Colombo Telegraph

සාමූහික හෘදසාක්ෂියකින් යුතු සම්මුතියක්

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

වැඩ කරන පන්තියේ නැ`ගිටීම සිදු වූයේ ඊට ම අවශ්‍ය විටෙක දී විනා හිරු පායන සේ නිශ්චිත වේලාවක දී නොවේ” – ඊ. පී. තොම්සන්

නිදහස ලැබී කලබැගෑනියකින් තොරව ගෙවුණු හැට හත් වසරක කාලය තුන් වැනි බලවේගය විසින් අවසන් කැරිණි. ලබාගත හැකි බවක් කිසි විට අපට නො පෙනුණු යමක් ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ දැන් ඉදිරිපත්ව සිටී. නිදහස ලැබුණු දා පටන් පැවැති පුද්ගල වාසිය පදනම් කරගත් දේශපාලනය තුළ දක්නට නො තුබුණේ කුමක් ද?’ යන්න ආයුධ සන්නද්ධ අරගලය අත්හැර දමා සියුම්ව සිය ක‍්‍රමවේදය සකසාගත් එම පක්ෂය විසින් අවබෝධ කොටගෙන ඇති බව පෙනේ. ඒ වනාහි පුරවැසි නිදහසයි.

ඉදිරිපස කවරයේ දැක්වෙන්නේ සිත් ගන්නාසුලූ ලා රත් පැහැති පසුබිමක වූ බතින් පිරි ලී හැන්දකි. පසුබිමෙහි රත් පැහැය ක‍්‍රමයෙන් තුනී වෙමින් නවෝදයක අපේක්ෂාවන් පහළ කරවයි. ‘‘හෘදසාක්ෂියේ සම්මුතිය – ජාතික වැඩපිළිවෙළ’’ යන්න එහි මාතෘකාව ය. ඉන් අනතුරුව එන කථාන්තරයෙන් කියැවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙහි හෘදසාක්ෂියයි. අප ගේ දේශයේ හෘදසාක්ෂිය වන්නේ ද එය ම වන්නේ ය. මෙම ලිපිය ලියන මගේ ද විශ්වාසය වන්නේ එයයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් කලඑළි බස්වා ඇති මෙම දේශපාන ප‍්‍රකාශනය වූ කලී හැට හත් වසරක් තිස්සේ පැවතගෙන ආ සාම්ප‍්‍රදායික මෙන් ම පුද්ගල වාසිය පදනම් කරගත් දේශපාලනය නො පමාව අවසානය කරා ගෙන ඒම පෙරදැරි කරගත් සදාචාරාත්මක හා බුද්ධිමය අවශ්‍යතාව කුළුගැන්වීම සඳහා වූ අධිෂ්ඨානශීලී ප‍්‍රයත්නයකි.

ද්විපක්ෂ ක‍්‍රමයක් පදනම් කරගත් ප‍්‍රවර්තන පාලන ව්‍යුහයේ අරමුණ වන්නේ අධි පරිභෝජනවාදය කරපින්නාගෙන ලාභ පසුපස ඉවක් බවක් නැතිව දිවෙන සමාජයක් වෙත සේවය කිරීම ය. මෙම දේශපාලන ප‍්‍රකාශනය තුළින් අපේක්ෂා කරනු ලබන්නේ එකී පාලන ව්‍යුහයෙහි හා ක‍්‍රමයෙහි වෙනසකි.

රාජ්‍ය ප‍්‍රතිව්‍යුහකරණයකින් අනතුරුව ආර්ථික පුනර්ජීවනය හා සමාජ සාධාරණය ඇති කරවීමෙහි සමත් බුද්ධිමත් සමාජයක් සඳහා පදනම නිර්මාණය කරන රජයක් බිහි කරවීම මෙහි දී කඩිනමින් කළ යුතු ප‍්‍රථම කාර්යය වන්නේ ය.

මහජන කේන්ද්‍රීය රජයක් ද මානව සම්පත් හි විශිෂ්ටත්වය ද කාර්මික නවීකරණයෙන් යුතු දේශයක් ද සාධාරණ සමාජයක් ද පුරවැසි නිදහස ද යන ප‍්‍රධාන අරමුණු පහ මෙම ප‍්‍රකාශනයෙහි අඩංගුව තිබේ.

