Colombo Telegraph

මට අවශ්‍ය වන්නේ මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත් කිරීමටයි

රනිල් වික්‍රමසිංහ –

මෙවර ජාත්‍යන්තර මැයි දිනයේ දී එක්සත් ජාතික පක්‍ෂය සිය බලය සහ ජවයත්, රටේ බලයත් මනාව මුළු ලෝකයටම ප්‍රදර්ශනය කළා. කොළඹ කැම්බල් පිටියේ දී මෙවර අප පැවැත්වූයේ 1977 ජාතික මැයි පෙළපාලියට සහ රැළියටත් වඩා දැවැන්ත, විශාල සහ බලවත් ජාතික මැයි රැළියක් බව කිව යුතුයි. මේ ඓතිහාසික ජාතික මැයි පෙළපාලියට සහ රැළියට එක්වූ සියලූම එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට මම මගේ ආචාරය පුද කරනවා.

ජාතික මැයි පෙළපාලිය සහ රැළිය සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් අපට උපකාර කළ සියලූ පාර්ශ්වයන්ට මම මගේ ස්තුතිය පුද කරන අතර ආරක්‍ෂාව සහ සාමය තහවුරු කිරීමට ඇපකැප වූ පොලිසියට ද ස්තුති කරනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික මැයි රැළිය වෙනුවෙන් අප ආණ්ඩුවෙන් කිසිවක්ම නොමිලයේ නොගත් බව කිව යුතුයි. අපේ පෙළපාලිය සහ රැළිය වෙනුවෙන් ආණ්ඩුවෙන් ගත් සියල්ලට අප අදාළ මුදල් ගෙවූ අතර මැයි පෙළපාලි සහ රැළි වෙනුවෙන් ආණ්ඩුවේ බස් රථ ද, රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය ද මුදල් ගෙවා මිලදී ගැනීම සඳහා අප අනෙකුත් දේශපාලන පක්‍ෂවලට ද අවස්ථාව සලසා දුන්නා.

මැයි දිනයේ දී ඒ පෙළපාලි සහ රැළි වෙනුවෙන් අප සියලූම දේශපාලන පක්‍ෂවලට සමාන අවස්ථා සහ ඓතිවාසිකම් ලබා දුන් අතර මැයි දිනයේ දී උපරිම බලය පෙන්වන්නේ කිනම් දේශපාලන පක්‍ෂය ද කියා බලා ගැනීමට මට අවශ්‍ය වුණා.

එසේ නම් මෙවර මැයි දිනයේ දී දැවැන්ත සහ අති විශාල මැයි පෙළපාලියක් සහ රැළියක් සංවිධානය කරමින් බලය පෙන්නුවේ එක්සත් ජාතික පක්‍ෂය සහ අපේ වෘත්තීය සමිති බව පැහැදිලිව කිව යුතුයි.

මේ රටේ ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වන අතර අග්‍රාමාත්‍යවරයා වන මම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයායි. එසේ නම් අප සියලූ දෙනාම මේ මොහොතේ සිටින්නේ අලූත් යුගයක සහ අලූත් ආණ්ඩුවක බව කිව යුතුයි. කිසිවකුට ඉතිහාසයේ කිරීමට නොහැකි වූ කාර්යභාරයක් අප සියලූ පාර්ශ්වයන් එකට එක්ව රටත් – ජනතාවත් වෙනුවෙන් කර තිබෙනවා. ඒ සියලූ පාර්ශ්වයන් එකට එක්වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ පාලනය පරාජයට පත් කිරීමටයි.

2015 දී එක්සත් ජාතික පක්‍ෂය මේ රටේ බලයට පැමිණ ආණ්ඩුවක් ගොඩනගන බව මම එදා පැහැදිලිව කියා සිටියත් බහුතරය මගේ ඒ කතාව පිළිගත්තේ නැහැ. නමුත් එදා මම රටත් – ජනතාවත් හමුවේ දුන් ඒ ප්‍රති ඥාවෙන් කොටසක් මේ වන විටත් ඉටු කර තිබෙන අතර මේ මැයි රැළිය අප පවත්වන්නේ ඒ පසුබිමේ සිටයි.

