Colombo Telegraph

ප‍්‍රතිවිපාක මොනවා වෙතත්, හෘද සාක්ෂියට ඉඩ දෙන්න

රොබට් ජේ. බරෝස් –

නිසියාකාරයෙන් වැඩ නොකරන යමක් අළුත්වැඩියා කිරීමට නිසියාකර පියවර ගත යුතු නම්, ප‍්‍රශ්නයේ ස්වභාවය නිසියාකාරව තේරුම්ගත යුතුව තිබේ. පැහැදිළිවම, රෝග විනිශ්චය වැරදි නම්, දෙන ප‍්‍රතිකාරය සාර්ථක වීමට ඉඩක් නැත. සුදුසු විසඳුමක් සොයා ගැනීමට මත්තෙන් ප‍්‍රශ්නය නිවැරදිව තේරුම් ගැනීමේ අවශ්‍යතාව, යාන්ත‍්‍රික කාරණයක දී වේවා, විද්‍යාත්මක කාරණයක දි වේවා, සෞඛ්‍ය හෝ පරිසරයට අදාළ කාරණයක දී වේවා, මිනිස් සම්බන්ධතාවන්ට අදාළ ගැටුම් නිරාකරණයක දී වේවා, එක සේ අදාළ ය.

ප‍්‍රශ්නයක් හෝ ගැටුමක් නිවැරදිව වටහාගෙන විසඳුමක් සෙවීමට ප‍්‍රධාන බාධකයක් වශයෙන් පවතින්නේ, සත්‍යය දැන ගැනීමට අප තුළ පවතින බියයි. ප‍්‍රශ්න සහ ගැටුම් සම්බන්ධයෙන් අප වැඩි කාලයක් ගතකරන්නේ, එම ප‍්‍රශ්නයේ හේතු කාරකයන් සම්බන්ධයෙන් අපවම මුළා කරගැනීමටයි.

උදාහරණයක් වශයෙන්, අප බොහෝ දෙනෙකු, පහත සඳහන් එක ක‍්‍රමයකින් හෝ ක‍්‍රම ගණනාවකින් ලොල් වන්නේ, බලහත්කාරය පාවිච්චි කිරීමටයි: අපේ දරුවන් ‘විනයගත’ කිරීම සඳහා හිංසනය පාවිච්චි කිරීමේ අයිතිය තබා ගැනීමට අප කැමැති ය. අපේ සෞඛ්‍ය පිරිහීමට හේතුව, සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම නිසා යැයි පිළිගැනීමට, එම ආහාර කෙරෙහි ඇති ආශාව නිසා, අපි මැළි කරමු. ඕනෑවට වඩා දේවල් පරිභෝජනය කිරීමට කැමැත්තක් දක්වන අපි, ස්වභාව ධර්මය විනාශ වෙමින් පැවතීම සහ අපේ පරිභෝජන පුරුදු අතර සම්බන්ධයක් ඇතැ යි පිළිගැනීම මගහරිමු. දේශගුණික විපත් වර්ධනය වීම අපේ චර්යාවන් මගින් තීව‍්‍ර කෙරෙති යි පිළිගැනීමට අපි පසුබට වෙමු. අප‍්‍රිකාවේ, ආසියාවේ සහ මධ්‍යම/දකුණ ඇමරිකාවේ, සාධාරණ වැටුප් නොගෙවමින්, සෞඛ්‍ය සහ ආරක්ෂණ පහසුකම් නොසපයමින්, මිනිස් අයිතීන් සහ පරිසර ආරක්ෂාව ගැන නොතකමින්, කම්කරුවන් (සමහර විට දරුවන්ද) සූරාකෑමෙන් නිපදවෙන ලාබ භාණ්ඩ මිළදී ගැනීමට අපි මැලි නොවෙමු. අපේ ගැටුම්වලට සහ ප‍්‍රශ්න ගැන අපි අනිත් අය දෙසට ඇඟිල්ල දිගු කිරීමට කැමැත්තක් දක්වමු. කොටින්ම, අප ගැනම දේවල් හෙලිවෙති යි බියෙන්, කණ්නාඩියෙක් ඉදිරියට ගොස් අපි දෙස බැලීමට අපි කැමැත්තක් නොදක්වමු.

