Colombo Telegraph

අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය ද?

සඳමාලී ද ෆොන්සේකා

අපේ අධ්‍යාපන ක‍්‍රමය පටලැවිලි වැළකි. 1938 සිට අපට නිදහස් අධ්‍යාපනය තිබේ. පාසල් නිල ඇඳුම් පවා නොමිලේ සැපයේ. කෙසේ වෙතත්, අපේ විභාග පරීක්ෂණ වඩාත් බර වන්නේ සිසුන් ඉවත් කිරීමට මිස සමත් කිරීමට නොවේ. මේ නිසා දෙමාපියෝ සිය දරුවන් සඳහා පහළ බාලාංශයේ සිටම පෞද්ගලික උපකාරක පංති සඳහා විශාල මුදලක් වැය කරති. එසේ තිබියදීත්, තෘතීයික අධ්‍යාපනය (විශ්ව විද්‍යාල) සඳහා වසරකට ඇතුළත් කර ගැනෙන්නේ 30,000 ට අඩු සංඛ්‍යාවක් වන අතර, උසස් පෙළ සමත් වන පිරිසෙන් ලක්ෂයකට අධික පිරිසක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර නොගැනේ.

ස්වාභාවික සම්පත්වලින් අප ආඪ්‍ය වෙතත්, තියුණු චින්තනයෙන් අප පොහොසත් වෙතත්, අපේ ප‍්‍රධාන විදේශ විනිමය ආදායම අපට ලැබෙන්නේ, මැද පෙරදිග දාස සේවයේ යෙදෙන ශ‍්‍රමිකයන්ගෙනි. විදේශ වෛද්‍ය උපාධි ලබා ගැනීම සඳහා අප වියදම් කරන්නේ, එසේ වහල් කම් කොට උපයා ගන්නා විදේශ ධනයයි. එසේ තිබියදීත්, ඇතැම් විදේශ උපාධිධාරීහූ ආපසු ලංකාවට එන්නේ, න්‍යාය සහ භාවිතය පිළිබඳ ප‍්‍රමාණවත් පුහුණුවක් සහිතව නොවේ.

2012 දී රූපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙසේ කීය: ‘‘මම වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ හිටපු කෙනෙක්. ඒ අංශයෙන් ශ‍්‍රී ලංකාවේ වාර්තාව ඉතා ඉහළයි. ඒත්, අපිට අවශ්‍ය කරන තරමට වෛද්‍යවරුන් අපිට නැහැ කියලා මං කිව්වොත්, හුඟ දෙනෙක් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. මගේ කතාව පිළිගන්නේ නැත්නං, ඕනෑම පෞද්ගලික රෝහලකට ගිහිං බලන්න, කොච්චර සෙනගක් ඉන්නවද, ඒ සෙනග බලලා ඉවරයක් කරන්න දොස්තරවරුන්ට කොච්චර කාලයක් යනවද කියලා. සමහර වෙලාවට, මධ්‍යම රාත්‍රිය​ වෙන කල් ඒ රෝහල්වල ලෙඞ්ඩු බලන්න වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා. හරියට බැලූවොත්, රාජ්‍යයට පුළුවන් වෙන්න ඕනේ රටට අවශ්‍ය කරන තරමට වෛද්‍යවරුන් බිහි කරන්න. මොකද, ඒ සඳහා අවශ්‍ය කරන සම්පත් තියෙන්නේ රජයකට නිසා. එහෙත් යම් හේතුවක් නිසා රජයකට එම හැකියාව නැත්නම් හෝ එසේ කිරීමේ ඕනෑකම නැත්නම් හෝ වෛද්‍ය අධ්‍යාපනයේ රාජ්‍ය ඒකාධිකාරය අවසන් කිරීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා හෝ රටට අවශ්‍ය කරන තරමේ වෛද්‍යවරුන් සැපයෙන්නේ නැත්නම්, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් මං පෙනී හිටිනවා.’’

