Colombo Telegraph

ජිනීවා නුවර කියැවෙන ග‍්‍රිම්ස් සුරංගනා කතා

සිලෝන් ටුඬේ -Shades Of Grey –

ස්විට්සර්ලන්තයේ අගනගරය වන ජිනීවා නුවර දේශපාලනික උණුසුම හිටිහැටියේ ඉහළ ගියේය. ඒ, ඉන්දියානු සාගරයේ කුඩා රටක් වන ශ‍්‍රී ලංකාව හේතුවෙනි. බිම් ප‍්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන් ද දේශපාලන මහබලවතුන්ගේ ගණයට නොවැටුණත්, එම රට මුහුණදෙන ප‍්‍රශ්න දැවැන්ත ය.

අල්ලක් තරම් කුඩා වූව ද, ලංකාව පත්ව ඇත්තේ ලෝකයේ නරකම මානව හිමිකම් කඩකරන්නන්ගේ ගොඩටයි. ඒ කෙතෙක් ද යත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය නවි පිල්ලේ පසුගිය සඳුදා එම රට ඉරාකයේ ගොඩට දමා කතා කළාය.

මේ රටේ බෞද්ධ ප‍්‍රතිරූපයට ආදරය කිරීම

අවාසනාවකට මෙන් මේ වන විට බාහිර ආටෝපයක් දක්වා පල්ලම් බැස ඇති මේ රටේ බෞද්ධ ප‍්‍රතිරූපයට අපි ආදරය කිරීම සැබෑවකි. එහෙත්, රාජ්‍යයට අනුබද්ධිත හිංසනය පිළිබඳ හුදු සඳහනකින් පවා බෙහෙවින් කිපෙන අප, හැබෑවටම සැබෑ හිංසනය කෙරෙහි සංවේදී වන්නේ අඩුවෙනි. ඒ අනුව ශ‍්‍රී ලංකාව, සියදිවි නසාගැනීම් සහ වෙනත් අපරාධ අතින් ඉහළ අගයක් දරයි. වෛරී කථනය දෛනික පුරුද්දක් බවට පත්ව ඇති අතර එය දේශීය කලාවක තත්ත්වට ඔසවා තබනු ලැබ තිබේ. හලාල් ප‍්‍රශ්නය අරභයා අනිකා නොඉවසීම තවත් ඉහළ තලයකට නැංවූ අප, බහුතරයේ දැක්ම සමග එකඟ නොවන්නන් ‘හරාම් කාරයන්’ වශයෙන් හංවඩු ගැසුවෙමු.

දුරදක්නා නුවණ ඇතොත්, ජාත්‍යන්තර ප‍්‍රජාව අප සම්බන්ධයෙන් එක දිගටම කණස්සල්ල පළකරන කරුණු අරභයා අප ද මීට වඩා සැළකිලිමත් විය යුතුව තිබේ= ‘දෙමළ ප‍්‍රශ්නය’, මේ විදිහට ගියොත්, ‘මුස්ලිම් ප‍්‍රශ්නයක්’ දක්වා වර්ධනය විය හැකිය. එසේ සිදු නොවෙතොත් එසේ වන්නේ, බහුතර සිංහලයන් අතරේ වෙසෙන උන්මත්තක රැුලක් නිසා නොව, ප‍්‍රචණ්ඩ ගැටුමක් වළක්වා ගැනීමට තරම් මුස්ලිම් ජාතිකයන් සිහිබුද්ධියෙන් යුක්ත වීම නිසා ය.

