Colombo Telegraph

ඇමරිකානු දේශීය ආදායම් සේවාව සහ ශ‍්‍රී ලාංකීය අත්දැකීම

රවි පෙරේරා

රවි පෙරේරා

ඇමරිකාවේ දේශීය ආදායම් සේවාවේ අධිපති ස්ටීවන් මිලර්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ ප‍්‍රවෘත්තිය ලංකාවේ ප‍්‍රවෘත්ති මාධ්‍ය තුළ මීට වඩා ප‍්‍රසිද්ධියට පත්විය යුත්තක්ව තිබුණි. මිලර්ට අස්වෙන්නට සිදුවුණේ රටේ යහපාලනයට සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් වු නිසා, නීතිරීති, ප‍්‍රමිති සහ ක‍්‍රියාකාරී පද්ධති විෂයබද්ධ ආකාරයකිනුත්, විනිවිද පෙනෙන සුළු ආකාරයකිනුත් ස්ථාපිත කර ගැනීමට නිදහස ලැබු දා පටන් දඟලන ශී‍්‍ර ලංකාව වැනි රටකට වැදගත් ප‍්‍රවෘත්තියක් විය යුතුව තිබුණි.

බරක් ඔබාමා ජනාධිපතිත්වය හොබවන වර්තමාන ඇමරිකානු ආණ්ඩුව ඩිමොක‍්‍රටික් පාක්ෂික ආණ්ඩුවකි. එරට සෙනේට් සභාවේ බහුතර බලය හොබවන්නේ ද එම පක්ෂයයි. ස්ටීවන් මිලර් යනු බරක් ඔබාමාගේ ආණ්ඩුවෙන් එම තනතුරට පත්කරන ලද්දෙකි. බදු වගකීම්වලින් නිදහස ඉල්ලා සිටින අයදුම්පත් පරීක්ෂා කොට බලා ඒවාට අදාළ පියවර ගැනීම, දේශීය ආදායම් සේවා අංශයේ එක් කාර්යයකි. බරක් ඔබාමාගේ පක්ෂය සැළකෙන්නේ වමට බර පක්ෂයක් වශයෙනි. විරුද්ධ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය දක්ෂිණාංශික ය. බදු සහන ඉල්ලා ඉදිරිපත් කරන ලද දක්ෂිණාංශයට බර ඇතැම් සංවිධාන ගැන මේ කියන දේශීය ආදායම් අංශය කටයුතු කොට ඇත්තේ අගතිගාමී ආකාරයකින් බවට දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයෙන් නැගුණු බරපතල චෝදනාවක්, ස්ටීවන් මිලර්ගේ ඉල්ලා අස්වීමට හේතු විය.

යහපාලනයේ මූලික ප‍්‍රතිපත්තියක් වන්නේ, කුමන පක්ෂයක් බලයේ සිටියත්, රටක රාජ්‍ය පරිපාලනය, විෂයබද්ධව පමණක් නොව, මධ්‍යස්ථවත්, අපක්ෂපාතීවත් කටයුතු කළ යුතුය යන්නයි. සුජාත රාජ්‍යයක නීති රෙගුලාසි කාටත් එක සමානව බලපැවැත්විය යුතුය. නීතිය ක‍්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ හැටියට නම්, එම රාජ්‍යයේ සුජාත භාවයට එය බෙහෙවින් හානිකර ය. එවැනි තත්වයක් ඇති වූ විට, රාජ්‍ය ව්‍යුහය, පුද්ගලයන් අතලොස්සකගේ හෝ කණ්ඩායමක හෝ දේශපාලන පක්ෂයක ආයුධයක්, ආම්පන්නයක් වන්නේය. ඇමරිකාවේ මිනිස්සු තමන්ගේ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වනු දැකීමට බෙහෙවින් අප‍්‍රිය කරති. ස්ටීවන් මිලර් පිළිබඳ විවාදයට සහභාගී වෙමින් එක් සෙනේට් සභා මන්ත‍්‍රීවරයෙක් මෙසේ කීවේය: ‘‘ඇමරිකානු ජනතාව මීට වඩා යහපත් සමාජයක් භුක්ති විඳීමට හොඳටම සුදුස්සෝ ය.’’

