Colombo Telegraph

මහජන බැංකුවේ ඩිජිටල් වංචාව සහ ප්‍රතිරූපය

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

“මහජන බැංකුවට එරෙහිව ද්වේශ සහගත අසත්‍ය තොරතුරු පිළිබඳ දැනුවත් කිරීමක්” බව සඳහන් කරමින් එක් පුවත් පතක් හැරෙන්නට අනිත් දිනපතා සහ සති පතා ඉංගි‍්‍රසි සිංහල හා දමිළ පුවත් පත් සියල්ලකම මුදල් ගෙවා ප‍්‍රචාරය කරන ලද විශාල දැන්වීමක් මඟින් බැංකුවේ නිවේදනයක් පසුගිය දිනවල පල කර තිබුණි.

එම ප‍්‍රචාරක දැන්වීමේ අරමුණ වශයෙන් දක්වා තිබුනේ මහජන බැංකුව තුල රුපියල් කෝටි හැත්තෑවක මහා වංචාවක් සිදුව ඇතැයි පවසමින් සත්‍ය තොරතුරැ විකෘති කර බැංකුවේ ප‍්‍රතිරූපයට බරපතල හානියක් සිදු කිරීමට බැංකුවට එරෙහිව කටයුතු කරන කිපදෙනෙකුගේ උත්සාහයක් මේ වන විට පවතින බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කල කළමණකාරීත්වය අදාල කරුණ සම්බන්ධ​යෙන් පැහැදිලි අවබෝධයක් බැංකුවේ වටිනා ගණුදෙනුකරැවන් ඇතුළු මහජනතාවට සහ සේවක ප‍්‍රජාවට ලබා දීමට තීරණය කරමින් එම නිවේදනය නිකුත් කල බවයි.

1961 වසරේ දිවංගත ගරු සිරිමාවෝ බණඩාරනයාක මැතිණිය අගමැති තනතුරේ සිටියදී අභාවප‍්‍රාප්ත ගරු ටී.බී.ඉලංගරත්න ඇමති තුමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පණතක් මඟින් මෙම මහජන බැංකුව නමැති ජනතා ආයතනය බිහිවිය. එහි පළමු සභාපතිවරයා හැටියට ශී‍්‍ර ලංකාවේ එවකට ජීවතුන් අතර සිටි අද්වීතීය ශ්‍රේෂඨතම සමුපකාරිකයා වශයෙන් පිළිගැනීමට භාජනය වී සිටි සඳලංකාවේ ශී‍්‍රමත් වින්සන්ට් සුබසිංහ මැතිඳුන් පත් කරනු ලැබිණි. එදා මෙදා තුර අප දන්නා ඉතිහාසය තුල කිසිම දිනක මහජන බැංකුවට එරෙහිව කිසිම අවස්ථාවකදී එහි ප‍්‍රතිරූපයට හානිකර ජන මතයක් ප‍්‍රචාරය වී නැති බව අවධාරණයෙන් සඳහන් කලයුතු වේ. පසු කාලීනව බැංකුවට බැඳුන සමහරුන්ගේ ඉතිහාසය 2000 දී ආරම්භවන බව මහජන බැංකුවේ කරුණු පැහැදිලි කිරීමේ වෙළඳ දැන්වීම අනුව පෙනී ගිය ද, බැංකුවේ ගමන් මග ඔවුන්ගේ දැන්වීම පරිදි 2000 දී අසතුටුදායක මුල්‍ය තත්වයකට පත්වු බව සඳහන් කිරීම අසත්‍ය මෙන්ම විකෘති හුවා දැක්වීමක් බව සඳහන් කල යුතුව ඇත. මුලින්ම බැංකුවේ මුල්‍ය තත්ත්වයේ සත්‍ය ඉතිහාසය විකෘති කිරීම පිළිබඳව හරි හැටි පැහැදිලි කලයුතුය

