Colombo Telegraph

අපි කවුරුද?

සන්ධ්‍යා සල්ගාදු

සන්ධ්‍යා සල්ගාදු

අපේ කුඩා රටේ කුඩා ශරීරයක් තුල විසු විශාල යුග පුරුෂයා, පතාක යෝධයා, මිනිසුන් අතර විසූ ඒ අසම සම මිනිසා, පන්ඩිත් අමරදේවයන්ගේ වියෝවත් සමගින් දැනුණු නොපිරවිය හැකි හිස් බවක් හේතු කොටගෙන මම ස්වයං ආවර්ජනයක නිරායාසයෙන්ම නිමග්න වූයේ ඇයි දැයි මමම නොදනිමි. කොම්පියුටරය ඉදිරියේ මම අහේතුකව හිඳ ගත්තේ අප රටක් ලෙස සදහටම දුප්පත් වුනාදැයි හිතට වදදුන් නිසාවෙනි. අවුරුදු අසූ නමයක් රටේ කලාවට ඉහටත් ඉහලින් දායකවූ අමරදේවයන්ට අපි සමු දිය යුත්තේ බැති බරින් හා ස්තුති පූර්වකව වුවත්, පෘතක්ජන මිනිසුන් වන අපි මෙවන්නකුගෙන් තවත් චිරාත් කාලයක් අපව අමන්දානන්දයට පත් කළ යුතු බවට බලාපොරොත්තු වන්නේ අපට තවත් ‘අමරදේවයකු’ පෙනෙන ඉසව්වක වත් නැති හෙයිනි.

අප හැර ගිය යුග පුරුෂයන්, කලා කරුවන් කිහිප දෙනෙක් පිලිබඳ ආවර්ජනයක් කරන්නේ ඔවුන් සතු විරල ගුණාංග සහ මනුස්සකම් මොනවාදැයි යලි මතකය අවධි කිරීමටයි. මොවුන් සියල්ලෝම නම් කිරීමට අසීරුමුත්, සරත්චන්ද්‍රයන්, මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්, චිත්‍රසේන ශූරීන්, ජෙෆ්රි බාවා, ඛේමදාස මාස්ටර්, ආචාර්ය තිස්ස අබේසේකර, කරුනාරත්න අබේසේකර මහතා, ක්ලැරන්ස් විජේවර්දන මහතා, ජෝතිපාලයන්, ආචාර්ය ගාමිණි ෆොන්සේකා, ගාමිණී හත්තොටුවේගම, සෝමලතා සුභසිංහ … ආදී මෙකී නොකී අපගේ ජීවිතය යම් හෙයකින් වත් ගුණාත්මකව සහ කලාත්මකව ස්පර්ශ කල පතාක යෝධයින්න් තව බොහොයි.

මොවුන් අපි අමරණීයත්වයෙන් සලකන්නේ අයි දැයි මම මගෙන්ම ඇසීමි. මෙම යුග පුරුෂයන් අප රටේ රසඥතාවයේ යම්කිසි හැරවුම් ලක්ෂයකට හිමිකම් කියූ බව සක්සුදක්සේ පැහැදිලි නොවේද? තමාගේ විෂය පථය තුල නව නිර්මාණ කරණයේ පුරෝගාමීත්වයක් සෑම විටම හඳුන්වා දුන්නා නේද? ඔවුන් සෑමවිටම තම අදාළ විෂය ක්ෂේත්‍රයට පරිබාහිරව ජීවිතය නමැති නෞකාවේ නියමුවන් හා පෙර ගමන් කරුවන් සේ ක්‍රියා කළ සැටි දුටිමි.

