Colombo Telegraph

‘‘ඔබ බෞද්ධයෙක්ද ?’’

රන්ජන් ප‍්‍රනාන්දු

රන්ජන් ප‍්‍රනාන්දු

හේතුවාදියෙකුගෙන් අසන මේ ප‍්‍රශ්නය තුලම උත්තරයට ඉඟියක් ද ඇත. එයට කෙලින්ම ‘‘ඔව්” කිවොත් ‘‘එසේ නම් ඔබ හේතුවාදියෙක් කියා ගන්නේ ඇයි?” අනිත් අතට ‘‘නෑ” කීවොත් ‘‘බෞද්ධ දර්ශනයේ හේතුවාදී අදහස් ගැබ් වී ඇත්තේ ම නැද්ද? මේ ගෝනියේ පොතුයි, ඇටයි ඇරෙන්නට සියඹලා ඇත්තේම නැද්ද? ඒ සියල්ල පසෙකලා ඔබ සාමාජිකත්වය දරන ලංකා හේතුවාදී සංගමයේ ආරම්භක ආචාර්ය ඒබ‍්‍රහම් ටී කොවුර් මහතා තමා උපන් ඉන්දියාව අතහැර ලංකාවේ පදිංචියට පැමිණියේ මෙය බෞද්ධ රටක් නිසා බව යැයි කියා ඇත. ඔබ එයවත් තකන්නේ නැද්ද?” වැනි අතුරු ප‍්‍රශ්න ඇසෙයි.

කෙනෙකුගෙන් ‘‘ඔබ වානරයෙක්ද?” කියා ඇසුවොත් මෙවැනිම තත්වයක් උද්ගතවෙයි. වානර වර්ගයකින් පරිණාම වූ මිනිසාට සමීපම චිමිපන්සි වානරයාගේ ජාන 98% ක් ම ඇති බව විද්‍යාවෙන් කියවේ. නමුත් චිමිපන්සියාගේත් මිනිසාගේත් වෙනස අහසට පොළව මෙනි. ඔවුන් අප මෙන් සම්මන්ත‍්‍රන පවත්වන්නේවත්, ඒවාට ලිපි ලියන්නේවත්, ඇඳුම් අඳින්නේවත්, පිසූ ආහාර ගන්නේවත්, බෞද්ධයන් හේතුවාදීන් තියාගන්නේවත් නැත.

මගේ අත්දැකීම්

දැන් අවුරුදු 73 ක් වී පිළිකාවකින් පෙලෙන මම ඉපදුනේ කි‍්‍රස්තියානි පවුලකටය. කුඩා කල සිටම ඒ විශ්වාස ඇදහීම් රටාවේ නීරස, අනර්ථවත් බව තේරුම් ගත් මම වයස අවුරුදු 14, 15 දීම අදේවදෘෂ්ටිකයෙක් වූවා පමණක් නොව, සමසමාජ පක්‍ෂයේ මුල සිටම සමාජිකයන් වූ මාමලා දෙන්නාගේ ආභාෂයෙන් විප්ලවවාදියෙකු වීමි. එකල තරුණ සමාජවාදීන් වූ අපි පල්ලි, පන්සල් ආශ‍්‍රයෙන් මිදී, සුරා සූදුවට ඇබ්බැහි නොවී, අපේ දැන උගත් නායකයින්ගේ ආභාෂයෙන් පන්ති සටනේ නිරත වූ හොඳ ගති ගුණ ඇති තරුණ පිරිසක් වීමු. එකල බෞද්ධ දර්ශණය පිලිබඳ හය හතරක් මම නොදැන සිටියේ එවැනි දෑ ගැන සාච්ඡාවක් පක්‍ෂය තුලදී වත් ඇති නොවුන නිසාය. වෙනස් ආගම් හා දර්ශණයන් ගැන අපට අධ්‍යනයක් ලබා නොදීම වාමාංශික ව්‍යාපාරයේ විශාල අඩුපාඩුවක් යැයි කිව හැක.

