Colombo Telegraph

ජනමතය, පොදු යහපත සහ ලබැඳියාව

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාලව සිදු කෙරෙන අක‍්‍රමිකතා විමර්ෂනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව, එම විභාගය අවසන් කළේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා කොමිසම ඉදිරියට කැඳවා සාක්ෂි විභාග කිරීමෙන් පසුවය. කොමිසම ඉදිරියේ අවසාන සාක්ෂිකරු වූයේ අගමැතිවරයාය. මෙම කොමිසම ඉදිරියට සාක්ෂි දීම සඳහා ඔහු පැමිණි දිනයට පසුව කොළඹ නගරය පුරා අලවා තිබූ විශේෂ පෝස්ටරයක් දක්නට ලැබුණි. එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංචනය වන අලියා ලකුණ සහිතව, අගමැතිවරයාගේ ඡායාරූපයක්ද රැුගත් එම පෝස්ටරයේ ‘‘බය නැති අගමැති’’ යන වැකිය ඇතුළත් වී තිබුණි. සත්‍ය වශයෙන්ම මෙය විලිලැජ්ජාවකින් තොරව කිසිවෙකු හෝ කිසියම් පිරිසක් කරන ලද ළාමක බොළඳ ක‍්‍රියාවක් හැටියට ජනතාවට පෙනී යාම පුදුමයට කාරණයක් නොවන්නේ ය.

තමාව අගමැති වශයෙන්ද, ශ‍්‍රී ලංකා ජනරජයේ කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන්ද පත්කල විධායක ජනාධිපතිවරයා, රටේ බල පවත්නා සාමාන්‍ය නීතියක් වූ සංශෝධිත පරීක්ෂණ කොමිසන් සභා පණතෙහි (393 වන අධිකාරියේ) 2 වන වගන්තියේ විධි විධාන ප‍්‍රකාරව පත් කරන ලද කොමිසන් සභාවක් ඉදිරියට සාක්ෂියක් දීමට බිය වූ කිසිවෙක් සිටීද යන ප‍්‍රශ්නය මෙම පෝස්ටර් ව්‍යාපාරය නිසා ජනතාව තුළ පැන නැඟී ඇත. එම පෝස්ටරය වෙනත් කාලයක දී ප‍්‍රදර්ශනය වී නම් එයට නොයෙකුත් වෙනත් අර්ථ කථන ඉදිරිපත් විය හැකිව තිබුණද ආසන්නතම අදාල සිද්ධිය වශයෙන් ප‍්‍රසිද්ධියට පත්ව තිබුණේ ජනාධිපති කොමිසන් සභාව ඉදිරියට සාක්ෂි දීමට යාමේ සංසිද්ධියම නිසා මෙම පෝස්ටරය එයට සම්බන්ධව ප‍්‍රචාර කරන ලද්දක් හැටියට නිගමනය කිරීමට සිදු වේ. ගම්වල කුඩා දරුවන් නොනවත්වා හඬන විටදී ‘බාලගිරි දෝෂය – අද නොවේ හෙට’’ යනුවෙන් ලියා දොර​ උළුවස්සේ අලවන බව අප දැක ඇත. ගම්මුන් එසේ කරන්නේ ‘‘බාලගිරි’’ නම් යක්ෂයා රැුවටීමට බව ජනප‍්‍රවාදයේ කියැවේ. දොර​ ලඟට එන යක්ෂයා පාඨය කියවා ආපසු යන බවටත් එනිසාම බබා නොහඬා නිදාගන්නා බවටත් ඔවුන් තුල අහිංසක විශ්වාසයක් පවතී. මෙසේ දොර​ උළුවස්සේ වගන්ති ලියා අලවන්නේ ඒ නිසාය.