කිසියම් ප‍්‍රශ්නයක් හෝ ගැටුමක් සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් පරිද්දෙන් යොමු වීමට, සියල්ලට මත්තෙන්, සත්‍යය පිළිගැනීමට, අප ගැනම වන සත්‍යයන් පවා පිළිගැනීමට, අපට ධෛර්යයක් තිබිය යුතුය. එය එතරම් දුෂ්කර කටයුත්තක් වන්නේ ඇයි? සත්‍යය ගැන අප එතරම් බිය වන්නේ ඇයි?

අපේ වෙනත් සෑම බියක් වාගේම, ප‍්‍රශ්නයක් තේරුම් ගැනීමට අපට නොහැකි වෙතැ යි හෝ ප‍්‍රශ්නයක් විසඳීමට අප අසමත් වෙතැ යි යන බියත්, අපේ ළමා කාලයේ අත්දැකීම්වලට සම්බන්ධ ය. එසේ වෙතත්, විවිධ සන්දර්භයන් ඔස්සේ සත්‍යය දැන ගැනීමේ ශක්‍යතා විශාල පරාසයක්, පරිණාම ක‍්‍රියාවලිය තුළ සෑම මනුෂ්‍යයෙකුටම දායාද කෙරී ඇත. ඒ මගින්, ඇසීම, දැකීම, ආඝ‍්‍රාණය සහ ස්පර්ශය වැනි ඉන්ද්‍රිය සංජානනයන් හරහා බාහිර ලෝකය පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීමට මග පාදනු ලැබේ: පිපාසය, බඩගින්න, ඔක්කාරය, කරකැවිල්ල සහ වෙනත් කායික වේදනාවන් හරහා අපේ ශරීරයේ තත්වයත්, ඊට අවශ්‍ය කරන දේවල් පිළිබඳවත් නිවැරදි තොරතුරු සපයනු ලැබේ. තොරතුරු ගබඩා කර ගැනීමට සහ අතීත අත්දැකීම්වලින් පාඩම් උගෙනීමට, මතකය පිටිවහල් වෙයි. බොරු හඳුනා ගැනීමට සහ වැරදි තොරතුරු හඳුනා ගැනීමට ‘සත්‍ය තෝම්බුවක්’ තිබේ. සවන්දීමට යෝග්‍ය වන සහ සමස්තයක් වශයෙන් ජීවිතයේ ‘විශාල චිත‍්‍රය’ සමග සහජීවනය කෙරෙන ‘ඉවක්’ අපට තිබේ. පවතින සමාජ සම්මතයන්ට හෝ අසාධාරණ නීතිරීතිවලට එරෙහිව නැගී සිටීම වැනි දුෂ්කර සදාචාර විනිශ්චයන්ට එළැඹීමට සහ ඒ ඔස්සේ කටයුතු කිරීමට පොළඹවන හෘද සාක්ෂියක් අපට තිබේ. බිය, සතුට, භාවමය වේදනාව, ප‍්‍රමෝදය, කෝපය, තෘප්තිය, ශෝකය සහ ලිංගිකාශා වැනි තවත් බොහොමයක් හැඟීම් හරහා, දෙන ලද තත්වයන් යටතේ අපට සිදුවෙමන් ඇත්තේ කුමක් දැ යි, අපට අඟවයි. එයම, එම තත්වයන්ට අනුරූපව හැසිරීමට, නිවැරදි අවස්ථාවේ දී, අපට ශක්තිය සපයයි. අවසාන වශයෙන්, ඒවා තුළින් මෙන්ම, ලිඛිතමය වෙනත් මූලාශ‍්‍රයන්ගෙන් ද තොරතුරු ලබා ගැනීමට, ඒවා විශ්ලේෂණය කිරීමට සහ ඒවායේ වටිනාකම් විනිශ්චය කිරීමට අවශ්‍ය ධීශක්තිය අපට තිබේ.

