Colombo Telegraph

“කව්ද මේ දේශප්‍රේමියා”

රසල් බණ්ඩාරවත්ත​ –

මේ රටේ පුද්ගල වන්දනාවේ යෙදෙන මිනිසුන්ගේ තවත් එක පිළිමයක් වශයෙන් ගෝටාභය රාජපක්ෂ ගේ නමද ඉහලින්ම දිස්වේ. මුහුණු පොත තුලද අප වැඩි වශයෙන් දකින්නේ සමාජයේම පැතිකඩකි. ජාතිය ගලවා ගැනීමට එන ” දියසෙන් කුමරු” ලෙස ඔහුගේ අනුගාමිකයින්, මිලිටරි සේවාවල ඔහුට හිතවත් පිරිස් විසින් රට පුරා ප්‍රචාරක රැල්ලක් ගෙනයනු ලබයි. එමෙන්ම මේ රටේ අනාත බව සනාත වූ දේශපාලුවන් ද, තවත් පක්ෂයක් සමග කේවල් කිරීමට අසමත් දේශපාලන පක්ෂද අද වන විට ගෝටා රජ කරවා ගෙන තම තමන්ගේ දේශපාලනය තහවුරු කිරීමටද සට කපට උත්සාහයක යෙදේ. මේ රටේ තිස්වසරක යුද්ධය නිමකල සෙන්පති ලෙසද මුදලට අකුරු කරන හොරිකඩයින් විසින් හඳුන්වා දෙනු ලැබුවේද ගෝටාය. සමාජයේ එක්තරා කොටසක් මහත් උත්කර්ෂයට නංවා කතා කරන ගෝටා යනු කවරෙක්ද ?

Gotabaya

මුලින්ම ගෝටා පිළිබඳව පොත් ලියමින් යුද්ධය ඔහුගේ අතින් නිමවූ විශ්ව කර්මයක් ලෙස සී. ඒ. ප්‍රේමචන්ද්‍ර ලා පෙන්වමින් වන්දිභට්ට සේවයේ නියැලුනේ අතමිට සරු කර ගන්නට බව තතු දත් අයට සැකයක් නැත. 1989 දී ප්‍රා මිනීමරු කල්ලි සමග එක්ව වැඩ කල​ සී. ඒ. ප්‍රේමචන්ද්‍ර ලාට එවැනි පොත් පත් දහසක් වුවද කාගේ හෝ රුපියල් ශත වලට ලිවිය හැක. නමුත් ඇත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස් භූමිකාවක් මේ රටේ යුද්ධය ඇවිලෙමින් තිබු යුගයේ දිස්විය. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, සරත් ෆොන්සේකා වැනි හමුදා නිලධාරීන් යාපනය කොටුව, මාන්කුලම්, වඩමාරච්චි වැනි සටන් බිම් වලදී ක්‍රියාන්විතයේ යෙදෙන විට ගෝටාස් වෝර් හි ප්‍රධාන චරිතයට පන පෙවූ පුද්ගලයා දිවි රැකගැනීමට ඇමෙරිකාවට රහසේම පලා ගියේය. නැවත ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර ගණනාවකට පසුව තම අයියන්ඩි ගේ ජනපති පදවි ප්‍රාප්තියෙන් පසුව පවුලේ සනුහරේට රටේ විවිධ තනතුරු රිසි සේ බෙදන අතරතුරේදීය.

මෙරට පාලකයන් හා උතුරේ ඉන්දීය රුකඩ ගෙන ගිය යුද්ධයේ අවසානය 2009 දී සටහන් විය. ඉන් පසුව යුද්ධයේ සැමරුම වෙනුවෙන් කේක් කපා ජය සතුට බෙදා ගැනීමේදී අද දවසේ යුධ වීරයා සේ බයිසන්වරු විසින් ඉහලින් ඔසවා තබන ගෝටාභයට නොව කේක් ගෙඩිය කැපීමට ආරාධනා කලේ සරත් ෆොන්සේකාටය. කෙසේ නමුත් මිනිමුතු යට යන විට ගොමරිටි මතු වන්නාක් සේ යුද්ධයේ ජයග්‍රහණයේ සියලු ඵල අය්යා මලෝ බෙදා ගෙන යෙහෙන් වැජඹුනේය. යුධ සමයේ පමණක් නොව යුද්ධයෙන් පසු කාලයේදීද ගෝටාභය ගේ තනතුර දෙවෙනි වුයේ මහින්ද රාජපක්ෂ ගේ සක්විති රජුගේ ජවනිකාවට පමණි.

