Colombo Telegraph

තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම – අවසාන කොටස

ආචාර්ය එස්. නාරාපලසිංහම්

ආචාර්ය එස්. නාරාපලසිංහම්

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය

පළාත්වලට බලය බෙදා හැරීම ප‍්‍රකාශයට පත්කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම, ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ ශ‍්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර, 1987 ජුලි 29 වැනි දා අත්සන් තැබුණි. 1978 ව්‍යවස්ථාවට ඉදිරිපත් කෙරුණු 13 වැනි සංශෝධනයත්, පළාත් සභා පිහිටුවනු ලබන 1987 අංක 42 දරණ පළාත් සභා පනතත්, 1987 නොවැම්බර් 14 වැනි දා, ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙන් සම්මත විය.

මේ සංශෝධනය තුළත්, දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් වශයෙන් පිළිගැනුණි. සිංහල ජාතිකවාදීන්ගේ සුපුරුදු බාධා කිරීම් තිබියදීත් එය පහසු කරවනු ලැබුවේ ඉන්දියාවේ මැදිහත් වීම නිසා ය. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිවරයා යටතේ යෝජනා වූ පළාත් මණ්ඩල ක‍්‍රමයට වඩා මෙකී පළාත් සභා ක‍්‍රමය යටතේ බෙදා හැරෙන බලය පුලුල් ය. එහෙත් අපේක්ෂිත අන්දමින් වර්තමාන පළාත් සභා ක‍්‍රමය එසේ ක‍්‍රියාත්මක වන්නේ නැත. හේතුව, ඉතා වැදගත් ක්ෂේත්‍ර වන ඉඩම්, පොලිස් සහ මූල්‍ය බලතල තවමත් මධ්‍යම ආණ්ඩුව යටතේ පැවතීමයි. බලය බෙදා හැරීමේ සැබෑ පරමාර්ථය ඒ මගින් ව්‍යර්ථ කෙරේ.

වෙනත් මගහැරුණු අවස්ථා

වාර්ගික ගැටුමට අදාළ රාජ්‍ය භාෂා ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව සහ දෙමළ නායකයන් අතරේ පැවති ද්වි-පාර්ශ්වීය එකඟතා අසාර්ථක වී, භාෂා ප‍්‍රශ්නය තවත් උත්සන්න වීම නිසා හටගත් දෙමළ විරෝධතාවන් ආණ්ඩුව විසින් මර්දනය කරනු ලැබීමේ ප‍්‍රතිපලයක් වශයෙන් සිවිල් යුද්ධ තත්වයක් ඇති වීමෙන් පසු, දුරදක්නා නුවණින් සහ මනා දැනුමෙන් යුත් පුද්ගලයන්ගෙන් සමන්විත උපදේශක කමිටුවල නිර්දේශ ඔස්සේ දේශපාලනික විසඳුමක් සොයා බැලීමට ආණ්ඩු පැත්තෙන් යම් උත්සාහයන් ගැනුණි. ඒවාටද විරුද්ධ පක්ෂයේ සහාය ලබා ගැනීමට නොහැකි විය. එල්.ටී.ටී.ඊ, සංවිධානයද, සාකච්ඡාමය විසඳුමක් සොයා ගැනීමේ අවස්ථා ගණනාවක් පැහැර හැරියේය. හේතුව, එහි නායකත්වයට, ස්වාධීන දෙමළ ඊලාම් රාජ්‍යයකින් මෙහා දෙයක් අවශ්‍ය නොවීමයි. නෝර්වේ රාජ්‍යයේ මැදිහත් වීම මත, සාම ගිවිසුමක් තුළ අන්‍යොන්‍ය වශයෙන් එකඟ වූ විසඳුමකට දෙපාර්ශ්වයම යොමු වීමත් අසාර්ථක වුණි. ශ‍්‍රී ලංකාවේ අභ්‍යාන්තර ගැටුම, දශක ගණනාවක් තිස්සේ නොවිසඳී පැවතීම නිසා ඇති වූ විශාල හානිය ගැන බොහෝ විචාරකයන් ලියා තිබේ. එක දිගටම එම ගැටළුව නොවිසඳුනු අසාමාන්‍ය ආකාරය ඒ රචනා තුළ විග‍්‍රහයට ලක්ව ඇත.

සමස්ත රටේ ජන සංයුතියේ පොදු ස්වභාවයට සපුරා වෙනස් ජන සංයුතික ස්වභාවයක් පවත්නා ප‍්‍රදේශයන් සහිත සැබෑ ප‍්‍රජාතන්ත්‍රවාදී බහු-වාර්ගික රටකට, භාෂාව ආගම සහ සංස්කෘතිය සම්බන්ධයෙන් පවතින ප‍්‍රාදේශීය වෙනස්කම් නොසළකා හැරිය නොහැක. උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචිකරුවන්ගේ වාර්ගික සංයුතිය, සමස්ත රටේ ජන සංයුතියේ ස්වභාවයට මුළුමණින් වෙනස් ය. සමස්ත රටේ සිංහල ජන අනුපාතිකය සියයට 75 ක් වුවද, උතුරු සහ නැගෙනහිර පළාත්වලදී ඔවුන් සුළුතරයකි.

