Colombo Telegraph

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතියට අදාළ අනාගත දැක්ම වන්නේ, රහස්‍ය භාවයේ සංස්කෘතිය අවසන් කිරීමයි

ඓතිහාසික සංසිද්ධියක් විය හැකි ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත’, 69 වැනි නිදහස් දිනයේ උදාවත් සමගම රට පුරා වෙසෙන සියලූ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට නියමිතයි. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය කරන ඕනෑම තොරතුරක් ඕනෑම රාජ්‍ය ආයතනයකින් ඉල්ලා සිටීමටත්, පිළිතුරු ලබා ගැනීමටත් අද පටන් බලය තිබේ. එවැනි ඉල්ලීමක් ඉදිරියේ නිශ්ශබ්දව සිටීමට, පෙරදී මෙන් මින් පසුව බලධාරීන්ට හැකි වන්නේ නැත. මන්ද යත්, එසේ නිශ්ශබ්දව සිටීමත් මේ නීතිය යටතේ නීති විරෝධී බැවිනි.

මේ තත්වය තුළ, රාජ්‍ය සේවයේ බලධාරීන් ඉදිරියේ තේරීම් දෙකක් තිබේ. එක්කෝ, ඉල්ලන තොරතුර ඔවුන් සැපයිය යුතුය. නැතහොත් ප‍්‍රතික්ෂේප කළ යුතුය. එසේ ප‍්‍රතික්ෂේප කරනු ලැබූ අවස්ථාවකදී ස්වකීය ඉල්ලීම, ස්වාධීන ‘තොරතුරු දැන ගැනීමේ කොමිසම’ වෙත ඉදිරිපත් කිරීමට පුරවැසියන්ට අයිතිය තිබේ. ගිය වසර අවසානයේ සිට මේ කොමිසම ක‍්‍රියාත්මකයි. වාර්තා වන අන්දමට, මෙම කොමිසම අදාළ පනත යටතේ ගැනෙන රීති සහ රෙගුලාසි බලගන්වනු වස්, ගැසට් මගින් ඒවා ප‍්‍රකාශයට පත්කිරීම සඳහා යවා තිබේ.

මීට පෙර 2004 දී ඉදිරිපත් කෙරුණු ‘තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ කෙටුම්පත’ දේශපාලඥයන් විසින් කුණු කූඩයට වීසි නොකෙළේ නම්, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ නීතිය ඉන්දියාවටත් කලින් ලංකාවේ ක‍්‍රියාත්මක වීමට ඉඩ තිබුණි. එසේ විණි නම්, පසුගිය කාලයේ සිදු වූවා සේ මහ දවල් මහජන දේපල කොල්ලකෑමට දේශපාලඥයන්ට අවස්ථාව නොලැබෙන්ටත් ඉඩ තිබුණි. ඒ සියලූ පසුබෑම් තිබියේ වී නමුත් දැන් අපට තොරතුරු දැන ගැනීමේ අයිතිය ලැබී තිබේ. එය විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ව්‍යාපාරයේ ආඩම්බරයට හේතුවන ජයග‍්‍රහණයකි. මන්ද යත්, 2004 කැබිනට් අනුමැතිය ලත් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කෙටුම්පත පසුපස රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය කතුවරුන් සිටියා සේම, ගිය වසරේ සම්මත කර ගත් මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කාරණයේදීත් ඔවුන් සක‍්‍රීයව ඊට සහභාගී වූ බැවිනි. එය බරපතල ව්‍යායාමයක ප‍්‍රතිඵලයකි. එබැවින් එය සැහැල්ලූවෙන් ගත යුතු දෙයක් නොවේ.

තොරතුරු සැපයීමේ වගකීම රාජ්‍ය ආයතනවලට පමණක් නොව, රාජ්‍ය ආයතන සමග කටයුතු කරන පෞද්ගලික ආයතනවලට සේම, අධිකරණය සහ රාජ්‍ය නොවන සංවිධානවලටද පැවරෙයි. මේ ‘තොරතුරු දැන ගැනීමේ’ නීතිය යටතේම, තොරතුරු සැපයීම ප‍්‍රතික්ෂේප කළ හැකි ඇතැම් ව්‍යතිරේක සඳහන් වෙතත්, පොදු අභිවෘද්ධිය පිළිබඳ කාරණයකදී, එසේ වාරණය කෙරෙන තොරතුරුද සැපයීමට බලධාරීහූ බැඳී සිටිති. මීට කලින් ශ‍්‍රී ලංකාවේ නීති කොමිසම මගින් කෙටුම්පත් කරන ලද ‘තොරතුරු දැන ගැනීමේ පනත’ තුළ මෙතරම් පුළුල් පරාසයක් නොතිබුණි. මෙවර සම්මත කරගෙන ඇති තොරතුරු දැන ගැනීමේ නීතිය කෙටුම්පත් කිරීමේදී ඉස්සරට වඩා විදග්ධ භාවයක් පෙන්නුම් කොට ඇති බව පෙනේ.