එහෙත් අගමැතිවරයා ජනාධිපති කොමිසමට යාමට බියකින් සිටි බවට සැක පහල කරගෙන සිටියේ කවුරුන්ද යන්න බරපතල ප‍්‍රශ්නයකි. විවිධ චෝදනා එල්ලවී ඇති ප‍්‍රශ්නගත පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අයිතිකරුවෙක් වූ අර්ජුන ඇලෝසියස් නම් කොමිසම ඉදිරියට යාමට මහත් භීතියකින් සිටි බව පැහැදිලිය. ඔහු නියෝජනය කරමින් ඔහු වෙනුවෙන් කොමිසම ඉදිරියේ පෙනී සිටි මේ රටේ ඉහල පෙලේ නීතිඥයෙක්, එයින් ඉවත් වී ගිය අවස්ථාවේදී තවත් දක්ෂ නීතිවේදියෙක් ඉදිරිපත් කරමින් කොමිසම ඉදිරියට යාමෙන් වැලකී සිටීමට ඔහු අවසර ලබා ගත්තේය. කොමිසම ඉදිරියේ දැනටමත් නිරාවරණය වී ඇති සාක්ෂි හා හෙළිදරව් වී ඇති තොරතුරුද, විවිධ පුද්ගලයින් සමග පවත්වන ලද දුරකථන සංවාද ඇතුලත් හඬපටිද නිසා අර්ජුන ඇලෝසියස්ට කොමිසම ඉදිරියට යාමට බියක් හට ගැනීම ගැන අපට පුදුම විය නොහැකිය. එනිසාම සාක්ෂි ආඥ පණතේ වගන්තියක් වූ ‘‘තමාට වරද පැටවෙන බවක් පෙනී ගියහොත්’’ සාක්ෂි දීමට ඉදිරිපත් නොවීමට කෙනෙකුට ඇති නෛතික අයිතිය ප‍්‍රයෝජනයට ගැනීමට අර්ජුන ඇලෝසියන්ට සිදුවිය. එබඳුම බිය වීමට හේතුවක් රටේ අගමැතිවරයාටද තිබුණ බව විශ්වාස කළ පිරිසක්ද සිටි බව යටකී පෝස්ටරය මගින් ගම්‍ය වන්නේය. එනිසාම කොමිසම ඉදිරියට සාක්ෂි දීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යාමෙන් උද්දාමයට පත් වූ මේ පිරිස වහාම ‘‘බය නැති අපේ අගමැති’’ යන උදාන වාක්‍යය යොදා පෝස්ටරයක් නිකුත් කළේය. ඔවුන්ගේ එම ළාමක ක‍්‍රියාව කොතරම් දුරකට අගමැතිවරයා අපහසුතාවයකට පත් කළාද යන වග කිව හැක්කේ අගමැතිවරයාට පමණකි. එතුමා ආපසු පැමිණීමෙන් පසුව එය දැනගත හැකිවනු ඇත.

විවිධ පුද්ගලයින් තම තමාගේ හැකියාවේ තරමේ, උගත්කමේ ප‍්‍රමාණයට ලකුණ දමා ගැනීම අරභයා විවිධ දේ කරති. රජුගේ හිසේ මැස්සෙක් වසා සිටිනු දුටු එක් රාජපාක්ෂික ආරක්ෂකයෙක් වහාම සිය අසිපත මැස්සාට එල්ල කළේය. රජතුමා නිවන් දැක්කේය. රාජ පාක්ෂිකයාගේ ඇස් ඇරුනේ ඉන් පසුවය. වරදකරුවෙකු හෝ චූදිතයෙකු නොවන කෙනෙක් සාක්ෂියක් දීමට යාමට කිසිම බියක් ඇතිකර ගත යුතු නැති බව කුඩා ළමයෙකුට වුවද අවබෝධ විය යුතුය. එනිසා මෙබඳු බොළඳ ක‍්‍රියාවල නිරතවන්නේ එයින් තමන් ආදරය කරන ප‍්‍රභූවරයන්ට නොදැනුවත්ව අත්කර දෙන දුෂ්කරතාවය ගැන අවබෝධයක් නැති අයමය.

අගමැතිවරයා කොමිසම ඉදිරියට සාක්ෂි දීමට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මේ හා සමාන අනවශ්‍ය වැදගත්කමක් ආරූඪ කිරීමට ඇතමුන් උත්සාහ ගන්නා බවක්ද පෙනී යි. එය එසේ විය යුතුද? මහජන සේවකයින් අතර ප‍්‍රධානියා වන අගමැති තමා සම්බන්ධව සිටින රජය මගින් පවත්වන විමර්ශනයකට හෝ පරීක්ෂණයකට පෙනී සිටීම අරුමයක්ද? එය ඔහුගේ රාජකාරිමය වගකීමක් නොවන්නේද? විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකු විෂයය භාර අමාත්‍යවරයා හැටියටඔහු මෙම සිද්ධියේ දී අනිවාර්යෙන්ම එම පරීක්ෂණයට දායක විය යුතු වන්නේ ය. ඒ ගැන කිසිවෙක් අටුවා ටීකා ලිවීමේ අවශ්‍යතාවයක් නැත. එය සුවිශේෂ වීර ක‍්‍රියාවක් හෝ අසාමාන්‍ය දෙයක් හැටියට හැඳින්වීමටද අවශ්‍ය නැත. විෂය භාර ඇමතිවරයා හැටියට තමන් පිට පැවරෙන වගකීම් හා යුතුකම් පිළිබඳව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට අමුතුවෙන් පැහැදිලි කිරීමටද අවශ්‍ය නොවේ. සමහරු මෙය පෙර නොවූ විරූ දෙයක් හැටියට හුවා දැක්වීමට සැරසෙති. මෙතරම් බරපතල මූල්‍ය වංචාවක් මීට කළින් සිදුවී නැති නිසා කිසිම අගමැතිවරයෙකුට කොමිසන් සභා ඉදිරියට යාමට සිදු වී නැති බව සත්‍යයකි. එහෙත් මේ තරම් විශාල වංචාවක් සිදු වී තිබෙන විට ඒවාට වගකිව යුතු ඕනෑම තරාතිරමක කෙනෙක් මහජන සුභ සිද්ධිය වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන හා පරීක්ෂණවලට අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතුය. අද සමාජය ඉතා දියුණු තත්ත්වයකට පත්වී තිබෙන බව අමතක නොකළ යුතුය. විවිධ පාටවලින් වර්ණවත් කළ ඡන්ද පෙට්ටියකට කතිරයක් ගැසූ හිස් කොලයක් දැමීමෙන් සිය ඡන්ද බලය පාවිච්චි කරන අය හෝ ක‍්‍රම අද සමාජයේ නැත. එනිසා අත්‍යාවශයෙන්ම ඉටු විය යුතු රාජකාරිමය යුතුකම් සම්බන්ධයෙන් නොදියුණු ආකල්ප හා සංකල්ප ගොඩනැගීමට උත්සාහ දැරීම විහිළුවකි.

