Colombo Telegraph

අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය ද?

සඳමාලී ද ෆොන්සේකා

එන්ජිනියරින්.කොම් පෙන්වා දෙන පරිදි, ‘‘ඉංජිනේරු විද්‍යාව යනු සියුම් විද්‍යාවකි. හැම විටකම, ඉතා සුළු කරුණු සම්බන්ධයෙන් පවා සැළකිලිමත් විය යුතු අතර, ආරක්ෂාව පිළිබඳව උපරිමයෙන් අවධානය යොමු කළ යුතුව තිබේ. ඉතා සුළු කාරණයක් පවා ඇතැම් අවස්ථාවක වැරදී යා හැකිය. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වඩාත් තීක්ෂණ දැනුමෙන් යුත් පිරිස් විසින් නිර්මාණය කරන ලද චෙර්නොබිල්, බෝපාල්, ටයිටැනික්, ඇපලෝ 13 සහ තවත් එවැනි මහ පරිමාණ ව්‍යාපෘතීන් පවා මහා විනාශයන්ට මුහුණදී ඇති තත්වයක් තුළ, ඉංජිනේරු විද්‍යාව සුළුවෙන් තැකිය යුතු නොවේ. බොහෝ අංශවලින් ගත් විට ඉංජිනේරු විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව අතර සමානකම් තිබේ. ඒ දෙකම, නිශ්චිත විද්‍යාවන් ය. එහෙත් වෛද්‍ය විද්‍යාවේදී, එක්තරා සියුම් අන්තර්ඥානයක්ද අවශ්‍ය කෙරේ. එසේම තවත් කෙනෙකුගේ විපතක හේතු කාරක නිර්ණය කර ගැනීමේ නිශ්චිත හැකියාවෙන්ද එය යුක්ත විය යුතුය.’’

මේ ආකාරයෙන් ගුණවර්ධන උදක්ම කියා සිටින්නේ, වෙනත් ක්ෂේත‍්‍රවලදී මෙන් නොව, වෛද්‍ය විද්‍යාවේදී වැරදි සිදුවීමේ ඉඩක් නොතිබිය යුතු බවයි. ‘‘ඉංජිනේරුවන්ට, නීතිඥයන්ට, ගණකාධිකාරීවරුන්ට තමන්ගේ වෘත්තීය ක්ෂේත‍්‍රවල සිදුවන අත්වැරදීම් හෝ අසමත්කම් හේතුවෙන් ඇති විය හැකි ප‍්‍රතිවිපාක වළක්වා ගැනීමේ යම් හැකියාවක් තිබේ. එහෙත් වෛද්‍යවරයෙකු අතින් වරදක් සිදුවුණොත් ඒ හේතුවෙන් තවත් කෙනෙකුට තමන්ගේ අත පයක් අහිමි විය හැකිය. සමහර විට ජීවිතය පවා අහිමි විය හැකිය. එය ආපසු හැරවිය හැකි තත්වයක් නොවේ.’’

වෛද්‍ය ක්ෂේත‍්‍රය මුහුණදී ඇති නව අභියෝගයන් ගැන කතා කරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙසේ කියයි: ‘‘එක කාලයකදී මිනිස් වර්ගයා මුහුණදුන්න බරපතලම රෝග වුණේ, වසූරිය, පෝලියෝ, ගලපටලය, පිටගැස්ම, කක්කල් කැස්ස සහ සරම්ප වගේ දේවල්. ඒත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක ඒ රෝග අපි අද වෙන කොට පාලනය කරගෙන තියෙනවා. වසූරිය වගේ රෝග සහමුලින් තුරන් කරලා තියෙනවා. අද ප‍්‍රශ්නය තියෙන්නේ, බෝ නොවෙන රෝග ගැනයි. ඒ විදිහේ බෝ නොවෙන රෝග හතරක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තියෙනවා. එකක් තමයි, හෘදයාබාධ සහ අධික රුධිර පීඩනය වගේ රෝග. තව එකක් තමයි, දියවැඩියාව. තුන්වැනි රෝගය තමයි, විවිධ වර්ගවල පිළිකා. හතරවැනි රෝගය තමයි, පෙනහළු රෝග.’’