‘‘ ආගම නම්
පිඩිතයාගේ සුසුම්ය
කුරිරු ලොකයේ මෘදු හදවතය
අචේතනික දෛවයේ කරුණාබර ආත්මය
මහජනතාවගේ අබිංය ”

යන කාල් මාර්ක්ස්ගේ සුප‍්‍රකට කියමන පමණි අපි කාගේත් තොල් අග රැුªනේx එයින් තරුණ අපට ගම්‍ය වුයේ ‘සියලූ ආගම් එකයි’ යන ලාමක අදහස පමණි.

විසි හතර වියේදී එංගලන්තයට ගිය මම එහි පුරා දශක හතරකට ආසන්න කලක් ගත කලෙමි. එයිනුත් වැඩි කාලයක් ගත කලේ නිර්ධනපන්ති විප්ලවවාදියෙක් ලෙසිනි.  එක් වකවානුවක මෑත යුගයේ සුප‍්‍රකට දාර්ශණිකයෙක් හා හේතුවාදියෙක් වූ බර්ට‍්‍රන්ඩි රසල් නායකත්වය දුන් Campaign for Nuclear Disarmament (න්‍යෂ්ටික ආයුධ තහනම් කිරීමේ ව්‍යාපාරය) සහ Vietnam Solidarity Campaign (වියට්නාම් යුද්ධයට විරෝධී ව්‍යාපාරය) වලට සම්බන්ධ වීම්. රසල් සාමිවරයා ඇසුරු කල මුල් අවධියේ ඔහු සමග සෑහෙන වාද විවිද වලට මම යොමු වුනිමි. නමුත් අවසානයේදී මා දැරූ ලෝක දර්ශණයේ මූලික වෙනසක් ඇති විය. 1917 රුසියාවේ ලේ හලන විප්ලවයක් මගින් ඇති වූයේ කම්කරු පන්ති ආඥ්ඥාදායකත්වයක් නොවු බවත් එවැනි සටන් මාර්ග වලින් සමාජය යහපත් තැනකට ගෙන ආ නොහැකි බවත් ප‍්‍රතික්‍ෂ වූ මම අහිංසාවාදී, යුද විරෝදී හේතුවාදියක් උනෙමි.

බෞද්ධ දර්ශණය පිළිබඳ මුල්ම ඉඟියක් ලැබුනේ නවීන සමාජවාදී දර්ශණයේ නිර්මාතෘ වූ කාල් මාර්ක්ස්ගේ ප‍්‍රධාන සහකරු වු ෆෙඞ්රික් එංගල්ස් ලියූ Dialectics of  Nature  – ‘ස්වාභාවධර්මයේ ඩයලෙක්ටිකය’ (ද්වන්දාත්මකය) යන කෘතිය කියවීමෙනි. එහි එංගල්ස් මෙවැනි ප‍්‍රකාශයක් කරයි. ‘‘ස්වභාවයෙන්ම ඩයලෙක්ටික ක‍්‍රමයට සිතීමට හැකි මනුෂ්‍ය කොටස් දෙකක් ඇත. එක කොටසක් පුරාණයේ විසු ගී‍්‍රකයෝයි. අනෙක් කොටස වර්තමානයේ වෙසෙන බෞද්ධයෝයි’’ මේ කියමනෙන් මම නොසිතූ ලෙස පුදුමයට පත්විමි. මේ තාක්කල් වැඩි ගණනකට නොගත් බෞද්ධ දර්ශණයත්, එහි ආභාශය ලැබූ මගේ ජනතාවත් මෙතරම් උතුම් ලෙස එංගල්ස් තැකුවේ ඇයි දැයි මට එ් කාලදී ප‍්‍රශ්නාර්තයක් විය. තවද කාල්ස් මාර්ක්ස් ලියූ Das Kapital   ( ප‍්‍රාග්ධනය) නම් විශිෂ්ඨ කෘතියෙහි වැඩවසම් යුගය ඔහු මුලදී හඳුන්වා දී ඇත්තේ රජුන්, ප‍්‍රභූවරුන්, සාමාන්‍ය ජනතාව සහ වහලූන්ගෙන් සමන්විත වූ බවයි. ඔහුගේ මිතුරෙකු බෞද්ධ දර්ශණය පිළිබඳ ලියූ කෘතියක් කියවා බෞද්ධ රටවල වහලූන් කියා පිරිසක් නොසිටි බව ප‍්‍රත්‍යක්‍ෂ වූ විට Asiatic Mode of Production  – ‘ආසියාතික නිශ්පාදන මාදිලිය’ යන අළුත් පරිච්චේදයක් ඔහුගේ කෘතියට ඇතුලත් කරන ලදි.

