Colombo Telegraph

බැඳුම්කර ගණුදෙනු තොරතුරු යළිත් උණුසුම් වේ

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

පසුගිය දින රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් සහ විධායක නිලධාරීන් බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුව තවත් අපූරු සිදුවීම් රාශියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ආරම්භයේ පටන් බැඳුම්කර වංචාව ප‍්‍රබල පුද්ගලයින් පිරිසක් විසින් කරන ලද මහා පරිමාණ සැලසුම් කිරීමක් අනුව සිදුවූවක් බවට ජනතාව තුළ පැවති තදබල විශ්වාසය මෙම සාක්ෂිවලින් ලැබී ඇති තොරතුරු වලට අනුව සැකයකින් තොරව සනාථ වෙමින් පවතී. රාජ්‍ය බැංකු සභාපතිවරුන් මෙම රජය යටතේ දේශපාලන පත්වීම් ලැබූ පිරිසකි. සමහර විධායක නිලධාරීන්ද පසුගිය රාජ්‍ය පාලන සමයේ සිදුකල බවට විභාග වෙමින් පවතින වෙනත් විශාල මූල්‍ය වංචා විමර්ෂණ වලට භාජනය වූවන් ය. එසේ වුවද අගමැති වරයා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබෙන අන්දමට නීති මගින් ඔප්පුවන තෙක් කිසිවකු වරදකරුවෙකු නොවන බැවින්, ඔවුන්ගේ ක‍්‍රියාකලාපයන් කොතරම් දුරට වෘත්තීය හැසිරීම් සම්බන්ධයෙන් ආචාර සම්පන්න නොවන බවට ජනතාව තීරණය කර තිබුණද, ඔවුන්ට නිලතල වල දිගටම රැුඳී සිටීමට පුළුවන් වාතාවරණයක් ගොඩ නැගී ඇත. එබඳු තැනැත්තන් වගකිව යුතු නිලතලවල දිගටම රඳවා ගැනීමද, මහා පරිමාණ වංචා සැලසුම් වලටම අයත් වන තවත් පියවරක් ලෙස සැලකීමට ප‍්‍රබුද්ධ ලෙසින් කරුණු කාරණා දෙස බලන ජනතාවට සිදුවනු ඇත.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක රාජ්‍ය බැංකු සභාපතිවරුන් සහ විධායක නිලධාරීන් කැඳවා පසු දිනයක පැවැත්වීමට නියමිත මහ බැංකු බැඳුම්කර නිකුතුවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දීම සහ එයට අදාල වැදගත් කාරණා පසුව සාකච්ඡාකරන තෙක් මෙම බැංකු සභාපතිවරුන් සහ විධායක නිලධාරීන් සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු වෙනත් කාරණා කිහිපයක් ඇත. පළමු කොටම මෙබඳු උපදෙස් අමාත්‍යවරයා ලබා දීම පිළිබඳව ඔවුන් දක්වා ඇති ප‍්‍රතිකි‍්‍රයාව සහ ඔවුන් එම උපදෙස් වලට අනුකූලව කටයුතු කිරීම සඳහා ගන්නා ලද පියවර කවරේදැයි විමසා බැලිය යුතුය. ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් ප‍්‍රසිද්ධ කරන ලද දැන්වීමකට අනුව පැවැත්වීමට නියමිත බැඳුම්කර වෙන්දේසියකදී ඉදිරිපත් විය හැකි ඉල්ලුම් පොලී අනුපාත පිළිබඳව මුදල් අමාත්‍යවරයා දැනගන්නේ කෙසේදැයි විමසා බැලීමට එම කුප‍්‍රකට රැුස්වීමට සහභාගී වූ බැංකු නිලධාරීන් කිසිවෙකුටත් පිට කොන්දක් තිබුණ බවක් නම් නොපෙනේ. එසේ විමසුම් කිරීමට තරම් දැනුමක් තිබුණ අය එම පිරිසේ සිටියාද යන්න ද සැක සහිත කාරණයකි. අනිත් අතට ඔවුන්ගේ පත්වීම් ලබා දුන් වගකිව යුත්තන්ට සුවචව කීකරුව සිටීමේ පෙළඹවීම මත ඔවුන් කටයුතු කරන්නට ඇත යන නිගමනයටද කිසිවෙකුට එළඹිය හැකිය. එසේත් තැන්තනම් සැලසුම් කරන ලද බැඳුම්කර ගණුදෙණුවට ඔවුන් විසින් ලබා දුන් කිසියම් අනුග‍්‍රහයක් ලෙසින්ද යම් කෙනෙකුට මතයක් ඇතිකරගත හැක.