දින 100 ක් වැනි කෙටි කාලයක දී මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ මේ රට වෙලා ගෙන තිබූ තුන් බියෙන් අප මේ රටත් – ජනතාවත් ගලවා ගත්තා. රටත් ජනතාවත් එදා පෙළුනේ සිතේ බිය, කුසේ බිය සහ රටේ බිය යන තුන් බියෙනුයි.

කිනම් මොහොතක සුදු වෑන් මගින් පැහැර ගැනෙනු ඇතැයි ද, සිය රැකියා අහිමි වනු ඇතැයි ද, අනාගතයක් තිබේවිද, ඒකාධිපති රාජපක්‍ෂගේ භීෂණයෙන් විනාශයට පත්වේවි ද යන සිතේ බියෙන් ජනතාව එදා වෙලී සිටියා. එහෙත් මේ වන විට ජනතාවගේ සිතේ තිබූ ඒ බිය අප සම්පූර්ණයෙන්ම නැති කර තිබෙන අතර අප සියලූ දෙනාම දැන් ජීවත් වන්නේ සිතේ කිසිදු බියකින් තොරවයි.

ජීවත් වීමට හැකි වේවි ද, අතට මුදලක් සොයා ගැනීමට පුලූවන් වේවි ද, ජීවන බරින් මිරිකී මිය යයි ද යන කුසේ බියෙන් ද ජනතාව එදා පෙලූණු අතර ජනතාව පෙලූණු කුසේ බියෙන් ද අප මේ වන විට ජනතාව ගලවා ගෙන තිබෙනවා.

එමෙන්ම ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය ලෝකය සමග හැප්පී රටට – අනාගතයක් නැති කරාවි ද, සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් ජාතීන් අතර භේද භින්න ඇති කර රට විනාශ කරාවි ද, ලෝකය තවදුරටත් රටක් ලෙස අපව පිළිනොගනීවි ද ආදී වශයෙන් ජනතාව රටේ බියෙන් ද වෙළී මිරිකී අසරණ වී සිටිය නමුත් දින 100 ක් වැනි කෙටි කාලයකින් රටේ බියෙන් ජනතාව ගලවා ගැනීමට ද අපට හැකි වුණා.

දින 100 වැඩසටහන මගින් අප යෝජනා කළ වැඩ කටයුතු කිසිසේත් අපට කිරීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතා සිටි අතර ඒ අය කියා සිටියේ අප අසාර්ථක වනවා කියායි. එහෙත් දින 100 වැඩසටහන මගින් පොරොන්දු වූ ආකාරයටම අප තෙල් මිල අඩු කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලූ භාණ්ඩ මිල ගණන් අඩු කළා පමණක් නොව, තරුණ තරුණියන්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් නොමිලයේ වෙයි – ෆයි අන්තර්ජාල පහසුකම ලබා දීමට ද කටයුතු කළා.

ගර්භනී මාතාවන්ගේ පෝෂණ තත්ත්වය සහ සෞඛ්‍ය නගා සිටුවීම සඳහා රුපියල් 20,000 ක පෝෂණ දීමනාවක් එම මව්වරුන්ට ලබාදුන් අප රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප රුපියල් 5000 කින් වැඩි කිරීමට කටයුතු කළා. විශ්‍රාමික වැටුප රුපියල් 3500 කින් වැඩි කළ අප වී, තේ සහ රබර් සහතික මිලක් යටතේ මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 1200 ක් යෙදවීමට කටයුතු කළා.

සමෘද්ධි දීමනාව සියයට 200 කින් වැඩි කළ අප ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවගේ අතට මුදල් දී හොඳ සිංහල සහ හින්දු අලූත් අවුරුද්දක් රටට – ජනතාවට උදා කළ අතර කඩ මණ්ඩියේ ආර්ථිකය නගා සිටුවීමට ඒ ඔස්සේ කටයුතු කළා. එම නිසා සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද මෙවර කිසිවකුට බරක් වූයේ නැහැ.