මෑතක විසු විශිෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකෙනුයේ ඇල්බට් අයින්ස්ටයින්ය. ඔහු යම් අවස්ථාවකදී මෙසේ කියූ බව මම අසා ඇත. ‘‘මනුෂ්‍යයා නිරන්තරයෙන්ම දැන්මෙන් මිලේච්ඡුයෙකුසේ ජීවත් වන්නේ නැත. විද්‍යාවේ ආභාශයෙන් ඔහු ශිෂ්ඨසම්පන්න වනු ඇත. නමුත් මිනිසාට දර්ශණයක් අවශ්‍යය. එම නිසා අනාගත ශිෂ්ඨ මිනිසා බෞද්ධ දර්ශණය පිලිගනු ඇත.’’ තිස් ගණන් වල උග‍්‍ර කොමියුනිස්ට් විරෝධී ක‍්‍රිස්තියානි මූලධර්මවාදී ඇමරිකාවේ කල මේ ප‍්‍රකාශය නිසා ඔහුට නොයෙකුත් තර්ජන වලට මුහුණපෑමට සිදුවිය. (අයින්ස්ටයින්ගේ අදහස සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ. මිනිසා විශ්වාස, ඇදහිලි එක පරම්පරාවකින් ඊලඟ පරම්පරාවට වාත්තු කරයි. මේ පිළිබඳ විද්්‍යාත්මක හැදෑරීමකට රිචඞ් ඩෝකින්ස්ගේ The Selfish Gene කෘතිය කියවන්න)

ඉන්දියාවේ නිදහස් සටනට නායකත්වය දුන් ගාන්ධිතුමාගේ ප‍්‍රධාන ආධාරකරුවෙකු ලෙස කි‍්‍රයාකල ශී‍්‍ර ජවහර්ලාල් නේරු සියලූ ආගම්, ඇදහීම බැහැර කල කෙනෙක් විය. ඉන්දියාවට නිර්- ආගමික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත්, එමගින් එක්සත් ජාතියක් තැනීමටත් ඔහු අතින් වූ සේවය සුළු පටු නොවේ. ඉන්දියන් නිර්- ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කලෙත් එවකට ප‍්‍රසිද්ධ ප‍්‍රාඥ්ඥයෙක් වූ අම්බෙත්කාර් තුමාය.  ඔහුද බෞද්ධයෙකි. නේරු තුමා නිදහස් සටනේදී බි‍්‍රතාන්‍යයන් විසින් සිරගත කොට සිටින යම් අවස්ථාවකදී මානසික ආතතියකින් පෙලූනේය. එවිට ඔහුට ලැබුණු ලිපි අතර එක තැපැල්පතක් විය. එහි තිබුනේ මහමෙවුනා උයනේ සමාධි පිළිමයේ ඡායාරූපයකි. මේ දෙස බලා සිටි ඔහු, කොන්ද කෙලින් කරගෙන අධිෂ්ඨානගතව සිතෙහි ඒකාග‍්‍රතාවය යොමු කල බුදුන්ගේ පිලිරුව දැකීමෙන් ඔහුගේ කළකිරුණු සිතේ නව උද්යෝගයක් ඇති වූ බව එතුමා සඳහන් කර ඇත. නිදහස් ඉන්දියාවේ පළවෙනි අගමැති වූ ඔහු ලංකාවට පැමිණ සමාධී පිළිමය ඉදිරිපිට කී යමක් සිහියට නැගේ. එය මෙසේය, ‘‘ස්වාමීනී, මාගේ ජනතාව මා අමතන්නේ ‘‘පණ්ඩිත් ජී” (පණ්ඩිත් නේරු ) කියාය.  නමුත් ඔබ ඉදිරියේ මම මෝඩයෙක් වෙමි’’ ඔහුගේ පෞද්ගලික නිවසේ තැන්තැන් වල බුදු පිලිම තියා ගැනීමට රුචිකත්වයක් නේරු තුමා තුළ තිබිණි.