රවී කරුණානායක ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ආපසු තම තමන්ගේ බැංකු වලට පැමිණීමෙන් පසුව මෙම සභාපතිවරුන් සහ විධායකයන් ඇමතිවරයාගේ උපදෙස් ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාල වෙනත් බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේ කෙසේද යන්නත් සොයා බැලීමකට භාජනය විය යුතු වැදගත් කාරණයකි. එය බැඳුම්කර කොමිෂමේ විෂය ක්ෂේත්‍ර​යට පාරිබාහිරව වෙනත් පරිපාලනමය කටයුතු හා තීරණ ගැනීම් වලටද අදාලව සිදුවිය යුතු විමර්ෂණයකි. අල්ලස් හෝ දූෂණ විමසර්ෂන අංශයට, රාජ්‍ය හා පාලනය සම්බන්ධයෙන් අක‍්‍රමිකතා සොයා බලන වෙනත් ආයතනවලට හා රජයේ විගණකාධිපති වරයාට එම වගකීම පැවරෙනු ඇත. මහජන මුදල් සහ තැන්පත් කරුවන්ගේ මුදල් විශාල ප‍්‍රමාණයන් පාලනය කරන බැංකු සභාපතිවරුන් සහ විධායකයින් කාගේ බලපෑමක් යටතේ හෝ අක‍්‍රමිකතාවක් සිදු කොට එම බැංකුවලට අලාභයක් කිරීම හෝ අවස්ථානුකුලව උපයා ගත යුතු ලාභයක් ඉපැයීම මග හැරීම සාපරාධී ක‍්‍රියාවක් වන්නේය. ගැතිකම, නියාළුකම, බෙලහීනකම හෝ ආධාර දීම හා අනුබල දීම වැනි ඕනෑම හේතුවක් මත නිසි අයුරින් රාජකාරි කටයුතු ඉටු නොකර සිටීම හෝ නුසුදුසු ක‍්‍රියාවක් කිරීමට උපදෙස් දීම දඬුවම් ලැබිය යුතු වරදකි. විශේෂයෙන්ම බැංකු ක්ෂේත්‍ර​ය තුළ පවත්වා ගත යුතු අතිශයින් සුපිරිසිදු රාජකාරිමය ආචාරසම්පන්න පිළිවෙත් වලට නොගැලපෙන්නකි. එනිසා මොවුන් සියලු දෙනාටම එරෙහිව සුදුසු නිත්‍යානුකූල පියවර ගතයුතු බව රජයටත්, ජනාධිපතිවරයාටත් දන්වා සිටිය යුතුව ඇත.

දෙවනුව තරඟකාරී වාතාවරණයක පැවැත්වෙන වෙන්දේසියකදී එයට ලංසු ඉදිරිපත් කිරීමේ පිලිගත් ක‍්‍රමවේදය වන ස්වාධීන තුලනීක්ෂණයකින් බැහැරව, තර්කානුකූලව සාධාරණීකනය කළ නොහැකි පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹීම සහ වෙනත් නිලධාරීන් පෙළඹවීම බරපතල වැරැුද්දකි. එනිසා එබඳු ක‍්‍රියාවලට සම්බන්ධ සියලූම බැංකු ක්ෂේත්‍රයේ නිලධාරීන්ට එරෙහිව නීති මගින් සහ රාජ්‍ය පාලන ආචාරධර්ම පිළිවෙත් යටතේ නිසි පියවර ගත යුතුය. බැංකු ක්ෂේත්‍රයේ පවතින ප‍්‍රබල ස්වාධීණ වෘත්තීය සමිති ව්‍යාපාරය මෙම කාරණයට අප‍්‍රමාදව මැදිහත් වෙමින් ජනාධිපතිවරයාගේත් අනිකුත් අදාල ආයතනවලත් අවධානයට එය වහාම යොමු කළ යුතුය. බැංකු කටයුතු භාරවී ඇති අමාත්‍යවරුන්ගේ අනු දැනුමකින් තොරව මුදල් ඇමති වරයා කියන කියන දේ කිරීම ඔවුන් අතින් සිදු වූ වරදක් නොවේ ද?