කෙසේ වෙතත්, ඛේදවාචකය වන්නේ, ඒ ජානමය ශක්‍යතාවන්හි වර්ධනයට බරපතල බාධා පැමිණවීමට පමණක් නොව, සමහර විට එය විනාශ කිරීමට පවා, නූතන සමාජායනය හේතුකාරක වීමයි. ඒ, අපේ ළමා කාලය මුළුල්ලේම, ‘සහමුලින් අදෘෂ්‍යමාන’ බලහත්කාරය අප මත පැටවීමෙනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අප සෑම කෙනෙකුම, ශිෂ්‍යයා, සේවකයා, සොල්දාදුවා, පුරවැසියා ආදී වශයෙන් වන, ‘සමාජමය ගොඩනැංවීමක මායාමය අනන්‍යතාවක්’ බවට පත්වෙයි. එය, පරිණාමයෙන් අපේක්ෂිත බලගතු පුද්ගලයෙකු වෙනුවට බිහි කරනු ලබන්නේ, සමාජය විසින් මෙහෙයවනු ලබන සහ සමාජ බලාත්කාරයට යටත් කරනු ලබන පුද්ගලයෙකි.

අපෙන් බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් මේ බලාත්කාරයේ එක් විපාකයක් වන්නේ, අප ගැන විශ්වාසය තැබීමට අප ඉගෙන නොගැනීමත්, ඉහත කී ඉව හරහා අභ්‍යන්තරිකව සන්නිවේදනය කෙරෙන සත්‍යයට අප බිය වීමත් ය. එහි ප‍්‍රතිඵලය වන්නේ, සමාජ අනුදැක්මෙන් පිටස්තර කිසිවකට උර දීමට අප අපොහොසත් වීමයි.

මීට ප‍්‍රතිපක්ෂව, සත්‍යය හඳුනන ශක්තිමත් පුද්ගලයෝ, ආවාට ගියාට අවනත නොවෙති. එවැන්නෝ තමන්ගේ ‘ඇතුළු හදවත’ කෙරෙහි විශ්වාසය තබති. මහත්මා ගාන්ධි කීවා සේ: ‘‘ප‍්‍රතිවිපාක මොනවා වෙතත්, හෘද සාක්ෂියට ඉඩ දෙන්න.’’

අප මුහුණදෙන සමහර ප‍්‍රශ්න, ජයගත නොහැකි තරමට දැවැන්ත යැයි අප බියට පත්වුවත්, ඒවාට විසඳුම් නැතැ යි අපේ බිය විසින් අපට දන්වා සිටියත්, සත්තකින්ම අපේ සෑම ප‍්‍රශ්නයකටම පාහේ බුද්ධිමත් වූත්, තිරසාර වූත් විසඳුම් ඇත්තේය. ඒ සඳහා අපේම චර්යාවන් වෙනස් කරගත යුතුව තිබෙන අතර, ඒ වෙනස්කම් බොහොමයක් ඉතා පහසුවෙන් අත්කරගත හැකි දේවල් ය. හැබෑවටම ශක්තිමත්, බලවත් පුද්ගලයන් අනුන්ට ද නිදර්ශන සපයන වෙනස්කම් ඇති කිරීමෙහි සමත් වන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, අනිත් අය නායකත්වය ගන්නා තෙක් අප බලා සිටියොත් හෝ අප වෙනුවෙන් කටයුතු කරන්නැ යි හැම දාමත් වෙනත් අයගෙන් අප ඉල්ලා සිටියොත්, එම අත්දැකීම මගින් අපව බලගැන්වෙන්නේ නැත. එයින් තවත් ශක්තිමත් කෙරෙන්නේ, ප‍්‍රශ්න ජයගත නොහැකි බවට අප තුළ ඇති භීතියයි. ඒ සියල්ලේ සාරාර්ථය මෙසේය: තවමත් ඔබේ ඇතුළු හඬ ඔබට ඇසේ ද? ඔබත්, මහත්මා ගාන්ධි මෙන්, ‘ප‍්‍රතිවිපාක මොනවා වෙතත්’ ඒ ඇතුළු හඬ පවසන විධානයන් අනුව ක‍්‍රියාත්මක වීමට තරම් ධෛර්යමත් ද?

*‘යුරේසියා රිවීව්, අනුග‍්‍රහයෙන්, 2014 පෙබරවාරි 22 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Following the Inner Voice Whatever the Consequences නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page