මීට අමතරව මට යුරෝපයේදී හමු වුනු සුදු ජාතික විද්‍යාඥයින් හා බුද්ධිමතුන් ඔවුන් බෞද්ධයන් බව කී විට ඔවූනුත් මගෙන් ඇසුවේ (මම ලාංකිකයෙකු නිසා දෝ) ‘‘ඔබත් බෞද්ධයෙක් ද?’’ කියාය. උදාහරණයක් වශයෙන් අන්තර් ජාතක ක්‍ෂමා සංවිධානයේ ක‍්‍රියාදරයෙකු වූ මම 1989-90 එංගලන්තයේ ලොකු කුඩා නගර තිස්ගණනක එම සංවිධානයේ ශාඛාවන් අමතා ලංකාවේ එවකට තිබූ තත්ත්වය පිළිබඳ දේශන පැවැත්විමි. එහිදී ද සුදු ජාතික බෞද්ධ සාමාජිකයන් මුණගැසුනි. එම සංවිධානයේ සභාපතිධුරය දැරූ එව්බරි සාමිවරයාද බෞද්ධයෙකි. එමෙන්ම  Green Peace  නම් පරිසර ආරක්‍ෂක සංවිධානයේ සාමාජිකයෙකු වූ මම එ් කටයුතු වලදී ද බෞද්ධයින් සෑහෙන ප‍්‍රමාණයක් මුණ ගැසුනි. මෙවැනි දැන උගත් සුදනන් පිරිස බෞද්ධ දර්ශනයට මෙතරම් ආකර්ශණයක් දක්වන්නේ ඇයි? මෙවැනි අය මට ලංකාවේ හමුවී නැත්තේ ඇයි? වැනි ප‍්‍රශ්න මාගේ සිතට වදයක් විය. එම නිසා බෞද්ධ දර්ශණය යම් ප‍්‍රමාණයකට හෝ හැදෑරීමට මට අවශ්‍යතාවයක් ඇති විය. එයට මා තෝරාගත්තේ ලන්ඩනයට උතුරෙන් පිහිටි ‘අමරාවතී බෞද්ධ ආරාමයයි.’ එහි මහඟු පුස්තකාලයක් තිබුණි. එම පුස්තකාලයේ නිර්මාතෘවරයා වූයේ එංගලන්තයේ අගවිනිසුරු වරයෙකුව සිටි ශී‍්‍රමත් කි‍්‍රස්මස් හම්ෆ‍්‍රීස් තුමාය. ඔහුද බෞද්ධයෙක් විය– එහිදි නා නා රටවලින් පැමිණ පැවදි වූ සුදු ජාතික උගත් ස්වාමින්වහන්සේලාගේ ඇසුරද මට පිටුවහලත් විය.

එහි එවකට සිටි නායක ස්වාමින්වහන්සේ සමග කල සාකච්ඡාවකදී ‘‘මේ පන්සලේ සිංහල හාමුදුරුවෝ නැත්තේ ඇයි?’’ ඇසූ ප‍්‍රශ්නයට ඔහු දුන් පිලිතුර සිහියට නැගේ . ‘‘ලංකාවේ හාමුදුරුවන්ගේ භාවිතය ගැන අපිට ප‍්‍රශ්න තියනවා.’’ ‘‘මොන වගේ ඒවාද?” කියා ඇසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ ‘‘කුලවාදය, යුධවාදය, හඳහන් බැලීම වැනි දෑ’’ කියාය. එහිදී හමු වූ තවත් ප‍්‍රංශ ජාතික න්‍යශ්ටික භෞතිකවාදය හදාරා පැවදි වූ ස්වාමින්වහන්සේ නමක් කීවේ ‘‘මම 1983 සංචාරයකට ඔබේ රටට ගියා, ඒ වසරේ ජූලි මාසයේ ඇති වූ දෙමළ සංහාරයෙන් මගේ සිත වික්ෂිප්ත උනා.

