Colombo Telegraph

පොදුරාජ්‍ය මණ්ඩලීය ප‍්‍රඥප්තිය මානව හිමිකම් සහ ශ‍්‍රී ලංකාව

රොනල්ඞ් සැන්ඩර්ස්

ශී‍්‍රමත් රොනල්ඞ් සැන්ඩර්ස්

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට තෝරා ගැනීමේදී වැඩියත්ම සැලකිල්ලට ගැනෙන්නේ, සමස්තයක් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ යහපත එම රට මගින් ඉටු වන්නේය යන විශ්වාසයයි.

සැළකිල්ලට ගනු ලබන එක් හේතුවක් එය නම්, තම රටේ මෙම සමුළුව පැවැත්වීමෙන් මේ වන විටමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් විය යුතුව තිබුණි. මේ දක්වා ඔහු එසේ කර නැත. රටක් වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයන් සහ නීතියේ ආධිපත්‍යය නොතකා හැරීම් පිළිබඳ බරපතල විවාදයන්ට තුඩුදී තිබියදී පවා මෙම සමුළුව සිය රටේ පැවැත්විය යුතු බව ඔහු තරයේ කියා සිටී.

මේ දැඩි මතයේ එල්බ සිටීමෙන් ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කරන්නේ, ඒ මගින් යම් කීර්තියක් සහ ගෞරවනීයත්වයක් තමාට අත්කර ගැනීමටත්, ඉදිරි වසර දෙකක කාලය තුළ එහි සභාපතිත්වය දැරීමට ඇති සිය ආශාව ප‍්‍රදර්ශනය කිරීමත් පමණි. ශ‍්‍රී ලංකා රජයේ මේ පටු අපේක්ෂාව, පොදුරාජ්‍ය මණ්ඩලයට හානියකි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ සෑම සාමාජික රටක්ම= විශේෂයෙන් කුඩා සහ දුර්වල රටවල්= පොදුරාජ්‍ය මණ්ඩලය විශ්වාසය තැබිය හැකි බලවත් සංවිධානයක් වනු දැකීමට කැමැත්තේය. ස්වකීය සාරධර්ම වෙනුවෙන් නැගී නොසිටීමෙන් හෑල්ලූවට ලක්වූ පොදුරාජ්‍ය මණ්ඩලයකට, සිය සාමාජික රටවල අභිවෘද්ධිය සඳහා සක‍්‍රීය ආකාරයෙන් මැදිහත් වීමට තරම් ප්‍රෞඨ සදාචාරමය බලයක් ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ හිමි නොවන්නේය.

ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනීතික යැයි තීන්දු කළ ක‍්‍රියාවලියක් හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එරටේ අගවිනිසුරුවරියව ධුරයෙන් පහකිරීම සහ එසේ කිරීමෙන් පසු තමාගේ හිටපු නීතිපතිවරයාව එම තනතුරට පත්කරනු ලැබීම ‘බරපතල’ ය. මෙය, මාධ්‍යවේදීන් සහ රටේ වෙසෙන වෙනත් කණ්ඩායම්වල අයිතීන් ‘නිරන්තර’ අපහරණයට ලක්කරනු ලබන වෙනත් සාක්ෂි අතරට ගැනෙන තවත් සිද්ධියකි.

යුද්ධය අවසාන කාලයේ දී දෙමළ සිවිල් වැසියන් දසදහස් ගණනින් ඝාතනය වීමේ සිදුවීම් අරභයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටි ස්වාධීන පරීක්ෂණ ලංකා ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමේ පසුබිම යටතේ මේවා පෙළගැසෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ සත්කාරක රට වීමට මේ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවට ඇති නුසුදුසුකම, එම සංවිධානයේ නායිකාව වශයෙන් මාර්තු 11 වැනිදා එලිසබෙත් මහරැුජිණ අත්සන් කළ පොදුරාජ්‍ය මණ්ඩලීය ප‍්‍රඥප්තිය තුළින් වඩාත් පැහැදිළි කරයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 54 න් 53 ක් මේ ප‍්‍රඥප්තිය පිළිගත්තේය. 54 වැනි සාමාජික රට වන ෆීජි ¥පත් රාජ්‍යය, 2006 දී එරටේ හමුදාව බලය පැහැරගෙන තිබීම හේතුවෙන්, පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වයෙන් තහනම් කරනු ලැබ සිටී.

