Colombo Telegraph

මතකය පිළිබඳ දේශපාලනය

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

‘‘කරු ජයසූරිය මට කතා කළ විත්තියක් මට මතක නැහැ.’’
‘‘පැහැර ගත්ත මිනිහාව නිදහස් කරපු එක වරදක් ද කියලා මං ඇහැව්වා.’’
‘‘දහයයි දහයට නං කරූ ජයසූරිය මට කතා කළේ, ඒකේ තේරුම මං දහයට ඇඳට යන්නේ නැහැ කියන එකයි.’’

ඉහත සඳහන් වන්නේ, රහස් පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිල නිවසේ මිදුලේ සක්මනක යෙදෙමින් මාධ්‍යවේදීන් සමග කී වල්පල් කතා කිහිපයකි. හතර වටෙන් කැමරා අටවා ගත්, පස්ස ලෙවකන බලකායක් මහා පුරුෂයාගේ ඒ පූච්චානම් කතාවලින් පිනායමින් සිටියහ.

ඔක්ස්ෆෝර්ඞ් ඉතිහාසඥ තිමොති ගාර්ටන් ඈෂ් වරක් සඳහන් කළ පරිදි, මතකය නැති වැඩිහිටියෙකු දරුවෙකු බවට පත්වන්නේ යම් සේ ද, මතකය සාමූහිකව අහිමි කරගන්නා ජාතියක් ළදරු ජාතියක් වන්නේය. ජාතියක් වශයෙන් අප ඒ තත්වයට වැටිය යුතු නැත.

පැහැරගෙන ගොස් කෝටුමස් කිරීමෙන් පසු කෙනෙකුව (කීත් නොයාර්ව) ඉන් බේරා ගැනීම කෙසේ නම් වරදක් වන්නද? ඇත්තෙන්ම, පැහැර ගත් මිනිසෙකු නිදහස් කිරීමේ කිසි වරදක් නැත. එතැන ඇත්තේ ශුද්ධ වූ නපුරයි. වරද, නපුරෙන් වෙන් කරන තුනී වෙනස, බෝධිසත්ව රාජපක්ෂට පෙනෙන්නේ නැත. මේ රචනාව, මහින්ද රාජපක්ෂගේ යහපත සහ නපුර පිළිබඳව ය.

ඉතිහාසය කැණීම, මහින්ද රාජපක්ෂට හෝ එකල ඔහුගේ ප‍්‍රධාන වැඩකාරයා වූ ගෝඨාභය රාජපක්ෂට දිරවන දෙයක් නොවේ. ‘කීත් නොයාර් සිද්ධිය’ පිළිබඳව මහින්ද රාජපක්ෂ දැන සිටි හෝ නොදැන සිටි දෑ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් කළ ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඔහු රඟපෑ ඒ අභූතරූපී නාඩගම, අපේ යුධ ජයග‍්‍රාහී නායකයාගේ කටුසු අනුහසේ තරම මනාව පෙන්වන සාක්ෂියකි.

ඔහුට ඇත්තේ හයිය පොත්තකි. විටෙක ඔහු අතිශය ප‍්‍රකෝපකාරී ය. විටෙක සටකපට ය. රහස් පොලීසියේ ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගත වූ සති දෙකක පමණ කාලය තුළ, දේශපාලනික රංගනයේ යෙදීමට මහින්ද රාජපක්ෂ සතු අසමසම සුරුවිරුව අපට යහමින් දැකගත හැකි විය. මාධ්‍යයට ඒ අවස්ථාව ආවරණය කිරීමට අවස්ථාව ලැබුණි. අපේ පශ්චාත්-සිවිල් යුද්ධ දේශපාලන කතිකාවේ අස්පස්ට සාරය නිරූපණය වන සේ කල්තියා සකසා ගත් අපූරු ප‍්‍රශ්නාවලියකින් එම අවස්ථාව සැරසුණි.

ඉන් සමහරක් මෙසේ ය:

‘‘ඔබතුමා වගේ, මෙච්චර සේවයක් රට වෙනුවෙන් කරලා තියෙන ඔබතුමා වගේ කෙනෙක්ගෙන් මෙහෙම ප‍්‍රශ්න කරන එක හරි කියලා හිතනවා ද?’’

ඉමහත් ඇවිස්සීමෙන් යුතුව මහින්ද රාජපක්ෂ ඊට පිළිතුරු බැන්දේය: ‘‘මේක ඇවිල්ලා, දේශපාලනික හිරිහැරයක්. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට මේක වෙන එකක් නැහැ කියලා.’’