බැඳුම්කර කොමිසමේ විභාගය අතරතුරදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සුඛෝපභෝගී මහල් නිවාසයක පදිංචියට යාම සම්බන්ධයෙන් මතු වූ ප‍්‍රශ්නගත තත්වය පිළිබඳව විමසිලිමත්ව හැරී බැලීමේදී බැංකු නිලධාරීන් විසින් ලබා දෙන ලද සාක්ෂිය අතිශයින් වැදගත් වේ. බැඳුම්කර අර්බුදයේ වඩාත්ම මතභේදකාරී ගණුදෙණුව සිදුවූයේ 2016 මාර්තු 29 සහ 31 දිනවල පැවති බැඳුම්කර වෙන්දේසි වලදීය. බැංකු සභාපතිවරුන් හා විධායක නිලධාරීන් විශේෂයෙන් කැඳවා එම වෙන්දේසි වලදී ලංසු තැබිය යුතු ආකාරය ගැන රවී කරුණානායක උපදෙස් ලබා දී ඇත. මේ කාල සීමාව වන විට පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී නව රජය වැඩ කටයුතු අරඹා තිබූ කාලයයි. නව පාර්ලිමේන්තුව ආරම්භ කරන ලද්දේ 2015.09.01 දින සිටය. එහි මුදල් ඇමතිවරයා වූයේ රවී කරුණානායකයි. මේ වන විට 2015 පෙබරවාරි 27 බැඳුම්කර සිද්ධියේ උණුසුම යටපත් වී පැවතිනි. පළමු COPE කමිටු විභාගය 2015.06.26 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සමගාමීව තාවකාලිකව යටපත් විය. ඉන් පසුව පැවති මැතිවරණයෙන් තේරී පත් වූ රජය බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් දෙවන COPE පරීක්ෂණය ආරම්භ කළේ 2016.05.06 වන දින දීය. ඉහත සඳහන් දින හා වකවානු අනුව 2016 මාර්තු 29 සහ 31 වැනි දිනවලදී බැඳුම්කර මගඩියට සංක‍්‍රාන්ති සමයක් විය. කාගේවත් අවධානය වැඩිපුර බැඳුම්කර සම්බන්ධයෙන් යොමු නොවී පැවති සමයක් විය. එමනිසා 2015 පෙබරවාරි 27 බැඳුම්කර මගඩිය සැලසුම් කළ අය හෝ එම මගඩියේ පූර්වාදර්ශයෙන් උසි ගැන්වුනු වෙනත් තක්කඩි සමූහයක් මාර්තු බැඳුම්කර මගඩිය සැලසුම් කළ බව පෙනී යයි.
එම බැඳුම්කර නිකුතු සඳහා ඉතා සැලසුම් සහගත පෙර සුදානමක් තිබී ඇත. තත්ත්වය නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා එ්වා එකින් එක සලකාක බැලිය යුතු වන්නේය.

01. 2015 දෙසැම්බර් 30 වන විට මහ බැංකු පොලී අනුපාතය 6% සිට 7.5% දක්වා වැඩි කිරීම.

02. 2016 පෙබරවාරි 19 වන විට පොලී අනුපාත 8.00% දක්වා වැඩ කිරීම.

03. බැඳුම්කර නිකුතුව 100% ක්ම වෙන්දේසි ලංසු මිල ගණන් වලට පමණක් සීමා කිරීම් සහ වඩා අඩු පොලියකට අර්ථසාධක, රක්ෂණ වැනි සුරක්ෂිත අරමුදල් වලින් සෘජුව ලබා ගැනීමේ පිළිවෙත අත්තනෝමතිකව නවතා දමා තිබීම.

04. ලංසු ඉදිරිපත් කරන අය අතරින් බලපෑමට යටත් කරගත හැකි හෝ අනුග‍්‍රාහාත්මක සහයෝගයක් ලබා ගත හැකි ප‍්‍රාථමික වෙළඳුන් වූ රාජ්‍ය බැංකු වලට අවිධිමත් උපදෙස් ලබා දෙමින් අයුතු ලාභ ලබා ගැනීමට පරපචුවල් ටෙ‍්‍රසරීස් සමාගමට මාර්ග විවර කර දීම.