‘‘මේ තත්වය තුළ, මේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය කරන්නේ ඇයි කියන එකට මං හේතු හතරක් ඉදිරිපත් කරන්නම්: මුලින්ම, අවශ්‍ය තරම් වෛද්‍යවරුන් අපිට නැති කම. අපේ ජනගහනයෙන් ලක්ෂයකට ඉන්නේ වෛද්‍යවරු 55 ක් පමණයි. මේක එංගලන්තය සමග සන්සන්දනය කළොත්, වෛද්‍යවරු 220 යි. ඇමරිකාවේ 230 යි. ඕස්ටේ‍්‍රලියාවේ 250 යි. ඉන්දියාවේ 60 යි. පාකිස්තානයේ 71 යි. අපේ කලාපයෙන් අපිට වඩා පහළින් ඉන්නේ භූතානය සහ නේපාලය විතරයි. ඒක නිසා අපිට තව වෛද්‍යවරු අවශ්‍ය කරනවා.

“දෙවැනි හේතුව: වෛද්‍ය ශිෂ්‍යයන්ව දිස්ත‍්‍රික්ක කෝටා ක‍්‍රමයට තෝරා ගැනීම තුළ තියෙන අසාධාරණය. ඒක වෙනත් විදිහකින් විස්තර කළොත්, එක අසාධාරණයක් නැති කර ගැනීම සඳහා තවත් අසාධාරණයක් කිරීමක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ ක‍්‍රමය නිසා, ඉතා ඉහළින් උසස් පෙළ සමත් වෙන හුඟාක් ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙන්න බැරිව යනවා.

‘‘තුන්වැනි කාරණය: වෛද්‍ය අධ්‍යාපනය සඳහා පවතින ඉහළ ඉල්ලූම. වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එක වසරකට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 ක් හෝ ඊට වැඩි පිරිසක් විදේශ රටවලට යනවා. ඒක, අපේ විදේශ විනිමය පිටරටට ඇදී යාමක්. හතරවැනි කාරණය: අපි ලංකාවේ වෛද්‍ය විද්‍යාල ඇති කළොත්, පිටරටට යන විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි, විදේශ වෛද්‍ය ශිෂ්‍යන්ව මේ විද්‍යාලවලට ගෙන්වාගෙන විදේශ විනිමය උපයා ගන්නත් පුළුවන් වෙනවා.’’

අනිත් අතට, මහජන එක්සත් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වයි. ගුණවර්ධනගේ අදහස වන්නේ, මේ ප‍්‍රශ්නයට (හිඟයට) හේතුව, හැකියාවක් නැති කමට වඩා ඒ ගැන රජයට අවශ්‍යතාවක් නැති කම බවයි. ‘‘අප ඉදිරියේ ඇති විසඳුම් මාර්ග ගැන මුලින්ම අපි සිතා බැලිය යුතුයි. එක විසඳුමක් වන්නේ, අපේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන් ඇතුළත් කර ගැනීමේ ධාරිතාව වැඩි කර ගැනීමයි. දෙවැන්න වන්නේ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ට ආරාධනා කිරීමයි. එසේ නැත්නම්, විදේශ වෛද්‍ය උපාධි ලබා ගැනීමයි.’’

‘‘රජයේ විශ්ව විද්‍යාලවලට වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළත් කර ගන්නා සංඛ්‍යාව වැඩි කිරීම සඳහා කැබිනට් පත‍්‍රිකා කිහිපයක් අතීතයේදී ඉදිරිපත් කොට තියෙනවා. එහෙත් එයින් සාර්ථක වුණේ එක් අවස්ථාවක් පමණයි. ඒ, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඇති කිරීමයි. 2004 දී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කරන ලද අධ්‍යයනයකට අනුව, වෙනත් පීඨ සඳහාද මේ ධාරිතාව අපට වැඩි කර ගත හැකියි. ඒ අනුව, අමතර වියදමකින් තොරව වසරකට තවත් ශිෂ්‍යයන් 250 ක් ඇතුළත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ, මීට අවුරුදු 12 කට කලින්. දැන් තවත් අළුත් විශ්ව විද්‍යාල පීඨ ඇති කරලා තියෙන තත්වය තුළ, මේ ප‍්‍රමාණය 350 ක් පමණ වේවි. ඒක නිසා, දෙවැනි සහ තෙවැනි විසඳුම් ගැන (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සහ විදේශ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම ගැන) හිතන්න කලින්, දැනට තියෙන පහසුකම් අපි පාවිච්චි කළ යුතුව තියෙනවා.’’ යැයි ගුණවර්ධන කියයි. ඔහු තවදුරටත් මෙසේද කියයි: ‘‘පටන් ගැනීමක් විදිහට, එක පීඨයකට අමතර ශිෂ්‍යයන් 50 ක් අපිට ඇතුල් කර ගන්න පුළුවන්. ඊට පස්සේ, බරපතල අමතර වියදමකින් තොරව, තව තවත් අමතර ශිෂ්‍යයන් ඇතුළත් කර ගන්න පුළුවන්.’’

