Colombo Telegraph

ජිනීවා යෝජනාව: ඡන්දය සහ ඡන්ද මාදිලියෙන් ඇඟවන දෑ

එස්. සිවදාසන්

එස්. සිවදාසන්

හැඳින්වීම

සාමය නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනුණි. ඒ මගින්, 1946 දී මානව හිමිකම් කොමිසමක් පත්කෙරුණි. එම කොමිසම, ‘මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය’ කෙටුම්පත් කෙළේය. 1947-1967 කාලය තුළ ආසියාවේ සහ අප‍්‍රිකාවේ යටත් විජිත රටවල් නිදහස ලබා ගැනීමේ ක‍්‍රියාවලිය සමග අනුගත වෙමින් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු වුණේ රටවල්වල ස්වෛරීත්වය කෙරෙහි ය. 60 දශකයේ මැද භාගයෙන් පසුව මානව හිමිකම් උල්ලංඝණය වීම් වැඩි වත්ම, ස්වෛරීත්වය කෙරෙහි වූ එම අවධාරණය, මානව හිමිකම් උල්ලංඝණය කරන රටවල් කෙරෙහි ගත යුතු ක‍්‍රියාමාර්ග වෙත යොමු විය. රටවල්වල අභ්‍යන්තර ක‍්‍රියාකලාපයන් කෙරෙහි මැදිහත් වීමේ ප‍්‍රතිපත්තිය උපන්නේ ඒ ආකාරයෙනි. එම ක‍්‍රියාවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සහ වාර්තා සැපයීමේ යම් බරක් ඉන් පසු මානව හිමිකම් කොමිසමට පැවරුණු බව එයින් ගම්‍ය වෙයි. කොමිසමේ කාර්ය භාරයන් නව දිසාවකට යොමු වීම සහ නව මානයක් ගැනීමත් සමග, මානව හිමිකම් කොමිසම, 2006 දී මානව හිමිකම් කවුන්සිලය බවට පත්විය.

ශී‍්‍ර ලංකාවට ලැබුණු අවස්ථාවන්

වෙනත් නැගී එන රටවල් සේම ලංකාවටත් ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යය සඳහා ඕනෑ තරම් අවස්ථාව තිබුණි. ලංකාවට කිසි ප‍්‍රශ්නයක් නොතිබුණු අවස්ථාවක, අර්ධ-වාර්ගික පවිත‍්‍රකරණයකට යොමු වීමෙන් ලංකාව එම ප‍්‍රශ්න නිර්මාණය කර ගත්තේය. ඒ, මෑත කාලීන ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනතාවගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් ආපසු ඉන්දියාවට හරවා යැවුණු අධම පුරවැසි පනත සම්මත කර ගැනීමෙනි. ඉතිරි වූ ඉන්දියානු සම්භවය සහිත දෙමළ ජනයාට ඡුන්ද බලය අහිමි කෙරුණු අතර පාර්ලිමේන්තුව සහ වෙනත් සිවිල් ආයතනවල නියෝජනත්වය ද අහිමි කෙරුණි. ඊළඟට, ‘සිංහල පමණයි’ පනතෙන් දෙමළ ජනතාව තවත් කොන් කෙරුණි. එතැන් පටන් ආණ්ඩුවේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා වසර තිහක් තිස්සේම දියත් වූ අතර, දෙමළ ජනතාවගෙන් තුන් කාලකට, නිදහස සහ ජීවිතය පතා විදේශගත වීමට බල කෙරුණි. මේ ආකාරයෙන් ශ‍්‍රී ලංකාව නිර්මාණය කරගත්තේ, ප‍්‍රීතියෙන් වෙසෙන බහු-වාර්ගික සමාජයක් වෙනුවට, කෝපයට පත් ඩයස්පෝරාවකි.

කරුණු එසේ තිබියදීත්, 2009 යුද්ධය අවසානයෙන් පසුව නැවතත් කාලිංග මොහොතක් සැපයුණි. ඒ, කළ පව් ගැන පසුතැවෙන අශෝක අධිරාජයෙකුගේ සහ සමෘද්ධිමත් සිංගප්පූරුවක නිමේෂයයි. එය, ඉතිහාසය පැත්තකට දමා අනාගතය අළුතෙන් ගොඩනගා ගැනීමට ලැබුණු අවස්ථාවකි. එහෙත් ලංකාව ඒ මාර්ගය ගත්තේ නැත. ඒ වෙනුවට ‘හොඳම මාවත’ සේ ගත්තේ සිම්බාබ්වේ පාලකයාගේ මාවතයි. එකිනෙකා මරාගන්නා රණකාමයට මුල් තැන දුන් අතර රට විනාශයට පත්කිරීමට සැලසුම් සකස් කෙරුණි. 2009 වන විට පාලකයන්ගේ අවකල් ක‍්‍රියාවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට ගැනුණේ ඒ ආකාරයෙනි.