එක් අවස්ථාවකදී කොළඹදී මා දුටුවේ දෙමල ජනතාවට පහර දෙන ගැන්සියක නායකත්වය දැරුවේ ප‍්‍රසිද්ධ හාමුදුරු නමකි. මං හිතපු ආකාරයට මේක බෞද්ධ රටක් දැයි කලකිරී ඔබේ රටෙන් මා පිට උනා’’ මේ අපේ රටේ බෞද්ධ භාවිතය ගැන බුද්ධිමත් බෞද්ධ විදේශිකයන් දරන අදහස්ය.

විශ‍්‍රාම ගැනීමෙන් පසුව ලංකාවට පැමිණි මටද මෙවැනි කළකිරීම් දිගටම ඇති විය. යුද්ධයට විරුද්ධ හඬක් නැගූ එක ස්ථවිරයෙක් ගැනවත් මම අසා නැත. සංගීතයට ප‍්‍රිය කරන මම එක් අවස්ථාවකදී යුධ විරෝධී ගීතයක් තැටිගත කලෙමි. එහි මෙවැනි පදමාලාවක් ඇත.

‘‘ මල් පුදන දෑත් වලින් එපා කිසි විට අවියක් දරන්න
මල් සුවඳ වගේ මිනිස් කමේ සුවඳ මුළු ලෝකයට බෙදන්න
බිං අඟලට දර ඉපලට අවි ඔසවා ගනිමින්
පිරිත් නූල අත බැදගෙන ලේ වගුරති මිනිසුන් ’’

එය රැුගෙන ගොස් ප‍්‍රසිද්ධ ගුවන් විදුලි ආයතනයකට භාරදුන් සුප‍්‍රකට සංගීතඥයෙකු වූ ස්ටැන්ලි පීරිස් මහතා ඉදිරිපිටදීම එහි අධ්‍යක්‍ෂකවරයා එය ප‍්‍රතික්ෂේප කල බව මට කීවේය. ඔහුම සංගීතවත් කළ ප‍්‍රසිද්ධ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ‘යුධ ගිනි අවුලන මිනිසුන් කවුදෝ’ යන ගීතයටත් අත්වූයේ එවැනිම ඉරණමක් යැයි කණගාටුවෙන් මට කීවේය. මේ තුන් තිස් හැට පැයේම ‘‘පාණාතිපාතා’’ යැයි යකඩ කට වලින් කෑගසන බෞද්ධ රටකය !

අද පවතින භාවිතය එසේ වෙතත් බෞද්ධ දර්ශණය පිළිබඳ මා උගත් දෑ මෙසේ සම්පින්ඩනය කළ හැක. හේතුවාදයෙක් වීමට බෞද්ධයෙක් වීම කිසිසේත් අනිවාර්්‍යය නැත. නමුත් බෞද්ධ දර්ශණයේ ඇති මෙවන් අදහස් හේතුවාදයෙකුට අගය කළ හැක.

1. ලෝකයේ ආරම්භයට මැවුම්කාර දෙවියෙක් නැහැ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ වැනි ඉන්ද්‍රියන්ට ගෝචරය වන ද්‍රව්‍ය සහ බලය අනුවයි සියල්ල ඇති නැති වෙන්නේ.

2.  බු දුන්ගේ විධි ක‍්‍රමය හේතු ඵලවාදීයි. දැනුම ලැබෙන්නේ දෙවියෝ, බ‍්‍රහ්මයා (ඔක්කොම පිරිමි!) හෝ ‘ඔහුගේ’ ඒජන්තයින්ගෙන්වත් ‘සුද්ධ වූ’ පොත පතින්වත් නොව, මහන්සිවී හේතු සාධක, පර්යේෂණ අනුව සත්‍ය ප‍්‍රත්‍යක්‍ෂ කර ගැනීමෙනි.