මේ වැඩ කටයුතු සියල්ල අවසානයේ දී දින 100 වැඩසටහනේ අවසන් කොටස ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත්තා. එහෙත් බොහෝ අය කියා සිටියේ දින 100 ඉක්ම ගියත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වන බවයි. ඒ අභියෝගය භාර ගත් අප පොරොන්දු වූ පරිදිම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද රටත් – ජනතාවත් වෙනුවෙන් සම්මත කළා.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ වැටුප් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට ද රජය බදාදා (29) පැහැදිලි තීරණයක් ගත්තා. අප මේ තීරණය ගත්තේ අපේ වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සංගමය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙනුයි.
ඒ අනුව පෞද්ගලික අංශයේ සෑම සේවකයෙකුටම හිමි වන පරිදි ජාතික අවම වැටුප මාසිකව රුපියල් 10,000 ක් වශයෙන් අප නියම කර තිබෙනවා. ඒ වැටුප් වැඩි වීම පියවර දෙකකින් යුක්ත විය යුතු අතර මැයි පළමු වැනි දා සිට පෞද්ගලික අංශයේ සියලූම සේවක සේවිකාවන්ගේ වැටුප රුපියල් 1500 කින් වැඩි කළ යුතුයි. දෙවැනි පියවර ලෙස 2016 ජනවාරි පළමු වැනි දා සිට සියලූ සේවක සේවිකාවන්ගේ මාසික වැටුප තවත් රුපියල් 1000 කින් වැඩි කළ යුතුයි.

රටත් – ජනතාවත් වෙනුවෙන් මේ සියල්ල කළේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන ආණ්ඩුවක් නොව, සුළුතරයක් තිබෙන ආණ්ඩුවක් බව කිව යුතුයි. එසේ නම් රටත් – ජනතාවත් වෙනුවෙන් මේ කාර්යභාරය, වගකීම සහ යුතුකම ඉටු කිරීමට උදව් කළ සියලූ පාර්ශ්වයන්ට මම මගේ ස්තඣතිය පුද කරනවා.

ඒ අනුව මුලින්ම මම එක්සත් ජාතික පක්‍ෂයටත් මගේ ආදරණීය පාක්‍ෂික පාක්‍ෂිකාවන්ටත් ස්තුති කළ යුතුයි. මේ සෑම බරක්ම කර ගහ ගෙන ඇද්දේ අපේ පාක්‍ෂිකයින් වන ඔබලා වන අතර ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් මේ වෙනස ආරම්භ කළේ ඔබයි. මහින්ද රාජපක්‍ෂ පාලනයේ පරාජය සනිටුහන් වීම ආරම්භ වූයේ ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඔබ ආරම්භ කළ ඒ ගමන නිසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස නම් කර එතුමාට ජනාධිපතිවරණයේ දී ඡන්දය දෙන්නැයි මම ඔබගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී ඔබලා නොපැකිලිව මට වැඩ කරනවා වගේම එතුමාට වැඩ කරමින් එතුමා ජයග්‍රහණය කරවූවා. එසේ නම් එවැනි බරක් කර ගසා ගෙන ඇද්ද ඔබලාව අප බලාගත යුතු කාලය දැන් එළැඹ තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා මුස්ලිම් සංගමය, උඩරට ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ, මනෝ ගනේෂන් මහතාගේ පක්‍ෂය, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමාගේ පක්‍ෂය ඇතුලූ අනෙකුත් කුඩා දේශපාලන පක්‍ෂ ද, සිවිල් සංවිධාන ද, අපේ මාදුළුවාවේ සෝභිත නාහිමියන් ප්‍රධාන මහා සංඝ රත්නය ද, අන්‍ය ආගමික පූජක පක්‍ෂ ද ඇතුලූ බලවේග ගණනාවක් එකට වැඩ කළා. විවිධ මතවාද සහ අදහස් තිබුණත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය පරාජය කිරීම සඳහා අප සියලූ පාර්ශ්වයන් එකට එක්ව වැඩ කළා.

මේ සියලූ පාර්ශ්වයන් මේ සටන ගෙන ගියේ සිය ජීවිතය ගැන ද නොසිතා වන අතර බොහෝ අය සිය අමාත්‍යා ධූර පවා අතහැර මේ සටන වෙනුවෙන් එකට එක්වුණා. මේ සියලූ පාර්ශ්වයන්ට අප අපේ ස්තුතිය සහ ආචාරය පුද කළ යුතුයි.

