26 April, 2024

Blog

සිවිල් සමාජ සංවිධාන බලවේග: එදා, අද සහ හෙට !

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

රටේ ඉදිරි ගමන සඳහා සක‍්‍රීය දායකත්වයක් ලබාදිය හැකි ස්වාධීන ප‍්‍රබුද්ධ කොටස්වල එකතුවක් ලෙසින් ගොඩනැගුන සිවිල් සමාජ සංවිධානයක අවශ්‍යතාවය අද සමාජය ඉදිරියේ ඇත. පැවති සිවිල් සමාජ සංවිධානවල ක‍්‍රියාකාරීත්වය හා නැඹුරුව සතුටුදායක මට්ටමකින් නොපතින නිසාත් ඒවා පිළිබඳව ජනතාව තුළ පැවති විශ්වාසය තරමක් දුරට පිරිහී පවතින නිසාත් එම අවශ්‍යතාවය දැන් වැඩියෙන් දැනෙන්නට පටන්ගෙන ඇත. රටේ ඓතිහාසික දේශපාලන යුග පෙරළියකට එම සංවිධාන එදා මුල් වී ක‍්‍රියාකාරී දායකත්වයක් ලබා දුන් බැවින් ඒවායේ වැදගත්කම රටවැසි සියලුදෙනා මනාව හඳුනාගෙන සිටිති. එබඳු සංවිධාන පවත්වා ගෙනයාමේ වැදගත්කම පිළිබඳ අවධානය වැඩි වීමට එය හේතුවක් වී ඇත.

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නිර්මල නායකත්වයෙන් පණ ගැන්වී එදා පැවති සිවිල් සමාජ සංවිධාන බලවේගය, උන්වහන්සේගේ අකල් අපවත්වීමෙන් අඩපණ වූ බව රහසක් නොවේ. විවිධ විෂම විකල්ප න්‍යායපත‍්‍රවලට කොටු නොවී ස්ථිර අරමුණකින් යුතුව පූජ්‍ය සෝභිත හිමියන් ලබා දුන් එම අභීත අව්‍යාජ නායකත්වය නැති වී යාම අද විශාල අඩුවක් බවට පත්වී ඇත. බෞද්ධ භික්ෂුවක් හැටියට උන්හන්සේගේ දැක්මේ සහ මෙහෙයුමේ සුවිශේෂත්වය වූයේ සිංහලයිනට පමණක් සීමා නොවූ ජාතික පෙළගැස්මක් ඇති කිරීමට සමත් වීමයි. අතිශයින් දුෂ්කර වකවානුවක අනේක අභියෝග සහ බාධක රැුසක් තිබියදී නිවැරදි ලෙස ඉලක්ක කරගත් දිසාවකට යොමු කෙරුන ජන බලවේගයක් ගොඩ නැංවීමට එම නිසා උන්වහන්සේට හැකි විය.

එයට ඒකරාශී වූ බලවේග, පාදක වූ සංකල්ප හා එම ව්‍යාපාරයේ ජයග‍්‍රහණ භුක්ති විඳිමින් සිටින අය අතර තිබිය යුතු සම්බන්ධතාවය අති විශාල ලෙසින් දුරස් වෙමින් පවතින බව වර්තමානය අපට පැහැදිලි කරමින් සිටී.

වෙනසක් සඳහා අරමුණු සැලසුම්කර ගන්නා අවධිය තුලත් එම වෙනස් කම් ඇතිකර ගැනීමෙන් පසුව ගත වූ කාල වකවානුව තුලත් සිදුවී ඇති කරුණු කාරණා දෙස සැලකිල්ලෙන් බලන විට අපේක්ෂිත ඉලක්කයන් දෙසට ගමන් කර ඇත්තේ ඉතා කෙටි දුරක් පමණක් බවත් තවත් මහා විශාල දුර ප‍්‍රමාණයක් ගෙවිය යුතු බවත් පසක් වේ. එයද ප‍්‍රබල සිවිල් සමාජ සංවිධාන බලපැවැත්වීමක අත්‍යාවශ්‍ය බව පිළිගැනීමට තවත් හේතුවක් වී ඇත.

එදා පැවති තත්ත්වයන් වෙනස් කිරීමට පාදක කරගත් හේතු කාරණා වලට වඩා සංකීර්ණ වූ ගැටළු විශාල ප‍්‍රමාණයක් අද පවතින බව යතාර්ථවාදී ලෙසින් වර්තමානය දෙස බැලීමේදී පෙනී යයි. එදා නොදුටු බොහෝ දේ අද පෙනෙන්නට පටන්ගෙන ඇත. විදේශ බලපෑම්වලින් තොරව ස්වාධීන ලෙසින් රටේ කටයුතු පවත්වා ගැනීම පිළිබඳව ඇති කරන ලද අපේක්ෂාවන් ප‍්‍රායෝගික නොවන හුදු සංකල්ප පමණක් බව සාක්ෂාත් වී තිබේ. සමාජයීය හා ආර්ථික වශයෙන් ද එක හා සමානවම එම තත්ත්වය පවතී. ඇතිකරගත් වෙනස තුලින් පිහිටුවාගත් රාජ්‍ය පාලනයද තිබුන දුෂ්කරතාවන් තවදුරටත් වර්ධනය වන ආකාරයට කටයුතු කිරීම නිසා එය කබලෙන් ලිපට වැටීමක් සේ සැලකීමට සිදුව ඇත.