පසුගිය පෙබරවාරි 25 වැනි දා සිට ශ‍්‍රී ලංකාව, ලෝකයේ ඇති එකම ‘ශූන්‍ය සිවිල් ආපතික’ තත්ත්වයට (යුද්ධයේ දී එකම සිවිල් වැසියෙකුවත් මියනොගියේ ය යන ආස්ථානයට* ලංකාව උදාහරණයට ගනිමින් ජිනීවා නුවර හඩනගයි. එක්සත් ජාතීන්ගේ ප‍්‍රවේශය පිළිබඳ අපේ මිරිඟු අපේක්ෂා නැතත්, යුද්ධය පිළිබඳ ලංකා ආණ්ඩුව ඉදිරිපත් කරන පක්ෂග‍්‍රාහී ‘ශූන්‍ය සිවිල් ආපතික’ කතාව තුළ ඕනෑම කෙනෙකුට පෙනෙන්ට ඇති බොරුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර ප‍්‍රජාව ගිලිති යි විශ්වාස කළ නොහැකිය. කිසිම සිවිල් වැසියෙකු මිය නොයන එවැනි වික‍්‍රමයක්, යුද ශිල්පයේ පරතෙරට ගිය රටකට වුව ද අත්පත් කරගත හැක්කක් නොවේ. ‘ශූන්‍ය සිවිල් ආපතික’ යුද්ධ කියා දෙයක් ලෝකයේ නැතිවා සේම, පමණ ඉක්මවා නොයන යුද්ධ ද ලෝකයේ නැත. යථාර්ථය එසේ තිබියදී, ඊට වෙනස් කතාවක් ලෝකයාට ගිල්ලන්ට බැලීම නිරර්ථක ය. ඒ නිසාම, යුද්ධයක් තුළ ඇති විය හැකි අනතුරු සහ ආපදාවන් හැඳින්වීම සඳහා හමුදා නායකයෝ ‘සමාන්තර හානි’ නම් වන අනියතාකාර යෙදුම පාවිච්චි කරති. යුද්ධයට කෙලින්ම සම්බන්ධයක් නැතිව, අනපේක්ෂිත ආකාරයෙන් ජීවිත සහ දේපල විනාශ වීම සිදුවිය හැකි බව එහි අරුතයි.

ඉතිං, මුඛර කමට යම් හැකියාවක් ඇති ශ‍්‍රී ලංකාවේ මොළකාරයන් කිහිප දෙනෙක් දැන් ජිනීවා නුවර ජාත්‍යන්තර ප‍්‍රජාවට ව්‍යංගයෙන් තර්ජනය පාති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රාජකාරිය කළ යුතු ආකාරය ගැන ඔවුන්ට පාඩම් කියාදෙති. ඒත්, එහි එක පරහක් තිබේ. රජයේ හමුදා විසින් සිවිල් වැසියන් සිටි ප‍්‍රදේශවලට වගවිභාගයක් නැතිව ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කරන ලද බවට චෝදනා කෙරෙන අළුත්ම ‘චැනල් ෆෝ’ චිත‍්‍රපටයේ එන තොරතුරු, ‘සනාථ නොකළ, තහවුරු නොකළ, නින්දිත’ අපවාද වශයෙන් ගෙනහැරපෑම එකකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඔවුන්ගේ රාජකාරිය කියා දීමට යාම වෙනත් දෙයකි.

මේ 22 වැනි සැසිවාරය තුළ ඔවුන්ගේ රාජකාරිය කුමක් දැ යි කාටත් දැනගත හැකි වනු ඇත. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මොන තරම් දුරට අවංක භාවයෙන් යුතුව කටයුතු කොට ඇත් ද යන්න එහි දී සැළකිල්ලට ගැනෙනු ඇත. තමන්ගේම වැසියන් පිරිසකගේ ලේ හැලීම පිළිබඳ අපකීර්තියෙන් ගැලවෙන අතරේම, ජාතික සංහිඳියාව සහ තිරසාර සාමය සඳහා තමන් මේ දක්වා ගෙන ඇති සැබෑ පියවර කවරේ ද යන්න ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගැන්වීමත් අපේ නියෝජිතයන්ගේ වගකීමක් වන්නේ එබැවිනි.