‘‘වෛද්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් බලන කොට, සැළකිල්ලට ගන්න ප‍්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි, (රෝගී) ජනගහනයෙන් 1000 කට රෝහල් ඇඳන් කීයක් තියෙනවද කියන එක. ලංකාවේ ඒ සංඛ්‍යාව 3.0 යි. සිංගප්පූරුවේ 3.7 යි. ඇමරිකාවේ 3.05 යි. එංගලන්තේ 2.95 යි. ඉන්දියාවේ 0.5 යි. පාකිස්තානයේ 0.7 යි. ඊළඟ සාධකය තමයි, එක වෛද්‍යවරයෙකුට ඉන්න රෝගීන් සංඛ්‍යාව. ඒක ලංකාවේ 1800 යි. කියුබාවේ 170 යි. රුසියාවේ 230 යි. ඇමරිකාවේ 390 යි. පාකිස්තානයේ 1400 යි. ඉන්දියාවේ 1700 යි. මේ කලාපයේ වෙනත් රටවල් එක්ක සසඳනකොට, ලංකාවේ මානව සංවර්ධන සූචිය ඉහළ අගයක් ගන්නේ විවිධ හේතු නිසා. විශේෂයෙන්, නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය නිසා. ඒ වගේම, අපේ දේශීය සහ ආයුර්වේද අංශය නිසා.’’

‘‘මැලේරියාව සහ පෝලියෝ රෝගය ලංකාවෙන් දැන් සහමුලින් තුරන් කරලයි තියෙන්නේ. ළමා මරණ අනුපාතිකය සියයට 1 ට අඩුයි. පසුගිය දශකය තුළ අපේ පරමායුෂ වැඩි වෙලා තියෙනවා. මේක අපේ වෛද්‍ය වෘත්තිය සහ එහි ගුණාත්මක භාවය නිසාත්, හොඳම පුද්ගලයන් ඉහළ අධ්‍යාපනයක් ලැබීමත්, විශ්ව විද්‍යාල පීඨවල හොඳම පුද්ගලයන් ඉගැන්වීම නිසාත්, අත්කර ගත්ත තත්වයක්.’’

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ප‍්‍රශ්නයේ දී ගුණවර්ධන අවධාරණය කරන කාරණය වන්නේ, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව නිර්දේශ කරන ප‍්‍රමිතීන්ට ඒවා අනුගත විය යුතු බවයි. එහෙත්, අවාසනාවකට, මේ දක්වා ඔවුන් ඒ සම්බන්ධයෙන් අසමත්ව ඇති බව ඔහු කියයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට උගන්වන අයවළුන්, සහතික ලත්, එම ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරීන් විය යුතු බව ඔහු අවධාරණය කරන තවත් කාරණයකි. කල් ඉකුත් වු අවසර පත් සහිත අයවළුන් ඉගැන්වීම නිසා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩු විය හැකිය. එසේම, සායනික පුහුණුව ද ඔවුන්ට ලබා දිය යුතු බව ඔහු අවධාරණය කරයි. මේ සායනික පුහුණුව ලැබිය හැකි රෝහල්වල හදිසි අනතුරු සේවාවන් තිබිය යුතු බවත්, ඒවාට ප‍්‍රමාණවත් ප‍්‍රමාණයක රෝගීන් පැමිණිය යුතු බවත් ඔහු කියයි. එසේ නොමැතිව, විවිධ හදිසි අනතුරු අවස්ථාවන් පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයන් ලබා ගන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කරයි. ඒ අනුව, මේ සම්බන්ධයෙන් සළකා බැලිය යුතු තාක්ෂණික ප‍්‍රශ්න ගැනත් අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

(ඉතිරි කොටස ඊළඟට)

2016 අගෝස්තු 20 වැනි දා ‘ද සන්ඩේ අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ“Do We Need Private Medical Colleges” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස) ‘යහපාලනය ලංකා’

සඳමාලී ද ෆොන්සේකා

Back to Home page