Colombo Telegraph

225 ට වැඩියෙන් ඉල්ලන සාගින්නක් ඇයි?

එස්. සිවදාසන්

එස්. සිවදාසන්

ඕනෑම වැදගත් රාජ්‍යයක් හෝ ආණ්ඩුවක්, එහි ව්‍යවස්ථාදායකයේ විශාලත්වය හෝ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රමාණය ගැන වැඩි තැකීමක් නොකරනු ඇත. ඒ දෙකේ තරමට වඩා, රටක ආණ්ඩුකරණයේ ගුණාත්මක භාවය සහ ආර්ථිකයේ ශක්තිය මැණෙන වෙනත් සාධක තිබේ. මොන පැත්තකින් බැලූවත්, කිසි රටක් තමන්ගේ ස්ථාවර භාවය, තම ආර්ථික වර්ධනය හෝ සමාජ සාමය සමග නියෝජන සංඛ්‍යාවේ ප‍්‍රමාණය ඈඳන්නේ නැත. එසේ තිබියදී ශ‍්‍රී ලංකාව පමණක්, දැනට අපේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව වන 225 සිට 237 හෝ 255 දක්වා වැඩි කර ගැනීමට වලිකන්නේ ඇයි? 225 දෙනෙකුගේ මොළේ අඩුවක්, තවත් මොළ ටිකක් එකතු කර ගැනීමෙන් පියවා ගැනීමට හැකි වෙතැයි සිතන නිසාද? නිදහසේ පටන් මෙවැනි මන්ත‍්‍රී සාගින්නකින් අප පෙළෙන්නේ ඇයි?

අද වන විට දියුණු වී ඇති ලෝකයේ රටවල් එම තත්වයට පැමිණීම සඳහා මේ ආකාරයෙන් තමන්ගේ මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි කරගෙන ඇත්දැයි අපට විමසා බැලිය හැකිය.

ඇමරිකා එක්සත් ජනපදය

ලෝකයේ තිබෙන බලගතුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රට වන ඇමරිකාවට 1815 දී සිටියේ නියෝජිත මන්ත‍්‍රීවරුන් 183 දෙනෙකි. 1913 වන විට එම සංඛ්‍යාව 435 දක්වා වැඩි වී තිබුණි. 2015 වන විටත්, නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ සිටින්නේ මන්ත‍්‍රීවරුන් 435 දෙනෙකි. ඊට අමතරව, සෙනෙට් සභිකයන් 100 ක්ද සිටිති. රාජ්‍යකරණයේ තුලන සහ සංවරණ යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වන්නේ මේ මන්ත‍්‍රී මණ්ඩල දෙක මගිනි. එය ජනාධිපති ක‍්‍රමයකැයි යමෙකු කියන්ට පුලූවන. එහෙත් ශ‍්‍රී ලංකාවත් 1978 සිට ජනාධිපති ක‍්‍රමයක් සහිත රටක් බව මතක තබාගත යුතුය. පසුගිය අවුරුදු 102 ක කාලය තුළ ඇමරිකාවේ මන්ත‍්‍රී සංඛ්‍යාවේ කිසි වෙනසක් සිදුව නැති බව පෙනී යයි. එම රටේ දියුණුවේ රහස වුණේ රටේ ජනතාවයි. එරට ශක්තිමත් කෙළේ වාර්ගික විවිධත්වයයි.

1975 දී ශී‍්‍ර ලංකාව ඇමරිකානු ඩොලරයක් මිළදී ගත්තේ රුපියල් 5 ක් ගෙවීමෙනි. එය අද 27 ගුණයකින් වැඩි වී ඇත. එය, 225 ක් මන්ත‍්‍රීවරුන්ගේ සාමූහික බුද්ධියේ ප‍්‍රතිවිපාකයකි. තවත් මේ ප‍්‍රමාණය වැඩි කරගත යුතුව ඇතැයි කියන්නේ ඔවුන් ය.

සිංගප්පූරුව

ශ‍්‍රී ලංකාවෙන් හතරෙන් පංගුවක ජනගහනයක් ඇති පුංචි රටක් වන සිංගප්පූරුව පසුගිය අවුරුදු 50 තුළ ලෝකයා විමතියට පත්කළ රටකි. එරටේ ආර්ථිකය යෝධ ශක්තියෙන් අනූන ය. රටවැසියන් ඉතා පොහොසත් ය. අවුරුදු 30 කටත් අඩු කාලයකින්, අවවර්ධිත රටක සිට සංවර්ධිත රටක් දක්වා එය වර්ධනය විය. එම සාර්ථකත්වය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ලොකු කර ගැනීමට ඔවුන් කවදාවත් සිතුවේ නැත.