‘නිවැරදි මාවත වෙතට යොමු වුණු පියවරක් මෙන්ම, දකුණු අප‍්‍රිකාවේ ‘සත්‍ය කොමිසම’ සාර්ථක වීමට බලපෑ කාරණයක් වන්නේ, පරමාර්ථය පිළිබඳව පැවති අවංකත්වයයි’ යනුවෙන්, වර්ණභේදවාදය අවසානයකට පත්කිරීමෙන් පසු, ජාතීන් අතර තුවාල සුව කිරීම සඳහා තමන් ගත් ප‍්‍රයත්නයන් විස්තර කරමින්, දකුණු අප‍්‍රිකානු නායක නෙලසන් මැන්ඬේලා පවසා ඇත. මොන තරම් වාගාලංකාරයෙන් කෑගැසුවත්, ‘චැනල් ෆෝ’ චිත‍්‍රපටය මොන තරම් හෙලාදැක්කත්, ජිනීවා නුවර දැන් ගොඩනැගෙමින් ඇති සිවිල් සංවිධාන විරෝධතාව ඉදිරියේ ලංකා ආණ්ඩුව ඉදිරි දින කිහිපය තුළ බරපතල සීරීම් තුවාල ඇති කරගන්නා බවක් පෙනෙන්ට තිබේ.

යුද්ධ තත්ත්වයකින් ගොඩඑමින් සිටින රටක කීර්තිය ආරක්ෂා කර ගැනීම තමන් ඉදිරියේ ඇති අභියෝගය බව ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නොවැටහෙනවා නොවේ. එහෙත් ඔවුන් කරන්නේ සැබෑ ප‍්‍රශ්නය මගහැරීමයි. එනම්, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ වගකීමෙන් කරඇරීමයි. ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා යැයි කියන පිටු 54 කින් යුත් ආණ්ඩුවේ ජාතික සැලැස්මක් ජිනීවා නුවර සමුළුවට ඊයේ ඉදිරිපත් කෙරුණි. එහි විස්තර කෙරෙන ආකාරය අනුව විවිධ සාර්ථකත්වයන් අත්කරගෙන ඇති බවක් කියා සිටියත්, උතුරේ ජීවත් වන මිනිසුන්ට, රැුඳවියන්ගේ පවුල්වලට සහ අවතැන්වූ ජනතාවට කතා කළොත් පෙනී යන්නේ, ඔවුන්ගේ ජීවිත කලින් තිබුණාට වඩා වැඩිමනත් වෙනසකට ලක්වී නැති බවයි. ඒ විරූප සත්‍යය මේ සමුළුව තුළ එක දිගටම මතුවෙනු ඇත.

සමුළුව අමතමින් කතා කළ, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහාය ඇමරිකානු රාජ්‍ය ලේකම් ආචාර්ය එස්තර් බි‍්‍රමර් මෙසේ කීය: ‘‘ශ‍්‍රී ලංකාව තමන්ම පත්කළ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක නොකරන තාක් කල් සහ දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාව මුහුණදෙන ජාතික ප‍්‍රශ්නයේ මූල හේතුන්ට ආමන්ත‍්‍රණය නොකරන තාක් කල්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි වන වගකීම් එම රට ඉටු නොකළා වන්නේය.’’

විශාල අවධානයකට ලක්වීම

එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සයීඩා වාර්සි ද එවැනිම ප‍්‍රකාශයක් කෙළේය: ‘‘මගේ රටේ මෙන්ම වෙනත් බොහෝ රටවල අවධානයට ද ලංකාව එක දිගටම ලක්වෙනු ඇත. මේ සමුළුවේ කෙරෙන සාකච්ඡුා, ශ‍්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව සඳහා සහාය වීම ඉලක්ක කොට පවතින්නේය. එහෙත් ලංකාවේ ආණ්ඩුවට දැන් පැවරෙන වගකීම වන්නේ, සංයුක්ත ප‍්‍රවර්ධනයක් පෙන්නුම් කිරීමයි. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව යහපත් අතට පත්කර ගැනීම සඳහා තීරණාත්මක පියවරක් වන්නේ ‘උගත් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමයි. සැබෑ වර්ධනයක් පෙන්නුම් කිරීම සඳහා ඒත්තුගන්වන සුළු ක‍්‍රියාකාරකම්වල නියැලිය යුත්තේය. ආරක්ෂක අංශ විසින් කර ඇතැ යි පෙනෙන්ට තිබෙන සීමාන්තික ක‍්‍රියාවන්ගෙන් ඔවුන්ව නිදහස් කිරීමට බැලීම ඊට සහායක් නොවන්නේය.’’

ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ සැලැස්ම පිළිබඳ ප‍්‍රගති වාර්තාවක් මේ සමුළුවට ඉදිරිපත් කොට ඇත. ඒ වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අතින් කිසි සීමාන්තික ක‍්‍රියාවක් සිදුවී නැත. එනම්, සිවිල් වැසියන්ට තුවාල සිදුවීමක් හෝ සාමාන්‍ය ජීවිත විනාශ වීමක් සිදුවී නැත. මේ බව පවසන හමුදාවේ විමර්ශණ කණ්ඩායම සියලූ වගකීම්වලින් හමුදාව නිදොස් කොට ඇති අතර එවැනි සාර්ථකත්වයක් අත්කරගත හැකිව ඇත්තේ, කිසි සිවිල් වැසියෙකුට හානියක් නොවන ආකාරයෙන් යුද්ධය පවත්වාගන ගිය නිසා යැයි පෙන්වා දෙයි. මාධ්‍යවේදීන්ට සහ සාමාන්‍ය ජනතාවට ද යුද්ධය පැවති ප‍්‍රදේශයට නිදහසේ ගිය හැකි බව එය තවදුරටත් කියා සිටී.

තවදුරටත් කරුණු දක්වන මේ වාර්තාව, එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ආරක්ෂා වීම සඳහා අවි දැරූ ‘දේශපාලන’ කණ්ඩායම් නිරායුධ කර ඇති බව කියයි. ‘උතුරු නැගෙනහිර පමණක් නොව, රටේ වෙනත් පළාත්වල ද, ආයුධ දැරිය හැක්කේ හමුදා අංශවලට සහ පොලීසියට පමණක් බව’ ප‍්‍රගති වාර්තාව ආඩම්බරයෙන් පෙන්වා දෙයි.

අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඇත

අධි ආරක්ෂිත කලාපවල හමුදා කඳවුරු සඳහා වෙන්කර තිබූ හෙක්ටෙයාර් 4099 දැන් හෙක්ටෙයාර් 2582 දක්වා අඩු කොට ඇති බව එම වාර්තාව තවදුරටත් කියයි.

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ එතරම් දැනුම් තේරුමක් නැති කෙනෙකුට පවා, මේ කියන ප‍්‍රගතිය සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවේ. ශ‍්‍රී ලංකාව පිළිබඳ නිරතුරුව ඇස ගසාගෙන සිටි රාජ්‍යයන් සහ ජාත්‍යන්තර ප‍්‍රජාවක් සිටී. ඔවුන්ට, මේ කියන ප‍්‍රගතිය මොන විදිහකින්වත් පිළිගත හැකි ප‍්‍රගතියක් නොවේ.

මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳව කෙරෙන සිවිල් සමාජයීය පෙළගැසීම් මැඩලීමට යත්න දැරීම ජිනීවා නුවර දී ශ‍්‍රී ලංකාවේ වාසියට හිටින්නේ නැත. තමන්ගේ මිතුරන්, තමන්ගේ ආධාරකරුවන් සහ අසල්වාසීන් අමනාප කරගෙන ඇති රටක්, වචනයෙන් කියන යහපත් අදහස් ක‍්‍රියාවෙන් ද අත්‍යාවශ්‍යයෙන්ම පෙන්නුම් කළ යුතුව තිබේ.

ඒ අනුව ගත් කල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කොට ඇති මේ ප‍්‍රගති වාර්තාව අයත් වන්නේ, ප‍්‍රබන්ධ ගණයට යි. මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝණය කළ අශෝභන ප‍්‍රතිරූපය පිරිපහදු කරගැනීමට එවැන්නක් කොහෙත්ම සෑහෙන්නේ නැත.

*2013 මාර්තු 04 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ පළවූ Shades Of Grey තීරු ලිපියේ පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page