අගමැතිවරයාගේ සාක්ෂි විභාගය සම්බන්ධයෙන් සුවිශේෂ ක‍්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමද රටේ ජනතාවගේ විමතියට හේතු වී තිබේ. නීතියේ සමානාත්මතාවය සෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන්ම සමාන ලෙසින් ක‍්‍රියාත්මක විය යුතුය යන සිද්ධාන්තය සාමාන්‍ය ජනතාව විසින්ද හඳුනාගත් එකකි. තරාතිරමකින් හෝ විශේෂත්වයකින් තොරව නිතිය ක‍්‍රියාත්මක කෙරන බව පැහැදිලිව පෙනී යා යුතුය. නීතිගරුක භාවය වර්ධනය වීම සඳහා එය අවශ්‍යම කාරණයකි. කිසියම් මුක්තියක් හෝ විශේෂ නිදහස් කිරීමක් යටතේ සැලසෙන වරප‍්‍රසාදයක් යටතේ හැරෙන්නට නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී උස් පහත් භේදයකින් තොරව එසේ සිදු කෙරෙන බව තහවුරු විය යුතුය. ජනාදිපති කොමිසම ඉදිරියට මුදල් අමාත්‍යවරයා කැඳවීමත්, ඔහුගෙන් සාක්ෂි විමසූ ආකාරයත් ජනතාව තුළ මහත් අප‍්‍රසාදයක් ඇතිකළ බව පෙනී ගියේ ය. එමෙන්ම එම කාරණය විවෘත හා විනිවිද පෙනෙන ආකාරයට සිදු වූ බැවින්, එම සාක්ෂි විභාගයෙන් හෙළිදරව් වූ කරුණු පදනම්ව මුදල් ඇමතිවරයාට ඉවත් වීමටද සිදු විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙසින් නීතියේ සාධාරණත්වය තුළ එය එසේ විය. එහෙත් ඊලඟ වටයේ සාක්ෂි දීමට කැඳවූ අමාත්‍ය දෙපොලක් සම්බන්ධයෙන් තරමක් වෙනස් ලෙසින් ප‍්‍රශ්න විචාරය සිදුවීම ගැන රට තුළ ඇතිවූයේ ජුගුප්සාජනක හැඟීමකි. එහිදී ඉතා පැහැදිලි ලෙසින් කොමිසන් සභාවේ විෂය ක්ෂේත‍්‍රය සීමාවන් තුළ දැනගත යුතු කරුණුවලට පමනක් එම සාක්ෂි ලබා ගැනීම සීමා වූ බව පැහැදිලි විය. අධි සුඛෝපභෝගී මහල් නිවාසය පිළිබඳ තොරතුරු හෙළිදරව් වූයේ විමර්ශන වලදී දැන ගන්නට ලැබුණ තොරතුරු වලින්ය. ඒවා ආශ‍්‍රිතව ප‍්‍රශ්න කිරීමේදී රවී කරුණානායක ඇමතිවරයා සිය තනතුර තවදුරටත් දැරීමට සුදුසු නොවන බවක් පෙනී යාම ඔහුගේ ඉවත් වීමට හේතු විය.