2009 සිට 2014 දක්වා, එම කවුන්සිලය සම්මත කර ගත් යෝජනා හරහා, රටේ මානව හිමිකම් තත්වය වර්ධනය කර ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුවට අවස්ථාව සැපයුවේය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිරීම අවඥාවෙන් පිළිකෙව් කිරීම සහ සියල්ල ප‍්‍රතික්ෂේප කිරීමත්, විරෝධය පෑමත් පමණක් ලංකා ආණ්ඩුව සිය ප‍්‍රතිචාර ප‍්‍රතිපත්තිය කරගත්තේය. ඒ මාර්ගයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කෝපයට ලක්වූ ලංකාව දැන් ජාත්‍යන්තර පරීක්ෂණයකට ලක්ව සිටී.

දැන් ලංකාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය යොමු වී ඇති තරමට, එයින් ගැලවී පළා යාමේ ඉඩකඩ හොඳටම අඩු ය. තනි දිවයිනක ජාතීන් දෙකක් අතර රණ්ඩුවක්, ලෝකයාටම දැක බලාගත හැකි වන පරිදි, එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල දක්වා සේන්දු වී ඇත. ලෝකයා සමග එදිරිවීමෙන්, අතු සහ මුල් ද විනාශ වන්නේ යැයි දෙමළ කියමනක් ඇත. එය කල්පනාවට නොගත් දෙමළ පාර්ශ්වය, ඒ සඳහා විශාල වන්දියක් ගෙව්වේය. දැන් එම මාර්ගයේම යන අනිත් පැත්තත්, ඊට වඩා වන්දියක් ගෙවීමට නියමිතයි.

අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ ජාතියක් කොන් කිරීමේ අනවරත වෑයමක යෙදීමෙන් පසු, 2006 දී දෙමළ ප‍්‍රශ්නයට ‘අවසන් විසඳුම’ සැපයුණි. එකත් එකටම වාගේ, රටක ස්වෛරීත්වය ගැන තැකීම නිසා එම රටේ අභ්‍යන්තර කටයුතුවලින් පිටස්තර දේවල් ගැන පමණක් වාර්තා සැපයීමේ පැරණි රාජකාරිය තවදුරටත් නොසෑහෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වටහා ගත්තේ ද එම වසරේදීමයි. එතැන් පටන්, හයිකාර රටවල නොමනා කටයුතුවලට මැදිහත් වීමේ පරමාදර්ශී ප‍්‍රතිපත්තියට ඔවුන් මාරු විය. මේ මොහොතේ ශ‍්‍රී ලංකාව, එකී එක්සත් ජාතීන්ගේ අඬුවට හිර වී සිටින්නේ එබැවිනි. ජාතික ප‍්‍රශ්නය අන්තර්ජාතික වූ විට, බහු-පාර්ශ්වික පියවර අවශ්‍ය කරන්නේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අහෝසි කොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පිහිටුවා ගත්තේම ඒ කාර්ය සඳහා ය. 2014 අපේ‍්‍රල් 2 වැනි දා (එනම්, අවසාන යෝජනාව සම්මත කර ගැනීමෙන් පසුව) ‘‘එම යෝජනාව ක‍්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග සාධනීය ආකාරයෙන් එක්ව, සහයෝගයෙන් කටයුතු කරන’’ ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

ශී‍්‍ර ලංකාව පිළිබඳ තක්සේරුව

2012 වසර සඳහා වන ආසියා-ශාන්තිකර කළාපීය බරපතලම පසුබැසීම තුළ ශ‍්‍රී ලංකාව සිටින්නේ කොන් වූ තැනක ය. ඊට සමාන තවත් රටක් වන්නේ මාලදිවයිනයි. ශ‍්‍රී ලංකාවේ පිරිහීමේ ප‍්‍රවණතාවයේ හේතු අතරින්, දිනෙන් දින ඔඩුදුවන දූෂණයත්, අගවිනිසුරුවරිය දෝෂාභියෝගයට ලක්කිරීමේ තැතත් වැදගත් විය.

