Colombo Telegraph

චන්ද්‍රිකාද ඇතුලූව, දෙමළ අපෙන් ගැලවුණු කෙනෙකු සිටී ද?

එස්. සිවදාසන්

එස්. සිවදාසන්

ජිඞ්ඩු ක‍්‍රිෂ්ණමූර්ති වරක්, ප‍්‍රබල ආකාරයකින් මෙසේ කීය: ‘අනිත් අයට දැනමුතුකම් දෙන්න හැමෝම දක්ෂයි.’ ඔව්, දෙමළ අපි ඒ අංශයෙන් කප්පිත්තන් ය. අපේ විශේෂ සාමර්ථය එයයි. පළමු ගල ගැසීමට තරම් අප නිර්දෝශි දැ යි මොහොතකට හෝ නතර වී අප සිතන්නේ ද? ගිලටීනය අපේ බෙල්ලට වැටෙන විට එය පලවා හැරීමට තරම් අප අහිංසක යැයි අපි සිතමු ද? යම් විරාමයක් ලැබී ඇති මේ මොහොත අළුත් ශක්‍යතා සොයා බැලීමක් කෙරෙහි යොමු වීම සඳහා වන අවස්ථාවක් වශයෙන් නොගනිමු ද? ඒ වෙනුවට අප කරන්නේ ගුවනේ පා වීමයි. අණක්ගුණක් නැතිව අප තවමත් කරන්නේ එකම පොල්ලෙන් හැමෝටම තඩිබෑමයි.

බලයේ විධානයන්

රාජ්‍ය යන්ත‍්‍රය හැසිරවීම බාරදූර කාර්යයකි. විප්ලවය ගැන අප කතා කළත්, රාජ්‍ය බලය ගැනීම ගැන සිතද්දී අපේ අත් වෙව්ලති යි ප්ලෙකානොව් කීවේය. ඔහු එසේ කීවේ ලෙනින්ගේ සාර්ථකත්වය ගැන වර්ණනාවක් වශයෙනි. මා ඕට විප්ලවය යනු තේ සාදයක් නොවුණි. ලංකාව ලැබූ සාමකාමී නිදහසට ද එය සැබෑවක් විය. දෙමළ ජනතාව 1956 ට සහ 1958 මුහුණදුන්හ. සිහනුක් කුමරුගේ ඉවසිල්ල නිසා, කාම්බෝජ ජනතාවගෙන් තුනෙන් එකක් විනාශ වූහ. ඉන් පාඩමක් උගත් පේ‍්‍රමදාස සහ රන්ජන් විජේරත්න 1989 දී පොල්පොට් කෙනෙකුගෙන් රට බේරාගත්තේය.

ඉන්දීය නියෝජ්‍ය අගමැති සහ ස්වදේශ කටයුතු භාර ඇමති පටෙල්ට 1947 දී වරක් කල්කටාවේ දී මනෙක්ෂෝව මුණගැසුණි. (ඔහු, ඉන්දිය හමුදාව තුළ ෆීල්ඞ් මාෂල් තනතුරට පත් ප‍්‍රථම ඉන්දියානුවා ය). වර්ධනය වෙමින් පැවති අර්බුදකාරී තත්වය යථා තත්වයට ගෙන ඒමට කී දෙනෙකුට වෙඩි තැබිය යුතු දැයි, ආගිය කතාබහෙන් පසුව, නියෝජ්‍ය අගමැතිවරයා ඇසුවේය. පිළිතුර 1000 ක් යන්නයි. එසේ නම්, 2000 කට වෙඩි තබා තත්වය සමනය කරන්නැ යි අවසර ලැබුණි. එහි දී හය දෙනෙකු තුවාල ලැබූහ. 1948 දී ගෝවේ සම්බන්ධයෙන් රාජාජී ‘ආදරයෙන් ජයගන්නැ’ යි කියන්නට ඇති. 60 දශකයේ මැද භාගයේ රට අභ්‍යන්තරයේ ඇති වෙමින් තිබූ කොමියුනිස්ට් නොසන්සුන්තා සහ මැලේසියාවෙන් සහ ඉන්දුනීසියාවෙන් ඇති වෙමින් තිබූ තර්ජන හමුවේ ලී ක්වාන් යූ සිංගප්පූරුව යකඩ හස්තයකින් පාලනය කෙළේය. හැමෝටම එවැනි ඥානයක් තිබුණේ නැත.

