්‍ෂ සාමාජිකයන්ද ජනතාව ඉදිරියට යා යුත්තේ රට ගොඩ නැංවීමට එක් වූ පක්‍ෂ දෙකක සාමාජිකයන් ලෙසයි.

ජනතාව අපෙන් බලාපොරොත්තු වන්නේ එයයි. ඒ නිසා ජනතා බලාපොරොත්තු ඉටු කරලීම සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙස මම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්‍ෂ හා කණ්ඩායම් වලින් ඉල්ලා සිටිනවා. තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු අධීක්‍ෂණ කමිටු ක්‍රමය යටතේ මුළු පාර්ලිමේන්තුවටම ආණ්ඩුව මෙහෙයවීමට සහය වීමේ බලතල සහ අවස්ථාව ලැබෙනවා.

රට වෙනුවෙන් සිතා ඒ අවස්ථාවන් නිසි ලෙස භාවිත කරන්නය කියා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. අපි අලූතෙන් සිතමු. අලූත් පිළිවෙතක් අනුගමනය කරමු. අලූත් ගමනක් යමු.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අප සියළු දෙනාම ජනතාව ඉදිරියට යා යුත්තේ පක්‍ෂයක් වෙනුවෙන් කැප වුණ පුද්ගලයන් ලෙස නොවෙයි. රට නංවන්නට කැපවුණු පක්‍ෂවල සාමාජිකයන් හැටියටයි. ඒ උදාර අරමුණ වෙනුවෙන් එක් වන ලෙස මම ඔබ සැමට මේ අයවැය විවාදය අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කරනවා.

Back to Home page