1992 පෙබරවාරි 19 වන දින රටේ ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙක වු ලංකා බැංකුව සහ මහජන බැංකුව ණය ගෙවාගත නොහැකිව වස්තු භංගත්වයට පත්ව ඇති බව එවකට අගමැති හා මුදල් ඇමති වරායාවු ගරු ඞී.බී. විජයතුංග මහතා විසින් පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කල අතර 1992 මාර්තු 20 වන දින එම ප‍්‍රකාශය පදනම් වු විශ්වාස භංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය විය. මහජන බැංකුව මුල්‍ය පරිහානියකට වැටී ඇති බව පළමු වරට හෙලිදරව් කරන ලද්දේ රටේ අගමැතිවරයා වු එවකට සිටි මුදල් ඇමතිවරයා විසිනි. බැංකුව පිළිබඳ අටුවා ටිකා එහෙන් මෙහෙන් උපුටා ගෙන ජනතාවට ඊනියා කරුණු පැහැදිලි කරන වර්තමාන කළමණාකාරිත්වය මේවා ගැන නොදන්නා බව ඔවුන්ගේ වෙළඳ දැන්වීම අනුව පැහැදිලිවේ. 2000 වසරේ දී මහජන බැංකුව ආ ගමන් මග තුල 40 වසරක ඉතිහසයේ ඉතාමත් අසතුටුදායක මුල්‍ය පදනම වාර්තා කල බව මොවුන් කියන්නේ 1992 බැංකුව මුහුණපා තිබු තත්ත්වය පිළිබඳව කිසිම අවබෝධයක් නොමැතිව විය යුතුය.

බැංකුවේ කරැණු පැහැදිලි කිරීමේ වෙළඳ දැන්වීමේ සඳහන් පළමු අසත්‍යය එසේය. මහජන බැංකුව දේශපාලන බලපෑම් වලින් නිදහස්ව වෙනත් වාණිජ බැංකු සමග වාණිජමය පදනමක් මත තරඟ කාරීව කි‍්‍රයාත්මක වන බැංකුවක් වශයෙන් ප‍්‍රතිව්‍යුහගත කිරීමට භාජනය වුයේ 2001 දී නොව1992 දී ය.

මෙම දැන්වීම් අතිරේකයේ සඳහන් එක් එක් කරුණ පිළිබඳව අවධානය යොමු කලයුතුය.

බැංකුවේ ප‍්‍රතිරුපයට හානිකර පුවත් පලකිරීමක් සම්බන්ධ​යෙන් ජාතික පුවත් පත් වලට චෝදනා කරමින් එයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඇත. අප දන්නා විදියටත්, මේ රටේ ජනතාව කිසිම සැකයකින් තොරව නිවැරදිව තේරුම් ගන්නා ආකාරයටත් අනුව, මහජන බැංකුවේ ප‍්‍රතිරූපයට හානිකර කිසිම චෝදනාවක් කිසිවෙක් විසින් වත් ඉදිරිපත් කර නැත. සිදුවී ඇත්තේ වංචාකාරී ලෙසට කටයුතු කරමින් බැංකුවේ සම්මත කි‍්‍රයා පටි පාටියට පටහැනි ලෙසින් සිදු කර ඇති ගණුදෙනු පිළිබඳව හෙලි දරව් කිරීමක් පමණකි. එයින් බැංකුවේ ප‍්‍රතිරුපයට කිසිම ආකාරයක හානියක් නොවන බවත්, බැංකු ප‍්‍රතිරූපයට මුවා වෙමින් වංචනික කටයුතු වල නියැලී සිටින අයගේ කි‍්‍රයා පටිපාටිය හෙලිදරව් වීම පමණක් බවත් අවධාරණයෙන් සඳහන් කර සිටිමු. ආයතනයක කටයුතු වංචනික ලෙස මෙහෙයවන පිරිස් නිසා ආයතනයට කැලලක් වුවද, එහි ප‍්‍රතිරූපය බිඳ වැටීමට එය හේතුවක් වන්නේ නැත. මක්නිසාද එසේ හෙලි දරව් කිරීම නිසා එබඳු වංචනිකයින් ඉවත් කොට පරිපාලනය පිරිසිදු කරගත හැකි වන බැවිනි. ප‍්‍රතිරූපය බිඳ වැටීමක් සිදුවන්නේ එම දුෂිතයින් තවදුරටත් රඳවාගෙන සිටීමෙන් විනා ඔවුන් හෙලිදරව් කිරීම නිසා නොවන බව බුද්ධිමත් ජනතාව තේරැම් ගන්නවා අත. රටේ මුදල් ඇමති වරයා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කරමින් මහජන බැංකුව වස්තු භංගත්වයට පත්ව ඇතැයි කියු අවස්ථාවේදීවත්, අයහපත් ප‍්‍රතිචාරයක් නොදැක් වීමටත්, බැංකුවට හානිකර කිසිම පියවරක් හෝ ගැනීමටත් මේ රටේ ප‍්‍රබුද්ධ මහජනතාව කටයුතු නොකල බව බැංකුවේ කළමණාකාරිත්‍වය තේරුම් ගත යුතුය. හොර මැරකම් හෙලි දරව් වන විට බැංකුවේ ප‍්‍රතිරූපයට මුවා වෙමින් සියළු කටයුතු වසා ගැනීමට වෙළඳ දැන්වීම් පල කිරීමෙන් පලක් නොවන බවත්, එබඳු කි‍්‍රයා වලට වැඩි ආයුෂ කාලයක් නොමැති බවත් තේරැම් ගත යුතුය.