ඉහත සඳහන් වුණේ ආණ්ඩුවක අංගෝපාංගයි. එය, විචක්ෂණ භාවයේ සහ දැඩි අදිටනේ අපූරු සංයෝගයකි. තියනමෙන් චතුරශ‍්‍රයේ දී රාජ්‍ය බලය පෑ අවස්ථාවෙන් තොරව, ඩෙං ෂියා ඕ පිංගේ ප‍්‍රතිසංස්කරණ ගැනවත්, වර්තමාන චීනය ගැනවත් කතා කළ නොහැක. නියුරෙම්බර්ග් අධිකරණය හමුවේ පෙනී සිටි එක් විත්තිකාරයෙකු නිදහසට කරුණක් වශයෙන් කීවේ, තමා කළ කී දෑ, ‘ඊට වඩා බරපතල දේවල් ඇති වීම වැළැක්වීමේ චේතනාවෙන්’ තමන් කළ බවයි. සිදු වූ දෙයක් ගැන කල් ගත වී නුවණක්කාර වීම ඉතා පහසු ය. සරදම සහ අතීරණය අතරවත්, අනුන්ගේ විපතේ දී සතුටු වීම සහ පසුතැවිල්ල අතරවත් තේරීමක් චන්ද්‍රිකාට කිසි විටෙක තිබුණේ නැත.

‘දෙමළ ඊලාම් අන්තර්ජාතික ආණ්ඩුව’ සහ චන්ද්‍රිකා

අද ලෝකයේ එකම රාජ්‍ය නායකත්වයක් දරණ දෙමළ සංවිධානයක ක‍්‍රියාකාරීත්වය මගින් අගමැතිවරුන් දෙදෙනෙකුගේ දියණියක්ව ලෝකයා ඉදිරියේ දෝෂාරෝපණයට ලක්කෙරෙමින් තිබේ. තමන්ගේ සගයන් විසින් කරනු ලබන මේ ක‍්‍රියාව ගැන, මා කතා කළ සෑම කෙනෙකුම සිටින්නේ, කෝපය මුසු බලවත් අප‍්‍රසාදයෙනි. කෙසේ වෙතත් ක‍්‍රියාව සිදුවී හමාරයි. සිදුවූ වැරදි හදා ගැනීමක් හෝ සිදුවෙන්ට ඇති වැරදි අවම කරගැනීමක උත්සාහයක් හෝ නැත. ඊට ගොදුරු වූ බොහෝ අය අද අප අතර නැත. රජිව් ගාන්ධි ඉන් ප‍්‍රමුඛයි. තවත් අයගේ ජීවන පහන් දෙමළ අයගේ අතින් නිවී ගොසිනි. රටේ හිටපු අගමැතිවරයා ද ඒ අතර වෙයි. එහි සාමූහික වන්දිය අපේ හිසට කඩා වැටී තිබේ. ග‍්‍රහණය ලිහෙන බවක් පෙනෙන්ට නැත. ඝාතන, සාහසික ය. ජාතික වැදගත්කමක් ඇති කෙනෙකු ඊට බිළි වන විට තවත් දරුණු ය. ‘දෙමළ ඊලාම් අන්තර්ජාතිික ආණ්ඩුවේ’ ක‍්‍රියාකලාපයට එරෙහිව අප සියල්ලන්ම නැගී සිටිය යුත්තේ එබැවිනි.

පෞද්ගලික ඇසුර

මගේ පෞද්ගලික අත්දැකීම් මා ප‍්‍රසිද්ධ කරන්නේ නැති තරමි. එහෙත් එසේ කිරීමෙන් යම් ප‍්‍රතිරූපයකට සිදුවන හානිය වළක්වා ගත හැකි නම් එසේ කිරීම අත්‍යාවශ්‍ය වෙයි. තමන්ට සිදු වූ හානිය සහ ඇසක් පවා අහිමි වීම තිබියදීත්, එය සිදුකළ අයවළුන් කෙරෙහි තමාගේ අහිතක් නැතැ යි මීට අවුරුදු දහයකට පමණ පෙර චන්ද්‍රිකා මා සමග කීවාය. ‘සමහර විට මං ආධ්‍යත්මිකව මෝරලා වෙන්න පුලූවන්. ඒක, පැත්තකින් තියන්න. තවමත් මං වැඩ කරන්නේ මිත‍්‍රත්වය ගොඩනගා ගන්නයි.’ තවත් අවස්ථාවක, 1983 ජුලි සිදුවීම් ඈ මතක් කළාය. විජය සහ ඈ කොල්ලූපිටියේ දෙමළ අසරණයන්ට සරණ වෙමින් සිටියදී එක් සිංහලයෙකු ’ඔයාගොල්ලෝ හොඳ සිංහලදැ’ යි අසා ඇත. ඇගේ පිළිතුර වී ඇත්්තේ, ‘ඔව්, අපි හොඳ සිංහල තමයි’ යන්නයි. එවැනි දුෂ්කර තත්වයක් යටතේත් ඔවුන් එසේ නිර්භයව ඉදිරිපත් වුණේ ඇයි? වාර්ගික සීමාවන්ට ඈ කිසි විටෙකත් යට නොවූ බව, මට සහතිකයි.

