Colombo Telegraph

විකාරයක් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ –

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ලංකාවේ නොපවත්වන්නැ යි කළ විවිධ බලපෑම් තිබියදීත් එය ලංකාවේ පැවැත්වීමට හැකි වීම, ලංකාව ලද සුළුපටු ජයක් නොවේ. අගනගරය ඊට සූදානම් කිරීම සහ එය ලස්සණ කිරීමත්, කටුනායක අධිවේගී මාර්ගය නිමා කිරීමත්, අගෙයි. ලොව පුරා ජීවත් වන ශ‍්‍රී ලාංකිකයන්ට අවසානයේ දී තමන්ගේ අගනගරය ගැන ආඩම්බර විය හැකි බව සියලූ ආරංචි මාර්ග කියයි.

කොළඹ නගරය අවුරුදු ගණනක් තිස්සේ කුණු ගොඩක් වෙමින් තිබුණි. එම නගරය ශෝභමාන කිරීමේ අවශ්‍යතාව මුලින්ම අවබෝධ කරගත්තේ ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ය. පදික වේදිකාවලින් සහ මංසන්ධි වටරවුම්වලින් ඔහු එය ආරම්භ කළ විට සමහර විරුද්ධවාදීන් උපහාසයෙන් සිනාසුණි. ඒ නරුම විවේචනය දැන් ශුභවාදි අපේක්ෂාවකට පෙරැුලී ඇත. මෙවර එහි මුලිකයා වුණේ, පැහැදිළිවම, ගෝඨාභය රාජපක්ෂයි. ඔහු සම්බන්ධයෙන් කුමන විවේචන තිබිය හැකි වෙතත්, රමණීයත්වය පිළිබඳ යම් නැඹුරුවක් ඔහුට තිබේ.

කෙසේ වෙතත්, ඒකාන්ත කීර්තියක් විය හැකිව තිබු අවස්ථාවක් මේ සමුළුව තුළ නින්දාවකට පෙරැුළුණි. සමුළුව පිස්සුවකින් සෝදාපාළු විය. එහි දී සිදුවූ දේවල්, බොහෝ සෙයින් කල් තියා දැනගත හැකිව තිබුණත්, ජනාධිපති රාජපක්ෂ සහ ජී.ඇල්.පීරිස් මූලිකත්වය ගත් ඔහුගේ කණ්ඩායම එය නොදැක සිටියා සේය. ඔවුන්ව ගසාගෙන යන තරමට එදිරිවාදී රැුල්ල ප‍්‍රබල විය. ඒ අපකීර්තිය සමනය කිරීමට ටෝනි ඇබොට් තැත් කළත්, ඔහුගේ එම ප‍්‍රයත්නය, බෝට්ටුවලින් ඔස්ටේ‍්‍රලියාවට හොරෙන් එන ශ‍්‍රී ලාංකිකයන්ගේ අර්බුදයෙන් ගොඩඒමට ඔහු ගත් වෑයමකට වැඩි දෙයක් නොවුණු බව කවුරුත් දනිති.

මුලින්ම, අතපසු කළ දේවල් ගැන සෙවනැල්ලක්, නායක සමුළුව ආරම්භයටත් කලින් පටන් පෙනෙන්ට තිබුණි. එය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ සාකච්ඡුා වෙමින් පැවති, ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදුවී යැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන්ට සම්බන්ධයි. යුද අපරාධ චෝදනා ගැන දේශීය වශයෙන් විභාග කර බැලීමට තමන් සූදානම් බව පෙන්වීමෙන් ජාත්‍යන්තරයේ එකී විරෝධය සමනය කර ගැනීමට ලංකා ආණ්ඩුව කිසිවක් කෙළේ නැත. අපේම වන, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක්’ පත්කෙරුණි. විද්වතුන්ගෙන් සැදුම්ලත් ඒ මණ්ඩලය ද, එම සිදුවීම් ගැන පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි නිර්දේශ කොට, ප‍්‍රශ්න සමනය කෙරෙන තවත් යෝජනා ද ඉදිරිපත් කෙළේය. එහෙත් ඒ කිසිවක් ආණ්ඩුව ක‍්‍රියාත්මක කෙළේ නැත. එහි දී ආණ්ඩුව කෙළේ, ස්වෛරීත්වය නැමැති කෙබරයක, උද්ධච්ච ආකාරයෙන් එක දිගටම එල්ලී සිටීමයි.