ශ‍්‍රී ලංකා මහ බැංකු විෂයභාර අමාත්‍යවරයාගේ සාක්ෂි ලබා ගැනීම ඊටත් වඩා පහසු කිරීම්වලට යටත්ව සිදුවිය. කලින්ම පැහැදිලි කරගත යුතු ප‍්‍රශ්න ඔහු වෙත යොමුකොට දිව්රුම් පෙත්සමක් මගින් ඒවාට පිළිතුරු ලබා දීමේ අවස්ථාව සලසා දීම නිසා කාලය ඉතිරිකර ගැනීමටත්, සිතා මතා සොයා බලා කරුණු පැහැදිලි කිරීමටත් වික‍්‍රමසිංහ මහතාට හැකි විය. එසේ වුවද ජනතාව අපේක්ෂා කළ ආකාරයට තවදුරටත් හරස් ප‍්‍රශ්න හා අසම්පූර්ණ පිළිතුරු වලට වැඩිදුර පැහැදිලි කර ගැනීම් යනාදියට ඉඩක් නොලැබුන බවට සමාජය තුළ සංවාදාත්මක විවේචන මේ සම්බන්ධයෙන් මතු වී තිබීම සැලකිය යුතු කාරණයකි. නීතිය ඉදිරියේ සෑම තරාතිරමකම පුද්ගලයින් සමාන විය යුතු බවට පවතින පිළිගැනීම මෙයට හේතු වී ඇත.

කෙසේ වුවද සෘජුවම අදාල වන කරුණු කාරණා සම්බන්ධයෙන් දැනටමත් වෙනත් මාර්ගවලින් ලැබී ඇති සාක්ෂි සහ තොරතුරු ස්ථාවර නිගමන හා නිර්දේශයන් සඳහා ප‍්‍රමාණවත් බවක් පෙනෙන්නට තිබෙන බැවින් අගමැතිවරයාගේ සාක්ෂි ලබා ගැනීමේ ක‍්‍රමවේදය, අවසාන ප‍්‍රතිඵලයට බාධාවක් නොවනු ඇතැයි විශ්වාස කළ හැකිය. අගමැතිවරයා සාක්ෂි ලබා දීම සඳහා කොමිසම ඉදිරියට පැමිණීම බරපතල ප‍්‍රශ්නයක් බවට පත්කරගෙන ඇත්තේ ‘කීප දෙනෙක්’ විසින් පමණක් බවද පැහැදිලි කාරණයකි. වඩාත්ම කැළඹීමට පත්ව ඇත්තේ ප‍්‍රශ්නගත පාර්ශවයන් සමග දුරකථන සංවාද වැඩියෙන්ම පැවැත් වූ අයත්, බැඳුම්කර විමර්ශනය සඳහා පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කාරක සභාවලදී අසහනකාරී ලෙසින් හා කලහකාරී ලෙසින් කටයුතු කළ බවට වාර්තා වී ඇති අයත් බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. මෙබඳු සමහර අය ප‍්‍රශ්නයට භාජනය වූ අයටත් වඩා දැඩි ස්ථාවරයකින් ඔවුන්ගේ නිදොස්භාවය සනාථ කිරීමේ උත්සාහයක අරුම පුදුම ලෙසින් නිරත වී සිටිති. ඔවුන්ගේ ඇතැම් ක‍්‍රියාකරකම් හා ප‍්‍රකාශ දෙස කොතරම් තීක්ෂණ ලෙසින් ජනතාව ඇස් යොමා සිටින බව නොපෙනී යන තරමටම ඔවුන් අන්ධ වී ඇත. බොහෝ අපරාධ සිදු කරන්නේ ඒවා කිසි දෙනක හෙළිදරව් නොවන්නේය යන උපකල්පනය සහිතවය. එමෙන්ම අපරාධ හා දූෂණ වසන් කිරීමට වෑයම් කරන්නේද, ඔවුන්ගේ ක‍්‍රියාකලාපයන් දෙස බොහෝ දෙනෙක් බලා සිටින බව අමතක කරමින්ය. නඩු දැමීම, පොත් ලිවීම, තමන්ගේ බල කොටුවලට සීමාවී ප‍්‍රවෘත්ති නිවේදනය කිරීම, අසම්මත තර්ජන හා කටමැත දෙඩවීම් කිරීම, මෙබඳු අයගේ සැලසුම්ගත මෙහෙයවුම් වී ඇත. කාගේ හෝ ග‍්‍රහණයට අසුවී තමන්ට සැලසෙන ක්ෂණික වාසි ප‍්‍රයෝජන වලට යටවී ආත්මය පාවාදෙන මෙබඳු කොටස් උපක‍්‍රමශීලීව මෙවන් ක‍්‍රියා කලාපවලට යොමු කරගෙන ඇති බව ඔවුනට අවබෝධ වන්නට කලක් ගතවිය හැකිය. මෙවන් බිරීම් මධ්‍යයේ තවලම ඉදිරියටම ඇදි යයි. එබැවින් ටික දිනකදී ඔවුනට කරුණු අවබෝධ වනු ඇත. හදිසියේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමටත් ඒ වගේම හදිසියෙන් එම නඩු ඉල්ලා අස්කර ගැනීමටත් මෙබඳු අය පෙරදී ඉදිරිපත් වූ බව අපට මතක ඇත. පාද සටහන් යෙදීම, COPE වාර්තාව ලිහිල් කිරීම, විභාග කරන කාරණය පසෙක තබා වෙනත් කාරණා ඇතුලත් කරමින් ව්‍යාකූල කිරීමේ උත්සාහයන් දැරීම වැනිදේ සිදු වූ අතීතයට වැඩිකලක් ගතවී නැති බැවින් මේ කොටස් අර අදිමින් සිටින්නේ කුමකට දැයි යන්න සිතා ගැනීම අපහසු නැත. අතීතයට එබී බැලීමේදී, බැඳුම්කර සිද්ධිය අවංකවම විමර්ශනයකට භාජනය විය යුතුය යන ස්ථාවරය දැරූ කණ්ඩායමක් සහ එම කාරණය විවිධ බාධා කිරීම් හා උපක‍්‍රම මගින් යටපත් කිරීමට දිගටම උත්සාහ දැරූ තවත් කණ්ඩායමක්ද සිටි බව පැහැදිලිය.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නඟන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ප‍්‍රථම වතාවට රජය පාර්ශවයෙන් ප‍්‍රකාශයක් හා පැහැදිලි කිරීමක් සිදු වූයේ 2015 මාර්තු 17 වන දින අගමැතිවරයා විසින් කරන ලද පාර්ලිමේන්තු ප‍්‍රකාශය මගින්ය. එයින් පෙනී ගියේ සිද්ධිය සිදු වූ දිනයේදීම අගමැතිවරයා කොමිටියක් පත්කළ බවය.