අපේ තත්වය

දෙමළ අපව නිරන්තර යටහත් පහත් භාවයක තබාගෙන ඇත. වතුරට උඩින් ඔලූව උස්සන්ට ඉඩක් තිබුණේ නැත. එසේ ඉඩක් ලැබෙන විට අපේම කට්ටිය අනිකාගේ හිස පාගන්නේය. පළාත් සභා ඡන්දය ප‍්‍රකාශයට පත්කළ විට එය වැඩකට නැතැ යි කියති. එය වර්ජනය කිරීමට ඉල්ලීම, දේශපාලන ඥානයක් වශයෙන් ගනිති. විග්නේෂ්වරන්ව නාමයෝජනා කළ විට, ඩයස්පෝරාව ඔහුට තඩිබාන්ට පටන්ගත්තේය. දෙමළ ජාතික සන්ධාන නායකයා ද ඒ විවේචනයන්ගෙන් බේරුණේ නැත. ජිනීවා ජයග‍්‍රහණය පෙනෙද්දී, දෙමළ ජනතාවගේ සැබෑ ප‍්‍රකාශකයාට විරෝධය පෑමට දෙමළ කණ්ඩායමක් ජිනීවා ආහ. අපේ ඉතිහාසය වූ කලී, බටර් රත් වන විට මුට්ටිය බිඳීමකි.

මේ මොහොතේ වාසිදායී දේශපාලන වාතාවරණයක් ඉන්දියාවේ මතුවෙමින් තිබේ. ශක්තිමත්ව සහ තිරසාරව ඒ පදනම මත අප කටයුතු කළ යුතුය. ජනතා හද ගැස්ම සමග එකට යන උතුරු පළාත් සභාව එක පැත්තක තිබේ. දෙමළ ජනතාව පිළිගත් ‘දෙමළ ජාතික සන්ධානයට’ සාකච්ඡුා කිරීමේ වරම තිබේ. ඉදිරිගාමී දේශපාලනයක් සහ වාර්ගික සාමයක් සඳහා අවහිරයකට ඇත්තේ වර්තමාන පාලන තන්ත‍්‍රයයි. එම තත්වයේ ද වෙනසක් ඉද්දරට පැමිණ තිබේ. විවිධ පැතිවලින් ඡන්ද දිනා ගැනීමේ ශක්‍යතාවක් ඇති පොදු අපේක්ෂිකාව චන්ද්‍රිකා ය. මෙය සාමාන්‍ය දෙයක් මිස අළුතෙන් සොයාගත් දෙයක් නොවේ. මෙම තත්වයට ‘දෙමළ ඊලාම් අන්තර්-කාලීන ආණ්ඩුව’ අකුල් හෙලීම අවාසනාවකි. චන්ද්‍රිකාගේ නම කෙළසන්නේ ඒ ගැන හොඳින් සිතා බැලීමෙන් අනතුරුව ද? ඡන්දදායක දෙමළ කොටස් එම පියවර අනුමත කරන්නේ ද? කොහෙත්ම නැත. ඉන්දියාව සමග අර්ථවත් සාකච්ඡුා සඳහා දෙමළ සමාජය සුදානම් වන විට, අපේ උපකාරක දායකයා එදිරිවාදී කර ගැනීමෙන්, අපිම එය ව්‍යර්ථ කිරීමේ වාතාවරණයක් නිර්මාණය කිරීමෙන් වැළැකී සිටිමු.

*2014 මැයි 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Chandrika Inclusive, Whom Have We Tamils Spared? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page