05. ප‍්‍රකාශයට පත් කෙරෙන බැඳුම්කර නිකුත් කිරීමේ මුහුණත වටිනාකම් අවස්ථානුකූලව වැඩි කිරීමේ සම්ප‍්‍රදායයක් කලින් සිටම බිහි කරගෙන තිබීම.

මෙස් නිර්මාණය කරගත් පසුබිම යටතේ 2016 මාර්තු 10 සහ 24 යන දිනවලදී බැඳුම්කර නිකුත් කිරීම සඳහා පවත්වන ලද වෙන්දේසි දෙකම අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට සිදුවිය. එසේ වූයේ එම වෙන්දේසි දෙකේදීම ශ‍්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කලා ඵලදායිතා අනුපාත බොහෝ සෙයින් ඉක්මවමින් වැඩි අනුපාත යටතේ ප‍්‍රාථමික වෙළඳුන් ලංසු ඉදිරිපත් කිරීමයි. එමනිසා මාර්තු 29 සහ 31 දිනවලදී වෙන්දේසි දෙකක් පැවැත්වීමට සිදුවිය.

2016 මාර්තු 29 ට රු. බිලියන 10 බැගින් වූ එකිනෙකට වෙනස් කල් පිරිමේ සීමාවන් සඳහා රු. බිලියන 40 ක වටිනාකමින් යුත් බැඳුම්කර නිකුතුවක් සඳහා මිල ගණන් කැඳවන ලදි. පසුගිය දින බැඳුම්කර කොමිසම හමුවේ රාජ්‍ය බැංකු සභාපතිවරුන් හා විධායකයින් විසින් ලබා දුන් සාක්සි වලින් හෙළිදරව් වූ ආකාරයට රවී කරුණානායක මුදල් ඇමතිවරයාගේ ලංසු උපදෙස් නිකුත් කිරීම සිදු වී ඇත්තේ මෙම වෙන්දේසිවලට පෙර දිනයේදී ය.

2016 මාර්තු 29 වන දින වෙන්දේසිය සඳහා ලංසු කැඳවන ලද්දේ රු. බිලියන 40 ක් සඳහා වුවද රුපියල් බිලියන 77.73 ක් දක්වා ලංසු පිළිගන්නා ලදි. මිල ගණන් පිළිගන්නා ලද ලංසු අතරින් 60% ක් හිමිකරගෙන තිබුණේ පරපචුවෙල් ටෙ‍්‍රසරීස් නම් වූ මහ බැංකු අධිපතිවරයාගේ බෑණාට අයිති සමාගම විසින්ය.

එයද ලබාගෙන තිබුණේ ඉදිරිපත් වූ අනෙකුත් ලංසු වල ඵලදායිතා අනුපාත ප‍්‍රමාණයට සාපේක්ෂව ඉතා ඉහල පොලී අනුපාතයක් යටතේ වීමද සුවිශේෂී කාරණයකි. අනෙකුත් වැදගත් සුවිශේෂත්වය වන්නේ මාර්තු මාසයේ 10 සහ 24 දිනවලදී ප‍්‍රතික්ෂේප වූ ලංසු අනුපාත වලටත් වඩා ඉහල වටිනාකමකට 29 වන දින ලංසු භාර ගැනීමයි. මෙහිදී සිදුව ඇත්තේ ඉහත අවස්ථා දෙකේදීම ඉහල අනුපාත වීම හේතුවෙන් ප‍්‍රතික්ෂේප කරන ලද අනුපාත ඉක්මවා මේ වතාවේදීත් 14.0742 ක් දක්වා වූ ඵලදා අනුපාතයක් පිළිගැනීමයි. මේ අනුව රවී කරුණානායක ඇමතිවරයාගේ මැදිහත්වීම සහ උපදෙස් ලබා දීම මත රාජ්‍ය බැංකුවලට ස්වාධීනව සිය ලංසු ඉදිරිපත් කරගත නොහැකිවීම නිසා විශාල අවාසියක් සිදුවී ඇත. වාසිය සැලසී තිබෙන්නේ ඉතා අධික පොලී අනුපාතයක් යටතේ ඉල්ලුම් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණාටය.