ඊලගට මෙම දැන්වීමේ සඳහන් වන්නේ බැංකුවේ ඩිජිටල් කරණයට වැය කිරීමට යන්නේ කෝටි 70 ක් නොව කෝටි 50 ක් පමණක් බවය. 70-50 වු පලියට වංචාවේ වගකීම අඩුවන්නේ නැති බව පෙන්වා දිය යුතුය. තවද කිසිම ආකාරයක මිලදී ගැනීමක් මේ වන විට කර නැති බවද එහි සඳහන් වේ. ඒක නම් ඇත්තකි. මක්නිසාද යත් මගඩිය කල් වෙලා ඇතිව හෙලදරව් වීම නිසා වැඬේ අතේ පත්තු වී ගිය බැවින්ය.

2016 අගෝස්තු මාසයේ 04 වනදා කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පලවු ලිපියකින් 2015 වේ ඔක්තෝම්බර් මසයේ සිට මෙම ඊනියා ඩිජිටල් කරණය දෙසට ගමන් කරමින් තිබෙන පෙරහැර ගැන විස්තර හෙලිදරව් විය. මලයාසියාවේ සිල්වර් ලෙක් සමාගමට එහි නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන දේශිය සැපයුම් කරුවෙකු හරහා ඇමරිකානු ඩොලර් මිලියන 11 ක කොන්ත‍්‍රාත්තුවක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනැමීමට ගත් තීරණයක් පිළිබඳ කරුණු එනිසා හෙලිදරව් විය. එම ගනුදෙනුවට අදාලව 40% ක අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමත වී ඇත.

කෝටි 70 ක වංචාවක් හැටියට පුවත් පත් මගින් අගෝස්තු මසයේදී හෙලිදරව් වුයේ, එම විදේශිය සමාගම සහ එහි නියෝජිත ලංකා සමාගම සමඟ ඩිජිටල් කරණයේ ඊලග පියවර හැටියට, ටෙන්ඩර පටිපාටියට අනුකූල නොවන පියවර හරහා මිලට ගැනීමේ සිද්දියකි. එහෙත් එය අවසන් කිරිමට ප‍්‍රථම අභියෝගාත්මක අන්දමින් ප‍්‍රසිද්ධ වු නිසා දැන් එය තවමත් සිදු කර නැති කාර්යක් හැටියට බැංකුව විසින් පෙන්වා දිම හාස්‍යයට කරුණකි.

ඊළඟට මෙම දැන්වීමේ සඳහන් වන්නේ මහජන බැංකුව පුර්ණ ඩිජිටල් කරණයට අනුකූලව සිදු කිරීමට නියමිත මිලදී ගැනිම් කරගෙන යන බවයි. අප දන්නා මහජන බැංකුවේ පනතට අනුකූලව පරමාර්ථ වශයෙන් දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා සමුපකාර ව්‍යාපාරය, ග‍්‍රාමීය බැංකු ක‍්‍රමය කෘෂිකර්මාන්තය සහ කාර්මාන්ත සංවර්ධනය කිරිම සහ ඒවාට උපකාරි විමත් වානිජ බංකු කටයුතු උකස් ව්‍යාපාරය සහ වෙළඳ බැංකු කටයුතු පවත්වා ගෙන යාමත් යන අරමුණු ය. බැංකුව ඩිජිටල් කරණය හරහා කෘෂිකර්මාන්තය හා කර්මාන්ත නඟා සිටුවීම සහ උගස් ව්‍යාපාරය ඩිජිටල් කරණය කිරිමත් පසුකාලීනව බැංකුවට එක්වු අමුත්තන් විසින් ඉස්මතු කරගත් ප‍්‍රමුඛ තාවයක් බව පැහැදිලිය. බැංකුවේ මුලික පරමර්ථ ඉටු කිරිමෙන් බැහැර වෙමින් ඩිජිටල් කරණය හරහා හදිසි ප‍්‍රමුඛතාවයකින් මුදල් සම්භාරයක් පිල්ලි ගසා ගැනිමට වෙරදැරීම කිසිසේත්ම බැංකුව පිහිටුවා ගැනීමේ මුලික අරමුණු වලට අයත් වන කි‍්‍රයාවක් නොවන බව කිසිවෙකුටත් තේරැම් ගැනීමට අපහසු නැත.