ඔහුගේ එම කතාව මිණුම් දණ්ඩක් වශයෙන් සළකන්නේ නම්, ශ‍්‍රී ලංකාව කටයුතු කරන්නේ ලාංකිකයා මධ්‍යස්ථ සහ අපක්ෂපාතී රාජ්‍ය සේවාවකට නුසුදුස්සෙකු වශයෙන් සළකාගෙන දැ යි සිතේ. රාජ්‍ය සේවය තුළ පමණක් නොව, අනිත් සෑම අංශයකමත්= පොලීසිය, අධිකරණය, මාධ්‍ය සහ උසස් වෘත්තීයවේදී අංශවල පවා= අද බලපවත්වන්නේ පක්ෂ දේශපාලනික අධිකාරයයි.

අපේ නායකයන්ව ඡුන්ද බලයෙන් පත්කර ගැනීමට ටිකෙන් ටික අපව පුහුණු කළ විසි වන සියවසේ මුල් කාලයේ සිටම, ඒ පුහුණුව අපට ලබා දුන් රටවල්වලට වෙනස් ආකාරයකින් ඒවා ජීරණය කර ගැනීමට අප පෙළඹී ඇති බව, එම ඉතිහාසය පිරික්සීමේ දී අපට පෙනේ. අපේ රටේ දී එවැනි දේවල් දෙස බැලූවේ වෙනත් ආකාරයකිනි. අපට තිබුණේ වෙනම හර පද්ධතියකි. ඡුන්දයෙන් බලයට පත්වන්නා, සකල කළමනාවේ හාම්පුතුන් බවට පත්වන අතර, එම තත්වය නඩත්තු කිරීමට යෝග්‍ය ආකාරයෙන් අවශේෂ බල ව්‍යුහයන් ද සකස් වෙයි.

පවතින ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයෙකු ගැන පරීක්ෂණ පැවත්වීම නිසා ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ රැුකියාව අහිමි වීමක් අපට සිතා ගැනීමටවත් නොහැක. පොලීසිය, රේගුව ආදී වෙනත් ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් ද තත්වය එයයි. එම ස්ථානවල රාජ්‍ය නිලධාරීන් සිටින්නේ ආණ්ඩුවේ හතුරන්ව පරීක්ෂා කිරීමටත්, ආණ්ඩුවේ මිතුරන්ගේ සෑම ක‍්‍රියාකලාපයක් කෙරෙහිම සහයෝගයෙන් කටයුතු කිරීමටත් ය. ආණ්ඩුවට සම්බන්ධ කිසිවෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමක් ගැන සිතන්නටවත් අවකාශයක් රාජ්‍ය සේවයට ඇත් දැ යි කතා කිරීමත් නිෂ්ඵල ය. ඒ තරමට, එවැන්නක් අපට සංස්කෘතිකමය වශයෙන් ආගන්තුක ය. ඉතිං, මර්වින් සිල්වා හෝ දුමින්ද සිල්වා කෙනෙකු ගැන කුමන කතා ද? ඔවුන් ගැන විටින් විට කතා කළත්, ඒ හුදෙක් විනෝදාස්වාදයටම පමණි. ඇත්ත වශයෙන්ම ගතහොත්, මේ දෙපළ වූ කලී, නීතියට ඉහළින් බලය හොබවන දහස් ගණනක් දේශපාලනික නෑ හිතවතුන්ගෙන් සමන්විත, පාවෙන අයිස් කන්දක වතුරට මතුපිටින් පෙනෙන පුංචි තොංගලක් පමණි. ආණ්ඩුවක් පමණක් නොව, අපේ දේශපාලන පක්ෂ පවා ගොඩනැගී ඇත්තේ පවුල් සම්බන්ධතා ජාලයකිනි. බොහෝ වර්තමාන දේශපාලඥයන් අද එම තත්වයට ළඟාව ඉන්නේ, ඔවුන්ගේ වැඩිමහල්ලන් යම් කලකට පෙර දේශපාලන බලය ඉසිලූ ආනුභාවයෙනි. ඊටත් වඩා ලැජ්ජාවට කාරණය වන්නේ, වෙනත් රටවල් මෙන් නොව, එවැනි දේශපාලන වංශකතා ලංකාවේ දී ආඩම්බරයටත් කාරණයක් වශයෙන් සැළකීමයි.