මෙහිදී තවත් වැදගත් සුවිශේෂ කාරණයක් සිදුවී ඇත. සේවක අර්ථසාධක අරමුදලට කෙලින්ම ප‍්‍රාථමික වෙළඳ පොළෙන් බැඳුම්කර මිලදී ගැනීමට අයිතියක් තිබේ. එහෙත් මාර්ත 29 වන දින වෙන්දේසියට සේවක අර්ථ සාධක අරමුදල විසින් මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ රු. බිලියන 2.5 ක් සඳහා පමණකි. ඒ මුළු වටිනාකමටම බැඳුම්කර ලබා ගැනීමට ඔවුනට හැකි විය. එසේ වුවද මාර්ත 29 වන දින වෙන්දේසියෙන් බැඳුම්කර මිලදී ගත් වෙනත් ප‍්‍රාථමික වෙළඳුන්ගෙන් රුපියල් බිලියන 9.736 ක් වටිනා බැඳුම්කර 12.20 සිට 12.5 දක්වා වූ ඉහල ඵලදා අනුපාතයක් යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් වෙන්දේසියෙන් පසු දින කීපයක් තුලදී ද්විතීය වෙළඳපොලෙන් ලබාගෙන ඇත.

ඒවා එසේ විකිණීමේ වාසිය ද ලබාගෙන ඇත්තේ 29 වන දින වෙන්දේසියෙන් එ්වා මිලදී ගත් ප‍්‍රාථමික වෙළෙඳුන් විසිනි.

රවී කරුණානායක ඇමතිවරයාගේ ඊනියා ආර්ථික උපදෙස් මගින් රාජ්‍ය බැංකු සහ සේවක අර්ථසාධක අරමුදල පාඩු ලබද්දී වෙනත් ප‍්‍රාථමික වෙළඳුන් ලාභ උපයාගෙන ඇත්තේ එසේය.

විගණකාධිපති වරයාගේ ගණනය කිරීම් හා තක්සේරු අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව මුලින් නිවේදනය කළ බැඳුම්කර වටිනාකම රු. බිලියන 40 ඉක්මවා බිලියන 77.732 ක් දක්වා ලංසු පිළිගැනීම නිසා එදිනට පමණක් ශ‍්‍රී ලංකා මහ බැංකුවට සිදුව ඇති ඇස්තමේන්තුගත අවාසිය රුපියල් මිලියන 784 ක් ඉක්මවා ඇත. එම අලාභය එකක් රුපියල් මිලියන 170 ක් පමණ වූ සුපිරි මහල් නිවාස 4 ක වටිනාකමටත් වඩා වැඩිය.

බැඳුම්කර කොමිසම ඉදිරියේ රාජ්‍ය බැංකු අංශයේ සාක්ෂිකරුවන්ගේ වැමෑරීම කිසිසේත්ම ස්වෙච්ඡාවෙන් හෝ කැමැත්තකින් කරන ලද්දක් ලෙසින් පිළිගත නොහැක. මෙතරම් කාලයක් මුළුල්ලේ මෙම විෂයය සම්බන්ධයෙන් පැවති විවිධ විමර්ෂන හා පරීක්ෂණ කිසිවකදී මෙම තොරතුරු හෙළිදරව් වී නැත. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින් සිය බලවත් පරිශ‍්‍රමය සහ දක්ෂතාවයන් ලෙසින් ඉස්මතු කරගත් තොරතුරු නිසාවෙන් බොහෝ දෙනෙකුට අකමැත්තෙන් වුවද ගොළුවත සිඳීමට සිදුව ඇතිව බව මුළු රටටම රහසක් නොවන්නේය. මකා දමන ලද දුරකථන කෙටි පණිවිඩ, දුරකථන සාකච්ඡා වලින් සොයාගත් පුද්ගලයින් සාක්ෂිවලට හා ප‍්‍රකාශන ලබා ගැනීමට කැඳවීමේදී ඔවුනට එම තොරතුරු හමුවේ මඟහැරිය නොහැක. පෙර කාලවලදී 7 වෙනි තට්ටුව ගෙන ගොස් ඉල ඇට දෙක තුනක් බිඳීමෙන් පසුව ලබා ගන්නා තොරතුරු අද නිලධාරීන්ගේ දක්ෂකම් මත තාක්ෂණය තුළින්ම ලබා ගැනීමට හැකිවීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට ජනතා ප‍්‍රසංශාව හිමිවිය යුතු අතර තාක්ෂණයට මුවාවී වංචාවල නිරතවී සිටිනවුන්ටද මෙය තදබල අනතුරු හැඟවීමක් බවද සඳහන් කරමු.