ඩිජිටල් කරණය සහ බැංකුවේ පරමාර්ථ ඉටු කරගැනිම වැනි මාතෘකා පිළිබඳව ජනතාව නිසි අයුරින් දැනුවත් කිරිමට නොහැකි වි තිබෙන්නේ බැංකුවේ දැවැන්ත ප‍්‍රචාරක වියදම් බජට්ටුවේ ගම්භිරත්වයට යටකරගෙන සිටින හීලෑකරගත් මාධ්‍ය ව්‍යාපාරය නිසාය. මෑත කාලයේ දී බැංකුවේ වංචනික නිලධාරින් ගේ ඊනියා ඩිජිටල් කරණය දෙස කිසිවෙකු ද්වේශ සහගතව කරුණු හුවා දක්වන බව සඳහන් කිරීම ඒ අයට කරන බලවත් අපහාසයකි. ඇත්ත වශයෙන් කරුණු හුවා දක්වමින් සිටින අය විසින් කරණු ලබන්නේ වංචනිකයින් විසින් ගෙන යමින් තිබෙන දූෂිත කි‍්‍රයා දෙස දැඩි පිළිකුලකින් බැලිමකි. සෙසු වනිජ බැංකු සිය ක්‍ෂේත්‍ර​රය තුල දැඩි තරගකාරීත්‍වයකින්, මහත් පරිශ‍්‍රමයකින් හා මනා සැලැස්මකින් ව්‍යාපාර කටයුතු කරමින් ඉතා ඉහල මට්ටමක ලාභදායී තත්‍වයක් උදාකර ගෙන සිටින අතර මහජන බැංකුව රජයට ණය සහ අයිරා පහසුකම් දෙමින් ද ජනයාගේ උකස් භාණ්ඩ පොලිය මගින් ද ලාභ ඉපැයීමට සිමාවි ඇත. ප‍්‍රධාන බැංකු කටයුතු හරහා මහජන බැංකුව සිය ලාභයෙන් 8% වත් උපයා ගන්නේ නැත.

ඩිජිටල් කරණය හරහා ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යාප්ත කර ගැනීම සඳහා කිසිම උපාය මාර්ග සැලැස්මක් ද මේ දක්වා සකස් කරගෙන නැත. එය වෙනුවට බැංකු අතරේ ඩිජිටල් කරණයේ පලවෙනි තැන ලබා ගැනීමට අරමුණු කරගෙන සිටින බව සඳහන් කිරීම කිසිම පදනමක් නොමැති ප‍්‍රකාශයක් පමනක් බව පැහැදිලිය.

ඇත්ත වශයෙන් මේ වනවිට බැංකුවේ අභ්‍යන්තර සේවක දායකත්වය උපයෝගි කර ගනිමින් නව තාක්‍ෂණ මෙවලම් හරහා ගණුදෙනු කරුවන්ට ලබාදිය හැකි සේවා සියල්ලක්ම පාහේ මහජන බැංකුව ලබාදීමට සමත්වි සිටි. දැන ගන්නට තිබෙන අන්දමට සේවක දායකත්වයෙන් අභ්‍යන්තරව සැලසුම් කරගත් ව්‍යාපාර පද්ධති වලට පවා විදේශිය සමාගම්වල උප්පැන්න සහතික ලබා දෙමින් මුදල් වැය කිරීමේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක වී ඇත. ස්වාධීන පරීක්‍ෂණ අවස්ථාවක් ඇතිවුවහොත් එම තොරතුරු නිසකවම හෙලිදරව් වන බව විශ්වාස කලහැක .

තවද මෙම වකවානුවේ මහජන බැංකුවේ තොරතුරැ තක්‍ෂණ අංශයේ ප‍්‍රධානියා වශයෙන් ටෙලිකොම් සමාගමේ සේවය කරමින් සිටි අයෙක් බඳවා ගැනීමට ද කටයුතු කර ඇත. මොහුගේ බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මූලික සුදුසුකම් පිළිබඳ ප‍්‍රකාශ වන සැක සහිත කරුණු ගනනාවක්ම ඉස්මතුවි ඇත.