‘‘ඒ නිසා අවුරුදු 30 ක බැඳුම්කර නිකුත් කිරීමේ කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා මම ත‍්‍රිපුද්ගල කමිටුවක් පෙබරවාරි 27 වැනිදා පත්කළා’’ යනුවෙන් හැන්සාඞ් වාර්තාවේ (2017.03.17 – 68 වන කොලම) සඳහන් වේ. එතැන් පටන් මෙම කාරණය සම්බන්ධව පැවතුනේ සත්‍ය වශයෙන්ම කරුණු සොයා බැලීමකට වඩා කිසිම අක‍්‍රමිකතාවයක් සිදු වී නැති බව සනාථ කිරීමේ ප‍්‍රවණතාවයකි.

ප‍්‍රකාශය කළ දිනයේ දී ම එවකට විපක්ෂ මන්ත‍්‍රීවරයෙකුව සිටි නිමල් සිරිපාලද සිල්වා මහතා මෙසේ කියා ඇත.

‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමා තමන් වෙත ඉදිරිපත් කරන ලද ප‍්‍රශ්නය පිළිබඳව විවිධ කාරණා කියලා එය මඟ හරින්නට කටයුතු කළා. එතුමා විනාඩි 45 ක් තිස්සේ කළ ප‍්‍රකාශය පිළිබඳව අපට මේ සතියේදීම විවාදයක් අවශ්‍යයි. (බාධා කිරීම්) එතුමා කල ප‍්‍රකාශනයේ සඳහන් කරුණු සත්‍ය නොවන බව පෙන්වා දීමට, එතුමා කරුණු යටපත් කළ බව පෙන්වා දීමට සහ අර්ජුන මහේන්ද්‍රන් මහතාව ආරක්ෂා කරමින් කටයුතු කිරීම පිළිබඳව පෙන්වා දීමට අපට විවාදයක් අවශ්‍යයි. (බාධා කිරීම්) උපුටා ගැනීම – හැන්සාඞ් වාර්තාව 2013.03.17, 78 වන පිටුව.

ත‍්‍රිපුද්ගල වාර්තාව 2015 මැයි 19 වන දින සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ඒ වන විට ජාතික රජයේ මන්ත‍්‍රීවරුන් 80 ක් ඉක්මවූ අත්සන් සහිතව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ යුතු බවට වූ යෝජනාවක් කථානායක වරයාට භාරදී තිබුණි. එය න්‍යාය පුස්තකයටද ඇතුලත්ව තිබුණි.