ජනතාවක් භුක්ති විඳින නිදහස අළලා රටකට හිමි ස්ථානය තක්සේරු කිරීම සඳහා යොදාගන්නේ, මැතිවරණ ක‍්‍රියාවලිය ද ඇතුළත් ජනතාව සතු දේශපාලනික අයිතියත්, රටේ දේශපාලනික බහුවිධතාව සහ ජනතා සහභාගීත්වය සමග වන ආණ්ඩුවේ කාර්ය පරිපාටියත් ය. එහි දී අසන ඉතා වැදගත් ප‍්‍රශ්නයක් වන්නේ මෙයයි: ‘‘සංස්කෘතියක් විනාශ කිරීම සඳහා හෝ වෙනත් කණ්ඩායමක දේශපාලනික තුලනයක් වෙනස් කිරීම සඳහා, යම් රටක හෝ භූමි භාගයක වාර්ගික සංයුතියක්, ආණ්ඩුවක් විසින් හිතාමතා වෙනස් කරන්නේ ද?’’

ඊට අදාළ තවත් ප‍්‍රශ්නයක් මෙසේය: ‘‘සංස්කෘතික, වාර්ගික, ආගමික හෝ වෙනත් ආකාරයක සුළුතර කණ්ඩායමකට පූර්ණ දේශපාලනික අයිතීන් සහ මැතිවරණ අවස්ථා තිබේ ද?’’ මේ ප‍්‍රශ්න සහ ඒවාට ඇති පිළිතුරු ඉදිරියේ ලංකාවේ දෙමළ ජනතාවගේ තත්වය ඉතා බරපතල ය. එය, එම ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු දෙයක් නොවේ.

ප‍්‍රකාශනයේ නිදහස, සමාගමයේ සහ සංවිධානයේ නිදහස, නීතියේ ආධිපත්‍යය, පුද්ගල ස්වායත්තාව සහ පුද්ගල අයිතීන් ඇතුළත් සිවිල් අයිතිවාසිකම් ක්ෂේත‍්‍රය ගැනත් කරන ලද නිවැරදි ඇස්තමේන්තුවක් තිබේ. ශ‍්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් මොන තරම් ප‍්‍රශ්නකාරී ද යන්න හෙළිදරව් වන්නේ ඒ ඇස්තමේන්තු මගිනි. මේ අර්ථයෙන් ගත් විට, පීඩාවට පත් ඇත්තෝ ඒ ගැන මනාව දනිති. කෙසේ වෙතත්, ඒ ක්ෂේත‍්‍රයේ දී අගතියට පත්වන්නේ එක ජන කණ්ඩායමක් නොව, පාලක කල්ලියෙන් පිටස්තර සෑම ජන කණ්ඩායමක්මය.

රටක නිදහසේ තරම මැනෙන සූචියට අනුව, 1972-2012 කාලය තුළ, ලෝකයේ රටවල්වලින් සියයට 46 ක් ‘නිදහස් රටවල්’ වශයෙන් සැළකෙන අතර, සියයට 30 ක් ‘අර්ධ-නිදහස්’ වශයෙන් ද, සියයට 24 ක් ‘නිදහසක් නැති රටවල්’ වශයෙන් ද වර්ග කෙරුණි. 2012 දී කෙරුණු මේ සංගනනය සඳහා රටවල් 195 ක් යොදා ගැනුණි. නැවතත් එම සංගනනය රටවල් 151 ක් යොදාගෙන 1972 දී කෙරුණු අවස්ථාවේ, ඉහත සඳහන් ප‍්‍රතිශතයන් පැවතියේ, පිළිවෙලින්, සියයට 29. සියයට 25 ක් සහ සියයට 46 ක් වශයෙනි. එම කාලය තුළ වෙනස්ව ඇති ප‍්‍රවණතාව ඉතා පැහැදිළි ය. භූගෝලීය කලාප වශයෙන් ගතහොත්, බටහිර යුරෝපයේ රටවල්වලින් සියයට 96 ක් ‘නිදහස් රටවල්’ ය. ඉතිිරි සියයට 4 ‘අර්ධ-නිදහස්’ ය. අනිත් අතට, ආසියා-ශාන්තිකර කලාපයේ රටවල්වලින් ‘නිදහස් රටවල්’ වශයෙන් ගැනෙන්නේ සියයට 43 කි. එහි සියයට 36 ක් ‘අර්ධ-නිදහස්’ ය. සියයට 21 ක් නිදහස් නැත.