‘‘ඒ වගේ ටෙලිෆෝන් කෝල් එකක් කරූ ජයසූරියගෙන් ඔබතුමාට ලැබුණා ද?’’

කීත් නොයාර්ව පැහැරගෙන ගිය ඒ මූසල දෙගොඩහරියේ කරු ජයසූරියගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බව ඔහුට මතක නැත. ඒ සම්බන්ධයෙන් රහස් පොලීසිය ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට තීරණය කිරීම, ඔහුට අනුව, දුෂ්ට මඩ ගැසීමකි. ඔහුගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂව පටලැවීමට ගන්නා ප‍්‍රයත්නයකි. එය, අසමත්ව වෑරෙමින් යන පාලන තන්ත‍්‍රයක පාහර පලිගැනීමකට වැඩි දෙයක් නොවේ.

හිටපු ජනාධිපතිවරයාගේ එකී ප‍්‍රතිචාර, ඔහුගේ සිංහල-බෞද්ධ දේශප්‍රේමී පපුවේ නලියන ඒ බියකරු අපරූපියාව නිරුවත් කරයි. ඔහු ගානකට නැතිව මාධ්‍යවේදීන්ට මෙසේ කියන්නේ එබැවිනි: ‘‘ඔය කියන මනුස්සයාව නිදහස් කළා නම් දැන් මොකක්ද තියෙන ප‍්‍රශ්නේ කියලා මං ඒගොල්ලන්ගෙන් ඇහැව්වා.’’

ත‍්‍රස්තවාදී කෲරත්වය මුලිනුපුටා, රාජපක්ෂ පවුල් සමාගමක් යටතේ අපේ ජාතිය හිස් සොමියක් තුළට ඇද දැමු විමුක්තිදායකයාගේ අභ්‍යන්තර රූපකාය, ඇදකුදක් නැති ඒ සරළ ප‍්‍රකාශය හරහා නිරුවත් කෙරේ. සිංහල-බෞද්ධ, ජාතිකමාමක මහින්ද රාජපක්ෂව අප අවතක්සේරු කළ යුතු නැත. සිංහල-බෞද්ධ යෝධ ජන මතයක රූකඩ රැුහැන් පට ඔහු අතේ තිබේ. ඒ මහා සෙනග ඔහුව අගය කරනවා නොව, ඔහුව නමස්කාර පූර්වකව වන්දනා කරන්නෝය.

මානුෂීය ඝාතනයක් පිළිබඳ වීර වන්දනයක් නිර්මාණය කොට සමාජගත කළ ඔහු, සාම වකවානුවේ ඔහුගේ විරුද්ධවාදීන්ව සිටි පිරිස් බෙලහීන කොට, නන්නත්තාර කැරැුවූ ‘රණවිරු’ සංකල්පයක් ප‍්‍රබන්ධ කෙළේය. තමාට මතක නැතැයි මහින්ද කියන විට එහි අදහස වන්නේ, මුල්ලිවයික්කාල් කලපුවේ දී ජාතිය ගලවා ගත් විමුක්තිදායකයා වශයෙන් ඒ ගැන කතා කිරීමට තමන් සූදානම් නැති බව හෝ යුද්ධය නිමා කළ පුද්ගලයා වශයෙන් තමා සන්තකයේ ඇති අක්තපත‍්‍ර අභියෝගයට ලක්කිරීමට තමන් ඉඩ නොතබන බවයි.

මතකය පිළිබඳ දේශපාලනය මහින්ද රාජපක්ෂ වැන්නන් සඳහා නොවේ. මේ ලියුම්කරු එසේ කියන්නේ, අතිශය නිහතමානීව සහ බලවත් නෂ්ටාපේක්ෂාවෙන් යුතුවයි. මහින්ද කියන ඕනෑම දෙයක් අනුමත කරන හෝ ඔහු කියන ඕනෑම දෙයක් දෙවරක් නොසිතා කරන බොහෝ දෙනා මම දනිමි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක්, ඉහළින්ම උගත්, වෘත්තිකයෝ ය.

අපි, තමන්ගේ නෑසිය හිතමිතුරන් අහිමි වීමෙන් විඳවන දහස් ගණනක් මැද්දේ වෙසෙන ජාතියක් වෙමු. නම් ගම් නැති සොහොන් කොත් අපට තිබේ. එහෙත් ඔවුන් වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ වැලපෙන්ට හෝ ඔවුන්ගේ සොහොන් සොයා යන්ට අපට හයියක් නැත. එය ජාතිද්‍රෝහීත්වයක් විය හැකි බැවිනි.