මේවා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාදිය යුතු බවට විශාල හඬක් පැවති නමුත් 2015 මැයි මස 20 වන දින කථානායකවරයා ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ විශේෂ ජදචැ කොමිටියක් පත්කර විභාගයක් පැතැත්වෙන බව දන්වා සිටියේ ය.

2015 මැයි 26 සිට ඩිව් ගුණසේකර මන්ත‍්‍රීවරයාගේ සභාපතිත්වය යටතේ 13 දෙනෙකුගේ කොමිටියක් මගින් එම විමර්ශනය ආරම්භ කළේය. එකලොස් වතාවක් පමණ රැුස්වූ එම කොමිටිය සිය වාර්තාව ජුනි මස 26 වන දින බලවත් අපහසුතා මධ්‍යයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පිළියෙල කරගෙන සිටි නමුත් එදිනම මධ්‍යම රාත‍්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිම නිසා එම ව්‍යායාමය වාෂ්ප වී ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර සොයාගත් කරුණුද එසේම යටපත් වී ගියේය. ඒ වන විටත් ධුරයේ වෙනසක් නොමැතිව මහ බැංකු අධිපති හැටියට අර්ජුන මහේන්ද්‍රන් කටයුතු කරමින් සිටි බැවින්, මහ බැංකු අභ්‍යන්තර මට්ටමින් හෝ කිසිම පරීක්ෂණයක් ආරම්භ කළ බවක් වාර්තා නොවීය. මහ මැතිවරණයක් සඳහා මුළු රටම සූදානම් වීමට ප‍්‍රමුඛතාවය ලැබුණි. මහ බැංකු බැඳුම්කර මගඩිය මැතිවරණ වේදිකාවේ කථාවට භාජනය වූ ප‍්‍රධාන මාතෘකාවක් විය. එජාප ය ‘‘කවුද හොරා’’ යන මාතෘකාව යටතේ මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන දැන්වීම් අතිරේකයක් පල කළේය. COPE කොමිටි සාමාජික මන්ත‍්‍රීවරයෙකු වූ සුජීව සේනසිංහ ‘‘මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව – ඇත්ත නැත්ත’’ නමින් පොත් පිංචක්ද මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කළේය. සිද්ධියට සුදු හුණු ගෑම යසට සිදුවිය. ජනතාවගෙන් සත්‍ය වසන් කිරීමේ දැඩි ප‍්‍රයත්නයක් පැවතුනි.

අගෝස්තු මාසයේ මැතිවරණ නිමා වී නව ‘‘ජාතික රජයක්’’ පිහිටුවා ගැනිනි. 2015.11.26 වන දින නව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE කොමිටිය) සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාගේ සභාපතිත්වයෙන් හා පා.ම. 28 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් සමන්විත වන පරිදි පත්විය. 2015 ජනවාරි සිට 2016 මැයි මාසය දක්වා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදු වී ඇති මූල්‍ය අක‍්‍රමිකතා සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් වශයෙන් කටයුතු කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු අඩංගු වාර්තාව 2016 ඔක්තෝබර් මස 28 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වූයේ 2017 ජනවාරි මාසයෙදීය. විවාදය අවසන් වී දින කීපයකට පසුව 2017 ජනවාරි 27 දිනැතිව විශේෂ ගැසට් නිවේදනයක් මගින් සංශෝධිත පරීක්ෂණ කොමිසන් සභා පනතේ (393 වන අධිකාරිය) 2 වන වගන්තිය ප‍්‍රකාරව, ජනාධිපතිවරයා විසින් කොමිසන් සභාවක් පත්කළ බව නිවේදනය විය. එම ගැසට් නිවේදනයේ ජනාධිපති වරයාගේ අභිමතය මෙසේ සටහන් වී ඇත.

‘‘එකී කාරණයට අදාලව සිදු කෙරුණ එකී අක‍්‍රමිකතා පිළිබඳව වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හඳුනා ගැනීමට අවශ්‍ය වී ඇත හෙයින්ද, ඉදිරි කාලයේ දී එබඳු ක‍්‍රියාවන් යලි සිදු නොවන බවට සහතික කර ගනු පිණිස කවර ක‍්‍රියාමාර්ග ගත යුතුද යන්න නිශ්චය කරගනු පිණිස… එකී විමර්ශනය හා පරීක්ෂණය පැවැත්වීම ජාතික යහපත උදෙසා වන්නක් බව මාගේ මතය වන හෙයින්ද, මෙකී කරණය පිළිබඳ විමර්ශනය හා පරීක්ෂණය සිදුකර වාර්තා කරනු පිණිස පරීක්ෂණ කොමිසන් සභාවක් පත් කිරීම අවශ්‍ය බව මාගේ අදහස වන හෙයින්ද,….