පාඩම

ජිනීවා යෝජනාවට ඡුන්දය පාවිච්චි කෙරුණු මාදිලිය තුළ පෙනෙන වැදගත් කාරණයක් වන්නේ, ජනතාවක් සතු නිදහසේ තරම සහ එම රටේ දේශපාලනික දිසානතිය යන කාරණා දෙක අතර ඇති සම්බන්ධතාවයි. අදාළ රටේ සමාජ-ආර්ථික මට්ටම දෙවැනුව කී සාධකයට බලපාන්නේය. රටවල් ඇතුළේ වන දේශපාලනික ගැලවිජ්ජාවන් සහ ආර්ථික බාධකවලින් තොර යුරෝපයේ සෑම රටක්ම, ජිනීවා යෝජනාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කෙළේය. තමන්ගේම වන පරහිතකාමී මාර්ගයකට යෑමට ඔවුන්ට නිදහස තිබුණි. වෙනස් ආකාරයකින් ඡුන්දය පාවිච්චි කළ, යුරෝපයෙන් පිටස්තර, එහෙත් මේ කාණ්ඩයේ රටවල් අතරට ගැනෙන එකම රට වුණේ, ජපානයයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සංයුතිය

මෙම කවුන්සිලයේ ඡුන්දය හිමි සාමාජික රටවල් සංඛ්‍යාව 47 කි. එය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් ප‍්‍රමාණයෙන් හතරෙන් පංගුවකි. භූගෝලීය පරිමාවෙන් ගත්තොත්, ලෝකයෙන් අඩකට වැඩි ය. ජනගහනයේ ශක්තියෙන් ගත්තොත්, තුනෙන් දෙකකට ආසන්න ය. සමස්ත ලෝකයේම සාධනීය නියෝජනයක් වන ඊට හිමි බලපෑමේ ශක්තිය සහ එය විසින් ගනු ලබන තීන්දුවල සුජාත භාවය ඉතා ඉහළ ය.

යෝජනාවට පක්ෂව

මේ රටවල්වලින් 23 ක් යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කෙළේය. ඒවායින් තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයක්, සමාජ තත්වයන් සහ අධ්‍යාපන මට්ටම් වැනි භෞතික නිර්ණායක අනුව ගත් විට, ඉහළින් දියුණු රටවල් ය. එම රටවල ආර්ථිකයන් උසස් මට්ටමේ තිබෙන අතර එම රටවල පුරවැසියන්ගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 20,000 ට වැඩි අගයක් ගනී. දේශපාලනික ස්ථායීතාව සහ ජාතික ඒකාබද්ධතාව, එම රටවල ප‍්‍රශස්ත මට්ටමක තිබේ. වඩාත් වැදගත් කාරණය වන්නේ, විශේෂයෙන් යුරෝපයේ රටවල්, අවුරුදු 30 ක් ඇතුළත ලෝක යුද්ධ දෙකක විනාශය මැද්දෙන් ගමන් කොට ඇති නිසා සාමයේ වටිනාකම හොඳින් අවබෝධ කරගෙන සිටීමයි. ඔවුන් සම්බන්ධයෙන් ගත් විට, ඒකාධිපතිත්වය ඉදිරියේ, එය ෆැසිස්ට් වේවා, කොමියුනිස්ට් වේවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔවුන්ට මසුරන් ය. අර්ධ-නිදහස් රටක් වශයෙන් ගැනෙන සහ තවත් වාර්ගික ප‍්‍රජාවක් බොහෝ දුරට අනාර්ක්ෂිතව සහ නිදහසකින් තොරව පාලනය කරගෙන යනු ලබන ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහිව ඡුන්දය පාවිච්චි කිරීමට ඔවුන් එතරම් පෙළඹීමට එක සාධකයක් වන්නට ඇත්තේ එයයි.