2015 ඔක්තොම්බර් මස 8 වෙනි දින අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්විමේදි මැලේසියාවේ සිල්ව ලේක් සමාගමෙන් ඇමරිකානු ඩෝලර් මිලියන 7.6 ක් සහ ඈ.ඩො. මිලියල 3.4 ක් වටින සේවා පැකේජයක් ලබා ගැනිම අනුමත කර ඇත. එදිනම පිපල්ස් කාඞ් මධ්‍යස්ථානයේ කම්පියුටර් පද්ධතියේ වැඩි දියුණු කිරිම් සඳහා ඇ.ඩො.935000 ක මෙවලම් මිලයට ගැනිමටත් තිරණය කර ඇත.

මේ ගනුදෙනු සඳහා ටෙන්ඩර් පටිපාරිය ට අනුකූලව කටයුතු සිදු වි නැත. සියළු ගනුදෙනුවල සම්පුර්ණ වටිනාකම රුපියල් බිලියන 2 ක් පමණ වේ.

2016 අගෝස්තු මාසයේ හෙලිදරව් වු කෝටි 70 ක ගණුදෙනුව මේ සියල්ලටම පසුව අනුමත කරවා ගැනීමට සුදානම් වු ගණුදෙනුවකි.

එය මාධ්‍ය හරහා හෙලි දරව් වීම නිසා දැනට අත් හිටුවා තිබන අතර, අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අළුත්ම තීරණය වී ඇතතේ එම ගණුදෙනුව අනුමත කිරීමට පලමුව කොම්පියුටර් තාක්‍ෂණය සම්බන්‍ධ විශේෂඥයෙකුගෙන් එය පරීක්‍ෂා කරවා ගෙන වර්තාවක් ලබාගැනීමය. මෙයින් ඉතා හොදින් පැහැදිලි වන කාරණයක් වන්නේ කලින් කරන්නට ගියේ තාක්‍ෂණික විශේෂඥ උපදෙස් ලබානොගත් කි‍්‍රයාවක් බවය.

තවද රු. මිලියන 155 ක් වටිනා තොරතුරු ආරක්‍ෂාකර තබා ගැනීමේ ක‍්‍රමවේදයක් මිලයට ගැනිමටද අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයක් ගෙන ඇත.

2015 සිටම මහජන බැංකුව ඩිජිටල් කරණය කිරීම සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩල සහ කළමණාකාරීත්‍වයේ අවධානය යොමු කල බවත් 2015 අපේ‍්‍රල් මාසයේ ඒ සම්බන්‍ධයෙන් වැදගත් තීරණ ගත් බවත් බැංකුවේ පැහැදිලි කිරීම් අතිරේකයේ සඳහන්ව ඇත.

සිදුව අති සිද්ධීන් හා ගෙන ඇති තීරණ දෙස ආපසු හැරී බැලීමෙන් නිවැරදි තත්ත්වය හොඳින් තේරුම් ගත හැකිය.

2015 අපේ‍්‍රල් 23 වන දින පැවති අධක්‍ෂ මණ්ඩල රැුස්වීමේදී සිල්වර් ලේක් ඉන්ටර් ග්‍රෙටඞ් බෑන්කින් සිස්ටම් (SIBS) නැමැති වැඩ සටහනක් අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමේ සාකච්ඡාවට භාජනය කර ඇත. එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් පසුව අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ සිල්වර් ලේක් සමාගම මඟින් හදුන්වා දී දැනට කි‍්‍රයාත්මක වෙමින් පවතින මුලික බැංකු කරණ කි‍්‍රයාවලිය පාදක කරගනිමින් ඩිජිටල් කරණයට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සිල්වර් ලේක් සමාගම සමග කේවල් කිරීම ආරම්භ කල යුතු බවය.

එහෙත් ඒ සමාගමට පමණක් හෝ ඒ සමාගම ලවා එම කාර්යය ඉටු කරවා ගැනීමේ සහ ඔවුන්ගේ සේවාව ලබා ගැනීමේ තීරණය් අධ්‍යක්‍ෂ මණ්ඩලය ගෙන නැත. පෙනී යන අන්දමට කලින් සඳහන් කරන ලද නිර්දේශය පදනම් කරගෙන එම සමාගමට ටෙන්ඩරයකින් තොරව කාර්යය පැවරීමට කීප දෙනෙක් මුල්වී කටයුතු කර ඇති බව පෙනේ. මෙය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ඇස් වලට වැලි ගැසීමක් ලෙසින් පෙනී යයි.

