Colombo Telegraph

ඉන්දියාවේ මෝඩි රැුල්ල සහ ලංකාවේ මෝඩ රැුල්ල

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

බලගතු ඉන්දියාවේ පසුගිය දා පැවති මැතිවරණය තුළ මෝඩි ලැබූ ජයග‍්‍රහණය අස්සේ ලංකාවේ නායකයන් තමන්ගේ නියාලූ වේදිකා මත සිට තුට්ටු දෙකේ කතා කීමට පටන්ගෙන ඇත. ඒ ගොබ්බ කතාවලට කිසිවෙකුගෙන් බරසාර ප‍්‍රතිචාරයක් නොලැබුණත්, වර්තමාන පාලනයේ සමස්ත කාලය තුළ මේ රටේ සාමාන්‍ය ජනයාට පාලකයන්ගෙන් කෙළවරක් නැතිව සැපයුණු කවටකමේ විනෝදාංශය නම් නොඅඩුව ලැබෙමින් තිබේ: ආචාර්ය මර්වින් සිල්වා, මාරාන්තික උපවාසගේ විමල් වීරවංශ සහ මහරජතුමාණෝ ද එවිට කෙනෙකුගේ සිහියට නැගේ.

ඔව්, භාරතීය ජනතා පක්ෂ නායක මෝඩි ලැබූ දැවැන්ත ජයග‍්‍රහණය මගින්, කොන්ග‍්‍රස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බුරුතු පිටින් ගෙදර යැවුණි. ඉන්දියානු ඡන්දදායකයා සතු ඒ වරප‍්‍රසාදය, ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය සහ සමානුපාතික ඡන්ද ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු වර්තමාන ජනාධිපතිවරයා එම බහුබූත ක‍්‍රමය එහි තාර්කික අවසානයට ගෙන ඒමෙන් පසු, ශ‍්‍රී ලාංකික ඡන්දදායකයාට අහිමි කොට ඇත. එම තාර්කික අවසානය මොන තරම් අවලස්සණ විකාරයක් සහ දුෂ්කර ක‍්‍රියාවක් වී ඇත් ද යත්, ඊට කලින් තිබූ අපේ පැරණි ක‍්‍රමයට ආපසු අප යායුතු බවට දැන් සමාජයේ සෑම කොටසක්ම ඉල්ලා සිටිති. සභාග ආණ්ඩු පිහිටුවා ගැනීමේ දී ඇති වන අවහිරතාවන්ගෙන් තොරව අභ්‍යාස කළ හැකි පෘථුල බලයක් දැන් මෝඩිට ලැබී තිබේ. ඔහුට පැනවෙන එකම සීමාව වන්නේ, තමිල්නාඩුවේ ජයලලිතා ය. ඉස්සරටත් වඩා තමන්ගේ අභිමතය මත දඩබ්බරව කටයුතු කිරීමේ හැකියාව දැන් ජයලලිතාට ඇත. වාසනාවට, වයිකෝ ද ගෙදර ගියේය. එහෙත්, ඒ බලයත් ඩැහැගත්තේ, ජයලලිතා ය.

ප‍්‍රබල මධ්‍යම ආණ්ඩුවක් සහ එම ආණ්ඩුවට සීමා පනවන තමිල්නාඩු ප‍්‍රාන්තයක සුසංයෝගය, අපේ පුංචි දිවයිනට මොන තරම් අපලයක් විය හැකි ද යන්න, ලංකාවේ ආණ්ඩුව වටහාගෙන නැත. ඉන්දියාවේ ලයින් එකට නොගියොත්, රජිව් ගාන්ධි මාදිලියේ ශ‍්‍රී ලාංකීය ආක‍්‍රමණයක් සඳහා වන පසුබිම දැන් සැකසී තිබේ. එහෙත් අපේ පාලකයන්ට අනිටු පෙරනිමිති නොපෙනේ. නොඇසේ. ඉන්දියාවේ කලින් තිබුණු ආණ්ඩුවට වඩා මේ අළුත් ආණ්ඩුව සමග ගනුදෙනු කිරීම පහසු වන බව අපේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට ඇති බව සැලයි. එක පැත්තකින් එය ඇත්තකි. එහෙත් එය බොරුවක් වීමට ඇති ඉඩකඩ ඊට වඩා වැඩි ය.