මතු දැක්වෙන දෑ පිළිබඳව විමර්ශනය කොට පරික්ෂාකොට වාර්තා කරනු පිණිස මගේ කොමසාරිස් වරුන් ලෙසින් මෙයින් පත් කරමි’’ යනුවෙන් සඳහන් වී ඇත.

සොයා බැලිය යුතු කාරණා වශයෙන් එහි සඳහන්ව ඇත්තේ,
1. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කළණකාරණය, පරිපාලනය හා කටයුතු පවත්වාගෙන යාම.

2. යම් අපරිචයක්, අක‍්‍රමිකතාවක් හෝ අදාල නිසි ක‍්‍රියා පටිපාටින්ට අනුකූලව ක‍්‍රියා නොකිරීමක් හෝ නොසලකා හැරීමත් සිදු වී තිබේද?

3. වංචනිකව, අපරික්ෂාකාරීව, නොසැලකිලිමත් ලෙස හා වගකීමෙන් තොරව යම් ගිවිසුම්කාරී බැඳීමකට ඇතුලත් වී තිබේද?

4. අදාලවන නිසි කාර්ය පටිපාටියට අනුකූලව කි‍්‍රයා කිරීමක් හෝ එම කාර්ය පටිපාටිය නොසලකා හැරීමක් සිදු වී තිබේද?

5. බැඳුම්කර අලවිය සම්බන්ධයෙන් අනිසි හෝ අක‍්‍රමික ලෙස හෝ වෙනස් ලෙස සැලකීම මගින් කිසියම් ටෙන්ඩර් ප‍්‍රදානයක් සිදු වී තිබේද?

6. මෙම කාරණාවලදී රජයට ප‍්‍රතිලාභයක් ලැබීම සහිතක කරගනු පිණිස නිසි කාර්ය පටිපාටීන් හා ආරක්ෂිත පියවර ගනු ලැබ තිබේද?

7. රජයට හෝ මහ බැංකුවටත් වෙනත් ආයතන වලටත් හානියක් හෝ හානිකර ප‍්‍රතිඵලයක් සිදු කිරීමට තුඩු දුන් ක‍්‍රියාවක් හෝ අත් හැරීමක් සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තා හෝ තැනැත්තන් කවුද

8. අදාල සිද්ධීන් සම්බන්ධව පරීක්ෂණයක් හෝ විමසා බැලීමක් පැවැත්වීමට යම් ආකාරයකින් අවහිර කිරීමක් හෝ වලක්වාලීමක් හේතුවෙන් කිසියම් හානියක් සිදු වී තිබේද යන වග සහ එබඳු අවහිර සිදුකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් කවුද?

9. මෙම කාරණයට අදාලව අවභාවිතය හෝ බලය අනිසි ලෙස යෙදවීම, බලපෑම, මැදිහත්වීම, වංචාව, අවපරිචය, ඥති සංග‍්‍රහය හෝ දූෂිත ක‍්‍රියාවන් හා සම්බන්ධ වන ඕනෑම ක‍්‍රියාවක් හෝ පැහැර හැරීමක් සිදුවී තිබේද?
ජනාධිපතිවරයාගේ අරමුණ ඉතා පැහැදිලිය.

අද ඇතැම් අමනයන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ මගින් අපහාසයට හා උපහාසයට භාජනය කරන්නේ එතුමන්ගේ මෙම අභිප‍්‍රාය බව ජනතාව තේරුම් ගෙන ඇත. පුදුමය නම් සුජීව සේනසිංහ වැනි අය කොමිසන් සභාවේ විභාගය අවසන් කාල සීමාව වන තෙක්ම මෙම අභිප‍්‍රාය විවාදයකට හෝ විවේචනයකට භාජනය නොකර සිටීමය. ඇතැම් විට වෙනත් කොමිසන් සභාවල අත්දැකීම යටතේ මෙවරත් වංචනිකයින්ට ලිස්සා යාමට ඉඩ ලැබෙනු ඇතැයි සමහරු විශ්වාස කරන්නට ඇත. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපරිම සහය අදාල අරමුණු ඉටුකර ගැනීම සඳහා මහත් අභිලාෂයකින් කටයුතු කරමින් සිටින කොමිෂන් සභාවට ලැබීම නිසා එවැන්නක් මෙවර සිදු නොවන බව වංචාකාරීන්ට අවබෝධ වී ඇත්තේ දැන්ය. භූමිතෙල් ගෑවුණු උරගයන් සේ මෙම වංචාකාරී හොරු රැුල හැසිරීමට පටන්ගෙන ඇත්තේ එම නිසා විය යුතුය. පෝස්ටර් ගැසීම, අමනෝඥ ප‍්‍රකාශ නිකුත් කිරීම ගැන ජනතාවට සිහිපත් වන ඉතිහාස තොරතුරු එමටය.