සිංගප්පූරු ඩොලරයක් 1975 දී ශ‍්‍රී ලංකාව මිළ දී ගත්තේ රුපියල් 1 ටයි. අද එය රුපියල් 99 කි. එම සාර්ථකත්වය ඔවුන් ලබා ගත්තේ පාර්ලිමේන්තුව පුම්බා ගැනීමෙන්ද? 1968 නිදහස ලබාගන්නා විට එහි මන්ත‍්‍රීවරු 58 ක් සිටියහ. අද 99 ක් සිටිති. මේ පාලකයන් ගැන ජනතාව මොන තරම් ප‍්‍රසාදයක සිටියේද යත්, අවුරුදු 50 ක් තිස්සේම බලයට පත්කර ගත්තේ එකම පක්ෂයකි.

මැලේසියාව

අවුරුදු 50 කට වැඩි කාලයක් තිස්සේ මේ රට අත්පත් කරගත් වෙනස සහ වර්ධනය කාටත් පෙනෙන්ට තිබේ. ඒ සඳහා වන සංඛ්‍යා ලේඛන බොහෝ ය. ඉන් එකක් මෙසේ ය: 60 දශකයේ මුල් භාගයේ සංචාරකයන් පැමිණීම අතින් ලංකාව සහ මැලේසියාව සිටියේ එකම ස්ථානයකයි. එනම්, වසරකට සංචාරකයන් 25,000 ක් පැමිණෙන රටවල් දෙකක් වශයෙනි. 2013 වන විට ශ‍්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 1.27 ක් පැමිණි අතර, මැලේසියාවට මිලියන 25.72 ක් පැමිණියහ.

අවුරුදු 50 කට වැඩි කාලයක් තිස්සේ 225 කින් යුත් මැලේසියානු පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන් සංඛ්‍යාව එරට දේශපාලඥයන් විසින් වැඩි කරගෙන නැත. එහෙත් ආර්ථිකයේ අනිත් සෑම දෙයක්ම ඔවුන් වර්ධනය කරගෙන ඇත.

එක්සත් රාජධානිය

19 වැනි සහ 20 වැනි සියවස්වල මෙරට ඇති කරගෙන ඇති සාර්ථකත්වයන් අති විශාල ය. ඒ සඳහා තමන්ගේ පාර්ලිමේන්තුව තව තර කර ගත යුතු යැයි ඔවුන් සිතා නැත. 1800 දී ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත‍්‍රීන් 558 දෙනෙකි. 2015 දී එය 650 ක් පමණි.

පාර්ලිමේන්තු මාතාව එසේ සීමා වෙද්දී, ඇගේ දරුවකු වන ශ‍්‍රී ලංකාව තව තවත් ප‍්‍රමාණයෙන් තර වීමට සිතුවා මිස ඉදිරියට යාමට සිතුවේ නැත.

ජපානය

පශ්චාත්-යුද කාලීන ජපානයේ වර්ධනයත් දැවැන්ත එකකි. 1948 සිට ලෝකයාගේ මහත් විස්මයට එය හේතු වී තිබේ. යුද්ධයෙන් පසු පළමු වරට ඇති කරගත් පාර්ලිමේන්තුවේ සිටි මන්ත‍්‍රී සංඛ්‍යාව එරටට ගැලපෙන සංඛ්‍යාවක් විය. එනම්, මිලියන 127 ක් වන ජනගහනයකට, 485 ක් වන මන්ත‍්‍රීන් සංඛ්‍යාවකි. 2014 වන විටත් එම සංඛ්‍යාවේ වෙනසක් වී නැත.

ශ‍්‍රී ලංකාවේ ජනගහනය ජපානයේ ජනගහනයෙන් හයෙන් පංගුවකි. මන්ත‍්‍රී සංඛ්‍යාව, ජපානයේ සංඛ්‍යාවෙන් භාගයකි. එහෙත් අප මොනම ආකාරයක හෝ විස්කමක් කර තිබේද?

චීනය

ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට චීනයයි. බිලියන 1.35 ක් වන එම රටේ ‘ජාතික මහජන සභාවේ’ සිටින්නේ මන්ත‍්‍රීවරුන් 2987 ක් පමණි. එනම්, සෑම පුරවැසියන් 453,000 කට එක් මන්ත‍්‍රීවරයෙකු බැගිනි. ශී‍්‍ර ලංකාවේ 100000 ට එක මන්ත‍්‍රීවරයෙකු සිටී. දැනට ලෝකයේ ඇති දෙවැනි දැවැන්තම ආර්ථිකය චීනයයි. තව අවුරුදු 15 කින් එය ලෝකයේ පළමු තැනට පැමිණෙනු ඇතැයි ගණනය කොට තිබේ.