කෙසේ වෙතත්, ලංකාවෙන් හමන මෝඩ රැුල්ලේ තීව‍්‍රාලෝකය වුණේ, අප දන්නා පරිදි හැම දාමත් අවසිහියෙන් සිටි වාසුදේව නානායක්කාරයි. මෝඩිගේ නැගීම, ආසියාතික දේශපාලනයේ අන්ධකාර යුගයක් සනිටුහන් කරනු ඇති බව ඔහු අවධාරණයෙන් කියයි. පිස්සෝ තමන් කියන කතාවලට හේතු නොදෙති. වාසුදේව නානායක්කාරත් එසේ ය. ඔහු මෙසේ කියන්නේ, තර්කයක් මත නොව, දේව වරමකින් මෙන් ඔලූවේ පහළ වූ යම් අදහසක් මත ය. ඔහුගෙන් පසු මේ ගැන කීමට කරලියට ආවේ, ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂයි. මෝඩි, ‘තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වෙනු ඇතැ’ යි ඔහු කීය. ඒ තක්සේරුව සඳහා නම් කිසි දවසක ඔහුට මෝඩිගෙන් සමාවක් නොලැබෙනු ඇත. කෙසේ වෙතත්, වාසුදේව මෙන් නොව, බැසිල් තමාගේ කතාවට හේතුවක් ගෙනහැර දක්වයි: එනම්, ‘මෝඩි මෙන් මහින්ද ද වැඩකාරයෙකු’ වන බවයි.

මෝඩි වැඩකාරයෙකු වී ඇති බව හැබෑව. එහෙත් ඒ, නිවැරදි දිසාවෙනි. ජාතිකවාදී ‘හින්දුත්ව’ හැඟීම් අවුලූවමින් ඔහු සිය තරුණ කාලයේ දී ගොන් කම් කෙළේය. එහෙත් අනිත් අතට, එක දිගට වාර තුනක දීම ගුජරාටයේ මහ ඇමති වශයෙන් කටයුතු කරමින්, එම ප‍්‍රාන්තය සවිමත් සංවර්ධනයකට යොමු කරමින්, දූෂණ විරහිත ප‍්‍රාන්තයක් බවට පත්කෙළේය. මූල්‍යමය වශයෙන් ද ගුජරාටය බලවත් ය. මහ පාරේ තේ විකුණූ පුද්ගලයෙකු වශයෙන් ඔහු අයත් වන්නේ වරප‍්‍රසාද රහිත පංතියකටයි. එසේ තිබියදීත්, පේ‍්‍රමදාසගේ වන් කාර්ය ශූරත්වයකින් හෙබි ඔහු, ආවෘතිභීතිකාවෙන් පෙළෙන ඉන්දියානු නිලධාරි ක‍්‍රමය අභියෝගයට ලක්කෙළේය.