නොතිබුණු කීර්තියක් බලෙන් ආරෝපණය කර ගැනීමට යාමේදී ගෝටා ගේ නම මෙරට මාධ්‍ය මෙන්ම දේශපාලන කරලියෙදීද පට්ටා ගසන්නට විය. රාජපක්ෂ කල්ලියේ දුරධාන්ත පාලනයට මෙන්ම ගෝටා ගේ හොරකම් , මැරකම්, මිනීමැරීම් පිළිබඳව දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ දිගින් දිගටම රටට කරුණු හෙළි කරමින් සිටියේය. ඔහුගේ පුර්ණ මැදිහත්වීමෙන් සිදු වූ මිග්යානා මිලදී ගැනීමෙන් කල ඩොලර් මිලියන ගණනක ගසා කෑම වාර්තා කල ලසන්ත වික්‍රමතුංග​ මරාදැමීය. එමෙන්ම කොන්ද කෙලින් තබාගෙන මාධ්‍යකරණයේ යෙදුනු උපාලි තෙන්නකෝන්, කීත් නොයාර්, පොද්දල ජයන්ත වැනි අය නොමරා මරා දැමුවේය. ඇවන්ගාඩ් සමාගම හරහා ඉපැයූ දැවැන්ත ධනස්කන්ධයට මෙන්ම එහි තිබු ආයුධ සංචිතයට සිදු වූ දෙයක් නැත. යුක්රේනයේ බෙදුම්වාදීන්ට තම මස්සිනා වූ උදයංග වීරතුංග සමග අවි සැපවූ බවට එකල වාර්තා විය. එම අවි කොටින්ගෙන් අත්පත් කරගත් ඒවාය​. ලලිත් -කුගන්- ප්‍රගීත් එක්නැලිගොඩ ට සිදු වූ දේ දන්නේ ඔහු වටා රොක් වී සිටි බුද්ධි අංශ හමුදා නිලධාරීන් පමණි. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රාජපක්ෂ කල්ලිය වෙනුවෙන් දුටු ගැමුණු රජුගේ කඩු සෙවීමට ගොස් කෝට්ටේ විහාරයක සාමනේර හිමිනමක් මරා දැමු පුද්ගලයා ලොවෙන් චුත කරලීමට දියත් වූ මෙහෙයුම අවසන් වුයේ තවත් රැඳවියන් 28 දෙනෙකු අමු අමුවේ ඝාතනය කරමිනි. එම චෝදනාවෙන් අද වන විට ගෝටාභය ගැලවෙන්නේ මෛත්‍රී ගේ අනුහසිනි. එමෙන්ම ඔහු තව අපුරු හෙළිදරව්වක් කරමින් රාජිත සේනාරත්න 1989 දී ප්‍රා නමැති මිනීමරු කල්ලියේ නායකයෙකු බවත් ඒ සමයේදී තමා මාතලේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා බව කොක් හඬලා සිනාසෙමෙන් මාධ්‍යට පවසා සිටියේය.