දෙවන ලෝක යුද්ධය අවසානයේ පටන්, මේ කියන ස්වෛරීත්වය පිළිබඳ සංකල්පය පරම සත්තාවක් නොවන බව සමස්ත ලෝකයා පිළිගත්හ. සෑම ආණ්ඩුවකටම, ආර්ථිකයකටම, ජනතාවකටම තවත් ආණ්ඩු මත, තවත් ආර්ථිකයන් මත සහ තවත් ජනතාවන් මත පරායත්ත වීමට සිදුවීම නිසා, රටක ස්වෛරීත්වයේ පරම ස්වභාවය අහෝසි වී ගියේය. මිනිස් වර්ගයාගේ මූලික අයිතීන් දේශ සීමා ඉක්මවා ගෝලීය වශයෙන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් ඇති බවට වන ගෝලීය විඥානය, දෙවැනි ලෝක යුද්ධයේ මහා මිනිස් සංහාරයෙන් පසු ඉතා ප‍්‍රබල ආකාරයකින් කරලියට ආවේය. ඊට අදාළව එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන් සම්මත කර ගැනුණි. ශ‍්‍රී ලංකාවත් ඒවාට අත්සන් කෙළේය. තව ද, හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයක් ද පිහිටැවුණි. මේ අනුව, ලෝකයේ ඕනෑම රටක ජීවත් වන ඕනෑම මනුෂ්‍යයෙකුගේ අයිතීන් ඒ රටවල පාලන බලය හොබවන ප්ලාස්ටික් පොල්පොට්ලාට උදුරා ගැනීමට තිබූ බලය ඉවත් කෙරුණි. රටක දේශීය පාලන ක‍්‍රමය තුළ අන්ත අගතියට පත්වන පුද්ගලයෙකුට ඇතැම් විට පිළිසරණක් නැති වන සැටි, ලංකාවේ අත්දැකීම් ආශ‍්‍රයෙන් ද පෙන්නුම් කෙරුණි. ජෙනරාල් සරත් ෆොන්සේකා ඊට එක් උදාහරණයක් පමණි.

බරපතල තත්වයන් යටතේ රටක මානව හිමිකම් අරභයා වන එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම් එරටේ ‘ස්වෛරීත්වයට’ ඇඟිලි ගසන හතුරු ආක‍්‍රමණ වශයෙන් නොගත යුත්තේ එබැවිනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවී පිල්ලේ මහත්මිය, තමන් වෙත පැවරුනු සුජාත රාජකාරි සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේ ඈට මඩ ගැසීමට සහ අපවාද කිරීමට අපේ පාලකයෝ ඉඩ දුන්හ. එසේ වුණේ, ස්වෛරීත්වය පිළිබඳ නොපවතින මායාවක් සමාජගත කොට තිබීම නිසා ය. රටකට මැදිහත් වීමේ පූර්ණ අයිතියක් එක්සත් ජාතීන්ට තිබේ. එම අයිතියට අවනත වීමේ පැහැදිළි වගකීමක් අපට තිබේ. එවැනි ජාත්‍යන්තර මැදිහත්වීම් මගහරවා ගත යුතු නම් අප කළ යුත්තේ, මානව හිමිකම් චෝදනා එල්ල වීමට ඇති අවකාශ නැති කිරීමයි. එසේම, පොදුරාජ්‍ය මණ්ඩලයට ද, තමන්ගේ සාමාජික රටක කල්ක‍්‍රියාව ප‍්‍රශ්න කිරීමේ අයිතියක් ඇති අතර ඒ අයිතියට ගරු කිරීමට අපි බැඳී සිටිමු. එහෙත් ශ‍්‍රී ලංකා ආණ්ඩුව එක දිගටම ක‍්‍රියා කෙළේ, එක්සත් ජාතීන්ගේ සංගමයත්, පොදුරාජ්‍ය මණ්ඩලයත් සමග එක දිගටම හොරා පොලිස් සෙල්ලම් කරන රටක් විලසිනි.

එවැනි පසුබිමක් තුළ, තමන් වෙත එල්ල විය හැකි විරෝධතා රැුල්ල, සමුළුවට කලින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත කෙරෙන යම් සහතික වීම් හරහා මැඩගත යුතුව තිබුණි. නොඑසේ නම්, එම සමුළුව වෙනත් රටක පැවැත්වීමට ඉඩ හැරිය යුතුව තිබුණි. කතාවට කියන්නා සේ, රැුවුලයි කැඳයි දෙකම බේරා ගැනීමට පුළුවන් කමක් නැත.