එබැවින් වත්මන් තත්ත්වය තුල පවත්නා සමාජ ආර්ථික ගැටලුවලට විසඳුම් මගක් සෙවීම සඳහා නිර්මාණය වන සිවිල් සමාජ සංවිධානය, එම සංකීර්ණ පසුබිමට සරිලන හා ගැළපෙන්නක් විය යුතුය. දැඩි අවබෝධයකින් හා විශ්වාසයකින් කරුණු කාරණා විමසා බැලෙන, විසඳුම් මඟක් සඳහාම අවංකව කැපවෙන, ප‍්‍රබුද්ධ දායකත්වයක් ලබාදීම මෙබඳු සමාජ සංවිධානයක මූලික අරමුණ විය යුතුය. එය විවිධ සමාජ ප‍්‍රශ්න ගැන මතවාද ඉදිරිපත් කෙරෙන විවේචන මඬුල්ලක් පමණක් නොවිය යුතුය.

මෙබඳු කාර්යභාරයක් කළ හැක්කේ, ඵලදායී දායකත්වයක් ලබා දීම තුලින් පමණකි. ඒ සඳහා ප‍්‍රවීණත්වය, අත්දැකීම් හා පළපුරුද්දක් තිබීම වැදගත් ලෙසම අත්‍යාවශ්‍ය දෙයකි. දේශපාලන රැුලියක දේශන පැවැත්වීම සඳහා තෝරා ගන්නා ක‍්‍රමයට එබඳු සිවිල් සමාජ සංවිධානයකට පාර්ශවකරුවන් සොයා ගත නොහැකිය. නිර්මල ජනතා සේවා පසුබිමක් තිබීම මෙන්ම මතභේදයකට තුඩු නොදෙන ආකාරයේ සමාජ පිළිගැනීමක් තිබීම, ඒ සඳහා අනිවාර්යෙන්ම අවශ්‍ය වනු ඇත. සමාජ ප‍්‍රශ්න වෙනුවෙන් හරවත් දායකත්වයක් ලබා දීම යනු ව්‍යාජාලංකාරාත්මක අතිශයෝක්තින්ගෙන් පිරුණු ප‍්‍රකාශවලට පමණක් සීමා වූවක් විය නොහැක. එයින් ඔබ්බට යන තිරසාර පදනමක් සහිත දැක්මක් මුල් කරගෙන ඉදිරිපත් කෙරෙන යෝජනා හා අදහස් වලින් පෝෂණය වූවක් විය යුතුය.

ලාංකීය සමාජය සංස්කෘතිය පදනම් කරගත් ප‍්‍රභවයක් පෙන්නුම් කරන බැවින්, සෑම සමාජ බලවේගයක්ම සංස්කෘතික පසුබිම පිළිබඳ සැලකිලිමත් වීම අතිශයින් වැදගත්ය. සංඝ සමාජයේ නායකත්වය සහ සඟරුවනගේ දායකත්වය කිසිම ආකාරයකින් සුළු කොට තැකිය නොහැකිය. පූජ්‍ය සෝභිත හිමිපාණන්ගේ විප්ලවීය සමාජ මෙහෙවරේ සාර්ථකත්වය වූයේද එයයි. එමනිසා වෙනත් පූජක පක්ෂ වලින්ද මහ සඟරුවන වෙතින්ද ආශිර්වාදාත්මක සහයෝගයක් ඒ සඳහා තිබිය යුතුය. සෝභිත හිමිපාණන්ගේ දැක්මට අනුග‍්‍රහය සහ අනුබලය ලබා දුන් මහ සඟරුවන අතරින් වත්මන් රික්තය පුරවා ගැනීම අතිශයින් වැදගත් ලෙසින් සලකමින් දේශපාලන වශයෙන් නොකිලිටි ඉතිහාසයක් සහිත, සම්ප‍්‍රදායය ගරු කරන, පොදු ජනතාවගේ පිළිගැනීමට භාජනය වූ නායකත්වයක් සමඟ, උගත්, ප‍්‍රබුද්ධ, අවංක, සමාජ සේවයකට පරිත්‍යාගශීලීව කැපවෙන පිරිස්වලින් සමන්විත සිවිල් සමාජ බලවේගයක් අප‍්‍රමාදව ඇතිකර ගත යුතු වේ.

පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතා පූජ්‍ය සෝභිත හිමියන්ගේ සේවය ආවර්ජනය කරමින් පසුගියදිනවල පලකරන ලද ලිපියට ප‍්‍රබල සිවිල් සමාජ සංවිධානයක් ගොඩ නැගීමේ අපේක්ෂාව මුල්කරගෙන කටයුතු කරන සියලූ දෙනාගේම කෘතඥතාවය පළවිය යුතුය. යළි යළිත් එම අතීතය ආවර්ජනය කිරීමත් එම සමාජ විප්ලවයේ අත්දැකීම් තුළින් පෝෂණය වීමත්, ඉදිරි සමාජ පෙළගැසීම්වලට ආශිර්වාදයක් වන අතර, වර්තමානය දෙස විචක්ෂණශීලී ලෙස බලමින් අනාගතය සැලසුම් කිරීමටත් උපකාරී වනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.