මෙම තත්වය, අස්ථාවරත්වයට, භීතියට සහ අසහනයට මගපාදන බව අමුතුවෙන් කිව යුතු නැත. පවුල්වාදී සහ වෙනත් පක්ෂග‍්‍රාහී සැළකීම් ඉදිරියේ යුක්තිගරුක භාවය පිළිබඳ සංකල්පය පිළිකන්නටම වැටෙයි. එල්.ටී.ටී.ඊ. ය වැනි ඊනියා කැරලිකාරී සංවිධානයක පවා, අනුත්තර නායක ප‍්‍රභාකරන්ගේ පුතාට තවත් දහස් ගණනක් කාර්යක්ෂම සටන් සගයන් අභිබවා ඉහළට ඒම එතරම් අපහසු වූ බවක් පෙනෙන්ට නොතිබුණි. ශ‍්‍රී ලංකාවේ කවදත් සිදුවන පරිද්දෙන්, පුංචි ප‍්‍රභාකරන්ගේ සුරුවිරුකම් වර්ණනා කරමින් ලිපි කිහිපයක් ද මාධ්‍යවල පළවිය. කලින් කල සිදුවන තරුණ කැරලි, කඩාකප්පල්කාරී ක‍්‍රියා, ද්‍රෝහීකම්, පටු කල්පනා, අ¥ර දර්ශනය, අනෙකා නොඉවසීම සහ මිනීමැරුම්/සියදිවි නසා ගැනීම් වැනි, අපේ සමාජයීය සහ ඓතිහාසික මොසැයික් චිත‍්‍රයේ කැපී පෙනෙන ඇතැම් ලක්ෂණ, සමහර විට, මෙවැනි අසාධාරණ සංස්කෘතියක් තුළ ලබන ජීවන අත්දැකීම් නිසා බිහිවන තත්වයක් වන්නට ද බැරි කමක් නැත. පුද්ගලවාදී නොවී, විෂයබද්ධ තත්වයන්ට අනුකූලව මෙහෙයැවිය යුතු පාලන පද්ධති, පුද්ගල අභිවෘද්ධිය සඳහා සේවය කරන මෙවලම් බවට අප පත්කරගෙන ඇත. පාර්ලිමේන්තුවේ සිට සාමාන්‍ය සමාජ කවයක් දක්වා කොතැනකත්, සාධාරණ පරිපාටියක අවශ්‍යතාව දකින්නෝ අතිශය විරල ය.

ස්වාධීන රාජ්‍ය ව්‍යුහයක් නැති තැන, දේවල් සිදුවන්නේ, යෝධ අඩමානයක් ජනිත කෙරෙන පරිදි, හිතුමතේට ය. එවිට සියල්ල රැුඳෙන්නේ, දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ මතිමතාන්තර මතයි. වෘත්තීය අවස්ථා සහ උසස් වීම්, පුද්ගලයෙකුගේ කුසලතා මත සිදු කෙරෙතොත් ඒ ඉතා කලාතුරකිනි. නිතරම ඒවාට ද පදනම් වන්නේ දේශපාලන නායකයන්ගේ න්‍යාය පත‍්‍රයන් ය. ආයෝජයකයන් සහ ව්‍යාපාරිකයන් පමණක් නොව, සාමාන්‍ය පුරවැසියන් පවා, එම යථාර්ථයට තමන්ගේ ජීවිත සහ වෙනත් සකල සැලසුම් හැඩගස්වා ගත යුතුව තිබේ.

දෙකෝටියක් ශ‍්‍රී ලාංකිකයන්ට අද වන විට, ඇමරිකානු ඩොලර් බිලියන 50-60 අතර වන අගයකින් යුත් ආර්ථිකයක් ගොඩනැගීමට හැකි වී තිබේ. සිය සුරතල් සතුන්ගේ ආහාර සඳහා ගිය වසරේ ඇමරිකානුවන් වැය කළ මුදල ඩොලර් බිලියන 60ක් යැයි ගණන් බලා තිබේ. තමන්ගේ බල්ලන් සහ බළලූන්ට හොඳට කන්න බොන්න දීම පැත්තකින් තිබ්බත්, තමන්ගේ දේශීය ආදායම් සේවාව වැනි අංශ රටේ කාටත් එක සමානව ක‍්‍රියාත්මක වන බවට ඔවුන් තුළ ඇති හැඟීම ඔවුන්ට සහනයකි.

ශ‍්‍රී ලංකාවේ ජනතාව එවැනි සහනයකට නුසුදුස්සෝ ද?

*2013 මැයි 30 වැනි දා පළවූ American IRS And The Sri Lankan Experience නැමති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page