3. බුදුන්ගේ දර්ශණයේ කේන්ද්‍රය මනුෂ්‍යයා මිස දෙවියන් නොවේ ‘‘ බඹයක් පමන වූ මේ ශරීරය සහ මනස තුල ආරම්භයත්, පැවැත්මත්, අවසානයත් විස්තර කරමි.” (සංයුක්ත නිකාය)

4. ප‍්‍රශ්න කිරීමට, උගන්වන දේ සැක කොට, විභාග කොට, පිළි/නොපිළි ගැනීමේ අයිතිය ( කාලාම සූත‍්‍රය)⋆

5.  අදහස් උදහස් වාරණයෙන් තොරව ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ අයිතිය. යම්‘බලධාරියෙකුගේ ’ අවසරයක් අනවශ්‍යයයි.

6. විද්‍යාඥයින්ගේ අදහස් සහ පර්යේෂණවලට ‘පූජක උසාවි’ මගින් වද හිංසා හෝ මරණ දණ්ඩනය නොපැමිණ වීම.

7. අනාත්මවාදය – සත්වයාට ඇත්තේ කය සහ මනස පමණි යන ඉගැන්වීම.

8. අනිත්‍යය – සියළු දේ වෙනස්වෙමින් පවතින බවත්, සදාකලික කියා කිසි ‘කෙනෙක්’ හෝ ‘දෙයක්’ නැති බව.

9. ජාතිය කුලය වැදගත් නැති බව.

10. මැරීමට, යුද්ධයට සහ යුධ භාණ්ඩ පරිහරණයට ඇති විරෝධය.

( කාලාම සූත‍්‍රයේ හරය :- ශුද්ධ වූ පොතපතේ තියෙන නිසාවත් මව්පිය, වැඩිහිටියන්, පූජකයින් කියන නිසාවත් ගුරුවරුන් කියන නිසාවත් යමක් විශ්වාස නොකරන්නx ඔබගේ බුද්ධිය මෙහෙයවා ඔබට යහපත් යැයි වැටහෙන දේ පමණක් පිළිගන්න.)

දැන් හේතු සාදක පදනම් වූ විද්‍යාත්මක විධි ක‍්‍රමයට සදාචාරාත්මකව බැඳී ඇති හේතුවාදීන්ට පිලිගත නොහැකි දෑ සලකා බලමු. එවැනි මිත්‍යාවන්ගෙන් සමහරෙකි මේ:-

1. දෙවියන්, භූතයන් වැනි ලොව නොපවතින ජීවින් විශ්වාසය කිරීම.

2. විද්‍යාත්මක තාරකා විද්‍යාවක් ස්ථාපිත වී ඇති යුගයක පසුගාමී ජ්‍යොතිශයක් ගැන විශ්වාස කිරීම.

3. එ් අනුව හඳහන්, පළ, අපළ සුභ මොහොත් වැනි නිෂ්ඵල සහ අහිතකර දේ ගැන විශ්වාස කිරීම. බුදුන් කියූ පරිදි, ‘‘තාරකාවන් ගැන සිතන මොඩයාට ඇති තතු නොවැටහේ. තාරකාවන්ට කුමක් කළ හැකි ද?” ( නක්කත්ථ සූත‍්‍රය)

4. සාස්තර ඇසීම, බලි තොවිල්, අංජනම් එළි, ලෙඩ සුව කරන්නන් වැනි කාලය, මුදල් සහ ඇතැම් විට ජීවිත ද විනාශ කර දමන බොරුකාරයන් පසු පස යෑම.

5. කතරගම, පත්තිනි හා වෙනත් නොයෙක් බොරු දෙවියන් ඇදහීම, බාර හාර කිරීම.

6. අනිත්‍ය හා අනාත්ම උගැන්වීම් වල අඩංගු තර්කයට පටහැනි ඉපදීමට පෙර හෝ මරණයෙන් පසු ( පුනුරුප්පත්තිය හෝ පුනුරුත්භාවය)  වැනි අවිද්‍යාත්මක මිත්‍යා විශ්වාස පිලිගැනීම.

7. බුදුන් කිසිම අවස්ථාවක අනුමත නොකළ, පලමු සිල් පදයම කඩන මරණ දඬුවම සහ යුද්ධවලට ආගමේ නාමයෙන්ම ආවැඞීම, අනුබල දීම සහ ප‍්‍රශංසා කිරීම.