මහජන බැංකුව සිය නව තාක්‍ෂණ(කොම්පියුටර්) කටයුතු මධ්‍යස්ථානය වශයෙන් රු.ලක්‍ෂ 07ක් පමණවු කුලියක් ගෙවමින් පවත්වාගෙන යමින් තිබු ස්ථානයෙන් ඉවත්ව මාසයකට රුපියල් මිලියන 09 ක් ඉක්මවන කුලියක් ගෙවමින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතන පරිශ‍්‍රයේ ස්ථානගත කිරීමටද එම අධ්‍යක්‍ෂ මන්ඩලයේ රැුස්වීමේ දී තීරණය කර ඇත. තවඳ ඒ සඳහා රු.මිලියන 29.07 ක් වැය කොට නව උපකරණ පද්ධතියක් මිලයට ගැනීමෙන් ඒවායේ වාර්ෂික නඩත්තු කුලිය වශයෙන් රුපියල් මිලියන 2.09 බැගින් ගෙවීමටත් එම රැුස්වීමේදිම අනුමත කර ඇත.

මේ සියළුම ගණුදෙනු සිදුව ඇත්තේ දේශීය වශයෙන් එක් සමාගමක් හරහා වීමද ඉතා සැක කටයුතු කාරණයක් වී ඇත. ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීම, වෙනත් සැපයුම් කරුවන් ඉදිරිපත් නොවීම, බැංකුව ඇස්තමේන්තු කරන ප‍්‍රමාණයට සමාන මිල ගනන් එකම සමාගමකින් ඉදිරිපත් වීම, වැනි සියළු කරුණු මෙම සැක සහිත තත්‍වය වැඩි වීමට හේතු වී තිබේ.

බැංකුවේ පැහැදිලි කිරීමේ දක්වා ඇති තවත් එක් කාරණයක් නම් සැකයට භාජනය වී තිබෙන දෘඩාංග මිලයට ගැනීම සිල්වර් ලේක් සමාගමේ නිර්දේශය මත IMB වෙතින් කිරිමට සැලසුම් කරගත් සහ , උපක‍්‍රමශීලි ලෙසින් එකම පාර්ශවයකට පිරි නැමීම සඳහා යොදා ගත් සුක්‍ෂම වැඩපිලිවෙලක් බව සැක කිරීමට හේතු සාදක කීපයක්ම ඇත. දෘඩාංග නිර්දේශ කිරීම භාරවුයේ සිල්වර්ලේක් සමාගමටය. ඔවුන් දෘඩාංග සඳහා ලබාදුන් නිර්දේශ වලින් උපකරණවල නිෂ්පාදන අංක යටතේ ලැයිස්තුවක් ලබා දී ඇත. එසේ නිෂ්පාදන අංක සහිතව නිර්දේශ කලවිට එකම සමාගමක නිර්දේශිත අංකය සහිත භාණ්ඩම අනිවාර්යෙන්ම මිලයට ගතයුතු වන්නේය. එසේ වු විට වෙනත් සමාගමකින් භාණ්ඩ ලබා ගැනීමේ ඉඩකඩ සීමා වන්නේය. අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙම මිලදී ගැනීම් අනුමත කිරීම සඳහා රැුස්වීම පැවැත් වීමට ප‍්‍රථම මාධ්‍යය හරහා ආන්දෝලනයක් ඇති වු බැවින් වඩාත් විමසිලිමත් ව මෙම ගණුදෙනුව දෙස බැලිමක් සිදුවී ඇත. ඒ නිසා මෙම ගණුදෙනුව වෙනස් වී තිබෙන බව ඉතා පැහැදිලිය.

බැංකුවේ පැහැදිලි කිරිමේ දැන්වී මේ මෙසේ සඳහන්ව ඇත.

සමහර පුවත් පත් මගින් හුවා දක්වන ආකාරයේ මහා පරිමාණ හෝ වෙනත් ආකාරයේ හෝ අවධිමත් ගණුදෙනුවක් හෝ කිසිදු ආකාරයකින් සිදුවි නොමැති බව අවධාරනය කරන්නෙමු. මෙය කොයිතරම් සාවද්‍ය​ හා නොගැලපෙන ප‍්‍රකාශයක් ද යන්න සිතා බැලිය යුතු කාරණයකි.

