Colombo Telegraph

ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය බැංකුවල වගකීම

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

ජනාධිපති නියෝගයකින් මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරි බව නිවේදනය වී ඇත.

බොහෝ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල 2015 ජනවාරි 08 වෙනසින් පසුව පත් කරන ලද එ්වාය. සාමාන්‍යයෙන් මෙම පත්කිරීම් වසර 3 ක කාලයක් සඳහා වලංගුවන අතර අදාල අමාත්‍යංශ වෙනස්වීමේදී නව අමාත්‍යවරුන් එ්වායේ වෙනස්කම් සිදු කරනු ලැබේ. 2015 අගෝස්තු මාසයේදී මහා මැතිවරණයකින් පසුව ආණ්ඩු වෙනසක්ද සිදු විය. එහෙත් බොහෝ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල එ් අයුරින්ම තවදුරටත් පැවතුන අතර ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ එය එසේම විය.

අතරතුර කාලයේදී රටේ ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් වූ සිද්ධීන් හා අවස්ථා කීපයකටම ලංකා බැංකුවත් මහජන බැංකුවත් සම්බන්ධ විය. ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර අවුල පිළිබඳ ලංකා බැංකුවේ ප‍්‍රබල සම්බන්ධතාවයක් හෙලිදරව් විය. 2015 පළමු බැඳුම්කර මගඩිය සඳහා දැනට චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමට විනාඩි කීපයක් ඇතුලතදී ඉල්ලූම් කළ බිලියන 13.0 ක පහසුකමක් ලංකා බැංකුවේ භාණ්ඩාගාර අංශයෙන් සලසා දුන් බව හෙළිදරව් විය. දුරකථන පණිවිඩයකින් කරන ලද ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීමෙන් මහ බැංකුවේ ටෙන්ඩර් අංශයෙන් දුරකථන මගින් ටෙන්ඩර් වැසීමේ කාලය විනාඩි 10 කින් දීර්ඝ කරවා ගෙන පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගම වෙනුවෙන් ඉතා ඉහල පොලී අනුපාතයකට බැඳුම්කර ලංසුවක් ලංකා බැංකුව ඉදිරිපත් කළ බව ඔප්පු වී ඇත.

බැංකුව නමින් ලංසු තබා ඉතා අඩු මිලකට ලබාගත් බැඳුම්කර දින දෙකක් ඇතුලතදී ආන්තීය සුළු ලාභයක් යටතේ පර්පෙචුවල් ටෙ‍්‍රසරිස් සමාගමට ලංකා බැංකුව පවරා දුන් බවද හෙළිදරව් විය. මෙය රාජ්‍ය බැංකුවක් හැටියට බරපතල ප‍්‍රශ්නකාරී ලෙසින් කරන ලද ගණුදෙනුවක් බවට පෙනී ගිය නමුත් එම වගකීමට සරිලන ක‍්‍රියා මාර්ගයක් බැංකුව පාර්ශවයෙන් ගෙන ඇති බවක් වාර්තා වී නැත.

තවත් අවස්ථාවකදී 2016 මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවකට පෙර එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි රවී කරුණානාරයක මහතා ලබා දූන් උපදෙස් අනුව රාජ්‍ය බැංකු සභාපතිවරුන් හා විධායක නිලධාරීන් ලංසු ඉදිරිපත් කර ඇත. මෙයද මහ බැංකු බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසන් සභා විභාගයේදී හෙලිදරව්වූ කාරණයකි. දේශපාලන බලපෑම යටතේ විවිධ ණයදීම් හා සාමාන්‍ය ව්‍යාපාරික සුපරික්ෂාවන් ඉක්මවන හා අවදානම් සහිත මූල්‍ය පහසුකම් සැපයු අවස්ථා ගණනාවක් පිලිබඳව ලංකා බැංකුව වගකිව යුතුව ඇත.

මහජන බැංකුවේ තත්ත්වය මෙයට වඩා බරපතල අයුරින් අහිතකර ලෙස ක‍්‍රියාත්මකව ඇති බවට වාර්තා වේ. දිගින් දිගටම සාධාරණ හා යුක්තිසාධනයකින් තොරව අතිවිශාල ගෙවීම් කරමින් කොන්ත‍්‍රාත් සේවකයින් යොදා ගනිමින් විශාල මුදල් සම්භාරයක් මහජන බැංකුවට පාඩු කර ඇත. කොන්ත‍්‍රාත් සේවකයින් ප‍්‍රධාන බැංකු ධාරාවට අනිසි ලෙසින් අනුයුක්ත කරමින් විවිධ මාදිලියේ තනතුරු වල රාජකාරියේ යොදවමින් ඔවුනට හිඟ මුදල්, ප‍්‍රසාද දීමනා, විශේෂ දීමනා හා අමතර ප‍්‍රතිලාභ ඇතුලත් වන මුළු වටිනාකම වසරකට රුපියල් බිලියන කීපයක් ඉක්මවන වියදම් ප‍්‍රමාණයක් මහජන බැංකුව විසින් දිගටම සිදුකර ඇත.