‘‘සංවර්ධනය ද සමෘද්ධිය ද එසේ ම නව යුගයක් ද පොරොන්දු වෙමින් එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කොටගෙන වරින්වර බලයට පැමිණි සභාග ආණ්ඩු යටතේ ගත වූ හැට හත් වසරක කලයෙන් පසුව ද අප පසු වන්නේ ඉතා අවාසනාවන්ත වූත් හිරිහැරදායක වූත් දුෂ්කරතාවනට මැදි වූත් තත්ත්වයක ය.’’ යනුවෙන් එහි දැක්වෙන හැඳින්වීම දේශපාලක පැලැන්තිය වෙත එල්ල කැරෙන ප‍්‍රබල චෝදනාවකි.

ඵලදායී ක‍්‍රමවේදයන් හිතාමතා කඩාබිඳ දැමීමත් නො සලකා හරිනු ලැබීමත් හේතු කොටගෙන අභ්‍යන්තර මෙන් ම බාහිර ණය මත සදාකාලිකව ම යැපෙන තත්ත්වයට අප ගේ දේශය පත් කරවනු ලැබ තිබේ.

සංවර්ධනය පිළිබඳ වූ අතිශයොක්ති ප‍්‍රකාශයන් තුළින් කැරෙන රැුවැටීම් දැන් හෙළිදරව් වන්නට පටන් ගෙන ඇත. ධනය බෙදී යාම පිළිබඳව දැන දැනම කරනු ලබන විකෘති කිරීම් විසින් දරිද්‍රතාවෙහි වේදනාව දැඩි කරනු ලබයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් 55% ක් සඳහා හිමිකම් කීමට 20% ක් වූ පවුල් සංඛ්‍යාවකට හැකියාව ඇතත් 20% ක් වූ වඩාත් දුප්පත් පවුල් හිමිකම් කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.6% කට පමණි.

ප‍්‍රබල මූල්‍ය අර්බුදයකට ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටී. පැහැදිලි ආර්ථික ප‍්‍රතිපත්තියක් නොමැති වීමත් ප‍්‍රමාණවත් මූල්‍ය ප‍්‍රතිපාදන සැපයීමට නොහැකි වීමත් නිසා අධ්‍යාපනයේත් ගමනාගමනයේත් නිවාස සැපයීමෙහිත් වැදගත් අංශ අඩපණව ගොස් ඇත.

360,000 ක් දරුවෝ ශ‍්‍රී ලංකාවෙහි පාසල්වලට වාර්ෂිකව ඇතුළත් වෙති. විශ්ව විද්‍යාල ඇතුළු වෙනත් තෘතීය අධ්‍යාපන ආයතනයන් වෙතින් වාර්ෂිකව පිට වන්නේ 30,000 පිරිසක් පමණි. මෙම කණගාටුදායක සංඛ්‍යාලේඛන තුළින් ගම්‍ය වන්නේ සෑම වසරක ම පාසල්වලට ඇතුළත් වන්නවුන් අතරින් 330,000 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය සම්පූර්ණ කරගැනීමට අසමත් වන බවයි. වාර්ෂිකව රැුකියාවන් අපේක්ෂා කරන්නවුන් ගේ සංඛ්‍යාව 300,000 ඉක්මවන නමුදු රජයේ හා විධිමත් පෞද්ගලික අංශයේ රැුකියාවන් සඳහා අවස්ථාව ලැබෙන්නේ 65,000 කට පමණි. ඉතිරි 235,000 ක පිරිස අපේක්ෂාවන් ගෙන් මෙන් ම සමාජ පිළිගැනීමකින් ද තොර වූ පන්තියක් නිර්මාණය කරමින් රැුකියා විරහිත අසරණයන් බවට පත් වෙති. එහි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ සමාජ සහ සාංස්කෘතික ඒකාග‍්‍රතාව බිඳ වැටීම ය. සෑම පැයකට ම වරක් ස්ත‍්‍රී දූෂණයක් සිදු වන බව පොලිස් වාර්තාවන් හි දැක්වේ. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් ගේ සංඛ්‍යාව 100,000 කි. ඔවුන් අතරින් එක් අයෙක් පවුල් පණහක එක් කණ්ඩායමකට අයත් ය. දිනකට 14 දෙනෙක් සිය දිවි නසාගනිති. මෙකී සංඛ්‍යාවන් තුළින් ගම්‍ය වන්නේ අවුරුදු 67 ක් තිස්සේ පැවැති ද්විපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හපන්කම් ය.

ජාතිවාදී හා ආගම්වාදී අතිධාවන ක‍්‍රියාවන් හි පීඩනයට නිතර නිතර ජනතාව භාජන වෙමින් සිටිති. ජාතික සමගිය වෙත තවමත් අප ළ`ගා වී නැත.