අරිට්ට කී වෙංඩු නම් වූ වඩුගයා කෝට්ටේ රජතුමා රවටමින් සිට අවසානයේ මහා බිලි පූජාවක් සහිත ගඟ මැද යාගය ආරම්භ කළේ ඔහුගේ සකලවිධ අවකල් ක‍්‍රියා මරිමෝඩකම් හා බොරු ප‍්‍රඥවන්තභාවය රජතුමාට හෙළිදරව් වූ නිසාය. අන්තිමේදී ‘‘රාජා හෝ මා හෝ ගංගා හෝ’’ කියමින් ගඟට පැන සිය දිවි නසා ගැනීමට අරිට්ට කී වෙංඩු ට සිදුවිය. ඔවුන් සමග ඔහුගේ අනුගාමිකයන් රැුසක්ද එසේම අවසන් ගමන් ගියෝය. දුරකථන පණිවිඩ මහල් නිවාස මෙකී නොකී අති මහත් ජරාව සම්භාරයක් භුක්ති විඳිමින් සිටි දූෂිතයන් තදින්ම කුලප්පු වී ඇත. එය ඔවුන්ගේ අවසාන ජවනිකාවද විය හැක. බිත්ති මුල්ලට හිරවන මීයා ඊලඟට කරන්නේ ඇඟට පැනීමය. එනිසා එබඳු සුජීව ක‍්‍රියා ගැන කලබල වීමට හේතුවක් නොමැති බව ජනතාව හොඳින්ම තේරුම්ගෙන ඇත. පාද සටහන් යෙදීම, නඩු පැවරීම, COPE කොමිටියට බාධා කිරීම, නිලධාරීන්ට අපහාස කිරීම, තර්ජනය කර බිය වැද්දීම, පොත් ගැසීම අතරතුරදීත් තවලම දිගටම එන බැවින් මඩ ගැසීම දැන් අරඹා ඇත. එහෙත් එය මඩ නෑමක් වන බව නම් පැහැදිලිය. ජනාධිපති කොමිෂන් සභාවේ විෂය නිර්දේශය යටතේ වගකිව යුත්තන් කවුද යන වග දැනටමත් ඉදිරිපත් වී තිබෙන සාක්ෂිවලින් තහවුරු වී තිබේ.

අදාල නිර්දේශ ඒ අනුව කෙරෙනු ඇත. එවිට වංචාව, දූෂණය, නොසැලිකිමත් භාවය, ඥති සංග‍්‍රහය, වෙනස් ආකාරයට සැලකීම, වැරදි උපදෙස් දීම, ක‍්‍රියා පටිපාටි අත්තනෝමතික ලෙසින් වෙනස් කිරීම, අලාභ ඇති කිරීම, පරික්ෂණ වලට අවහිර කිරීම, එ්වා නොකර සිටීම ආදී මෙකී නොකී සියලූම එක් එක් ක‍්‍රියා කලාපයක් සඳහා වෙන වෙනම වගකිව යුත්තන් පිළිබඳව කොමිසමේ නිර්දේශ ලැබීමෙන් පසුව ඒ ඒ අක‍්‍රමිකතාවය සඳහා අදාල වන පරිද්දෙන් ඒ ඒ අංශවලට යොමු වී නීතිය ක‍්‍රියාත්මක වනු ඇත.

නිර්දේශවලට අනුව පවතින නීති ප‍්‍රමාණවත් නොවන්නේ නම් ජනමත විචාරණයක් මගින් නව නීති සම්පාදනය සඳහා ව්‍යවස්ථාදායකයට ජන බලය පැවරෙනු ඇත. අපරාජිත ලෙසින් ඉදිරිපත්වන තවත් පරාජිත මතයක් ද ඇත. බෙල්ලට ලණුව හිරවෙන විට පරීක්ෂණ මෙහෙයවීම සඳහා විශේෂඥ සේවාවන් මතක් වෙන උදවියට කියන්නට ඇත්තේ තමුන්නාන්සේලාට මෙම බැඳුම්කර ක‍්‍රියාවලිය, ජේම්ස් බොන්ඞ් හා බෲක් බොන්ඞ් ලෙස පෙනී යන බව අගමැතිවරයා ප‍්‍රකාශකර තිබුණද මේ විෂය දන්නා උදවියට නම් එය එතරම් කජ්ජක් නොවන බවයි. දන්නෝ දනිති. නොදන්නෝ විශේෂඥයන් කීවත් නොදනිති. නොබලන්නෝ සැමදා අන්ධයෝ වශයෙන් ම සිටිනු ඇත.

Back to Home page