මෙම කොන්ත‍්‍රාත් නිලධාරීන්ගේ අනුමැතිය හා වගකීම යටතේ ලබා දී ඇති ණය හා වෙනත් පහසුකම් විශාල ප‍්‍රමාණයක් අක‍්‍රමික ගණයට වැටී තිබේ. සමහර ගණුදෙනු බැලූ බැල්මටම අවිධිමත් ලෙසින් කරන ලද එ්වා බව පැහැදිලි වේ.
ජනමාධ්‍ය හරහා මහජන අවධානය යොමු වූ වෙනත් මහජන තොරතුරු අතර ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා බිලියන 2ක් ඉක්මවන ආයෝජනයක් සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල ආන්දෝලනයක් පැවතුන අතර බැංකුව මිලියන 10 ක් පමණ වැය කොට පුවත්පත් නිවේදන නිකුත් කරමින් ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක යෙදුන බවද අපට මතක ඇත. පාර්ලිමේන්තුවත්, කෝප් කමිටුවත් වරින් වර මෙම ප‍්‍රශ්න මතුකල අතර, අග‍්‍රාමාත්‍ය කාර්යාල මට්ටමින් හා අමාත්‍යංශ මට්ටමින් විවිධ පරීක්ෂණද පවත්වන්නට යෙදුනි. එම ගණුදෙනුවල අපහැදිලි භාවය ගැනත්, සැක සහිත හා දූෂිත යයි සැලකිය හැකි කරුණු ඇතිි බවත් බැංකු සේවක වෘත්තීය සංගම් පෙන්වා දුන් අවස්ථාවලදී බැංකුව එයට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමටත් නඩු පැවරීමටත් කටයුතු කර ඇත.

දුම්රිය කෞතුකාගාරයක් සම්බන්ධ වැය ශීර්ෂයක් පිළිබඳවද , අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ බලපෑම් යටතේ අවිධිමත් ලෙසින් විශාල ණය පහසුකම් ලබා ගැනීමක් පිළිබඳවද පසුගිය දිනවල මහජනයා අතර කථාබහට ලක් වී තිබුණි. මහජන බැංකුවේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද පිළිගත හැකි ප‍්‍රගතියක් වාර්තා නොවූ අතර බැංකුව ස්ථාපිත කිරීමේ අරමුණු වලින් මුළුමනින්ම පාහේ වෙනස් වී ඇති බවද පැහැදිලි වී තිබේ. වාර්ෂික ලාභ වශයෙන් ඉපයෙන මුදල් රජයට හා රාජ්‍ය අංශයේ ආයතනවලට ලබා දෙන පහසුකම් වලින් කෙරෙන ඉපයීම් වන අතර, සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල නිරතවීමෙන් බැංකුව ලබන ලාභ ප‍්‍රතිශතය ඉතා අල්ප වී ඇත. බැංකුවේ ද්‍රවශීලතා අවශ්‍යතාවයන් පවත්වා ගැනීම සඳහා 1992 පටන්ම දිගින් දිගටම මහ භාණ්ඩාගාරයෙන් අරමුදල් සපයා දීමට සිදුව ඇත. සේවක විශ‍්‍රාම අරමුදල් වලින් පවා ණයට ගැනීමට පසුගිය කාලයේ බැංකුවට සිදු වී ඇත.