බලය අනිසි ලෙස යොදාගනිමින් කැරෙන මර්ධනයන්ට මුවා වෙමින් අල්ලස හා දූෂණය ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිරූපයට තර්ජනයක් වන තරමට වර්ධනය වී තිබේ. එය කෙතරම් වර්ධය වී තිබේ ද යත් සමාජ, ආර්ථික, දේශපාලන හා සාංස්කෘතික අර්බුදයක ග‍්‍රහණයට ශ‍්‍රී ලංකාව හසු වී තිබෙන බව සඳහන් කිරීම නිවැරැුදි වන්නේ ය.

ජාතියේ හෘදසාක්ෂිය පිළිබඳව වූ ජනතා විමුක්ති පෙරමුණෙහි සම්මුතිය වූ කලී දේශපාලන අවශ්‍යතාව ද අබිබවා යමින් සදාචාරාත්මක හා බුද්ධිමය යථාර්ථයක් විද්‍යමාන කරවන සේ මැනවින් සකසනු ලැබූ ප‍්‍රකාශනයකි. අප‍්‍රසන්න අතීතය එම`ගින් ප‍්‍රතික්ෂේප කරනු ලබයි. ඉන් කැරෙන්නේ වර්තමාන දුර්පාලනය පිළිබඳ විවේචනයකි. නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයෙහි සීමා මායිම් දෙස නව කෝණයකින් බැලෙන නව දේශපාලන සංවාදයක අවශ්‍යතාව එම`ගින් පෙන්වා දෙනු ලබයි.

වෙළෙඳපොළ ආර්ථිකයෙහි සීමා මායිම් යළි සැකසීමේ අභියෝගය භාරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බව පෙනේ. ලංකා වෙළෙඳ මණ්ඩලයෙහි අනුග‍්‍රහය ඇතිව පසුගිය අ`ගහරුවාදා දිනෙක රූපවාහිනියෙන් ප‍්‍රචාරය වුණු එක්සත් ජාතික පක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වාත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බන්දුල ගුණවර්ධනත් සහභාගි වූ සාකච්ඡුාවක දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති පළ කළ අදහස් තුළින් ඒ බව සනාථ වන්නේ ය. වෙළෙඳපොළ ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර තරගකාරී මත ඉදිරිපත් වූ ආකාරය ආකර්ෂණීය ය.

ජනතා විමුක්ති පෙරමුණ ගෝලීයකරණයට බිය නොවන බව සුනිල් හඳුන්නෙත්ති පවසයි. ගෝලීයකරණය හා එහි බලපෑම් හමුවෙහි බොහෝ අභියෝගයන් නිර්මාණය වන බව ද හෙතෙම පිළිගනී. ඔහු කියන ආකාරයට ගැටලූව වන්නේ අතිශය වේගයෙන් වර්ධනය වන ලෝක වෙළෙඳාමෙන් ප‍්‍රමාණවත් හා සාධාරණ කොටසක් අත් කරගැනීමෙහි ලා අප ගේ ඇති නො හැකියාව විනා, ගෝලීයකරණය සිදු වන වේගය නොවේ.

විවිධ රටවල් වෙතින් මිලට ගැනෙන හා ඒ ඒ රටවලට විකිණෙන සේවා හා භාණ්ඩ ප‍්‍රමාණය දැනට දශක තුනකට ඉහත දී තුබුණු තත්ත්වයට වඩා බොහෝ ගුණයකින් අධික ය. එහෙත් ලෝක වෙළෙඳාම තුළ අප සතු කොටස නො සැලකිය හැකි වන තරම් වූ මට්ටමකට පහත වැටී තිබේ. ජාත්‍යන්තර අරමුදල් ගලා එන ආකාරය මෙන් ම ඒවා ආයෝජනය කළ යුතු ආකාරය පිළිබඳව මුහුණ පා ඇති ගැටලූ පිළිබඳ මනා අවබෝධයක් තමන් තුළ පවතින බව ජනතා විමුක්ති පෙරමුණ විසින් වාණිජ ලෝකයේ පතාක යෝධයන් හමුවෙහි ප‍්‍රකාශ කරන ලද්දේ සිත් ඇදගන්නා ආකාරයෙනි. ජාත්‍යන්තර වෙළෙඳාමෙහි කාලගුණික රටාවන් පිළිබඳව අවබෝධයක් මෙන් ම ඒ ඒ අවස්ථාවන් හි දී මතු වන වාණිජ කුණාටුවලට මුහුණ දීමේ සූදානමක් ද ජනතා විමුක්ති පෙරමුණ තුළ පවතින බව පෙනෙන්ට තිබේ.

Back to Home page