8. බුදු දම්, සඟ තුන් සරණයට අභිභවා ගොස් ප‍්‍රාතිහාර්ය කරනවායි කියන සායි බබා වැනි වංචනික විජ්ජාකාරයින්ගේ සරණ පැතීම.

9. දන්නා කලක සිට අප රටේ නායකයින් සහ ප‍්‍රභූන් ( වැටයි නියරයි ගොයම් කන තත්වයක් නිර්මාණය කොට) බෞද්ධ විරෝධී විකාර මලයාලම් ගුරුකම් වැනි ප්‍රෝඩාවන් හා මෙරට සහ පිටරට නා නා කෝවිල් වල සිටිනවා යැයි කියන බොරු දෙවිවරුන් වන්දනාමාන කිරීම සහ ඔවුන්ගේ පූසාරින් හඹා ගෙන ගොස් හොම්බ බිම ඇන ගෙන ඇත !

10. අවිහිංසාවාදී බෞද්ධ ප‍්‍රතිපත්තිය උල්ලංගනය කොට මාධ්‍ය වේදීන්ට මරණය, වද හිංසා සහ සිර දඬුවම් දීම, පොත පොත, නාට්‍ය, සිනමා වැනි දේ ආගමේ
නාමයෙන් තහනම් කිරීමට බලපෑම් කිරීම, එමගින් විරුද්ධ/ අසම්මත අදහස් නොඉවසනා ප‍්‍රවනතාවය ප‍්‍රගුණ කිරීම.

11. කුලය, ජාතිය වැදගත් දේ ලෙස තැකීම.

12. විද්‍යාත්මකව ඔප්පු කල නොහැකි සියලූ ඇදහීම්, විශ්වාස, ආගම් තර්කානුකූල නොවේ, මානව ප‍්‍රගතියට අහිත කරයි, භයානකයි, කියන අප වැනි අයට ගරහන අපහස කරන ‘‘සිල්වත්’’ යැයි කියා ගන්නා අයගේ චර්යාව සහ හැසිරීම.

එම නිසා හේතුවාදියෙකුගෙන් ඔබ ‘‘බෞද්ධයෙක්ද?” කියා අසන බෞද්ධයාට ‘‘ ඔබට අන් අයට වඩා පහසුවෙන් සහ සහජයෙන්ම හේතුවාදියෙකු විය හැකි බව ප‍්‍රත්‍යක්‍ෂ
කරගන්න’’ කියා දිරිගැන්වීමක් කිරීම මැනවි.

ගොරක කමට එරෙහිව – අපි ඉන්නේ යුරෝපයට වඩා හොඳ තැනකයි !

අවසාන වශයෙන්, සමහර හේතුවාදීන් ආගම් පිළිබඳ දරන මතය ගැන කෙටි විවේචනයක් කරමි. ඔවුන්ට අනුව ‘‘ සියලූ ආගම් එකයි – ඒවාගේ සුල මුල වෙනස් උනත් භාවිතයේ දී ඒවා ප‍්‍රතිගාමියි. ’’ මේ නූගත් කියමනෙත් ‘‘ අපි ඔක්කොම සත්තුනෙ – ඔක්කොම වානරෝය ’’ යන මුග්ධ කීමෙහිත් වෙනසක් මට නොපෙනේ. හොඳ කෙනෙකු
වීමට ආගම්, විශ්වාස ඇදහීම් අවශ්‍ය නැතිබවත් එ්වා බාධකයන් බවත් මගේ පිළිගැනීමයි. ගුණධර්ම අපට එන්නේ සත්ත්ව පරිණාමයෙන් මිස ආගම් වලින් නොවේ. නමුත් දේව ආගම් වලට මූලාශ‍්‍රිත වූ සදාකල්හි නොවෙනස් වන සර්වබලධාරී මැවුම්කාර දෙවියෙක්, සදාකාලික ආත්මයක්, ස්වර්ගයක්, නරකාදියක් වැනි මිත්‍යා අදහස් වලින් මිදී සියලූ දේ අනිත්‍යය, අනාත්මය වැනි විද්‍යාත්මක අදහස් මගින් නිර්භීත ප‍්‍රයන්තයක් දැරූ බෞද්ධ දර්ශණය එක කුණු ගොඩක දා ප‍්‍රතික්ෂේප කිරීම අඳබාල, මානවයාගේ කල්පනා ශක්තියත්, ධෛර්යයත් අවතක්සේරු කරන බුද්ධියෙන් තොර වූ ගොරක කමකි. (cynicism)