මහජන බැංකුව පසුගිය දෙවසර තුළ සාටෝපකාරී අලංකාරයන් සඳහාත්, ගණුදෙනුකාරයින් අතරින් ඉතා සුළු ප‍්‍රතිශතයක් අරමුණු කරගත් නවීකරණ සහ තාක්ෂණ සේවා සඳහාත් විශාල මුදල් සම්භාරයක් වැය කර ඇත. එම ව්‍යාපෘති වල ඵලාදායීත්වය පිළිබඳව නිසි ඇගයීම් නොමැතිව මුදල් වැය කිරීමේ අවශ්‍යතාවය මුල් කරගෙන සිදුකර ඇති බව පෙනී ගොස් ඇත. එ්වාට අදාල සේවා හා කොන්ත‍්‍රාත් පිටුපස මහා පරිමාණ දූෂණ පවතින බවට මතයක් ගොඩනැගී ඇත.
රටේ ආර්ථික වර්ධනයට ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙක ප‍්‍රබල දායකත්වයක් ලබාදිය යුතුව ඇත. එ්වා ස්ථාපිත කිරීමේ පනත් වල සඳහන් අරමුණු වලද එම අපේක්ෂාවන් පිළිබඳව පැහැදිලිව සඳහන් වී ඇත. එහෙත් පසුකාලීන ක‍්‍රියාකාරීත්වයන් තුළින් පෙනී යන්නේ එම ප‍්‍රධාන අරමුණු වලින් රාජ්‍ය බැංකු බැහැර වී ඇති බවක්ය. රජයට හා රාජ්‍ය පාලිත ආයතන වලට ණය පහසුකම් සලස්වා දීමෙන් ලබන ආදායම මත රැුඳී සිටිමින් වෙනත් ව්‍යාපාරික හා සංවර්ධන කටයුතු වලින් ඉවත් වූ පහසු මඟකට රාජ්‍ය බැංකු ව්‍යාපාරය යොමු වී තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය සම්බන්ධයෙන් පවත්නා තත්ත්වයද මොනව අයුරකින්වත් පිළිගත හැකි ලෙසට වර්ධනය වී ඇති බවක් නොපෙනේ. 1978 සිට මේ දක්වා ගමන් මග ඉතාමත් අසතුටුදායක වූවකි. ආරම්භයේ දී රටේ ආර්ථිකය විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය ඇතුළත නව ආයෝජන කලාප සහ ආයෝජකයින් දිරි ගැන්වීමේ නීති හා රෙගුලාසි ලිහිල් වීම නිසා ක්ෂණික සතුටුදායක වර්ධනයක් දක්නට තිබූ නමුත් පසු කාලීනව එය ප‍්‍රමාණවත් ලෙසින් ඉදිරියට යාමක් පෙන්නුම් කර නැත. වරින් වර එයට පත් කරන ලද පුද්ගලයින්ගේ සීමිත හා අදක්ෂ දායකත්වය නිසාත්, ඇතැම් අවස්ථාවලදී දූෂිත ක‍්‍රියාවලට පෙළඹීමේ ප‍්‍රවණතාවය නිසාත් එසේ සිදු වී ඇත.

අද ආයෝජන මණ්ඩලය විදේශීය හෝ දේශීය ආයෝජන දිරි ගන්වන ආයතනයක් හැටියට ක‍්‍රියාත්මක වීම වෙනුවට ආයෝජන පාලන පොලිසියක් බවට පත්ව ඇත. විශාල මුදල් ආයෝජන සහිතව අප රටට ව්‍යාපාර සඳහා පැමිණීමට බලාපොරොත්තු වන විදේශීය ව්‍යාපාරිකයින්ට සංග‍්‍රහශීලී වාතාවරණයක් ඇති කිරීමට එම ආයතනය අපොහොසත් වී ඇත. රජය කොතරම් දුරට ආයෝජන දිරිගැන්වීමේ ආකල්පයන් යහපත් දිසාවට වර්ධනය කර ගත්තද ආයතනයේ මුහුණුවර එම ආකල්පයට සරිලන සේ වෙනස් නොවීම පවතී. ආයෝජන සඳහා උපයෝගී කරගත හැකි ඉඩම් හා වෙනත් සම්පත් පිළිබඳව නිසි තොරතුරු, දත්ත හා වාර්තා දැනටත් මෙම ආයතනය සතුව නැත. එනිසා එය මුළුමනින්ම වෙනසකට භාජනය වූ ආයතනයක් බවට පත්විය යුතුය.

මෙම සියලූම කරුණු අනුව ජනාධිපතිවරයා විසින් එ්වායේ අධ්‍යක්ෂ මණ්ඩල විිසුරුවා හැරීමටත් නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කරවීමටත් ගෙන ඇති පියවර මෙන්ම පසුගිය කාලයේ අක‍්‍රමිකතාවයන් හා අවිධිමත් කාය ර්‍්‍ය පටිපාටින් පිළිබඳව සොයා බලා නිවැරදි කර ගැනීමේ පියවරක් වශයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමත් අතිශයින් වැදගත් බව සඳහන් කරමු. ඒ අතර එම ඉවත් කිරිම සම්බන්ධයෙන් පල වු ප‍්‍රවෘතිය සත්‍යයක් නම් ඵය සාමාන්‍යයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් නිල කාලය අවසානයේදි අහොසි විමක් නොවන බවක්ද ගම්‍ය වේ.

Back to Home page