ආරක්ෂක ලේකම් තනතුර හොබවන විට මෙරට ආරක්ෂක හමුදා සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණයට නතු කළේය. තමන්ට හිතවත් පිරිස් පමණක් තරු පටි පළඳවා ඉහලට ගෙන ආ අතර, උතුරේ යුද්ධයේදී තීරණාත්මක වැඩ කොටසක් කල ජානක පෙරේරා වැන්නන්ට දී තිබු ආරක්ෂාව පවා ඉවත් කරනු ලැබුවේ ඔවුන්ගේ දේශපාලනයට එරෙහි වීමේ වරදටය අවසානයේ කොටි සංවිධානයේ පහසු බිල්ලක් බවට දේශප්‍රේමී රාජපක්ෂ රජයේ සිටි ජානක පෙරේරා පත් විය. තම බලය කෙතරම් ලොවට විදහා පෑවේද යන් ප්‍රදර්ශනය කල එක් සිදුවීමක් වුයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානාවක් තම නිවසට අවශ්‍ය සුරතල් බලු පැටියෙකු රැගෙන ඒමට ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරට යැවීමේ සිද්ධියයි. ෆෙඩ්රිකා ජෑන්ස්‌ මේ බව හෙළි කරන විට ඇයට රටින් පිටවී ජීවිතය ගලවා ගැනීමට සිදු විය. මේ රටේ ජනතාව සතු මුදල් මිලියන සිය ගණනින් යොදවා තම දෙමාපියන්ට සොහොන් කොත් බැඳීමට තරම් අවම ලජාවක් හෝ මේ මිනිසුන්ට නොතිබුණි.

ඉහත සඳහන් වැරදි ගණනාවකට එරෙහිව නීතිය හමුවට ගෙන ඒමට පමණටත් වඩා සාක්ෂ්‍ය හා කරුණු ගොනු වී ඇති මොහොතක, ගෝටාභය අත්අඩංගුවෙන් වැළකීමේ අණක් උසාවියෙන් ලබා දීමට සිරිසේන රනිල් ප්‍රමුඛ වත්මන් රජය අනගි සහයක් දෙනු ලැබීය. මේ වන විට ගෝටාභයගේ ගජ මිතුරා මෙන්ම එකම ගැලවුම්කාරයා බවට පත්ව සිටින්නේ එදා මැතිවරණයෙන් පරාජය වූවානම් රාජපක්ෂ සහෝදර සමාගම අතින් අඩි 6 ක් පොලොව යට සැතපීමට බලා සිටි සිරිසේනය. ගෝටාභය ගේ දේශපාලන වෙනුවෙන් අපුරු පිල් බෙදීමක්ද පොහොට්ටුව තුල බිහි විය. එහිදී ගෝටාභය කල්ලිය හා මහින්ද කල්ලිය වශයෙන් පැහැදිලි බෙදීමක් පිළිඹිබු කල අතර, වෙල්ගම, වාසු වැනි පුද්ගල චරිත හරහා දැඩි ගෝටාභය විරෝධයක් මතු කරනු ලැබුවේ එහි ප්‍රතිපලයක් ලෙසය. මේ වන විට ගෝටාභය ගේ ජනපති අපේක්ෂකත්වය වියත්මග තුලට හිර කිරීමට මහින්ද පියවර ගෙන ඇත. ඔහු වටා සිටින විමල්, ගම්මන්පිල, කමල් ගුණරත්න, නාලක ගොඩහේවා වැනි අන්ත ජාතිවාදීන් කිහිප දෙනෙකු හා මුහුණු පොතේ මුදල් ගෙවා පත්කර ඇති ඇඩ්මින් වරු කිහිප දෙනෙකු හැරෙන්නට ජනපති සටන මෙහෙය වීමට කෙනෙකු නැත. රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර බල අරගලය නිමා කරමින් මහින්ද විසින් ඉතා නුදුරේදීම ප්‍රබල තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන භුමිකාවේ තිරයෙන් පිටුපස සිදුවන කතිකාව තුල දිස්වේ. එය බොහෝ දුරට මහින්ද ගේ අනුප්‍රාප්තිකයා වන නාමල් ඉලක්ක කරගෙන සිදු විය හැක. එවිට ඉදිරි ජනපතිවරණයට සිරිසේන නම් කිරීමට අකමැත්තෙන් හෝ මහින්දට සිදුවන්නේ තමාගෙන් එම අපේක්ෂකත්වය ගෝටාභය වැනි පුද්ගලයෙකුට ගිලිහී යාම තුල තම සිහිනය බොඳ වෙන බව ඉඳුරාම දන්නා නිසාය. එවැනි තත්වයක් යටතේ කිසි සේත්ම ගෝටාභය පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වයට පත් නොවන බව ඉතා පැහැදිලිය.

Back to Home page