ඔහුට අනුව, මේ බෝ නොවෙන රෝගී තත්වයන්ට ප‍්‍රධාන වශයෙන් හේතුවන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාරපාන ආදියට හුරු පුරුදු වූ ජීවන රටාවන් ය. හැම වසරකම දුම්පානයෙන් සහ මත්පැන් පානය නිසා ඇති වන මරණ සංඛ්‍යාව, 2004 සුනාමිය නිසා ඇති වූ මරණ සංඛ්‍යාවට සමානුපාතික වන බව ඔහු කියයි. මෙවැනි බෝ නොවන රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමට දක්ෂ වෛද්‍යවරුන් සහ පහසුකම් ලංකාවේදී තිබියදී පවා, බොහෝ ශ‍්‍රී ලාංකිකයෝ විදේශයන්හි වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීමට වැඩි නැමියාවක් දක්වති. එය අපේ වෛද්‍යවරුන් කෙරෙහි ඇති විශ්වාසයේ අඩුවක් නිසා ඇති වන තත්වයක්ද? හදවත් රෝගී තත්වයකින් උපන්, වයස මාස හතරක සිට නිරන්තරයෙන් විවෘත හදවත් සැත්කම් කළ යුතුව සිටි දරුවෙකුගේ පියෙක් මේ ලියුම්කරු සමග මෙසේ කීය: ‘‘චෙන්නායි නුවර දොස්තරවරුන් ළමයින්ගේ හෘද රෝගවලට ප‍්‍රතිකාර කිරීමට වඩාත් සුදුසුයි කියලයි අපිට හිතෙන්නේ. මොකද, ලංකාවේදී දොස්තරවරුන් සාමූහික වශයෙන් තීරණ ගන්න බවක් පේන්නේ නැහැ. ඒ ඒ විශේෂඥයෝ ගන්නේ, තම තමන්ගේ තනි තීරණ. චෙන්නායිවල ඉන්න දොස්තරවරු, පැය විසි හතරෙම සාමූහිකව රෝගියෙක් ගැන සොයා බලනවා. පොදුවේ සාකච්ඡුා කරලා තීරණ ගන්නවා.’’

‘‘චෙන්නායි යන්න තවත් හේතුවක් තමයි, මෙහේ තියෙන්නේ, මි.මී. 18 වෑල්ව විතරයි. විවෘත හදවත් සැත්කමකින් ඒ වෑල්වය දැම්මට පස්සේ, තව අවුරුද්දකින් විතර තවත් සැත්කමක් කරන්න වෙනවා. ඒත් ඉන්දියාවේදි අපිට පුළුවන් මි.මී. 24 වෑල්ව දාගන්න. සැත්කම හරියට කෙරුණොත්, ඒකට පුළුවන් අවුරුදු පහක විතර කාලයක් අල්ලගෙන ඉන්න. ඒ වගේම, අවශ්‍ය කරන ඖෂධ වර්ග හොයාගන්න එකත් ලංකාවට වඩා ඉන්දියාවෙදී පහසුයි.’’ ඔහු තවදුරටත් මෙසේද කීවේය: ‘‘චෙන්නායි ඉස්පිරිතාලවලට පුරුදු වෙන එක නම් ලේසි නැහැ. අපේ පෞද්ගලික රෝහල්වල තත්වයේ හැටියට එහේ රෝහල්වල තත්වය සතුටුදායක නැහැ. ඒ සම්බන්ධයෙන් අපිට හුඟාක් නීරස අත්දැකීම් තියෙනවා. එක සැරයක් මගේ පුතාට කුෂ්ට රෝගයක් හැදුණා, ඇඳ රෙද්දක වේලිච්ච කුරුළු බෙටි තිබිලා. ඊට පස්සේ අපි අපේම ඇඳ රෙදි අරගෙන ගියා. ඒ වගේම හෙදියොත් හරි සැරයි. වැඩියත්ම එහෙම දැනෙන්නේ, ඒගොල්ලන්ගේ කට හඬෙ ස්වරය නිසා. ඒත් ඇත්තටම බැලූවොත්, ඔවුනුත් අපේ හෙදියෝ වගේම කාරුණිකයි. ඒගොල්ලෝ හෙද කම කරන්නේ එක් කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි, විශාල පිරිසකට. එහෙම වෙන කොට, එක එක රෝගියාට වෙන වෙනම සැළකිලිමත් වෙන්න පුළුවන් කමක් නැහැ. රෝහලේ රෙගුලාසි ගැන තර්ක විතර්ක කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. මගේ පුතා ලංකාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඉන්න කොට වගේ නෙවෙයි, චෙන්නායිවලදී මට පුතාව බලන්න පුළුවන් වෙන්නේ වරකට විනාඩි 10 ක් විතරයි. ඒක, දරාගන්න හරි අමාරුයි’’

විදේශ වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමේදී මුහුණදීමට සිදුවන තවත් අවදානමක් වන්නේ, ශල්‍යකර්මය පිළිබඳ යම් ප‍්‍රශ්නයක් මතු වුවහොත්, ඒ ගැන වගවීමක් නැති කමයි. එසේ වෙතත්, බොහෝ දෙනා විදේශ වෛද්‍ය ප‍්‍රතිකාර බලාපොරොත්තු වෙති. මේ සියලූ කරුණු සැළකිල්ලට ගත් විට, අපට ප‍්‍රමාණවත් වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටීද නැද්ද යන්න පිළිබඳ නිවැරදි අගැයීමක් සඳහා එක වෛද්‍යවරයෙකු සඳහා කොපමණ ලෙඩුන් ප‍්‍රමාණයක් සිටීද වැනි අනුපාතිකයන් ගැන මීට වඩා සංකීර්ණ සහ ගැඹුරු ආකාරයකින් බැලීමට සිදු වෙයි. වෛද්‍ය විද්‍යාව යනු මේ වන විට වඩාත් සූක්ෂම සහ සංකීර්ණ ක්ෂේත‍්‍රයක් වන බැවිනි.