මානවවාදී / හේතුවාදයත් බෞද්ධ දර්ශනයන් අතර ප‍්‍රාථමික මට්ටමෙන් වුවද සම බිමක් ඇත. නෑ කමක් ඇත. බෞද්ධයින් සමග සාකච්ඡුා කරන විට මේ සාධනීය පැතිකඩ තහවුරු කළ යුතුය.

මේ සරල කරුණ නොපිළිගන්නා ‘හේතුවාදීන්’ කියා ගන්නන්ගෙන් සිදුවන්නේ අවඩැක්ය. පාලමක් ගොඩනගන්නට හැකි තැන ඔවුන් අතින් සිදු වන්නේ තිබෙන ඒදණඩත් කඩා දැමීමයි. එය හේතුවාදී විධි ක‍්‍රමය නොවේමය. අපේ බෞද්ධ ජනතාව සමග අනුකම්පාවෙන් මිතුරන් වීමට හැකි ඉඩ කඩ ඇහිරීම මනස්ගාත නරුම කමකි.

බි‍්‍රතාන්‍ය හේතුවාදී සංගමයේත් (එහි ඉතිහාසය අවුරුදු 150කටත් වැඩිය!), අන්තර්ජාතික මානවවාදි හේතුවාදී එකමුතුවෙත් සාමාජිකයෙකු වන මට ඔවුන්ගේ මාහැනි සඟරා නිතර ලැබේ. යුරෝපයේ හේතුවාදී ව්‍යාපාරය දෙස බලන විට අපට පෙනෙන්නේ කුමක් ද? මුල සිටම අද දක්වාත් ඔවුන්ගේ මූලික සටන වී ඇත්තේ දේවවාදයට විරුද්ධවය. අපේ අසල්වැසි ඉන්දියාවේ හේතුවාදීන් මුහුණ දෙන්නේත් ‘ දේව පුත‍්‍රයින්’ කියා ගන්නා දරුණු සාහසිකයින්ටයَ. එ් සටන බෞද්ධ දර්ශණය ජයගෙන ඇත. අපේ සටන ඇරඹෙන්නේ දාර්ශනිකව ඊට වඩා උසස් තැනකින් යැයි කිව හැක. එම නිසා ලාංකීය හේතුවාදීන් ඉන්නේ වඩා හොඳ තැනකය.

එය නොපිළිගැනීම අපේම අතපය ස්වේච්ඡාවෙන් බැඳගෙන සටනට යෑමකි. භාවිතයෙන්දැන් ප‍්‍රතිගාමි වුවද එහි මූලාශ‍්‍රයන් හි ප‍්‍රගතිශීලි ස්වභාවයක් ඇත. මඩ තැවරුණු මැණිකක්සේය. එම නිසා දරුවාගේ ඇඟපත සෝදා දරුවත් බේසමත් දෙකම විසි කරන තැනකටනොගොස් බෞද්ධ දර්ශණයේ සාධනීය වූ මුල් කරුණු වලින් ඔවුන්ගේ වැරදි භාවිතය අභියෝගයට ලක් කරන ක‍්‍රමයකට අපේ වැඩ කටයුතු සකසා ගත යුතුය.

එමගින් දැන උගත් මානවවාදී ගිහි පැවදි බෞද්ධයින් අතරින් ‘‘අපි හේතුවාදී බෞද්ධයින් ” යැයි කියා ගන්නා පිරිසක් බිහි වීමටද ඉඩ ඇත.

*මහනුවර හේතුවාදී සංගමය 2013 ඔක්තෝබර් මස පැවැත්වූ සම්මන්ත‍්‍රණයට ඉදිරිපත් කල ලේඛනය

Back to Home page