අනිත් අතට, මේ කියන කාලයේ දී අප දුටුවේ බටහිර ආරාධිතයන්ට එරෙහිව කල්තියාම ජනතාව පෙළගස්වා තිබූ එක්තරා යුද තත්වයකට සමාන පරිසරයකි. ජනතාවගේ මොළ සේදීමට සෑම මාධ්‍යයක්ම යොදා ගැනුණි. එය, රටට හිතකර එකක්වත්, අවංක එකක්වත් වුණේ නැත. ජනාධිපතිවරයාගේ කතාව කවුරුන් ලීවේ දැ යි සිතාගත නොහැක. කවුරුන් ලීවත්, එම පුද්ගලයා ජනාධිපතිවරයාගේ සගයෙකු වීමට නම් නොහැක. මන්ද යත්, එය ආරක්ෂණමය පැත්තෙන් ඉතා දුර්වල කතාවක් වන බැවිනි. මුළු කතාව පුරාම ජනාධිපතිවරයා කෙළේ බටහිර බලවතුන්ට ඇනුම්පද කීමයි. ඇති වෙමින් පැවති නරක තත්වය එයින් තවත් උග‍්‍ර කෙරුණි. අපේ රාජ්‍ය නායකයාගේ හැසිරීම අනුව ගත් කල, එය යුද්ධයක් දියත් වීමක් බඳු විය. එතැන් සිට ජනාධිපති රාජපක්ෂගේ පේ‍්‍රක්ෂාගාරය වුණේ, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව නොව, ඔහුගේ ඡුන්දදායක ප‍්‍රජාවයි. එම ඡුන්දදායක ප‍්‍රජාව කුල්මත් කිරීම සඳහා හැකි තාක් ‘වීරෝධාර’ වීමට ඔහු බැලීය.

උපාය මාර්ගිකව ගත් කල, සියලූ සමාජ කොටස් සහ පක්ෂ ඒකරාශී කරගත යුතුව පැවති අවස්ථාවක, ප‍්‍රධාන විපක්ෂය ඇතුළු වෙනත් විපක්ෂ බලවේග, පර සතුරන්ගේ ගොඩට දමා තිබුණි. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවටත් පෙර සිටම මානව හිමිකම් උල්ලංඝනයන් දිගටම සිදුවුණි. වැලිවේරිය ඉන් එකකි. එය, මානව හිමිකම් ගැන චෝදනාවට ලක්වන රටක් ඉන් ගොඩඒමට හිතා කටයුතු කරන හැසිරීමක් නොව, ජනතාව ගැන ‘අපිට මොකෝ’ ආකල්පයෙන් රජ කරන ප‍්‍රභූ පාලක කල්ලියක හැසිරීමක් විය. තමන්ගේම වන මානව හිමිකම් ප‍්‍රදර්ශනයක් ‘සිරිකොතේ’ පැවැත්වීමට විපක්ෂය තල්ලූ වුණේ ඒ තත්වය යටතේ ය. තමන්ව බැහැර කෙරෙති යි යම් පිරිසකට සිතෙන විට ඔවුන් අනිත් පැත්තට තල්ලූ වන්නේ ඉබේමය. රාජ්‍යතාන්ත‍්‍රික භාවයේ යහගුණ තිබිණි නම් මීට වඩා වැදගත් ආකාරයකින් කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකියාව තිබුණි. එහෙත් ඔහු තවමත් දේශපාලඥයෙකු මිස, පටු අරමුණුවලට ඉහළින් සිටින නිදහස් රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු නොවේ.

ඊළඟට, සමුළුව පැවැත්වෙන අතරවාරයේ ද, මිනිසුන්ට නිදහසේ රැුස්වීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියටත් අන්තවාදී ප‍්‍රහාර එල්ල කෙරුණි. බොදුබල සේනාව නමින් හැඳින්වෙන මදාවි කල්ලිය, එක්සත් ජාතික පක්ෂයෙන් සංවිධානය කළ ඉහත කී මානව හිමිකම් ප‍්‍රදර්ශනයට කඩාවැදී ගුටිකෑහ. පොලීසිය බලා සිටියදීම එවැන්නක් සිදුවීම අපේ කීර්ති නාමයට හොඳ නැත. මේ බොදුබල සේනාවට ආණ්ඩුවේ අනුග‍්‍රහය ඇතැ යි කියැවේ. බෞද්ධ මාෆියාවක් ගැන කෙසේ නම් හිතාගන්න ද? ලෝකයේ වඩාත් අහිංසාවාදී ආගමට එවැනි යෙදුමක් අත්‍යන්තයෙන්ම විරෝධෝක්තියක් වන්නේය. එහෙත් ලංකාවේ අපට අද එවැන්නක් ලැබී තිබේ. අඩු වශයෙන් තලිබාන් සංවිධානය සදාචාර මායාවන් මතවත් පදනම්ව ඇතැ යි කිව හැකිය. එහෙත් මේ බොදුබල සේනා මදාවියන්ට ඇතුළුවිය නොහැකි තැනක් නැත. ආගමික පල්ලි, මස් කඩ ආදී ඕනෑම තැනකට වැදී, ව්‍යවස්ථාදායක සහ විධායක බලතල අතට ගත හැකිය.