2016 මාර්තු 29 සහ 31 වැනි දිනවල පැවති බැඳුම්කර වෙන්දේසියේදී අර්ජුන හා අර්ජුන් සමාගම කටයුතු කර තිබෙන ආකාරය විශ්මය ජනකය. මෙම වෙන්දේසි දෙකේදීම බැඳුම්කර නිකුත් කිරීම සඳහා ප‍්‍රකාශිත මුළු වටිනාකම වූ බිලියන 55 කින් රුපියල් බිලියන 49.4 ක බැඳුම්කර සඳහා මිල ගණන් ඉදිරිපත් වී ඇත්තේ පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමෙන්ය.

ලබාගත් බැඳුම්කර වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවට මුදල් පියවීමට නියමිතව තිබුණේ 2016.04.01 දිනටය. එදිනට රුපියල් බිලියන 42 ක් අදාල සමාගම විසින් ගෙවිය යුතුව තිබුණි. එහෙත් එම සමාගම එම මුදල් පියවීම සිදුකර ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පවතින පහසුකම් යටතේ රුපියල් බිලියන 36 ක මුදලක් ණයට ගැනීමෙනි.

එම මුදල් පියවීම නියමිත දිනට නොකිරීම නිසා ශ‍්‍රී ලංකා මහ බැංකුව එම සමාගමට රුපියල් මිලියන 21.3 ක දණ්ඩනයක් පවා පනවා තිබුණි. මෙම ණය පහසුකම් ලබා ගැනීම සඳහා ද එම සමාගමට ඉතා ඉහල අනුග‍්‍රාහාත්මක සහයෝගයක් එවකට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ඉහල තැන්වලින් ලැබී තිබුණ බව ලබා ඇති පහසුකම් ප‍්‍රමාණය අනිකුත් ප‍්‍රාථමික වෙළඳුන්ට ලබාදී ඇති ප‍්‍රමාණයට සාපේක්ෂව බැලූ විට පෙනී යයි.

2016 අපේ‍්‍රල් 01 සිට 08 දින දක්වා ශ‍්‍රී ලංකා මහ බැංකුව සියලූම ප‍්‍රාථමික වෙළඳුන්ට ලබා දුන් කෙටි ණය පහසුකම් වල එනකතුව රුපියල් බිලියන 89 ක් වූ අතර එයින් බිලියන 66 ක්ම ලබා දී ඇත්තේ පර්පචුවල් ටෙ‍්‍රසරීස් නම් වූ සමාගමට වීමද වැදගත් තොරතුරකි.

අගමැතිවරයා ලබා දුන් උපදෙසක් අනුව සෘජු බැඳුම්කර නිකුතුව නවතා දැමූ හෙයින් ඉදිරිපත් වූ වෙන්දේසි මිල ගණන් අනුව ඉතා ඉහල එමෙන්ම මහ බැංකුවට අවාසිදායක වූ පොලී අනුපාත පවා නොතකමින් ඉල්ලා තිබූ බිලියන 40 වෙනුවට බිලියන 77.7 ක් දක්වා බැඳුම්කර නිකුත් කිරීමද සඳහන් කිරීමට වටිනා සිද්ධියක් වේ. මේ සියලූම කෙරුවාවල්වල අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් පත්කරන ලද මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමට එක් වසරක් වැනි කෙටි කාලයක් තුලදී රුපියල් බිලියන 10 ක් ඉක්මවන අසීමිත විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට මාර්ගය විවෘත වීමයි. දැන් කවුරු කුමක් කීවත් සිදුකර තිබෙන දෙය ජනතාවට පැහැදිලි වී අවසානය. එයට ජනතා තීන්දුව ප‍්‍රකාශ කෙරෙන දිනයක්ද උදාවනු ඇත.

Back to Home page