අයෝග්‍ය ක‍්‍රමයක ප‍්‍රතිවිපාක

ශ‍්‍රී ලංකා ආර්ථිකයේ දුගී භාවයත්, අනීතික ක‍්‍රමවලින් ධනය උපයා ගත් පොහොසත් පංතියේ සමෘද්ධිය වැඩෙද්දී, දුප්පතුන්ගේ ජීවිත අතිශය දුෂ්කර තත්වයට හෙලන දූෂණය සහ වංචාව පිළිබඳ සංස්කෘතිය දිනෙන් දින ඉහළ යාමත්, ජාතික ප‍්‍රශ්නය දේශපාලනිකව විසඳීමට අසමත් වීම හේතු කොටගෙන ඇති වී තිබෙන ජංජාලයේ එක් ප‍්‍රතිඵලයකි. ආණ්ඩුවේ ණය අහස උසට ගොස් තිබේ. රුපියල් බිලියන 461 ක් වන ‘ශ‍්‍රි ලංකන් ගුවන් සේවයේ’ ණය බර රාජ්‍ය භාණ්ඩාගාරයේ කර මතට වැටී තිබේ. මේ තත්වය තුළ රාජ්‍ය අංශයේ පුළුල් විගණන සමාලෝචනයක් අද අත්‍යාවශ්‍ය වී තිබේ.

ප‍්‍රාදේශීය වාර්ගික වෙනස්කම් සහ ඊට අදාළ තවත් ගැටළු රාශියක් සහිත, බහු-වාර්ගික සමාජයකට ඔබින සැබෑ ‘ප‍්‍රජාතන්ත්‍රීය සහ සමාජවාදී’ මූලධර්මවලට අනුගත සාධාරණ ආණ්ඩුක‍්‍රම පද්ධතියකින් තොරව, බහු-විධ ප‍්‍රාදේශීය අවශ්‍යතා සහිත ජාතියක අනවරත සංවර්ධනයට අත්‍යාවශ්‍ය කරන පරිසරය නිරන්තරයෙන් පලා යන්නේය.

නිදහසින් පසු බිහි වුණේ, සිංහල බහුතරයේ ආධිපත්‍යය මත පදනම්ව මූලික ප‍්‍රාදේශීය වෙනස්කම් නොතකා හැරුණු පාලන ක‍්‍රමයකි. එවැනි ක‍්‍රමයක් තුළ ඒ ඒ පළාත්වලට සහ ඒවායේ වෙසෙන සුළු ජාතික ප‍්‍රජාවට ඔවුන්ගේ ප‍්‍රශ්න සහ අවශ්‍යතා කෙරෙහි යොමු විය හැකි කිසි ආකාරයක ස්වයං-පාලන අයිතියක් ලබා දීමට කටයුතු නොකෙරේ. ඒකීය රාජ්‍ය ක‍්‍රමයකින් පෝෂණය කෙරෙන්නේ මහජාතික අධිකාරයයි. වාර්ගික සහ ප‍්‍රාදේශීය වෙනස්කම් එහිදි සැළකිල්ලට නොගැනේ. 1505 පෘතුගීසින්ගේ ආක‍්‍රමණයේ සිට මේ වෙනස එක දිගටම පැවතී තිබේ. දේශීය දෙමළ ජනතාව යනු, සිංහල රටකට ඇතුළු වූ සංක‍්‍රමණිකයන්ගෙන් පැවත එන පිරිසක් නොවේ. දෙමළ රාජධානියක් මේ රටේ පැවතුණු බව ඓතිහාසික සත්‍යයකි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙසෙන ප‍්‍රජාවගේ මේ වෙනස් ජීවන ශෛලීන් සහ පරිසරය ගැන නොතකන ඒකීය රාජ්‍ය ක‍්‍රමයකට, එක්සත් සෞභාග්‍යමත් ජාතියක් ගොඩනැගීමට නොහැකි වී තිබේ. තිරසාර ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීමට ජාතික එක්සත් භාවය අත්‍යාවශ්‍ය කෙරේ. පුරවැසියන් සහ ඔවුන් වෙනුවෙන් තෝරා ගත්, ජාතියේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන නියෝජිතයන් වෙත බලය සැපයෙන නිසි පාලන ව්‍යුහයක් ගොඩනගා ගැනීමට අසමත් වීම නිසා බිහි කෙරුණු පරිසරය තුළ බිහි කරන ලද්දේ, ස්වාර්ථකාමී දේශපාලඥයන්වයි. දුප්පතාගේ අභිවෘද්ධිය සඳහා යොදා ගත යුතු අරමුදල් ගසාකෑමට එම ක‍්‍රමය තුළ දූෂිතයන්ට අවස්ථාව ලැබුණි. සිවිල් සමාජයේ දැනුවත් සාමාජිකයන්ටද, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට නොහැකි විය. මහජන මුදල් කොල්ලකෑම පිළිබඳ මෑතකදී වාර්තා වු සිදුවීම් අනුව පෙනෙන්නේ, එම අරමුදල් භාවිත කිරීමේ කාර්යක්ෂම ක‍්‍රමයක ඇති අවශ්‍යතාවයි. මෙම මහජන මුදල් අවභාවිත කිරීම සහ අති මහත් විදේශ ණය ලබා ගැනීම් ගැන ජනතාව සැලකිල්ලක් නොදැක්වීමත් ජාතික විපතකි. අලූත් ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යමයි. එහෙත්, ජනතාවට ප‍්‍රයෝජනයක් නොවන වංචාකාරී පාලන ක‍්‍රමයකින් නිදහස් වීමට, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත.