තීරණාත්මක සටන් බිම වුණේ මුල්ලිවයික්කාල් ගම්මානයයි. 26 අවුරුදු සිවිල් යුද්ධය නිමාවට පත්වුණේ එහිදී ය. ඒ අසල නොගැඹුරු වැවක, ජයග‍්‍රාහී මහින්ද රාජපක්ෂ නැමැති සිහළ රුහුණු පුත‍්‍රයා මුල්ලිවයික්කාල් ජයග‍්‍රහණයේ ස්මාරකයක් තැනීය. අඩි 30 ක් උස, ලෝකඩින් තැනූ සෙබළෙකුගේ පිළිරුවක් ඒ රළ රහිත නිසල ජලයෙන් ඉස්මතුව තිබේ. එල්.ටී.ටී.ඊ, සංවිධානය පරාජය කිරීමට දිවි දුන් ‘රණ විරුවන්ගේ’ මතකය වෙනුවෙන් තැනූ ඒ ස්මාරකයේ පාමුල, කළු ගලින් කළ සිංහයෝ හතර දෙනෙක් රැුකවලේ සිටිති.

ලෝකඩින් කළ සොල්දාදුවාගේ දකුණු අතේ ප‍්‍රහාරක රයිපලයක් තිබේ. දකුණු අතේ, අපේ ජාතික කොඩිය තිබේ. එහි සිටින, අසිපත අතින් ගත් සිංහයාගේ රුව කැපී පෙනේ. සොල්දාදුවා දකුණු අතින් දරා සිටින රයිපලයේ පරෙවියෙක් වසා සිටී. සිය ලෝමුවා සංයුතියේ නිශ්ශබ්දතාව අස්සෙන් ඒ පරෙවියා ලෝකයාට යම් පණිවිඩයක් තිරසරව සම්පේ‍්‍රෂණය කරයි. සමහර විට, කීත් නොයාර්ට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටීම ගැන දෙවරක් සිතීමට හේතුවන්ට ඇත්තේ, ඒ පණිවිඩය තුළ සැඟවුණු යම් මූසල සංඥාවක් විය හැකිය.

යුද ස්මාරක තැනීමේ වරදක් නැත. රාජ්‍යයක් කඩා ඉහිරවීමට හෝ දෙකඩ කිරීමට සටන් කළ අභ්‍යන්තර සතුරෙකුට එරෙහිව කළ සිවිල් යුද්ධයක ස්මාරකයක් වුව කම් නැත. ශිෂ්ට සම්පන්න ජාතීන් එවැනි යුද ස්මාරක තනා තිබේ. රුසියානුවෝ ස්ටැලින්ග‍්‍රාඞ් සංග‍්‍රාමය සැමරීම සඳහා ‘මව්බිම අමතයි’ නැමැති පිළිරුව තැනූහ.

ඉන්දියානුවන්ටත් තේජමාන යුද ස්මාරකයක් තිබේ. 1962 ඉන්දු-චීන යුද්ධයේ දිවි පිදූ ඉන්දියානුවන් වෙනුවෙන්, ‘අරුණාචල් ප‍්‍රදේශ්’ හි තවාන් හිම කඳු වැටිය මුදුනේ මෙය තනවා තිබේ.

යුද ස්මාරක තනන්නේ යම් අරමුණක් ඇතිවයි. විශාල වශයෙන් මනුෂ්‍ය ජීවිත පූජා කිරීමට සිදු වූ ක්ෂතිමය ගැටුමක නිමාවෙන් පසු ශිෂ්ට ජාතීහූ එවැනි ස්මාරක තනති. යුද ස්මාරකයක අත්‍යාවශ්‍ය කාර්යය භාරය කුමක් ද? සුව වීමේ ක‍්‍රියාවලියට එය ආධාරක වෙයි. අතීතයේ සිදු වූ විනාශය කිරා බැලීමටත්, ඒ අතීතය ගැන හිත හදා ගැනීමටත්, දෙපාර්ශ්වයේම දිවි ගලවා ගත්තවුන්ට ඒ මගින් අවකාශ සැලසෙයි. එවන් යුද ස්මාරකයක්, සාධනීය මහජන සංවාදයකට ඉවහල් විය යුතුය.

මහින්ද තැනූ සොල්දාදුවා, පරෙවියෙකු වසා සිටින ගිනි අවියක් අතකින් දරාගෙන කියන්නේ, ’උඹලා පරාදයි, අපි දිනුම්’ යන්නයි. ඒ හමුදා ජයග‍්‍රහණයේ ජවයෙන් ඔදවැඩුණු මහින්ද රාජපක්ෂගේ ඒකල බලය අපව බිය වද්දයි. ත‍්‍රස්තවාදය පොඩිපට්ටම් කළ රාජ්‍යයක ජයග‍්‍රාහී මෝහනයට අභියෝග කිරීමට හයියක් අපට නැත.