දේශප්‍රේමී උද්‍යෝගය, කැපවීම සහ ඉදිරි දැක්ම සමග මුසු වූ ශූර නායකත්වය එරට වර්ධනයට හේතු වී ඇත. පාර්ලිමේන්තුව තර කර ගැනීම හෝ සුඛෝපභෝගී වරප‍්‍රසාද තමන් වෙත සපයා ගැනීම එරට දේශපාලනයේ සිරිත නොවේ.

ඉන්දියාව

බිලියන 1.24 ක ජනගහනයක් ඇති ඉන්දියාවේ ලෝක් සභාවේ සිටින්නේ මන්ත‍්‍රීවරුන් 543 දෙනෙකු පමණි. එනම්, ජනගහනයෙන් මිලියන 2.27 කට එක මන්ත‍්‍රීවරයෙකු බැගිනි. එතරම් අඩු මන්ත‍්‍රී සංඛ්‍යාවක් සිටීම ඉන්දියාවේ ප‍්‍රගතියට බාධාවක් වී තිබේද? මිළදී ගැනීමේ ශක්තිය අතින් ඉන්දියාව අද සිටින්නේ ලෝකයේ 4 වැනි ස්ථානයේ ය. ලංකාව සිටින්නේ 63 වැනි ස්ථානයේ ය.

ශ‍්‍රී ලංකාව

අපේ පාර්ලිමේන්තුවේ සිටින මන්තී‍්‍රවරුන්ගෙන් කී දෙනෙක් පාර්ලිමේන්තුව තුළ තමන්ගේ කතාවලින් සහ ලියවිලිවලින් රටේ ප‍්‍රගතියට දායකත්වයක් සපයා තිබේද? එහි සිටින ඇමතිවරුන් තමන්ගේ චර්යාව, වෙනත් මන්ත‍්‍රීවරුන්ට සහ රටේ ජනතාවට ආදර්ශයක් විය හැකි ආකාරයකින් පවත්වාගෙන ඇත්තේද? මහා චින්තකයන් වන ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් කී පරිදි, රටක උගතුන් සහ බුද්ධිමතුන්ගේ ප‍්‍රථම වගකීම විය යුත්තේ එම රට කෙරෙහි ය. එහෙත් ලංකාවේ මන්ත‍්‍රීවරුන් කෙරෙන් එවැන්නක් දැක ගන්නට අපට පුලූවන් කමක් තිබේද? එසේ නම්, තව තවත් ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කර ගැනීමේ තේරුම කුමක්ද? කළ යුතුව ඇත්තේ දැනට සිටින 225 හැකි නම් 200 දක්වා අඩු කර ගැනීමයි. පසුව එය 150 දක්වා අඩු කර ගත හැකි නම් තවත් වටනේය.

සෑම අවුරුද්දකම මන්ත‍්‍රීවරයෙකුට කියැවීමට ලැබෙන මුද්‍රිත පිටු සංඛ්‍යාව අපමණ ය. රාජ්‍යකරණයට අදාළ සියලූ විශ්ලේෂණ සහ සංඛ්‍යාත්ම තොරතුරු ඒවායේ අඩංගු වෙයි. තමන්ගේ රට ආපස්සට යද්දී අනිත් රටවල් ඉදිරියට යන්නේ කෙසේදැයි වටහා ගැනීමට, මේ තොරතුරු අධ්‍යයනය කළ යුතු වන්නේය. එහෙත් මන්ත‍්‍රීවරුන් කී දෙනෙක් ඒ කාර්යයට අත ගසා තිබේද?

රට සහලින් ස්වයංපෝෂිත කරන බවට අවුරුදු 40 ක් තිස්සේ බලයට පත් ආණ්ඩු කයිවාරු ගසා තිබේ. තවම එය සාර්ථක කර ගැනීමට අපට හැකි වී නැත. බිලියන ගණන් වාරිමාර්ග සංවර්ධනය සඳහා වෙන් කළත් අක්කර ලක්ෂ ගණන් අස්වැද්දීමට නොහැකිව වල් බිහිවෙයි. මන්ත‍්‍රීවරුන්ට ඒ ගැන කැක්කුමක් තිබේද? එසේ නම් තවත් ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කරගත යුත්තේ ඇයි?

*2015 ජුලි 10 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රෆ්’ වෙබ් අඩවියේ පළවූ Why This Appetite For 225 Plus? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page