ජාති ජම්ම ආගම් බේදයකින් තොරව රසිකයන්, ප්‍රේක්ෂකයන්, පාරිභෝගිකයන්ගේ නිලය අල්ලුවානේද? ශ්‍රී ලාංකිකත්වය අභිමානයෙන් ජාත්‍යන්තරයට රැගෙන ගියානේද? කල්ලිවාදයෙන් තොර, ‘මම පොර’ මානසිකත්වයෙන් ඔබ්බට ගොස් ‘අපි පොර’ බව ලොවට හඬ නගා කීවා නේද? තනි පුද්ගල රාජධානි නොසාදා ස්වකීය නිර්මාණයන්ට දායක විය හැකි සුසංයෝග නිතරම උපයෝගී කරගත්තානේද? චිත්‍රසේන, අමරදේව, සේකර, ලෙස්ටර් වැනි සදාතනික මිතුදම් වලින් බිහිවූ නිර්මාණ අමරණීය නොවේද?

‘අපේ කම’ පරතෙරටම හදාරා එය දූපත් මානසිකත්වයෙන් ඔබ්බට ගෙන ගියේ වසර දෙදහස් පන්සීයක අපිට උරුම ගාම්භීර සංස්කෘතිය අනෙකුත් ලෝක පූජිත සංස්කෘතීන් හා නොදෙවෙනි කොට නේද? එම කෘතීන් සහ නිර්මාණ විශ්ව සමාජයට මෙන්ම අපේ සාමාන්‍ය රසිකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට එකසේ රස විඳිය හැකි නිර්මාණ නොවුනේද? මොවුන් තමන් තෝරා ගත් විෂය පරතෙරටම හදාරා තිබුනානේද?

ජාතිවාදී, ආගම්වාදී මානසිකත්වය අහලක වත් තිබුනේද? ගාමිණී ෆොන්සේකා හැරුණු කොට මොවුන් කිසිවෙක් දේශපාලන අතකොලු හෝ වන්දිබට්ටයන් වුවෝ ද? තම නිර්මාණ සියල්ලක්ම අනුකරණයෙන් මිදී සෑම විටම නව්‍යකරණයෙන් පොහොසත් නොවුනේද? නිර්මාණකරණයේදී මුදල වෙනුවට තම ආත්මයට මුල්තැන දුන්නා නේද? මොවුන් මාධ්‍යයේ අතකොලු හෝ ගැත්තන් නොවූ අතර, මාධ්‍යය මගින් මෙම යුග පුරුෂයින් ඉතා වගකීමෙන් සමාජගත කළා නොවේද?.

අද අපි කොහිද?

අද අපේ පෙර ගමන් කරුවන් කවුරුන්ද? ඔවුන්ගේ කාර්යභාරය මගින් පොදු රසික රසිකාවන්ගේ දැනුම, රසඥතාවය, දැක්ම යනාදිය කෙතරම් දුරට ඔපමට්ටම් වන්නේද? අනුකරණයට මිස නවීකරණයට කෙතරම් අවදානය යොමු කරන්නේද? තම විෂය ක්ෂේත්‍රය කෙතරම් ගැඹුරට විශ්ලේෂණය කරන්නේද? එම විශ්ලේෂිත දැනුම කොතරම් දුරට යාවත්කාලීන කොට පවතින සමාජ ආකල්ප ඔස්සේ රටට උචිත පරිදි සහ ගෝලීයකරණයට සරිලන පරිදි ඔප මට්ටම් කර ඉදිරිපත් කරන්නේද? උදාර කර්තව්‍යක් වෙනුවෙන් කණ්ඩායම් හැගීමෙන් කෙතරම් සහයෝගයෙන් එක්වන්නේද? මාධ්‍යයට මුදලින් එහා ගිය චින්තනයක් නැතිද? දේශපාලනීකරණය නොවූ නිදහස් කලාවක්, සංස්‌කෘතියක් අපට අද තිබේද?