විවිධ තොරතුරු සැකසහිත කාරණා පිලිවෙත් උල්ලංගනය කිරීම් අදී කරුණු රාශියක් පදනම් කරගෙන ඉදිරිපත් වන චෝදනා වලට චූදිතයා විසින්ම මුදල් ගෙවා ප‍්‍රචාරය කරන දැන්වීමකින් සහතිකයක් දීම කොයිතරම් දුරට පිළිගත හැකිද? බැංකු නිලධාරින් කෙලින්ම තමන්ගේ නිර්දෝෂි භාවය කියා පෑම වෙනුවට ස්වාධීන අපක්‍ෂපාත සොයා බැලිමකට ඉඩ සලස්වා එමගින් ප‍්‍රකාශයක් ලබාගත්තේ නම් කොතරම් හොදද? සාධාරණද? ඒත් එසේ නොකරන්නේ නොහැකි බැවින්ය. මෙබදු ප‍්‍රකාශ හා පිලිවෙත් නිසා ප‍්‍රශ්ණගත කාරණා සම්බන්ධ​යෙන් උනන්දුවක් දක්වන පිරිස් අතර තව තවත් සැකය වැඩි වීමට හේතුවනු ඇත.

වෙනත් බැංකු ද ඩිජිටල් කරණය වෙතට යොමු වී සිටින බවත් මහජන බැංකුව ඩිජිටල් කරණය ට අදාලව ලංකාවේ සාර්ථක ම බැංකුව බවට පත්විමට කටයුතු කරන බැවින් නොයෙකුත් කුමන්ත්‍රණ මහජන බැංකුවට එල්ලවන බව්ද පෙන්නුම් කිරිමට මෙම පැහැදිලි කිරිම උත්සාහ දරා ඇත. මෙය ඉතා පහත් පෙලේ අවලාදයක් බව නම් පෙනි යයි. බැංකු ක්‍ෂේත්‍රයේ තරඟ​කාරීත්‍වයක් පවත්නා බව සත්‍යයක් වන නමුත් මේ ආකාරයට ව්‍යාපාර සංවර්ධන කටයුතු සම්බන්‍ධයෙන් බැංකු අතර කුමන්ත්‍රණ කාරිත්‍වයක් පවත්නා බව ප‍්‍රසිද්ධයේ සඳහන් කිරිම නම් එතරම් ඥාන්විත කි‍්‍රයාවක් හැටියට පිලිගත නොහැකි ය. අනෙක් අතට බැංකුව විසින් බැංකුව ට විරුද්ධව කුමන්ත‍්‍රණයක් දියත්වෙමින් පවත්නා බව ප‍්‍රසිද්ධ කිරිම බැංකුවේ ව්‍යාපාර කටයුතු වලට බලවත් පහරක් වන බව මෙම කළමණාකාරිත්‍වයේ පිරිස් වලට නොපෙනි යැම කනගාටුවකට කාරණයකි. හොරකමක් වංචාවක් පිලිබඳව එල්ලවි තිබෙන චෝදනාවක් බැංකුවේ ව්‍යාපාර කටයුතු සම්බන්‍ධයෙන් පවතින කුමන්ත්‍රණයක් හැටියට ජනතාවට පෙන්වා දිම මුග්ධ කි‍්‍රයාවක් බව නොකියාම බැරිය.

විවේචන හා අපවාද කෙසේ හෝ යටපත් කර ඩිජිටල් කරණය දියත් කරගැනීම වෙනුවට හැකි අයුරින් ප‍්‍රධාන බැංකුකරණයට අදාලව සිය ව්‍යාපාර කටයුතු වලින් උපයන ලාභ ප‍්‍රමානය වැඩිකර ගැනිමට උනන්දුවිම විශාල මුදල් සම්භාරයක් වැය කරමින් සැලසුමක් නොමැති ඉලක්ක දෙසට හඹා යාමට වඩා කාලෝචිත බවඳ සඳහන් කල යුතුය. තැන්පත්කරුවන් ගේ මුදල් රිසිසේ වැය කිරිමට ඉඩකඩ තිබෙන පලියටම එසේ කිරිම දඩුවම් ලැබිය යුතු කාරණයක් බව සිහි තබා ගත යුතුය.

Back to Home page