එයින් කියැවෙන සංඥාව වන්නේ කුමක් ද? නිදහස භූක්ති විඳින රටවල් වශයෙන්, බියෙන් තොරව, අගතියෙන් තොරව, දෘෂ්ටිවාදී අසනීපවලින් තොරව, මිනිසාගේ යහපත සඳහා තීරණ ගත හැකි ස්වාධීනත්වයක් එම රටවල නායකත්වයට ඇත. යෝජනාවට පක්ෂ ඡන්ද ප‍්‍රමාණය, සියයට 50 කි. එය, ප‍්‍රමාණවත් එකඟත්වයකි.

යෝජනාවට විරුද්ධව

යෝජනාවට විපක්ෂව ඡන්දය පාවිච්චි කළ රටවල් 12, ලංකාවටත් පොදු එක් අබලතාවකින් පෙළෙයි. ‘ෆ‍්‍රීඩම් හවුස්’ අධ්‍යයන සූචියට අනුව, මේ යෝජනාවට විපක්ෂව සහ ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ රටවල් 12 න් 9 ක්ම ‘නිදහස නැති’ රටවල් ය. ඉතිරි රටවල් 3, ලංකාව මෙන්, ‘අර්ධ නිදහස්’ රටවල් ය.

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්

ඡුන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතරින් ඉන්දියාව සහ ජපානය කැපී පෙනෙයි. මහ බලවතෙකු වීමේ ආශාවෙන් සිටින ඉන්දියාව ප‍්‍රබල ස්ථාවරයක් ගත්තේ නම් එය ඉන්දියාවේ අනාගත අපේක්ෂාවන් සමග මීට වඩා ගැළපෙන්නට තිබුණි. එවැනි ස්ථාවරයක් ඉන්දියාවට නැති කම, දේශීය වශයෙන් අසහනකාරී තත්වයක් ද, ජාත්‍යන්තර වශයෙන් ඔතෑනි ගතියක් ද පෙන්නුම් කරයි. මීට වසර 50 ට පෙර ‘ලෝක් සභාවේ’ එක් කෝපයට පත් මන්ත‍්‍රීවරයක් නේරුගෙන් මෙසේ ප‍්‍රශ්න කෙළේය: ‘‘තව කොච්චර කාලයක් වැට උඩ ඉන්න ද බලාගෙන ඉන්නේ?’’ නේරු ඊට දුන්නේ කට කැඩිච්ච උත්තරයකි: ‘‘අපිට අපහසුවක් නොවෙන තාක් කල්.’’

නේරුගේ එම ප‍්‍රකාශය, අඩ සියවසකටත් වැඩි කාලයක් වලංගු වෙතැ යි එදා කෙනෙකු සිතන්ට නැතුව ඇති. එම ප‍්‍රතිපත්තිය ආවාට ගියාට ක‍්‍රියාවේ යෙදවීමෙන්, යම් දවසක ජිනීවා නුවර දී දෙමළ ජාතිකයන්ගේ හානියට එය හේතු වෙතැ යි, ඒ තරමටවත් සිතන්නට නැතුව ඇති. ආපසු ගොඩ ගන්නට බැරි තත්වයකට කොන්ග‍්‍රස් පක්ෂයට අද ඇදවැටී තිබීම අභාග්‍යයකි. එසේ වෙතත්, තමිල්නාඩුව සහ දෙමළ ජාතිකයෝ, දැනට වර්ධනය වෙමින් ඇති වෙනත් මාර්ග හරහා, තමන්ගේ ගැලවුමක සේයාවක් දකිති.

එසේම, වරක් ලෝක ආධිපත්‍යයට ආශා කළ සහ දැනට මහා ආර්ථික බලවතෙකු වන ජපානය, ලෝක මතය කෙරෙහි තම ශක්තිය හරහා යම් බලපෑමක් කිරීමට නොසිතීම, තවත් කණගාටුවට කාරණයකි. යහපත සහ අයහපත අතර සදාචාර විනිශ්චයක් අවශ්‍ය කරන අවස්ථාවක අහක බලාගෙන සිටීම සුදුසු ද? කෙලින් වැඩ නොකිරීමෙන් ප‍්‍රයෝජන අත්වන්නේ කාට ද? යහපතක් අපේක්ෂා කරන පැත්තට නම් නොවේ. වර්තමානය එසේ වෙතත්, ඉදිරි කාලයේ දීවත් තමන් වෙනුවෙන් සාධාරණත්වයක් ඉටු වෙතැ යි දෙමළ ජනතාව අපේක්ෂා කරති.

*2014 අපේ‍්‍රල් 5 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ UNHRC Resolution – What The Voting And The Pattern Signify නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page