එමෙන්ම සිය ජීවිතය ගැන පවා නොසිතා අමාත්‍ය ධූරය අතහැර මේ සටනට එක් වෙමින් ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ද අප අපේ ස්තුතිය පුද කළ යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටස් සහ අනෙකුත් කොටස් ද අප සමග එකට ඒකරාශී කිරීමට වැඩ කටයුතු කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද මේ මොහොතේ දී අප අපේ ස්තුතිය පුද කරනවා. නමුත් මේ සටනේ දී විශාලතම බරක් කර ගසා ගෙන ඇද්දේ එක්සත් ජාතික පක්‍ෂය සහ අපේ පාක්‍ෂිකයින් බව ද ඒ අතරම අප මතක තබා ගත යුතුයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අප රටේ අලූත් ක්‍රමයක් ඇති කර තිබෙන අතර මේ ඒ ක්‍රමයේ ආරම්භය පමණක් වන නිසා තව තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා. රටට – ජනතාවට අප මේ වන විට ලබා දී තිබෙන්නේ කෙටි කාලීන සහන පමණක් වන නිසා දීර්ඝ කාලීන සහන ද ලබා දිය යුතුයි.

ජනතාවට ඒ දීර්ඝ කාලීන සහන ලබාදීම සඳහා ඉදිරි මහ මැතිවරණයේ දී මේ සුළුතරයේ ආණ්ඩුව බහුතරයේ ආණ්ඩුව බවට පත් කළ යුතුයි. අපේ සුළුතරයේ ආණ්ඩුව, බහුතරයේ ආණ්ඩුව බවට පත් කිරීම සඳහා එකට ඒකරාශී වන්නැයි ඔබ සියලූ දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව අප රටේ ආණ්ඩුව ගෙන යන්නේ අලූත් ආකාරයකට වන අතර මට අවශ්‍ය වන්නේ මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත් කිරීමටයි. එහෙත් ඒ පාර්ලිමේන්තුවට මග පෙන්වන එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගෙන ස්ථාවර භාවයක් ඇති කළ යුතුයි.

මේ රටේ ආර්ථිකය ගොඩනගා ජනතාවට සහන සැලසිය හැක්කේ ද, ජාත්‍යන්තරයට සෘජුව කතා කළ හැක්කේ ද, ජනතාවගේ පසුම්බි සල්ලිවලින් පිරවීමට හැකියාව තිබෙන්නේ ද එක්සත් ජාතික පක්‍ෂයට පමණයි. දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලින් තොරව රටේ ආණ්ඩු බලය ගෙන යන්නේ ද එක්සත් ජාතික පක්‍ෂයයි.

එසේ නම් සියලූම දේශපාලන පක්‍ෂ ඒ මූලධර්ම ඔස්සේ ඉදිරියට ගෙන යමින් අලූත් පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවය ඇති කිරීම සඳහා ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයට බහුතරය ලබා දෙන්නැයි ඔබගෙන් මම ඉල්ලා සිටිනවා.

ඊට පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ සමග එකට වැඩ කරමින් අප අලූත් ආණ්ඩුක්‍රමයක් රටේ ඇති කරන අතර ඒ ගැන කිසිඳු සැකයක් තබාගන්න එපා යැයි ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

දින 100 ක් ඇතුළත දී කෙටි කාලීන සහන දුන්නා වගේම ඉදිරි අවුරුදු 5 ඇතුළත දී තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා දස ලක්‍ෂයක් ඇති කරමින් ජනතාවගේ ආදායම් දෙගුණ කර ජනතාවට හොදින් ජීවත් විය හැකි සමාජයක් මේ රටේ ගොඩනැගීමට මම ඇපකැප වනවා. එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ද, රටට අලූත් පාර්ලිමේන්තුවක් ද ඔබ ලබාදුන්නොත් ඔබටත්, රටටත් අනාගත දූ දරු පරපුරටත් මම ස්ථිර අනාගතයක් උදා කරනවා.

එසේ නම් වහාම ගමට ගොස් ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ජනතාව දැනුම්වත් කරමින් වැඩ කටයුතු කරන්නැයි ඔබ සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ මහ මැතිවරණය ජයග්‍රහණය කර මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත් කරමින් පැය 24 ම, සතියේ දවස් හතම සහ අවුරුද්දේ දවස් 365 ම ජනතාව වෙනුවෙන් වැඩ කර රටේත්, ජනතාවගේත් ප්‍රශ්න විසදනවා.

*කොළඹ කැම්බල් පිටියේදි පැවති ජාතික මැයි දින උත්සවය – අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස් 

Back to Home page