කළු වළාවක මා දකිනා රිදී රේඛා

‘ට්‍රේල්’ පාගමන මම තනිවම විදිනා ‘අපි හරි දුප්පත්’ මානසිකත්වයට නව පණක් දුන්සේනාසේය! හිතුවොත් අපට කලනොහැක්කක් නැත. ජාති ආගම් සහ පටු දේශපාලන න්‍යාය පත්‍ර ඇත්තේ අතලොස්සකට පමණි. රටක සෞභාග්‍යය උදා කිරීමට ඉදිරිපත්විය හැකි සැබෑ නායකත්වයකට නොකළ හැක්කක් නැත. පිරිසිඳු චේතනාවක් වටා මුළු රටක් එක්වූ සැටි මම ‘ට්‍රේල්’ මග ඔස්සේ, මසක් තිස්සේ සතුටු කඳුළු මද්‍යයේ බලා සිටියෙමි. ‘යහපාලන සිහිනයක්’ වටා ජීවිත පරදුවට තබා රටින් අඩකට වඩා බාල මහලු සැවොම එකාසේ එක්වූ සැටි දුටිමි. එසේම යහපාලන සිහිනය බොඳ වෙන සැටි බලමින් සුසුම් හෙලන අනාගත පරපුරක් මම දකිමි. ඔවුන්ට පරාර්ථකාමී යොවුන් නායකත්වයක දැක්මක් සහ බලාපොරෝත්තුවක් නුදුරු දිනෙක ලැබෙතැයි මම නිරතුරුවම විශ්වාස කරමි.

අමරදේවයන්ගේ වියෝවත් සමග මාධ්‍යය නව කඩඉමක් පසු කළා වැනිය. දෙදිනක් තුල බොහොමයක් මාධ්‍ය නව අත්හදා බැලීමක් නිරායාසයෙන් කළා වැනිය. ඔවුන්ට දායක වන්නට අනුග්රාහකයින්ද ඉදිරිපත් විනි. මෙයම හැරවුම් ලක්ෂයක පෙරහුරුවක් කරගත නොහැකිද? ජාතියේ රසඥතාවය තවමත් පණ අදිමින්වත් ජීවත් වෙන බව ගිය සතියේ මම දුටිමි. මෙය තේරුම් ගෙන, මාධ්‍යය අදට වඩා සමාජ හිතකර, නව චින්තනයක් මාධ්‍යය සංස්කෘතියට එක කරනු ඇතැයි දෑස් දල්වා බලා හිඳිමි.

‘අපි මචං’ වැනි නව පරපුරේ කලා කරුවන් අමරදේවයන්ගේ ගීත යාවත්කාලීන කර ඔවුන්ගේ සහෘදයන් සමග බෙදාහදා ගන්න සැටි මම අත්වින්දේ ඉහ වහා යන සතුටිනි. අතලොස්සක් වත් තරුණ නිර්මාණ කරුවන්ට තමන්ගේ තෝරාගත් ක්ෂේත්‍රය ගැඹුරට හැදෑරීමේ අවශ්‍යතාවක් ඇති බවක් පෙනේ. මෙය සුභවාදී නව මුහුණුවරක් සේ දකිමි.

මහේල, සංගක්කාර, සරින්ද, නාදන්, වැනි තරුණ නායකයින්හට රටේ උන්නතිය උදෙසා කළ හැකි කාර්ය භාර්යය ඉමහත්ය. ප්‍රසන්නලා, තජීලා, රාජිත ලා, කසුන් කල්හාර ලා, අමරකීර්ති ලා වැන්නවුන්ට යෑමට තව බොහෝ දුරක් ඇත්තාසේය.

සමස්තයක් වශයෙන් ගත්කල මට හැගෙන්නේ, අපෙන් සමුගත් යුග පුරුෂයින්ගේ අඩුව පිරවීමට් අද අප රටට අවශ්‍යයව ඇත්තේ පටු දේශපාලන අරමුණු ඇති පොදු අපේක්ෂකයන් නොව, නව පරපුරට ආදර්ශයමත් පොදු යුගපුරුෂයන් (කාන්තාවන් ඇතුළුව) බව මම තරයේ විශ්වාස කරමි.

එය නිකිණි සොයන්නාක් වැනි කර්තව්‍යක් වුවත්, ඒ සඳහා මට කළ හැකි උපරිමයට සැමදා කැප වෙමි.

Back to Home page