මේ ප‍්‍රඥප්තිය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රතිසංස්කරණ අරභයා විද්වත් කණ්ඩායමක මැදිහත් වීමෙන් ඉදිරිපත් කළ වැදගත් නිර්දේශවලින් එකකි. මා එම විද්වත් කණ්ඩායමේ එක් සාමාජිකයෙකු විය. 2011 ඔක්තෝබර් මස ඔස්ටේ‍්‍රලියාවේදී පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී මේ ප‍්‍රඥප්තිය සෑම රාජ්‍ය නායකයෙකු විසින්ම පිළිගන්නා ලදි.

ප‍්‍රඥප්තියේ එක් වැදගත් වගන්තියක මෙසේ කියැවෙයි: ‘සියලූ දෙනා වෙනුවෙන් වන සාමකාමි, සාධාරණ සහ ස්ථාවර සමාජයක අඩිතාලම් සඳහා කිසිම හේතුවක් මත කිසිවෙකුට වෙනස්කම් නොකෙරෙන පරිද්දෙන්, සංවර්ධනය සඳහා වන අයිතිය ඇතුළුව දේශපාලනික, ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප‍්‍රවර්ධනය සඳහා අවශ්‍ය කෙරෙන සමානාත්මතාව සහ ගෞරවය වෙනුවෙන් අපි ඇපකැප වෙමු.’ එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය බොහෝ රටවල්, ජාත්‍යන්තර නීතිඥ සහ අධිකරණ සංවිධාන ගණනාවක් ඉල්ලා ඇති එකී කැපවීම ශ‍්‍රී ලංකා ආණ්ඩුව ක‍්‍රියාවෙන් පෙන්නුම් නොකරන්නේ නම්, පොදුරාජ්‍ය මණඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට ශ‍්‍රී ලංකාව නුසුදුස්සෙකු වන්නේය. එසේ පැවැත්වෙන සමුළුවකට වෙනත් රාජ්‍ය නායකයන් සහභාගී වීම, රාජපක්ෂ ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය අනුමත කිරීමෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රතිපත්තිවලට කැලැල් කළා වන්නේය.

සාමාජික රාජ්‍යයක් මගින් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාරධර්ම සහ මූලික ප‍්‍රතිපදා උල්ලංඝනය කිරීමේ ප‍්‍රශ්න ඇති වූ පළමු අවස්ථාව මෙය නොවේ. බරපතල ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝණය කරමින්, මිනිස් ජීවිතයේ උත්තරීතර භාවය එක දිගටම කෙලසූ උගන්ඩාවේ ඉඩි අමීන්ගේ කෲර පාලනය සම්බන්ධයෙන් 1977 දී එවැනි ප‍්‍රශ්න පැනනැගුණි.

එවක පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් වූ ශ‍්‍රීදත් රම්පාල් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ට මෙසේ කීවේය: ‘වෙනත් රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ දීර්ඝ සහ අත්‍යාවශ්‍ය සම්ප‍්‍රදායක්, ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ මෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලය තුළත් පැවත විත් ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් හැම විටම සර්ව සම්පූර්ණ විය නොහැක. (එවැනි රටක් තිබිය හැක්කේ කොහේද?* අප ඉහත කී සම්ප‍්‍රදායට අනුගත නොවන්නේ නම්, එකිනෙකාගේ ගුණදොස් සොයමින්, දෝෂාරෝපණය කරමින් සිටීම හැරුණු කොට වෙන දෙයකට අවකාශයක් පොදුරාජ්‍ය මණ්ඩලයට නොලැබෙනු ඇත. වරදක් අනවශ්‍ය ආකාරයෙන් හුවාදැක්වීම සහ වරදක් ඉදිරියේ මුළුමණින් මුනිවත රැුකීම අතර සුපැහැදිළි දේශපාලන විනිශ්චයකට පැමිණීම ඇතැම් විට දුෂ්කර විය හැක. එහෙත් එවැනි විනිශ්චයකට පැමිණීමෙන් වැළැකිය යුතු හෝ වැළැකිය හැකි යැයි විශ්වාස කිරීම මුළුමණින් දෝෂ සහගත ය. පොදුරාජ්‍ය මණ්ඩලයේ කටයුතුවලදී, එක සාමාජික රටක හැසිරීමක්, අනිත් සාමාජික රටවල නිශ්ශබ්දතාව දෙදරවා හරිමින් එම රටවල බලවත් කෝපය ඇවිස්සීමට හේතුවන අවස්ථා තිබේ… සීමාව කොතැන ද යන්න නිශ්චිතව කිව නොහැකි වෙතත්, එම සීමාව පැන්න තැන, එය හඳුනාගැනීමට බැරි කමක් නැත.’