නිගමනය

ශ‍්‍රී ලංකා මහ බැංකුවට අනුව, කෙටි කාලීන පිස්කල් සහ මූල්‍ය තල්ලූ හරහා රටට දියුණු විය නොහැක. ලංකාව උගුලෙන් එළියට ගෙන, බාධකවලින් තොර නිවැරදි තිරසාර වර්ධන මාවතක රට පිහිටුවීම සඳහා වන අනාගත අභියෝග ඉතා බරපතල ය. ආර්ථිකය සංවර්ධනය කිරීමේ සහ විදේශ ණය මත පරායත්ත වීම අවම කර ගැනීමේ ප‍්‍රයත්නයට, දීර්ඝ කාලීන ජාතික ප‍්‍රශ්නය තවදුරටත් බාධකයක් කර ගත යුතු නැත.

පසුගිය වසර ගණනාව තිස්සේ රාජ්‍ය ණය ගොඩගැසී ඇත්තේ, මජර රාජ්‍යයකින් පහසු කරවනු ලැබූ මූල්‍ය අවකලමනාකරණය සහ ඉහළ පෙළේ දූෂණය හේතුවෙනි. නූතන ලෝකයේ බහු-වාර්ගික රටක තිරසාර සාමය සහ ප‍්‍රගතිය සඳහා ජාතික එක්සත් භාවය අවශ්‍ය කරන්නේය. එවැනි රටක ඕනෑම අර්ථවත් පාලන ක‍්‍රමයක් තුළ වාර්ගික ප‍්‍රජාවන් ජීවත් වන සම්ප‍්‍රදායික වාසභූමිවල විවිධත්වයන් පිළිගත යුතු අතර සුළු වාර්ගික ප‍්‍රජාවන් බහුතරයක් ජීවත් වන සමාජයන්හි පවතින විවිධ සංස්කෘතීන් තේරුම් ගත යුතුය.

එකම භාෂාව කතා කරන රටක වුව, විවිධ සම්ප‍්‍රදායන් ඇති විට, උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානිය වැනි ප‍්‍රජාතන්ත්‍රවාදී රටක පවා, අපගේ වැනි කේන්ද්‍රගත පාලන ක‍්‍රමයක් නොමැත්තේය. බොහෝ සිංහල ජාතිකවාදීන්ට, ‘ෆෙඩරල්’ යන වචනය පවා දිරවා ගැනීමට නොහැක. ඡන්ද පදනම කෙරෙහි පවතින බිය නිසා දේශපාලඥයෝද ඒ ගැන බිය වෙති. එහෙත් විමධ්‍යගත ආණ්ඩු ක‍්‍රම සියල්ල ෆෙඩරල් නොවේ. වෙන් වීම සඳහා තෙරපීම ආවේ ෆෙඩරල් ක‍්‍රමයක් තුළ නොව, ඒකීය ක‍්‍රමයක් තුළයි. සියලු පුරවැසියන්ගේ අභිවෘද්ධියට නැතිවම බැරි ජාතික එක්සත් භාවය ආරක්ෂා කර ගැනීමට ඒකීය ක‍්‍රමයකට හැකියාවක් නැත.

ජාතික එක්සත් භාවය හැම දාමත් මගහැරී යන්නේ නම්, දේශපාලනික හා ආර්ථික තත්වයන්හි වර්ධනයක් දිගටම ඇති නොවන්නේ නම්, ශ‍්‍රී ලංකාවේ අනාගතය අස්ථාවර වනු ඇත. අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සැකසිය යුත්තේ රට එක්සත් කිරීමේ සැබෑ එල්ලය ඇතිවයි. රටේ සෑම පෙදෙසකම ජීවත් වන සෑම පුරවැසියෙකුටම අනාගත බලාපොරොත්තු දල්වාගෙන සාමයෙන් ජීවත් වීමට හැකියාව තිබිය යුත්තේය. වෙන් වීමකින් තොර එක්සත් රටක් අපේක්ෂා කරන කවුරුත් මුහුණදිය යුතු අභියෝගය එයයි.

*2016 මැයි 07 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Conundrum: Sinhala Nationalists Against Federalism But Unintentionally Promoting Separatism” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (අවසාන කොටස) ‘යහපාලනය ලංකා’

පෙර කොටස්:

තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම

තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම – II කොටස

Back to Home page