ඔහු මුහුණදුන් ආකාරයේ එවැනි අවාසි සහගත තත්වයක් මහින්ද රාජපක්ෂට නොතිබුණි. පක්ෂය තුළ මහින්ද ඉහළට ආවේ දහංගැට තුළිනි. ඊළඟට, මෝඩිට දෘෂ්ටිවාදයක් තිබේ. මහින්ද රාජපක්ෂට කිසි දවසක එවැන්නක් තිබුණේ නැත. අනාගතයේ එවැන්නක් ඇති කර ගැනීමට බලන්නේවත් නැත. ‘මහින්ද චින්තනය’ යනු හුදෙක් විකට පති‍්‍රකාවකි. මහින්ද රාජපක්ෂව ඉදිරියට තල්ලූ කෙරෙන එකම පේ‍්‍රරණය වන්නේ, ඕනෑම වියදමක් දරා තමාගේ සහ තම පවුලේ ග‍්‍රහණය පවත්වා ගැනීමේ අභිලාෂය පමණි. යුද ජයග‍්‍රහණය ඔහු අත්පත් කරගත්තත්, ඒ සඳහා වෙර වීරියෙන් සටන් කළ පුද්ගලයාව ඔහු හිරේ දැම්මේය. බරපතල ජාත්‍යන්තර චෝදනාවන්ගෙන් තමාගේ ආණ්ඩුව බේරා ගැනීමට ඔහු සමත්ව ඇත්තේ ද නැත. යුද්ධය ජය ගැනීමෙන් පසු ඔහුට ලැබුණු මහා ජනතා ප‍්‍රසාදය, අවශ්‍ය විණි නම්, අර්ථවත් රාජ්‍යකරණයක් සඳහා පාවිච්චි කිරීමට ඔහුට පුලූවන් කම තිබුණි. වසර නවයක පාලන කාලය තුළ දූෂණයට එරෙහිව මහින්ද රාජපක්ෂ එක වචනයක්වත් කතා කරනවා ඔබ අසා තිබේ ද? ශ‍්‍රී ලංකාව තුළ දූෂණය දැන් ආයතනගත කොට තිබේ. අනිත් අතට, මෝඩි කෙළේ ඒ දූෂණයට එරෙහිව කතා කිරීමත්, තමාගේ ප‍්‍රාන්ත පරිපාලනයෙන් එය දූරිභූත කිරීමත් ය. ඇත්ත, මහින්ද රාජපක්ෂ යටිතල ගොඩනැගීම් කර තිබේ. එහෙත් ඒවායේ ඇති ප‍්‍රයෝජනයත්, රටේ ආර්ථිකයට ඒවායින් ලැබෙන ප‍්‍රතිලාභ සහ ඒවායේ පාරදෘෂ්‍ය භාවයත් ගැන ප‍්‍රශ්න තිබේ. මහින්ද රාජපක්ෂ ගැන මූණුපොතේ සංසරණය වන ලස්සණ සරදමකට අනුව, ‘මහින්ද රාජපක්ෂ යනු සෙල්ලම් ජනාධිපතිවරයෙකි. මන්ද යත්, ඔහු සෙල්ලම් වරායවල් සහ සෙල්ලම් ගුවන් තොටුපොළවල් ආදිය ගොඩනගා ඇති හෙයිනි’.

ජාතියේ මූල්‍යමය තත්වය තිබෙන්නේ ද අනතුරුදායක අඩියකයි. දවසින් දවස රටේ ණය බර අහස උසට නගී. ජීවන වියදම් බරෙන් සාමාන්‍ය මිනිසා වැළපෙයි. ඔහුගේ වැටුපට හෝ විශ‍්‍රාම වැටුපට මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ එක සතයක්වත් එක් කොට නැත. එනිසා ඇති නැති අය අතර ආදායම් පරතරය තව තවත් විශාල වෙමින් තිබේ.

බැසිල්ගේ සන්සන්දනය ගැන තවදුරටත් කතා කිරීම කාලය නාස්ති කිරීමකි. මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු මෝඩි පැවැත්වූ කතාවෙන්වත්, මහින්දට යම් එළියක් ලැබුණොත් එය ද ලොකු දෙයකි: ‘දේශපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සතුරන් නොමැත. ඇත්තේ, තරගකරුවන් පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති සුන්දරත්වය එයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජවය රැුඳෙන්නේ සියල්ලන්ව එකට ගැනීමෙනි. පැහැදිළි ජන වරමක් අපට ලැබී ඇතත්, සෑම කෙනෙකුම එකට තබා ගැනීමට අපට අවශ්‍යයි.’ යි එහි දී ඔහු කීවේය.

තමාගේ ‘කාර්යසාධන සංස්කෘතියේ’ ජාන සංයුතිය වන්නේ, ‘සියල්ලන්ට සහාය වීම සහ සියල්ලන්ව සංවර්ධනය කිරීම’ යැයි ඔහු තවදුරටත් කීවේය. මේ පමා වූ මොහොතේ වුව, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට අපේ පැරණි ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන ක‍්‍රමය නැවත ගොඩනගා, නීතියේ ආධිපත්‍යයටත්, තුලන සහ සංවරණ ක‍්‍රියාවලිය වෙතටත් ආපසු යාමට මහින්ද රාජපක්ෂට නොහැකි ද?

*2014 මැයි 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  India’s Modi Wave & Lanka’s Moda Wave නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page