උගන්ඩාවේ දී එම සීමාව පැන්නේය. 1977 වසරේ පැවත්වූ ඔවුන්ගේ සමුළුවේ දී, ‘ඉඩි අමීන්ගේ අත්තනෝමතික ක‍්‍රියා කෙතරම් දරුණු ද යත්, ලෝක ජනමතයත්, රාජ්‍ය නායකයනුත් එය කොන්දේසි විරහිතව හෙළාදැකිය යුතුව ඇති බව’ පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයෝ එදා කියා සිටියහ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රකාශිත සාරධර්ම උල්ලංඝණය කළ අවස්ථාවක දී ඒ ගැන සොයා බැලීම සඳහා වන පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යසාධක අමාත්‍ය කණ්ඩායම කියා දෙයක්, අද මෙන්, ඒ දවස්වල තිබුණේ නැත. එසේ වෙතත්, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයෝම එදා ඉඩි අමීන්ගේ ක‍්‍රියාකලාපය භාරගත නොහැකි බව ප‍්‍රසිද්ධියේ කියා සිටියෝය. ඒ ආකාරයෙන්ම, ඉයන් ස්මිත්ගේ සුළුතර දකුණු රොඬේෂියානු (පසුව සිම්බාබ්වේ* ආණ්ඩුවත්, දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදී පාලනයත් ඔවුහූ හෙලාදැක්කෝය.

පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යසාධක අමාත්‍ය කණ්ඩායම මගින් පසු කලෙක වෙනත් සාමාජික රටවල්= ෆීජි, නයිජීරියා, සිම්බාබ්වේ, පාකිස්ථානය= පොදුරාජ්‍ය මණ්ඩලීය සාරධර්ම උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඔවුන්ගේ සාමාජිකත්වය තහනම් කළ ආකාරයෙන්ම දැන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එයම කළ යුතුව තිබේ. එසේ නොවුණහොත්, අළුතෙන් සම්මත කරගත් පොදුරාජ්‍ය මණඩලීය ප‍්‍රඥප්තිය එය ලියූ කඩදාසියටවත් තරම් නොවන හිස් වචන ගොඩක් පමණක් වනු ඇත.

එකඟ වූ ප‍්‍රතිපත්ති සහ වටිනාකම් සත්කාරක රටක් මගින් උල්ලංඝණය කළ අවස්ථාවක දී පොදුරාජ්‍ය මණ්ඩලීය රැුස්වීමක් එම රටෙන් වෙනත් රටකට මාරු කළ පූර්වාදර්ශ ද තිබේ. වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාව සමග ක‍්‍රීඩා තරග නොකිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 1977 දී අත්සන් කරන ලද ගිවිසුමක්, නවසීලන්ත අගමැති රොබට් මල්ඩූන් 1981 දී කඩකරමින් දකුණු අප‍්‍රිකාවේ රග්බි කණ්ඩායමකට නවසීලන්තයට පැමිණීමට ඉඩ හැරීම පිළිබඳ සිය අප‍්‍රසාදය පළකරනු වස්, එම වසරේ නවසීලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදුරාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ රැුස්වීම, බහමා දේශයට මාරු කරන ලදි.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම ශ‍්‍රී ලංකා රජය අත්හල යුතුව තිබේ. නැතහොත්, අනිත් රටවල් ඊට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කළ යුතුව තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලය ශක්තිමත් කිරීමටත්, එහි අධිකාරය වැඩි දියුණු කිරීමටත් හේතුවන්නේ එසේ වුවහොත් ය. කොහෙත්ම එය, ශ‍්‍රී ලංකාවේ නම් පැවැත්විය යුතු නැත.

2013 මාර්තු 14 වැනි දා ‘හටින්ටන්නිව්ස්’ වෙබ් අඩවියේ පළවූ The Commonwealth Charter, Human Rights And Sri Lanka” ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page