පොදු අභිවෘද්ධිය යනු කුමක්ද සහ එය සහ වෙනත් තොරතුරු වෙන් කොට හඳුනා ගැනීමේදී තුලනයක් ඇති කරගන්නේ කෙසේද යන්නත් බොහෝ කොට තීන්දු වනු ඇත්තේ ‘තොරතුරු දැන ගැනීමේ කොමිසම’ තම බල ප‍්‍රදේශය තුළ එය නිර්වචනය කරන ආකාරයත්, අවසාන අභියාචනය රැුගෙන යන අධිකරණය විසින් එය නිර්වචනය කරනු ලබන ආකාරයත් අනුව ය. මේ සෑම අවස්ථාවකදීම, හුදෙක් තවත් එක් නීතියක් පමණක් බවට පත්නොවී, අර්ථවත් මෙවලමක් වශයෙන් මෙම අයිතිය භාවිත කිරීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම සැපයිය යුතුව තිබේ. එසේම, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම’ ශක්තිමත් කළ යුතුව තිබේ.

ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්මත කර ගත් මුල් කාලයේ ඒ සම්බන්ධයෙන් පෙරමුණ ගත්තේ එරට තොරතුරු දැන ගැනීමේ කොමිසමයි. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමිතීන් ස්ථාපිත කොට, ඒ අනුසාරයෙන් ඉන්දියානු නීතිය අර්ථකථනය කෙළේද කොමිසමයි. ඒ කාර්යයේදී මාධ්‍යත්, ජනතාවත් ඊට සහයෝගය දුන්හ. ඉන්දියාවේ නිලධාරී තන්ත‍්‍රයටත්, දේශපාලඥයන්ටත් අකමැත්තෙන් මුත් ඊට අවනත වීමට සිදු විය. මේ අරගලයේදී තොරතුරු දැන ගැනීමේ ව්‍යාපාරයේ සිටි ඇතැම් ක‍්‍රියාකාරිකයෝ ඝාතනය වූහ. තොරතුරු දැන ගැනීමේ කොමිසමේ මුලින් සිටි කොමසාරිස්වරුන් තුළ තිබූ තරමේ ප‍්‍රබල ආවේශයක්, වර්තමාන කොමසාරිස්වරුන් තුළින් දැක ගත නොහැකි වෙතත්, ඉහත කී කැපවීම තවමත් නොසිඳී පවතී.

ශ‍්‍රී ලංකාවේ අපි හොඳ ආරම්භයකට මුලපුරා ඇත්තෙමු. අපේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතිය ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති අතර, ඒ ආශ‍්‍රිත ජගත් සූචිකරණය තුළ ඊට ප‍්‍රමුඛත්වයක් ලැබී තිබේ. එහෙත් කොමිසමට අවශ්‍ය කරන ප‍්‍රමාණවත් මූල්‍ය සම්පත් සැපයීමට ආණ්ඩුව අපොහොසත් වෙතොත් හෝ මූල්‍ය ආධාර කෙරෙහි ආණ්ඩුව මත යැපෙන්ට කොමිසමට සිදුවීම තුළ එය පාලනය කිරීමට ආණ්ඩුව පෙළඹුණොත්, ඉහත කී සාර්ථකත්වයෙන් ඵල නෙලා ගැනීමට නොහැකි වනු ඇත.

මෑතකදී පළවූ ප‍්‍රවෘත්ති වාර්තාවලට අනුව, කොමිසම සඳහා වන වැය ශීර්ෂය ජනාධිපති කාර්යාලය යටතට ගෙන තිබේ. එය ඇත්තක් නම්, එය තාවකාලික පියවරක් පමණක් වන බවට වගබලාගත යුතුව තිබේ. මෙම පනතේ කියැවෙන පරිදි, කොමිසමට මූල්‍යාධාර සැපයිය යුත්තේ, පාර්ලිමේන්තුවේ ඡුන්ද බලයෙන් අනුමත කෙරෙන ස්වාධීන මූල්‍ය ප‍්‍රතිපාදනයක් මගිනි. ඒ නෛතික කොන්දේසිය සපුරා පිළිපැදිය යුතුව තිබේ. මේ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට ලැබේදැ යි මුළු රටම බලා සිටිනු ඇත.

‘තොරතුරු දැන ගැනීමේ පනත’, මෙවර නිදහස් දිනයට කලින් දවසේ සිට ක‍්‍රියාත්මකයි. එය හුදු අහඹුවක් නොවේ. මේ දවසේදී රටේ වෙසෙන සාමාන්‍ය පිරිමින් සහ ගැහැනුන් මෙතෙක් හැම දාමත් අසා ඇති ඕලාරික කතාන්තරවලට වඩා මෙවර වෙනස් දෙයක්, අලුත් දෙයක් ඔවුන්ට අසන්ට ලැබී තිබේ. මෙතෙක් පැවති රහස්‍ය භාවයේ සංස්කෘතිය වෙනුවට, ඕනෑකමින්ම තොරතුරු සැපයීමේ සංස්කෘතියකට දැන් මාරු විය යුතුව ඇත. ඒ සඳහා ඉදිරියේදී කළ යුතු දුෂ්කර අරගල නැතුවා නොවේ. එහෙත් අලුත් සංස්කෘතියකට මාරු වීමේ අදහසට රටක් වශයෙනුත්, මාධ්‍ය ක්ෂේත්‍ර​ය වශයෙනුත්, දේශපාලඥයන් සහ පුරවැසියන් වශයෙනුත් අපට හුරු වීමට තිබේ.

*2017 ජනවාරි 3 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “RTI Law: The Vision is to End Culture of Secrecy” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page