ඬේවිඞ් කැමරන් සහ ඔහුගේ සගයන් උත්තේජනය ලැබුවේ එවැනි පසුබිමකිනි.

ඊළඟට, ‘චැනල් 4’ කණ්ඩායමට අපි ඇරියුම් කෙළෙමු. මෙරටට ඇවිත් ඕනෑම තැනකට ගොස් තොරතුරු බලා ගන්නැ යි කියා, අනතුරුව, කුලියට අටවන ලද විරෝධතාකරුවන් පාරට බස්සා ඔවුන්ගේ ගමන් මං ඇහිරුවේය. එම විරෝධතාව සංවිධානය කළ දේශපාලඥයා වන චන්ද්‍රසේනට, ඊට කෘතගුණ වශයෙන්, වහාම කැබිනට් තනතුරකින් ද සංග‍්‍රහ කෙළේය.

මේ මොහොතේ ‘චැනල් 4’ කණ්ඩායමට ලංකාවට එන්නැ යි ආරාධනා කෙළේ ඇත්තනේම මොන කෙහෙල්මලකට ද? ඒ පැනයට තර්කානුකූල පිළිතුරක් නැත. රට පුරා නිදහසේ සංචාරය කරන්නැ යි පළමුව ආරාධනා කොට පසුව ඔවුන්ව වළකාලන විරෝධතා සංවිධානය කෙළේ ඇයි? ඒ පැනයට ද තර්කානුකූල පිළිතුරක් නැත.

අපි ඬේවිඞ් කැමරන්ට දෝෂාරෝපණය කරමු. ඔහුට එරෙහිව විවිධ අවලාද නගමු. සමුළුවේ දී තමා කියන්නේ කුමක් දැ යි ඔහු කල්තියාම දන්වා නොතිබුණේ ද? ඉතිං, දැන් ඔහු ගැන ඇති ප‍්‍රශ්නය කුමක් ද? උතුරට ගිය ඔහුගේ සංචාරය දවසකින් පමා කිරීමට අපට හැකියාව තිබුණි. එහෙත් එවැන්නක් අප කෙළේ නැත. එය තවත් ගොබ්බ කමකි. උදාරම් සහ උද්ධච්ච ගතියක් ඔහුගෙන් පළවුණු බව ඇත්ත. එය සැඩ කුණාටුවක් බඳු විය. ඔහු දෙමළ ජනතාව මැද්දටම ගියේය. ඔවුන්ගේ කන්නලව්වලට-අතිශයෝක්තියට නැගුණු හෝ මුසාවක් වූ හෝ වෙනත් ආකාරයක හෝ විය හැකි-පැමිණිලිවලට කන් දුන්නේය. කැමරන්ගේ උදාරම් නඩය එසේ යද්දී අපේ සකල බලධාරී ජනාධිපති සහ ඔහුගේ ආණ්ඩුව ඔහේ බලා උන්හ. ආණ්ඩුකාර කැල්ඩකොට්ගේ යුගයට අපේ ආණ්ඩුව පල්ලම් බැස්සාවත් ද?

අවසානයේ දී ඇඟිල්ල දිගු කොට කැමරන් කළ බරපතල අනතුරු ඇඟවීම තුළ සියල්ල කැටි කෙරිණ. පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව අප ලද සාර්ථකත්වයක් යැයි යමෙකු කියන්නේ නම් හෝ අපේ ජනාධිපතිවරයා දින්නේ යැයි යමෙකු කියන්නේ නම්, එම පුද්ගලයා කවටයෙකු විය යුතුය. මෙහි ඇති වඩාත් විස්මිත කාරණය වන්නේ, සිදුවූ දේවල් ගැන කැමරන්ට සහ අනිත් අයට චෝදනා කරන අප, එම තත්වය ඇති වීමට අපෙන් කෙරුණු සම්මාදම තේරුම් ගැනීමට අසමත් වීමයි.

*2013 නොවැම්බර් 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු The Madness That Took Over CHOGM ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page