දේශපාලනික මතකය භාවිතයට ගැනීම සහ අවභාවිතයට ගැනීම පිළිබඳ විශිෂ්ට අධ්‍යයනයක් වන, ‘‘අමතක කිරීමේ වරුණාව: ඓතිහාසික මතකය සහ එහි ව්‍යාජෝක්ති’’ නැමැති කෘතියේ කතුවර ඬේවිඞ් රියෙෆ් පෙන්වා දෙන පරිදි, එක පාර්ශ්වයක මහා පරාජයකින් යුද්ධයක් අවසන් වන විට, ‘‘ගැටුමේ සාමුහික මතකය ඒකපාර්ශ්විකව හැඩගැන්වීමේ බලය ජයග‍්‍රාහකයාට ලැබේ’’.

මහින්ද රාජපක්ෂගේ යුද ස්මාරකය දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අනියත සමගියක් වෙනුවෙන් ස්වකීය දුක සන්තාපය ඔවුන් ගිල ගත යුතු බවයි. මේ ලියුම්කරු සිංහල ය. බෞද්ධ ය. මෙය කියවන සමහර දේශපේ‍්‍රමීන්, මගේ උප්පැන්නයේ සඳහන් දෙමාපියන්ගේ නම්ගම් වෙනස් කළ යුතුව ඇතැයි යෝජනා කිරීමට බැරි නැත. අපේ සාමූහික දේශපාලන මතකයේ නිවැරදි ඉසව් දක්වන අව්‍යාජ සිතියමක් පින්තාරු කිරීමට ගන්නා මේ ප‍්‍රයත්නය වෙනුවෙන් එය විශාල වන්දියක් නොවේ.

මහා ගැටුම්වලින් අනතුරුව ඉතිහාසයේ නැවත නැවතත් බලයට පැමිණෙන එක්තරා පුද්ගල වර්ගයක් සිටිති. ඔවුන් ජනකාන්ත ය. ප‍්‍රියමනාප ය. කෛරාටික ය. කුරිරු ය. සහකම්පනයෙන් තොර ඔවුහූ, ඇෙඟ් මයිලක් ගානේ තේජමාන වීමට බලති. බලයට කෑදර ඔවුහූ, මිනිස් චර්යාවේ පිළිගත් සම්මතයන් සහ ප‍්‍රමිතීන් ඉඳුරා බැහැර කරති. ජනතාවක් කැමැත්තෙන් පස්සෙන් යන ප‍්‍රජා-පීඩකයන් බවට පත්වන්නේ එවැන්නන් ය. මහින්ද රාජපක්ෂ එවැන්නෙකි. ඔහු, අසාධ්‍ය ස්වරූපකාමියෙකි. (තමාගේම රූපයෙන් වශී වන තැනැත්තෙකි). ඔහුට කළ හැකි හරියේ තරම, සමහර විට තවමත් අප තේරුම්ගෙන නැත.

ඔහුගෙන් පසුව බලයට පත්, ගොබ්බ, තකතිරු පාලන තන්ත‍්‍රය අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වාටියේ කොණකින් ගලවාගෙන ඇතත්, මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුල් මාෆියාව හරහා යුද්ධයෙන් පසු පස් වසක් තිස්සේ අපව පත්කළ තත්වය, අපට කළ අවමාන-තර්ජන සහ සෘජු තර්ජන, විවිධාකාරයෙන් අපව ඇන්දූ ආකාරය, අපට දැන් අමතක ය.

කිසි ගානකට නැතුව ඒ මහින්ද රාජපක්ෂ අද මෙසේ අසන්නේ එබැවිනි: ‘‘හරි, එහෙම ටෙලිෆෝන් කෝල් එකක් ලැබුණා කියමුකෝ. මිනිහාව නිදහස් කළා නේ. ඉතිං මොකක්ද තියෙන ප‍්‍රශ්නේ?’’

නැවත බලයට පැමිණිය හැකි මහින්ද රාජපක්ෂ කෙනෙකු ගැන හිතෙන විට ඇඟ කිලිපොලා යන්නේ එබැවිනි. කීත් නොයාර් නැමැති මාධ්‍යවේදියාව පැහැරගෙන යාම සහ කුරිරු වධ බන්ධනයට පත්කිරීම, ඔහුට හඬා වැළපෙන්ට තරම් මහ බක්කක් නොවේ.

මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ආණ්ඩුව කාර්යක්ෂම ය. තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට එය සමත් විය. ඔහු නිර්මාණය කරගත්තේ, සිතීම නතර කොට ඉවට ඉඩ දෙන රාජ්‍ය යාන්ත‍්‍රණයකි. බිය වැද්දීම දෛනික පුරුද්දක් වන විට, ඊට ඇබ්බැහි වන ජාතියකට හිටිහැටියේ නින්දෙන් ඇහැරී කෑකෝගැසීමේ හැකියාවක් ලැබෙන්නේ නැත.

මහින්ද අපේ ඉතිහාසය තුළ මතකයේ රැුඳෙනු ඇත. රටේ ඉතිහාසයත්, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් ඔහු යළි ලීවේය. ඒ මහින්දව නිර්මාණය කෙළේ අප ය. නායකයා තනි තීරණයක පිහිටා වැඩ කරයි නම්, ඒ නායකයා වපුරන භීතිය වුව දරා ගැනීමේ හැකියාවක් අපට තිබුණි. අපට අවශ්‍ය කෙළේ, උමතු ත‍්‍රස්තවාදියාව නලවන නායකයෙකු නොව, ඌට එරෙහිව ක්ෂණික තීරණ ගත හැකි වැඩකාරයෙකි. ඉතිං, එක නපුරක් මැඩලීමට ගොස් අපි තව නපුරක් නෙළා ගත්තෙමු. ඒ අනුව, ප‍්‍රභාකරන්ගේ සන්නද්ධ ත‍්‍රස්තවාදී නපුර ඉවරයක් කරගෙන, රාජපක්ෂගේ මර්දනකාරී දේශපාලනික නපුර කරේ දාගත්තෙමු.

කරු ජයසූරියගෙන් ලැබුණු දුරකථන ඇමතුම ගැන මතකයක් නැතැයි කියන විට මහින්ද මවාපෑමක් කරනවාම නොවේ. ඔහු කරන්නේ, ඔහු හොඳින්ම දන්නා කර්මාන්තයයි. ඔහු සිටියේ, මතකය හැඳිගෑවී ගිය අලූත් ඉතිහාසයක් නිර්මාණය කරමිනි.

මහින්ද යටතේ ස්වෛරී වුණේ රාජ්‍යයයි. ජනතාව නොවේ. ජීවත් විය යුත්තේ කවුද, මියයා යුත්තේ කවුද, පැහැරගෙන යා යුත්තේ කවුද, අතපය කඩා ගත යුත්තේ කවුද යන්න තීරණය කෙළේ ඒ ස්වෛරීත්වය විසිනි. මහින්ද රාජපක්ෂගේ ජනාධිපති චර්යාව තුළ සැබෑ පාඩම් කිහිපයක් විය: විචාර බුද්ධියේ බෙලහීනත්වය, සත්‍යය හෑල්ලූවට ලක්කිරීම සහ ඉතිහාසය හැදීම හෝ නැසීම තමන්ගේ වැඩක් වශයෙන් ගැනීමට තරම් තිබූ විලිලැජ්ජා නැති කම.

රුසියාව සහ පෝලන්තය අතර පවතින ඓතිහාසික වෛරය සියවස් ගණනක් ඈතට විහිදෙයි. පෝලන්ත ජාතිකයන් කියන එක් අමිහිරි විහිළුවක් තිබුණි. ‘‘අවස්ථාවක් ලැබුණොත් පෝලන්ත ජාතිකයෙකු මුලින් ඝාතනය කළ යුත්තේ ජරමානුවෙක්වද, රුසියානුවෙක්වද? අහන්න දෙයක් නැහැ, ජරමානුවෙක්ව තමයි.. ජොලියට කලින්, රාජකාරිය කරන්න ඕනේ’’.

2010 දී රුසියානු පාර්ලිමේන්තුව එක් ඓතිහාසික සත්‍යයක් ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. එනම්, දෙවැනි ලෝක යුද්ධ කාලයේ 1940 බටහිර රුසියාවේ ‘කැට්යින්’ නැමැති කැලේ දී පෝලන්ත හමුදා නිලධාරීන් විසි දහසක් සමූහ ඝාතනය කෙළේ, හිට්ලර්ගේ නට්සිවාදී ජර්මනිය විසින් නොව, ස්ටැලින්ගේ රුසියාව විසින් බවයි. පරණ විහිළුව පෝලන්ත ජාතිකයන්ට දැන් අමතකව තිබේ.

2018 අගෝස්තු 26 වැනි දා කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Memory, Memorials & MR’s Moral Compass නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page