ශ‍්‍රී ලංකාවේ පිහිටුවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට රටට අවශ්‍ය උසස් ප‍්‍රමිතියෙන් යුත් වෛද්‍යවරුන් සැපයිය නොහැකිය යන මතය මහාචාර්ය කාලෝ ෆොන්සේකා බැහැර කරයි. ‘‘උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට අදාළව 1981 දී මේ පිළිබඳ අත්හදාබැලීම කරලා තියෙනවා. වසර 10 ක් තිස්සේ එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ක‍්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කාලය තුළ එම විද්‍යාලයෙන් වෛද්‍යවරුන් 850 ක් බිහි කරලා තියෙනවා. ඔවුන් ශ‍්‍රී ලංකාවේත්, ලෝකයේ වෙනත් රටවලත් අද වන විට ඉතා උසස් අන්දමින් සේවය කරනවා. ඒ අතරින් 100 ක් පමණ දෙනා, ලංකාවේ වෙනත් ඕනෑම වෛද්‍යවරයෙකුට නොදෙවෙනි තත්වයේ තියන්න පුළුවන් වෛද්‍යවරුන්. ඒක නිසා, පෞද්ගලික අංශයෙනුත් උසස් තත්වයේ වෛද්‍යවරුන් බිහි කිරීමේ හැකියාව තියෙනවා.’’

මේ වෛද්‍ය විද්‍යාලයේ අවසාන උපාධි ප‍්‍රදානෝත්සවයේදී කතා කරමින්, එහි ආරම්භ සාමාජිකයෙකු වන මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ, එම විද්‍යාලයට සිදු වී අබග්ගය ගැන මෙසේ කීය: ‘‘අයදුම්කරුවන් 1150 කින් ශිෂ්‍යයන් 100 ක් පමණක් තෝරා ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක්. තෝරා නොගැනෙණ ශිෂ්‍යයන් දේශපාලඥයන් වෙත ගිහිං පැමිණිලි කළා. එතකොට දේශපාලඥයෝත් මේ විද්‍යාලය ගැන විවේචනාත්මක වෙන්න ගත්තා. මේ අතරේ, මේ විද්‍යාලයෙන් වෛද්‍යවරුන් බිහි කෙරුණොත්, රජයේ වෛද්‍ය පීඨවලින් බිහි කෙරෙන වෛද්‍යවරුන්ට රජයේ රෝහල්වල රැුකියා නැති වෙයි කියලා බයෙන්, ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්’ මේ විද්‍යාලයට එරෙහි වෙන්න පටන් ගත්තා.’’

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ප‍්‍රශ්නය සැහැල්ලූවෙන් ගත යුතු ප‍්‍රශ්නයක් නොවේ. මන්ද යත්, ගුණවර්ධන පෙන්වා දෙන පරිදි, එය අපේ සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රශ්නයක් වන බැවිනි.

ඉලක්කම්වලින් සහ සංඛ්‍යා ලේඛනවලින් කෙරෙන්නේ සමස්ත චිත‍්‍රය හකුලූවා දැක්වීමක් පමණි. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අතරදී, ලක්ෂ එක හමාරක පමණ ශිෂ්‍ය ප‍්‍රමාණයක් හැලෙති. නිදහස් අධ්‍යාපනය අසාර්ථක වී ඇති බවක් එයින් අදහස් නොවේ. රටක් වශයෙන් ගත් විට අපේ සෞඛ්‍ය තත්වය ඊට දෙස් දෙයි. එහෙත් ඒ සමගම, නිදහස් අධ්‍යාපනය යනු කෝකටත් තෛලයක් වශයෙන් ගත යුතුද නැත.

මොන යම් හෝ හේතුවක් නිසා, අවශ්‍ය පරිද්දෙන්, අවශ්‍ය ප‍්‍රමාණයට රාජ්‍යයේ හැකියාව වර්ධනය වන්නේ නැත. ඒ තත්වය තුළ අපේ අනාගත වෛද්‍යවරුන් තමන්ගේ උසස් අධ්‍යාපනය සොයා යන්නේ, නේපාලය සහ බංග්ලාදේශය වැනි නොදියුණු රටවලටයි. පුදුමය වන්නේ, ‘මානව සංවර්ධන සූචියට’ අනුව මේ රටවල් මොන තරම් පහත් තත්වයක සිටියත්, එම රටවල ඇතැම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප‍්‍රමිතීන් අපේ ‘‘වෙද්‍ය මණ්ඩලය’’ මගින් පිළිගැනීමයි. අපේ අනාගත වෛද්‍යවරුන් සඳහා සපයා දිය හැකි හොඳම විකල්පය මෙය ද?

2016 අගෝස්තු 20 වැනි දා ‘ද සන්ඩේ අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ“Do We Need Private Medical Colleges” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය ද? – පළමු කොටස

Back to Home page